Posted by: lrrp | November 14, 2017

සවෙනි පැරකුම්බාවන් ඉදිකළ පැපිලියානේ සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රාජමහා විහාරය

පැපිලියානේ සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරස්‌ථානය ආරම්භ කොට වසර හයසියයක්‌ සම්පූර්ණ වීම හා කලින් පරිවේණාධිපතිව වැඩ විසූ ආචාර්ය මැදගොඩ සුමනතිස්‌ස නාහිමියන්ගේ 5 වැනි ගුණානුස්‌මරණය නිමිති කොටගෙන පින්කම් මාලාවක්‌ පැවැත්වෙන මෙම ඓතිහාසක අවස්‌ථාවේ විහාරස්‌ථානයේ ආරම්භය, විකාශනය හා මෙම දීර්ඝ කාල පරිච්ඡේදය තුළ සිදු වූ සේවය පිළිබඳ කෙටි සමාලෝචනයක්‌ කිරීම උචිත යෑයි සිතමි.

අවසන් වරට ත්‍රිසිංහලය එක්‌සේසත් කළ සවැනි පරාක්‍රමබාහු මහරජතුමා විසින් තමා කුඩා කල පැවැති සතුරු උවදුරුවලින් තමා බේරාගෙන අප්‍රසිද්ධව හදාවඩා රාජ්‍යය ලබාගැනීමට සැලැස්‌වූ සිය ආදරණීය මවු බිසවට පින් පිණිස එතුමියගේ නමින් සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රාජමහා විහාරය කරවන ලදී. එතුමන්ගේ රාජ්‍යෙdaදය වර්ෂය ලෙස ක්‍රි.ව. 1410, 1412, 1415 මූලාශ්‍රයන් තුනක සඳහන් වේ. එතුමා රාජ්‍යයට පැමිණ වසර දෙකක්‌ ඇතුළත මෙම විහාරස්‌ථානය ගොඩනැඟූ බව මෙම ස්‌ථානයේ පිහිටුවා ඇති. අදත් කොටස්‌ වශයෙන් දක්‌නට ලැබෙන ශිලා ලේඛනයෙන් තහවුරු වේ.

“ශ්‍රී බුද්ධ වර්ෂයෙන් එක්‌දහස්‌ නවසිය අට පනස්‌ අවුරුද්දක්‌ පිරුණු සඳ…. ස්‌වර්ගස්‌ථ වූ මවු බිසවුන් වහන්සේට පිං පිණිස අභිනව විහාරයක්‌ කරවන ලෙසට රාණිවාසල කාරියෙහි නියුක්‌ත සිකුරා මුදල් පොතුන්ට වදාළ මෙහෙවරින් පස්‌විසිදහසක්‌ ධන වියදම්කොට පාණබුණුබද පැපිලියානෙහි ප්‍රාකාර, ගොපුර, ප්‍රතිමාගෘහ, මණ්‌ඩප බෝධි චෛත්‍ය සඞඝාවාස දෙවාලය පුස්‌තකාලය පුෂ්පාරාමාදීන් යුක්‌තකොට සමෘද්ධ කැරවූ විහාරය විරස්‌ථායීව වර්ධන වන පිණිස පිදූයෙන්….” යන ශිලාලේඛන පාඨයෙන් අපට මෙම විහාරස්‌ථානයේ මුල් ස්‌වරූපය ගැන පැහැදිලි අවබෝධයක්‌ ලබාගත හැකිය. මෙම අංග සම්පූර්ණ විහාරස්‌ථානයේ නඩත්තුවට සහ විහාරස්‌ථානයෙන් ඉටු කළ යුතු ලෙස ශිලාලේඛනයෙහි නිර්දේශිත කාර්යයන් සඳහා අවශ්‍ය වියදම් ලබාගැනීමට ගොඩමඩ ඉඩම් විශාල ප්‍රමාණයක්‌ ද විහාරස්‌ථානයට පූජා කර ඇත. මේ සියල්ල සම්පූර්ණ කර “මෙම විහාරයට නායකව පැමිණි ගලතුරුමුළ මේධඞකර මහතෙර සාමීන්ගේ ශිෂ්‍ය නිශ්‍රයෙන් මුක්‌ත මංගල සාමීන්ට සුනේත්‍රා මහාදේවි පිරිවෙන් තෙර අස්‌වා….” යන්නෙන් පසු කාලයේදී ලංකාවේ සංඝරාජ පදවියට පත්වූ මංගල මහා සාමීන්ට පූජා කළ බව පෙනේ.

මංගල සංඝරාජ හිමියන්ගේ නායකත්වය යටතේ ආගමික සිද්ධස්‌ථානයක්‌ වශයෙන් පමණක්‌ නොව ත්‍රිපිටක පොත් පිටපත් කරවා මුළු රටටම බෙදා හරින අධ්‍යාපන ආයතනයක්‌ වශයෙන්ද පැවැති බව “ත්‍රිපිටකයෙන් මසකට ග්‍රන්ථ එක්‌දහස්‌ සත්සියයක්‌ ලියන්නන් එකකුට දවස්‌ එකකට සාල් තුනක්‌…” ආදී වශයෙන් වැටුප් නියම කර තිබීමෙන් තහවුරු වේ. තවද “ඉදිරියේ දවස මොබ වහන්සේගේ ගුරු ශිෂ්‍ය පරම්පරායෙන් අසන පිරිවානා තැන්කියා ශාසනය වර්ධනය කිරීමට යොග්‍ය තැනකට පිරිවෙන පවත්නා නියායෙන් සනිටුහන් කොට….” යන පාඨයෙන් මෙම විහාරස්‌ථානය පිහිටුවීමේ පරාක්‍රමබාහු රජුගේ අපේක්‌ෂාවන් ද හෙළිවේ. එම අපේක්‌ෂාවන් ඉටු කරමින් සුනේත්‍රා මහාදේවි පිරිවෙණ එකල මෙරට පැවැති තොටගමුවේ විජයබා, කෑරගල පත්මාවතී. විදාගම ශ්‍රී ඝනානන්ද ආදී අනෙක්‌ මහ පිරිවෙන් අතර නොදෙවැනි තැනක වැජඹුණු බව මහාවංසය (91 පරි.) රාජරත්නාකරය (42 පි.) වැනි ග්‍රන්ථයන්ගෙන් ද සමකාලීන වෙනත් ලිපි ලේඛනවලින් ද පරෙවි (46 පද්‍යය) ගිරා (107-111 පද්‍ය) කෝසල (107 පද්‍ය) සංදේශ කාව්‍යයන්හි එන වර්ණනාවලින් ද තහවුරු වේ.

සවැනි පැරකුම් මහරජුගේ අභාවයෙන් පසු එතෙක්‌ මෙරට පැවැති ශ්‍රී විභූතිය ක්‍රමයෙන් පිරිහෙන්නට වූ අතර අභ්‍යන්තර අවුල් වියවුල් හා පරසතුරු ආක්‍රමණ නිසා රටේ සාමය හා සමෘද්ධිය හීනවත්ම බෞද්ධ ආගමික සිද්ධාස්‌ථාන හා විද්‍යාස්‌ථානද පරිහානියට පත්විය. කෝට්‌ටේ රාජධානියේ ආධිපත්‍යය ලබාගැනීමට උත්සුක වූ පෘතුගීසීන් විසින් මෙම විහාරස්‌ථානයේ පැවැති ගොඩනැඟිලි කඩා බිඳ දමා සෙල්ලිපියේ සඳහන් අනෙක්‌ විහාරාංග (බෝධීන් වහන්සේ හැර) විනාශ කර දමන ලදී.

නැවත මෙම විහාරස්‌ථානය ගැන තොරතුරු ලබාගත හැක්‌කේ වැලිවිට සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ යුගයේ ඇති වූ පුනරුදයෙන් පසුවය. එකල සිට මෙම විහාරස්‌ථානයේ වැඩ සිටි මහතෙරවරුන්ගේ නාමාවලිය ගෝමරකන්දේ විහාරයේ චිත්‍රවලින් ගොඩනඟාගත හැකිය.

යළිත් මෙම පිරිවෙන් රාජමහා විහාරස්‌ථානය අතීත ශ්‍රී විභූතිය කරා යන ගමන ආරම්භ වන්නේ මැදගොඩ සුමනතිස්‌ස හිමිපාණන් විහාරාධිපතිත්වයට පත්වූ තැන් සිටය. ක්‍රි.ව. 1930 පමණ වන විට මෙම විහාරස්‌ථානයේ අධිපති ධූරය දරන ලද්දේ රත්මලානේ පියතිස්‌ස මහතෙරුන් වහන්සේ විසිනි. එකල කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ නාරම්මල මැදගොඩ ගම්පියසෙහි ජන්මලාභය ලැබූ හේරත් මුදියන්සේලාගේ ගුණරත්න බණ්‌ඩා නමැති කුලකුමරුවෙක්‌ මෙම විහාරස්‌ථානයට පැමිණියේය. 1925 ජුනි මස 13 වැනි දා ජන්ම ලාභය ලැබූ මෙම කුමරුවා 1939 ජනවාරි මස 21 දින විහාරාධිපති රත්මලානේ පියතිස්‌ස මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හා ගංගොඩවිල සුභද්‍රdරාමාධිපති බෝරුග්ගමුවේ ශ්‍රී රේවත මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැපිලියානේ සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරස්‌ථානයේ දී මැදගොඩ සුමනතිස්‌ස නමින් පැවිදි බිමට ඇතුළත් විය. පැපිලියානේ ශිලාලේඛනයේද සඳහන් වන මැදගොඩ ජන්ම ලාභය ලැබූ කුල දරුවකු මෙම විහාරස්‌ථානයේ පැවිදිවීම දෛවෝපගත සිද්ධියක්‌ යෑයි සිතෙන්නේ නටබුන්ව පැවැති මෙම විහාරස්‌ථානය එතුමන්ගේ විහාරාධිපතිත්වය යටතේ කීර්තියට පත් දිවයිනේ ප්‍රමුඛ මහපිරිවෙණක්‌ බවට පරිවර්තනය වු බැවිනි.

කලක්‌ රෝගාතුරව වැඩ විසූ පියතිස්‌ස මාහිමියන්ගේ අපවත්වීමත් සමග තවමත් සාමනේර භූමියේ පසුවන, වයස අවුරුදු 17 ක්‌ වන සුමනතිස්‌ස හිමියන්ට විහාරාධිපති ධුරයේ භාරදූර වගකීම භාරගැනීමට සිදුවිය. මේ වනවිට විහාරස්‌ථානයේ ධර්මශාලා ගොඩනැඟිල්ලක්‌ පවා නොතිබිණි. ධර්ම ශාලාවක්‌ ඉදිකරවා ගැනීමට අවශ්‍ය භෞතික සම්පත් ද සුමනතිස්‌ස සාමනේරයන් වහන්සේ සතුව නොතිබිණ. එහෙත් එතුමන් සතු අමිල සම්පතක්‌ විය. ඒ සේවයට කැපවීමේ උදාර පරමාර්ථයත්, නොපසුබස්‌නා වීර්යයත්ය. හිතවත් දායක මහතුන් කිහිප දෙනකු කැඳවාගත් උන්වහන්සේ විහාරයට අත්‍යවශ්‍ය ධර්ම ශාලාවක්‌ තැනවීමට සැලසුම් කළහ. ලබාගත හැකි සම්පත් අනුව කටුමැටි ගසා පොල්අතු සෙවිලි කර ධර්මශාලාවක්‌ තැනවීමට සැලසුම් කළහ. එය විහාරස්‌ථානයේ නවෝදයේ මූලාරම්භය හෙවත් අඩිතාලම ලෙස සැලකිය හැකිය. උන්වහන්සේ විහාරාධිපතිත්වයට පත්වන විට ධර්ම ශාලාවක්‌වත් නොතිබුණු මෙම විහාරස්‌ථානය උන්වහන්සේ අපවත් වන විට සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ දෙමහල් තෙමහල් හා සිවුමහල් ගොඩනැඟිලිවලින් හෙබි විශ්ව කීර්තියට පත් විහාරස්‌ථානයක්‌ හා විද්‍යාස්‌ථානයක්‌ ලෙස බැබලෙමින් පැවතිණි.

1951 සැප්තැම්බර් මස 23 වැනි දින ඉහත සඳහන් කළපොල්අතු ශාලාවේ පැපිලියානේ සුනේත්‍රා මහාදේවී දහම් පාසල ආරම්භ කරන ලදී. සුනේත්‍රා මහා දේවී පිරවෙනේ නවයුගයේ ප්‍රථම ධර්ම ශාස්‌ත්‍රීය සේවාව ලෙස හැඳින්විය හැකි මෙම දහම් පාසල දිනෙන් දින දියුණුවට පත් වූ අතර 2001 දෙසැම්බර් මාසයේදී එහි ස්‌වර්ණ ජයන්තිය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලද්දේ විශේෂ ස්‌වර්ණ ජයන්ති සමරු කලාපයක්‌ද නිකුත් කරමිනි. මෙම දහම් පාසලේ විශේෂත්වය වන්නේ දහම් දැනුමින් පමණක්‌ නොවන ගුණ දහමින් ද පිරි සිසු පිරිසක්‌ද බිහි කිරීමයි. මෙම දහම් පාසලෙහි උගත් දහස්‌ සංඛ්‍යාත සිසු සිසුවියන් අතර පරිපාලන, වෛද්‍ය, ඉංජිනේරු, ගුරු, ව්‍යාපාරික ආදී විවිධ ක්‌ෂේත්‍රයන්හි දෙස්‌ විදෙස්‌ සේවයේ යෙදෙන විශාල පිරිසක්‌ සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක්‌ අදත් විහාරස්‌ථානය හා සම්බන්ධව සිටිති.

1961 දී සිසුන් 05 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද පැපිලියානේ සුනේත්‍රා මහා දේවි පිරිවෙණ 1964 වන විට විශ්වවිද්‍යාල අනුබද්ධ පිරිවෙණක්‌ වූ අතර දහස්‌ ගණනක්‌ භික්‌ෂූන් වහන්සේලා මෙම පිරිවෙනේ අධ්‍යාපනය ලබා සිටිති. එසේම ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දහස්‌ ගණනක්‌ද මෙම ආයතනයේ අධ්‍යාපනය ලබා උපාධිධාරීන් වී සිටිති. වර්තමානයේද විශාල ගිහි පැවිදි පිරිසක්‌ මෙහි අධ්‍යාපනය ලබති. විද්‍යා, කලා හා වාණිජ විෂය ක්‌ෂේත්‍රයන්හි ප්‍රථම උපාධිය සඳහා අවශ්‍ය සියලු පහසුකම් මෙම ආයතනය සතුව පවතී.

1977.03.04 දින මෙම විහාරස්‌ථානයට අයත් ගංගොඩවිල, අක්‌කර හයක පමණ ඉඩමේ ථෙරවාදී බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌ අරඹා පවත්වාගෙන යන අතර එයින්ද ශාසනික කටයුතු සඳහා විශාල සේවයක්‌ සිදුවේ.

1939 දී පැවිදිව 1947 දී මල්වතු මහා විහාරයෙහි උපසම්පදාව ලැබ 1957 දී ස්‌ථවිර භාවයන්ටත් 1967 දී මහා ස්‌ථවිර තත්ත්වයටත් පත්වී 1996 දී මල්වතු මහා විහාරයෙන් බස්‌නාහිර පළාත සහිත කොළඹ හා නවතොටමුණේ ප්‍රධාන සංඝනායක පදවියෙන් හා ප්‍රවචන කීර්ති ශ්‍රී මංගල උපාධියෙන්ද පිදුම් ලැබූහ. 1974 දී එංගලන්තයේ මැන්චෙස්‌ටර් විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රපති උපාධිය ද, 1981 දී දිල්ලි විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියද, 1985 දී ආචාර්ය උපාධියද ලබාගත් අප නාහිමිපාණන් වහන්සේ විසින් ජාතික හා ජාත්‍යන්තර ඉටුකරන ලද ආගමික, ධර්ම ශාස්‌ත්‍රීය, ධර්ම ප්‍රචාරක හා සාමාජික සේවාවන් කෙතරම් පුළුල් පරාසයක පැතිර ඇද්දැයි කිවහොත් ඒවා නාම මාත්‍ර වශයෙන් හෝ සඳහන් කිරීම වෙනමම ග්‍රන්ථයකින් මිස මෙබඳු ලිපියකින් කළ නොහැක.

එහෙත් උන්වහන්සේගේ සේවාවන් අතර සඳහන් නොකරම බැරි එක්‌ අති විශිෂ්ට සේවාවක්‌ද වේ. එනම් තමන් වහන්සේ විසින් ඉටුකරන ලද සුවිශේෂී කාර්යභාරය එලෙසින්ම හෝ වඩාත් හොඳින්, ඉටුකළ හැකි සුපේශල ශික්‌ෂාකාමී, ක්‍රියාශීලී ව්‍යක්‌ත අතිජාත ශිෂ්‍ය රත්නයක්‌ විහාරස්‌ථානයටත් දායක දායිකා පිරිසටත් සමස්‌ත සමාජයටත් දායාද කිරීමයි.

අතිගරු නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් පසු පැපිලියානේ සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රජමහා විහාරස්‌ථානයේත් පිරිවෙණේත්, ගංගොඩවිල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයේත් අධිපති ධුරය එතුමන්ගේ ශිෂ්‍යරත්නය වූ මැදගොඩ අභයතිස්‌ස හිමියන් වෙත පැවරිණි. උන්වහන්සේ අධිපතිත්වය භාරගෙන ගතවූ පස්‌ වසර තුළ අතිමහත් සේවාවක්‌ ඉටු කර තිබේ. උන්වහන්සේට උපහාර වශයෙන්ද අන්‍යයන්ට ආදර්ශයක්‌ වශයෙන්ද එම සේවයෙන් ස්‌වල්පයක්‌ හෝ සඳහන් කළ යුතුය.

මුලින්ම විහාර භූමිය තුළ ඇති වූ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ හොත් ත්‍රිවිධ චෛත්‍යයන් පිහිටි පූජා භූමියට නව වාහල්කඩ, සම්ප්‍රදායානුකූල වලාකුළු බැම්ම, සඳකඩපහණ, කොරවක්‌ ගල, මුරගල් සහිත ප්‍රවේශද්වාරය ආදිය එක්‌ කරමින්, බෝධියේ බටහිර දෙසින් තොලුවිල සමාධි පිළිම වහන්සේගේ අනුරුවක්‌ පිහිටුවමින් එම භූමියට පිවිසෙන සැදැහැවතුන් තුළ ශ්‍රද්ධා භක්‌තිය ජනනය වන ආකාරයට නිර්මාණය කර තිබේ. ඒ පූජා භූමි ප්‍රදේශයේ පෙර නොදුටු විරූ ආරාමික පරිසරයක්‌ අද දක්‌නට ලැබේ. විහාරස්‌ථානයේ සමස්‌ත ගොඩනැගිලි සමූහය පිළිසකර කර වර්ණ ආලේප කර ඇත. ශිෂ්‍ය භික්‌ෂූන් වහන්සේලා දිනපතා පූජා භූමියට රැස්‌ව තෙරුවන් වැඳ ත්‍රිවිධ චෛත්‍යයන්ට මල් පහන් පුදා වත්පිරිත් දේශනා කරති. ගිහි පින්වතුන් සඳහා විශේෂයෙන්ම පොහෝ දිනවල සීල සමාදාන හා භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය හා ධර්මදූත සේවාවේ ව්‍යාප්තිය සඳහා අගනා පියවරක්‌ද සුනේත්‍රා මහාදේවී පිරිවෙණ මගින් ආරම්භ කර ඇත. ඒ 2008.01.07 වැනි දින අරඹන ලද සසුන් කෙත වැඩ සටහනයි. මෙහිදී වැඩි වශයෙන් ලුණුගම්වෙහෙර වැනි දුෂ්කර ප්‍රදේශවලින් තෝරාගත් පනහකට ආසන්න කුල දරුවන් පිරිසක්‌ පැවිදි කර එම සාමනේර හිමිවරුන්ට දහම් දැනුම හා සිංහල පාලි සංස්‌කෘත හා ඉංගී්‍රසි භාෂාවන් පිළිබඳ දැනුමද ලබා දෙනු ලැබේ. මෙම පුහුණු වැඩසටහනේ සුවිශේෂීS භාවය වනුයේ අද බොහෝ නවක භික්‌ෂූන් වෙතින් ගිලිහී යමින් පවතින්නේ යෑයි ප්‍රකාශ වන බෞද්ධ වත්පිළිවෙත් මෙම භික්‌ෂූන් වහන්සේලාට පුරුදු පුහුණු කරවීමයි. අද මෙහි පුහුණුව ලබන සාමනේරයන් වහන්සේලා පුහුණුව අවසන් කර දැනුමින් පමණක්‌ නොව වතින් පිළිවෙතින් ද පොහොසත් භික්‌ෂූන් වහන්සේලා ලෙස තම ගම්පියෙස්‌වලට (හෝ විදේශයන්ට) වැඩම කළ විට එම ප්‍රදේශයන්හි බෞද්ධ පරිසරයක්‌ ගොඩ නගමින් අනුනුත් දහමින් සනසමින් තමනුත් දහමින් සැනසෙමින් බුදු සසුනේ චිරස්‌ථිතියට දායක වනු ඇත.

සයසියවසක්‌ සමරන සුනේත්‍රා මහාදේවි පිරිවෙණ දිගුකලක්‌ දිනේවායි ආශිංසනය කරමු.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

Categories

%d bloggers like this: