Posted by: lrrp | January 3, 2015

සිහළ උරුමය උදෙසා සිය දිවි පුද කළ මීගස්තැන්නේ අදිකාරම

අද ලෝක උරුම නගරයක් ලෙසින් ඉහළ පිළිගැනීමකට ලක් වී ඇති සෙංකඩගල නගර කොමළියගේ ගත සරසන දුහුල් සේලයක් බඳු මහනුවර වැව මානව දෑතින් ලක් දෙරණේ ඉදිවූ අවසන් වාරි කර්මාන්තය ලෙසින් හැඳින්විය හැක. දුටුවන් නෙත් සිත් සනසන මහනුවර වැවේ අතීත අන්දරය අද දකින ශෝභමාන දසුන තරම් සුන්දර නොවේ. දහදිය, කඳුළු, ලේ හා ක්‍රෑර මරණ හමුවේ නිර්මාණය වී ඇති මෙම වාරි නිර්මාණය හා බැඳුණු ඓතිහාසික වෘත්තාන්ත උඩරට පිටිසර ගම්මාන අතරේ දී බොහෝ වර හමුවේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ නිරිඳුන්ගේ හදෙහි ඇඳි මනෝ චිත්‍රයක් වූ මෙම වැවේ කටයුතු සඳහා කැඳවන ලද්දේ රාජ උදහසට ලක්වූ හතරකෝරළේ, සත්කෝරළේ, උඩුනුවර, යටිනුවර ආදි ප්‍රදේශවල වැසි දඬුවම් ලාභී ජනතාවය. නගර සීමාවෙන් පිටත තනාගත් පැල්පත්වල නැවතී සිට තම තමන්ගේ අවශ්‍යතා තමන්ම ඉටුකර ගනිමින් මෙම දුෂ්කර රාජකාරියේ යෙදීමට ඔවුන්ට සිදුවිය.

අම්පිටිය, බූවැලිකඩ ආදි ප්‍රදේශවල සිට ගලා ආ දිය කඳුරුවලින් පෝෂණය ලබමින් මාලිගා චතුරශ්‍රයත්, මල්වතු මහා විහාරයත් දැලේ සිටින ලෙසින් පිහිටා තිබූ යල-මහ දෙකන්න සරුවට පැසෙන “ටිගොල්ලේවෙල” ලෙසින් හැඳින්වූ කුඹුරු යාය හාරා යටි පසින් සාදන ලද දැවැන්ත වේල්ල බැඳ එදා “කිරි මුහුද” නමින් හැඳින්වූ මෙම වැව සාදා ඇත.

ඉතාමත් අර්බුදකාරී දේශපාලන වාතාවරණයක් පැවැති මෙම රාජ්‍ය පාලක සමයේ මෙම වැව් සෑදීම පිළිබඳ රාජ සභාව තුළත්, මහජනතාව අතරේත් පැවතියේ බලගතු විරෝධයකි. එහෙත් එවන් දේ රජතුමාගේ තීරණයට බලපෑම් කිරීමට තරම් සවිමත් වී නොමැත. මෙම වැව් කර්මාන්තය පිළිබඳ තිබූ ජනතා අප්‍රසාද මෙම ජන කවියෙන් දැක ගත හැක.

වැවක් බැඳුණයි ටිගොල්ලේ වෙල සියක්
බඹයක් විතර උසටම
වැඩක් නැතිකර ගෙවතු ගහ කොළ
කොට වනසා ගෙවල් සහහැම
නොයෙක් රටවල දිසාවල මහසෙන්
රැස් කරවා ගමින් ගම
යමෙක් ලෙස රැක බඳින බැම්මට පස්
අද්දවන ලෙසම කරපෙම

1747 – 1782 වසර දක්වා උඩරට රාජ්‍ය කළ කීර්ති ශ්‍රී රාජසිංහ නර දෙවිඳුනගේ රාජ්‍ය සමයේ ශ්‍රී දළදා මාලිගාවේ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු උදෙසා උඩරට සතර අතින් සද්භාවයෙන් යුතුව එක් වූ මහසෙන් අතරේ මාතලේ මීගස්තැන්න ග්‍රාමයේ සිට පැමිණි ප්‍රංශුදේහධාරී යෞවනයකු විසින් මහවැලි නදියේ ලේවැල්ල තොට අසබඩ දී දෙතුන් දෙනෙකු එකතු වී ගලවා ග‍ඟෙන් ගොඩ දැමීමට වෙර දැරූ ගල් කුට්ටි කිසිඳු අපහසුතාවකින් තොරව ගලවා තම දෑතින් එම ගල් ඔසවා ගොඩ දමමින් දක්වන ලද විස්මිත සමර්ථකම් හේතුවෙන් අතිශ්‍යයෙන් ප්‍රමෝදයට පත් රජතුමා මහවාසල “මුදියන්සේ” තනතුරක් පවරා දෙමින් ඔහු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලදී. අගනගරයේ විසූ ගිහි – පැවිදි පඬුවන් වෙතින් අක්ෂරභාශය ද රණ පිටියේ වික්‍රාන්තිය පෑ රණවිරුවන් ඇසුරේ යුද අවි හරණයේ ද ඔහු ශූරයෙක් විය. “දුම්බර රාජකරුණා අභයකෝන් පණ්ඩිත වාසල මුදියන්සේ” යන පරපුරු නාමයෙන් හැඳින්වූ ඔහු පිළිමතලාවේ අදිකාරම් තුමාගේ සොහොයුරියක හා විවාහ වී දුම්බර යක්ගහපිටියේ අමුණුගම ග්‍රාමයේ පදිංචි වීම හේතුවෙන් ඔහු “දුම්බර නිලමේ” නමින් ප්‍රසිද්ධියට පත්වී ඇත. තම පරපුරේ දිළිඳු ඥාතීන්ට දයා කරුණාවෙන් යුතුව උදව් උපකාර කර ඇති ඔහු දුම්බර මිටියාවතේ බොහෝ වාරි ව්‍යාපෘති මෙන්ම ගල්පිහිල්ල රජමහ විහාරය වැනි විහාරස්ථාන ඉදිකරමින් ඉතාමත් දැහැමි දිවි පෙවෙතක් ගෙවා ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ රාජ්‍ය පාලන සමයන් හි රාජ්‍ය පරිපාලනයේ විවිධ තනතුරු දැරූ ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ නරපතිඳුන්ගේ රාජ සභාවේ “උඩගම්පගේ අදිකාරම්” ලෙසින් රජතුමාට පමණක් දෙවැනි වන ධූරන්ධරය දැරීමට තරම් භාග්‍යවන්ත වී ඇත.

නගර අලංකාරය සඳහා පමණක් වූ මෙම වැව නිර්මාණ ව්‍යාපෘතියේ නිරීක්ෂණ කටයුතු පවරා තිබී ඇත්තේ රජතුමා විසින් “මාමණ්ඩි” ලෙසින් ළෙන්ගතු නාමයෙන් හැඳින්වූ එවකට වයෝවෘද්ධ වියේ පසුවූ මීගස්තැන්නේ අදිකාරම් තුමා වෙතය.

දිනක් වැව් ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණයේ යමින් සිටි මීගස්තැන්නේ අදිකාරම් තුමාට වියළි පඬරැල් හා පිදුරු සිරුරු වටා ඔතා රැහැන් පටින් බැඳ සිටි සිංහල තරුණයන් දෙදෙනෙකු වෑ පිටියේදී හමුවී ඇත. තතු විමසීමේදී පමාවී සේවයට පැමිණීමේ වරදට රාජ නියෝගය පරිදි මෙම තරුණයන් දෙදෙනා දෙතිස් වධයේ සඳහන් ජෝතිය මාලක වධය ලෙසින් හඳුන්වන සිරුර ගිනිතබා මරණයට පත්කිරීම උදෙසා සකසමින් සිටින බව ඇසීමෙන් මම ජාති හිතෛෂි රදලවරයාගේ ගත කිටි කිටියේ ගැහෙන්නට විය. ක්‍රෑර වඩුග රාජ්‍ය පාලනයේ අහිංසක සිහළුන්ට අත්වන මෙවන් අනේකවිධ වධ හිංසා අභියස නහරවැල් සිසාරා සංසරණය වන රුධිර ධාතුව ජාතිවාත්සාල්‍යයයෙන් කැකෑරී උණු වන්නට විය. තම හින පැලඳි අසිපත සියතට ගත් අදිකාරම් තුමා අසිපත් තුඩින් තරුණයන් වෙලා ඇති රැහැන් පටි කපා ඔවුන් නිදහස් කොට පලවා හැර ඇත.

රාජ සභාව ඉදිරියේ පෙර දවස තම රාජ නියෝගය නොසලකා වෑපිටියේ දී සිදුවී ඇති සිද්ධිය හේතුවෙන් කුපිත වී සිටි රජතුමා, පසු

“මාමණ්ඩ්, මාගේ කඩුවේ මුවහත මොට වී ඇතැයි සිතන්න එපා”

යනුවෙන් මීගස්තැන්නේ අදිකාරම් තුමා වෙත කළ තර්ජනාත්මක කෝපාවීෂ්ට ප්‍රකාශය හමුවේ නැගී සිටි අදිකාරම් තුමා,

“එසේය දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ කඩුවේ මුවහත ඇත්තේ කඩුවේ එක් පැත්තක නමුත් මාගේ කඩුවේ දෙපැත්තම හොඳින් මුවහත් වී ඇතැයි”

තම හිණ පැලඳි කගපත ගුවනේ ලෙළවා රජතුමාට පිළිතුරු දී රාජ සභාවෙන් නික්ම දුම්බර තම වලව්ව වෙත ගොස් ඇත්තේ බලගතු චිත්ත සංතාපයකිනි.

මීගස්තැන්නේ අදිකාරම් තුමා කොතරම් චිත්ත පීඩාවකට පත්ව සිටියේ ද යත් එදින තම යහන් ගබඩාවට වැදී දොර අගුළු ලා කිසිඳු කෑමක් බීමක් නොගෙන යහන්ගතව නිවසේ හෝ වෙනයම් කිසිවකු සමඟින් හෝ සමාගම් නොපවත්වා සිටි හේතුවෙන් වයෝවෘද්ධ ඔහු දැඩි ලෙස ගිලන් වී ඇත.

නිරාහාරව යහන්ගතව සිටින අදිකාරම් තුමාගේ තතු දැනගත් රජතුමා තම රාජකීය වෛද්‍යවරුන් ද කැඳවා දුම්බර වලව්වේ රෝගීව සිටින අදිකාරම් තුමා බැලීමට ගොස් රාජකීය වෙදැදුරන් විසින් සකසා දුන් බෙහෙත් බඳුනක් රජතුමා අදිකාරම් තුමාට පොවා ඇත. රජතුමා විසින් පොවන ලද බෙහෙත් තම මුව තුළට ගත් නිලමේ තුමා රජතුමා නික්ම ගිය පසු එතෙක් තම මුඛය තුළ වූ ඖෂධ අසල තිබූ පඩික්කමට හලා ඇත්තේය.

රජතුමාගේ චිත්ත අභ්‍යන්තරය පිළිබඳ මනා වැටහීමක් හා අවබෝධයක් තිබූ මීගස්තැන්නේ අදිකාරම් නිලමේ තුමා රජතුමා හා අහිතකින් ජීවත්වීමට වඩා මරණය වඩාත් සැනසිල්ලක් ලෙස සලකා එලෙස ආහාර පාන වර්ජනය කළ හේතුවෙන් ඇති වූ විජලනයෙන් ජීවිතය කෙටි වී ඇත.

තම තුරුණු වියෙහිදී ගස් – ගල් පෙරළා මහා පෙළහර පාමින් යුද පිටියේ ඉදිරි පෙළ සරසාලු මීගස්තැන්නේ අදිකාරම් තුමාගේ ජීවිතාවසානය හා බැඳී ඇති වෘත්තාන්තය වැනි තවත් රසාලිප්ත ජනකතා උඩරට වෙසෙන ගිහි – පැවිදි පැරැණියන් අතරේ දී බොහෝ වර හමු වේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: