Posted by: lrrp | July 25, 2017

කුට්ටි කාසි අතර රැඳි රන් මිණි මතුකර දුනි කැලණි ගං කොමළී

මයිලවලදී කැලණි ගං කොමළිය හැඩකාරිය, සිරියාවිය. එය පොඩිපහේ ගැබ්බර සිරියාවකි. ගල්පොත්තෑව මැදින් ගඟ ගලද්දී වතුර පාර හිටිහැටියේ අන්තරස්දාන නොවුණත් කවුරුහරි වතුරට හොරයක් කළා වගේ හැඟීමක් ඇතිවේ. ඒ ගල් අතර පතරින් වතුර යටින් කිමිඳී ගොස් වක්කලං හැඩයක් සමඟ ඇස මානයෙන් මතුවන නිසාය. ඉන් එහාට ගැඹුරැති ගඟ ගලන්නේ මැදිවියේ ගැහැනියක සොර සැමියෙක් සොයා යන නිහඬතාවකිනි. අරපරිස්සමකිනි. කෙසේ වෙතත් එතැන තමයි තැන. එලෙස කීමට හැකිය.

ඒත් රන්තොටිම කංකානමගේ ගුණරත්න කියන්නේ එතැන නෙවෙයි තැන! කියාය. ඒ කාලය, ප්‍රවේගය සමඟ සමීකරණමය ළැදියාවක් වීමක්ම නොව ගඟේ හැදියාව දෙස දශක පහක් තිස්සේ නිසොල්මනේ බලා සිටීම නිසා ලද පරිචය මඟිනි. කොහොමද මෙතැන තැන වෙන්නේ මම ගුණරත්න නම් ගං දෑලයාගෙන් විමසා සිටියෙමි.

ගොයියෝ කැරලි ගැහිල බරවුණු හැඩපලු කොණ්ඩෙක තමයි උකුණෝ ඉන්නේ. ගඟ මෙතැනදි අකීකරු කෙස්වහල්ලක් වගේ. ඒ කෙස්වහල්ලේ අයිතිකාරි ගැටිස්සියක්. එච්චරයි වෙනස. ඒකයි මම තැන මෙතැනය කියල කිව්වෙ. ආයෙ දෙකක් නැහැ මෙතැන තමයි තැන. විය යුත්තේ මෙම කෙස්වහල්ලේ හැඩපලු දිග හැරීමය. දන්න කියන ලෙස එය සිදුවුවහොත් කතාව මෙලෙසය.

සිරිපා හිමෙන් පටන්ගන්න ගඟ ගලාගෙන ඇවිත් උඩමට්ටම් වෙලා වතුර පාර ලොකුවට පෙන්නන්න ගන්නේ මයිලවලදි. ඒ කියන්නේ මේ හරියෙදි ගඟ හරහා ලොකු ගල් තලාවක් යටින් ඇදී යනවා. ගඟ ගලන්නේ ඒ ගල් තලාව උඩින්. ලොකු අලි ගල් කුහර උඩින් තමයි මේ හරියෙදි ගඟ ගලාගෙන යන්නේ. වඩා වැදගත් කාරණය තමයි මේ හරියට පරණ ගඟ අහු නොවන එක. ඒ කියන්නේ දැන් අලුත් මංපෙත් හදාගෙන ගඟ ගලා ගියාට ඒ කාලේ ගඟ ගලාගෙන ගිහින් තියෙන්නේ වෙනස් විදියට. දැන් ඉවුරු තියෙන හරියෙන් ගඟ ගලාගෙන යන්න ඇති. මේ මයිලවල හරියෙදි ගඟට එහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද ගල් තලාව අඩි 40ක් 50ක් දුරට ගං පතුල විදියට තියෙන නිසා. පෙළක් තැන් තියෙනව පරණ ගඟ ගලා ගිය පිටි මඩ පස තියෙන. ඒත් මේ ගඟ පටන් ගත්ත කාලෙක ඉඳල මේ තාක් වෙනකම් මේ මයිලවලදි ගඟේ හැඩේ වෙනස් වෙන්න තිබුණු ඉඩ හරි අඩුයි.

තත්ත්වය තවත් සුමට ලෙස තෝරා බේරා ගැනීම සඳහා සුදුසුම කාර්ය වන්නේ ගුණරත්න නම් ගං දෑලයාට සිය කතාව සවිස්තර කිරීම සඳහා අවස්ථාව ලබාදීමය.

මම කොල්ල කාලේ එනවා ගඟේ පීනන්න. ඒ කාලේ තමයි මම මුලින්ම ගඟේ කිමිඳෙන්න පුරුදු වුණේ. දෙයියනේ කියල අඩි 35 යට ගිහින් අවශ්‍ය රාජකාරිය කරගෙන ආකහේ සුළඟ වදින්න ආයෙත් එන්න හැකියාව මට ලැබුණේ කොල්ල කාලෙදි. අඩි 20-30 කිමිඳෙද්දි තෙත ගතිය ඇඟට මාත්තු වෙනවා.

එතකොට අමාරුයි. ඒක තමයි කිමිඳෙද්දි පහුකරන්න අමාරුම කාලය. ඒක පහුකරගත්ත කියන්නේ ආයේ කිමිඳෙන එකේ අලුතින් ඉගෙන ගන්න දෙයක් නැහැ කියන එක. මුහුද වගේ නෙවෙයි ගඟ. ගඟ සැරයි. මොකද උඩහට වහිද්දි ගඟ හැම වෙලාවෙම මැඩවි මැඩවි තමයි පල්ලෙහාට ගලන්නේ. ඒ ගැස්සිල්ල එක්ක හොඳට ඔට්ටු වුණොත් තමයි කිමිඳෙන කාරිය ලේසි. හැබැයි ඉතින් මොන ජගතා වුණත් අඩි 30 පහුකරල කිමිඳෙනවා කියන්නේ ගැහි ගැහී ගොඩ එනවා කියන එක. පළමුවැනි අඩි 10 වතුර වගේ නෙවෙයි ඒ අඩි 10 පහු කළාම තියෙන වතුර. ඒ වතුර අයිස් කැට වගේ. හැබැයි ඇඟට අමාරු නැහැ.

මයිලවල හරියේ තියෙන්නේ තනිකර ගල්. ගඟ දිගේ කොච්චර ඇවිද්දත් මට මෙතැන තරම් ලේසි පහසු තැනක් හම්බවෙලා නැහැ. කුමාරිමුල්ලට උඩින් තමයි ගල් තලාව අහවර වෙන්නේ. මයිලව, කුමාරිමුල්ල, ගුරුගල්ල පාලම කියන්නේ ගඟ මැඩවි මැඩවි ගලන තැන්. ඒක තමයි තැන! හැඩපලු ගැහුණු ගල් පර්වත හින්ද ගඟ ආදි කාලේ ඉඳලම මේ විදියට ගලන්න ඇති කියන එක තමයි මගේ විශ්වාසය. අන්න ඒකයි මම කියන්නේ මෙතැන තමයි තැන කියලා.

1980 දශකයේ මුල් වකවානුවේදී පූගොඩ පෙහෙ කම්හල් සේවකයකු වූ මෙම ගංදෑලයා කිරිඳිවැල සිට පූගොඩට ගොස් ඇත්තේ ගං ඉවුර මතින් ඇදීයන දිගැටි පාරේය. ගඟ හරහා පාලම්පාරු වැඩි වශයෙනුත් පාලම් අඩු වශයෙනුත් තිබූ එම යුගයේදී මෙම ජීවිත පාලනය කරන ගාමක බලවේගය වී ඇත්තේ කැලණි ගඟය. ඔරු, පාරු මතින් ගඟ දියේ පහළට ඇදී යන ජීවිත ජීවත් කරවීම සඳහා ගඟ ලබාදී ඇත්තේ වචනාර්ථ නොමැති සහායකි. එය මෙලෙස පවසා සිටිය හැකිය.

view-on-the-kelani-river

කොටන් පාරු, බැරල් පාරු තමයි ඒ කාලේ ජනප්‍රිය. උඩහින් කපාගත්ත කොටන් එකට බැඳල අපි පල්ලෙහා අරගෙන යනවා. කඳන් ගං ඉවුරට සේන්දු නූණොත් කිමිඳෙන්නේ නැතිව මොනවත් කරන්න බැහැ. ඒ කාලේ ඉවුරු ඒ තරමට අෑගුල් වෙලා තිබුණේ නැහැ. ඒ හින්ද කොටන් පාරු වැඩේ නැඟල ගියා. බැරල් පාරුවලින් කළේ වැලි ගොඩදාන එක. අඩි 20-30 කිමිඳිලා වැලි පනිට්ටු ගොඩ ගේන්න ඕනෑ. ඊට පස්සේ තොටුපොළ ගාවට ගිහින් පාරුවට ගාණ කතා කරල වැලි ටික විකුණලා දානවා. මේ දෙක තමයි ගඟෙන් ජීවත් වෙන්න ඒ කාලේ වැඩිපුරම කළේ.

ඔය අතරතුර පරණ ගඟේ ඉඳල හොරාට ගඟ පැත්තට පතල් බැස්ස. පරණ ගඟ කියන්නේ ආදිකාලේ ඉඳල ලොකු කොටන් ගහගෙන ඇවිල්ලා ඒවා පසෙන් යට වෙලා, වතුරෙන්, තෙම්පරාදු වෙලා හැදුණු බිම්කඩට. ඒ කාලේ පරණ ගඟ මතුකරගෙන පතල් බැහැපු අයට හරියට හම්බවුණේ යපස්, ඊයම් වගේ ඒවා. තව ගල්අඟුරු, මිනිරන් වගේ දේවලුත් හම්බවුණා. ඒවා වැඩකට නැහැනේ. හොයන්නේ ගල් ඉල්ලම් හින්ද හැමෝම වගේ ඒ දේවල් හම්බවුණු ගමන් කරන්නේ පතල් බැහිල්ලේ දිසාව වෙනස් කරගන්න එක. පරණ ගඟ කියන්නේ සම්පත් ආකරයක්. ඒත් ඒව ගැන එහෙමම කියල වුවමනාවක් අපිට තිබුණේ නැහැ. ගොඩක් අය වැඩ කළේ බැරල් පාරුවල. ඒ කියන්නේ සත දහයට වැලි පනිට්ටු ගොඩ ගේන එක. ඔන්න ඔය කාලේ තමයි මැණික් ගැන ලොකු අවධානයක් ආවේ. මම ගඟ අතඇරල ඇළහැර ගියා මැණික් ගරන්න. ඇළහැර ගිහින් මහ ගඟෙයි, කළු ගඟෙයි මැණික් ගරන්න ගත්ත.

පතල් බහිනවා, ඉල්ලම් කඩා ගන්නවා, ගරනවා. ඒක අමාරු රස්සාවක් නෙවෙයි. ඒ පාර මම ඇළහැර ගරන එක අවුරුදු 4-5ක් කළා. ලොකු ලාභයක් නැහැ. ඒත් එහෙමට කියල පාඩුවකුත් නැහැ. දවසෙ ගාණ හොයාගන්නවා. එකම ප්‍රශ්නය ගෙදර එන්න නොලැබෙන එක. ඒක මට හරියට බලපෑව. දරුවොත් ඒ තරම් ලොකු නැහැ. මම ඇළහැර ගියේ පූගොඩ ෆැක්ටරියෙන් අස්වෙලා.

kel-04

ආයේ කිරිඳිවැල ඇවිත් කරන්න රස්සාවකුත් නැහැ. මම ඇළහැරදීම තීරණය කළා කොහොමෙන් හරි කැලණි ගඟ එක්ක ඔට්ටු වෙලා ජීවත් වෙනවා කියලා. ඒ පාර මම දෙපාරක් හිතන්නේ නැතිව ගෙදර ආවා. ආව දවසට පස්සේ දවසේ කැලණි ගඟට බැස්ස. වැලි ගොඩදැම්ම. මේ වැලි රස්සාවට ගඟේ කිමිඳෙන්න ඕන. මේ කාලේ මට මතක හැටියට 1980 මුල. වැලි ඕඩර් හරියට එනවා. මොකද ජේ.ආර්. මහත්තයගේ ආණ්ඩුව අලුත් වැඩ ගොඩක් පටන්ගෙන. අපිත් මහන්සි නොබලා වැඩ කළා. වැලි ගොඩදාන එක ලේසි වැඩක් නෙවෙයි. ඒත් මම වැලි ගොඩදාන එක, එක දිගට අවුරුදු 3ක් විතර කළා. ඔය කාලේ පරණ ගඟ දිගේ ඇවිත් අලුත් ගඟට ඇතුළු වුණු හොර පතල් එහෙමත් මම දැකල තිබුණා. කිමිඳිල උඩට ගේන වැලිවල අර පරණ ගඟේ පතල්වලයි, ඇළහැර පතල්වලයි හම්බවුණු ගල් ජාති තියෙනවා කියලා මට තේරුම්ගන්න පුළුවන් වුණා.

මම දැන් කරන්නේ අර වැලි ගොඩදැමිල්ල එක්ක උඩට එන ගල් ගැන හොයල බලන එක. මැණික් නෙවෙයි වුණාට මැණික් එක්ක බොහොම ළඟ සම්බන්ධයක් තියෙන ගල් තමයි ඒ අවට හැම තැනකම තිබුණේ. මට දැන් මේක දරාගන්න අමාරුයි. එක දවසක් අඩි 30-35 කිමිඳිල මම ඒ ගාණටම ගඟ දිගේ යාර 20ක් – 30ක් පල්ලෙහාට ඇවිත් කූඩයකට වැලි අරගෙන ගොඩ ආව. ඒ කූඩය පුරෝගද්දි මට තේරුම් ගියා පතුල කළුගල කියල. ගොඩ ඇවිත් මම පරිස්සමට කූඩය අස්කරල බලද්දි මට කාසි 3ක් හම්බවුණා. වික්ටෝරියා මහ රැජන තමයි ඒ කාසිවල හිටියේ. රැජනගේ එක රූපයක් තිබුණේ පැත්ත බලාගෙන. අනෙක් රූපය තිබුණේ කෙළින් බලාගෙන. මම කාටවත් කියන්නේ නැතිව ඒ කාසි ටික ගෙදර ගෙනාවා.

මෙතැන තමයි තැන! එලෙස පවසා සිටින්නට ගුණරත්නයන්ට හැකියාව ලැබී තිබුණේ මෙම වික්ටෝරියානු කාලසීමා නිර්ණය මුල්කරගත් කාසිය. ගඟ දෙපැත්තේ පදිංචි ඇත්තෝ මෙම කාසි වහරන්නේ මුට්ටි කාසි කියාය. ගුණරත්නයන් මෙම කාසි රැගෙන යන්නේ එවකට එම ප්‍රදේශයේ ගම්මුලාදෑනියා ලෙස සේවය කළ අප්පුහාමි මහතාගේ පියාණන්ට පෙන්වීම සඳහාය. පැරැණි ඉතිහාසය පිළිබඳ උගතෙක් වූ අප්පුහාමි මහතාගේ පියාණන් පවසා සිටින්නේ මෙම කාසි 1801 වර්ෂයේ මුදල් ගනුදෙනුවලට යොදාගත් ඒවා බවය. අතිශය දුර්ලභ මෙම කාසි ගඟ ප්‍රවාහන මාධ්‍ය කරගෙන වෙළහෙළ¼දාම් කළ වෙළෙන්දන්ගේ විය හැකි බව නිගමනය කරන අප්පුහාමිගේ පියා ගුණරත්නයන්ට පවසා සිටින්නේ එක් කාසියක් දෙකක් පමණක් නොව තවත් කාසිද ඒ කාසිවල බරට සමාන තව තවත් දෑද කාසි හමුවූ ප්‍රදේශයේ තිබෙන්නට ඉඩකඩ ඇති බවය.

ඊට පස්සේ මම කළේ වැලි ගොඩදාන එක කරන ගමන් කාසි හොයපු එක. කාසි විතරක් නෙවෙයි මට බයිනෙත්තු කඳන් දෙක තුනක් හමුවුණා. ඒ විතරක් නෙවෙයි පරණ කඩු ගොඩක් හම්බවුණා. මෙහෙම හාර මාසයක් විතර කාසි හොයද්දි මට කාසි ජාති 23ක් වෙන විදියට කාසි 320ක් ගඟෙන් හොයාගන්න ලැබුණා. ඒ කාසි ගැන මම හෙව්ව. එහෙම හොයාගෙන යද්දි 1700 අන්තිම කාලේ පාවිච්චි කරපු කාසිත් ඒ අතරේ තිබුණා. පිටරට පරණ කාසි තළල තමයි ඒ කාලේ හිටපු රජවරු ඒ අයට කාසි හදාගෙන තිබුණෙ. ඒ විදියට තළල හදාගත්ත කාසි ජාති ගොඩකුත් මට හම්බවුණා. ඒවා තාමත් මම ගාව තියෙනවා. කාසි හෙවිල්ල එක්ක මට වැලි රස්සාව හරියට කරගෙන යන්න අසීරුයි. මොකද ගොඩදාන පනිට්ටු ගාණට ගෙවන්නේ.

අප්පුහාමිගේ පියාණන් ගඟ පිළිබඳ තමන් දන්නා කරුණු කාරණා ගුණරත්නයන්ට නොපවසා සිටියේ නම් ඔහු අද මෙලෙස “පාරදිගේ” පිටු අතරට නොඒවි. ඒ ලියන්නා ලෙස මා හට දැනුණු අදහසකි. අප්පුහාමිගේ පියා අපූරු ගණයේ අයෙකි. එක් දිනක් ඔහු ගුණරත්නයන් ගඟ අසලට කැඳවාගෙන ගොස් පවසා ඇත්තේ එක සමාන බරින් යුත් ගලක් සහ කාසියක් ගඟේ ඉහළ ස්ථානයකින් ගඟට විසිකළ පසු ඒවා ගසාගෙන ගොස් නතර වන්නේ කොතැනද යන්න පිළිබඳව දැනුවත්ද යන්නය. ගුණරත්න එයට එක එක ආකාරයේ පිළිතුරු ගොනු කළද සියල්ල සිනා මුවින් ඉවසන ලද අප්පුහාමිගේ පියා පවසා ඇත්තේ තැන කොතැන වුව ගල සහ කාසිය එක ඉසව්වක රැඳී තිබීමට ඇති ඉඩකඩ වැඩි බවය. එහි දිසි අරුත ගළපාගැනීමට ගුණරත්නයන් හට බොහෝ කල් ගතවූයේ නැත.

කාසි ඇති තැන මැණික් ගලුත් ඇති!
ඊට පස්සේ තමයි මම මැණික් හොයනවා කියන අදහසින් ගඟට බැස්සේ. කාසි හොයාගන්න තැනට යාර 10-12ක් දුරින් ගල්තලාව. ඒ වෙද්දි කාසි තුන්සිය ගාණක් මම හොයාගෙන තිබුණේ එතැනට මෙහායින්. මම කිමිඳුණා ගල්කුළ පැත්තට. පළමුවැනි දවසේ මට පුදුම හිතුණ. ගල ඇතුළේ ඇතුළු වුණු අඩි 10-12 ගල් වළවල් තියෙනවා. ඇස් දෙක අරින්න බැහැ. ඒ තරමට කළුවරයි. ඒවා ගොඩක් වැලිවලින් පිරිල. හැබැයි හැම වළකම එක සමානව තමයි වැලි තියෙන්නේ.

ඒ පාර මම ඒවල වල්වලින් වැලි බාල්දි ගේන්න ගත්ත. පෙළක් ලොකු ගල් වතුර ඇතුළෙදි එහාට මෙහාට ගෙන ලේසියෙන් ආම්බාන් කරන්න පුළුවන්. පළමුවැනි පනිට්ටු 10 මම ගොඩ ගෙනල්ලා ගරලා බැලුව සාමාන්‍ය ගාණෙ මැණික් ගල් 13ක් ඒකේ තිබුණා. කාසි ජාති 3කින් කාසි 8ක් සොයා ගත්ත. මට තේරුණා මොකක්ද වෙන්නේ කියල. ඒ පාර මම දිගටම ගරන්න ගත්ත. සතිය යද්දි මට ලොකු පිඟානකින් එකක් මැණික් එකතු කරගන්න පුළුවන් වුණා. ගල් වළේම තමයි මම වැඩ කළේ.

මාසෙ හමාර යද්දි ගල් වළ මට ගෙදර වගේ. හොඳ වැස්සක් සිරිපාදේ පැත්ත අල්ල ගඟ උතුරල ගිහින් වතුර අඩු වෙද්දි මම ගල් වළට බහිනවා. දැන් 1990 විතර මම මැණික් විකුණන්න ගත්තා. අපි මැණික් කියන්නේ දිස්නය දෙන පාට ගල්වලටනේ. ඒත් ඇත්ත ගල් ඒ වෙද්දි මම විසිකරල. එක සතියකට හොයා ගත්ත ගල් පිඟානක් මම රුපියල් හැත්තෑ දෙදහ ගාණේ විකුණල දැම්ම. ඒ හරියේ රැඳෙන්නේ පොඩි ගල්. ලොකු ගල් ගල් කුළ පත්ලට ඇදිල යනවා. ඒක මම ඇස් දෙකෙන් දැකල තියෙනවා. රන්වල දෙයියන්ට පුහුල් පහනක් පත්තු කරල ගඟට බැස්සොත් එහෙම කවදාවත් වරදින්නේ නැහැ. ඒක තමයි ඇත්ත.

මම ඇතිවෙන්න ඉල්ලන් භාගේ අත ගෑව. හොරාට කළේ නැහැ. ගෝලයෝ ඔක්කොටම හරි විදියට සාත්තරේ කියල දුන්න. මේවා සමන් දෙයියො රන්වල දෙයියන්ගේ මිනිසුන්ට එවන තෑගි. ඒවා ගත්ත කියල පවක් නැහැ. මම රස්සාව කියල දුන්න එක 1000ක් විතර ගං ඉවුරේ ඒ පොළේ මැණික් ගැරුව. ඒ අයට ලැබෙන පරණ කාසි ඔක්කොම වගේ ගෙනත් දුන්නේ මට. ඔහොම කාලයක් ගත වෙද්දි පරණ ගඟ ගාවින් බැහැපු හොර පතල් වැහිල ගියා. මහන්සි නොවී මැණික් ගොඩ ගන්න ක්‍රමය මම කියල දුන්න නිසයි ඒක වුණේ.

ඒ නිසාදෝ ගුණරත්නයන්ට කැලණි ගං කොමළිය පෙරළා ලබා දුන්නේ මැණික්. ඉපැරැණි කාසිද පමණක්ම නොවීය. එය නම් සැබෑම පුදුම සහගත කතාවකි. එක් දිනක් ගුණරත්නයන් කැලණි ගඟේ සිට බැසගත් පතලක් කිමිඳුණේය. එය දිගේලි වී තිබුණේ අලුත් ගඟ දිසාවටය. ඒ පතල කෙළවරට ඉරඑළිය වැටෙන්නේ සෘජුවමය. ඒ එක කැටියට ගස් කොළන් වැව් ඉවුරේ නොමැති නිසාය. ගුණරත්නයන් ඉරඑළියට දිලිසෙන යමක් පැරැණි පතල් කෙළවරදී නිරීක්‍ෂණය කර ඒ දිලිසෙන යමක් ඇති ස්ථානය දෙස බලා නිවැරැදිව කිමිඳුණේය. ගොඩ ගෙනවිත් බලන කල ඒ දිලිසෙන්නේ රත්තරන්ය. සැබෑ ලෙසම විමසා සිටිය හොත් රත්තරන් කුඩුය. (මැණික් ‘කාසි’ පරදවා රත්තරන්!)

රත්තරන් හමු වුණා කිව්වට ඒක කවුරුත් පිළිගත්තෙ නැහැ. ඒ වුණාට මට විශ්වාසයි ඒ රත්තරන් කියල. ඒ පාර මම දිගටම රත්තරන් ගැරුව. ඒක අමාරු වැඩක්. මොකද ගහගෙන යන වතුරේ රත්තරන් ගරන්න අමාරුයි. ඒකට වතුර කොටු හදාගත්ත පතුලෙ. ඒත් මම අත ඇරියේ නැහැ. එක දිගටම ගරල පොඩි කුඩු විදියට තිබුණ රත්තරන් මාමයිට් බෝතල්වලට එකතු කළා. ඒ බෝතලයක් පිරුණම ඒවා අරගෙන රුක්ගහවිල රත්තරන් වැඩකරන මගේ මිත්‍රයෙක් වුණ දේවේන්ද්‍ර ගාවට අරගෙන ගිහින් උණු කළා.

පුදුමේ කියන්නේ ඒවා 100%ක්ම පිරිසුදු රත්තරන්. මාමයිට් කුප්පි 3කින් පවුමක් හදාගන්න පුළුවන්. ඒ වැඩේ කියන තරම් ලේසි නොවුණට මම ඒකට ආස කළා. කොහොමහරි මාසයක් විතර මහන්සි වෙලා මාමයිට් කෝප්ප 3ක් හදා ගන්නවා. එතැන රත්තරන් පවුමක්. මම ගෙදර කෙනාට මාලයක් කියල මුලින්ම හදල දුන්නෙත් ගඟෙන් ගත්ත රත්තරන්වලින්.

ගුණරත්නයන් සමඟ මම දිනයේ අවසන් මොහොතේදී ඉපැරැණි මතක මංපෙත්වල ඇවිදිමින් සිටියෙමි. මයිලවල ගල් තුළ මුල් කරගෙන යෝධ පාලමක් ඉදිවෙමින් තිබේ. ඒ කිරිඳිවැල දෙසින් අවිස්සාවේල්ල යා කර ගැනීම සඳහාය. පැරැණි පාරු දැන් පෙනෙන්නට නැත. ඉවුරු දෙක යා වීමට ඇත්තේ තව ස්වල්ප කාලයකි. අෑතින් පෙනෙන පාලම දෙස ගුණරත්න බලන්නේ මුදු සිතකින්. සම සිතින් බලන්නේ පාලම කොනක රංවල දෙයියන් කෙරේ දල්වා ඇති පුහුල් පහන් දෙස පමණි.

ඒ කාලේ මේ හැම තැනම මම කිමිඳුණා. කාසි, මැණික්, රත්තරන් හෙව්ව. ඒත් අද… අද කොල්ලෝ අපට වඩා මහන්සි වෙනවා ජීවත් වෙන්න. ගරන්න, වැලි ගොඩ දාන්න අද ඉඩ නැහැ. කිමිඳෙන්න කියල එහෙමටත් පහසුකම් නැහැ. කොම්පෙෂර් ගෙනත් ඒවා එළවළු තෙල්වලින් වැඩ කරන්න හදල ඒ කොම්පෙෂර්වල උදව්වෙන් හුළං අල්ලගෙන තමයි අද කොල්ලෝ කිමිඳෙනවා කියන්නේ. හැම තැනම ඉ.ඊ.ජ්. මහත්තුරු. ඒ අය කරන්නේ රාජකාරිය. ඒ හින්ද හිත් නරක් කරගෙන වැඩක් නැහැ. ගඟ උතුරන කාලෙත් කොල්ලෝ ගරන්න හදනවාලු. පව් තරුණ ජීවිත. මේක සමන් දෙයියෝ රංවල දෙයියෝ අදහන මේ ගම් පළාත්වල මිනිසුන්ට එවන තෑගි භෝග කියල හැමෝම හිතල ගඟට කරදර නොකර ගඟ මැද්දාවෙන් ඒ තෑගි කරල දෙන්න උත්සාහ ගන්නවා නම් තමයි හොඳ.

ගුණරත්න මහතා මෙම දුරකතන අංකයෙන් සම්බන්ධ කරගත හොත් ඇවැසි අයකුට කැලණි ගඟ මිටියාවතේ ඉතිහාසය පිළිබඳ ස‍ෙදාස් තැන් නි‍ෙදාස් කරගත හැකිය. දුරකතන අංකය 071 7411998.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: