Posted by: lrrp | January 3, 2015

පන් කොළ අතලේ දිය රැන්දු උල්ලඳුපිටියේ දඬු හපී

උඩරට රාජධානියේ රාජ්‍ය කළ රාජාධි රාජසිංහ නර දෙවිඳුන් කාලීනව දිවයිනේ විසූ පඬුවන් අතරේ බැබළුණු බහුශ්‍රැත සාහිත්‍යධරයකු මෙන්ම සියලු විෂය පිළිබඳ විශාද ඥානයකින් හෙබි හා යුද අපි පරිහරණයේදී ද අග්‍රේසර සටන් ශූරයෙකි. අස්ගිරි – මල්වතු මහා විහාරයන්හි වැඩ විසූ යටවත්තේ හා කොබ්බෑකඩුවේ යන ශාස්තෘවර නා හිමිවරුන් සෙවණේ අක්ෂරභ්‍යාස ලබා එම සිල්වත් සමාගම ඇසුරේ තම චරියා හසුරුවා ඇති රාජාධි රාජසිංහ රජතුමා සැබැවින්ම දැහැමි රාජ්‍ය පාලකයෙක් විය.

මේ රාජ්‍ය පාලන සමයේ දිවයිනේ විසූ විවිධ විෂය පරාස ඔස්සේ සමත්කම් පාමින් යශෝකීර්තිය පතුරුවා සිටි සුධීමතුන් වෙත රජතුමා ගෙන් ලැබුණේ ඉහළම රාජ්‍ය අනුග්‍රහයකි. බක්මස උදාවත් සමඟින් දෙව් ලොව සිරි ගනිමින් හැඩවන රාජ මාලිගා චතුරස්‍රය ප්‍රධාන සෙංකඩගල පුරවරයේ පවත්වනු ලබන වාර්ෂික බක්මහ සැණකෙළි සංදර්ශනය රටවැසි ලොකු කුඩා සියල්ලට ගෙන එනු ලබනුයේ අතිමහත් ආස්වාදජනක අවස්ථාවක්ය.

හතර පෙරුවේ නෑදැයන් සමඟින් අග නගරය වෙත රොක් වන රටවැසියෝ මහ වාසලින් පිරිනැමෙන රස මසවුළුන් සපිරි ආහාරපාන ආදියෙන් සංග්‍රහ ලබමින් නගරයේ පවත්වන ලබන ජන ක්‍රීඩා, නැටුම්-ගැයුම් ආදියට සහභාගි වෙමින් එම සැණකෙළියේ උත්තේජනවත් අංගයන් වන සරඹ සංදර්ශන හා විශේෂාංග ප්‍රදර්ශනය නැරැඹීමට හා සහභාගිවීම උදෙසා ක්‍රීඩා මණ්ඩප වට රොද බැ‍ඳෙන්නට වුහ.

එම උත්සවයේ අවසන් අංගය ලෙසට තිබූ නව නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් තම විස්කම් සහිතව පැමිණි නිර්මාණකරුවන් අතරේ සාමාන්‍යයෙන් එකල විසූ ස්ත්‍රීන්ට වඩා උස් දේහධාරී මෙන්ම නාරි ලාලිත්‍යයෙන් පිරිපුන් කාන්තාවක් සුදු පිරුවටින් වසා තම හිස මතින් රැගෙන එන දැකුම් පෙට්ටියක් කෙරෙහි කාගේත් අවධානය යොමුවන මොහොතේ එම දසුනින් ක්‍රෝධයෙන් මුසපත් වූ රජතුමා කෝපාවිෂ්ටව ගැහෙන්නට විය. රාජාධි රාජසිංහ නරපතිතුමන් කිසි දිනක රටවැසි කිසියම් අයකු ගෙන් තුටු පඬුරු, පත්කුඩම් හෝ දැකුම් රැගෙන නොමැත. තම කීර්තිමත් රාජ අභිමානයට සමච්චල් කරමින් ඈ දක්වන ලද එම ගසගරේතු අභියෝගය හමුවේ රජතුමා තම අධරොෂඨ සපමින් ඇය රාජ සභාව ඉදිරියට රැගෙන එන ලෙසට රාජ පුරුෂයන්ට නියෝග කරන ලදී.

එහි රෝකවී සිටි මහ පිරිස් මෙම අනපේක්ෂිතව ඇති වූ රාජ උදහසින් අකර්මණ්‍ය වූ දණහිස් – දෙපා සහිතව බිම වාඩිවී දෑස් දල්වා එම දසුන දෙස බලා සිටිනට වූහ. රාජ අණ හේතුවෙන් විසඥතාවයට පත් ඕ තොමෝ තම හිස මත ඇති භාජනය රජතුමා අභියස තබා දොහොත් මුදුන් දී වැඳ වැටෙමින් මහ වාසල කරුණාව ඇයද ගැහෙන්නට වූවාය. භාජනය වසා ඇති සුදු පිරුවට ඉවත් කරන ලද රාජ පුරුෂයන්ට දක්නට ලැබුණේ පලා පෙති, ලියවැල් අනුසාරය ගත් විචිත්‍රවත් රටා ඇතුළත්ව පන් කොළ භාවිත කරගනිමින් ගොතා නිර්මාණය කරන ලද අලංකෘත අතලයකි. (කළයකි) හොඳින් වසා තිබූ කළයේ කට මූණතේ ඇති පියන් පත හැර දැමු ඔවුන්ට දැකගත හැකි වූයේ කට මට්ටම දක්වා සිසිල් ජලයෙන් එම පන් කොළ කළය පිරි ඇති විස්මිත දසුනය.

ප්‍රඥාවන්ත කලා රසකාමියකු වූ රජතුමා ඇගේ සියුමැලි දෑතේ සිහින් දිගැති ඇඟිලි තුඩින් නිම වී ඇති මෙම විශිෂ්ට හස්ත නිර්මාණය දෙස විමසුන් දෙනෙතින් යුතුව විශ්ලේෂණය කරමින් එම අතලයේ පිටත දෑතින් පිරිමැද දිය කාන්දු ඇත්දැයි පරීක්ෂා කරන ලෙසින් තම ඇමැතිවරයකුට පවරන ලදී. ජලය පුරවන ලද මැටි කළයක පිටතටත් වඩා වියළි ස්වභාවයක් ගත් මෙම පන්කොළ නිර්මාණය හා ඈ පිළිබඳ තතු විමසීමේ දී…

උඩරට රාජධානියේ පස් රටට ඇතුළත් ඓතිහාසික හාරිස්පත්තුවේ පිහිටි රන්, රිදී, ලෝහ හා ලී කැටයම් හා ආදි කලා කටයුතු පිළිබඳ බැඳි කීර්තිමත් පරපුර පුරාණයකට හිමිකම් ඇති උල්ලඳුපිටිය ග්‍රාමයේ විසූ එක් කලා පවුලකට අයත් වූ හපී නම් වූ ඈ උපතින්ම ලද උස් දේහය හේතුවෙන් “දඬු හපී” නමින් ප්‍රකට වී සිට ඇත. උපන් දා සිට ගම්මානය සිසාරා ගලා ගිය විවිධ කලා කෞෂල්‍යයෙන් පරිණත ශිල්පීන් ඇසුරේ නෙත ගැටෙන, අත ගැසෙන එම කලා නැඹුරුවේ කැපී ඔප මට්ටම් වී ඇති එම ගෘහණියන්ගේ ප්‍රියතම හස්ත කර්මාන්තය ලෙසින් දෑතේ නිරතුරුව රැඳි ජලාශ්‍රිතව පඳුරු සහිතව වැවෙන පන්, වැටකෙයියා, තුන්හිරියා වැනි ශාකයන්හි පත්‍ර (කොළ) උපයෝගී කරගනිමින් විසිතුරු රටා සහිතව නිර්මාණය වූ විශිෂ්ට ගණයේ රටා පැදුරු, වට්ටි, පෙට්ටි හා එවැනි භාණ්ඩ නිර්මාණ ඥාන පරාසය තුළ මෙම අංකුර කලා නිර්මාණ ශිල්පිනියගේ චිත්ත අභ්‍යන්තරයේ ඇඳි මනෝ චිත්‍රය ඇගේ සියුමැලි දෑතින් නිර්මාණය වී එදින රජ දැක්ම උදෙසා මෙලෙස ඉදිරිපත් වී ඇත.

මහින්දාගමනය සමඟින් මෙහි පැමිණි ශිල්ප දහ අටකට අයත් සම්භාව්‍ය වූ විදග්ධයන් දිවයින පුරා විසිර යමින් ඇති කරන ලද මෙවැනි සෞන්දර්යාත්මක කර්මාන්ත අද දවසේ ද උඩරට පුරාණ ගම්මාන අතරේ සක්‍රීයව පැවතීම ජාතිය ලද වාසනාවකි.

ඉපැරැණි කලා කටයුතු හා බැඳි පරවේනික උරුමකම් ඇති උල්ලඳුපිටිය ග්‍රාමය ගෘහ අත්කම් භාණ්ඩ නිර්මාණය උදෙසා ප්‍රදේශයේ ලබා ඇත්තේ විශේෂිත ස්ථානයකි. අද සෑම සමාජ තලයකම “ටෙඩී බෙයාර්” ලෙසින් ඉමහත් ජනප්‍රියව ඇති පුලුන් පුරවා සත්ත්ව රූප අනුසාරය ගත් “බෝනික්කන්” නිෂ්පාදනයේ නිජ භූමිය මෙම ගම්මානයේ කලාකාමී ගෘහණියන්ගේ දිළිඳු පියස්තුළයයි දැන් මට සිතේ. එම ගෘහණියන්ගේ දෑතින් එදා දොරින් දොර සාරසුභාවට නිමවූ එවැනි දේශීය නිෂ්පාදන දහරාවන්ට ඉහළින් කණකොකා හඬා ගිය 80 දශකයේ ආරම්භයත් සමඟින් ඇතිවූ විවෘත ආර්ථිකය හේතුවෙන් අභාවයට පත් මෙම දේශීය ගෘහ අත්කම් භාණ්ඩ නිෂ්පාදන සඳහා එදා පැවැතියේ ඉහළම ලන්සුවකි.

මෙම ලිපියේ ඇතුළත් ජනශ්‍රැති තොරතුරු මට ලබා දුන් හාරිස්පත්තුවේ, උල්ලුඳුපිටියේ මුදළි නිවසේ විසූ ආර්. ඇම්. ටිකිරි බණ්ඩාර නිලම තුමන් ගෞරවයෙන් සිහිපත් කරමි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: