Posted by: lrrp | September 11, 2016

අතීත යාපනයේ ජන ජීවිතය හා බැඳුණු සුන්දරත්වය

පසුගිය සතියේ අපි සාකච්ඡා කළේ යාපනයේ නැගෙනහිර වෙරළේ සහ බටහිර වෙරළේ ඉතා විශාල ප්‍රදේශයක විහිද ගිය දැවැන්ත වැලි කඳු නිර්මාණය වී ඇති ආකාරයත් මේ වැලි කඳු පද්ධතිය, කලපු පද්ධතිය හා උස්‌ පහත් වෙමින් පැතිරී ගිය පිපිරුණු හුණුගල් තට්‌ටුව යාකරමින් කාලය විසින් නිර්මාණය කළ යාපන අර්ධද්වීපය තුළ අදින් වසර 3000 ක පමණ පෙර ඇතිවූවා යෑයි විශ්වාස කෙරෙන යාපනයේ ජනාවාස ඇතිවීම පිළිබඳවත්ය.

විජය කුමාරයා ලංකාවට පැමිණෙන විටත් යාපනයේ දියුණු ශිෂ්ටාචාරයක්‌ පැවතුණු බවට සාක්‌ෂි තිබෙනවා. දකුණේ වැවයි දාගැබයි කුඹුරු යායයි වගේ යාපනයේ ශිෂ්ටාචාරය කියන්නේ කෝවිලයි ගොවිබිමයි වනලැහැබයි කලපුවයි එකතු වුණු එකක්‌. ඒ ශිෂ්ටාචාරය තුළත් විවිධ කුලවලට අයත් ජන කොටස්‌ ජීවත් වුණා. මිනිසා සහ භෞතික පරිසරය අතර සම්බන්ධතාවය දෙස බලන විට යාපනයේ පැවතුණේ දුෂ්කර පරිසරයක්‌.

යාපනයේ දක්‌නට ඇති භූ දර්ශනය තුළ අදත් ඉතාමත් සුන්දර දසුනක්‌ වන්නේ එහි වෙරළ තීරයයි. යාපනය වෙරළ කිලෝමීටර 1-2 තරම ප්‍රමාණයකට විහිද ඇත්තේ නොගැඹුරු මුහුදයි. වර්ෂා සමයන්හිදී ගොඩබිමින් සෝදාගෙන එන ඓන්ද්‍රීය ද්‍රව්‍ය වලින් පිරී ඇති කලපුවල ඉස්‌සන් සහ නොයෙක්‌ මාළු වර්ග යහමින් දක්‌නට තිබෙනවා. කෘෂිකාර්මික කටයුතු, සත්ත්ව පාලන කටයුතු සහ භූමිය සාරවත් කිරීමේ කටයුතු වැඩිවන්නට වැඩිවන්නට කලපු ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියත් වර්ධනය වීමට පටන් ගෙන තිබෙනවා. මේ නිසා යාපනයේ සාරවත් භූමි ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට සාපේක්‌ෂව යාපනයේ කලපු හා වෙරළ තීරය ආශ්‍රිතව දියුණු ධීවර කර්මාන්තයක්‌ ආරම්භ වුණා. යාපනයේ ධීවර කර්මාන්තය සිදුකරන වෙනම ජන කොට්‌ඨායක්‌ – කුලයක්‌ – බිහිවුණා. පෘතුගීසි සහ ලන්දේසි සමයේ මෙම පාරම්පරික ධීවර ජනතාවට මාළු ඇල්ලීමේ ක්‍රමවේද පිළිබඳ කිසියම් පුහුණුවක්‌ ලබාදී ඇති බවටත් තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. එබැවින් යාපනේ ධීවර කර්මාන්තය විශාල පිරිසකගේ ජීවන ක්‍රමයක්‌ බවට පත්වුණා. මේ නිසා යාපනයේ භෞතික පරිසරය හා එහි සීමා තියුණු දැනුමක්‌ සහිතව ජයග්‍රහණය කිරීම ඔවුන්ට හැකිවුණා.

තල් ගසේ වර්ධනයට අවශ්‍ය වැලි සහිත භූමියක්‌ යාපනය අර්ධද්වීපය පුරාම පාහේ පැතිරී තිබීම නිසා තල් ගස යාපනයේ ස්‌වාභාවිකව වැඩෙන ප්‍රධාන ශාකයක්‌ බවට පත්වුණා. වැලි සහිත බිම, වතුර නොරැඳෙන ස්‌වභාවය, වේගවත් සුළං ධාරා සහිත පරිසරයේ තල් ගස ඉතා සාර්ථකව වැඩුණා. තල් ගස ඇසුරෙන් නිෂ්පාදන ගණනාවක්‌ සිදුකිරීමට ඔවුන් සමත් වී තිබෙනවා. නිවාස ඉදිකිරීමට අවශ්‍ය දැව ඔවුන් ලබාගත්තෙ තල් ගසෙන්. හකුරු නිෂ්පාදනය, පැදුරු, පැළලි ආදී නොයෙක්‌ වියමන් හා ඊට අනුරූප වුණු ඉතාමත් අලංකාර ගෘහ කර්මාන්ත ක්‍රම පද්ධතියක්‌ තල් ගස ආශ්‍රයෙන් ඔවුන් ආරම්භ කළා.

යාපනයේ ඉතිහාසය සැබෑ ලෙස නිර්වචනය කළොත් දකුණු ඉන්දියාවෙන් පැමිණි එළාරගේ ජනතාව සමග දකුණේ ජනතාව යුද්ධ කළත් දකුණේ ජනතාව හා උතුරේ ජනතාව අතර කිසිදිනක යුද්ධයක්‌ තිබුණෙ නෑ. මේ ගැටුම පටන්ගත්තේ 1956 න් පසුවයි. චෝල පාණ්‌ඩ ජන කොටස්‌ සමග යුද්ධ කළත් උතුරේ ජනතාව සමග යුද්ධ කළේ නෑ. අද බොහෝ දෙනෙක්‌ යාපනය බලන්න යන්නෙ අතීත යාපන ජනතාව පරිසරය ජයගත් හැටි, පරිසරය සමග අනුගත වෙමින් ඊට අනුරූපව තම ජීවන පැවැත්ම ගොඩනගාගත් හැටි නෙමෙයි. යාපනයේ හැම ගමකම තිබෙන කෝවිල් යාපනය නරඹන්නට යන කිසිවෙකුට අමතක කරන්න බෑ. මේ කෝවිල් පද්ධතිය දකුණේ ජනතාවට දෙන පණිවිඩය කුමක්‌ද? යාපනයේ භෞතික පරිසරය සහ සංස්‌කෘතික පරිසරයේ අලංකාරය මූර්තිමත් කරන්නේ කෝවිලයි. මේ කිසිදෙයක්‌ අද යාපනය නරඹන්නට යන්නන්ගේ අවධානයට ලක්‌වෙන්නේ නෑ. මේ කෝවිල් බිම්වල අදත් දක්‌නට තිබෙන මුහුදු බෙල්ලන්ගේ ලකුණු සහිත ගල් කැබලි, අනාදිමත් කාලයක සිට ස්‌ඵටිකකරණයට ලක්‌වෙමින් පැවතුනු ආකාරය, වියළි කලාපයට ගැලපෙන ආකාරයට යාපනයේ ජනතාව තම ජීවන ක්‍රමය සකස්‌ කර ගෙන තිබෙන සැටි, ඉතාමත් ක්‍රමවත්ව සිදුකරන යාපනයේ සත්ව පාලනය, යාපනයේ භෞතික පරිසරයට අනුව යොදා ගෙන ඇති සූක්‌ෂ්ම කෘෂිකාර්මික ක්‍රමවේදයක්‌ තුළින් හුණුගල් සහිත මේ බිම මිදි, නොයෙක්‌ අල වර්ග, නොයෙක්‌ එළවළු වර්ග ඉතාමත් සාරවත්ව වගාකළ හැකි ආකාරයට ඔවුන් නිර්මාණය කරගෙන ඇති ආකාරය ආදිය ගැන දකුණෙන් උතුර නරඹන්නට යන අයගේ අවධානය යොමුවන්නේ ඉතාමත් අඩුවෙන්. මේවා ගැන අවධානය යොමු නොකර යාපනයේ සුන්දරත්වය විඳගන්න බෑ.

ශ්‍රී ලංකාවේ භූගෝලාලංකාරය පිළිබඳ
පාරිසරික පුරාවිද්‍යාඥ මහාචාර්ය
සෙනෙවි එපිටවත්තයන්ගේ විග්‍රහය

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: