Posted by: lrrp | November 14, 2017

ඈත ඉතිහාසයකට උරුමකම් කියන පැපිළියාන

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් පැපිළියාන ඉතාම දිගු ඉතිහාසයකට උරුමකම් කියන සුන්දර ප්‍රදේශයකි.   කෝට්ටේ රාජධානියේ ශ්‍රේෂ්ඨ නරපතියා වූ හයවැනි පරාක්‍රමබාහු රජතුමා සිය මෑණියන් වූ සුනේත්‍රා මහාදේවිය සිහිවීම පිණිස සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරස්ථානය පැපිළියාන ගමේ ඉදිකිරීමෙන් පැපිළියාන ගමත් කෝට්ටේ රජවාසලත් අතර තිබූ සමීප සබඳතාව කෙතරම්ද යන්න පැහැදිලිවනු ඇත.  කෝට්ටේ රාජධානියේ ආරම්භකයා වූයේ මහා පරාක්‍රමබාහු රජතුමාය. එතුමාගේ මව සුනේත්‍රා දේවිය වූ අතර පියා ළමැණි ජයමහලෑණ නැමැති ප්‍රභූවරයෙකි. සයවැනි පැරකුම්බා රජතුමා ශ්‍රේෂ්ඨ නරවිරුවකු බව අවිවාදයෙන් පිළිගැනේ.එතුමා දක්ෂ රණකාමියකු වූවාසේම හොඳ කලාකාමියෙක්ද විය. කෝට්ටේ යුගය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වීමට රජතුමාගේ ඒ කලාකාමීබව බොහෝ දුරට බලපෑ බව නොරහසකි.මේ සමයේ දී කෝට්ටේ රාජධානිය ආර්ථික, ආගමික හා අධ්‍යාපන අංශවලින් ද ඉතා ඉහළ මට්ටමක පැවැතිණි. ආගමික සිද්ධස්ථානයක් වශයෙන් ද, ශාස්ත්‍රීය අධ්‍යාපන ආයතනයක් වශයෙන්ද, ඉතා ඉහළ මට්ටමක ලා සැලකිය හැකි පැපිළියානේ සුනේත්‍රා මහාදේවි පිරිවෙන මෙතුමා විසින් ආරම්භ කරන ලදී.

අවසන් වරට ත්‍රිසිංහලය එක්‌සේසත් කළ සවැනි පරාක්‍රමබාහු මහරජතුමා විසින් තමා කුඩා කල පැවැති සතුරු උවදුරුවලින් තමා බේරාගෙන අප්‍රසිද්ධව හදාවඩා රාජ්‍යය ලබාගැනීමට සැලැස්‌වූ සිය ආදරණීය මවු බිසවට පින් පිණිස එතුමියගේ නමින් සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රාජමහා විහාරය කරවන ලදී.

හයවැනි පරාක්‍රමබාහු රජතුමා වටා පැපිළියාන ගම සමඟ බැඳුණු ඉතාම අනුවේදනීය ප්‍රේම වෘතාන්තයක් ගොඩ නැගී ඇත. එය මෙසේය. දිනක් රජතුමා මේ ගම්මානය මැදින් සංචාරය කරද්දී ඉතා රූප සම්පත්තියෙන් යුත් ගැමි යුවතියක දැක තිබෙනවා. ඇයගේ රූප ශෝභාව දුටු රජතුමා අැයට වශීවෙලා තිබෙනවා. රජතුමාගේ ආදරය දිනාගත් මෙම යුවතියගේ නම ‘‘බැබලිය’’ යනුවෙන් ජනවහරේ සඳහන් වෙනවා.මේ අසම්මත ප්‍රේමය බොහෝ දුර දිග ගොස් තිබෙනවා. සාලිය අශෝක මාලා පෙම් පුවත වගේ ඉරනමක් අත් නොවී ඇත්තේ සයවැනි පරාක්‍රමබාහු රජතුමා මේ වන විටත් රාජාභිෂේකය ලැබ සිටි නිසාය. එහෙත් මේ ‘අසම්මත ප්‍රේමය’ නතර කරන්නට රජතුමාට සිදුවෙනවා. ඊට හේතුව බැබිලිය කියන රූමත් යුවතිය අභිරහස් ලෙස මියයෑම නිසායි. රජතුමා ඒවනවිට බැබිලියට නින්දගමක් දීමට තරම් තිරසාර ආදරවන්තයකුද වෙලා තිබුණා.   ඒ නින්දගම නිසා තමයි බැබිලිය විසූ ගම බැබිලියාන වෙලා තියෙන්නේ ජනවහරේ පහසුවට එය පැපිළියාන වූ බව ජනප්‍රවාදයේ දැක්වෙනවා. 

 

අවසන් වරට ත්‍රිසිංහලය එක්‌සේසත් කළ සවැනි පරාක්‍රමබාහු මහරජතුමා විසින් තමා කුඩා කල පැවැති සතුරු උවදුරුවලින් තමා බේරාගෙන අප්‍රසිද්ධව හදාවඩා රාජ්‍යය ලබාගැනීමට සැලැස්‌වූ සිය ආදරණීය මවු බිසවට පින් පිණිස එතුමියගේ නමින් සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රාජමහා විහාරය කරවන ලදී.

තමන් රාජ්‍යත්වය කරා රැගෙන ඒමට දිවි හිමියෙන් කටයුතු කළ සිය මෑණියන්ට තිබූ මව් සෙනෙහස නිසාත් තමන් ආදරය කළ සුන්දර යුවතිය නිසාත් ඇය වාසය කළ ගම්මානයේම අලංකාර විහාරස්ථානයක් නිර්මාණය කිරීමට තරම් පරාක්‍රමබාහු රජතුමා කෘතවේදී වුණා. සම්බුදු සසුනේ දියුණුව වෙනුවෙන් සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරය ඉදිකොට ගෞරවණීය මහා සංඝරත්නයට පූජා කළා.

එතුමන්ගේ රාජ්‍යෙdaදය වර්ෂය ලෙස ක්‍රි.ව. 1410, 1412, 1415 මූලාශ්‍රයන් තුනක සඳහන් වේ. එතුමා රාජ්‍යයට පැමිණ වසර දෙකක්‌ ඇතුළත මෙම විහාරස්‌ථානය ගොඩනැඟූ බව මෙම ස්‌ථානයේ පිහිටුවා ඇති. අදත් කොටස්‌ වශයෙන් දක්‌නට ලැබෙන ශිලා ලේඛනයෙන් තහවුරු වේ.මහාචාර්ය මැන්දිස් රෝහණදීර ප්‍රකාශ කරන්නේ මෙය ක්‍රි.ව 1415 ත් 1417 ත් අතර කාල පරිච්ඡේදය තුළ කරවූවක් බවයි. මින් පෙනී යන්නේ මහා පරාක්‍රමබාහු රජු මුළු රටට ම අගරජු වශයෙන් ක්‍රි.ව. 1415 පත් වූ අලුතම මවු බිසව සිහිවීම පිණිස පැපිළියානේ සුනේත්‍රා මහාදේවී විහාරය කරවූ බවයි. සද්ධර්මරත්නාකරය ලියැවුණ ක්‍රි.ව. 1417 වන විට පැපිළියානේ සුනේත්‍රා මහා දේවි පිරිවෙන අභිනවයෙන් කරවා තිබූ බව සඳහන් වේ.

“ශ්‍රී බුද්ධ වර්ෂයෙන් එක්‌දහස්‌ නවසිය අට පනස්‌ අවුරුද්දක්‌ පිරුණු සඳ…. ස්‌වර්ගස්‌ථ වූ මවු බිසවුන් වහන්සේට පිං පිණිස අභිනව විහාරයක්‌ කරවන ලෙසට රාණිවාසල කාරියෙහි නියුක්‌ත සිකුරා මුදල් පොතුන්ට වදාළ මෙහෙවරින් පස්‌විසිදහසක්‌ ධන වියදම්කොට පාණබුණුබද පැපිලියානෙහි ප්‍රාකාර, ගොපුර, ප්‍රතිමාගෘහ, මණ්‌ඩප බෝධි චෛත්‍ය සඞඝාවාස දෙවාලය පුස්‌තකාලය පුෂ්පාරාමාදීන් යුක්‌තකොට සමෘද්ධ කැරවූ විහාරය විරස්‌ථායීව වර්ධන වන පිණිස පිදූයෙන්….” යන ශිලාලේඛන පාඨයෙන් අපට මෙම විහාරස්‌ථානයේ මුල් ස්‌වරූපය ගැන පැහැදිලි අවබෝධයක්‌ ලබාගත හැකිය. මෙම අංග සම්පූර්ණ විහාරස්‌ථානයේ නඩත්තුවට සහ විහාරස්‌ථානයෙන් ඉටු කළ යුතු ලෙස ශිලාලේඛනයෙහි නිර්දේශිත කාර්යයන් සඳහා අවශ්‍ය වියදම් ලබාගැනීමට ගොඩමඩ ඉඩම් විශාල ප්‍රමාණයක්‌ ද විහාරස්‌ථානයට පූජා කර ඇත. මේ සියල්ල සම්පූර්ණ කර “මෙම විහාරයට නායකව පැමිණි ගලතුරුමුළ මේධඞකර මහතෙර සාමීන්ගේ ශිෂ්‍ය නිශ්‍රයෙන් මුක්‌ත මංගල සාමීන්ට සුනේත්‍රා මහාදේවි පිරිවෙන් තෙර අස්‌වා….” යන්නෙන් පසු කාලයේදී ලංකාවේ සංඝරාජ පදවියට පත්වූ මංගල මහා සාමීන්ට පූජා කළ බව පෙනේ.

මංගල සංඝරාජ හිමියන්ගේ නායකත්වය යටතේ ආගමික සිද්ධස්‌ථානයක්‌ වශයෙන් පමණක්‌ නොව ත්‍රිපිටක පොත් පිටපත් කරවා මුළු රටටම බෙදා හරින අධ්‍යාපන ආයතනයක්‌ වශයෙන්ද පැවැති බව “ත්‍රිපිටකයෙන් මසකට ග්‍රන්ථ එක්‌දහස්‌ සත්සියයක්‌ ලියන්නන් එකකුට දවස්‌ එකකට සාල් තුනක්‌…” ආදී වශයෙන් වැටුප් නියම කර තිබීමෙන් තහවුරු වේ. තවද “ඉදිරියේ දවස මොබ වහන්සේගේ ගුරු ශිෂ්‍ය පරම්පරායෙන් අසන පිරිවානා තැන්කියා ශාසනය වර්ධනය කිරීමට යොග්‍ය තැනකට පිරිවෙන පවත්නා නියායෙන් සනිටුහන් කොට….” යන පාඨයෙන් මෙම විහාරස්‌ථානය පිහිටුවීමේ පරාක්‍රමබාහු රජුගේ අපේක්‌ෂාවන් ද හෙළිවේ. එම අපේක්‌ෂාවන් ඉටු කරමින් සුනේත්‍රා මහාදේවි පිරිවෙණ එකල මෙරට පැවැති තොටගමුවේ විජයබා, කෑරගල පත්මාවතී. විදාගම ශ්‍රී ඝනානන්ද ආදී අනෙක්‌ මහ පිරිවෙන් අතර නොදෙවැනි තැනක වැජඹුණු බව මහාවංසය (91 පරි.) රාජරත්නාකරය (42 පි.) වැනි ග්‍රන්ථයන්ගෙන් ද සමකාලීන වෙනත් ලිපි ලේඛනවලින් ද පරෙවි (46 පද්‍යය) ගිරා (107-111 පද්‍ය) කෝසල (107 පද්‍ය) සංදේශ කාව්‍යයන්හි එන වර්ණනාවලින් ද තහවුරු වේ.

පැපිළියානේ පුරාණය සොයා යෑමේදී හමු වූ පැපිළියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැපිළියාන ගැන අදහස් දැක්වූයේ මෙසේය.   සවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පුරෝගාමීත්වයෙන් ගොඩ නංවන ලද සුනේත්‍රා මහාදේවී පිරිවෙන කෙතරම් ශ්‍රේෂ්ඨ විද්‍යාස්ථානයක් ද යන්න එකල ලියැවුණු ශාස්ත්‍රීය ලිපි ලේඛනවලින් හා සංදේශ කාව්‍යවලින් මනාව පැහැදිලිවෙනවා. පරෙවි සංදේශය, කොවුල් සංදේශය හා ගිරා සංදේශයෙහි පිරිවෙණ ගැන ඉතා සිත්කලු වර්ණනාවන් දක්නට ලැබෙනවා.

තොටගමුවේ සිරි රහල් හිමියන් විසින් රචිත පරෙවි සංදේශයෙන් වෙහෙර වර්ණනා කර ඇත්තේ මෙසේය. 

සිය ගුරු බිසෝ හිමිසඳ නමිනි පිරිවෙනක්
කරවා පැපිළියානෙහි මහ සඟන නොයෙක්
වසනුව දෙවු වෙහෙරට පිවිසැ තොසිනු දක්
ඉඳ සැතපී ගත සරතැස නිවා  මඳක් 

කොවුල් සංදේශයේද මෙවැනි වර්ණනා තිබෙනවා.   

සඳ දළ විසිරුණු සමානේ
සඳ දෙව් දුලන පැළඹර දිසි වසානේ
මැද නිදිගන්ට සහයුරු වෙළසියානේ
සෙද නුඹ වඩින් වෙහෙරෙහි පැපිළියානේ 

ගිරා සංදේශයේ මෙහෙම සඳහන් වෙනවා.
රිවි නුඹ ගැබින් බැස
හෙන සිදු බැබිලියානේ
සකි නුඹ ඔබින් ගොස් වැඳ
වෙහෙරට පැපිළියානේ   

සුනේත්‍රා මහාදේවි පිරිවෙනෙහි ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේදී එය ජාතියේ අනන්‍යතාවය සුරක්ෂිත කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස සඳහන් කලාට වරදක් නැහැ. ජනප්‍රවාදයනට අනුව මේ පිරිවෙණේ වැඩ විසූ නාගසේන නම් තෙර නමක් පෘතුගීසින්ට එරෙහිව සිංහල ජාතිය මෙහෙයවීමේ බලවේගයක් ගොඩ නගා තිබෙනවා. නාගසේන හිමියන් ගුප්ත ශාස්ත්‍රයේ පරතෙරට පැමිණි හිමිනමක්. උන්වහන්සේ සතුව තිබූ සුවිශේෂ ධ්වනිවාහිනී යන්ත්‍රය තුළින් ඈත සිට කරන කතාබහ ඇසීමේ ශක්තිය තිබිලා තියෙනවා. පෘතුගිසීන් කෝට්ටේ රාජධානිය තමන්හට නතුකර ගැනීමට හැකි නොවීමේ හේතුව සිංහලයන් සතුව දළද‌ාව තිබීම බව දැන දළද‌ාව සොරා ගැනීමට රහස් කුමන්ත්‍රණයක් කරන බව නාගසේන හාමුදුරුවන් වහන්සේට දැනගන්න ලැබිලා තියෙනවා. වහාම කෝට්ටෙන් දළදා වහන්සේව සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරස්ථානයට වැඩම කරවනු ලැබුවා. දින කිහිපයක් වන්දනමාන, පුදසත්කාරවලට බඳුන් වෙමින් දළද‌ා වහන්සේ සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විහාරස්ථානයේ වැඩ සිටීම ගැන බෞද්ධ ලෝකයාගේ ගෞරවය සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විහාරස්ථානයට හිමිවෙලා තියෙනවා.

පැපිළියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන භූමියෙහි ඇති පුරාවස්තු අතර කෝට්ටේ යුගයට අයත් යැයි සැලකිය හැකි සඳකඩ පහණක් වේ. එය දැනට බෝධිය සමීපයේ වූ පැරණි විහාරයෙහි පිටුපස දොරටුව අබියස සවි කර ඇත. මෙය කලාත්මක බවින් සංකීර්ණ නොවූ නිර්මාණයකි.

රජුවිසින් සිය මව් බිසවුන් වහන්සේට පින් පිණිස අභිනවයෙන් විහාරයක් කරවන ලෙසට  ‘රාණි වාසය’ කාර්යයේ නියුතු නිලධාරියාට භාරකරලා තිබෙනවා.කාලයාත්‍රා මවු බිසව වෙනුවෙන් පැපිළියානේ අභිනවයෙන් විහාරයක් කරවන ලෙසට යොදවා ඇත්තේ “සිකුරා මුදල් පොතුන්” නැමැත්තෙකි.විසිපහන් දහසක් ධනය වියදම්කොට සියලු විහාරාංග ඉදි කෙරුණා.  අංග සම්පූර්ණ කළ විහාරය ශාසන වර්ධනය පිණිස පූජාකරලා තිබෙනවා. කෝට්ටේ යුගයේ පැවැති පංච මහා පිරිවෙන්වලින් එකක් ලෙස සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරස්ථානය ඉතිහාස ගතවෙලා තිබෙනවා. 15 වැනි සියවසේ සඟරාජ පදවිය දක්වා උසස්වීම් ලද සුප්‍රකට ස්ථවිරයන් වහන්සේලාගේ නායකත්වය නිසා සුනේත්‍රා මහාදේවී පිරිවෙණ ඒ යුගයේ සුප්‍රසිද්ධ ආගමික මධ්‍යස්ථානයක්ව පැවැති බව පැහැදිලියි.මුලින්ම මෙහි විහාරාධිපතිව වැඩවිසූ බවට සැලකෙන ගලතුරුමුල මේධංකර මහාස්ථවිරයන් ගලතුරුමුල මූලායතනාධිපති වශයෙන්, ග්‍රාමවාසී මහාස්ථිවිර වශයෙන්ද මුළු ලක්දිව සංසයාගේද රජුගේද සම්මුතියෙන් පත්වී ඇති බව පිළිගත හැකියි.

සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරස්ථානය පෘතුගීසි ආක්‍රමණවලින් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. පංසලේ ධනය ඇතුළු සියලු වස්තුව ඔවුන් කොල්ලකා පැහැරගෙන යනවා.   සුනේත්‍රා මහාදේවී පින්බිමේ ඉපැරණි බෝධීන් වහන්සේලා දෙනමගෙන් එක් නමක් අදත් වැඩ සිටීම පැපිළියාන ඇතුළු ගම්වලට විශාල ආශිර්වාදයක්.

මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේවන අතිපූජනීය මැදගොඩ සුමනතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ යළිත් මේ ස්ථානයට ආලෝකය ලබා දීමට කළ අපිරිමිත මෙහෙවර සද‌ානුස්මරණීයයි. විශේෂයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අක්කර 25 ක ඉඩමක් ගංගොඩවිලින් ලබා දීමට ක්‍රියාකිරීම උන්වහන්සේ ඉටුකළ සද්සේවාවන් අතර විශිෂ්ට ක්‍රියාවලියක්. එම ක්‍රියාද‌ාමය මාවිසින් තවදුරටත් ඉදිරියට ගෙන යමින් පමුණුව කියන ගමෙන් අක්කර 17 ක ඉඩමක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මතු දියුණුව වෙනුවෙන් පරිත්‍යාග කළා යැයි උන්වහන්සේ අවසන් වශයෙන් ප්‍රකාශ කළහ.

පැපිළියානේ සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරස්ථානයේ අතීතය ගැන කලක් පිරිවෙනේ ගුරුවරයෙකු වශයෙන් සේවය කළ ප්‍රකට සාහිත්‍යධරයකු මෙන්ම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති අධිනීතිඥ ඩබ්ලිව් ඒ අබේසිංහ මහතා තම මතකය අවදි කළේ මෙසේය.

මම නීති විද්‍යාලයේ නීති සිසුවකු වශයෙන් ඉගෙන ගන්න අවදියේ සුනේත්‍රා මහාදේවී පිරිවෙනේ සිංහල විෂය වගේම ඉංග්‍රීසි විෂයත් සාමාන්‍ය පෙළ දක්වා ඉගැන්නුවා. ඒ කාලේ විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් මේ පන්තිවල ඉගෙන ගන්න එනවා. ඒ දවස්වල මම ගම්සභා හන්දියේ ඉඳලා පයින්ම තමයි පිරිවෙණට උගන්වන්න එන්නේ. මැදගොඩ සුමනතිස්ස නායක හාමුදුරුවෝ වගේම මගේ මිත්‍ර කෝ. ආනන්ද හාමුදුරුවන්ගේ හිතවත්කම හින්දා තමයි මම මේ ස්ථානයේ උගන්වන්න ආවේ. මට මතකයි මගේ සිංහල පංතියේ ඒ කාලේ පසුව ජනප්‍රිය ගායිකාවක වූ දිවංගත මාලනී බුලත්සිංහලත් සිසුවියක් වශයෙන් ඉගෙන ගත්තා. ඒ කාලෙත් ඇයගේ කට හඬ හරිම මිහිරියි. ඇයට තමයි කවි ගායනා කරන්න මම භාර දෙන්නේ

පසුව මව පිරිවෙන් ගුරුවෘත්තියෙන් ඉවත් වුණත් මැදගොඩ නායක හාමුදුරුවන්ගේ අපේ හිතවත්කම් තිබුණා. ආසියානු බෞද්ධ සම්මේලනයේ උන්වහන්සේගේ සභාපතිත්වයෙන් තිබූ ක්‍රියාකාරී ජාත්‍යන්තර සංවිධානයේ ලේකම් වුණේ මං තමයි. මාපලගම විපුලසාර හාමුදුරුවන්ගෙත් එවැනිම සංවිධානයක් තිබුණා. එහි ලේකම් වුණේ ලසසපයෙන් කොට්ටාව මන්ත්‍රීවරයා පත්ව ක්‍රියා කළ මා හිතවත් චන්ද්‍රා ගුණසේකර තමයි.   අපි වෙනස්කම්වල මේ සම්මේලනවලට ගියාම චන්ද්‍රයි මායි එකම හෝටලයේ නතරවෙලා තමයි ඉන්නේ. නමුත් අපි දෙන්නා මිත්‍රයෝ වශයෙන් මේ සංවිධානයේ ක්‍රියාකළා මට මතකයි.

පැපිළියාන ගම පිළිබඳව ඊළඟට අදහස් දැක්වූයේ පැපිළියානේම ඉපදී හැදි වැඩී තවමත් පැපිළියානේම ජීවත්වෙන අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් හේමා ජයවීර මහත්මියයි. ඇය සිය මතකය අවදි කළේ මෙහෙමයි.  ඇත්තෙන්ම පැපිළියාන කියන්නේ ඉස්සර කෘෂිකාර්මික ජීවන රටාවක් පැවති​ ගොවි ජනතාවක් වාසය කළ ප්‍රදේශයක් ගම දෙපැත්තේ ලස්සන කුඹුරු යායවල් තිබුණා. අපිට අයිති කුඹුරුවල ගොයම් කපා පාගන කාලෙට පුංචි දරුවෝ වූ අපි දෙමව්පියෝ සමඟ ඒවා බලන්න යනවා මට මතකයි. මිනිස්සු හරිම එකමුතුයි කලකෝලාහල සන්ඩු සරුවල් එහේම අපි දැකලා නැහැ. ගමේ පිං ළිඳක් තිබුණ. ඒක අදටත් තිබෙනවා. අපේ ගෙවල්වල අපිට අතින් වතුර ගන්න පුළුවන් වතුර පිරිලා, උතුරලා යන ළිං තිබුණා හරිත වර්ණයෙන් පිරි ගස් කොලන්වලින් පිරිලා සතා සිවුපාවෝ නිදහසේ ඔවුන්ගේ පාඩුවේ ජීවත් වූ ප්‍රදේශයක්. සෑම ගෙදරකම වාගේ කිරිහරක් හිටියා. නැවුම් එළකිරි බීමේ වාසනාව එ් කාලේ දරුවන්ට තිබුණා.  කුඹුරුවලට අමතරව තීරු වශයෙන් වෙන් කළ ඕවිටවල් තිබුණා. ඒ ඕවිටේ අල බතල වර්ග එළවළු වර්ග සරුවට වගා කරනවා. සෑම නිවසකම පරිභෝජනයට අවශ්‍ය නැවුම් එළවළු වර්ග තමන්ගේ ඕවිටවල්වලම තිබුණා. ඉස්සර හන්දියේ කඩයක් තිබුණා. ඒක අයිතිවෙලා තිබුණේ මගේ බාප්පට, එයාගේ නම නානායක්කාර අටුලු ගමගේ සීමන් සිල්වා. මගේ පියා විලියම් සිල්වා. එතැන පොඩිහෝටලයකුයි සිල්ලර කඩයකුයි තිබුණා. ප්‍රමාණයෙන් පොඩි වුණාට 1950 ගණන්වල මේ පළාතේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට සරිලන අන්දමෙන් සෑම දෙයක්ම පාහේ මේ කඩේ තිබුණා. ඒ කාලේ නගරයක් වශයෙන් තිබුණේ නුගේගොඩ තමයි. ඉස්සර අද වගේ නෙවෙයි විශාල වතු තමයි ති​ෙයන්නේ. ගෙවලුත් බොහෝම ඈතින් ඈත තියෙන්නේ. වතුපිටිවල අඹ, වෙරළු, දිවුල්, කෙසෙල් වැනි පළතුරු වර්ගවලින් පිරිලා. අපේ ඉඩමක් ඒ කාලේ අක්කර 5 ක්. ඒකයි සතුන්ට පවා ජීවත්වෙන්න නිදහස තිබුණා කියලා කිව්වේ.

පොල්, දෙල්, කොස් වැනි ගස්වලින්ද, අඩුවක් වෙලා තිබුණේ නැහැ. ඒ කාලේ ගමට මාළු අරන් එන්නේ දෙහිවල ඉඳලා කත්කාරයෝ. හාල්මැස්සෝ ගොඩක් ඒකාලේ ශත 25 යි. මට මතකයි චීන්නු එනවා රෙදිමිටි ඔළු උඩ තියාගෙන ගෙවල්ගානේ ගිහිල්ලා රෙදි විකුණනවා. සවසට පාන් කාරයා පාන් පෙට්ටිය ඔළුව උඩ තියාගෙන ඇවිත් පාන් විකුණනවා. හතරැස් බනිස් එකක් ගේනවා. සීනි තවරපු. පුංචි අපි කැමැතිම කෑමක් තමයි ඒ කාලේ. ඒ කාලේ කිරි තේ එකක් ශත 07 යි. ප්​ෙලන්ටියක් ශත 05 යි. ඇත්තෙන්ම ඉතාම සාමකාමී සරල සුන්දර පරිසරයක්. ළමාවියේ සිට ගම වශයෙන් පැපිළියානේ ඉඳලා ඒ සුවපහසුව වින්දා ඒ සුන්දර මතකය සිහිපත් කිරීමත් සතුටක් යැයි හේමා ජයවීර මහත්මිය කීවාය.

සුනේත්‍රා මහාදේවී උපාධි පීඨයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරි හේමපාල රූපසිංහ මහතාගෙන්ද පැපිළියාන ගැන විමසුවෙමු.

පැපිළියාන ගම පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පෙරසිටම ඉතාම සශ්‍රික ප්‍රදේශයක් තමයි. ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම සැලකිල්ලට ගත්තාම ඉතාම හොඳ ජලපෝෂක ප්‍රදේශයක් මිනිසුන්ගේ අටුකොටු පිරෙන්න වී හාල් තිබිලා තියෙනවා. පස බොහෝම සරුයි. ඊළඟට වළං කර්මාන්තයට අවශ්‍ය මැටි නිධිය වගේම පිඟන් කර්මාන්තයට අවශ්‍ය පිඟන් මැටි නිධියක් මේ අසලම තමයි තිබුණේ. සමෘද්ධිමත් වාණිජ ආර්ථික පසුබිමක් මේ ගමට ඈත අතීතයේ ඉඳලම තිබිලා තියෙනවා.

ඒ සමෘද්ධිමත් බව නිසා තමයි පරාක්‍රමබාහු රජතුමා තමන්ගේ මාපියන් වහන්සේ සිහිවීමට පවා විහාරස්ථානයක් ගොඩනගන්න තීරණය කරන්නේ

මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ පැපිළියානේ ගමේ දියුණුව පසුකාලීන අඳුරු අගාධයක් බවට පත්වුණේ බටහිර ආක්‍රමණවලින් පස්සේ තමයි. නමුත් නැවත පැපිළියානේ පුනර්ජීවනයක් ඇතිවන්නේ මැදගොඩ සුමනතිස්ස නායක හාමුදුරුවන්ගේ යුගයේ කිව්වොත් එය නිවැරැදියි. රජයේ පාසල් දෙකක් ඇති කළා. බාලක බාලිකා වශයෙන්. විශේෂයෙන් නැවත සුනේත්‍රා මහාදේවී පිරිවෙණ ආරම්භ කිරීමත් සමඟ දිනෙන් දින දියුණුව කරා පා නගන ගම්මානයක් බවට පැපිළියාන පත්වුණා. 1956 සමාජ පෙරළියේ උන්වහන්සේ පතාක යෝධයෙක් වගේ ක්‍රියා කළ ආකාරය මගේ මතකයේ තිබෙනවා. භික්ෂුවක් සතුව පැවතිය යුතු සෘජුබව මෙන්ම මෘදුබවත් හොඳින් තිබුණා. උන්වහන්සේගේ ප්‍රතිපත්තිය වුණේ ගම හද‌ා පංසල හැදීමේ සංකල්පය තමයි. ගමේ අත්යන්ත්‍ර පේෂකර්ම මධ්‍යස්ථානයක් ඇතිකොට ගමේ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමට ක්‍රියා කළා. දුරකථනයක් නොමැති යුගයක උන්වහන්සේ ගමට දුරකථනයක් ගත් ආකාරය ම​ෙග් මතකයේ තිබෙනවා. ගමේ බොහෝ දෙනා පංසලෙන් තමයි දුරකථන ඇමතුමක් පවා අරගත්තේ. විශාල උගතුන් පිරිසක් පැපිලියානෙන් බිහිවෙලා දේශ දේශාන්තරවල පවා විවිධ වෘත්තීන්වල නියැලීම පැපිළියානට විශාල අභිමානයක් හා ආඩම්බරයක් බව කෘතවේදීව පැවසීය.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

Categories

%d bloggers like this: