Posted by: lrrp | December 23, 2014

පෘතුගීසි යුද කපිතාන්ගේ හිස සොරා ගත් මොරතොට රාල

දිවයිනේ මුහුදුබඩ පළාත ප්‍රධාන පහතරට තම පාලන ආධිපත්‍යය පතුරුවාලමින් පෘතුගීසින්, උඩරට රාජධානිය වෙත එල්ල කළ දරුණු ප්‍රහාරයනට එරෙහිව උඩරට රාජ්‍ය කළ II වැනි රාජසිංහ රජතුමා විසින් දියත්කරන ලද දැවැන්ත ප්‍රතිප්‍රහාර ඉදිරියේ ක්‍රෑර පෘතුගීසීහු සිය පාලන ප්‍රදේශ හැරදමා තම දිවි ආරක්ෂාව පතා කොළඹ කොටුව තුළ සැඟව ගත්හ.

“රහසිං දෙවිඳු” යන ගෞරව නාමයෙන් දිවයිනේ උඩ-පහත දෙරටේ වැසියන්ගේ ජනාදරයට පාත්‍රව සිටි II වැනි රාජසිංහ නිරිඳුන්ගේ චිත්තය තුළ අක් බඹරයක් ලෙසින් භ්‍රමණය වෙමින් තිබූ “ත්‍රී සිංහලාධිශ්වර” සිහිනය සාක්ෂාත් කර ගැනීමට ඍජු බාධාවක් වූ මෙම ආක්‍රමණික පෘතුගීසීන් දිවයිනෙන් පලවා හැරීමට හෝ සමූල ඝාතනය කිරීම සඳහා කොළඹ නගරය වට කොට සිංහල යුද සේනාංක කඳවුරු බැඳගන්නා ලදි.

උඩරට රාජධානියට අයත් සියලු දිසාවන්හි සිටි ප්‍රතිභාපූර්ණ රණ විරුවන්ගෙන් සැදුම්ලත් දැවැන්ත යුද සේනාංකයක් සමඟින් පැමිණි රාජසිංහ රජතුමා ද කොළඹ නගරයට නුදුරින් කැලණි ගං දකුණු ඉවුර මායිමේ පිහිටි රක්ගහවත්ත නම් උස් බිමේ තම ගමන් මාලිගාව සහිත කඳවුර බැදගන්නා ලදි.

සංග්‍රාමික යුදභ්‍යාස පිළිබඳ ප්‍රඥානුබද්ධ අවබෝධයකින් හෙබි රජතුමා යථාවකාශ පරිදි ක්‍රියාත්මක කළ චරපුරුෂ සේවාවෙන් ලද ‍තොරතුරු විශ්ලේෂණයෙන් පසුව තම උපාය ඥාන සැලසුම් ක්‍රියාත්මක කරන ලදි.

සටන් සංවිධානයේ හා රණ ශූරත්වයේ හසළ සටක්කරුවෙකු වූ එක් පෘතුගීසි කපිතාන්වරයෙකු පිළිබඳ ලද වාර්තා ප්‍රකාරව ඔහු විනාශ කිරීමෙන් ඉදිරියේ ඇතිවන සටනේ දී ලැබිය හැකි විශාල පහසුව හා ගැම්ම පසක් කරගත් කූඨ රාජතන්ත්‍රිකයෙකු වූ රාජසිංහ මිහිපල් තෙමේ සවිඤාඤාණ වූ සිතුවිල්ලෙන් යුතුව රාජකීය මෙවලම් (මෙම භාණ්ඩ හඳුනා නොමැත) ලෙසින් භාවිතා වූ දවුන්ඬයත්, පච්චලංසයත් කඳවුරේ ඇති පොල් ගසක බඳවා තමා සමඟින් එහි පැමිණ සිටි මහ සෙන් රැස්කර ඉහතින් සඳහන් පෘතුගීසි කපිතාන්ගේ හිස තමා වෙත රැගෙන එන්නෙකු උදෙසා තාන්නමාන, ගම්වර, අගනා ත්‍යාග මෙන්ම ඔහු නියෝජනය කරුණු ලබන දිසාවට රාජකීය අධිසම්මාන ලෙසින් එම රාජකීය මෙවලම් ද්ත්වය පිරිනමන බව ප්‍රකාශ කරන ලදි.

කොළඹ කොටු පවුර තුළ රඟන රණශූරයෙකුගේ හිස පිළිබඳ වූ එම ඉලක්කය පියවි සිහියෙන් සිතීමට පවා අපහසු අභියෝගාත්මක කාර්යක් වුවත් සතර කෝරළයට අයත් තුන්කෝරළ‍යේ පිහිටි මොරතොට ග්‍රාමයෙන් පැමිණ සිටි මොරතොට රාල නම් විරුවා එම අභියෝගය බාරගන්නා බවට රජතුමා අභියස සපථ විය.

තුන්කෝරළය උඩරට රාජධානියත් පහතරට පාලන ප්‍රදේශයත් අතරේ පහත රට රාජ්‍යට ඉතා ආසන්නයේ පිහිටීම හේතුවෙන් එහි පාලනය වරක උඩරට රජතුමාගෙන් තවත් වරක පහතරට පාලන අධිකාරියත් අතරේ දෝලනය වෙමින් තිබූ ප්‍රදේශයක් විය. මේ හේතුවෙන් තුන්කෝරළයේ ක්‍රියාකාරී වැසියන්ට මෙම බටහිර ජාතීන් ද කොළඹ ප්‍රදේශයේ ඇසුර ද නුහුරු නුපුරුදු වී නොමැත.

මගියෙකු, යාචකයෙකු, වෙළෙන්දෙකු හෝ වෙසින් කොළඹ නගරයේ හා කොටුව තුළ සැරිසරමින් කපිතාන්වරයා පිළිබඳ නිරීක්ෂණයෙන් පසුව මොරතොට රාල දවසේ හිරු සැඟවී ගිය පසු සුරාපානයෙන් මත්ව එම කපිතාන්වරයා සෑම දිනකම ඔහු ප්‍රියකළ එක් ස්ත්‍රියකගේ පහස පතා කොටුවෙන් පිට පිහිටි ඇගේ නිවසට යන බවත් මැදියම් රැයේ එම නිවසින් ඔහු පිටව යන බවටත් සහතික කර ගත්තේය.

එකල වැසි ආවරණය ලෙසින් භාවිතා කළ තල් අත්තක් තුළ සඟවාගත් කුඩා අසිපතක් ද සහිතව මොරතොට රාල එම කපිතාන්වරයා රාත්‍රියේ පැමිණෙන මාර්ගයේ අඳුරු අගුවක සැඟවී සිටියේය. මැදියම් රැයේ මධුවිතෙන් මත්වූ හිසින් ද, කාමභෝගී ප්‍රේමාලිංගනයෙන් හැනි හැම්ම වූ ගතින් ද යුතුව පැමිණෙන කපිතාන්වරයාගේ ගෙල පසුපසට වේතාලයෙකු ලෙසින් ආවේශ වූ මොරතොට රාල විසින් හෙළන ලද අසිපත් පහරින් වෙන්වී ගිය හිස ද කපිතාන් පැළඳි කංචුකයේ තිබූ නිල ලාංඡන ද ගලවාගත් මොරතොට රාල ඒ සියල්ල තල්පතේ සඟවාගෙන කැලණි නදිය තරණය කොට පැමිණ රහසිං දෙවිඳු වෙත බාරදෙන ලදි.

ප්‍රීති ප්‍රමෝදයට පත් නරනාථයන් මොරතොට රාල වෙත “දවුන්ඬසේකර මුදියන්සේ” යන ගෞරව නාමයෙන් ද ගම්වර හා ත්‍යාග පිරිනමමින් ඔහු නියෝජනය කළ සිවු කෝරළයට, දවුන්ඬයත් පච්චලංසයත් සම්මාන ලෙසින් පිරිනැමූ බවට සතර කෝරළයේ ඇති ජනකතා, ජනකවි ඇතුළත් ජනශ්‍රැති ඇසුරේ දී හා පහතින් ඇති පැරණි කාව්‍යයන්වල දී දැකිය හැක.

හරිඩේ කොටු කොළඹ රහසිං නරිඳු රයිගත් වත්තේ වැඩ සිට
දවුන්ඩේ සහ පච්චලංසේ එල්ලමින පොලේ තුරෙක එම විට
ගෙනෙන්ඩේ වදහලෙන කප්පිත්තාගේ තරමැ දැක්වූ අත් පිට
දවුන්ඩේ සහ පච්චලංසය ලැබුණි සිව් කෝරළේ මා නෙට

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: