Posted by: lrrp | November 5, 2017

කොන්ස්‌තන්තීනු ද සා වෙනුවෙන් වැළපුණු රැජිණ (සෙංකඩගල රජ වාසල පෘතුගීසීකරණය වීම)

රැජිණ රුවැත්තියක්‌… හරි ප්‍රසන්නයි… ඇයගේ වම් ඇහේ පින් වපරය නිසා හරි සිරියාවන්තයි… ඇයට වයස අවුරුදු තිහක්‌ කියලයි ඇය කීවේ” කන්ද උඩරට සිටි රැජිණක පිළිබඳව මෙම තොරතුරු පවසන්නේ කාඩේනියෝ නම් පෘතුගීසි සෙබලෙකි. ඒ ෆැබ්රිෂියෝ නම් මිතුරු සෙබලෙකුටය. කොන්ස්‌තන්තීනු ද සා සමගින් වැල්ලවාය රන්දෙණිවෙලේ සටනට සහභාගී වූ කාඩේනියෝ උඩරැටියන්ගේ සිරකරුවකු බවට පත්ව වසර තුනක පමණ කාලයක්‌ සෙංකඩගල රැඳී සිට කොළඹට පැමිණි අයෙකි.

“…රැජිණට දරුවො නෑ… කුඩා කාලයේ ඉඳන්ම ඇය ගත කරල තියෙන්නෙ සැපවත් ජීවිතයක්‌ බව පෙනුමෙන්ම කියන්න පුළුවන්. ඇය කිසිම ආභරණයක්‌ පළඳින්නෙත් නෑ… ඒ නිසා ආභරණ පුරවා ගෙන ඉන්න අනෙකුත් කාන්තාවන් අතර ඇය විශේෂයෙන් කැපිල පෙණුනා…” ඇය ආභරණ නොපළඳින්නෙ කොන්ස්‌තන්තීනු ද සා ගෙ මරණය නිසා කියලයි සමහරු කීවෙ. ඒ හේතුව නිසාම රජ මාළිගය හැර යන්නත් ඇය සූදානමින් හිටියා. තවත් හේතුවක්‌ තමයි රජු ඇයගේ පමණක්‌ නොව ඇයගේ මවගේත් ස්‌වාමිපුරුෂයා වීම. රජු ඇයව විවාහ කරගෙන තියෙන්නෙ ඇයගේ ස්‌වාමිපුරුෂයා මරලා බලහත්කාරයෙන්. රැජිනට හරි අපූරු කවි ලියන්න පුළුවන්. සමහරක්‌ ඒවා ඇය මටත් පෙන්නුවා. ඇය දැනගෙන හිටියා මාත් කවි ලියන බව. අපිව ඌවෙන් සෙංකඩගලට ගෙනාවට පස්‌සෙ ඇය නිදහසේ මට උදව් කළා. මාව ආරක්‌ෂා කළා…”

කාඩේනියෝ ගේ විස්‌තරයට මහත් රුචියකින් සවන් දෙමින් සිටි ෆැබ්රීෂියෝ ඔහුට බාධා කළේ සිංහල රැජිණක විසින් ලියන ලද කවි සිය මිතුරා කියවූයේ කෙසේ දැයි වටහාගත නොහැකි වූ බැවිනි.

“මම කියෙව්වෙ ඇය පෘතුගීසි භාෂාවෙන් ලියාපු කවි විතරයි”

මෙතැනදීද ෆැබ්රීෂියෝට සිය මිතුරා හා එකඟවීමට හැකි වූයේ නැත. ඒ බලනේදී හා රන්දෙණිවෙලේදී අල්ලා ගන්නා ලද ටිකදෙනා හැරුණු විට වෙනත් පෘතුගීසි ජාතිකයෙකු දැක නැති කන්ද උඩරට රැජිනක්‌ පෘතුගීසි බසින් කවි ලියන්නේ යයි කීම ඔහුට ඇදහිය නොහැකි වූ හෙයිනි.

“…අවුරුදු නවයක්‌ම ඇයට පෘතුගීසි භාෂාව උගන්නලා තියෙන්නෙ ප්‍රැන්සිස්‌කෝ නිග්‍රාඕ පියතුමා. පෘතුගීසි විතරක්‌ නෙවෙයි ලතින්, ඉතාලි වගේ භාෂාත් ඇයට පුළුවන්. ඇය සාමාන්‍ය කෙනෙක්‌ නෙවෙයි දොන් ජුවන් රජුගේත්, දෝන කැතරිනා බිසවගේත් දියණිය. දොන් ජුවන් ගෝවේදීත් දෝන කැතරිනා මන්නාරමේදීත් හොඳ අධ්‍යාපනයක්‌ ලබල තියෙනවා. ඒ නිසා ඔවුන් තමන්ගෙ දියණියටත් හොඳ අධ්‍යාපනයක්‌ ලබා දුන්නා…” (-THE SRI LANKA READER˜˙ ED: JOHN CLIFFORD HOLT – පිටුව 171)

රැජිණගේ අනන්‍යතාව අවසානයේදී හෙළිවෙන අතර, ඇය දොන් ජුවන් ලෙස බෞතීස්‌ම ලැබූ පළමුවන විමලධර්මසූර්ය රජුගේත්, (කෝන්අප්පු බණ්‌ඩාර) දෝන කැතරිනා (කුසුමාසන දේවිය) බිසවගේත් දියණියකි. මෙම යුවලට රාජසූර්ය අස්‌ථාන නම් පුත්‍රයෙකුත්, සූරියා මහ අදසින් හා අන්තාන (හන්තාන) අදසින් යනුවෙන් දියණියන් දෙදෙනකුත් සිටි බව බැල්දියස්‌ සඳහන් කරයි. කාඩේනියෝ වර්ණනා කර ඇත්තේ බාල දියණිය වූ අන්තාන අදසින් ගැන යයි කියවේ.

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ, කාඩේනියෝ විසින් සංවාදයක ස්‌වරූපයෙන් ඉදිරිපත් කර ඇති කරුණු හුදු ප්‍රබන්ධයන්ද එසේ නැතිනම් සත්‍ය ඒවාදැයි විමසා බැලීමයි. ඒ සඳහා මුලින්ම කොන්ස්‌තන්තීනු ද සා යනු කවරෙක්‌දැයි හඳුනාගත යුතු වේ. දොන් කොන්ස්‌තන්තීනු ද සා ද නොරොඤ්ඤා යනු ලංකාවේ සිටි පෘතුගීසි කපිතාන් ජෙනරල්වරයෙකි. ඔහු දෙවරක්‌ම එම ධුරය දරා ඇති අතර පෘතුගාලයේ උසස්‌ පෙළපතකින් පැවතෙන්නෙකු බව සඳහන් වේ. පෘතුගීසීන්ට එරෙහිව සටන් කළ දෙනවක මායාදුන්නේ, කුරුවිටරාළ (අන්තෝනි බරෙත්තු), කාන්ගර ආරච්චි වැනි සිංහල නායකයන්ගේ ගහලයා වූයේ මොහුය. වරක්‌ මහනුවර ආක්‍රමණය කොට නාථ දේවාලය ගිනි තබා එහි වූ අති විශාල ප්‍රතිමා දෙකක්‌ මොහු විසින් වැනසූ ආකාරය විස්‌තර කර ඇත්තේ ඔහුගේ හමුදාවේ සිටි ද සා මිරැන්ඩා නම් උසස්‌ යුද නිලධාරියෙකි. කෙතරම් යුද දක්‌ෂයෙකු වුවද, 1630 දී වැල්ලවායේ රන්දෙණිවෙලේ සටනේදී සෙනරත් රජුගේ පුතුන් අතින් කොන්ස්‌තන්තීනු ද සා මරුමුවට පත්විය. ‘කුස්‌තන්තීනු හටන’ වැනි ප්‍රශස්‌ති කාව්‍යයන් ලියන්නට අලගියවන්න මුකවෙටිලා මෙන්ම ඔහු වෙනුවෙන් ශෝකවන්නට සැදී පැහැදී ගත් රැජිනියන් කන්ද උඩරට රජ මාලිගයේ සිටීමෙන්ද ප්‍රකට වන්නේ, ඔහු ඇතැම් සිංහලයන් අතරද ජනප්‍රියව සිට ඇති බවයි. ද සා ගේ මරණය පෘතුගීසීන්ට දැඩි කම්පනයක්‌ ඇති කළ සිදුවීමක්‌ වූ බව කියවේ.

ද සා මිරැන්ඩාගේ විස්‌තරයෙන් හෙළි වන පරිදි අන්තාන අදසින් රැජිණ හා කොන්ස්‌තන්තීනු ද සා අතර ලිපි ගනුදෙනු පවා සිදු වී ඇත. ද සා විසින් උඩරට ආක්‍රමණය කොට මහනුවර නගරය ගිනිබත් කළ අවස්‌ථා දෙකකදීම දළදා මාලිගය හා රජමාලිගය දවා හළු නොකළේ, එසේ නොකරන ලෙස ශෝභන අත් අකුරින් ලියූ ලිපිවලින් ඇය ඉල්ලා සිටි නිසා බවද මිරැන්ඩා හෙළි කරයි. (“THE SRI LANKA “පිටුව 174) එම විස්‌තරය අනුව නම් හැඟෙන්නේ සා වෙනුවෙන් ශෝක වන්නට මෙම රැජිණට සාධාරණ හේතු කාරණා තිබී ඇති බවකි.

සේනා සම්මත වික්‍රමබාහු රජ පෙළපතට අයත් උඩරට සිහසුනට නීත්‍යනුකූල උරුමය තිබුණේ මෙම රැජිණගේ මව වූ කුසුමාසන දේවියට මිස පියා වූ විමලධර්මසූර්ය රජුට නොවේ. කුසුමාසන දේවිය යනු උඩරට රජු වූ කරල්ලියෑද්දේගේ දියණියයි. ඇයට එක්‌ අවුරුදු වයස්‌ වෙද්දී ඇයත්, බෑණා වූ යමසිංහ බණ්‌ඩාරත් රැගෙන පෘතුගීසීන් වෙත පළා යන්නට කරල්ලියද්දේට සිදුවූයේ, එතෙක්‌ ඔහුගේ පාර්ශවය ගෙන සිටි පේරාදෙණියේ වීරසුන්දර බණ්‌ඩාර සීතාවක රාජසිංහ රජුට පක්‌ෂපාතී වීම නිසාය. මේ වීරසුන්දර බණ්‌ඩාර යනු අනෙකෙකු නොව කෝන්අප්පු බණ්‌ඩාර හෙවත් විමලධර්මසූර්ය රජුගේ පියාය.

කරල්ලියෑද්දේගේ පළායාම නිසා හිස්‌ වූ උඩරට සිංහාසනයට සීතාවක රාජසිංහයන් විසින් පත් කරන ලද්දේ වීරසුන්දර බණ්‌ඩාරයන්ය. අවාසනාවකට මෙන් රාජසිංහ රජු විසින් සැකයක්‌ මත වීරසුන්දර බණ්‌ඩාර ඝාතනය කිරීම නිසා බියපත් වූ කෝන්අප්පු බණ්‌ඩාරද පිළිසරණ පතා පෘතුගීසීන් වෙත පළා ගියේය. එහිදී ඖස්‌ත්‍රියාවේ දොන් ජුවන්a වූ ඔහු කාඩේනියෝ කියන පරිදිම විවිධ භාෂා ශාස්‌ත්‍ර මෙන්ම යුධ ශිල්පයද ප්‍රගුණ කර ඇත. එක්‌ අවුරුදු වයසේදීම පෘතුගීසීන් යටතට පත් වූ කරල්ලියද්දේගේ දියණියද දෝන කැතරිනා බවට පත් වී, ලිවීම, කියවීම මෙන්ම විවිධ භාෂාවන් පිළිබඳ දැනුමද, සංගීතයද, කතෝලික සමය පිළිබඳ අවබෝධය හා පෘතුගීසී සිරිත් විරිත් පිළිබඳ දැනුමද නොඅඩුව ලබා ගත්තාය. ඒ අයුරින් ඇය හැදී වැඩුණේ පෘතුගීසි ජාතික දැරියක ලෙසිනි.

මෙසේ කාලය ගත වෙද්දී සීතාවක පාලනයට එරෙහිව උඩරැටියන් කැරළි ගැසූවෙන් එහි සිහසුනට පත් වීමට යමසිංහ බණ්‌ඩාරට අවස්‌ථාව ලැබිණි. ඒ පෘතුගීසීන්ගේද ආධාර ඇතිවය. කෝන්අප්පු බණ්‌ඩාරට මෙම අවස්‌ථාව වැදගත් වන්නේ යළිත් වරක්‌ උඩරටට ඒමට මාර්ගය පෑදීම නිසයි. වැඩි කල් නොගොස්‌ම යමසිංහ මිය ගියේය. ඒ වස කැවීමකින් යයි කියෑවේ. කෝන්අප්පු බණ්‌ඩාර ඊට වගකිව යුතු බවට පිළිගැනීමක්‌ ඇත. රජුගේ මරණය දැනගත් පෘතුගීසීහු දෙවන වරට සිහසුනෙහි හිඳුවන්නේ යමසිංහ බණ්‌ඩාරගේ පුත්‍රයාය. ඉන් කෝප වූ කෝන්අප්පු, තමන්ට පක්‌ෂ වූ සේනාවේ සහායෙන්, එරජුත්, පෘතුගීසිනුත් පළවා හැර විමලධර්මසූර්ය නමින් 1592 දී උඩරට කිරුළු පැළැන්දේය. ඔහුගේ මේ හිතුවක්‌කාර ක්‍රියාවට පාඩමක්‌ ඉගැන්වීමට සිතූ පෘතුගීසීහු සිහසුනේ නියම උරුමක්‌කාරියට එය පවරා දීමට කටයුතු කළහ. ඔවුන් දෝන කැතරිනා උඩරටට කැන්දාගෙන ආවේ ඒ අනුවය. එහි මූලිකත්වය ගත්තේ ලොපෙස්‌ ද සූසා හා ඔහුගේ පුතු බව කියෑවේ. මෙහිදී පෘතුගීසීන්ගේ අරමුණ වූයේ දෝන කැතරිනා සිහසුනට පත්කොට සූසාගේ පුතුට ඇය විවාහ කර දී පහසුවෙන්ම උඩරට තමන් යටතට ගැනීමයි. පෘතුගීසීන්ගේ පැමිණීම ආරංචි වූ විගස විමලධර්මසූර්ය සෙංකඩගල අතැර පළා ගියේය. මේ නිසා ආරවුලකින් තොරවම දෝන කැතරිනා සිංහාසනාරූඪ කරවීමට හැකිවිණි. ටික දිනක්‌ ගෙවී ගියේය. ඇයගේ රාජ්‍යපදප්‍රාප්තියෙන් අමන්දානන්දයට පත්ව සිටි උඩරැටියන් එම කාලය තුල වටහා ගත්තේ වැඩි කල් නොගොස්‌ම උඩරටද පෘතුගීසීන්ට අයත් වන බවයි. එබඳු සැකයක්‌ පිළිබඳ කටකතා පැතිරෙද්දී, පෘතුගීසී පාක්‌ෂික සේනාව උපක්‍රමිකව භේදභින්න කළ විමලධර්මසූර්ය, දන්තුරේ දී ඔවුන් හා කළ සටනින් ජය ගත් අතර දොළොස්‌ හැවිරිදි දෝන කැතරිනා කුමරියද පැහැර ගත්තේය. අනතුරුව ඇය සරණ පාවා ගෙන සිහසුනේ උරුමයද 1594 දී තහවුරු කර ගන්නා ලදි.

උඩරට රජවීමෙන් අනතුරුව විමලධර්මසූර්ය සිංහල බෞද්ධ රජෙකු  බවට පත්විය. දෙවනගල රතනාලංකාර හිමියන්ගේ මැදිහත්වීම නිසා දෙල්ගමුව විහාරයේ මහා කුරහන් ගලෙහි සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේද ඔහුට ලැබිණි. රජු එසේ වෙනස්‌ වූවත්, කුසුමාසන දේවියට නම් මියයන තුරුම සිය පෘතුගීසී ආභාසය අත්හැර ගැනීමට හැකිවූයේ නැත. විමලධර්මසූර්ය නිසා උපන් දරුවන් තිදෙනාම ඇය විසින් හැඩ ගැස්‌වූයේ පෘතුගීසී ඌරුවටය. µ්‍රeන්සිස්‌කෝ නිග්‍රාඕ නම් පූජකතැන ලවා ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමට සිදුවූයේ ඇයගේ වුවමනාව පරිදිය. ඒ වග කාඩේනියෝද සඳහන් කරයි. කුමර කුමරියන්ගේ ජාතික හැඟීම් මොටකොට ඔවුන් පෘතුගීසී අනුකාරකයන් කිරීමට මෙම පූජකතැන වගබලාගෙන ඇති බව හෙළි වන්නේ පසුකාලීනව ඔවුන් කළ කී දේ වලිනි. කුසුමාසන දේවියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කිසිවක්‌ කළ නොහැකි වූ රජුටද සිදුවන්නට ඇත්තේ පෘතුගීසි අනුකාරකයන් ලෙස සිය දරුවන් හැදෙන වැඩෙන අයුරු බලා සිටින්නටය.

වසර දොළහක රාජ්‍ය කාලය ඇවෑමෙන් 1604 දී විමලධර්මසූර්ය රජු මිය ගියේය. ඒ බව පැරණි පුස්‌කොළ පොතක සඳහන් මෙම කවියෙන් තහවුරු වේ.

“…සක වසින් එක්‌දහස්‌ පන්සිය සවිසි වනුයෙහි සඳු දිනා

වක දසින් දිය වෙසඟ පුර නැඟි කකුළු රැස හත නැකතිනා

ලක යසින් පිරි සිරි විමලදම්සුරිය මහ රජු මිදෙමිනා

සක බසින් සුර පුරට වැඩි බව ලීවෙ මතුවට වැඩවනා…”

(“මධ්‍යම ලංකා පුරාවෘත්ත” – නාවුල්ලේ ධම්මානන්ද හිමි – පි( 160)

මියයාමට පෙර කලක්‌ ඔහු අසනීපයෙන් සිටි බව සඳහන්ය. එම කාලය තුළදී රජු කල්පනා කරන්නට ඇත්තේ තමන් විසින් අසීරුවෙන් තහවුරු කර ගත් උඩරට රාජ්‍යයේ අනාගතය පිළිබඳවයි. කුසුමාසන දේවියගේ පෘතුගීසි ගැතිබව පිළිබඳවත්, ඇයට අවශ්‍ය පරිදි දරුවන් හදා වඩන ආකාරය පිළිබඳවත් ප්‍රසාදයකින් නොසිටි රජු, ඇයගේ උරුමය වූ සිහසුන ඇයටම පවරා දීමට කල්පනා කළේ නැත. එසේ කිරීම උඩරට රාජ්‍යය බන්දේසියක තබා පෘතුගීසීන්ට පිළිගැන්වීමක්‌ යයි ඔහු විශ්වාස කළේය. කොටින්ම ස්‌වාධීන උඩරට රාජ්‍යයක්‌ ගැන මිස තමන්ගෙන් ඇරඹෙන රාජ වංශයක්‌ ගැනවත් නොසිතූ මෙම දූරදර්ශී රජු, සිය මවගේ සොහොයුරියකගේ පුතෙකු වූ භික්‌ෂුවක්‌ ගම්පොළ සිට කැඳවා උපැවිදි කොට, සිහසුන සමගින් තම දරුවනුත්, දේවියත් ඔහුට බාර දුන්නේය. මේ කාර්යය සඳහා මහජන කැමැත්තද විමසා බැලු බවක්‌ ‘සෙනරත් රාජ පුවත’ නම් ඓතිහාසික කාව්‍යයෙන් කියවෙන බව ආචාර්ය සන්නස්‌ගල පවසයි. සෙනරත් රජුට උඩරට සිහසුන හිමිවූයේ ඒ අයුරිනි.

වසර කිහිපයක්‌ ගතවෙද්දී සෙනරත් රජුට දාව කුමාරසිංහ, විජයපාල යන පුතුන් දෙදෙනා කුසුමාසන දේවියට ලැබිණි. එම දෙදෙනාටද ඇයට රිසි පරිදි පෘතුගීසී අධ්‍යාපනය ලබා දෙමින්, එම සිරිත් විරිත්වලට අනුකූලවම හදාවඩා ගත්බව පෙනේ. මේ වනවිට විමලධර්මසූර්යගේ පුත් රාජසූර්ය කුමරු තරුණ වියට ළංවී සිටි සෙල්ලක්‌කාරයෙක්‌ විය. සෙනරත් රජු කිසියම් හේතුවක්‌ නිසා ඔහු ප්‍රිය නොකළ බව පෙනී යයි. ඇතැම් විට එය ඔහුගේ වගකීමක්‌ නැති සෙල්ලක්‌කාරකම හෝ පෘතුගීසී අනුකාරක ජීවන රටාව හෝ විය හැකිය. එසේත් නැත්නම් ඔහු නිසා සිය පුතුන්ට සිහසුන අහිමිවේයයි සිතීමද වන්නට පුළුවන. හේතුව කුමක්‌ වුවද කුමරුගේ ඉරණම තීරණය වූ ආකාරය රාජාවලී කතුවරයා විසින් ලියා ඇත්තේ “..විමලදහම්සූර්ය රජුට ජාතක වැඩිමහලු කුමාරයා දිය කෙළියට මහවැලි ගඟට ඇරලා ඒ කුමාරයාගේ මවු බිසවට නොදන්වා එක්‌ක ගියවුන් ලවා දියේ ඔබා මරා දැමුවාහ…” යනුවෙනි. ජන විශ්වාසයට අනුව සෙංකඩගල කලු කුමාර දෙවියන් ලෙස උපන්නේ මෙම කුමරුය. එම දෙවියන්ගේ කෝල්මුර කවිවලින් කියෑවෙන පරිදි කුමරු ඝාතනයට හේතුව කොණ්‌ඩ කුරුළු හබයකි. කොණ්‌ඩ කුරුල්ලන් පොර කෙටවීමට ඇබ්බැහි වී සිටි කුමරු දිනක්‌ පොරට යෑවීම සඳහා රජු සතු කොණ්‌ඩ කුරුල්ලෙකු ඉල්ලා ඇත. එහෙත් රජුගෙන් ඊට අවසරය නොලැබිණි. කේන්තියට පත් වූ කුමරා රජුගේ කොණ්‌ඩ කුරුල්ලා මරා දැමීය. එහි ප්‍රතිඵලය වූයේ මහවැලි ගං දියේ ගිලී මිය යන්නට කුමරුට සිදුවීමයි. කුරුල්ලෙකු නිසා රජෙකු විසින් කුමරෙක්‌ මැරවූයේදැයි කෙනෙක්‌ විපිළිසර විය හැකි වුවද, සෙනරත් රජු සිදුකළේ, පෘතුගීසි රූකඩයක්‌ විය හැකිව තිබූ සිහසුනේ උරුමකරුවා විසින් පළමු අභියෝගය එල්ල කළ අවස්‌ථාවේදීම ඔහු විනාශ කර දැමීමයිs.

මෙම සිද්ධිය 1612 දී පමණ සිදුවිනැයි සඳහන් වන අතර, ඒ වන විට කුසුමාසන දේවිය සිට ඇත්තේ බාලම පුත්‍රයා වූ රාජසිංහ අස්‌ථාන කුමරු ප්‍රසූත කිරීමට සූදානමිනි. සිය වැඩිමහලු පුතුගේ ෙ€දවාචකයට සෙනරත් රජුව සැක කළ ඇය නොකා නොබී සිට අවසානයේදී අසනීප වූ වග කියෑවේ. 1612 අගදී හෝ 1613 මුලදී මහියංගණයේ අලුත් නුවරදී දරුවා ප්‍රසූත කළ ඇය, 1613 ජූලි මස විසිවන දින සතර කෝරළයේ වැලිමන්නාතොට මාලිගයේදී මිය ගොස්‌ ඇත. ඇයගේ සිරුර ගරු ගාම්භීර බවින් යුතුව ආදාහනය කරන ලද්දේ මහනුවර ආදාහන මළුවේදී ජූලි විසි එක්‌ වැනිදා බව වැලන්ටයින් පවසා ඇතැයි කියවේ. ඒ රාජසූර්ය කුමරා ආදාහනය කළ ස්‌ථානයේදීමය. රජ පවුලක උපත ලදුවද අනේකවිධ දුක්‌ඛ දෝමනස්‌සයනට මුහුණ දුන් කුසුමාසන දේවිය මෙසේ මිය ගියේ තරුණ විය ගෙවී යන්නටත් ප්‍රථමයෙනි. ඒ වන විට ඇයගේ වයස අවුරුදු තිස්‌ දෙකක්‌ පමණයයි කියවේ. රජවරුන් දෙදෙනා සමග ගත කළ වසර විස්‌සක්‌ වැනි කාලය තුළ ඇය නිරන්තරයෙන් අපේක්‌ෂා කළේ දරුවන්ද කැටුව පෘතුගීසීන් වෙත පළා යාමට යයි අසන්නට ලැබෙන අතර ඉන් ප්‍රකට වන්නේද ඇයගේ පෘතුගීසි ආකර්ෂණයයි.

කුසුමාසන දේවියගේ අභාවයෙන් පසු සෙනරත් රජු සරණ පාවා ගත්තේ ඇයගේ හා විමලධර්මසූර්ය රජුගේ වැඩිමහලු දියණිය වූ සූරියා මහ අදසින් බව වෛද්‍ය නිහාල් කරුණාරත්නයන් සිය “KANDY PAST AND PRESENT” (පිටුවරි24) කෘතියේදී පවසා ඇත. ඒ වන විටත් ඇය විවාහකව සිටි බව කියවෙතත් ඇයගේ ස්‌වාමි පුරුෂයාගේ ඉරණම කුමක්‌ වීදැයි දැන ගන්නට නොලැබේ. එම විවාහය මගින් අරමුණු දෙකක්‌ ඉටු කර ගන්නට රජු බලාපොරොත්තු වූවා විය හැකිය. එකක්‌ නම් කුසුමාසන දේවියගේ අභාවය නිසා ගිලිහී ගිය සිහසුන පිළිබඳ උරුමය ඇයගේ දියණිය මගින් තහවුරු කර ගැනීමයි. දෙවැන්න නම් සිහසුනට අලුත් උරුමකරුවන් බිහිවීමේ ඉඩකඩ වැළැක්‌වීමයිs. එහෙත් සූරියා අදසින් රජුගේ බිසෝ තනතුරෙහි සිට ඇත්තේ වසර හතරක්‌ වැනි සුළු කාලයකි. 1617 දී ඇය මියගොස්‌ ඇත.

තෙවන වරට රජු සරණ පාවා ගත්තේ කාඩේනියෝගේ මිතුරිය වූ අන්තානා අදසින්ය. ඇයගේ ස්‌වාමිපුරුෂයා ඝාතනය කොට එම විවාහය සිදු කළ බව කාඩේනියෝ සඳහන් කරයි. කොන්ස්‌තන්තීනු ද සා නොරොඤ්ඤාගේ මරණය ගැන ආභරණ පවා නොපැළඳ ශෝකවූයේ ඇය ය. කුසුමාසන දේවියගේ දරුවන්ගේ මෙම ඇවතුම් පැවතුම් වලින් ප්‍රකට වන්නේ ඇයගේ පෘතුගීසීකරණ ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයි. වසර දහතුනක්‌ වැනි දිගු කාලයක්‌ සෙනරත් රජු හා මාලිගයෙහි ගත කළ අන්තානා අදසින් රැජිණ කොන්ස්‌තන්තීනු ද සා ගේ මරණය නිසාම මාලිගය හැර යාමට සූදානමින් සිටි බවද කාඩේනියෝ පවසයි. ඉන් ප්‍රත්‍යක්‌ෂ වන්නේ රන්දෙණිවෙලේ සටනට නායකත්වය දුන් රජුගේ හෝ ඔහුගේ පුත් කුමාරවරුන්ගේ හෝ මුහුණු දැකීමටවත් ඇය කැමති නොවූ බවය.

උඩරට සිහසුන සම්බන්ධ සිංහල බෞද්ධ අයිතියට එල්ල විය හැකි අභියෝග මැඩපවත්වා ගනිමින් කටයුතු කළ සෙනරත් රජු 1628 දී සිය පුතුන් තිදෙනා අතර උඩරට රාජධානිය බෙදා දුන්නේය. ඒ වැඩිමලා වූ කුමාරසිංහට ඌවත්, විජයපාලට මාතලේත්, රාජසිංහ ආස්‌ථානට මහනුවර ඇතුළු කන්ද උඩ පස්‌රටත් ලැබෙන පරිද්දෙනි. උඩරට රාජ්‍යය ලෙස විදේශිකයන් පිළිගත් කන්ද උඩ පස්‌රට රාජසිංහ ආස්‌ථානට ලබා දීමට රජු යටිකූට්‌ටු උපක්‍රමයක්‌ ක්‍රියාත්මක කළ බව ඇතැමුන්ගේ පිළිගැනීමයි. එසේ කළේ නම් ඊට හේතුව අනෙකක්‌ නොව තම දරුවන් වුවද පෘතුගීසි රූකඩවලට රාජ්‍යය ලබා නොදී, සිංහලයෙකු සේ හැදී වැඩුණු බාල කුමරු රජකරවීමට සෙනරත් රජු තුළ තිබූ අවශ්‍යතාවයි. රාජසිංහ කුමරු උපන් අලුතම කුසුමාසන දේවිය මිය ගිය හෙයින් ඔහු ඇයගේ පෘතුගීසීකරණ ක්‍රියාවලියෙහි ගොදුරක්‌ වූයේ නැත.

1634 දී ඌවේ කුමාරසිංහ රජු මිය ගියේය. එය සිදුවූයේ සෙනරත් හා රාජසිංහ යන දෙදෙනා විසින් කරවන ලද වස දීමකින් යයි කියවේ. රාජසිංහයන්ට එරෙහිව එල්ල විය හැකිව තිබූ තවත් අභියෝගයක්‌ හොඳින් හෝ නරකින් එසේ ඉවත් කරන ලදි. එක්‌ අතකින් කුමාරසිංහ, රාජසිංහයන්හට අභියෝගයක්‌ වන්නට තරම් ප්‍රබලයෙකුද නොවේ. ඒ බව හෙළිවන්නේ “…ඌවේ ඔහු, නමින් කුමාරසිංහ අදසින්ය. දහවල් කාලයේදීත් නිදියන්නට රුසියෙකු වූ ඔහු බේබද්දෙකි. වැදගැම්මක්‌ නැති මිනිහෙකි…” යනාදී වශයෙන් ක්‌වේරෝස්‌ දී ඇති චරිත සහතිකය නිසයි. වැඩිමහලු සොහොයුරාගේ මරණයෙන් පසු ඔහුගේ රාජධානිය හා දේපළ තමන්ට හිමි විය යුතු යයි මාතලේ විජයපාල රජු කල්පනා කළේය. එහෙත් සිදුවූයේ ඒවා අත්පත් කරගත් රාජසිංහයන් විසින් එම දේපළවලින් සුළු කොටසක්‌ පමණක්‌ ඔහුට දීම නිසා දෙදෙනා අතර මතභේද උද්ගත වීමයි.

සෙනරත් රජු උඩරට සිහසුන මෙතෙක්‌ කල් රැක ගත්තේ සිය උපාය ඥානයෙනි. වත්මන් භාවිතයනට පටහැනි සේ පෙනෙන විවාහයන් කර ගනිමින්, ඇතැම් දරුවන්ගේ ඉරණම තමන් විසින්ම තීන්දු කරමින් ඔහු මග පෑදුවේ රාජසිංහ කුමරාට බලය ලබා දෙන්නටය. සිය ඥාති සොහොයුරා වූ විමලධර්මසූර්යගේ ප්‍රාර්ථනා මල්ඵල ගැන්විය හැක්‌කේ එමගින් පමණක්‌ බව ඔහු දැන සිටියේය. අනෙක්‌ කුමර කුමරියන් පෘතුගීසි, ලතින්, ඉතාලි වැනි භාෂා උගනිද්දී රාජසිංහ කුමරා උගත්තේ සිංහල, පෘතුගීසි ඇතුළුව පාලි හා සංස්‌කෘත යන භාෂාවන්ය. මේ අයුරින් සෙනරත් රජු විසින් කන්ද උඩරටට සුදුසු රජු වශයෙන් පවුලේ බාලයාව හැඩගස්‌වද්දී පෘතුගීසීන්ද එය ප්‍රතික්‌ෂේප කර නැති වග හෙළිවන්නේ -…ඔහු පවුලේ බාලයා වුවත් දැන් මහනුවර රජුය. එහි මිනිසුන්ගේ චාරිත්‍රය එයයි…” යන ක්‌වේරෝස්‌ගේ ප්‍රකාශයෙනි. සෙනරත් රජු විසින් වැඩිමහලු කුමාරවරුන් හට රජකම නොපැවරීම පිළිබඳව එල්ලවන චෝදනාවෙන් ඔහු නිදහස්‌ වන්නේ ‘ලක්‌ රජ ලෝ සිරිත’ නම් අමුද්‍රිත පුස්‌කොළ පොතෙහි සඳහන් කර ඇති කරුණුවලිනි. “…සිහසුනට සුදුස්‌සා තෝරා ගත යුත්තේ පවුලේ වැඩිමලා වීම නිසා නොව, ධර්මිෂ්ඨ බව, ප්‍රඥාව හා පූර්ව වාසනා ගුණය යන කරුණු අනුව…”යයි එහි සඳහන් වන බව මහාචාර්ය කේ. ඩබ්( ගුණවර්ධන පවසයි. දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති එම පොතෙහි අත් පිටපතක්‌ තමා සතු බවද මහාචාර්යවරයා සඳහන් කර ඇත. (“THE SRI LANKA JOURNAL OF THE HUMANITIES” – 1977 රි පිටුව 31 ) මෙසේ විවිධ දෝෂාරෝපණයන්ට ලක්‌ වෙමින් උඩරටට ගැලපෙන නරපතියෙකු තැනූ සෙනරත් රජු 1635 දී කළුරිය කළේය. ඔහුගෙන් පසුව උඩරට අගරජු බවට පත් වූයේ රාජසිංහ කුමරුය. ලංකා ඉතිහාසයේ දෙවන රාජසිංහ නාමයෙන්a සඳහන් වන්නේ මෙම රජු වේ.

සොහොයුරන් දෙදෙනා අතර මතභේද පැවතුනත් 1638 දී කළ ගන්නොරු සටනේදී පෘතුගීසීන් පරාජය කිරීම සඳහා මාතලේ විජයපාල රජුගෙන් රාජසිංහයන්හට ලැබී ඇත්තේ නොමඳ සහයෝගයකි. එහෙත් සිරභාරයට ගත් පෘතුගීසි භට පිරිසකට කොළඹට පළා යාමට ඔහු විසින් ඉඩ ප්‍රස්‌ථාව සලසා දීමේ පුවත රාජසිංහයන් හට ආරංචි වීමෙන්, දෙදෙනා අතර නැවතත් මතභේද ඇතිවී තිබේ. අවසන් ප්‍රතිඵලය වූයේ 1641 දී විජයපාල පෘතුගීසීන් වෙත පළා යාමයි. නියම විජයපාල රජු කවුරුන්දැයි හෙළිවන්නේ ඉන් පසුවය. ඒ 1643 මැයි මාසයේදී ඔහු විසින් ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජයා වෙත යවන ලද ලිපියකිනි. පෘතුගීසීන් පිළිබඳව ඔහු තුළ වූ ලැදි බව කොතරම්දැයි ඉන් මනාව ප්‍රකට වේ.

“…මා උපත ලදුයේම පෘතුගීසී ජාතිය කෙරෙහි අභිරුචියකින් යුතුවය. මා කුඩා අවධියේදී ප්‍රැන්සිස්‌කෝ නිග්‍රාඕ පූජකතුමා ගෙන් ලිවීම හා කියවීම උගත් අතර එය මගේ මවු රැජිනගේ ඉමහත් සංතුෂ්ඨියට හේතුවිය. ඔහුගේ උපදෙස්‌ යටතේම මම හොඳ සමාජ සිරිත් විරිත් හා රාජකීයයන්ට පමණක්‌ උරුම වූ චාරිත්‍රයන්ද උගත්තෙමි. මගේ සිරුරෙහි දුවන්නේ සිංහල රුධිරය වුවද ඇවතුම් පැවතුම් හා සිතුම් පැතුම් වලින් මම පෘතුගීසියෙක්‌මි. මගේ රාජධානියත්, ධනයත්, බිසව හා දරුවාත් මට නැතිවීමට ප්‍රධාන හේතුව වූයේ එයයි…”

“THE PRINCE VIJAYAPALA OF CEYLON” ˙ P. E. පීරිස්‌ -( පිටුව 31 )

පෘතුගීසීන් කෙරෙහි මෙතරම් භක්‌තිවන්ත වූ විජයපාල රජු ක්‌වේරෝස්‌ විසින් හඳුන්වා දී ඇත්තේ “…මාතලේ රජු වන මොහු අපගේ ශ්‍රේෂ්ඨ මිත්‍රයාය. එහෙත් අනුවණයෙකිs. ක්‍රීඩාශීලියෙකි. මුවහත් කඩුවක්‌ නොව මොට කඩුවක්‌ අතැති විට මොහු සැබෑ දක්‌ෂ සොල්දාදුවකු වනු ඇතැයි මට සිතේ. නම විජයපාල අදසින්ය…” යනාදී වශයෙනි. තමන්ගේ පරම මිතුරන් විසින් තම ආදරණීය පුත්‍රයන්හට මෙලෙසින් නින්දා බස්‌ පවසනු ඇසීමට කුසුමාසන දේවිය ඒ වන විටත් ජීවත්ව සිටියා නම්, ඇය ගෙළ වැල ලා ගෙන දිවි තොර කර ගනුq නියතය.

පෘතුගීසීන් වෙතට පළායාම නිසා විජයපාල රජුට අත්වූ සෙතක්‌ නැත. උඩරට අල්ලා ගැනීමට ආධාරෝපකාර කරන බවට දුන් පොරොන්දු හුදු පොරොන්දුම පමණක්‌ විය. තත්ත්වය එසේ වුවද විජයපාල රජුට 1646 දී දොන් තියොඩෝසියෝ නමින් කිතු සමය වැළඳ ගැනීමට සිදුවිණි. එම අවස්‌ථාවේදී රජු ගෙල පැළඳ සිටි රාජකීය සංකේතය වූ රාජාලියා බැඳි රන් දමද පෘතුගීසීන් ගලවා ගත්තේ අනුකම්පා විරහිතවය. 1656 දී මේ රජු මිය යන විට පෘතුගීසීන්ගේ බහට රැවටී සියල්ල අහිමි කරගත් අන්ත අසරණයෙකුව සිටියේය.

අවසානයේදී රජ පවුලෙන් ඉතිරිවූයේ අන්තාන අදසින් රැජිණ හා රාජසිංහයන් පමණි. ඇයගේ ඉරණම තීන්දු වූ ආකාරය හෙළිවන්නේ ඇය ජීවත්ව සිටි කාලයෙන් අවුරුදු 265 කට පමණ පසුව ලියෑවුණු කෘතියකිනි. “A GAZETTEER OF THE CENTRAL PROVINCE OF CEYLON” නම් එය ලියා ඇත්තේ A. C. ලෝරි විසිනි. ආදාහනගල නම් ස්‌ථානයක්‌ පිළිබඳව විස්‌තර කරන ඔහු “ආදාහනගල පාත දුම්බර දෙගල්දොරුවේ පිහිටි කඳු ගැටයකි. එය මුදුනෙහි කුඩා පොකුණක්‌ද, ඒ අසළින්ම බෝධියක්‌ද ඇත. රාජසිංහ රජුගේ (1634-1684) සොහොයුරිය මිහිදන් කර ඇත්තේ එතැනය. සොහොයුරා වූ රජුට විවාහ කරදීම සඳහා උඩ දුම්බර සිට බලහත්කාරයෙන් රැගෙන එමින් සිටියදී ඇය සිය දිවි නසා ගන්නා ලදැයි කියවේ…” යනුවෙන් සඳහන් කරයි. වර්තමානයේදී බෝධිගල නමින් හඳුන්වන්නේ මෙම ස්‌ථානය වන අතර රජ කුමරියක්‌ ඉන් පහළට පැන දිවි නසා ගන්නා ලදැයි යනුවෙන් ජනප්‍රවාදයක්‌ එම ප්‍රදේශයේ පවතී.

කාඩේනියෝ පැවසූ තවත් කරුණක්‌ මෙහිදී සත්‍ය වී ඇත. එය නම් අන්තාන අදසින් රැජිණ මාලිගයෙන් ඉවත්ව යැමේ අදිටනින් සිටි බවට ඔහු කියා ඇති කථාවයි. ඒ අනුව ඇය මාලිගයෙන් ගොස්‌ උඩ දුම්බර පදිංචිව සිටි බව ලෝරිගේ විස්‌තරයෙන් හෙළි වේ. තමන්ට වඩා අවුරුදු දහය දොළහකින් වැඩිමහලු වූ, එමෙන්ම තම පියාගේද මෙහෙසියව සිටි මෙම රැජිණ සරණ පාවා ගන්නට තරම් ප්‍රබල හේතුවක්‌ රාජසිංහ රජුට තිබුණේදැයි සිතා ගත නොහැකිය. මේ වන විට සිහසුනේ උරුමය පිළිබඳ ගැටළුවක්‌ද ඔහුට නොතිබුණි. එසේ නම් රජමාලිගයට ගෙන එමින් සිටියදී ඇය දිවි නසා ගත්තේ මන්ද යන ප්‍රශ්නය ඉතිරි වේ. ඊට පිළිතුර විය හැක්‌කේ මෙයයි.

අන්තාන අදසින් රැජිණට හුදෙකලාව උඩ දුම්බර වාසය කරන්නට ඉඩ දීමෙන් උඩරට රාජ්‍යය පිළිබඳ රහසිගත තොරතුරු පවා පෘතුගීසීන් අතට පත්වීමට ඉඩ සැලසෙන බව රාජසිංහ රජු දැන සිටියේය. එය වැළැක්‌වීමට නම් එක්‌කෝ ඇය ඝාතනය කළ යුතුය. නැතිනම් සිරකර තැබිය යුතුය. පෘතුගීසීන්ට ලැදි සිය සොහොයුරිය ඝාතනය කිරීමට නොසිතූ රජු තීරණය කරන්නට ඇත්තේ ඇය දිවි ඇති තෙක්‌ සිරකර තැබීමටයි. ඒ සඳහා සුදුසුම ස්‌ථානය වූයේ පිටස්‌තරයන් හට සම්බන්ධතා පැවැත්විය නොහැකි වූ රාජකීය අන්තඃපුරයයි. එවන් තැනක දිවි ගෙවීමට ඇති අසීරුව ප්‍රායෝගිකව දැන සිටි රැජිණ මාලිගයට ගෙන ඒමට ප්‍රථම දිවි නසා ගන්නට ඇත.

රාජසිංහයන් ගැන පෘතුගීසීන් තුළ වූ කෝපය ක්‌වේරෝස්‌ගෙන් පිටවී ඇත්තේ -…ඔහු සොල්දාදුවෙකි. එහෙත් අප්‍රසන්නය. එසේම දුෂ්ඨයෙකි. පෘතුගීසී ජාතියේ පරම හතුරාය… යනුවෙනි. රොබට්‌ නොක්‌ස්‌ද දහසක්‌ දේ කියා ඇතත්, දෙවන රාජසිංහයන් වටා ගෙතී ඇති ජනකථා ගොන්නෙන් මෙන්ම ඔහු වෙනුවෙන් ලියවී ඇති ප්‍රශස්‌ති කාව්‍ය සමූහයෙන්ද පැහැදිලි වන්නේ හේ අතිශයින් ජනප්‍රිය වූ රජෙකු බවයි. එමෙන්ම මුළු සෙංකඩගල ඉතිහාසයටම ඔහුගේ සුරුවිරුකම් අභිභවා යා හැකි වෙනත් රජෙකු පහළ වූයේ නැත. තමා නරපතියෙකු වූයේ මහප්පා වූ විමලධර්මසූර්ය රජුගේ දුරදක්‌නා ඥානය නිසා බව දත් රාජසිංහයන් හැකි ඉහළම ගෞරවය ඔහු වෙත පුද කළේ කිරුළ හිමි සිය පුත් කුමරාට විමලධර්මසූර්ය යන නාමය තැබීමෙනි. විවිධ අභියෝගයන් මැද අඩ සියවසක කාලයක්‌ රාජ්‍යය විචාළ මෙම නරපතියා 1687 දී මිය ගියේය.

කාඩේනියෝ විසින් ෆැබ්රිෂියෝට පවසා ඇති කරුණු සත්‍ය බව ඉහත තොරතුරුවලින් සනාථ වේ. අන්තාන අදසින් රැජිණට හිතෛෂීකම් පෑ මේ කාඩේනියෝ කව්දැයි සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ එය ආරූඪ නාමයක්‌ පමණක්‌ බවයි. රන්දෙණිවෙලේ සටනේදී සිරකරුවකු බවට පත් වූ පෘතුගීසි සොල්දාදුවෙකු විසින් සිය අත්දැකීම් හා ඇසූ දුටු කරුණු කාඩේනියෝ යන ආරූඪ නාමයෙන් මේ අයුරින් ලියා තබන්නට ඇත යන්න පිළිගත් මතය වේ. සැබෑ නම නොදන්නා ඒ සොල්දාදුවාගේ ව්‍යායාමය වැදගත් වන්නේ, කුසුමාසන දේවිය විසින් සෙංකඩගල රජ වාසල තුළ ක්‍රියාත්මක කරවූ පෘතුගීසීකරණ ක්‍රියාවලිය පිළිබඳ කිසියම් ඉඟියක්‌ එමගින් ලැබෙන නිසයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: