Posted by: lrrp | October 29, 2017

පෘතුගීසි ආක්‍රමණිකයන් දෙවිනුවර උපුල්වන් දෙවොල විනාශ කළ හැටි

Matara-1100x732ශ්‍රී ලංකාවේ ශ්‍රීපාදස්ථානයට පමණක් දෙවැනි බෞද්ධ හින්දු සහ වෙනත් ආගමික බැතිමතුන් විශාල ප‍්‍රමාණයක් වාර්ෂිකව වන්දනා පිණිස සහභාගි වන පූජා භූමිය දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ දෙවුන්දර මහා දිව්‍ය රාජභවනයි. දකුණු පළාතේ මෙන්ම සබරගමු, මධ්‍යම, බටහිර, ඌව හා අනෙක් සියලුම පළාත්වල විවිධ ආගමික බැතිමතුන් ඇසළ මහා පෝය නම් කර තිබුණේ ‘සුද්දෙ පෝය’ යන නාමයෙන්ය. මේ පෝයට සියලු ජනයාම තම ගෙවල් දොරවල් ශුද්ධ පවිත‍්‍ර කොට ගොම මැටි ගා පවිත‍්‍ර කොට ගෙමිදුල්වල පහන් පැල් සාදා පහන් දල්වා දේව පූජා කරති. රෝග පීඩා සඳහා වූ බාරහාර පඬුරු පුද පූජා රැගෙන දේවාල වන්දනාව පිණිස ගම් දනව් පීරා මහ සෙනඟ පැමිණ දෙවිනුවර මහා දිවරාජ භවන පූජා භූමියට රැස්වෙති. දෙවිනුවර ගම්වාසී ලොකු කුඩා සෑම නිවෙසකම මේ කාලය ‘අමුතු බත් දීමට’ මාස ගණනක් තිස්සේ කටයුතු සම්පාදනය කරති. ඒ, එදා උපුල්වන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ වෙනුවෙන් සාම්ප‍්‍රදායිකව ඇවැතුම් පැවැතුම් පැවැත්වූ ආකාරය ය. අද ඒ පුරාණ චාරිත‍්‍රවල නෂ්ටාවශේෂ පමණක් ඉතිරිව තිබේ. එදා දෙවිනුවර ශ්‍රී විභූතිය පිළිබඳව දේශාටන වාර්තාවලින් කියැවෙන තොරතුරුවලින් එහි ඇති මහා හාස්කම් පිළිබඳව අපට කරුණු කාරණා ලබාගත හැකිය.

ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්ගේ අදූරදර්ශී ක‍්‍රියා හා බලලෝභී පහත් ගති සිරිත් හේතුවෙන් අපේ රටේ ඒකීයභාවය සුනු විසුනු වී ගිය බව දනිමු. ක‍්‍රි.ව. 1505 නොවැම්බර් මාසයේදී අරාබි සහ පෘතුගීසි නාවුක ගැටුමක් ඇතිවිය. මුහුදු කොල්ලකරුවෝ පෘතුගීසි නාවික පිරිසට තර්ජනයක් වූහ. ඒ නිසා ඔවුන් සමග සටන් කිරීමට නාවික සෙන්පති දොන් ෆ‍්‍රැන්සිස්කු ද අල්මේදා සහ ඔහුගේ පුත් ලොරෙන්සෝ ද අල්මේදාට නාවික කණ්ඩායම් සතක් පවරා දී එවීය. සටන සඳහා පිටත් වූ ලොරෙන්සෝ ද අල්මේදාට ඉන්දියන් සාගරයේදී බරපතළ ව්‍යසනයකට මුහුණදීමට සිදුවිය. දැඩි කුණාටු සහිත ස්වභාවය නිසා නැවේ කුඹ ගස් කැඩී අහම්බෙන් ගාල්ල වරායට නාවික කණ්ඩායම සේන්දු වූහ. ගාල්ලේදී නැව් අලුත්වැඩියා කරගෙන ආහාර හා ජලය ද ලබාගෙන ශක්තිමත් ස්වභාවයෙන් කොළඹ වරායට පිවිසුණහ. සුදු ගල් හපා කමින් ලේ බොන සුදු මිනිස් රැළක් කොළඹට ඇවිත් ඇතැයි වැසියෝ කෝට්ටේ රජ වාසලට පැමිණිලි කළහ. ඒ ඔවුන් පාන් කා වයින් පානය කරනු දැකීමේ කුතුහලය සඳහන් කළ ආකාරයයි.

කෝට්ටේ රජ කළ ධර්ම පරාක‍්‍රමබාහු රජතුමා දූත පිරිසක් යවා ඔවුන් රජවාසලට ගෙන්වූ අන්දම ගැන හිනා යන කතා ‘පරංගියා කෝට්ටේ ගියා වගෙයි’ යන පිරුළු පවා ගොඩනැගීමට හේතු විය. රජතුමා බැහැදුටු කපටි පෘතුගීසීහු තමාට කොටුවක් බැඳ ගැනීමට ‘ගෙරි සමක’ ප‍්‍රමාණ ඉඩක් ඉල්ලා සිටියහ. රජු ගෙරි සම ඉතා සුළු බිම්කඩක් නිසා ඊට අනුමැතිය දුන්නේය. ඔවුහු (පෘතුගීසීවරු) ගෙරිහම ඉතා සියුම් පටිවලට ඉරා එය ගැටගසා මහා දිග වරමන්දක් සේ දක්වා ඒ ප‍්‍රමාණය ඉල්ලා සිටියේය. රජු තම වචනය වෙනස් කළ නොහැකි බැවින් ඊට ඉඩ දුන්නේ ද කැමැත්තෙන් නොවේ. අපේ ඒකීය රාජ්‍යයට පළමු වරට විදේශීය සතුරන් ඇතුළු වී බලය තහවුරු කරගැනීමේ අතීත කතාව එයයි.

කල් යත් යත් පෘතුගීසි බලය රටේ විශාල ප‍්‍රමාණයක පැතිරී තිබුණි. ස්වදේශිකයෝ පෘතුගීසි පාලනය යටතේ මහත් සේ පීඩාවට පත්වූහ. මෙම විදේශික බලවේගය මුලිනුපුටා දැමීමට තීරණය කළ රජතුමා 1558 දී පමණ ප‍්‍රබල හමුදා කණ්ඩායමක් යවා කොළඹ කොටුව වැටලූහ. ඔවුන්ට උග‍්‍ර ආහාර පාන ආදී දුෂ්කරතා මතුවීමෙන් අසරණව සිටින විට ඔවුන්ගේ මූලස්ථානය වන ගෝවෙන් නාවුක පිරිසක් සැපත්වීම නිසා සිංහල සේනාවට පසු බැසීමට සිදුවිය.

කෝපයට පත් පෘතුගීසීහු ගෝවෙන් ලැබුණ හමුදා බල ශක්තිය නිසා ශ්‍රී ලංකාවේ ප‍්‍රබල නගර විනාශ කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළහ. නව දහසක හමුදාවක් සහිත නැව් කීපයක් සමග අතිදක්ෂ කපිතාන්වරයකු වූ තෝමස් ද සූසා ආරොඤ්ඤෝ යටතේ සිංහල ගම් දනම් විනාශ කිරීමට පටන් ගත්හ. පළමුවෙන්ම දකුණු දිසාවේ කොස්ගොඩ ගමට කඩා වැදුණු පෘතුගීසි සේනාව ගෙවල් ගිනිතබා කුඩා දරුවන් මරා දමමින් ස්ත‍්‍රීන් දූෂණය කරමින් කරන ලද මහා විනාශය නිසා එය ජනශුන්‍ය ප‍්‍රදේශයක් බවට පත් කළේය. එයින් අනතුරුව එවකට රුහුණුපුර තක්සලාව වශයෙන් නම් දරා තිබුණ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ විජයබා මහ පිරුවණ දවා හළුකොට විශාල ප‍්‍රමාණයක් පුස්කොළ පොත් ගිනිබත් කළහ. එයින් පසුව හික්කඩුව – දොඩන්දුව කුමාරකන්ද රජමහා විහාරය ද විනාශ කොට සංඝයා වහන්සේලා ද රාශියක් ජීවිතක්ෂයට පත්කොට ගාල්ල දක්වා පැමිණියහ. ගාල්ල පසුකොට වැලිගම නගරය ද අග‍්‍රබෝධි විහාරය ද වැනසූ විට වැලිගම මුස්ලිම් ජනපදවාසීහු ඊට එරෙහිව සටන් වැදුණ අතර තරමක පසුබෑමක් ඇතිවිය. දින කීපයක ඇවෑමෙන් යළිත් හමුදා තත්ත්වය ශක්තිමත් කරගෙන මාතරට සේන්දු වූහ.

ළමා ළපටින් ඝාතනය කරමින් ස්ත‍්‍රීන් දූෂණය කරමින් ම්ලේච්ඡ ලෙස හැසිරුණ සොල්දාදුවෝ යක්ෂාරූඪ වූ පිරිසක් ලෙස ක‍්‍රියා කළහ. එවකට මාතර තිබුණ ප‍්‍රධානම බෞද්ධ සිද්ධස්ථාන තුනම සහමුලින් විනාශ කළහ. මහා සංඝයා වහන්සේ විහාරස්ථානවලින් නෙරපා කොල්ලකෑහ. පුස්තකාල ගිනිබත් කළහ. මෙම කොල්ලකාරි පිරිසට තෝමස් ද සුසා සෙන්පතියාගේ ත‍්‍රස්ත ක‍්‍රියා දියෝගු ද කුටෝ (Diugo Do Couto) 1542 – 1616 විසින් කරන ලද වාර්තාව එපරිද්දෙන්ම මෙසේ දැක්වේ. මෙයින් වසර 470කට පෙර ලියන ලද එම වාර්තාව ඔවුන්ගේ ව්‍යායාමයේ තරම අනාවරණ කරයි. දියෝගු ද කුටෝ පෘතුගීසි ජාතිකයකු බැවින් ද, මෙම කොල්ලකාරයින්ගේ වාර්තාකරු බැවින් ද මේ සටහන අත්‍යන්තයෙන්ම ඇසින් දුටු සාක්ෂි ලෙස පිළිගත යුතුය.

“සීතාවක රාජසිංහ රජු මහා බළ සේනාවක් ගෙන කොළඹ කොටුව වටලෑවේය. එතැන් පටන් CEILAO (ශ්‍රී ලංකා) දූපතේ පරංගි ඉතිහාසයේ ඉතාම භයානක කාලයක් උදාවිය. මේ වටලෑමෙන් හෙම්බත්ව සිටි කොළඹ කොටුවේ වැසි ‘අප’ සේනාවක් ගෝවේ මධ්‍යස්ථානයෙන් ලැබෙන තෙක් ඉතාම අසීරු තත්ත්වයක සිටියහ.

ගෝවේ සිට නාවුක හමුදා සහය පැමිණීමෙන් පසු අපට සිංහල සේනාවට විරුද්ධව ප‍්‍රතිප‍්‍රහාර ආරම්භ කිරීමට හැකිවිය. 1588 වර්ෂයේ මුලදීම එම වටලෑමට පළිගැනීමක් වශයෙන් ලංකාවේ දකුණු දිග වෙරළබඩ තීරය වැනසීම සඳහා තොමේ ඩි සූසා ආරොඤ්ඤෝ යටතේ නැව් කණ්ඩායමක් යවන ලදී. එම කණ්ඩායම පෘතුගීසි ජාතික භටයින් 110 දෙනෙකුගෙන් ද, දියෝගු පෙරේරා ආරච්චි යටතේ සිංහල ලස්කිරිඤ්ඤ සෙබළුන් 70කින් ද සමන්විත විය. මේ සේනාව පළමුව COSCORE (කොස්ගොඩ) ට පහර දී එම ජනාවාසය වැනසූහ. එයින් පසු ඉලක්කය වූයේ ධනයෙන් ආඪ්‍ය වූ ගාලු පුරයයි. ඉන් ඉක්බිති BELLGAVO (වැලිගම) පුරවරයට ද එවැනි ප‍්‍රහාරයක් දුන්හ. එහි ජීවත් වූ ධෛර්යය සම්පන්න මුස්ලිම් ජනතාව අපට විරුද්ධව ප‍්‍රතිප‍්‍රහාර දී අපේ ඉදිරි ගමන මඳකට ප‍්‍රමාද කළ නමුත් බලසම්පන්න අප ඉදිරියේ එම ප‍්‍රතිප‍්‍රහාර ද බිඳවැටුණි. ඉන්පසු මාතර පුරවරය යටත්කොට එහි තිබූ ධනය කොල්ලකෑම සඳහා කපිතාන්වරයා පෘතුගීසි සොල්දාදුවන්ට අවසර දුන්නේය. එම අවස්ථාවේ මාතර නගරයේ තිබූ ප‍්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන තුනම සුනු විසුනු කර දමන ලදී.

විජයග‍්‍රහණයෙන් උද්දාම වූ අප හේවායන්ගේ ප‍්‍රධාන ඉලක්කය වූයේ TANAWARAM (දෙවුන්දර) ප‍්‍රසිද්ධ මහා දේවාලයයි. දෙවිනුවර නගරයෙන් ලීග භාගයක තරම් දුරින් මේ මහා දේවාලය පිහිටා තිබුණි. ශ්‍රී පාදස්ථානය හැරුණු විට දිවයිනේ වැඩිම වශයෙන් වන්දනාකරුවන් පැමිණෙන්නේ මෙම ස්ථානයටයි. ලීගයක් පමණ වට ප‍්‍රමාණයකින් යුක්ත වූ දේවාල භූමිය අලංකාර නගරයක සිරි ඉසිලීය. දේවාල ගොඩනැගිල්ල අති විශාල වූ අතර සුන්දර පියසකින් ද ප‍්‍රිය කළ සූක්ෂම කැටයම් සහිත ගල් පුවරුවලින් ද යුක්ත විය. එය වටා ඉතාම අලංකාර දේවාල භූමියේ උස්ව නැඟණා වූ ප‍්‍රාකාරයක් ද විය. ප‍්‍රධාන දොරටුව අබියස ඉතා උසට තඹ ලෝහයෙන් සකස් කරන ලද පියසක් විය. ඔපදමා තිබූ එම ලෝහ පුවරු ඈතට මනරම් දර්ශනයක් ගෙන දුන්නේය. මෙම දෙවියන් ඇදහීම දිවයිනේ ඈත පුරාණයේ සිටම පැවත ආ විශ්වාසයකි. දේවාලය අවට පිහිටි මුහුදු තීරයට එහායින් හමන දැඩි සුළඟ නිසා ඒ අවට මුහුදු තීරයේ නිතර නිතර කුණාටු හටගනී. මීට පෙරද නොයෙකුත් වාරයන්හි දී නැව්වලට අනතුරු සිදුවී ඇති අතර අප යාත‍්‍රා කළ නැව් හමුදාවට ද ගොඩබිමෙන් හමන දැඩි සුළඟ නිසා ගොඩබිමට ඈතින් යාත‍්‍රා කිරීමට සිදුවිය. මීට පෙර පැමිණි සමහර නෞකා එම හේතුව නිසාම ආපසු කොළඹ බලා යාත‍්‍රා කළේය.

එම හේතුව නිසා දේවාලයට යම්කිසි ප‍්‍රාතිහාර්යමය බලයක් ඇතැයි විශ්වාසයක් පැතිරී තිබේ. දේවාශිර්වාදයෙන් තම නගරයට රැකවරණය ලැබෙන බැව් විශ්වාස කළ නිසා දෙවුන්දර ජනගහනයක් සිටියේය. තමන් යටතේ ක‍්‍රියා කළ ක‍්‍රිස්තියානි ලබ්ධික සිංහල ලස්කිරිඤ්ඤ හටයන්ගෙන් මේ ප‍්‍රාතිහාර්ය පිළිබඳ විමසා දැනගත් තොමේ ද සූසා කපිතාන්වරයා මහ දේවාලයට පහරදීම සඳහා මුහුදින් වටලා නැව් මෙහෙයවීය.

එම අවස්ථාවේ දේවාලය අවට ප‍්‍රදේශයේ කැලඹිලි සහිත මහා කුණාටුවක් හටගත්තේය. එම චණ්ඩ මාරුතය කොතරම් වේගවත් වී දැයි කිවහොත් නැව් සියල්ලම මුහුදට බිලි වේ යැයි ඉමහත් බියක් අප තුළ ඇතිවුණි. එම චණ්ඩ මාරුතය පැය දෙකක කාලයක් තිස්සේ ගුගුරා යමින් මුහුද දෙවනත් කළේය.

මෙසේ සිදුවෙද්දී අප යටතේ සිටි කුළී හේවායන් අතර දූසමාන රාවයක් පැතිර ගොස් මහත් කලබැගෑනියක් හටගත්තේය. බොහෝ දෙනා බියට පත්වී තැන් තැන්වල මුළුගැන් වී තමන්ට සිදුවන්ට යන අනතුර ගැන සලිත වී සිටියහ. කපිතාන්වරයාට ඒ බව සැලවී ඒ කුමක්දැයි ඔවුන් අතර සිටි ක‍්‍රිස්තියානු භක්තික සිංහල සොල්දාදුවකුගෙන් විමසීමක් කළ විට ඔහු සැලකර සිටියේ පරංගීන් මහ දේවාලය විනාශ කිරීමට සැලසුම් කිරීම නිසා එයින් දේව කෝපයක් හටගෙන ඇති බැවින් මහා දේවාලයේ වැඩ වසන දෙවියන් සිය බලගතු ප‍්‍රාතිහාර්යන් මඟින් එම මුහුද කැලඹීම සිදු කළ බවත්ය. ඒ අතර සිටි සමහර සිංහල නාවිකයන් භීතියට මෙන්ම සමහරු සොම්නසට ද පත්වී සිටියහ. එයට හේතුව ඔවුන්ගේ දෙවියන් අප ක‍්‍රිස්තියානි ලබ්ධිකයන්ට දඬුවම් දෙන්නේය යන විශ්වාසයයි.

මෙම කථාව ඇසූ තොමේ ද සූසා මහත් කෝපයට පත්විය. එකී මිථ්‍යාදෘෂ්ඨික විශ්වාසයක් නිට්ටාවටම දුරුකිරීමට ද දෙවියන් සතු එවැනි ප‍්‍රතිහාර්ය බලයක් නැති බව ස්වදේශිකයන්ට ඔප්පු කිරීම සඳහා කෙසේ හෝ දේවාලය විනාශ කිරීමට සූසා තරයේ අධිෂ්ඨාන කර ගත්තේය. මහ රෑ හටගත් දරුණු කුණාටුව පසු දින උදය වන විට අඩු වී මුහුදේ චණ්ඩභාවය තුරන් වී ගොස් ඇති බව දක්නට ලැබුණි.

වහාම තම නාවුක හමුදාව මෙහෙය වූ සූසා එක් පැත්තකින් වෙරළට ගොඩබැස්සේය. අනෙක් පැත්තෙන් භට සේනාව මෙහෙයවනු ලැබූ මිගෙල් ප‍්‍රනාන්දස් බරාවෝ සහ ඩොමින්ගෝ පෙරේරා ආරච්චි ද සිය සේනා රැගෙන පැමිණියහ. ඔවුන්ගේ පළමු කාර්ය වූයේ සමුද්‍රයට මුහුණලා උස් තැනක ඉදිකරවා තිබූ දේවාලයේ මහා දොරටුව බිඳ දැමීමය. පරංගි හමුදාවට විරුද්ධව පැමිණි සතුරන් කීප දෙනෙක් මෙහිදී ජීවිතක්ෂයට පත්වූහ. දොරටුව බිඳ දමා ඒ අවට රැකීමට හේවායන් කීප දෙනෙක් යෙදූ සූසා බලගතු සේනාවක් මෙහෙයවා අභීත ලෙස සටන් වැදුණි. බියට පත් වූ ජනතාව දේවාලය අතහැර දමා වල්වැදුණහ. කිසිම ප‍්‍රතිප‍්‍රහාරයකට මුහුණ නොදුන් අපි දේවාලය දෙසට ගමන්කොට පවුරු පදනම් දොරටු බිඳ දමා දේවාල භූමියට පිවිසියෙමු. අපට විරුද්ධව සටන් වැදීමට එහි කිසිවෙක් නොවූහ. අහුමුලුවල තවත් සිංහල රැකවලුන් රැඳී සිටීදැයි දේවාල භූමිය සිසාරා බැලූ නමුත් කිසිවෙක් හමු නොවීය.

දේවාලය අතහැර දමා එහි සිටි අය පලාගොස් ඇති බව ප‍්‍රත්‍යක්ෂයෙන් දැනගත් තොමේ ද සූසා තමන් පැමිණි කාරණය වූ දේවාලය කොල්ලකෑම සඳහා සිය සොල්දාදුවන්ට අවසර දුන්නේය.

පළමුව ඔවුන් දේව භූමියේ තිබුණ දහසකටත් වැඩි දේව ප‍්‍රතිමා විනාශ කර දැමීමේ කාර්යය ඇරඹුහ. නොයෙකුත් හැඩරුවින් යුත් එම ප‍්‍රතිමා සමහරක් මැටියෙන් තනා තිබුණ අතර සමහර ඒවා දැවයෙන්ද ලෝකඩ සහ තඹ ලෝකඩයෙන් ද නිම කළ ඒවා විය. දේව ප‍්‍රතිමා කඩා බිඳ දැමූ පසු මුළු මහ දේවාල පද්ධතියම විනාශ කිරීමේ කාර්යය ඇරඹීය. ඒ අනුව දේව මන්දිර ප‍්‍රතිමා ගෘහ කුලුන ආදිය ද කඩාබිඳ දමා සුනු විසුනු කරන ලදි. ඉන් ඉක්බිතිව දේවාලයේ ගබඩාගාරය දෙසට ගමන් කළ අප සේනාවන්ට ඇත්දත් මුතු මැණික් සඳුන් දර අගනා පට පිළි ස්වණාභරණ විශාල වස්තු සම්භාරයක් සම්භවිය. තමන්ට රිසිසේම එම වස්තුව බෙදාගත් අප භටයෝ සියලු දෙනා ඉතිරිව තිබූ භාණ්ඩ ගිනිතබා විනාශ කර දැමූහ. මහා දේවාල භූමියේ පාරිශුද්ධත්වය සදාකල් අපවිත‍්‍රභාවයට පත් කිරීම සඳහා දේවාල භූමිය තුළ එළදෙනුන් කීප දෙනෙක් මරා දමන ලදි. අපගේ අවසාන කාර්යය වූයේ සත් මහලකින් යුත් දැවයෙන් නිම වූ දේව රථයට ගිනි තැබීමයි. මෙම දේව රථය නොයෙක් වර්ණවලින් යුක්තව ඉතාම අලංකාර නිර්මාණයක් විය. වසරක් පාසා මහා දෙවියන්ගේ පිළිරුවක් මෙම රථය තුළ තබා නගරය වටා ගෙනයාමේ සිරිතක් තිබුණි.

එම රථය ද ගිනිතබා විනාශ කළ අප සේනාවෝ පැහැරගත් බඩු භාණ්ඩ රාශියක් රැගෙන වැලිගම (BELIGAO) පුරය දෙසට ආපසු ගියහ.”

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

Categories

%d bloggers like this: