Posted by: lrrp | January 3, 2015

“පත්තිරිප්පුව” නිර්මාණයේ මහා මොළකරු වූ උනම්බුවේ දිසාව

උඩරට රාජධානියේ අවසන් කාර්තුව ගෙවන මොහොතේ ලේ පිපාසිත රුදුරු විලෝපිතයකු ලෙසින් රාජ්‍ය පාලනය මෙහෙයවූ ශ්‍රී වික්‍රම රාජසිංහ නිරිඳුන්ගේ හදගැබ අභ්‍යන්තරයේ සෞන්දර්යාත්මක කලා රස සොයා යන සුන්දර සුධීමතකු ද සැඟව සිටි බවේ මංසලකුණු ලෙසට එම අවසන් හෝරාවේ එතුමා විසින් නිර්මාණය කර ඇති “මහනුවර වැව” හා මාලිගා චතුරශ්‍රය ඉදිරි පසින් පිහිටා ඇති “පත්තිරිප්පුව” සාක්ෂි දරයි.

රාජධානියේ විසූ වාස්තු විද්‍යාවේත්, ඉදිකිරීම ක්ෂේත්‍රය පිළිබඳ විශාරද දැනුමැති නිර්මාණකරුවන් කැඳවා තම චිත්ත අභ්‍යන්තරය තුළ ඇදි මනෝ චිත්‍රය වූ මෙම “දැකුම් මණ්ඩපය” මාලිගාව ඉදිරිපසින් ඉදිවිය යුතු ස්ථානය හා එය නිර්මාණය විය යුතු ආකාරය රජතුමා විසින් විග්‍රහ කරන ලදි.

ඉතාමත් අර්බුදකාරී දේශපාලන හා සමාජ පරිසරයක් පැවැති සමයේ මෙවැනි කාර්යයක් උදෙසා පොදු ජනතාව වෙත පැවරෙන වෙහෙසකර වූ යෝධ වගකීම් මෙන්ම මෙම මණ්ඩපය ඉදිකිරීමට නියෝග ලැබූ ස්ථානයේ දළදා මාලිගාවේ මුල්තැන්ගේ පිහිටා තිබීම ආදී කාරණා හේතුවෙන් එම කාර්ය පිළිබඳ රාජ සභාවේ ද ජනතාව අතරේ ද විරෝධතා ඇතිවුවද රජතුමාගේ එම විධානය නිෂේධ කිරීමට තරම් ශක්තියක් එවන් බලවේග වෙත නොවීය.

ප්‍රතිභා සම්පන්න කලා ශිල්පීන් වෙතින් ඉදිරිපත් වූ මෙම දැකුම් මණ්ඩපය සඳහා වූ ආකෘතීන් අතරින් “උනම්බුවේ දිසාව” විසින් කෙසෙල් පතුරු උපයෝගී කර ගනිමින් සකසා තිබූ විචිත්‍රවත් ආකෘතියට රජතුමා ප්‍රමුඛ රාජ සභාවේ ලැබුණේ ඉහළම පිළිගැනීමකි.

අද වෙහෙර විහාර හා බෞද්ධ මන්දිර හැඳින්වීමේ “සංකේතය” ලෙසට භාවිත වන ශ්‍රී දළදා මාලිගා සංකීර්ණයට අයත් “පත්තිරිප්පුව” ගොඩනැඟීමේ හා ඉදිකිරීමේ පූර්ණ අධීක්ෂණ කටයුතු ද පැවැරී ඇත්තේ උනම්බුවේ දිසාපති තුමා වෙතය. දේවේන්ද්‍රා මූලාචාරි ප්‍රධාන නිර්මාණ ශිල්පීන්ගේ විස්මිත කෞශල්‍යය තුළින් බිහිවී ඇති මේ අපූරු නිර්මාණය රජතුමා අපේක්ෂා කළාටත් වඩා විශිෂ්ට ලෙස නිම කිරීම පිළිබඳ උනම්බුවේ දිසාව වෙත රාජප්‍රසාද වශයෙන් තනි රනින් නිම කරන ලද දම්වැලක් ද ඌව ප්‍රදේශයෙන් වටිනා ගම්වරයක් සහිත සන්නසක් ද ප්‍රශස්ති කාව්‍යයෙන් ද ඔහුගේ එම සේවාව රජතුමා අගයා ඇත. එම අවස්ථාවට එක්වී ඇති ගලගොඩ දිසාවේ වශීකෘත වූ මනසින් යුතුව උනම්බුවේ දිසාව වනවා ඇත්තේ මෙලෙසේය.

උනම්බුවේ නම්බුකාර
වීරයෙක් ය හරි උදාර
කොයි වැඩටත් බාර දූර
ගජ සමතෙකි සූර වීර

ක්‍රි. ව. 1232 වසරේ දඹදෙණි රාජධානිය ආරම්භ කළ තුන්වන විජයබාහු රාජ්‍ය සමයේ උත්තර භාරතයේ සිට පැමිණි වංශවත් බ්‍රහ්මණවංශික පරපුරු පුරාණයකින් පැවත එන උනම්බුවේ ක්ෂත්‍රීන්ගේ නිජ භූමිය වී ඇත්තේ උඩ පළාතේ ගඟ ඉහළ කෝරළයේ පිහිටි උපනම්බුවේ ග්‍රාමයයි.

රූප ශෝභාවයෙන් අග තැන්පත් දේහ සම්පත්තියක් උපතින්ම උරුමකොට ගත් උනම්බුව පෙළපතේ ක්ෂත්‍රීයන් නැණ – නුවණින් ද රාජපාක්ෂිත භාවයෙන් ද ධර්මනුකූල ගුණධර්මයෙන් ද යුතුව රාජ්‍ය සේවයේ නියැළී, රාජකීයන් හා සමඟින් ආවාහ – විවාහ හා එවන් සම්භාව්‍ය වූ සමීප සබඳතා පවත්වා ඇති ප්‍රභු පරපුරක් ලෙසට ජනකතා ඇසුරේදී හමු වේ.

උඩරට රාජධානියේ අවසන් සිංහල නරේන්ද්‍රයා වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ නායක්කාර් වංශික අගමෙහෙසියට රජතුමාට දාව දරුවන් නොසිටියත්, පංචකල්‍යානියක් බඳු වූ රූමතියක් වූ රජතුමාගේ දෙවැනි බිසව වූ “උනම්බුවේ දුක්ගන්නා දේවියට” රජතුමාට දාව උපන් “උනම්බුවේ වාසල බණ්ඩාර” කුමරුට උරුම වූ “උඩරට සිහසුන” අග මෙහෙසියගේ හා ඇතැම් උඩරට ප්‍රභූවරුන්ගේ කුමන්ත්‍රණයෙන් අග මෙහෙසියගේ නායක්කාර වංශික සොහොයුරාට හිමි විය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය පාලන සමයේ උඩ පළාත හා දේවමැදි පත්තුවේ දිසාපති තනතුර දැරූ උනම්බුවේ දිසාව ඇහැලේපොළ අදිකාරම්ගෙන් පසුව දෙවැනි අදිකාරම් ධූරයෙන් පිදුම් ලබා ඇත. රාජකීය විනිශ්චය මණ්ඩලය නියෝජනය කළ ‍ෙමම රදළවරයා අතිශයින් සත්‍යගරුකව එම කටයුත්තේ නිරත වූ බව ද තුරුණු වියේ පසු වූ රජතුමා මත්පැන් භාවිතයෙන් වළක්වාලන ලෙසට පිළිමතලාවේ අදිකාරම් තුමාගෙන් ප්‍රසිද්ධියේ ආයාචනා කර ඇති ධාර්මිෂ්ට සුචරිතවාදියකු වූ මෙම ප්‍රභූවරයා හා බැඳි වෘත්තාන්ත රාශියක් උඩරට ප්‍රදේශයේදී හමුවන ජනශ්‍රැති ඇසුරේ දී හමු වේ.

උනම්බුවේ පරපුරේ වනිතාවන්ට උපතින්ම උරුම වී ඇති නයනභිරමණීය වූ රූප ස්වභාවයෙන් පිරිපුන් උනම්බුවේ දිසාවගේ දියණිය, දිසාවේට මහත් සංතාපයක් වී ඇත. ඇය උඩරට සිසාරා පතළ වී ඇත්තේ සිහි විසඥව ඇද වැටෙන අදෘශ්‍යමාන රෝගයකින් පෙළෙන තැනැත්තියක් ලෙසය. තම දියණියගේ මෙම රෝගය සුව කිරීමට දිසාවේ නොගත් උත්සාහයක් නොමැති විය.

දිනක් යම් කාර්යයක් සඳහා උනම්බුවේ වලව්වට වැඩිය කුංකුනාවේ නා හිමි මෙම යුවතියගේ රෝගී තත්ත්වය පිළිබඳ අසා කම්පා හදින් යුතුව ඇගේ වේලාපත්කඩය රැගෙන ගොස් ඇත. ජ්‍යොතිෂය, නක්ෂත්‍රය, තත්කාල ශාස්ත්‍රය ආදි විෂයන් පිළිබඳ විශාරද දැනුමක් ඇති කුංකුනාවේ හිමි කළ කේන්ද්‍ර පරීක්ෂාව අනුව ඇයට එවැනි රෝගයක් කිසි ලෙසකින් හෝ තිබිය නොහැකි බව වටහා ගෙන බලගතු බාහිර බලපෑමකට ඈ නතුවී ඇති බව පසක් කරගනිමින් වස් – දොස්, හදි – හූනියම්, අණවින – කොඩිවින, ඇස්වහ – කටවහ ආදි දශ අනූවක් අපල උපද්‍රව වළකාලමින් සත් වරුවක් පුරා ජප කර ඝණ පිහිටුවන ලද කොරල් ඇට අමුණා සකසන ලද අගස්ති මාලයක් දිසාපති දියණියට දී සැම විටම එම මාලය පැලඳ සිටින ලෙසට අවවාද දී ඇත.

එම වකවානුව වන විට දශක හතක් පුරා නායක්කාර වංශික රජවරුන් හතර දෙනෙකුගේ පාලනයට නතු වී තිබූ උඩරට රාජ්‍ය පාලන ව්‍යුහයේ රජතුමාගේ දකුණු ඉන්දීය ඥාතීන් දැවැන්ත ස්ථාවරයක් සවිකරගෙන තිබුණි. භාර‍තයේ ප්‍රබල වෛද්‍ය ශාස්ත්‍රයේ මෙන්ම ජ්‍යොතිෂය නක්ෂත්‍රය හා යන්ත්‍ර – මන්ත්‍ර හි පරසිදු එක් වඩුගයෙකු ගතකර ඇත්තේ අභිරහස් පාපිෂ්ට ජීවිතයකි. අතෘප්තිමත් කාමතුර ස්ත්‍රී ධූර්තයෙකු වූ ඔහු තම නෙත ගැටෙන, සිත වැටුණු රුවැත්තියක් ඇත්නම් තම වශී බන්ධන මඟින් හෝ හදි හූනියම් මඟින් හෝ තමන් වෙත කැඳවා තම සිතැඟි ඉටුකර ගැනීම ඔහුගේ සිරිත විය.

දෙව්ලොව සිරි ගනිමින් සෙංකඩගල පුරවරය එදින ඔකඳ වී ඇත්තේ මාලිගා සංකීර්ණය අභියස අභිනවයෙන් ඉදිකළ “පත්තිරිප්පුව” රජතුමා විසින් සුබ නැකතින් ගෙවදීමේ මංගල්‍ය හේතුවෙනි.

මෙම ව්‍යාපෘතියේ දැවැන්ත මෙහෙවරක් ඉටුකළ උනම්බුවේ දිසාව වෙත රජතුමා ත්‍යාග පිරිනැමීමට සූදානම් වෙන මොහොතේ දිසාව සමඟින් පැමිණි සිටි දියණියගේ ගෙල පැලඳි අගස්ති මාලයේ ඇති කොරල් ඇට “පට… පට… පටස්” ලෙසින් මහ හඬ නඟමින් පුපුරා විසිර යන මොහොතේ එහි සිටි සියල්ල සංත්‍රාසයට පත්කරමින් රජතුමාගේ වඬුග ඥාතීන් අතරේ අසුන්ගෙන සිටි ඉහත සඳහන් අසංවර වඩුග මංත්‍රාචාරියාගේ මුඛය හා දිව පුපුරා පැළී නහයෙන් කටින් උණු ලේ වගුරුවාලමින් ඔහු මැරී වැටී ඇත.

උනම්බුවේ කුමරියගේ නයන කාන්ති වූ රූපශ්‍රීයාවට ලොබ බැඳගත් මෙම සාහසිකයා ඇය රෝගී කරවා හෝ පිළිසරණ පතා තමන් වෙත කැඳවා ඇගේ පහස විඳීමේ දුෂ්ට අභිලාෂයෙන් ඈ ගැවසෙන උත්සව ආදිය වෙත ගොස් ඔහු සතුව තිබූ “කාලම්” සැරයක් එම අහිංසකාවිය වෙත විඳ ඇය සිහි විසඥව ඇද වැටුණු කල ඈ බලගතු රෝගාබාධයකින් පෙළෙන බව ප්‍රසිද්ධ කර ඇත. එදින ද ඔහු වෙනදා විලසින් සුපුරුදු කාලම් සැර ඈ වෙත විදින විට ඈ පැලඳ සිටි බලගතු වූ අඳුනකින් ජපකර ජීවන් කළ ආරක්ෂක බල පිහිටුවා තිබූ කොරල් ඇට සහිත අගස්ති මාලය විසින් එම කාලම් සැරය කපා හැරි මොහොතේ මාලයේ තිබූ කොරල් ඇට පුපුරාලමින් එම කාලම් සැර තවත් පණ පිහිටුවමින් එවූ තැනැත්තා වෙතට ආපසු හැරී ගොස් ඇත.

නොබෝ දිනකින් මාතලේ ප්‍රදේශයේ විසූ ප්‍රභූවරයකු වූ නුගපිටියේ මහ නිලමේගේ පුතණුවන් හා සමඟින් එම උනම්බුවේ දියණිය සරණ ගොස් ඇත.

පත්තිරිප්පුව සැදීමේ වෙහෙසකර කාර්යෙන් විඩාවට පත්ව සිටි උනම්බුවේ දිසා නිලමේ සමඟින් තම ඥාතිවරයාගේ මරණය සම්බන්ධව වෛර බැඳගත් වඩුගයන් විසින් කරන ලද හදි – හූනියම් හේතුවෙන් උනම්බුවේ දිසා නිලමේ අංශභාග රෝගය වැලඳී සුළු කාලයකින් මියගිය බවත් ජනශ්‍රැති අතරේ කියවේ.

(මහනුවර අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභිග රංගිරි දඹුලු හා කොන්ඩදෙණිය රජමහා විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය මඩුගල්ලේ ශ්‍රී ධීරානන්ද නාහිමිපාණන් විසින් උන්වහන්සේ වැඩ විසූ අස්ගිරි මහා විහාරයේ මඩුගල්ලේ පන්සලේ හිදී ලිපියේ සඳහන් ජනශ්‍රැති තොරතුරු මා සමඟින් පවසන ලද බව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: