Posted by: lrrp | December 23, 2014

ලංකාවේ රජ කෙනෙක් පෘතුගාලයේ හැදූ පල්ලිය

කොළඹ කොච්චිකඩේ ‍ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ මෑතකදී අභිනවයෙන් ඉදිකළ කෞතුකාගාරයේ නිර්මාණ කටයුතුවලදී උපදේශකත්වයෙන් සම්පත් දායකත්වය ලබාදුන් අය අතරින් මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරලත් වාස්තු විද්‍යාඥ සාගර ජයසිංහ ප්‍රමුඛයෙකි. එම කටයුත්තේ දී ඔහු වාස්තු විද්‍යාත්මක උපදේශකත්වය ලබාදුන්නා පමණක් නොව ශ්‍රී ලංකාව පු‍රා පැතිර ඇති සාන්ත අන්තෝනි මුනිතුමන් පිළිබඳ භක්තිය පිළිබඳව ගවේෂණයක ද නිරත විය. එම ගවේෂණයෙහි දිගුවක් ලෙස සාගර ජයසිංහ පෘතුගාලයේ ලිස්බන් නුවරට යන්නේ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ගේ උත්පත්තිය සිදුවූයේ පෘතුගාලයේ නිසා ය.

ස්වර්ග දොරටුවේ අප ස්වාමිදූගේ ප්‍රතිමාව

“මම කාලයකට පෙර ‍අහල තිබුණා සිංහල රජතුමෙකු හඳපු පල්ලියක් ලිස්බන් නුවර සමීපයේ තියෙනවාය කියලා. මහනුවර රජ කුමරෙකුවූ එතුමාට පෘතුගාලයේ හඳුන්වලා තිබුණේ කළු රාජකුමාරයා කියලයි. එහෙම හඳුන්වලා තියෙන්නෙ එතුමාගේ සමේ තිබුණු තද පැහැය නිසයි.” සාගර ජයසිංහ පවසන්නේ වසර තුන හතරකට පෙර සිදුවූ සිදුවීමක් පිළිබඳව ය.

නමුත් එම අවස්ථාවේදී ඔහුට සිංහල රාජකුමාරයා ඉඳිකළ පල්ලිය පිළිබඳව සොයා බැලීමට නොහැකි වෙයි.

“වැඩි කාලයක් මට පෘතුගාලයේ ඉන්න ලැබුණෙ නැහැ. මම ඉක්මනට ආපසු ලංකාවට ආවා” සාගර ජයසිංහ පවසයි.

එයින් ටික කලකට පසුව වරලත් වාස්තු විද්‍යාඥ සාගර ජයසිංහට පෘතුගාල රජයෙන් ශිෂ්‍යත්වයක් පිරිනැමෙයි. ඒ පෘතුගාලයේ දේවස්ථාන නිර්මාණ ශිල්පය පිළිබඳ පර්යේෂණයක නිරතවීම සඳහාය. පෘතුගාල රජයෙන් එවැනි ශිෂ්‍යත්වයක් ලැබූ ප්‍රථම ශ්‍ර‍ී ලාංකිකයා සාගර ජයසිංහය. ඔහු එම ශිෂ්‍යත්වය උපයෝගී කරගන්නේ ශ්‍රී ලංකාවේ මහනුවර රාජකුමාරයා ඉඳිකළ දේවස්ථානය පිළිබඳ සොයා බැලීමට ය.

“ලිස්බන් නුවරට සමීපයෙන් පිහිටි තෙල් හයිරන් කියන ප්‍රදේශයේ තමයි සිංහල රාජකුමාරයා හදපු පල්ලිය තියෙන්නෙ.” සාගර ජයසිංහ පවසන ලෙස එම දෙවි මැඳුර කැපකර ඇත්තේ “ස්වර්ග දොරටුවේ අප රාජිනිය” නමින් ය.

තෙල්හයිරන් සාරවත් මිදි වතුවලින් සපිරුණු ජීවත්වීමට ඉතාමත් සැපවත් ප්‍රදේශයකි. ස්වර්ග දොරටුවේ අප ර‍ාජනිය වෙනුවෙන් කැප කළ පෘතුගාලයේ එම දෙවි මැඳුර ඉඳිකළ කළු රාජකුමාරයා ‍Óදොන් ජාවෝ” ය.

ස්වර්ග දොරටුවේ අප ස්වාමිදූගේ දේවස්ථානය

පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට කන්ද උඩරට රාජ්‍ය කළේ ජයවීර වික්‍රමබාහු රජු ය. තම කනිෂ්ඨ පුතෙකුව රජ කිරීමට රජු සිතා සිටින බව දැනගත් වික්‍රමබාහු රජුගේ ජ්‍යෙෂ්ඨ බිසවකගේ පුත්‍රයකුවූ කරලියද්දේ බණ්ඩාර උඩරට රාජ්‍යත්වය බලහත්කාරයෙන් ලබාගත්තේ ය. තමන්ගේ ඥාතීන්ගෙන් තම රාජ්‍යත්වයට ඇතිවන තර්ජනය මඟ හරවා ගැනීමට කරලියද්දේ බණ්ඩාර ජුවාම් නමින් බෞතිස්ම ලබයි. එසේ ම ඔහුගේ මව දෝන මරියා නමින් ද සහෝදරිය දෝන මාර්ගරීතා යනුවෙන් ද බෞතීස්ම ලබති. නමුත් මායාදුන්නේ රජුගේ පුත්‍රයා වූ සීතාවක රාජසිංහයන්ගේ තර්ජනයෙන් ගැලවීමට කරලියද්දේ බණ්ඩාරට නොහැකිවෙයි.

සීතාවක රාජසිංහ කන්ද උඩරට ආක්‍රමණය කළ පසු රජ පවුලේ පිරිස බින්තැන්න ඔස්සේ ත්‍රිකුණාමලයට පලායෑමට පටන්‍ ගනිති. නමුත් ඔවුන්ට ත්‍රිකුණාමලයට පැමිණීමට නොහැකි වෙයි. මෙම පලායාමේදී රජ පවුලේ බොහෝ දෙනෙක් වස‍ූරිය රෝගයෙන් මියයති.‍ එම වසංගතයෙන් බේරෙන්නේ ඔහුගේ දියණිය වූ දෝන කතරිනා සහ කරලියද්දේ බණ්ඩාරගේ ඥාති පුතෙකු වූ යමසිංහ බණ්ඩාර පමණ ය‍. යමසිංහ බණ්ඩාර කොළඹට පැමිණි පසු පෘතුගීසීන් ඔහුට අධ්‍යාපනය ලබාදීමට ගෝවට යවයි. එහිදී අධ්‍යාපනය ලබන ඔහු දොන් පිලිප් යනුවෙන් කිතුනුවෙකු බවට පත්වෙයි. කලක් ගෝවේ ගතකර සිරිලකට පැමිණෙන ඔහු උඩරට රජු වශයෙන් දවස් කීපයක් රජකම්කර මිය යයි. ඔහුගේ හමුදාපති ව‍ූ කොනප්පු බණ්ඩාර හෙවත් දොන් ජෝන්, පළමුවන විමලධර්මසූරිය නමින් කන්ද උඩරට රජු බවට පත්විය.

කළු රජ කුමරු – දොන් ජාවෝ

කොනප්පු බණ්ඩාර, පළමුවන විමලධර්මසූරිය යනුවෙන් කන්ද උඩරට රජවූයේ එවකට සිංහාසනාරූඩව සිටි දොන් ජාවෝ නැමැති දොළොස් හැවිරිදි කුමරු නෙරපා හැරීය.

දොන් ජාවෝ යනු දොන් පිලිප් යනුවෙන් බෞතිස්ම ලැබූ යමසිංහ කුමරුගේ පුත්‍රයා ය.

දොන් ජාවෝ කුමරු මන්නාරමට යවනු ලදුව ෆ්‍රැන්සිස්කන් පූජා ප්‍රසාදිවරුන් විසින් රැකගනු ලබයි. පසුව ඔහු කොළඹට පැමිණ ශාන්ත අන්තෝනි ෆ්‍රැන්සිස්කානු විදුහලේ වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ ය. පසුව පෘතුගීසීන් දොන් ජාවෝ කුමරු ගෝවේ නුවර ෆ්‍රැන්සිස්තානු නිකායේ විදුහලක අධ්‍යාපනය ලබාදෙයි. එහිදී ඔහු ‍ෆ්‍රැන්සිස්කානු නිකායේ පූජකවරයකු වශයෙන් පූජාත්වරය ලබමින් පූජකවරයා ලැබූ ප්‍රථම ලාංකික රාජකීයයා වශයෙන් ඉතිහාසයට එක්විය.

පළමු වැනි රාජසිංහයන් මියය‍ෑමෙන් පසු නිකපිටියේ බණ්ඩාරයන්ට රාජ්‍ය උරුමය තිබුණත් පෘතුගීසීන් ඔහු දොන් පිලිප් යනුවෙන් ක්‍රිස්තියානිකර වැඩිදුර අධ්‍යාපනය සඳහා ලිස්බන් නුවරට යවනු ලැබීය.

දොන් ජාවෝ සහ දොන් පිලිප් ලිස්බන් නුවර ජීවත්වන අතර පෘතුගීසීන් ඔවුන් දෙදෙනා යුරෝපයේ ඇති පැරැණිම විශ්ව විද්‍යාලයක් ව‍ූ ක්වීන්බ්‍රා විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට කටයුතු සංවිධානය කරයි‍. එහිදී දොන් ජාවෝ ඉල්ලා සිටින්නේ තමන්ට ලිස්බන් නුවරම නතර වීමට අවසර දෙන ලෙසය. දොන් පිලිප් ක්වීන්බ්‍රා විශ්ව විද්‍යාලයට ඇතුළුවිය. බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ ප්‍රථම සිංහලයා වූයේ දොන් පිලිප් ය.

වරලත් වාස්තු විද්‍යාඥ සාගර ජයසිංහ

මහනුවර රජකම දැරූ දොන් ජාවෝට ලිස්බන් නුවර සිටියදී පෘතුගාල රජයෙන් විශාල පාරිතෝෂික මුදලක් ගෙවනු ලැබීය. ඔහු එම මුදලින් ලිස්බන් නුවර‍ට නුදුරින් පිහිටි ටෙල්හයිරන් ගම්මානයේ විශාල ඉඩමක් මිලයට ගෙන එහි ෆ්‍රැන්සිස්කානු නිකායට අයත් තාපසාරාමයක් සහ දෙවි මැඳුරක් ඉඳිකරනු ලැබීය.

“ඒ පල්ලිය කැප කළේ ස්වර්ග දොරටුවේ අප රාජණීය වෙනුවෙන්. දොන් පීටර් පියතුමා කියන්නෙ ස්වර්ග දොරටු‍වේ අප රාජණීය වෙනුවෙන් කැප කළ පල්ලිය ඒකය කියලයි. ඒ පල්ලියේ තියෙන සටහන් අනුව කළු තරුණ කුමාරයා ඒ පල්ලිය හදල තියෙන්නෙ 1625 දීයි” යැයි කළු තරුණ කුමාරයා හෙවත් දොන් ජාවෝ පියතුමා ඉඳිකළ දේවස්ථානය පිළිබඳ සුවිශේෂ ගවේෂණයක් සිදුකළ සාගර ජයසිංහ මහතා පවසයි.

මේ දේවස්ථානයහි ස්ථාපිතකර ඇති ස්වර්ග දොරටුවේ අප ස්වාමිදූගේ ආශිර්වාදලත් ප්‍රතිමාවක් ද ඇත්තේ ය.

“එක අතකින් ජේසු බබාව වඩාගෙන ඉන්න දේවම‍ෑණියන්ගේ ප්‍රතිමාවක් එය. එම දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙ අනිත් අතේ පුංචි රිදී යතුරක් තියෙනවා. අතීතයේ ඉඳලම ලිස්බන් නුවර මිනිස්සු විශ්වාස කරන්නෙ ඒක තමයි ස්වර්ග දොරටුවේ යතුර කියලා. අදත් ඒ අවට ඉන්න මිනිස්සු කවුරු හරි ලෙඩෙකු අසාධ්‍යව සිටියදී අර දේවමෑණියන්ගේ ප්‍රතිමාවෙ අතේ තියෙන රිදී යතුර ගෙනැල්ල ටික වෙලාවක්

දේවස්ථානය ඇතුළත

අර අසාධ්‍ය ලෙඩා‍ෙග අතේ තියනවා. ඒ පැත්තෙ මිනිස්සු විශ්වාස කරනවා අර ලෙඩා මැරුණාම ඔහුට අනිවාර්යයෙන් ස්වර්ගයේ දොරටුව විවෘත වෙනවාය කියලා” වාස්තු විද්‍යාඥ සාගර ජයසිංහ පවසන්නේ දොන් ජාවෝ හෙවත් කළු තරුණ කුමාරයා ඉඳිකළ දේවස්ථානය ඇති ස්වර්ග දොරටුවේ අප ස්වාමීදූගේ ප්‍රතිමාව පිළිබඳ අතීතයේ සිට පැවත එන විශ්වාසයන් පිළිබඳවය.

ළමා අවදියේ කන්ද උඩරට ‍රජකම දින කීපයක් දැරූ දොන් ජාවෝ හෙවත් පෘතුගීසීන්ගේ හැඳින්වීම අනුව කළු තරුණ කුමාරයා වසර හැට හතරක් ආයු වළඳා 1642 අප්‍රියෙල් පළමුවන දින මිය ගියේ ය.

ඔහුගේ ඉල්ලීම පරිදි ඔහුගේ දේහය ඔහු ඉඳිකළ ස්වර්ග දොරටුවේ අප ස්වාමීදූගේ දෙවි මැඳුර අභ්‍යන්තර භූමියේ මිහිදන් කරන ලදී‍.

වරලත් වාස්තු විද්‍යාඥ සාගර ජයසිංහ ලිස්බන් නුවර අපේ රජකුමරකු ඉඳිකළ මේ දෙවි මැදුර පිළිබඳ පර්යේෂණ තොරතුරු ඇතුළත් ‘The Black Prince’s Chapel’ නමැති කෘතිය වි‍ජිතයාපා ප්‍රකාශනයක් ලෙස ඉදිරියේදී නිකුත්වීමට නියමිත ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: