Posted by: lrrp | April 9, 2016

“බහිරව මුත්තට එළකිරි අගුණලු”– කිරි ඉතිරවීම පිළිබඳ අප්‍රකට කතා

කිරි ඉතිරවීම යනු අපගේ දේශීය සංස්කෘතියේ මංගල සම්මත කටයුත්තකි. සිංහල බෞද්ධ සේම දෙමළ හින්දු සංස්කෘතීන් තුළ ද මෙම කිරි ඉතිරවීමට ප්‍රධාන තැනක් හිමි වෙයි. සිංහල බෞද්ධයෝ තමන්ගේ ගෘහස්ථ, වෘත්තීය, ව්‍යාපාරික ‍පොදු සමාජමය කටයුතුවල සමාරම්භය සනිටුහන් කරමින් කිරි උතුරවති. බොහෝ දෙනකු මෙම 2016 නව වසරේ සමාරම්භය සනිටුහන් කරමින් තම නිවාස ව්‍යාපාර යන සහ සේවා ස්ථාන වල එසේ කිරි උතුරවන්නට ඇත.

bahirawa

හින්දු ආගම තුළ ආගමික වශයෙන් වැදගත් වන කිරි ඉතිරවීම ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ ජන සමාජය තුළ සෞභාග්‍යය පතා සිදු කරනු ලබන අභිචාර විධියකි. විශේෂයෙන් මෙරට කෘෂිකාර්මික ජීවන රටාව හා සම්බන්ධ මෙම ඉතිරවීමේ අභිචාරාත්මක ක්‍රියාව ‘කිරි ඉතුරුම් මංගල්‍යය’ යනුවෙන් හැඳින්වෙයි. මෙය සෑම කන්නයක් අවසානයේම එම කෘෂිකාර්මික බිම් ආශ්‍රිතව කරනු ලබන්නකි.

මෙම කිරි ඉතිරවීම සම්බන්ධයෙන් නුතන ජන සමාජය තුළ නිරන්තරයෙන් ඉස්මතු වන ගැටලුවක් තිබේ. ඒ ඉතිරවීම පිණිස වඩා යෝග්‍ය එළකිරිද? නැතිනම් ‍පොල් කිරිද? යන්නය.

වන්නි හත්පත්තුවේ පුරාණ වැව් ගම් ආශ්‍රිතව දුරාතීතයේ සිට ජීවත් වූ වන්නි ජනතාවට අමතරව පසු කාලීනව කන්ද උඩරට ප්‍රභූ පරම්පරාවලට අයත් පවුල් ද වරින් වර එහි අවුත් පදිංචි විය. විශේෂයෙන් 1817දී සහ 1848 යන අධිරාජ්‍යවාදී අරගලයන්ට සම්බන්ධ පුද්ගලයන්ගේ කන්ද උඩ රට විසූ ප්‍රභූ ඥාතීන් එවක ඉංග්‍රීසි පාලකයන්ගේ දැඩි කෝපයටත් ද්වේෂයටත් ලක්වූ බව නිසැක ය. එහි එක් ප්‍රතිඵලයක් ලෙස එම අධිරාජ්‍යවාදී පාලකයන්ගෙන් ඇතිවිය හැකි ජීවිත තර්ජන ඇතුළු උවදුරුවලට බියෙන් එම ප්‍රභූ ඥාති පවුල් හොර රහසේම නුවර කලාවියේ සහ වන්නි හත්පත්තුවේ පුරාණ වැව් ගම් ආශ්‍රිතව පදිංචි වී සාමාන්‍ය සරල, අවිහිංසක දිවි පවෛතකට යොමු වූ බවට සාධක කොතෙකුත් හමු වෙයි.

මේ සමයේ එක් වගා කන්නයක් අවසන් වී ගොවිතැන් බත්වල යෙදුණු එක්තරා ගමක ගැමියෝ එම කුඹුරු යාය සහ වැව ආශ්‍රිතව ඒ සඳහා වෙන් කොට ඇති විශේෂ ස්ථානයක (වන්නි ජන වහරට අනුව මෙම ස්ථානය මුත්තා ‍පොළ යනුවෙන් හැඳින්වෙයි.) කිරි ඉතුරුම් මංගල්‍යයක් සූදානම් කළහ. පැරණි වන්නි වැසියන් සේම කන්ද උඩ රටින් සංක්‍රමණය වූ ගොවි පවුල් කිහිපයක් ද ඊට හවුල් වී සිටියහ. සාමාන්‍යයෙන් පැරණි වැව් ගම් ආශ්‍රිත වන්නි වැසියන් කිරි ඉතුරුම් මංගල්‍යයන් සඳහා යොදා ගනු ලබන්නේ ‍පොල් කිරිය. එහෙත් කන්ද උඩරට රජ කළ ඉන්දීය නායක්කර් වංශික රජුන් නිසා ඒ වන විට කන්ද උඩරට වැසියන් කිරි ඉතිරවීම පිණිස යොදාගෙන තිබුණේ එළකිරි ය.

ඒ අනුව වන්නි හත් පත්තුවේ පැවැති මෙම කිරි ඉතුරුම් මංගල්‍යය සඳහා කන්ද උඩරටින් වන්නි හත්පත්තුවට අලුතින් සංක්‍රමණය වූ පවුලක් හෝ පවුල් කිහිපයක් එළකිරි ද රැගෙන මෙම කිරි ඉතුරුම් මංගල්‍යයට ආහ. එහෙත් මෙහිදී සිදුවූයේ ඔවුන් හා එම වන්නි වැසියන් අතරේ ලොකු ආරෝවක් ඇති වීම ය. මෙම කිරි ඉතිරවීම බහිරව මුත්තා ඇතුළු සෙසු ‘මුත්තාවරුන්’ උදෙසා කරනු ලබන පූජා චාරිත්‍රයක් නිසා මේ සඳහා ‍පොල් කිරි මිස එළකිරි යොදා නොගත යුතු බවත් එසේ කළහොත් එම මුත්තාවරුන් කෝපාවිෂ්ට වන බවත් වන්නි වැසියෝ තරයේම කියා සිටියහ. එහෙත් සැබෑ සශ්‍රීකත්වය නියෝජනය වනුයේ එළකිරිවලින් මිස ‍පොල් කිරි වලින් නොවන බව පැවැසූ කන්ද උඩරට වැසියෝ ඊට එරෙහි තර්කයක් ගොඩ නැගූහ.

කෙසේ හෝ මේ ආරෝව අවසානයේ වන්නි වැසියන්ට ජයග්‍රහණය දී පරාජය බාර ගන්නට උඩරට වැසියන්ට සිදුවිය. එහෙත් ඒ සමගම සැහැල්ලු උපහාසයක් එල්ල කිරීම පිණිස එම ප්‍රදේශවල පදිංචි උඩරැටියන් අතර පැතිර ගිය එක් වදනක් ද විය. එනම් බහිරව මුත්තාට එළකිරි අගුණලු යන්නය. මෙම ප්‍රවාදය දැනට ද එම ප්‍රදේශයේ වයෝවෘද්ධ සීමිත පිරිසගේ මතකය තුළ ගැබ්ව ඇති අතර තව නොබෝ කලකින් මෙය සදහටම අතුරුදන් වනු ඇත.

දැන් අපි නැවත ඉතිරවීම යොදා ගනු ලබන කිරි වර්ග සම්බන්ධ මානව විද්‍යාත්මක විමසුමකට යොමු වෙමු.
කිරි ඉතිරවීම් සම්බන්ධයෙන් එළකිරි සේම ‍පොල් කිරි යොදා ගැනීම ද අප ජන සංස්කෘතියෙන් බහුල වශයෙන් සිදු කෙරේ. එහෙත් මෙය ඉතා සරල ලෙස බෙදා වෙන්කරලිය හැකි අයුරක් ද තිබේ. ඒ ‘දෙවියන්ට එළකිරි යකුන්ට ‍පොල් කිරි’ වශයෙනි.

ඇතැම් මහායානික ග්‍රන්ථයන්හි ගෝපිකාවක (Milk maid) වශයෙන් පවා හැඳින්වෙන සුජාතා සිටු දුව රුක් දෙවියනට වූ බාරයක් ඔප්පු කරනු පිණිස කිසියම් කිරි ආහාරයක් (ක්ෂීර පායාස) සකසා ගෙන බෝසතුන් වැඩ සිටි බෝමැඩ අබියසට පැමිණි බව ථෙරවාදී බෞද්ධ සාහිත්‍යයේද සඳහන් වෙයි. සිංහලයෙන් ‘කිරි පිඬු’ වශයෙන් හඳුන්වා ඇති එය එළකිරි වලින් තැනූ ආහාරයක් බව සැක නැත. එමෙන්ම භාරතීය වෛදික සංස්කෘතියෙහි විවිධ ආධ්‍යාත්මික සහ අභිචාරාත්මක කටයුතු සඳහා ‘එළකිරි’ යොදා ගැනුණු බවට සක්ෂි රැසකි. විශේෂයෙන් ලෞකික සමෘද්ධිය සහ සෞභාග්‍යය සම්බන්ධ කටයුතුවල දී එළකිරි ඉතිරවීම සුලබව සිදුවූ බවට සැක නැත.

පුරාණ සාහිත්‍යයට අයත් විෂ්ණු පුරාණයේ එන විෂ්ණු දෙවියන් විසින් මන්දරගිරි නම් පර්වතය දණ්ඩක් කොට ගනිමින් කිරි මුහුද කැළැඹවූ කතාව ශ්‍රී ලාංකීය ජන විඥානය තුළට ද පිවිස තිබේ. එහිදී රත්නයන් දාහතරක් මතු වූ අතර ලෞකික සමෘද්ධියේ, සෞභාග්‍යයේ සංකේතය වන ලක්ෂ්මී දෙවඟන ද ඒ අතර වන්නීය. ඒ අනුව මෙම කිරි ඉතිරවීම විෂ්ණුගේ කිරි මුහුද කැළඹීමේ සංසිද්ධිය සංකේතය කරන්නක් බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. එසේම මෙහි ඉහත ද සඳහන් කළ පරිදි ශ්‍රී ලාංකීය සිංහල ජන සමාජයට එල්ල වු දකුණු ඉන්දීය ද්‍රවිඩ බලපෑම් මුල්කොට මෙම කිරි ඉතිරවීම පිණිස එළකිරි යොදා ගැනීමේ චාරිත්‍රය කන්ද උඩරට රාජධානිය පුරා පැතිර යන්නට ඇත.

නමුත් අපගේ ජන සංස්කෘතිය පිළිබඳව තරමක් ගැඹුරින් විමසා බැලීමේදී අතීතයේ සිට නුවර කලාවිය, හත්කෝරලය සේම මුහුදුබඩ ප්‍රදේශවාසීන් ද කිරි ඉතිරවීම පිණිස ‍පොල්කිරි යොදා ගත් බව පෙනෙයි. විශේෂයෙන් දකුණේ ධීවර ජනතාව, බින්තැන්නේ වැදි ජනතාව සහ ශ්‍රී ලාංකීය තෙළිඟු (අහිගුණ්ඨික) ජනතාව ද ඉතිරවීම පිණිස එළකිරි යොදා නොගත් බවට සාධක තිබේ. ඒ අනුව ඒවා ‍පොල් හෝ වෙනයම් කිරි විශේෂයක් විය හැක. මෙහිදී ධීවරයන් මෙම කිරි ඉතිරවීම කරනුයේ ගරායකු හට කරන පුද පිළිවෙතක් ලෙසිනි. වැදි ජනතාව ද තම ඉතිරවීම නෑ යකුන් පිදීමේ චාරිත්‍රයක් වශයෙන් ඉටු කරති. ශ්‍රී ලාංකීය තෙළිඟු හෙවත් අහිගුණ්ඨික ජනතාව ඉතිරවීම පිණිස එළකිරි යොදා නොගනුයේ එය ද කිනම් හෝ පැරණි යක්ෂ වන්දනාවක අභිචාරාත්මක කටයුත්තක් නිසාම විය හැක.

මෙහිදී නුවර කලාවිය සහ වන්නි හත්පත්තුව ආශ්‍රිත පුරාණ වැව් ගම් ආශ්‍රිත කිරි ඉතිරවීමේ මංගල්‍යයේ දී අදාළ භූමි ප්‍රදේශයට අරක් ගත් බහිරව දේවතාවා ස්මරණය කෙරෙන අතර අදාළ කන්නයෙන් ලද පළමු අස්වැන්නෙන් අතීතයේ එම කුඹුරු ඉඩකඩම් භුක්ති විඳ තවමත් ඒවාට ඇල්ම බැල්ම හෙළා හිඳින පැරණි ඥාතීන් හෙවත් ‘මුත්තාවරුන්’ තුටු පහටු කිරීම ද මෙම කිරි ඉතිරවීමේ මංගල්‍යයේ ප්‍රධාන අරමුණු අතර වෙයි.
දහනව වන සියවසේ මැද භාගයේ නුවර කලාවියේ ආණ්ඩුවේ ඒජන්ත පදවිය හෙබවූ ආර්.ඩබ්ලිව්. අයිවර්ස් විද්වතාණන් පවසන පරිදි පැරණි ගැමියන් කෘෂිකාර්මික ජීවිතයේදී කමත් භාෂාව භාවිත කොට ඇත්තේ ද එමගින් එම කෙත්වතුවලට අරක් ගත් අමනුෂ්‍යකාරකාදීන් නොමග යවා කෘෂි අස්වැන්න නිරුපද්‍රිත ලෙස ගෙට ගැනීමටය.

කිරි ඉතිරවීමේදී ‘දෙවියන්ට එළකිරි යකුන්ට ‍පොල් කිරි’ යන සඳහන තහවුරු කිරීමට එය ද සාක්ෂියක් ලෙස ගත හැක.

දැනට ද අප රටේ පවත්නා ජන විශ්වාසයකට අනුව රුහුණේ මීකිරි කර්මාන්තයට අධිගෘහිත වන්නේ මංගර දෙවියන් ය. එහෙත් මංගර දෙවියන් සම්බන්ධ අභිචාර විධිවලදී ද පවා ‍පොල් කිරි යොදා ගැනීම විශේෂත්වයකි. ඊට හේතුව මංගර දෙවියන් පිළිබඳ පුරාණෝක්ති තුළින් ද යක්ෂ සම්භවයක් මතු කර ගත හැකි වීම නිසා විය යුතුය.

සුබ කටයුතුවලදී යොදා ගැනෙන මෙම කිරි ඉතිරවීමේ චාරිත්‍රය ඇතැම් ප්‍රදේශවල අවමංගල චාරිත්‍රයක් ලෙස ද පවත්වාගෙන යනු පෙනෙයි. මෘත දේහයක් සුසානය වෙත ගෙන යාමට නිවසින් පිටමං කළ පසු එය තැන්පත් කොට තිබූ තැනම තහඩු කැබැල්ලක් තබා ඒ මත කිරි උතුරවන අවස්ථා මම ද දැක ඇත්තෙමි. මෙම චාරිත්‍රයේ ඇති අභිචාරාත්මක අරුත වනුයේ ‘සොහොන් කාලිය’ ප්‍රමුඛ එම මළ සිරුර කෙරෙහි ඇල්ම, බැල්ම හෙළා එතැන රැඳී සිටි යක්ෂයන් සතුටු කොට එම නිවසින් පලවා හැරීමට බව කියනු ලැබේ. ඒ කෙසේ හෝ අප රටේ පවත්නා ජන ආගම් (Folk religion) මුල්කොට ගත් මෙවැනි අභිචාර හෙවත් යාතුකර්ම (Rituals)  පිළිබඳව විධිමත් ගවේෂණ සිදුකොට මෙවන් සුවිශේෂ සමාජ සහ මානව විද්‍යාත්මක කරුණු සහ දත්තයන් අපගේ අනාගත පරපුර වෙත දායාද නොකිරීමේ වරද කිසිදා යළි නිවැරදි කර ගත නොහැකි බව මගේ වැටහීමය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: