Posted by: lrrp | November 16, 2017

සංදේශ කාව්‍යයේත් ලියැවුණු දෙකටන

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි දොම්පේ මැතිවරණ කොට්ඨාසයට අයත් දෙකටන නම් ග්‍රාමය ඉපැරණි ඉතිහාසයකට උරුම කම් කියන ග්‍රාමවරයකි.

කොළඹ සහ ගම්පහට දෙල්ගොඩ දෙසින් බෙදෙන මාර්ගයක් මල්වාන හරහා කොළඹට දිවෙන මාර්ගයක් පූගොඩ සහ කිරිඳිවැලට දිවෙන මාර්ගයක් පිහිටා තිබීම නිසා දෙකටන තුංමංහන්දියක් ලෙස ප්‍රකට වී ඇත.

බස්නාහිර පළාතේ ගම්දනව් ඉතා සීග්‍රලෙස නාගරිකරණයට නතුවන යුගයක තවමත් වී කරලින් බර වූ කුඹුරු යායවල්, නෙරළු උයන්, රබර් වතු මෙන්ම හරකාබාන ශේෂ වී පැවතීම අතීත ග්‍රාමීය ලක්ෂණ පිළිබිඹු කරන්නකි.

දෙකටන ගමෙන් ඒ සුන්දර වටාපිටාව අතරින් පතර දැක ගැනීමේ වාසනාව තවමත් ඉතුරු වී ඇත. දෙකටන යනුවෙන් ග්‍රාම නාමය ලැබී ඇති අන්දම සොයා බැලීමේදී නැගෙනහිරින් හද්ද‌ාගල හා උතුරින් දහම් කන්දෙන් ගලා බසින දියපාරවල් දෙක එකට එකතුවන ස්ථානය දෙකටන වූ බව පැරැන්නෝ පවසති. දෙකටන පිළිබඳව තවත් මතයක්ද ඇත. එනම් කෝට්ටේ රාජධානියත් සීතාවක රාජධානියත් අතර මැදි ගම්මානයක් නිසා කෝට්ටෙන් අයබදු එකතු කිරීමේදී සීතාවකට අයබදු දුන් බවත් සීතාවකින් අයබදු එකතු කරන විට කෝට්ටේට දුන් බවත් පැවසීම නිසා දෙකටම නැති ප්‍රදේශය දෙකටන වූ බවත් තවත් මතයකි.

මේ කුමන මතය සත්‍ය වූවත් දෙකටන යනු නිදහස් නිස්කලංක පරිසරයකට උරුමකම් කියන ජල පෝෂක ප්‍රදේශයකි. දෙකටන ගමේ ඓතිහාසික තොරතුරු සොයා යෑමේදී කෑරගල පද්මාවතී පිරිවෙන් විහාරස්ථානය ගැනද කතා නොකරම බැරිය. කෝට්ටේ යුගයේ රචිත හංස සංදේශයේ කෑරගල ගම පිළිබඳව සඳහන්ව ඇත්තේ මේ අයුරිනි.

සාරපලය අඹ දඹ රඹද වල්පි ට
මීර ජලය ඇළ දොළ කඳු පිටින් බ ට
නෑර ලොලය වඩවන දුටු දනන්හ ට
කෑරගලය වැජඹෙයි මේ ලෙසින් සි ට

වනපෙත්වල අඹ, ජම්බු, කෙසෙල් ආදි සරු ඵලදරන, ඇල දොළ කඳු පිටින් බසින්නා වූ මිහිරි පවිත්‍ර ජලය ඇති දුටු දුටු දනන්ගේ නෙත් සිත් ඇද ගන්නා කෑරගල නම් ගමවන්නේය. එද‌ා කෑරගල ගමේ තිබුන සුන්දරත්වය හංස කතුවරයා දුටුවේ මේ අයුරිනි.

ඓතිහාසික කෑරගල පද්මාවති පිරිවෙන් විහාරස්ථානය සහ ගම පිළිබඳව පුරාණය සොයා යෑමේදී හමු වූ නූතන කෑරගල පද්මාවති පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති රදාවානේ නන්දරතන නාහිමියන් කෑරගල පුරාණය ගැන අදහස් දැක්වූයේ මේ අයුරිනි.

කරගල තමයි කෑරගල වුණේ. අනුරාධපුරයේ වළගම්බා රජතුමාගේ කාලයේ දරුණු දුර්භික්ෂයක් පැවැතුණ අවදියක් තිබිලා තියෙනවා. ඒ දුර්භික්ෂයට කිව්වේ ‘බැමිණිටියා සාය’ කියලා තමයි මේ යුගයේ රහතන් වහන්සේ නමක් වඩින කොට දැකලා තිබෙනවා. අහසට දුම් රොදක් නගින ස්ථානයක්.

එවිට රහතන් වහන්සේ තේරුම් අරගෙන තිබෙනවා. මේ ස්ථානයේ මිනිස් වාස භූමියක් ඇති කියලා. මේ ස්ථානයේ වියපත් බමුණෙකුයි බැමිණියකුයි ඉඳලා තිබෙනවා. මේ ගල අසල විශාල කරගහක්ද තිබිලා තියෙනවා. මේ බමුණු යුවළ කරකොළ තම්බාගෙන කාලා තමයි ජීවත්වෙලා තියෙන්නේ.

දරුණු දුර්භික්ෂය නිසා දැඩි ආහාර හිඟයකට මිනිස්සු මේ කාලේ මුහුන දීලා තිබෙනවා. මා මුලින් සඳහන් කළ දුම සංඥාව දැක්ක රහතන් වහන්සේ. දහවල් දානයට සුදුසු ස්ථානයක් වශයෙන් සිතා මේ දුගී පැළට පිණ්ඩපාතේ වැඩම කරලා තිබෙනවා. රහතන් වහන්සේ කෙනෙකුගේ දැකිමත් විශාල පිනක් බව වටහාගත් මේ බමුණු යුවළ සුදුසු ආසනයක් උන්වහන්සේට වැඩ ඉන්න පිළියෙල කරදීලා තිබෙනවා. ඊට පස්සෙ තමන් කෑමට ගන්නා කරගහ ළගට ගිහිල්ලා තියෙනවා කරකොළ ටිකක් පිළියෙල කරලා උන්වහන්සේට වළඳන්න පූජා කරන්න. කරගහ ළඟට ගියාම කරකොළ ගහේ සියල්ල පණුවෝ කාලා. දැන් රහතන්වහන්සේට පූජා කරන්න දෙයක් ඇත්තේ නැහැ.

මේ බමුණු කාන්තාව තීරණය කරලා තියෙනවා තමන්ගේ කකුලෙන් මස් කෑල්ලක් කපලා ඒක උයලා රහතන්වහන්සේට ද‌ානයට දෙන්න ඕන කියලා. බමුණත් ඒ අයුරින්ම තමන්ගේ කකුලෙන් මස් කෑල්ලක් කපා උයලා රහතන් වහන්සේට පූජා කරන්න කියලා හිතලා තිබෙනවා. බමුණු කත පිහියක් අරගෙන කකුලෙන් මස් කෑල්ලක් කපන්න සූදානම් වන විට බමුණා පැමිණ පිහිය උදුරාගෙන තමන්ගේ ශරීරයෙන් මස් කෑල්ලක් කැපීමට සූද‌ානම් වෙනවා. දැන් මේ දෙන්නගේ වාදය. ඒ අතරේ දොරකඩ ළගට පැමිණි මහලු පුද්ගලයෙක් තමන්ගේ අතේ තිබුණ ඇල්හාල් ඇතුළු ඉවුම් පිහුම් වලට අවශ්‍ය අඩුම කුඩුම ටික බමුණු යුවළට දීලා අතුරුදන් වෙලා තියෙනවා.

ලැබුණ කළමණාවලින් මහාරහතන් වහන්සේට ප්‍රණීත අයුරින් දානය පිළියෙල කරලා පූජා කරන්න මේ බමුණු යුවළට හැකිවෙලා තියෙනවා. රහතන් වහන්සේට ද‌ානය දීමෙන් පසු මේ බමුණු යුවළත් ඉතිරි ආහාර පාන අනුභව කරලා අහළ පහළ දුර්භික්ෂය නිසා බඩගින්නෙන් හිටපු අයටත් කන්න බොන්න දීලා තිබෙනවා. නමුත් මේ කෑම වල කිසිඳු අඩුවීමක් වෙන්නේ නැතිලු

පසුව අහල පහළ ගම්වල ගම්වැසියන්ටත් කෑම දෙන්න පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතැන දන්සලක් පරිද්දෙන් අවට වැසියෝ ඇවිත් මේ ස්ථානයෙන් කෑම කාලා තිබෙනවා. මේ සිදුවීමෙන් පසුව ඒ දරුණු ‘බැමිණිටියා සාය’’ නම් දුර්භික්ෂය නැතිවෙලා ගිහින් තිබෙනවාලු මේ කතා පුවත පාලි රසවාහිනියේ. ‘මත්ථුල පබ්බත’ කථා පුවත හා බැඳෙනවා.

දඹදෙණි යුගයේ 3 වැනි විජයබා රජ දවසේ මේ ස්ථානයේ ටැම්පිට විහාරයක් හදලා වත්තල නාගසේන දම්මානන්ද කියන හාමුදුරුවන්ට පූජා කරලා තිබෙනවා. ඒහා සම්බන්ධ සෙල් ලිපිය හා සන්නස පුරා විද්‍යාඥයින් විසින් තහවුරු කරගෙන තිබෙනවා. මේ විහාර ස්ථානයේ අනාගත ශාසනික පැවැත්ම වෙනුවෙන් ගම්වර ලෙස නින්දගම් පූජා කළ බව විහාර භූමියේ පිහිටුවා ඇති සෙල් ලිපියෙන් පැහැදිලි වෙනවා.

කෝට්ටේ යුගයේදී වීර අලකේශ්වරයන්ගේ නැගණිය වූ පද්මාවතී දේවියට වැදපුද‌ාගැනීම සඳහා සයවැනි පැරකුම්බා රජතුමා මේ ස්ථානය වැඩි දියුණු කළා. පද්මාවති දේවියගේ නමින් පද්මාවතී පිරිවෙන ආරම්භකොට වනවාසී නිකායේ සඟරජුවශයෙන් වැඩසිටි වනරතන මාහිමිපාණන් වහන්සේට මේ ස්ථානය පූජා කරලා තිබෙනවා. දෙස් විදෙස් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මේ ස්ථානයේ ඉගෙනුම් කළ බවට තොරතුරු තිබෙනවා. තායිලන්තය කාම්බෝජය, බුරුමය ආදී රටවල හිමිවරු මේ පද්මාවති පිරිවෙනින් අධ්‍යාපනය ලබා තියෙනවා.

කැළණි ගඟමැද කල්‍යාණි උදකුක්ඛේප සීමා මාලකයේ තායිලන්ත හිමිවරු උපසම්පද‌ා වූ අතර උපසම්පද‌ාව තායිලන්තයට රැගෙන ගිහින් තිබෙනවා. නුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේ නැවත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් සියම් දේශය හෙවත් තායිලන්තයට වැඩම කොට උපාලි හාමුදුරුවන්ගේ ප්‍රමුඛත්වයෙන් නැවත ශ්‍රී ලංකාවට උපසම්පද‌ාව සියම් දේශයෙන් රැගෙන ඇවිත් තිබෙනවා. මල්වතු අස්ගිරි උභය පාර්ශවීය උපසම්පදාව කෑරගලින් සියම් දේශයට රැගෙන ගිය උපසම්පද‌ාව නැවත රැගෙන ඒමකි.

හංස සංදේශයේ අපවිහාරවර්ණනාවේ එක කවියක් මෙසේය

පැසෙයි නිබඳ සුවද‌ැල් කෙත්වත් අවට
ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුර ට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙස ට
රසෙයි අමා රසමය ඒ පියසදු ට

මේ ගම අවට සුවඳහැල් පැසෙයි ළමා වසු පැටියන්ගේ හඬ දුරට ඇසෙයි. එහි දිව්‍ය මන්දිරයක් වැනි විහාරස්ථානයක් වෙයි. ඒ ප්‍රදේශය දකින විට අමෘත්‍ය බඳු රසයක් මනසට දැනෙයි. එද‌ා හංස කවියා දුටු චමත්කාර ජනක ඒ සුන්දර පරිසරය ඒ අයුරින් තිබෙන බව අදත් ගමේ සැරිසරණ ඕනෑම කෙනෙකුට දැකගැනීමට හැකිබව උන්වහන්සේ අවසන් වශයෙන් ප්‍රකාශ කළෝය.

දෙකටන ගමේ පුරාණය සොයා යෑමේදී හමු වූ විශ්‍රාමලත් විදුහල්පති ආර්.එ්. කරුණාද‌ාස මහතා සිය මතකය අවදි කළේ මෙසේය.

දෙකටන කෘෂිකාර්මික ජීවන රටාවට හුරුවුණ ජනතාවක් වාසය කළ ප්‍රදේශයක් තමයි. මඩ ගොවිතැන වගේම ගොඩ ගොවිතැනද ඉතාම හොදින් අපේ ගමේ තිබුණා. යලමහ දෙක වගා කරන හොද ගොවි රාළලා අපේ ගමේ හිටියා ඒ වගේම හොඳ අස්වැන්නක් ඒ කුඹුරුවලින් වගේම හේන් ගොවිතැන් වන එළවළු, අලබතල වර්ග වලින් ඒ කාලේ ලබාගත්තා. කැත්ත උදැල්ල හොඳට හුරු පිරිසක් තමයි ඒකාලේ ගමේ ජීවත් වුණේ.

ඒ කාලේ ගමේ ඉස්කෝල දෙකක් තිබුණා. ගැහැනු පිරිමි වශයෙන් වෙන් කරලා තමයි තිබුණේ මේ ඉස්කෝල දෙකම පාලනය කළේ පරම විඥානාර්ත බෞද්ධ සංගමයෙන් තමයි. ඒ කාර්යාලය තිබුණේ දෙමටගොඩ ප්‍රදේශයේයි.

පස්සේ මේ විදුහල්දෙකම ආණ්ඩුවට පවරා ගත්තා. ඒ කාලේ පාසල් නිළ ඇඳුම කියලා විශේෂ ඇඳුමක් තිබුණේ නැහැ. තමන් කැමැති පාටකින් ඇඳුම් ඇඳගෙන එන්න පුළුවන්. ගමේ ළමයින් හැටියට අපේ පාසල් කාලය අරගත්තොත් අපි පයින්ම තමයි පාසලට යන්නේ. පාසලේ ඉදලා නැවත ගෙදරට එන්නෙත් පයින්මයි. ඒ එන අතරේ අහළ පහළ වතුවලට රිංගලා අඹ පේර ආදි පලතුරු වර්ග කඩාගෙන කෑවට ඒ ගෙවල්වල ඉන්න වැඩිහිටියෝ අපිට මුකුත් කියන්නේ නැහැ. ‘කොල්ලන්ගේ කොලුකමට ඔහෝම තමයි’ කියනවා මිස දොස් කියන්නේ නැහැ.

ඇතැම් ගෙවල්වල තිබෙන පලතුරු ජාති අපිට කන්නත් දෙනවා. ඒ කාලේ හරිම සරල ජීවිත තමයි මිනිස්සු ගත කළේ. එකිනෙකා පරයා යෑමේ සිතුවිල්ලක් තිබුණේ නැහැ. සෑම ගෙදරක්ම පොල් අතු සෙවිළි කළ ගෙවල් තමයි තිබුණේ. පාසලෙන් වගේම ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන්ද පාලි සංස්කෘත දැනුම ඒ කාලේ ලබාගත්තා. ගමේ පන්සලේ හාමුදුරුවන්ට. ගමේ වෙද මහත්තයාට, ගමේ ඉස්කෝලේ මුල් ගුරුතුමා ඇතුළු ගුරුවරුන්ට පුදුම ගෞරවයක් බියක් ඒ කාලේ දරුවන් තුළ තිබුණා. වේවැලෙන් හොඳට තරවටුකරනවා නමුත් කිසිම දවසක ඉස්කෝලේ මුල්ගුරුතුමාට ළමයින්ගෙ ගෙවල් වලින් මගේ දරුවට ගැහුවේ ඇයිද කියලා අහන්නේ නැහැ.

වැඩිහිටියෝ හොඳටම දන්නවා ගුරුවරයා දඬුවම් කරන්න ඇත්තේ​ තම දරුවගේ වැරැද්දකට බව. ගමේ වැඩිහිටියන්ට පුදුම ගෞරවයක් ඒ යුගයේ දරුවන්ගෙන් ලැබුණා. හොඳ විනය ගරුක සමාජ රටාවක් ඒ කාලේ ගමේ තිබුණා.
ඉස්සර කෝට්ටේ රාජධානියට යන්න අපේ ගමෙන් කැලෑ පාරක් තිබිලා තියෙනවා. මිනිස්සු ගමන් ගියේ පයින්ම තමයි. එහෙම පයින් යන කොට හීල්බත්ගල කියලා ගලක් තිබිලා තියෙනවා. කෝට්ටේට යන්න එන පිරිස් උදේ බත්මුල ලිහාගෙන කෑම කාපු තැන තමයි ‘හිල් බත්ගල’ කියලා කියන්නේ එතැන හොඳ පිරිසිදු ජල පහරකුත් තිබෙනවා. මේ ගල උඩ ඉඳගෙන කාලා, හොද පිරිසිදු වතුර ටිකක් බීලා, ගිමන් නිවාගෙන නැවත කෝට්ටේට යන ගමන ආරම්භ කරලා තිබෙනවා. මේ ස්ථානයත් අපේ ගමේ තිබෙන ඓතිහාසික ස්ථානයක් තමයි
වර්තමානයේ මූකළාන කියලා කියන්නේ ඉස්සර කැලෑ බඳ ප්‍රදේශයක් තමයි. ඒ මුකළානේ අම්බලමක් තිබිලා තියෙනවා. අද ඒහරියට කියන්නේ ‘කෑරගල මාවත’ කියලා තමයි ඒ ස්ථානයෙන් ගිමන් නිවාගෙන කෝට්ටේ රාජධානියට මෙන්ම සීතාවක රාජධානියට මිනිස්සු පයින් ගිහින් තිබෙනවා. ඊළගට පහුරුඔය කියලා කැළණි ගඟට සම්බන්ධවන අතුගංගාවක් දෙකටන ගම හරහා ගලාබහිනවා. ඒ ගඟට පවුරු ඔය කියන්නේ මිනිස්සු පහුරු හද‌ාගෙන තොටළඟ දක්වා දර වෙළෙඳ‌ාමේ යන්නේ මෙහෙන් තමයි. ඒ කාලේ දෙකටන ගමේ කරත්ත කරුවෝ හරියට හිටියා. කරත්ත කරුවන්ගේ නායකයා වගේ හිටියේ පීටර් අයියා කියලා ගම්වැසියෙක් තමයි.

මල්වානේ ඉස්සර හරියට ගඩොල් පෝරණු තිබුණා. ඒ ගඩොල් පෝරණු වලට අවශ්‍ය දර සැපයීම් කළේ දෙකටනින් තමයි කරත්තවල දර පටවාගෙන යනවා. මල්වානේ රඹුටන් වලට ප්‍රසිද්දවුණේ ​ගොඩක් පස්සේ

හැබැයි පෘතුගිසි කාලේ ඉදලා මල්වානේ රඹුටන් තිබුණු බව කියනවා. මල්වානේ රජ්ජුරුවෝ  කාලයේ රඹුටන් මල්වානට ආ බව මම අහලා තියෙනවා.

ඉස්සර දෙකටන වී ගොවිතැන හැරුණාම පොල්වගාව සරුවට තිබුණා. ඊට අමතරව රබර් වගාවක් තිබුණා. අද දෙකටන විලේජ් කියන හෝටලය තිබෙන මණ්ඩියේ තනිකරම රබර් වගාවක් තමයි තිබුණේ.

ඒ කාලේ බර කරත්ත වලින් පොල් අතු ඇද්ද‌ා බරබාගේ තමයි බොහෝ දුරට ගමේ එදිනෙද‌ා වැඩවලට භාවිත කළේ. පොල් අදින්නේ බර බාගෙන් තමයි. පොළට බඩු අදින්න ගොයම් කපා පාගාන කාලේට බර බාගෙන තමයි වී ටික ඇදගත්තේ.

ඊළගට ලෙඩක් දුකක් හැදුණාම පැදුරක් ද‌ාලා බරබාගේ දාගෙන තමයි ලෙඩාව රෝහලට අරන් යන්නේ අද වගේ නෙවෙයි ඒ කාලේත් අපේ රෝහල පිහිටලා තිබුණේ   වතුපිටිවල තමයි. වතුපිටි වලට බර බාගෙන් රෝගියා ගෙනියන වෙලාවට බොහෝ දුරට මඟදීම රෝගියා මිය යනවා.

ඒ කාලේ බක්කි කරත්තය පාවිච්චි කළේ විවාහ මංගලෝත්සවවලට තමයි. හොඳට සරසලා මනාලිය බක්කි කරත්තෙන් තමයි කැන්දගෙන එන්නේ. ඒ කාලේ බක්කි කරත්තයට පුදුම ඉල්ලුමක් තිබුණා. ඒ කාලේ සෑම ප්‍රභූගෙදරකට පාහේ බක්කි කරත්තයක් තිබුණා.

තවත් සමහර ගෙවල්වල ගමන් කරත්තේ කියලා කරත්තයක්ද තිබුණා දොළොස් දෙනකුට පමණ ගමන් කිරීමට හැකි අයුරින් මේ කරත්තේ හදලා තිබුණා. මේ කරත්තෙට ගොන්නු දෙන්නෙක් බඳිනවා. මිනිස්සු ප්‍රවාහනය කරන්න තමයි මේ කරත්තේ හදලා තිබුණේ. ඒක හොඳට පින්තාරු කරලා ලස්සනට හදලා තිබුණා. දෙකටන ගමේ හිටපු ප්‍රභූවරුන් ගැන කතා කරද්දී නොතාරිස් රාළහාමි ඩී.සී.පී අබේ ගුණවර්ධන දෙකටන නාමළුවේ විසූ හදිසි මරණ පරීක්ෂක ඇල්බට් ගුණරත්න හෙවත් නාමළුවේ රාළහාමි ගමේම හිටපු සත් ගුණවත් පුරුෂයෙක් තමයි. ගමේ ලොකු කුඩා සියලු දෙනාටම උදව් උපකාර කරමින් එතුමා ජීවත් වුණා. එතුමා වර්තමාන බස්නාහිර පළාත සභා මන්ත්‍රී උපාලි ගුණරත්න මහතාගේ පියායි.

ඊළගට නාරම්පොළ කොච්චිහේනේ විලියම් අප්පුහාමි ගැනත් සඳහන් කළ යුතුයි.

නාමළුවේ රාළහාමීට ඒ කාලේ කේම්බ්‍රිජ් කාර් එකක් තිබුණා. පාරෙදි දැක්කොත් ඕන කෙනෙක්ව වාහනේ දාගෙන යන සිරිතක් තිබුණා. ඉස්සර ඒ හරියේ ලොකු නාගසක් තිබුණා. ඒ නාගහයට මිනිස්සු පහන් පත්තු කරනවා. ඉතින් ඒ ස්ථානයට ‘නාමළුව’ කියලා නම වැටුණා. නාමළුවේ රාළහාමි කියලා උපාලි ගුණරත්න මහත්තයාගේ පියාව ගමේ මිනිස්සු හඳුන්වන්න ගත්තා.

දෙකටන පද්මාවති මහා විදුහලට ඉඩම දුන්නේ ඩි.සී.පී අබේගුණවර්ධන රාළහාමී විසින්. 1940 ගණන්වල එස්.ඩබ්.ආර්.ඩී, බණ්ඩාරණායක ශ්‍රීමතාණන් තමයි ඒක විවෘතකළේ. නොතාරිස් රාළහාමී ගමේ ගම්සභාපති කමත් දැරුවා.

ඉස්සර අපේ මැතිවරණ කොට්ඨාසය වුණේ වේයන්ගොඩයි. පස්සේ අත්තනගල්ල වුණා. ඊටත් පස්සේ දොම්පේ වුණා. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාර නායක මහත්තයා සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය විවාහ කරගෙන මුලින්ම් හොරගොල්ලට යන ගමන් එතුමාගේ ඡන්ද කොට්ඨාසය මැදින් තමයි ගියේ.

මට මතකයි අපි පුංචි කොල්ලෝ දෙකටන නාමළුවේදී බණ්ඩාරණායක යුවළ පිළිගැනීමක් තිබුණා. එද‌ා හැමෝටම රස කැවිලි සමග තේ පැන් සංග්‍රහයක් දෙකටන හන්දියේ දුන්නා. ඒ විදිහටම දොම්පෙන් පිළිගැනීමක් තිබුණා.

ඒ කාලේ මිනිස්සු අතර පුදුම සහජීවනයක් බැදීමක් තිබුණා. දෙකටන ඉස්කෝලේ ඉස්සරහා සෑම වසරකම ගම් මඩුවක් නටනවා. සිංහල අලුත් අවුරුද්දත් හොඳට සමරනවා. අවුරුද්දට හොඳ කතුරු ඔංචිල්ලා බැඳලා ඔංචිලා වාරන් කියමින් පඳිනවා මට මතකයි. ඒ දවස්වල ගමේ කුඹුරු කළේ කයියට තමයි. ඒ තුළින් ගමේ සාමුහිකබව රැකුණා
දෙකටන ප්‍රසිද්ධ වෙන්න තවත් හේතුවක් තමයි දෙකටන නීලකාදී තෛලය. එම තෛලය හැදූ වෙද මහත්තයා මල්වානේ උපන් කෙනෙක් දොන් පාවුළු ආරච්චි පවුල්වල කෙනෙක්. ඒ කාලේ පට්ටිවිල වෙද මහත්තයා වගේම මාවැල්ලේ වෙදහත්තයත් ප්‍රසිද්ධ වෙද මහත්වරු දෙන්නෙක් මේ දෙදෙනාගෙන්ම වෛද්‍ය ශාස්ත්‍රය හදරලා තමයි. ඩි.එස්.සිල්වා හෙවත් දෙකටන නීලකාදී තෛලය හැදූ වෙදමහත්තයා වෙදකම් කරන්න පටන් ගත්තේ. පුදුම ඉල්ලුමක් ඒ කාලේ දෙකටන නීලකාදී තෛලයට තිබුණා.

අතීතයේ ඉතාමත් සුන්දර ප්‍රදේශයක් මෙන්ම සාමකාමී සහජීවනයෙන් පිරි ජීවිත ගතකළ පිරිසක් මේ ගමේ විසූ බව අවසන් වශයෙන් කීමට හැකි බව විශ්‍රාමලත් විදුහල්පති කරුණාද‌ාස මහතා මට පැවසීය.

දෙකටන ගමේ පදිංචි ඩී.එම්. විලිසොන් අප්පු මහතා ආයුර්වේද ඖෂධ සංයෝජකවරයකු ලෙස සේවයකොට දැන් විශ්‍රාම සුවයෙන් පසුවන අයෙකි. දෙකටන ගම ගැන සිය මතකය අවදි කළේ මෙසේය.

දෙකටන ගමේ මුල් පදිංචිකරුවන් වුණේ පඬුවාවල හා කළු පතිරගේ වාසගම තියෙන අය තමයි. මොවුන් මාතලේ ප්‍රදේශයේ ඉඳලා ඇවිත් තමයි දෙකටන පදිංචි වෙලා තියෙන්නේ.

ඉස්සර ඉදලා බුලත්වලට දෙකටන ප්‍රසිද්ධයි. අඟහරුවාද, විශේෂයෙන් බුලත් අරගෙන යන්නම වෙළෙන්දෝ දෙකටන පොලට එනවා. පාන්දර 4.00 ඉඳලා දහවල් 12 දක්වා පොල තියෙනවා. උදේ 8.00 වෙන කොට බුලත් වෙළෙඳ‌ාම ඉවර වෙනවා.

ගමට තියෙන එකම කන්ද තමයි ගැට කන්ද කියලා තියන්නේ  මීට වසර 50 කට පෙර දෙකටන තිබු ගෙවල්වල නම් කිව්වොත් ජලං ගෙදර, ජිලං ගෙදර, මහගෙදර, හේනේ ගෙදර, මල්වඩුගෙදර. මේ ගෙවල් ඉතාම විශාල ගෙවල්. පොල් අතු දාහක් විතර බැදෙන, පොල් අතු ගෙවල් තමයි. මාවී වෙළ හා මුත්තැස්වෙළ නමින් වෙල්යායවල් දෙකක් තිබුණා මාවී වෙළේ මාස 6 මාවී තමයි වැපුරුවේ.

මුත්තැස්වෙළේ මාස 4 ක බාල වීවර්ගයක්ද තමයි වැපුරුවේ. ඒ කාලේ වී හාල් බවට පත්වෙලා ගෙදර මුළුතැන්ගෙයි ළිපේ බත් ඉදෙන විට දැනෙන සුවඳ පුදුම සුවදක්. ඒ වගේම මාළු වෑංජන නැතුව නිකම් ඒ බත් කන්න පුළුවන් ඒ තරමට රසයි. කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් තොර ගෙරිකටු කියන පොහොර තමයි කුඹුරු වලට ඵලද‌ාව වැඩිවෙන්න ඉහින්නේ මුත්තැස් දෙසැම්බර්වලදි වපුරනවා

අප්‍රියෙල් මැයි අතරෙදි කපනවා. ඒ කාලේ සෑම ගෙදරකම පාහේ ඔරු තිබුණා පැළ වී පොගන්න ඔරුවේ තමයි ද‌ාලා තියන්නේ. ගොවිතැන් කරන ගොවියෝ වශයෙන් ගමේ සියලු දෙනාම සමගියෙන් සාමද‌ානයෙන් ඒ කාලේ ජීවත් වුණා.

තරාලේ කියලා කතෝලික බැතිමතුන් ඉන්න ගමක් තියෙනවා. ඒ ගමෙන් අවුරුදු කාලේට ඌරුමස් අරගෙන ඇවිත් ගමේ කවුරුත් බෙද‌ා හද‌ාගෙන කන සිරිතක් තිබුණා. මහගෙදර කියලා ගමේ ගෙදරක් තිබුණ ඒ ගෙදර හිටියේ පී.කේ. තෝමස් පෙරේරා කියලා දොස්තර කෙනෙක් දොස්තර කෙනෙක් නොවුණට ​‘දොස්තර මහත්තයා’ දොස්තර මහත්තයා කියලා තමයි කිව්වේ. එයාගේ හොඳ මිතුරෙක් හිටියා ඔහුගේ නම තේක්ක වත්තේ පොඩිරාළහාමී.

මාපිටිගම තමයි ජීවත්වුණේ ඔහුගේ ඇතා තමයි කැළණිය පන්සලේ දුරුතු පෙරහැරේ ධාතු කරඬුව වැඩමවන්නේ ‘තේක්ක වත්තේ ඇතා’ කියලා තමයි කියන්නේ.

තේක්කවත්තේ පොඩි රාළහාමියි තෝමස් පෙරේරා (දොස්තර) දෙන්නා හොදටම රා බීලා අර ඇතාගේ දළ දෙ​ෙක් එල්ලිලා යනවා ඇතා සද්ද නැතුව ඉන්නවා. අවුරුද්දට හිස තෙල් ගෑවයින් පස්සේ කෝලම් මඩු පෙන්වනවා. පොලිස් කෝළම, විද‌ානේ කෝලම, ස්වර්ණ තිලකා කථාව, අජාසත්ත පුවත වගේ ඒවා පෙන්වනවා.

ඒ කාලේ ගමේ හිටියා සරම් ආතා කියලා කෙනෙක්. වී අමුණක් විතර තනියම තමයි කොටන්නේ. ඒ දවස්වල ගමේ ජනප්‍රියම කෑම තමයි පොළොස් මැල්ලුමයි වෙල් මාළුයි. හරිම රසයි. ජනවාරි පෙබරවාරි මාසවල රෑ තිස්සේ කමත්වල සීපද කියමින් ගොයම් කපා පා ගනවා. ලැන්තෑරුම් එළිය සමග හඳ එළිය අඳුර පලවා හරිනවා. හොඳ පැලක් හත් අට දෙනෙකුට ඉන්න පුළුවන් විදිහට කමතේ හදනවා. මතක් වෙනකොට හරිම රසවත් ඒ කාලේ

ඒ කාලේ ඕන වත්තකට පැනලා අඹගෙඩියක් දෙකක් කඩාගෙන කෑවට කවුරුවත් මුකුත් කියන්නේ නැහැ. මම පසුගිය දවසක පත්තරේ දැක්කා අනුරාධපුරේ කාන්තාවක් පිට වත්තකින් අඹගෙඩි හතරක් පහක් කඩලා උසාවි ගෙනගිහිල්ලා තියෙන කතාවක්. අද රට හරි පුදුමයි.!

ඉස්සර අපේ කාලේ සමග සංසන්දනය කරාම කොයි තරම් සුන්දර මිනිස්සුද ඒකාලේ ගම්වල ජීවත් වුණේ.

ලංකාවේ මුලින්ම ගම්සභා මැතිවරණයකට ඡන්දය ඉල්ලු කාන්තාව හිටියේ අපේ අසල්වැසි කළුකොඳයාව ගමේ තමයි ඇයගේ නම් සේනාධීර අප්පුහාමීලාගේ සීලවති සේනාධීර මහත්මියයි. ඇයගේ ස්වාමි පුරුෂයාත් රොබියෙල් අප්පුහාමි (රැවුල් රාලහාමි) කියලා එ්යා ගම්සභාපතිවරයා වශයෙන් කටයුතු කළා.

කළුකොඳයාව ගැන මතක් කරද්දී පැවිදි පඬිරුවනක් වූ කළුකොඳයාවේ පඤ්ඤාසේකර නායක හාමුදුරුවෝ මේ පළාතට ගෞරවයක් ගෙනදුන් නායක හාමුදුරුවෝ නමක්. ඒ වගේම් හිටපු හමුද‌ාපති හැමිල්ටන් වනසිංහ මහතාද කළුකොඳයාවේ ඉපදුණ රණවිරුවෙක් වශයෙන් මතක් කරන්න පුළුවන් චරිත යැයි විලිසොන් අප්පු මහතා ප්‍රකාශ කළේය.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

Categories

%d bloggers like this: