Posted by: lrrp | November 4, 2017

දෙබරු (කෙටි කතාව)

සැල්වදෝර් සිල්වා, ටිකෙන් ටික ගොඩ නැඟුණු මැණික්‌කඩවර ප්‍රතිකාල් බලකොටුව දෙසද පාරෙන් එහා පැත්තේ, වෙල් ඉහත්තාවෙන් මතු වුණු මල්ලන්දුගේ නිවෙස දෙසද බලා සිටියේය. එලෙස බැලුවේ පන්සලේ, චුල්ල ධර්මපාල ජාතකය, සිතුවමට නඟමින් සිටි සිරිමලාට සහාය වෙමිනි. වර්ෂ එක්‌වාදහස්‌ පන්සිය විසිපහ, සිරිමලා බිත්තිය මත සටහන් කරයි.

7. Portuguese helmet

”රඡ්ජුරුවො අඳින ඇඳුම් පෘතුග්‍රීසි ඇඳුම් ආයිත්තම් වෙන්න ඕනෑ.” සැල්වදෝර් පවසන්නේ මේ අඳින්නේ රජු නොව තමාය යන හැඟීම හිතට ආදේශ කර ගනිමිනි. එපමණක්‌ නොව සිරිමලාගේ බිරිඳ වන මල්ලන්දුගේ සෙනෙහස ලබා ගැනීමට බලය පාවිච්චි කළ ආකාරයද ඔහුට මතක්‌ වෙයි. ඔහු මල්ලන්දු මුලින්ම දැක්‌කේ පෘතුග්‍රීසි ලාංඡනය සහිත මල් ආසනය පන්සලට පූජා කිරීමට පෙර තිබුනු පෙරහැර වෙලාවේය.

පෙරහැර හරි අපූරුවට සූදානම් කර තිබිණි. මෙවැනි දේවල් කළේ සිංහලයන්ගේ සිත් දිනා ගැනීමට පමණක්‌ම නොවන බව සිල්වට දැන් දැන් පසක්‌ වෙයි. සිංහල භාෂාව පමණක්‌ නොව බුදු දහමද, හොඳින් උගත් ඔහුට, මල්ලන්දු දැකීමෙන් පසු ඇතිවූ කම්පනීය ප්‍රහර්ෂය, භවාන්තර චාරිකාවේ, තවත් එක්‌ අවස්‌ථාවක්‌ පිළිබඳ ඉඟියක්‌ ලබා දුන්නේය. පෙරහැර වෙලාවේ. පල්ලියද පන්සලද හරි අපූරුවට පන්දම් එලි වලින් සරසා තිබිණි. අබ තෙලින් හා කැකුණ තෙලින් පොහොසත්වූ සිය දහස්‌ පන්දම්වල ඡායාව මැණික්‌ කඩවර ඔය පතිත වූයේ දිය යට දිදුලන නාගොබ සිහිපත් කරවමිනි. තල් කොල හෙවිල්ලන ලද කුඩා වෙළෙඳසැල තුළ අතිරහ, වෙල්ලවැහුම් වැනි කැවිලි වර්ග පමණක්‌ නොවූ නොයෙක්‌ අරුමෝසම් බඩුද තිබිණි. ඉඹුල්කිරිබත් සමග රණවරා බීම විකුණන්නේ තැන් තැන්වල ඇවිදිමින් තමන්ගේ කාර්යභාරය ඉටු කළහ. ඉඹුල් කිරිබත් බටපොතු පෙට්‌ටියක බහා දැතීන්ම ඔසවා ගෙන මල්ලන්දුගේ මව වන පිංචිනා ගමන් කළ අතර ඇය පිටුපසින් මල්ලන්දු රණවරා බඳුනක්‌ රැගෙන ගමන් කළාය. කාගෙ කාගෙත් වාසනාවට හෝ අවාසනාවට හෝ සිරිමලා ඔවුන් සමග නොසිටියේය. ඔහු මේ වෙලාවේ ගුරුවල ගල් තලාවට වී කිතුල් රා බොමින් සිටියේය. සිරිමලා මල්ලන්දුගේ සැමියාය.

මල්ලන්දු දකින විටම, සිල්වාගේ හිත තිගැස්‌සින. අපූරු ප්‍රහර්ෂයකින් ඔහුගේ සිත කිතිකැවී ගියේය. තමා පරංගියකු බව මොහොතකට අමතක විණි. ඈත ඈත භවයන්හිදී තමාට සමීප වූ සහෘද සබැඳිණිය මැයම නොවේදැයි ඔහුට සිතුණි. වාසනාවකට ඔහු ගැඹුරු බුදු දහම මේ වෙන විට අවබෝධ කරගෙන තිබිණි. ඇගේ රුව උරන්නට වත රුසිරු දකින්නට කෝල බැලුම් දවටා ගන්නට නෙතු කාන්තිය තවරා ගන්නට තමා පින්කර මදියයි වරෙක ඔහුට සිතුණි. මල්ලන්දුගේ රුසිරු දසුනේ ප්‍රහර්ෂයෙන් උද්දාමයට පත් තම සිත සුරා බී මත්වූවෙකු මෙන් බමන්නේ ඔංචිල්ලාවක තබා නලවන ලෙසිනැයි සිල්වට සිතෙයි. මල්ලන්දුගෙන් මිලදී ගත් රණවරා පොල්කටු දෙකක්‌ම සිල්වා බීවේ හිතේ පිපාසය ඉතිරි කර ගනිමිනි.

‘තව එකක්‌ බොන්ඩ හිතයි’ සැල්වදෝර් සිල්වා පවසන්නේ තුන්වෙනි රණවරා පොල්කටුව හෝ ගැනීමේදී, මල්ලන්දුගේ ඇඟිලි තුඩක පහස ලබා දෙන බවට තම කටුක ඇඟිලි වලට පොරොන්දු වෙමිනි.

මෙම අසාමාන්‍ය රණවරා පිපාසය ගැන පුදුමයට පත් වුණු, මල්ලන්දුගේ මුව කමල මන්දස්‌මිතියෙන් පිපිණ. බෝරිච්චි හැට්‌ටයෙන් ඔපවත් වුණු ඇත්දත් පාට තුඟුලැම සලිත විණ. සිල්වා දෙස හෙලූ පළමුවෙනි නෙත් කොන් බැල්මෙන්ම ඇය හද තුළද මේ මොහොතේ ඇතිවූ කම්පනීය හැඟීම පෙන්නුම් කෙරිණ.

”ගිය ආත්මෙ මගෙම වාහෙ වෙලා ඉන්නට ඇති මගෙ හිතේ” මල්ලන්දු තමාටම කොඳුරා ගත්තාය. පෙරහැර සේම ඇගේ සිතද ප්‍රහර්ෂණයෙන්, කැළඹිණ. රාත්‍රී සඳ එළියට පෙඟුණු මැණික්‌කඩවර ඔය දැල හැම මලක්‌ම සිල්වට පෙනුණේ රන්පාට තැවරුවා සේමයෑ. ඉරෙන් ණයට ගත් රශ්මිය ලෝභ නැතිව හාත් පස දැවටූ සඳඑළිය මුළු මැණික්‌කඩවර ගමම අපූර්ව වූද ආහ්ලාද ජනකවූද, සුරංගනා ලෝකයක්‌ම බවට පත් කළේය.

”ඒ උණාට අපි පරංගි” සිල්ව තමාටම කියා ගත්තේය.

පරංගි ඇඳුමෙන් සැරසුණු රජුගේ රූපය මේ වන විටත් ඇඳ හමාර කල සිරිමලා කහින ශබ්දයෙන් සිල්වා පියවි ලෝකෙට ආවේය.

”ඊළඟට රඡ්ජුරුවො යුද්දෙට යන හැටි ඇඳපන්”

සිරිමලාට නියෝග දුන් සිල්වා සතුරු වූ සිතුවිලි සමගත් සතුරන් යයි වෙන්කර ගත් ප්‍රාණකාරයන් සමගත් යුද්ධ කල හැටි සිතන්නට සිතට ඉඩ දුන්නේය. ප්‍රතිකාල් හමුදාව හා සම්බන්ධ වුණු ලැස්‌කරින් හමුදවේ (මෙම ලැස්‌කරින් හමුදාව ප්‍රතිකාල්වරුන්ට උදව් කිරීම සඳහා කැමති වූ සිංහල භටයන්ගෙන් සුසැදිණ) නායකයාද වූ තමා සිරිමලා එම හමුදාවට කෙසේ හෝ සම්බන්ධ කර ගත්තේ මල්ලන්දු සමග සමීප වීමේ නොතිත් ආශාවෙනි. එහෙත් සිරිමලා යුද්ධයට යවා මරා දැමීමට නම් නොවේ.

”රඡ්ජුරුවෝ දේවිය මාලිගාවේ තනි කරල යුද්ධ කරන්නට යන්නෙ කැමැත්තෙන්මද?” එහෙම නැත්නම් අකමැත්තෙන්ද? සිරිමලා සිතුවම අඳිමින්ම අසයි.

”ඒ ගැන නම් මං කියන්න දන්නෙ නෑ. කොහොම වුනත් යුද්දෙ කියන්නෙ හොඳ දෙයක්‌ නෙවෙයි.” සිල්වා පරංගි හමුදා නිලධාරියකුගේ මුවින් කලාතුරකින් පිටවෙන වදන් පෙලක්‌ වාතලයට මුසු කරයි. එවදන් තුළින් සෑහීමකට පත් වූ සෙයක්‌ පෙන්නුම් කල සිරිමලා කරබා ගෙන චිත්‍රය අඳියි.

සිරිමලා ලැස්‌කරින් හමුදාවට බඳවා ගන්නා ලෙස පළමුවෙන්ම ප්‍රකාශ කරන්නේ මල්ලන්දුය.

”සිරිමලා අයිය යුද්දෙට එවන්ට. එතකොට අපිට නිදහසේ මුණ ගැහෙන්න පුළුවන් මල්ලන්දු.” සිල්ව සමග එසේ පැවසුවේ බලකොටුව හදන පිරිසට කඩයන්පන් විකුණනන්නට පැමිණි වෙලාවේදීය.

”මං බලාපොරොත්තු වුනේ සිරිමලා ලැස්‌කරින් හමුදාවට බඳවාගෙන බලකොටුව ගොඩ නගන වැඩ වලට උදව් කර ගන්ට අනිත් එක ඔය දෙන්න එකතුවෙලා තවම පෝය දෙකක්‌වත් ගෙවුනෙ නෑ නොවැ.”

”ඔය උත්තමය අපි ගැන හැම දෙයක්‌ම දන්නව වාගෙ” භාවාන්තර ප්‍රේමචාරිකාවේ පරංගි මගියා දෙස යටැසින් බලමින් මල්ලන්දු තෙපලයි.

”මට උවමනා මල්ලන්දුලෑ පවුල කඩා ඉහිරවන්ට නොවෙයි. දුර තියා මල්ලන්දුට ආදරේ කරන්නට.”

”පුදුමයි. වෙන යුද්ධ නිලධාරියො, තමන්ගෙ හිත ගිය බවලතා අයිතිකර ගන්නෙ හමුදාවට බඳවාගෙන යුද්දෙට යවලා. එක්‌කො යුද්දෙදි එයා මරනවා. එහෙම නැත්නම් මැරෙනවා. කැම්පෝ උන්නැහෙ එංගල්තිනා කූටාලි කර ගත්තෙත් එයාගෙ වාහෙ ලැස්‌කරින් එකට බන්දගෙන.”

”ඒ උනාට මං එහෙම කෙනෙක්‌ නොවෙයි. මම පරංගියෙක්‌ වුණාට මට තියෙන්නෙ පරංගි ආදරයක්‌ නොවෙයි. ඇත්තෙන්ම ඔයා මට කවියක්‌a සිතුවමක්‌ මං ආසයි ඔයාගෙ රූපෙ සිතුවමට නගන්ට. ඒත් මං තවද චිත්‍රකරුමාන්තෙ ඉගෙන ගන්නවා.”

”පුදුමයි යුද්ධ කරන ඈයින්ට ඕව කරන්න වෙලාවක්‌ තියෙනවද? හැබැයි අපේ සිරිමල් අයියට නම් චිත්‍ර කරුමානේතෙ හොඳට පුළුවන්.”

”එහෙනම් ඔයාගෙ රුප සිරිමලාට කියල අන්ඳවගෙන මට ගෙනැල්ල දෙන්ට.”

”මං උත්සාහ කරල බලන්නම්” සිල්වාට ඉඹුල් කිරිබත් ගෙඩියක්‌ දෙමින් මල්ලන්දු පවසයි. ඒත් මං හිතුවෙ කවුරුත් කරන විදියට ඔයත් යුද්දෙන් ප්‍රයෝජන ගනියි කියල.”

”ඒක මහ පාප කර්මයක්‌. යුද්දේට මුවාවෙලා අයුතු ප්‍රයෝජන ගන්න හොඳ නෑ.”

”ඔහොම හිතන්නෙ එක්‌කෙනයි දෙන්නයි.

”මට ඔයා ඉන්න ඉසව්ව දිහා බලල උනත් සතුටු වෙන්න පුළුවන්. කොටින්ම ඒ පැත්තෙ ඉඳන් එන සුළඟත් මට සැපයි.”

මල්ලන්දු මෙම අපූර්ව පරදේශක්‌කාර පෙම්වතාට ගතින් නොව සිතින් සමීප වෙන්ට මහන්සි ගත්තේ එදා සිටයි.

”රඡ්ජුරුවො යුද්දෙ දිනල එන්නෙ හරිම මහන්සියෙන් නේද? සිරිමලා ඊළඟ සිතුවමට අවශ්‍ය පරිසරය සකසා ගැනීමට සැල්වදෝර් සිල්වාගෙන ඇසූ පැනය නිසා සිල්වගේ මානසික ලෝකය බිඳී වැටිණි.

”යුද්දෙ කියන්නෙ ඉතින් හැමදාම මහන්සිය වැඩි වෙන දෙයක්‌. ඒත් කලාව කියන්නෙ හැමදාම මහන්සිය අඩු වෙන දෙයක්‌. මල්ලන්දුගෙ රූපෙ සිරිමලා කී සැරයක්‌ සිතුවමට නගල තියෙනවද?”’

”එක සැරයක්‌ එකම එක සැරයක්‌”

”ඒක මගෙ ඉල්ලීමක්‌ උඩ කෙරුණු දෙයක්‌.”

”මං එවෙලෙම දැනගත්තා. ඊට පස්‌සෙ මගෙ හිත රිදුන. ලැස්‌කරීන් හමුදාවට බැඳෙන්න මං තීරණය කළේ ආදරේ දෙකට තුනට බෙදන්න බැරි නිසා.’

රජතුමාගේ දේවිය දරුවො සුරතල් කරන ආකාරය චිත්‍රයට නගමින් සිරිමලා සිතුවේ. යුද්දෙට ගිය පසු සිදුවුණු පුදුමාකාර කැළඹීම් සුලි කුණාටු ගැනයි. මල්ලන්දුගේත්, සිල්වගේත් තිබෙන අපූර්ව භවාන්තර ආදර සබඳතාවය නිවැරදි ලෙස තේරුම් ගැනීමට ඔහු කොතරම් උත්සාහ කළත් දැඩි ඊර්ෂියාවෙන්ම ඔහුගේ සිත පෙලෙන්නට විය. මැණික්‌කඩවර බලකොටුවේ වැඩ කරද්දී අසවේදු නම් වූ අණ දෙන නිලධාරියා සැල්වදෝර් සිල්වට දුන්, උපදේශයක්‌ හොර රහසේ ශ්‍රවනය කළ සිරිමලා තම ඊර්සියාව දෙගුණ තෙගුණ කර ගත්තේය.

”අනියම් භාර්යාවෝ තබා ගැනීම යුද්ධයකදී අනිවාර්ය දෙයක්‌. එකක්‌ අපිට හොඳ ඔත්තු ලැබෙනව. අනික අපි ගෑනු අපේ රටෙන් ගෙනාවෙ නෑ.”

”මගෙ තියෙන්නෙ එහෙම බලෙන් අයිති කර ගන්න ආදරයක්‌ නෙවෙයි.” සිල්වා පැවසූ වදන් වලින් අසවේදු පමණක්‌ නොව සිරිමලාද පුදුමයට පත්විය. අසවේදු කෙතරම් තදින් සිනා වූයේද යතොත් බලකොටුව ඉදිරිපිට කොලොම් ගසේ බැඳ තිබූ දෙබර කූඩුවද ඇවිස්‌සුණි. බොහෝ සේ වයින් බී මත් වී සිටි නිසාමදෝ මෙවදන්ද ඔහුගේ මුවින් පැන්නේය.

”තමන්ගෙ ස්‌වාමියා යුද්දෙට ගියාට පස්‌සෙ බලධාරියකුට නිලධාරියකුට කොතැනකදි හරි ගොදුරු වෙන බව ඕනෑම ගෑනියක්‌ දන්නවා. මෙරුවන්ට තටු ආවට පස්‌සෙ උන් සතෙකුට ගොදුරු වුනත් මැරනෙව ගොදුරු නූනත් මැරෙනව.”

කාරණා සිදු වෙන්නේ එපරිද්දෙනි. කාටවත් තේරුම් ගැනීමට නොහැකි වූ සැල්වදෝර් සිල්ව දුරසිට කරන ආදාරය ඔහුට පමණක්‌ නොව සිරිමලාටද අවාසියක්‌ බ වට පත් කලේ අසවේදුය. දෙදෙනාම කන්ද උඩරටට එරෙහිව සටන් සඳහා යොදවනු ලැබීය. යුද්ධය වෙලාවේ මෙම දෙදෙනාම මරා දමන ලෙසට සයිමන් සිංඤොa නම් සෙබලා යෙදවිණි.

එහෙත් යුද්ධය විසින් සියල්ල වෙනස්‌ කෙරිණි. බලන සටනේදී, අසවේදුගේ හමුදාව පරාජය වූ අතර සිල්ව සහ සිරිමලා විමලධර්මසූරිය රජතුමාගේ සිරකරුවන් බවට පත්වූහ.

‘ඔය පරංගිය මැරුවොත් උඹ ඉක්‌මනට නිදහස්‌ කරනව.’

සිංහල ප්‍රධානියෙක්‌ එසේ සිරිමලාට පවසනවා සිල්වට ඇසුනි. තමා මරා දැමීමට පෙර සිරිමලා මරා දැමිය යුතු යයි සිල්වා කීප වරක්‌ම එම අදහස ක්‍රියාත්මක කිරීමට ගියත් පසුව වෙනස්‌ කර ගත්තේය.

”පව් අහිංසකය. මං හින්ද යුද්දෙට එන්න උනා. මල්ලන්දු දැන් අසවේදු අයිතිකර ගෙන ඇති.” මෙවෙලේ, සිරිමලාද තිගැස්‌සී ඇහැරුනු අතර පරම සතුරා තමා ළඟම සිටින සිල්වා යයි ක්‍ෂණයකින් ඇතිකර ගත් සිතුවිල්ලකින් යුක්‌ත වූයේ දෑතින්ම ඔහුගේ ගෙල සිර කළේය. සිල්වද සිරිමලා ගේ ගෙල සිර කරන ගමන් මෙසේ කීවේය.

”මාව මරල නිදහස්‌ වෙලා පලයන්. උඹේ ගෑනිට බබෙක්‌ ලැබිල ඇති. මං හීනෙන් දැක්‌ක.”

සිරිමලාගේ ග්‍රහණය බුරුල් වුණු අතර ඔහු දනින් වැටිණි. සිල්ව, සිරිමලාගේ හිස අත ගෑවේය.

”මේ දරුව මරන්නට එන වධකයා අඳින්ට මට ටිකක්‌ උදව් කරනවද? රතුපාට වැඩිපුර හදා ගන්න වෙනව.”

තමාද වධකයකු ලෙස කටයුතු කල ආකාරය මෙනෙහි කරමින්ම සිරිමලා පවසයි. සිල්වට පෙර සිරිමලා සිරගෙයින් නිදහස්‌ වූයේ ලැස්‌කරින් හමුදාව රජුගේ පැත්තගෙන රජුට උදව් කල නිසාවෙනි. ඔහු එන විට මල්ලන්දු දරුවකු සුරතල් කරමින් සිටියාය. දරුවා සුදුම සුදු පාටයි. පරංගි පැටියෙක්‌. සිරිමලා දරුවාගේ මූණ දෙස එක්‌ වරක්‌ බැලුවේ බොහොම පිළිකුල් සහගතව. දරුවාගෙ මුහුණුවර හරියට සැල්වදොaර් සිල්වගේ වගේම වෙන එකක්‌ තියා සිල්වගේ වම් ඇහට යටින් තියෙන ඉන්නා දරුවගෙත් එහෙමම තිබුණා.

”කාගෙද දරුව කියාපිය.” සිරිමලා දරුවා උදුරා ගනිමින්ම ඇසුවේය. ”කාගෙද දරුවා කියාපිය.”

”අසවේදුගෙ එහෙම නැත්නම් යුද්ධය පටන් ගත්තු කෙනාගෙ. ඔහෙල යුද්ධ කරන කොට අසවේදු අසරණ මගෙ ගෙට රිංගුවා. මං පැරදුනා ඔක්‌කොම කරන්නෙ තමන්ගේ වාසියට බලේ පාවිච්චි කරන එක.”

ඉතින්, සිsරිමලා විසින් දරුවා මැණික්‌කඩවර ඔයට විසි කරන්නට යෙදිණි. මල්ලන්දුද කරබා ගත්තාය. අසවේදුට දරුවන් අවශ්‍ය නොවන නිසා, සියල්ල යටපත්වී ගියේය.

තවත් මාස ගනනාවකට පසු සැල්වදොaර් සිල්ව හිරෙන් නිදහස්‌වී පැමිණි පසු සිරිමලා සියල්ල ඔහු සමග කීවේය. කොලොම් ගසේ බැඳ තිබූ දෙබර කූඩුව තවත් විශාලව තිබිණි.

”හිත හැදෙන්නටත් එක්‌ක පන්සලට චිත්‍රකරුමාන්තයක්‌ කරල දෙමු. පරංගි හදවතුන් උනු වෙන බව එතකොට එක්‌කෙනෙක්‌ හරි තේරුම් ගනීවි.”

* රාජා කරුණාදාස

පසු සටහන

මැණික්‌ කඩවර ප්‍රතිකාල් බලකොටුව බැලීමට ගිය ගමනේදී එම ගම පුරාණ රජමහාවිහාරයටද ගියෙමි. ප්‍රතිකාල් සමයේ අඳිනලද චුල්ල ධර්මපාල ජාතිකය එහි සිතුවම් වී තිබේ. රජු ඇතුළු පිරිස (වධකයා පවා) සැරසී සිටින්නේ පෘතුග්‍රීසි ඇඳුම්වලිනි. ප්‍රතිකාල්වරුන් විසින් පෘතුග්‍රීසි ලාංඡනය සහිත මල් ආසනයක්‌ද එකී පන්සලට පූජා කර ඇත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: