Posted by: lrrp | July 5, 2015

ඓතිහාසික “ගල්කරු යාය” හතරැස්‌ කළ ගල් කුට්‌ටියායක්‌ වූ හැටි

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් “ගල්පාය” සුන්දර ගම්මානයකි. තැනින්තැන පිහිටා ඇති ගල් සහිත කඳුවැටි නිසාත්, පුරාවිද්‍යා වටිනාකමින් යුක්‌ත ශෛලමය නටබුන් නිසාත්, ගමෙහි ඇති සුවිශේෂි බව, ගමට ඇතුළුවන ඕනෑම අයෙක්‌ගේ සිතට දැනෙයි. ගල්පාය ගමේ පසෙකින් පිහිටා ඇති “ගල්යාය කන්ද” ගල් පොකුණු සහිත නටබුන්වලින් සමන්විත වූවකි. ගැමියන් “උඩුවේ රාළගේ කන්ද” යනුවෙන් හඳුන්වන කඳු පද්ධතිය ද එවැනි ම පුරාවිද්‍යාත්මක සාධකවලින් ගහණ වූවකි. එහි ගල්යහන් සහිත ගල්ලෙන් රාශියක්‌ තිබේ. මෙම ගල්ලෙන් ආශ්‍රිත ව ආදි මානවයා ජීවත් වූ බවට වන සාධක අදටත් ගම්මානයෙන් මතුවෙයි.

ගම්මානය මැද සුන්දර වූ සුවිශේෂි ගල්කුලක්‌ තිබිණි. ගැමියන් එය හැඳින්වූයේ “ගල්කරුයාය” යනුවෙනි. රමණීය වූ ගල් තලාවන් කීපයකින් ම, ගල්කරුයාය හැඩ වී තිබිණි. ටැම්පිට ප්‍රාසාදයක්‌ ඉදි කර තිබූ බව හැඟෙන ගල් කණුවලට අමතර ව, ආදි මානවයා විසින් කළ ශෛලමය නිර්මාණවල නටබුන් ද එම ගල්තලාවන් හි නොඅඩුව පිහිටියේ ය. වඩාත් වැදගත් වූයේ එම ගල් කුළු ආශ්‍රයෙන් නිර්මාණය වී තිබූ පාරසරික පද්ධතිය යි. ඉතා දුර්ලභ වර්ගයේ ගස්‌වැල් මෙන් ම, ගැමියන්ට එදිනෙදා අවශ්‍ය වූ බේත්හේත් වර්ග සෑම දෙයක්‌ ම එම කැලෑ පද්ධතිය තුළ තිබිණි. එයට අමතර ව දුර්ලභ ගනයේ පක්‌ෂීන් ද එම ගල්කුල ආශ්‍රීත ව වාසය කළ හ. උණහපුළුවා, මූකලන් බස්‌සා, බකමූණා, ඒ අතරින් ප්‍රධාන ය. වසරකට වරක්‌ දෙවියන් උදෙසා කෙරෙන බාරහාර පිදීමේ මංගල්‍යය ද සිදු කෙරුණේ මෙම ගල්තලාවේ දී ය. ඒ සඳහා යෝග්‍ය පැරණි නුග රුක්‌ෂයක්‌ ද ගල්තලාව කෙළවරක විය. ගොවිතැන, තම ප්‍රධාන ම ජීවනෝපාය වූ ගැමියන්ට, ගල්කරුයාය ආශ්‍රිත ව නිර්මාණය වී තිබූ පාරිසරික පද්ධතියෙන් විශාල සෙතක්‌ සැලසී තිබිණි. ඒ සියල්ලට ම වඩා වැදගත් වූයේ ගම මධ්‍යයේ පිහිටි “ගල්කරුයාය” කඳුයායෙන්, ගල්පාය ගම්වැසියන් ලැබූ අධ්‍යාත්මික සහනය යි. ඇත්ත වශයෙන් ම ගල්කරුයායේ සෞන්දර්ය ය ගල්පාය ගමේ ජීවත් වූ සැමගේ ජීවිතයේ කොටසක්‌ වී තිබිණි.

එහෙත් ඒ සියල්ල පැවතියේ මෑතක්‌ වන තුරු පමණකි. අධ්‍යාත්මික වටිනාකම් පසෙක ළා, භෞතික වටිනාකම් සොයා යන මිනිසා, ගල්කරුයාය නිර්මාණය වී ඇත්තේ, “ඨර්බසඑසජ ඨබැසිs” නම් සුවිශේෂි පාෂාණයෙන් බව සොයා ගත් හ. ග්‍රැනයිට්‌ යනු පාෂාණ යි. “ග්නයිස්‌” යනු ජර්මන් වචනයකි. එහි තේරුම දිළිසෙන සහ දීප්තිමත් යන්නයි. ගල්කරුයාය නිර්මාණය වී ඇති පාෂාණය කිරිගරුඬ මෙන් පැහැදිලි සුදු පැහැයෙන් යුක්‌ත ය. කේතුමතී මාළිගාවල බිම ඇතිරීම සඳහා එම පාෂාණ වර්ගයට ඇත්තේ හොඳ ඉල්ලුමකි. එහි ඇති වාණිජ්‍යමය වටිනාකම හෙළිදරව් කර ගත් ව්‍යාපාරිකයෝ, එම ගල කුට්‌ටි කර අලෙවි කිරීම සඳහා පිඹුරුපත් සැකසූ හ. ඔව්හු පළමුවෙන් ම කළේ එම ලාභදායී ව්‍යාපාරය සඳහා අවශ්‍ය දේශපාලන රැකවරණය සහ ආශිර්වාදය ලබා ගැනීමයි. යහමින් මුදල්හදල් වියදම් කළ ඔවුන්ට, එම ආශිර්වාදය ඉහළ සිට පහළට ම ලබා ගැනීමත්, ක්‍රියාවලිය නීතිගත කර ගැනීමට අවශ්‍ය නිලධාරීන්ගේ සහය ලබා ගැනීමත්, එතරම් අසීරු කර්තව්‍යයක්‌ වූයේ නැත.

ඓතිහාසික ගල්තලාව මුදල් බවට පරිවර්තනය කිරීමේ ක්‍රීයාවලිය පටන් ගත් ව්‍යාපාරිකයෝ, පළමුවෙන් ම, ගල්තලාවේ තිබූ ඓතිහාසික නුගරුක්‌ෂය ඇතුළු ගස්‌වැල් සියල්ල කපා දැමූ හ, ඒ 2014 වර්ෂයේ මාර්තු මාසයේ දී ය. ගැමියන්ගේ විරෝධය උත්සන්නවීමට පෙර, “ගල්කරුයාය” සාමාන්‍ය ගලක්‌ බවට පත් කර ගැනීම, ව්‍යාපාරිකයන්ගේ සැලසුමේ සඳහන් ප්‍රධාන අවශ්‍යතාවයක්‌ විය. ඒ අනුව ඔව්හු ගල්තලාවේ තිබූ පුරාවිද්‍යාත්මක සාධක ඉවත් කිරීම ඇරඹූ හ. ඔවුන් පළමුවෙන් ම කළේ, ගල්තලාව මුදුනේ තිබූ ශිලා ලිපිය, බෝරයක්‌ දමා විනාශ කිරීම යි.

සිදුවීමට යන විනාශය පිළිබඳ ව ගල්පාය වැසියන්ට හොඳින් ම තේරුම් ගියේ එම ක්‍රියාවත් සමඟ ය. ගම්වැසියන්ගේ දැනුම්දීම මත, බෝර දැමීමේ සිද්ධිය පරීක්‌ෂා කර බැලීම සඳහා ගල්කිරියාගම පොලීසිය මැදිහත් වූ අතර, දින දෙකකට පමණ පසු “පුරාවස්‌තු ආරක්‌ෂක විශේෂ පොලිස්‌ ඒකකය”ද සිද්ධිය පරීක්‌ෂා කර බැලීම සඳහා පැමිණියේ ය. එහෙත් ගල්ගලාවට පිවිස සිටි පෙරේතයින්ගේ ප්‍රාග්ධන හැකියාව සහ දේශපාලන බලපුළුවන්කාරකම, පොලිස්‌ පරීක්‌ෂණවලට වඩා බලවත් විය.

ගල්තලාව මුදුනේ කේතුකාවාටයක්‌ තිබිණි. පොලීසිය පරීක්‌ෂණ අරඹා දින දෙකකට පසු, එම කේතුකාවාටය කොන්ක්‍රීට්‌ දමා වසා දැමීමට, ව්‍යාපාරිකයෝ නිර්භීතව ම, ක්‍රියා කළ හ.

ඒ අතර ම, ගමේ උරුමය රැකගැනීම සඳහා පෙරමුණ ගත් ගම්වැසියන්ට විවිධාකාරයේ කප්පම් ප්‍රදානය කොට, ඔවුන් නිහඬ කිරීමට ද ඔව්හු උත්සාහ කළ හ, එම කප්පම් හමුවේ, කීප දෙනෙක්‌ තම ස්‌ථාවරය වෙනස්‌ කළත්, බහුතරයක්‌ දෙනා ගම රැකගැනීමේ ඒකායන අරමුණ සහිතව ම, ක්‍රියා කළ හ. මේ අතර මරණීය තර්ජන එල්ල කර ගම්වැසියන් බිය වැද්දීමට ද, ව්‍යාපාරිකයෝ උත්සාහ දැරූ හ. ඒ ඉන්දියානු ජාතිකයෙක්‌ යොදා ගනිමිනි. 2014 අගෝස්‌තු 26 දින බී. ජී. ප්‍රේමරත්න මහතා නෛතික ක්‍රියාවලියකට පිවිසීමේ අරමුණ සහිත ව ගල්කිරියාගම පොලීසියේ කළ පැමිණිල්ලකට අනුව ගල් ව්‍යාපෘතියේ වැඩ තාවකාලිකව නතර කිරීමට පොලීසිය විසින් උපදෙස්‌ දෙන ලදී. එහෙත් දේශපාලන රැකවරණයෙන් සවිමත් වී සිටි බලපුළුවන්කාරයෝ, පොලීසිය විසින් කළ නියෝගයන් තුට්‌ටුවකට මායිම් කළේ නැත. විශාල තාක්‌ෂණික උපකරණ යොදා ගනිමින්, ගල්තලාව කුට්‌ටි කිරීමේ ක්‍රියාවලිය ඔව්හු දිගට ම පවත්වා ගෙන ගිය හ. එසේ ගල කපා වෙන් කිරීමේ දී යන්ත්‍රසූත්‍රවලින් නැඟෙන්නේ, විශාල හඬකි. නිසසල වටපිටාවක ජීවත් වූ ගැමියන්ට මෙන් ම, අධ්‍යාපන කටයුතුවල නියෑළුණු දූ දරුවන්ට ද, එම හඬ දරාගැනීමට අසීරු අන්දමේ එකක්‌ විය. උදෑසන හයේ සිට සවස හය හත දක්‌වා නැඟුණු එම හඬ, ගැමියන්ගේ හදවත් පසාරු කරවන්නක්‌ විය. කෙසේ වෙතත් ගම්වාසීන්ගේ දැඩි ඉල්ලීම මත ගල්කරුයාය ගල්තලාව පිළිබඳ ව සමීක්‌ෂණයක්‌ කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, එම ගල්තලාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සැලකිල්ලට ගෙන, ඒ වන විට එහි සිදුවෙමින් පැවති නීතිවිරෝධී ක්‍රියාවන් සියල්ල වාරණය කරන ලදී. ඒ 2015 ජනවාරි 23 දාතමෙන් නිකුත් කළ ලිපියෙනි. පුදුමයක මහත¾ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ එම නියෝගය බලාත්මක ව පැවතියේ දින හතරක්‌ පමණකි. තමන් දින හතරකට පෙර නිකුත් කළ ලිපිය බල රහිත කරමින්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2015 ජනවාරි 27 දින තවත් ලිපියක්‌ නිකුත් කරන ලදී. ඒ ව්‍යාපාරිකයින්ට සිත්සේ ක්‍රියා කිරීමට ඉඩ හසර විවෘත කරමිනි.

සිය ගමේ උරුමය රැකගැනීම සඳහා ගත් සියලු ම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ව්‍යර්ථව ගියත්, සාධාරණය වෙනුවෙන් පෙළ ගැසුණු ජනතාව, කිසිවිටෙක පසු බැස්‌සේ නැත. පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපස විශාල උද්ඝෝෂණයක්‌ කිරීමට ඔවුන් කටයුතු කළේ ඒ අනුව ය. ඒ 2015 පෙබරවාරි 23 දින ය. මේ අතර ගල් ව්‍යාපෘතියට එරෙහි ව පවරණ ලද නඩුවකින් ද, ජනතාව පරාජයට පත් විය. ඒ පොලීසිය විසින් උපක්‍රමශීලී ලෙස පුරාවිද්‍යා සාධක මත පමණක්‌ පදනම් වන අයුරින් එම නඩුව පවරා තිබූ බැවිනි.

ගමේ උරුමය, ගමේ සෞන්දර්යය රැක ගැනීමට පෙරට පැමිණි ජනතාව, මේ වන විට තම ප්‍රශ්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ද ඉදිරිපත් කර ඇත. එයට අමතර ව ඔව්හු දුරකතර ගෙවා ගෙන කොළඹ මධ්‍යම පරිසර අධිකාරියට ද පැමිණිය හ. ඒ 2015 මැයි 27 දින ය. ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් අසංක දොඩම්වල මැතිතුමාගේ ලිපියකින්, ගල් කොරියේ වැඩ නැවැත්වීමට උපදෙස්‌ දී ඇතත්, වැඩ කටයුතු එලෙස ම සිදුවෙමින් පවතී. මේ වන විට ව්‍යාපාරිකයින් සැරසෙන්නේ ගල්කන්ද වටා තහඩු වැටක්‌ ඉදි කිරීමට ය. ගල්කරුයායේ කිරිගරුඬ නිධිය පොළව යටට ම විහි දී ඇති බව භූ විද්‍යාඥයන්ගේ නිගමනය යි. ව්‍යාපාරිකයන්ගේ අරමුණ එම නිධිය පුළුවන් තරම් යටට හාරා ඉවත් කර ගැනීම බව පැහැදිලි ය.

“ගල්කරුයාය” යනු තව දුරටත් නෙත පිනවන සුන්දර කඳු පද්ධතියක්‌ නොවේ. එහි තිබූ ගස්‌ වැල්, දුර්ලභ බේත්හේත් අද එහි දක්‌නට නැත. ගල්කන්ද අරක්‌ ගෙන සිටි සුන්දර පක්‌ෂීන් ද කොහේ දෝ ඈතකට ඉගිල ගොසිණි. අද එහි ඉතිරි ව ඇත්තේ ප්‍රවාහනය සඳහා සූදානම් කරන ලද ගල් කුට්‌ටි කීපයක්‌ සහ ගල කුට්‌ටි කිරීමට යොදා ගන්නා යන්ත්‍රසූත්‍ර රාශියක්‌ පමණකි. ගල්කරුයායට මේ විපත සිදු වූයේ සියලු වාරණයන් ක්‍රියාත්මක ව පවතින අතරතුර ය. පරීක්‌ෂණ සඳහා පැමිණෙන පරිසර නිලධාරීන් සිදුවෙමින් පවතින්නේ අසාධාරණ ක්‍රියාවක්‌ බව පිළිගන්නා අතරතුර ය. ගමේ සියලු ම දෙනා පාහේ, ගමේ උරුමය, ගමේ සෞන්දර්යය රැකදෙන ලෙස එක හඬින් අයෑද සිටින අවස්‌ථාවක දී ය. එම විනාශය සිදු වූයේ, සෞන්දර්යය නොහඳුනන, දැක්‌මක්‌ නැති දේශපාලකයන්ගේ සහ වරප්‍රසාද හා පෞද්ගලික වාසි හමුවේ සිය දෑස්‌ බොඳ කර ගත් නිලධාරින්ගේ පූර්ණ අනුග්‍රහය යටතේ ය.

පෞද්ගලික ව්‍යාපාරිකයාගේ අරමුණ පැහැදිලි ය. එය එසේ ම ක්‍රියාත්මක වුවහොත්, සෞන්දර්යය අහිමි වූ ගල්පාය ගමට ඉතිරිවන්නේ මැසිමදුරුවන් බෝ කරන විශාල ආවාටයක්‌ පමණකි. එහෙත් එය එසේ සිදු වනු දැකීම ගම්වාසීන්ගේ අභිප්‍රාය නොවේ. තමන්ට තව දුරටත් සිදුවෙමින් පවතින අසාධාරණයට එරෙහි ව කටයුතු කිරීම සඳහා, මේ වන විට ඔවුන් පරිසර සංවිධානයක්‌ ද පිහිටුවා ගෙන තිබේ. අවට ගම්වල ජනතාව ද එම සංවිධානය වටා ඒකාරාශි වෙමින් සිටිති. ලාභය, සිය ඒකායන අරමුණ සහිත ව ක්‍රියාත්මක වන සමාජයක දී, එසේ සංවිධානය වීමෙන් තොර ව අධ්‍යාත්මික සහ ගුණාත්මක වටිනාකම් රැක ගැනීමට නොහැකි ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: