Posted by: lrrp | September 11, 2016

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට දොස්‌ කියන්නෙ බලාගෙනයි

වධ 32ක්‌  අඩංගු තල්පතක්‌
රජු ගැන පරංගි කී අමූලික බොරු
රජු ඉතා දක්‌ෂ සටන්කරුවෙකි. එතුමා හංවැල්ල දක්‌වා සතුරන් හඹා ආවේය. ඉතා දක්‌ෂ සටන්කරුවකු වූ පළවෙනි විමලධර්මසූරිය රජු පවා නුවරින් පිට ගොස්‌ සටන් කළේ නැත. කොළඹ දක්‌වා යාමට තිබූ අවස්‌ථාව ලෙව්කේ දිසාවගේ ප්‍රමාද දෝෂයකින් නැති වී ගියේය. රජු ලෙව්කේගේ හිස ගසා දැම්මේය. රජුගේ කෲරකම පෙන්වීමට බොහෝ දෙනා මෙයද උපයෝගී කර ගන්නට හදන මුත් ඇත්තටම මෙයයි හමුදා නීතිය. මතකද මෑත කාලයේත් හමුදා භටයින් අතර තිබූ කතාව?

”ඉස්‌සරහට ගියොත් ජොනී, පස්‌සට ගියොත් ෙµdනී”

සිංහලේ රාජ්‍යය අපටනැති වී ගියේ ඇයි? පැහැදිලි හේතුව සිංහල රදලයන්ගේ බල අරගලයයි. පිළිමතලාවේ විසින්ම ප්‍රයෝගකාරී ලෙස කිසිසේත්ම සිංහාසනයට උරුමකම් නොකිව් තම්පලා කන්නසාමි කුමරු බලයට පත් කරන ලදී. (මොහු අග බිසවගේ නංගීගේ පුතාය. ජීවන වෘත්තිය ලෙස තම්පලා වැව් බව කියෑවේ.) ඒ ඇත්ගොව්වන්ට අල්ලස්‌ දී ම`ගුල් ඇතා ව කුමරු ඉදිරියේ දණ ගැස්‌සුවාය. ඊළ`ගට ඔහු රාජ්‍යයට උරුමකම් කියූ මුත්තුසාමි කුමරු හා තවත් අය ද පිටුවහල් කොට, හිටපු රජුගේ බිසෝවරුන් සිරගත කොට, ඔවුනට උදව් කළ ඇරැව්වාවල හා දන්ගමුවේ දිසාවේවරුන් මරා දැම්මේය.

සිංහලය ගැන සැබෑ කැක්‌කුමක්‌ තිබුණා නම් නියම සිංහල රජකුගේ යකඩ දෝලියකගේ පුතෙකුවත් රජ කරවන්නට තිබුණි. අඩුම වශයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යකඩ දෝලියගේ (සිංහල) පුතා වන මාම්පිටිය කුමරුන් හෝ රජ කරවන්නට තිබුණි. (පසු කාලයක ඇහැළේපොල අදිකාරම් මොහු සමග ලිපි ගණුදෙනු කරන කල්හි රජු ඔහුව මරා දැමූ බව පැවසේ. එහෙත් මෙහිදීද රජු ඇහැළේපොලට ද`ඩුවමක්‌ දී නැත). පිළිමතලාවට උවමනා වූයේ දොන් ජුවන් ධර්මපාල වැනි රූකඩයෙකි. අවාසනාවකට මෙන් තරුණ කන්නසාමි කුමරු එසේ නොවන වග රාජසිංහ රජ වශයෙන් රජ වූ පසු පෙන්නුම් කළේය.

පිළිමතලාවගේ දියණිය අග බිසව කර නොගෙන අනියම් බිරියක්‌ හැටියට තබා ගත් රජු -‘ගම්පොල දෙයියෝ’ නමින් ප්‍රකටව සිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඤාති සොහොයුරෙකුගේ දියණියන් දෙදෙනා විවාහ කර ගත්තේය. (සමහර විට රජුටද, පිළිමතලාවට වඩා රාජ්‍යයට උරුම කියන්නකු හා සම්බන්ධ වීමට අවශ්‍ය වන්නට ඇත.) එතැන් සිට පිළිමතලාවේ පිඹුරුපත් ඇද්දේ රජු මරා රජවීමටය.

එදා අපේ රටට මිතුරු වෙසින් ආ ඉංග්‍රීසීන්ටද උවමනා වූයේ කන්ද උඩරට රාජ්‍යය අත්පත් කර ගැනීමටය. ඒ සඳහා ජනතාව රජුගෙන් ඈත් කළ යුතුව තිබුණි. (ඇත්තටම ඇහැළේපොල මෙහෙය වූ කැරැල්ලට සහය පතා එක්‌නැලිගොඩ, ඩොයිලි හමු වූ විට, ඔහු නිළමෙට පැහැදිලිව තේරුම් කළේ රජුට විරුද්ධව ආධාර දීමට තරම් ප්‍රබල හේතුවක්‌ ඉංග්‍රීසීන්ට නැති බවත්, ජනතාව තවමත් සිටින්නේ රජු සමග නිසා ඔවුනට දිය හැක්‌කේ යුද අවි පමණක්‌ බවත්ය.)

පිළිමතලාවගෙන් පසු ඇහැළේපොලට ද ඕනෑ වූයේ කන්ද උඩරට රජවීමටයි. ඔහුටද ප්‍රශ්නයක්‌ වූයේ ජනතාව සිටියේ රජු සමග වීමය. එයට හේතු වූයේ එවකට සිටි රදලයන් ඉතා කෲර ලෙස ජනතාව තළා පෙළා දැමීමය. මෙවැනි බොහෝ අවස්‌ථාවල අසාධාරණයට ලක්‌ වූ වැසියන් වෙනුවෙන් රජු සාධාරණය ඉෂ්ට කළේය.

නිදසුන් වශයෙන් ගතහොත් වරක්‌ ඇහැළේපොල රත්නපුරේ බටුගෙදර තානායමේ සිටින විට බස්‌නායක නිළමේ කෙනෙක්‌ දෝලාවෙන් පැමිණියේය. අදිකාරම කෝප වී දෝලාව කඩා බිඳ දමා, ඔහුට පහර දී, ඔහුගේ දේපළද රාජ සන්තක කරන ලදී. තව අවස්‌ථාවක කෝරාළවරුන් දෙදෙනකුට පිහියෙන් ඇන මරා දමන ලදී. ඤාතීන් විසින් රජුට මෙය සැළ කරනු ලදුව වහාම ඇහැළේපොලට තමා හමුවට එන ලෙසටත්, එසේ එද්දී දෝලාවෙන් නොපැමිණිය යුතු බවත්, තූර්ය වාදන රහිතව පැමිණිය යුතු බවත් දැන්වීය. මෙය සිදුවන විට පිළිමතලාවේ ජීවතුන් අතර සිටි නිසා ඔහු විසින් එය සමථයකට පත් කරන ලදී.

තවත් වරක ඇලපාත මුදලි මිය ගිය විට, ඇහැළේපොල ඔහුගේ සියලු ධනය රාජ සන්තක කළේය. ප්‍රාණ බියෙන් එම කුමාරිහාමි හා දූවරුන් පලා ගිය බව පැවසේ. (ඇලපාත මුදලිගේ දුවක්‌ කවදා හෝ ඇහැළේපොලගේ පුතෙකුට කර කාර බැඳ දීමට එකඟ වී සිටියේය) මේ අවස්‌ථාවේදීද රජු වහාම පණිවිඩ එවූ විට ඇහැළේපොල එම දේපළ නැවත ඔවුනට බාර දුන්නේය.

රජු තම නෑයින්ගේ පැත්ත ගත්තා කීවද, රාජ සභාවේ ඔවුනට දුන් තනතුරක්‌ ගැන සඳහන් නොවේ. කිසිම අදිකාරම් ධුරයක්‌ හෝ නිළමේ තනතුරක්‌ දුන් බවට සන්නසක්‌ හෝ ලැබී නැත. එහෙත් ඔවුන් වෙළෙඳ අධිකාරයක්‌ පවත්වාගෙන ගිය බවක්‌ පෙනේ. මලබාර් වීදිය එයට සාක්‌ෂියකි.

දහඅට හැවිරිදි රජුට ලැබුණේ අහසින් කඩා වැටුණු රජකමකි. ඒ නිසා රටේ නීතිය එතුමා නොදැන සිටියේය. එහෙත් පිළිමතලාවේලා, ඇහැළේපොලලා වැනි අය රාජ සභාවට ආවේ අහඹු ලෙස නොවේ. ඔවුන්ගේ පරම්පරාවල් රජුන්ට සේවය කිරීමට පැමිණියේ 2 වන රාජසිංහ රජුගේ කාලයේ පටන්ය. ඒ නිසා ඔවුන් සිංහලේ නීතිය හොඳාකාරවම දැන සිටියේය.

සිංහලේ ඇති වධ 32 ක අඩංගු තල්පත රජුට ගෙනත් දුන්නේ ද පුස්‌සැල්ලේ ගබඩා නිළමේමයි. ඔහු පසුව පිළිමතලාවේ සමග එක්‌වී රජු මැරීමට කුමන්ත්‍රණය කළද, ඔහුටත් පිළිමතලාවගේ පුතුටත් රජු සමාව දුණි. පසු කාලයක වෙනත් වරදකට එම නිළමේව වධ 32 න් 1 ක්‌ වන උල තබා මරණයට පත් කරන විට ඔහු කෑගැසූ හ`ඩ මල්වත්ත පන්සලටද ඇසුණු බව පැවසේ. (මෙය සිදු වූයේ ඇහැළේපොල කුමාරිහාමිගේ ඝාතනයෙන් පසුවයි)

නෝර්ත් ආණ්‌ඩුකාරයා උත්සාහ කළේ කන්ද උඩරට රාජ්‍යය මැද්දෙන් කොළඹ සිට ත්‍රිකුණාමලයට යනතෙක්‌ පාරක්‌ කැප්පවීමටය. එහි කිසිම තහංචියක්‌ නැතිව ඉංග්‍රීසීන්ට යා හැකිවිය යුතු බවත් ඔහු කීවේය. එසේම සත් කෝරළය ලබා ගැනීමටත් ඔහුගේ අදහස විය. රජු මේවා කෙලින්ම ප්‍රතික්‌ෂේප කළ නමුදු පිළිමතලාවේ මැක්‌ඩොවල්ට පැවසුවේ රජු විරුද්ධ වුවද තමා එයට කැමති බව ය. (විජාතිකයකු වුවද රජු මේ වෙලාවේ ක්‍රියා කළේ නියම හෙළයකු බඳු ව ය.)

ඉංග්‍රීසීන් හා රජුව බිඳෙව්වේද පළමුවෙන්ම පිළිමතලාවේයි. (ඉංග්‍රීසීන් රජු හා සැදී පැහැදී සිටින්නට බලපොරොත්තු වූවායි මෙයින් අදහස්‌ නොකෙරේ) පිළිමතලාවේ උඩරටට වෙළදාමේ ආ මරක්‌කලුන්ට දස වධ දී පුවක්‌ද රාජ සන්තක කළේය. ඒ මිනිසුන් ඔත්තුකරුවන් නොවන බව දැන දැනම අත් අඩංගුවට ගෙන රජුවත් නොමග ඇරිය බව පෙනේ. පුවක්‌ ටිකත් පිළිමතලාවගේම මිනිසුන් රුවන්වැල්ලේදී විකුණාගත්තේය. මෙයින් උරණ වූ නෝර්ත් ආණ්‌ඩුකාරයා, සෙන්පති මැක්‌ඩොවල් හා කර්නල් බාබුට්‌ යටතේ හමුදා කණ්‌ඩායමක්‌ 1803 දී උඩරටට එව්වේය. ඉංග්‍රීසීන්ගේ 58 වෙනි සේනාංකය වන මෙය ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්‌ව ද පරාජය කෙරූ ඒකකයයි. එහෙත් එම හමුදාව උඩරටදී කොටු වී දරුණු පරාජයකට පත්වන්නට යන බව තේරුම් ගිය නෝර්ත්, මැක්‌ඩොවෙල්ගේ භට කණ්‌ඩායම පමණක්‌ නැවත කැඳවා තිබුණි. පිළිමතලාවගේ උදව්වෙන් ඔවුහු යහතින් ගියද, අනික්‌ කණ්‌ඩායමෙන් ජීවිතය රැකුණේ කෝප්‍රල් බාන්ස්‌ලීගේ පමණය. මෙම සටනින් ඉංග්‍රීසි හේවායන් 592 ක්‌ මිය ගිය බව පැවසේ.

රජු ඉතා දක්‌ෂ සටන්කරුවෙකි. එතුමා හංවැල්ල දක්‌වා සතුරන් හඹා ආවේය. ඉතා දක්‌ෂ සටන්කරුවකු වූ පළවෙනි විමලධර්මසූරිය රජු පවා නුවරින් පිට ගොස්‌ සටන් කළේ නැත. කොළඹ දක්‌වා යාමට තිබූ අවස්‌ථාව ලෙව්කේ දිසාවගේ ප්‍රමාද දෝෂයකින් නැති වී ගියේය. රජු ලෙව්කේගේ හිස ගසා දැම්මේය. රජුගේ කෲරකම පෙන්වීමට බොහෝ දෙනා මෙයද උපයෝගී කර ගන්නට හදන මුත් ඇත්තටම මෙයයි හමුදා නීතිය. මතකද මෑත කාලයේත් හමුදා භටයින් අතර තිබූ කතාව? ”ඉස්‌සරහට ගියොත් ජොනී, පස්‌සට ගියොත් ෙµdනී” (නැවත වරක්‌ දුන් උපදේශයක්‌ වරදවා තේරුම් ගෙන මඩකලපුව භාර කපිතාන් ජොන්ස්‌ටන් 1804 සැප් 20 දා උඩරට ආක්‍රමණය කළේය. ඔහුගේ පිරිසද සෑහෙන්නට විනාශ විය. ඔහුටද හමුදා අධිකරණය මගින් චෝදනා එල්ල කළ බව පැවසේ.)

මේ ලෙව්කේ දිසාව මීගස්‌තැන්නේ දිසාවගේ බෑනණුවන් කෙනෙකි. පසුව මීගස්‌තැන්නේ රජු හමුව ”වාසලට පමණක්‌ නොව අපටද කඩු තිබේ” යයි පැවසුවද රජු ඔහුට අනතුරක්‌ නොකිරීමෙන්ම රජු ඔය කියනා තරම් කුරිරු අයකු නොවන බව පැහැදිලිය. එපමණක්‌ නොව පසු කාලයක මීගස්‌තැන්නේ මරණාසන්නව සිටින බව දැනගත් රජතුමා ඔහුව හමුවීමට ගොස්‌ සියතින්ම ඔසු පැන් බඳුනක්‌ පෙව් බව කියෑවේ. දිසාවේ එවෙලෙහි ”ඇහැළේපොල කටුවාගෙන් ප්‍රවේශම් වෙන්න” යෑයි රජුට අවවාද කළ බවද පැවසේ.

ඇත්තටම මෙම රජතුමා බුද්ධාගම වෙනුවෙන් විශාල සේවයක්‌ කළේය. දළදා මාළිගයට පත්තිරිප්පුවක්‌ සාදා දුන්නේය. මාළිගයට අසීමිත ලෙස නින්දගම්ද පවරා ඇත. අස්‌ගිරියේ අලුත් විහාර සෙල්ලිපියට අනුව 1801 දී එතුමා එම විහාරයට තම බිසෝවරුන් සමග පැමිණ සතුටින් මේ පිංකම්වලට සහභාගි වී ඇත. එසේම ‘ඉංග්‍රීසි හටනට’ අනුව 1798 දී රජතුමා කටුගස්‌තොට, රණවාන, ශ්‍රී බෝධිමලු විහාරයටද පැමිණ ඇත. හැම දිනයේම උදෑසන දළදා තේවාවට තම බිසෝවරුන් සමග සහභාගි වී ඇත. රජු මහානායක හිමිවරුන්ගේ අවවාද පිළිගත් බව ප්‍රකට වන අවස්‌ථාවක්‌ නම් 1805-1811 දක්‌වා මෙහි සිටි මේට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරයාගේ කාලයේදී මල්වතු නා හිමියන්ගේ මාර්ගයෙන් රජුට කියා ආණ්‌ඩුකාරයා ඉංග්‍රීසි සෙබළුන් 300 ක්‌ පමණ මුදා ගත් බව පැවසෙන පුවතයි. එසේම රජු බුද්ධාගමට මේ කරන සේවය දුටු අදිකාරම්වරුන් ආදී නිලධාරීන් තම ගම් පෙදෙස්‌වල ඇති විහාරාරාම වැඩි දියුණු කරන ලද්දේ රජුගේ නාමයෙනි. මෙසේ ආරාම කොට රජු කැඳවා පිංකම් කළ බව ද පැවසේ.

මේ නයින් බලන කළ ඇත්තටම පිළිමතලාවට සාධාරණ හේතුවක්‌ තිබුණිද රජු මරා දැමීමට? පැහැදිලි හේතුවක්‌ දක්‌නට නැත. එහෙත් ඔහු අවස්‌ථා කීපයකදී එසේ උත්සාහ කළ බව පැවසේ. අවසානයේ රජුගේ ආරක්‌ෂාවට සිටි මැලේ ජාතිකයන් 60 දෙනකු යොදා රජුව නිදි යහනෙම මරා දමන්නට වෑයම් කළ ද අසාර්ථක වුණේ රජු නිතර නිතර තම නිදන තැන් මාරු කරන නිසාය. එවර රජු ඔහුගේත් තවත් නිළමෙලා කීප දෙනෙකුගේත් හිස ගසා දමන ලදී. මෙම රාජ නීතියේ වරදක්‌ ඇත්ද? (වෙල්ලෝරය බලා නැවෙන් යද්දී රජු තමා භාරව සිටි විලියම් ග්‍රැන්විල්ට පැවසුවේ දැන් තමයි තමන් නිදහසේ නිදා ගන්නේ කියාය.)

වරක්‌ රත්වත්තේ නිළමේ රජු ඉදිරියේ සිරිය ඇද්දේය. වහාම ඔහුගේ හිස ගසා දැමීමට රජු අණ කළේය. (රත්වත්තේ නිළමේ පිළිමතලාව සමග හිස්‌ ගැසුම් කෑ නිසා මේ ඔහුගේ සහෝදරයකු විය හැක) ඇත්තෙන්ම සමහරුන් පවසන්නේ ඔහු පුවක්‌ ගෙඩියක්‌ කැපීමට සිරිය ඇද්ද බවයි. රජු ඉදිරියේ නිළමේලා පුවක්‌ කප කපා දොඩමලු වේ යයි ඔබ සිතන්නේද? සිරිය ඇද්දේ ඇත්තටම පුවක්‌ ගෙඩියක්‌ කපා ගැනීමටමයි අපි මොහොතකට සිතමු. එහෙත් රජු සැක උපදවා ගැනීම අසාධාරණ යයි අපට නිගමනය කළ හැක්‌කේ කුමන පදනමකින්ද? මේ සියලු කතා රජුට විරුද්ධව ගොණු කරන්නේ එතුමා කෲර රජකු යයි ජනතාවට ඒත්තු ගැන්වීමටය.

එසේම පසු කාලයක මංමාවත් සාදා නුවර අලංකාරය සඳහා කිරි සයුර නිර්මාණය කරවන ලදී. මේ රාජකාරී වැඩවලට යොදා ගත්තේ වැඩි වශයෙන්ම සත් කොරළයේ වැසියන් බව ද කියෑවේ. ඔවුන් ඇහැළේපොළගේ කෝරළයේ මිනිසුන්ය. ඒ නිසා බොහෝ දුරට මෙය ඇහැළේපොලගේ උවමනාවටම යෙදෙව්වාත් විය හැකිය. ඔවුන්ව අනිසි අන්දමේ රාජකාරීවල යොදවා ඔවුනගේ සිත් ප්‍රකෝප කළේ ඇහැළේපොලගේම නියමයකින් විය හැක. එවිට අදිකාරම ජනතාවගේ පැත්ත ගත් විට ඔවුනගේ එකම ගැලවුම්කරු තමා යයි ජනතාවට හැඟීමක්‌ දීමටත් විය හැකිය.

ඇහැළේපොල පිළිමතලාවගේ ළගම ඤාතියෙකි. හිස්‌ වූ මහා අධිකාරම් තනතුර ලැබුණේ ඔහුටය. එහෙත් මෙම කුමන්ත්‍රණයට ඇහැළේපොලත් සම්බන්ධ යයි රජු සැක කෙරුවේලු. මෙයත් පිළිගත නොහැක. ඔය තරම්ම මහා අධිකාරම් තනතුරට වෙනත් සුදුස්‌සෙකු සිටියේම නැද්ද? කැප්පෙටිපොල නිළමේවරුන් යනාදිය?

ඇහැළේපොලටත් තිබුණේ බල ලෝභයයි. ඒ අතර ඩොයිලි පුස්‌සැල්ලේ ගබඩා නිළමේ ලවා රජුට මත්පැන් පොවන්නට විය. රජු කෲර වූයේ එතුමාට සිදුවුණු ගැහැට නිසාය. ග්‍රැන්විල්ට අනුව රජුට නිසගයෙන්ම කෲර ගති පිහිටා නොතිබුණි. ප්‍රියමනාප පෙනුමකින් යුක්‌තය. නිලධාරීන්ගේ වැරදි මග පෙන්වීමට එතුමාට ඒ ගති ලැබුණු බවයි ඔහුගේ අදහස. (ඇත්තටම රජුට බීම නිසා වියරු වැටුණු මනසක්‌ තිබිය නොහැක. ඔහු බොන්නට ගත්තේ 1805 වැනි කාලයකදී විය යුතුය. 1814 දී කුමාරිහාමි ඝාතනය විය. අවුරුදු 6 ක්‌ 7 ක්‌ වැනි සුළු කාලයකදී කෙනෙක්‌ බීමත්කම නිසා ඔතරම් වියරු වැටෙන්නේ නැත.) උඩරටට පැමිණි මරක්‌කල වෙළදුන්ටත්, ඇහැළේපොල පවුලටත් තමන් සිංහලේ නීතියෙන් බැහැරව ද`ඩුවම් නුදුන් බව එතුමා පවසා ඇත. එසේම උඩරට ආක්‍රමණය කළ මේජර් ඩේව්, හම්ප්‍රි හා කපිතාන් රම්ලිව අත්තනෝමතිකව ක්‍රියා කරන තම අදිකාරම්වරුන්ගෙන් බේරාගත් බවත් කපිතාන්වරයාට වගා කර ගැනීමට ඉඩමකුත් දුන් බවත් පවසා තිබේ. (සියලු විස්‌තර ඇතුළත් ග්‍රැන්විල්ගේ දිනපොත කොළඹ වැස්‌ලියන් මුද්‍රණාලයෙන් මුද්‍රණය කොට ඇත)

මෙහිදී රජුගේ කෲර ගති ඉස්‌මතු කිරීමට ඇතමුන් උත්සාහ කළද පරංගි දවස 2 වන රාජසිංහ රජුද මෙවැනිම ද`ඩුවම් ක්‍රියාත්මක කර ඇත. කැම්බල්ට (1843) අනුවත් රජුට කෲර ගති තිබුණා යයි ඔප්පු කිරීමට විශාල උත්සාහයක්‌ ගෙන ඇත.

දේව සංහිදය තුළ නඩු ඇසුවා නම් විය හැක. එහෙත් එතැනි වධකාගාරයක්‌ වීමට නම් කොහෙත්ම ඉඩක්‌ නැත. රජු උත්පත්තියෙන්ම විෂ්ණු කුලයට අයත් හින්දු භක්‌තිකයෙකි. ඉංග්‍රීසීන් රට භාර ගත් පසුත් එහි ගවයකු මැරී සිටීම නිසා දේවාල භූමිය වසා දැමූ බව පැවසේ. සමහරුන් පවසන්නේ රජු මේ ඝාතන බලමින් සිටි බවය. එතරම් වියරු ආසාවක්‌ ඔහුට තිබූ බවට ඒත්තු ගන්වන්නට හැදුවද රජු කරන්නට ඇත්තේ ඝාතනය අනුමත කරමින් සිය අත්සන යෙදීම පමණක්‌ විය හැක. ඇත්තටම රාජෙද්‍රdaහියකු අල්ලා ගැනීමට බැරි වූ විට කෙසේ ක්‍රියා කළ යුතුද කියා රජු දියවඩන නිළමේගෙන් (මොල්ලිගොඩද? පුස්‌සැල්ලේද?) අසා ඇත. ඔහුයි මේ ද`ඩුවම ගැන රජුව දැනුවත් කර ඇත්තේ. ‘එහෙනම් තොපලාගේ නීතිය ක්‍රියාත්මක කර ගනින්’ කියා රජු යන්නට ගිය බවකි සමහරුන්ගේ මතය.

ඇත්තටම එකළ රජුට අභියාචනා කිරීමේ අවස්‌ථාද තිබී ඇත. ඇහැළේපොල අදිකාරමට විරුද්ධව රජු විසින් පළවෙනි ආඥාපනත නිකුත් කරන ලදී. එහි කරුණු 3 ක්‌ සඳහන්ව තිබුණේය. පළවෙනි කරුණ ඔහුට මරණ ද`ඩුවම පමුණුවන බවය. දෙවැනි කරුණ සියලු නම්බු නාම වරප්‍රසාද අහෝසි කරන බවය. තෙවැන්න සියලුම දේපළ රාජ සන්තක කරන බවය. මේ අවස්‌ථාවේදීම කුමාරිහාමි රජුගෙන් සමාව ඉල්ලා ලිපියක්‌ යවා ඇතැයිද, සියලු නම්බු නාම හා දේපළ රාජ සන්තක කළාට කමක්‌ නැතැයිද තම ස්‌වාමියාගේ ජීවිතය පමණක්‌ බේරා දෙන්න යෑයිද, මින් මතුවට ඔහුගෙන් එවැනි රාජ ෙද්‍රdaහී ක්‍රියාවක්‌ නොවන තැනට තමා වග බලා ගන්නා බවද එයින් ඉල්ලා තිබුණි. එසේ නම් ඒ තල්පතට සිදු වූයේ කුමක්‌ද?

පළවෙනි ආඥාපත නිකුත් කළ අවස්‌ථාවේදී ඇහැළේපොල අදිකාරම ඉදිරිපත් වූයේ නම්, රජු මරණ ද`ඩුවම දීම ස්‌ථිරම නම් ද`ඩුවම් විඳින්නේ ඔහු පමණි. ඔහුගේ වරදට කිසිසේත් සම්බන්ධ නැති අහිංසක දරු පවුල ඝාතනය වන්නේ නැත. පිළිමතලාවේ මහා අදිකාරමගේ සිද්ධිය වන අවස්‌ථාවේ ඔහු පලා නොගිය නිසා ඔහු පමණක්‌ මරණ ද`ඩුවමට භාජනය විය. පසු කාලයක රාජ සන්තක කරන ලද ඔහුගේ දේපළ කනිෂ්ඨ පිළිමතලාවට රජු විසින් ම ආපසු භාර දෙන ලදී.

රජු දෙවැනි ආඥාපත නිකුත් කිරීමට පෙර කුමාරිහාමි ඇතුළු සියල්ලන් නිවාස අඩස්‌සියට ගත් බව පෙනේ. මොල්ලිගොඩ මහා අදිකාරම මේ සඳහා කටුඹුල්ලේ ආරච්චිල යෙදවූ බව පැවසේ. එහෙත් මේ අතරතුර කාලයේදී කුමාරිහාමි සිය වැඩිමහල් දියණිය, තම හිතවතියක හෝ සේවිකාවක සමග තම මෑණියන්ගේ (දෙල්ගොඩ කුමාරිහාමිගේ) ගම් පෙදෙස වන සඳලංකාවට එවූ බව කියෑවේ. ඒ නිකම්ම නොවේ, තම රන් හා මුතු ආභරණ ඇතුළත් ඇත්දළ පෙට්‌ටියත් සමගය. ඔවුන් මෙම ආභරණ පෙට්‌ටිය වළලා දැමූ බව පැවසේ.

ඇහැළේපොල පවුල ඝාතනයේදී කුමාරිහාමිගේ එක කුස උපන් වැඩිමහල් සහෝදරයා වන කැප්පෙටිපොල නිළමේ කිසිවක්‌ම නොකළේ ඇයිද යනු උභතෝකොටික පැණයකි. බොහෝ විට කුමාරිහාමිගේ තල්පත රජුට දෙන්නට කියා මොල්ලිගොඩ අතට පත් කරන්නටත් ඇත්තේ ඔහු විය හැක. ඇත්තටම මෙම තල්පත රජු අතට පත් වීද? නැතිනම් මොල්ලිගොඩ සඟවා ගත්තේද? රජුගෙන් සමාව ලැබෙන තෙක්‌ බලා සිටින විට, බාර වන ලෙස නිළමේට දන්වන රජුගේ දෙවැනි ආඥාපතත් නිකුත් කරවා හදිස්‌සියේම නිළමේවරුන් මෙම ද`ඩුවම ක්‍රියාත්මක කරවූයේද? රජු මෙම රහස කිනම් වේලාවක හෝ දැනගතහොත් තමාට බරපතළ ද`ඩුවම් ලැබේවි යෑයි සිතූ නිසාද මොල්ලිගොඩ මහා අදිකාරම තමාගේ පරම වෛරක්‌කාර ඇහැළේපොල සිටින ඉංග්‍රීසි කඳවුර වෙත ගොස්‌ රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළේ? මොල්ලිගොඩට රජුට විරුද්ධව යාමට කිසිදු හේතුවක්‌ නොවූ බව පැහැදිලිය. (පසු කාලයක පුතුන් නොසිටි මොල්ලිගොඩ මිය ගියේ තම දේපළ කැප්පෙටිපොලලාට උරුම කර යයි පුවතක්‌ ද ඇත) එසේම මෙම ඝාතන සිද්ධියෙන් පසුවත් කැප්පෙටිපොල නිළමේ රජුට පක්‌ෂපාතීව කටයුතු කළ බව පෙනේ. ඔහුට දියවඩන නිළමේ තනතුර හා මාතලේ දිසාව තනතුර පවා හිමි වූයේ මෙම ඝාතනයෙන් පසුවය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: