Posted by: lrrp | December 23, 2014

පෘතුගීසි බර්ගර් මෙරට කිතු දහමේ මුල් උරුමක්කරුවෝ සමඟ නත්තල සැමරුවෙමි

මෙවර නත්තල වෙනුවෙන් මඩකලපුවේ පෘතුගීසි සම්භවයක් සහිත බර්ගර් මහජනතාව පැවැත්වූ නත්තල් වැඩසටහන සංස්කෘතිකාංග රැසකින් ඔපවත් විය. මෙරටට කිතු දහම රැගෙන ආවේ පෘතුගීසීන්ය. එබැවින් පෘතුගීසි බර්ගර් ජනතාව මෙරට කිතු දහමේ මුල් උරුමක්කරුවෝය. මේ ලිපියේ ලේඛකයා ද දැනට වසර කිහිපයක සිට එම ප්‍රජාවගේ නත්තල් සැමරුමට ආරාධනා ලබන්නෙකි.

මඩකලපුව නගර සීමාවේ පිහිටා ඇති තන්ඩන්වේලි කතෝලික දේවස්ථාන (our Lady of Presentation) භූමිය පුරා මා නොදන්නා භාෂාවකින් ගී හඬක් රැව් දෙයි. එහි අර්ථය නොතේරුණද තනුව නම් ඉතා හුරු පුරුදුය. මම හොඳින් සවන් දුන්නෙමි. වැඩි වෙලා යන්නට මත්තෙන් තනුව කුමක්දැයි සිහිපත් විය. ඒ බයිලා චක්‍රවර්තී එම්.එස්. ප්‍රනාන්දුගේ “රස ආහාර කවලා රන් කූඩුවෙ දමලා, ඇති කරන්න ගත්ත මාල ගිරවී” ගීතයේ තනුවයි.

වඩා පැරැණි මා නොදන්නා භාෂාවේ ගීතයේ තනුවද එසේත් නැත්නම් එම්.එස්. ගේ ගී තනුවද යන්න මට ඊළඟට ඇතිවූ ගැටලුව විය. එය ක්ෂණයකින් ම මම නිශ්චය කරගත්තෙමි. නොදන්නා භාෂාවේ ගී තනුව එම්.එස්. සිය ගීතයට යොදා ගෙන ඇති බව මගේ නිගමනයයි. සිංහල ගීත කලාවට බයිලා එක්වූයේ පෙර කී නොදන්නා භාෂාවෙන් වීම ඊට හේතුවය. මේ නොදන්නා භාෂාව පෘතුගීසිය. පසුව මම එම පෘතුගීසි බයිලා ගීතය පිළිබඳව වැඩිදුර සොයා බැලුවෙමි. එය මෙවැන්නකි.

* තෑර ඉස්ටි තෑර නොස්ස බැටිකලෝ තෑර

දෙසීය නසන්ස් තෝදුෂ් කුගවියේ

ඩය ඉස්ටි තෑර තේං නොස්ස ග්‍රාං දේස

පේසිස් ‍තේ කාන්ත – ඉස්ටි තෑර

මේ පෙදෙස අපේ මඩකලපු පියෙසයි. ඊට ප්‍රිය කරන්නෝ මෙහි දුව එති. මේ ප්‍රෞඩ භූමිය දෙස බලන්න එහි මත්ස්‍යයෝ ගී ගයති.)

අර්ල් බර්තලොට්

මා සහභාගී වී සිටින්නේ ඉහත ගීතයේ සඳහන් පරිදි ගී කියන මසුන් ගැවසෙන මඩකලපුව නම් රමණීය හා ප්‍රෞඩ ප්‍රදේශය දැන් සියවස් කිහිපයක සිට නිජභූමිය කරගෙන සිටි පෘතුගීසි බර්ගර් ජනතාවගේ නත්තල් සැමරුම් උත්සවයටය. මෙරට කිතු දහමේ මෙන්ම බයිලා කපිරිඤ්ඤා කලාවේ පුරෝගාමීන් ද ඔවුන්ය.

මුලින්ම පෘතුගීසින් ශ්‍රී ලංකාවට පැමිණියේ 1505 වුවද මඩකලපුවට පැමිණියේ ඊට බොහෝ කලකට පසුවය. ඉතිහාසයේ සඳහන් පරිදි පෘතුගීසින් මඩකලපුවේ බළකොටුව ඉදිකර ඇත්තේ 1628 දීය. එතැන් පටන් මඩකලපුව ආශ්‍රිතව පෘතුගීසි ප්‍රජාවක් විසූ බව විශ්වාස කළ හැකිය. කෙසේ නමුත් වෙස්ටවෝල්ඩ් නම් ලන්දේසි අද්මිරාල්වරයාගේ ආක්‍රමණයෙන් එම බළකොටුව ඉතා ඉක්මනින් බිඳ වැට‍ුණේය. මඩකලපුවේ පෘතුගීසි ආධිපත්‍යය ද එතැනින් අවසන් විය.

දිනය 1638 මැයි 18 දාය. ඒ වනවිට මඩකලපුවේ වාසයට හුරු වී සිටි පෘතුගීසි ජාතිකයින් පිරිසක් ප්‍රදේශය හැර දමා නොගොස් එහිම වාසය කළහ. මඩකලපුවේ වර්තමාන බර්ගර් ජනතාව පැවතෙන්නේ ඔවුන්ගෙනි. මඩකලපුව පෘතුගීසි බර්ගර් සංගමයේ සංඛ්‍යා ලේඛනවලට අනුව දැන් එම ප්‍රජාව සංඛ්‍යාත්මකව 18000 ක් පමණ වේ. ත්‍රිකුණාමලයේ සිට අක්කරේපත්තුව දක්වා නැ‍ඟෙනහිර පළාතේ ප්‍රජාව විසිරී සිටිති.

ඔවුන්ගේ නත්තල් සැමරුමේ ප්‍රධාන ආරාධිතයින් වූයේ මඩකලපුව කතෝලික රදගුරුතුමා ඇතුළු කතෝලික පියතුමන්ලා කිහිප නමකි. ප්‍රධාන අමුත්තන්ව ශාලාවට කැඳවාගෙන ගියේ බර්ගර් ජාතිකයින්ගෙන්ම සමන්විත සංගීත කණ්ඩායමකි. වයලීන්, තම්බෝරු, ගිටාර් හා බැන්ජෝ රබන් වලින් සන්නද්ධ වූ එම ශිල්පීන් වාදනය කළේ ද බයිලාය. රැස්ව සිටි සියගණනක් පෘතුගීසි ජනයා දෙස විමසිල්ලෙන් බලනවිට ඇස්වලින්, හිසකේ වර්ණයෙන්, සමේ පැහැයෙන් හා ශරීර පිහිටීමෙන් ඔවුන්ගේ රුධිරයේ ඇති යුරෝපීය සම්භවය හඳුනා ගැනීම අපහසු නැත.

එහෙත් කොළඹ තුම්මුල්ලේ ඩච් බර්ගර් යූනියන් ශාලාවේ නිතර ගැවසෙන ලන්දේසි සම්භවයක් සහිත බර්ගර්වරුන් මෙන් සැපවත් බවක් නම් දිස්වන්නේ නැත. ඒ සියවස් ගණනක් පුරා මඩකලපුවේ ගිනියම් අව්වත්, කර්කෂ වැල්ලත්, කරදිය සුළඟත් ඔවුන්ව පදම් කර ඇති බැවිනි. එසේම කම්මල්කරුවන් හා වඩුකාර්මිකයින් ලෙස පරම්පරා ගණනක් දිවි ගෙවන ඔවුන් එම දුෂ්කර වෘත්තීන්ගෙන් ම පදම් කර ඇති බැවිනි.

උත්සවයේ නිවේදන කටයුතු සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් සිදු කෙරුණු අතර ආරම්භක දේව යාඥාව සිදු කෙරුණේ දෙමළ බසිනි. ඊට හේතුව පෘතුගීසි ඔවුන්ගේ උරුම බස වුවද ඔවුන්ගේ ප්‍රධාන භාෂාව දෙමළ නිසාය. නත්තල් සංදර්ශනයේ වැඩිපුරම තිබුණේ ලාන්සර් (Lancer) සහ කපිරිඤ්ඤා (Kafringha) නැටුම්ය. ඒ නැටුම් දුටුවිට මට සිහිපත් වූයේ පැරැණි සිංහල චිත්‍රපටවල තිබූ බටහිර නැටුම්ය.

වැන්දඹුවන්ගේ නර්තනයක්

ඒවා කොපි කරන්නට ඇත්තේ ද ලන්සර් හා කපිරිඤ්ඤා නැටුම්වලින්ම විය යුතුය. පෘතුගීසි බර්ගර් තරුණ තරුණියන්ගේ එම නර්තනයන් දෙස බලනවිට වැටහෙන්නේ කිසියම් ශාස්ත්‍රීය හා සංස්කෘතික සංයමයකින් ඔවුන්ගේ අංග චලනයන් විනයානුකූලව හසුරුවා තිබෙන බවය. කෙසේ නමුත් එම නර්තනයන් ගැන එම ප්‍රජාවේම සාමාජිකාවක හා මඩකලපුව පෘතුගීසි බර්ගර් සංගමයේ හිටපු ලේකම්වරිය වන මි‍නෝන් බර්තලොව් කීවේ මෙවැන්නකි.

“හැබැයි අපේ වැඩිහිටියො මේ නැටුම් නටද්දි මීටත් වැඩිය වෙනසක් තියෙනවා. තරුණ පරම්පරාවේ නැටුම වෙනස්. මට හිතෙන්නෙ රූපවාහිනියේ දකින්න ලැබෙන නර්තන තරුණ පරම්පරාවට බලපානවා කියලයි. මේ නැටුම් අපේ ඔරිජිනල් නැටුම් වලින් ටිකක් ඈත් වෙලා කියලයි හිතෙන්නෙ.” ඇය සිය ප්‍රජාව තුළම කාලානුරූපව සිදුව තිබෙන වෙනස විස්තර කළේ එසේය.

සංස්කෘතික ප්‍රසංගයට ගායනයෙන් හා වාදනයෙන් සහාය දෙන සංගීත කණ්ඩායම වැඩහිටියන්ගෙන් මෙන්ම තරුණයින්ගෙන් ද සමන්විතය. තරුණයන් එකදිගට වේදිකාව මත රැඳී සිටි නමුත් වැඩිහිටියන් වරින්වර එකා දෙන්නා බැගින් නැගිට ඉවතට යනු දකින්නට ලැබිණි. සුළු මොහොතකින් ඔවුන් නැවත ප්‍රබෝධවත්ව වේදිකාවට පැමිණෙන්නේ තොලකට පිස දමමිනි.

“ඒවා එහෙම තමයි. අපේ පෘතුගීසි අය ඉස්සර ඉඳන් කන්න බොන්න ප්‍රසිද්ධ අ‍යනෙ. විශේෂයෙන් අපේ වැඩිහිටි අයට මේ වගේ අවස්ථාවකට අවශ්‍යමයි. ඒකයි ඔය නැගිට නැගිට යන්නෙ. හැබැයි තරුණ අයගෙන් ඒ සිරිත ඈත්වෙලා” මිනෝන් කීවාය. මඩකලපු පෘතුගීසි බර්ගර් සංගමයේ වර්තමාන ලේකම්වරයා වන්නේ අර්ල් බර්තලොට්ය.

ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම නත්තල් සමරුවේදී ප්‍රජාවේ වැන්දඹුවන් වෙනුවෙන් තෑගි පිරිනැමීම් ඇතුළු වැඩසටහන් කිහිපයක් සූදානම් කර තිබෙනු දැකිය හැකිවිය. අවසානයේ අර්ල් වැන්දඹුවන් වෙනුවෙන් නර්තන අවස්ථාවක් ද වෙන් කර තිබෙන බව කියා කැමති අයට වේදිකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

ලන්සර් නර්තනයක්

පෙර දැනුම් දීමකින් තොරව කළ මේ ආරාධනය ස්වේච්ඡාවෙන් පිළිගත් වයසක ආච්චි අම්මලා පිරිසක් වේදිකාවට පැමිණ බයිලා ගායනයට නර්තනයේ යෙදුණහ. වැන්දඹුවන්ට තිබූ මෙම විශේෂ සැලකිල්ල පිළිබඳව මා මුලින් සිතුවේ සුනාමියෙන් විනාශ වූ පවුල්වල වැන්දඹුවන් ඉලක්ක කර සිදු කරන්නක් ලෙසය. එහෙත් පසුව දැන ගන්නට ලැබුණේ වැන්දඹුවන්ට විශේෂයෙන් සැලකීම මේ පෘතුගීසි ප්‍රජාවේ පැරණි සම්ප්‍රදායක් බවය.

අරිසෙන් අහුබුදුවන් ලියූ එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කරන “පෘතුගීසිකාරයා” ගීතයේ සඳහන් පරිදි ඔවුන් අතීතයේ රටවල් අල්ලන්නට හපන් යුදකාමීන් විය. එසේම නව ලෝකය සොයා ගිය නාවිකයෝය. මේ සියලු කටයුතු මරණය සමඟ කරන ව්‍යායාමයක් විය. මේ නිසා පැරණි පෘතුගීසි සමාජයේ වැන්දඹුවන් බහුල විය. එය එකල සමාජ ගැටලුවක් බවට ද පත්ව තිබේ. වැන්දඹුවන් කෙරෙහි විශේෂ අවධානයක් එදා පෘතුගීසි සමාජය යොමු කර ඇත. අද දක්වා පවතින්නේ එම සම්ප්‍රදායයි.

නත්තල් සැමරුමේදී පැමිණ සිටි අයට සංග්‍රහ කළ කේක්, කට්ලට් වැනි ආහාර අතරේ ඔවුන්ටම ආවේණික ආහාරයක් ද විය. එය නමින් “ෆිප්රෝච්” ය. ගුලියක හැඩැති එය රසයෙන් ආප්පයක මැද කොටසට සමානය. පෙනුම තවදුරටත් විස්තර කරන්නේ නම් බෝල හැඩැති තිරිවානා ගලකට සමානය.“ෆිප්රෝච් හදන්නේ ආප්ප මිශ්‍රණයෙන්ම තමයි. ඉස්සර නම් මිශ්‍රණය පිපෙන්න රා දැම්මා. දැන් රා නැත්නම් යීස්ට් දානවා. ඔය මිශ්‍රණයෙන්ම ආප්පත් හදන්න පුළුවන්.”

මුලින්ම ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පෘතුගීසින් මෙරටට පැමිණි විට ස්වදේශික ජනයා ඔවුන්ව දුටුවේ තිරිවානා ගල් කමින් ලේ බොන පිරිසක් ලෙසය. ඒ ලේ රතු පැහැ මිදි වයින් බවත් තිරිවානා ගල් පාන් බවත් ජනප්‍රවාදයේ සඳහන්ය. එහෙත් දැන් මට හිතෙන්නේ ඒ පාන් නොව “ෆිප්රෝච්” බවය. නත්තල් සැමරුමට පැමිණ සිටි අයට බීමට දුන්නේ පැරැණි සම්ප්‍රදායට අනුව වයින්ය. එහෙත් රතු මිදි වයින් නොවේ. රතු මිදිවයින් හදන්නට මඩකලපුවේ මිදි නොමැත. එහෙත් මඩකලපුව පුරා සශ්‍රීක ලෙස පොල් වැවේ. එබැවින් දේශයට ගැළපෙන පරිදි සංග්‍රහ කළේ තැඹිලි වයින්ය.

මඩකලපුව පෘතුගීසි බර්ගර්වරුන්ගේ නත්තල් සැමරුමට සහභාගී වූ මට වැටහුණේ ඔවුන්ගේ සංස්කෘතියේ බොහෝ දේවල් අප නොදැනුවත්වම අපගේ සිංහල සංස්කෘතියට අවශෝෂණය වී ඇති බවය. එබැවින් ඒවායේ “ඔරිජිනල්” බව දැක ගන්නට ලැබීම ගැන මම සතුටු වූයෙමි. එසේම වසර කිහිපයක සිට මෙන්ම මෙවරත් එම ප්‍රජාවේ නත්තල් සැමරුමට ආරාධනා ලබන එකම සිංහල බෞද්ධයා මා වීම පිළිබඳව ද සතුටු වූයෙමි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: