Posted by: lrrp | November 25, 2017

සක්‌මන නිසා හක්‌මන වු දකුණේ හටන් බිම

ශත වර්ෂයකටත් ඉහත හක්‌මන නගරය දැනට පවත්නා ස්‌ථානය හැඳින්වුණේ “ගුලුගහ ළඟ” යනුවෙනි. හක්‌මන සහ ඒ අවට ප්‍රදේශය ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික යුගය තෙක්‌ ඈතට දිවෙයි. එහෙත් එම අවධිය පිළිබඳ ඉතිහාසය අපේ වංශ කථාවල සඳහන්ව ඇත්තේ අනුමාන වශයෙනි.

විජය ලංකාවට පැමිණීමට පෙර මෙහි යක්‌ෂ, නාග යන ගෝත්‍රිකවල ජනතාව වාසය කළ බව වංශ කථාවල සඳහන් වෙයි. ක්‍රි. වර්ෂ දෙවන සියවසේදී ලංකාවට පැමිණි “ක්‌ලෝඩියස්‌ ටොලමි” ලංකාවේ සිතියමක්‌ ඇඳ තිබේ. අපට ඇති පැරණිම ලංකා සිතියම එයයි. එහි මාතර ආසන්නයේ .භAණ්‌DධඹDA. යනුවෙන් සඳහන් කර ඇත්තේ මාතරට නොදුරෙන් පිහිටි “නාවිමන” යෑයි “රාසනායගම්” මහතා විශ්වාස කරයි. ටොලමිගේ සඳහන අනුව ප්‍රාග් ඓතිහාසික යුගයෙහි මාතර හා ඒ අවට නාග ගෝත්‍රිකයන් විසූ බව ප්‍රකාශ වෙයි.

ලංකාවේ දකණු දිග නාගයන් විසූ බව ඌරුමුත්තේ කන්දේ තිබී සොයාගත් සෙල්ලිපියකද සඳහන්ය. බ්‍රාහ්මී අක්‌ෂරයෙන් ලියෑවුණු එම සෙල්ලිපියෙහි “පෙරුමකනාගලෙන” යනුවෙන් සඳහන් වෙයි. නාග නම් “ප්‍රධානියාගේ ලෙන” යන අදහස ඉන් ප්‍රකාශ වේ. මෙම සෙල් ලිපියෙන් ලංකාවේ දකුණු ප්‍රදේශයෙහිද නාගයන් වාසය කළ බවට වැදගත්ම සාධකයක්‌ වේ.

මාතර හා ඒ අවට වාසය කළ නාග ගෝත්‍රිකයන් හක්‌මන දක්‌වා ව්‍යාප්ත වූ බවට නාදුගල – නායිම්බල- නාකන්ද නාරද්ද යන ග්‍රාම නාම දෙස්‌ දෙයි. හක්‌මන සිට දෙයියන්දර මහා මාර්ගයට අයත් වන දෙණගම සහ කුඩා නාකන්ද, මහානාකන්ද යනුවෙන් ගම් දෙකකි. ඒ අනුව චූලනාග මහානාග යනුවෙන් දෙපිරිසක්‌ විසූ බවත් ඒ ඇසුරින් දෙනාගම දෙනගම වූ බවත් ප්‍රකටය. නාකන්දට දකුණු දෙසින් පිහිටියේ නාගයන්ට අයත්ව තිබුණු කැලැ සහිත ගම් බිම් පෙදෙස “නාමල් පිට” පසුව කරුවැල්පිට යනුවෙන් ව්‍යවහාර වී ඇත.

හක්‌මන නගරයට නැගෙනහිර දෙසින් විහිදී ගිය කුඹුරුයාය අදත් කායිවෙල යනුවෙන් හඳුන්වයි. එයද නාගයන් විසින් අස්‌වද්දපු කුඹුරු යායයි. එම කුඹුරුයාය කෙළවර පිහිටියේ “නාරද්ද” කියන ගම්මානයයි. මේ අනුව යම් යම් අයගේ පෙළපත් නාමයන්ද “නාගසිංහ” පරම්පරාව කෝංගල අදත් ජීවත් වෙති.

වංශ කතාවල සඳහන් නොවූවත් අනුරාධපුර අවධියේ මෙම ප්‍රදේශයේ ප්‍රාදේශීය රජෙකු හෝ වෙනත් ප්‍රධානියකු හෝ වාසය කළ බව ජනප්‍රවාදයෙහි පවතී. ශතවර්ෂ දෙසිය හතළිස්‌ වැන්නෙහි රජ පැමිණි මිණි කිරුළු නම් රජෙකු පිළිබඳ තංගල්ල – හක්‌මන රංසෑගොඩ යන ප්‍රදේශවලින් තොරතුරු ලැබේ. 1707 දී රජ පැමිණි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස රචනා කෙරුණු කහ කුරුළු සංදේශයෙහි මිණිකිරුළු රජු විසින් පොළොම්මාරුවෙහි කළ සෑයක්‌ ගැන සඳහන් වේ.

“මුනිඳු දාතු වඩමින් නිසි ලෙස සො ඳුරූ
නිරිඳු මිණි කිරුළු කරවූ සෑය ගරූ
පසිඳු සුරතරත් පුද කරන තිර තුරූ
දිනිඳු අවර වදු වෙහෙරට පොළොන් නරූ

ක්‍රි. ව. 1780 දී රජ පැමිණි රාජාධි රාජසිංහ සමයෙහි ලියෑවුණු නීල කොබෝ සංදේශයෙහිද සිටිනාමලුව වැනුමේදී මිණි කිරුළු රජු ගැන සඳහන් වෙයි.

“එමින් කිරුළු රදහට පොරණ නිර තුරු
කළෙන් පසඟ තුරුන ද ලැබම තන තුරු
බියෙන් නොහැර කරනා විලස අද තුරු
පුහුන් කරති සත මෙහි නිතර ගොස තුරු

ශතවර්ෂ 240 දී ලංකා රාජ්‍ය කළ මිණිකිරුළු රජෙකු ගැන අපේ වංශ කථාවල සඳහන් නොවේ. 1. දෙටුතිස්‌ස (ක්‍රි. ව. 206) රජු විසින් බමුණුගම විහාරය – උමංගල එළුගල් සෑය කරවන ලද බැවින්. 1. දෙටුතිස්‌ රජු මිණිකිරුළු නමින් ව්‍යවහාර වීද යන්න ගැන කඹුරුපිටියේ වනරතන හිමියෝ සැක කරති. මිණි කිරුළු රජ හක්‌මනද වාසය කළ බවට ජනප්‍රවාදයේ පවතී. හක්‌මන බෙලිඅත්ත මහා මාර්ගයේ හක්‌මනට සැතපුම් භාගයක්‌ පමණ දුරින් පිහිටි දැනට මාලිගාතැන්න නමින් ව්‍යවහාර කරන ස්‌ථානයෙහි රජතුමාගේ මාලිගය පිහිටියේ යෑයි ද රජතුමා සක්‌මන් කළ සක්‌මන්මළුව තිබූ ස්‌ථානය සක්‌මන “හක්‌මන” නමින් ප්‍රකට වූ බව ද අදත් පැවසේ.

රජතුමා ස්‌නානය කළ පීල්ල තිබුණු ගම උඩුපීල්ලගොඩ බවට පත්ව ඇත. රජුට මුරුතැන් සැපයූ ගම මුරුතාමුරය නමින්ද හැඳින්වේ. එළුගල්සෑය පිහිටි අමංගල කඳු වැටියෙන් වටවූ කුඩා වැව උයන් වැව නමින් ප්‍රසිද්ධය. එම ප්‍රදේශයද රජෙකු වාසය කළ බවට ඓතිහාසික සාධක පවතී. උයන්වැව ආසන්නයේම රජමල්වත්ත නමින් කොටසක්‌ තිබී ඇත. උයන් වැව කුඩා දූපතකි. එහි වූ විශාල ගල රජතුමා ජල ක්‍රීඩාවට පැමිණ හිඳගත් ගල වැඩහිඳිනාගල නමින් හැඳින්වෙයි. ඒ අසලම ඇති ගල්ලෑල්ල රජතුමාගේ සළු උනා තැබූ හෙයින් ඒ නම් වී ඇත. එහිම නිදන්ගල නමින් තවත් ගලක්‌ ද වෙයි. එම ගල යට නිධානය ඇති බව ද පැවැසේ. උයන්වැවට නොදුරෙන් රජගෙදර, රජමල් වත්ත ඉලංගම් මඩුව (එදා නළුවන් හා වාදකයන් හැසුරුණු තැන) යනාදිය ගැන සඳහන් වෙයි. මේ අනුව හක්‌මන ආශ්‍රිතව රජ කෙනෙකු වාසය කළ බව පසක්‌ වෙයි.

දහසයවන ශතවර්ෂය වනවිට හක්‌මනත් කෝට්‌ටේ රාජධානියට අයත්ව තිබිණ. එය අවධියේ කෝට්‌ටේ රාජ්‍යයට මාතර දිශාවතියද අයත්වීය. බෙන්තර ගඟේ සිට වලවේ ගඟ දක්‌වා ප්‍රදේශය මාතර දිසාවතිය වීය. හක්‌මන අපද කෝට්‌ටේ රාජ්‍යයේ යටත් වැසියෝ වූහ. ක්‍රි. ව. 1551 සිට 1597 දක්‌වා කාල සීමාව තුළ පෘතුගීසීහු කෝට්‌ටේ රාජ්‍යය ආරක්‌ෂා කර දීමට දොන් ජුවන් ධර්මපාල රජුගේ යුද කටයුතු සඳහා සහභාගි වූහ.

තමන්ගේ මරණින් පසු කෝට්‌ටේ රාජ්‍ය පෘතුගීසීන්ට අයත් වන සේ ක්‍රි. 1580 දී ලියූ අන්තිම කැමැති පත්‍රයේ ප්‍රකාර රජුගේ මරණින් පසු 1597 දී කෝට්‌ටේ රාජ්‍යය පෘතුගීසීන්ට අයත් වීය. ධර්මපාල රජුගේ මෙම අමන ක්‍රියාව නිසා වසර දෙදහසකට ආසන්න කාලයක්‌ ස්‌වාධීනත්වයෙන් ජීවත්වූ හක්‌මන වැසියෝ ද විදේශීය ආධිපත්‍යයට යටත් වූහ.

ධර්මපාල රජුගේ ඇමැතියා වශයෙන් එදා කටයුතු කළේ හක්‌මන දෙමටපිටියේ උපන් සමරකෝන් රාළයි.පෘතුගීසින්ට මාතර දිසාව අයත් වීමෙන් පසුවද මාතර දිසාවේ පාලනයඔවුන්ට හිතවත්  සමරකෝන් රාළ යටතේ පැවැත්වීය. ඔහු දිසාපති ලෙසද හඳුන්වනු ලැබිණි. රණශූර සමරකෝන් රාළ හෙවත් දොන් ෆර්ඩිනැන්ඩු එකල මාතර දිසාපතිවරයා විය. ඕඩර් ඔෆ්ද ක්‍රයිස්‌ට්‌ (OEDER OF THE CRIEST) නමැති නයිට්‌ පදවියද දැරූ හෙතෙම බටහිර රටකින් නයිට්‌ නාමයක්‌ ලද පළමු වැනි ආසියාතිකද විය. කටුවන බලකොටුව ජයග්‍රහණය කරවීම සඳහා ප්‍රමුඛතම කාර්යභාරය සිදුකළ පුද්ගලයා ලෙස ඔහුට එම නයිට්‌ පදවිය ලැබී ඇත. දොන් කොන්ස්‌තන්තීනු නවරත්න නමැති අයෙක්‌ ඉන් පසුව මෙහි දිසාපතිවරයා ලෙස කටයුතු කොට ඇත.පෘතුගීසීන්ට මාතර දිශාව අයත් වූවායින් පසු ආරක්‌ෂාව සඳහා ඔවුහු ගාල්ල, මාතර පමණක්‌ නොව රට මධ්‍යයේ සබරගමු සීමාවේ “කටමතද” කොටුබැඳ හමුදා නතර කිරීමෙන් යුද ශක්‌තිය තර කළහ. ඔවුහු හක්‌මනද කොටුවක්‌ බැන්ද වූ බව සඳහන් වේ.

හක්‌මන සටන්

එම කොටුව බඳනා ලද්දේ හක්‌මන මුලටියන මහා මාර්ගයේ නාකන්ද හා පල්ලාවෙල සීමාවේ බව බොහෝ දෙනෙක්‌ විශ්වාස කරති. අදත් එම ස්‌ථානයට කොටුදොරකඩ යන නම ව්‍යවහාර කරති.

ස්‌ථානීය ගැන සැක සහිත වුවත් පෘතුගීසි හා ලන්දේසීන්ගේ සටන් ගැන විස්‌තරයක්‌ කරන “රුබෙරු” නම් ගත් කතුවරයාගේ වාර්තාවක හක්‌මන පෘතුගීසි කොටුවක්‌ ගැන සඳහන් වෙයි. “සබරගමුවේ අපේ බලය අඩු වීමෙන් පසු අණදෙන නිලධාරි තැන සේනාංකයක්‌ ගෙන මාතර පැමිණියේය. අපේ සේනාව මාතරට නොදුරින් පිහිටි හක්‌මන ක්‍රි. ව. 1643 දී කඳවුරු බැඳගත්හ”

ක්‍රි. ව. 1658 දී ලංකාවේ පෘතුගීසි පාලනය අවසන් විය. එහෙත් එයට ප්‍රථම ක්‍රි. ව. 1645 ජනවාරි 10 දින පෘතුගීසීන් හා ලන්දේසීන් අතර ඇතිවූ ගිවිසුමක්‌ අනුව බෙන්තර ගඟේ සිට වළවේ ගඟ දක්‌වා ප්‍රදේශය ලන්දේසීන්හට භාර දුන්හ. මෙම හේතුවෙන් පෘතුගීසි ආණ්‌ඩුවේ අවසානයට අවුරුදු 13 කට ප්‍රථම අපි ලද්දේසීන්ගේ යටත් වැසියෝ වීමු. මාතර දිසාව ලන්දේසීන්ට අයත් වීමෙන් පසු මාතර හක්‌මන – තංගල්ල – ගන්දර යන ස්‌ථානවල ඇතුන් හා යුද උපකරණ ඇතුළු වෙනත් බඩු බාහිරාදිය තැන්පත් කිරීම සඳහා කුඩා බලකොටුද මුහුදින් සැතපුම් 20 ක්‌ පමණ දුරින් පිහිටි කටුවන අංගසම්පූර්ණ බලකොටුවක්‌ ද තැනූහ.

මාතර නගරයෙහි තැනූ බලකොටුවද අංගසම්පූර්ණ විශේෂ බලකොටුවකි. ක්‍රි. ව. 1645 දී ලංදේසීහු හක්‌මන කොටුවක්‌ තැනූහ. හක්‌මන කඩපළට යාර 150 ක්‌ මාතර දෙසින් කොක්‌ගහවත්තට ඉදිරිපස ඇති දැනට කොටුගොඩැල්ල නමින් ව්‍යවහාර වන ඉඩම එදා ලංදේසි බලකොටුව වෙයි. දැනට එම ඉඩමේ රජයේ බෙහෙත් ශාලාව සහ ගොවිජන සේවා කාර්යාලය පිහිටුවා තිබේ. මෙම ඉඩමේ ලංදේසීන් විසින් පරිහරණය කරන ලදැයි කියන යුද උපකරණ ආදිය වළ දමා ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව මෙම ස්‌ථානය පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමක්‌ ඇති බව පැරණි අය විශ්වාස කරති.

හක්‌මන ලංදේසි කොටුව ගැන ජර්මන් ජාතික “බෙහර් සොහාන් ෆොන්ඩර්” ගේ වාර්තාවක මෙසේ සඳහන් වෙයි. “ක්‍රි. ව. 1645 නොවැම්බර් 26 දා සැන්ටිපෝල් සිට සැතපුම් 15 ක්‌ ඈතින් වූ අපේ කඳවුරක්‌ පිහිටි හක්‌මන බලා යැමට මට අණ ලැබිණ. හක්‌මනදී අප රෝගාතුර වූයෙන් 1646 ජනවාරි 26 දා හක්‌මන සිට බල ඇණි තුනක්‌ සමඟ කලක්‌ නැවතී සිටීම සඳහා මාතර බලා පැමිණියෙමු” බලඇණි තුනක්‌ නතරව සිටියේ නම් හක්‌මන කොටුව තරමක්‌ විශාල බව පැහැදිලිය.

ලන්දේසි පාලන සමයේ හක්‌මන සටන් කිහිපයක්‌ම සිදුවූ බවට “විදේශීය දුටු ලංකාව” නමැති පොතෙහි සඳහන් වෙයි. ක්‍රි. ව. 1656 ජුනි මස හක්‌මනදී සිදුවූ සටනක්‌ ගැන “බෝල් දියස්‌” නම් ඕලන්ද ඉතිහාසඥයකුගේ වාර්තාවක මෙසේ සඳහන් වේ. “අපේ රාජකාරියෙහි යෙදී සිටින මාතර උපන් “රබෙල්” මහතා හක්‌මන ආරක්‌ෂාව පිණිස යුරෝපීයයන් 10 ක්‌ හා ලැස්‌කිරින්වරුන් 15 දෙනෙක්‌ සමඟ ද සරෙන්තුවක්‌ හා ගමන් භයටන් වැඩි දෙනකු සමඟ හක්‌මනින් නික්‌ම ගියේය. ඒ බව සිංහල රඡ්ජුරුවන්ගේ සේනාවට ආරංචි වී ඉන් ප්‍රස්‌ථාව ලබා ගෙන ඒ ඉඩම අල්ලා ගන්නා බලාපොරොත්තුවෙන් මිනිසුන් සියයකින් යුත් සේනාවක්‌ පහර දෙන්නට පටන් ගත් නමුත් රබෙල් මහතා විසින් දෙන ලද සැර පහර කරනකොටගෙන ඔවුහු පලා ගියෝය. මෙය සිදුවයේ 1655 ජනවාරි මාසයේදීය. රබෙල් යුද්ධ දක්‌ෂයෙකි. ඔහුගේ දක්‌ෂතාවන් “රබෙල් අස්‌න” නමැති පොතෙහි වර්ණනා වේ.

කටුවන යුද ශක්‌තිය තරකර ගැනීම සබරගමුවට තර්ජනයක්‌ විය. සබරගමුවේ මහ දිශාව මේ ගැන කීර්ති ශ්‍රී රාජසිංහ රජුට පහදා දීමෙන් පසුව ඌවේ මහ දිශාවද සබරගමුවේ මහ දිශාවද යටතේ සේනාවක්‌ සංවිධානය කර කටුවන කොටුවට පහර දීම සඳහා එවීය. කිරිඇල්ලේ ජයසුන්දර, අකුරුම්බොටුවාගල අභයනායක, කුරුප්පු අවිටියාගොඩ ගුණතිලක, අලහකෝන්, මාකඳුරේ ධම්මාලංකාර පණ්‌ඩිත සෙනෙවිරත්න, බුම්වානේ ඒකනායක, උඩගම රාජපක්‍ෂ ඇතුළු නිළමේවරු සේනා සංවිධානය කර මුල්ගිරිගල කඳවුරු බැඳ ගත්හ.

රුහුණේ සිංහලයන්ද දහස්‌ ගණනකින් මෙම පිරිසට එක්‌වූහ. 1761 පෙබරවාරි 6 – 7 – 8 දිනවලදී සටන් කර ලන්දේසීහු පලවා හැර කටුවන කොටුව අල්ලා ගත්හ. කටුවන සටනින් නොමැරී ඉතිරිවූ ලංදේසිවරු හක්‌මනට පසු බැස හක්‌මන බලය තරකර ගත්හ. කටුවනින් ජය ලැබූ සිංහලයෝ හක්‌මන බලා ගමන් කර 1761 පෙබරවාරි 10 දින හක්‌මන කොටුවට පහරදීම ආරම්භ කළහ.

දෙපිරිස නායිවෙල් යායේදී මුණගැසී කළ සටන ඉතාම බිහිසුණු විය. නායිවෙල එකම ලේ විලක්‌ බවට පත්වීය. හක්‌මන කොටුවත් ලංදේසීන්ට අහිමි විය. ලංදේසීන්, ඉංග්‍රීසින් යටතේ ලංකාවේ යුද සේවයේ යෙදී සිටි ජර්මන් ජාතික “හර්පෝට්‌ ඇල්බ්‍රෙහට්‌” ගේ වාර්තාවක හක්‌මන කන්දේ තිබූ ආදම්ගේ ප්‍රතිමාවක්‌ ගැන මෙසේ සඳහන් වේ.

හක්‌මන කන්දේ සෑහෙන විශාලත්වයකින් යුතු මැටියෙන් සෑදූ ප්‍රතිමාවක්‌ දක්‌නට ලැබේ. දිවා රෑ දෙකහි පහන් දල්වා තිබෙන සිද්ධස්‌ථානයක්‌ (පොගුම් මැදිරියක්‌) මෙහි ඇත. එම ස්‌ථානයට නොදුරෙන් ඔහුගේ පාද සලකුණු දක්‌නට ලැබේ.

හර්පෝට්‌ හක්‌මන කන්ද යෑයි නම් කළේ අමංගල කන්දට විය හැක. ආදම්ගේ පාදයයි. ඔහු නම් කළේ ගලේ කෙටූ ශ්‍රී පතුලෙයි. කියවීමට නොහැකි ගලේ කෙටූ අකුරු බ්‍රාහ්මීය අක්‌ෂරවලින් ලියූ සෙල්ලිපියකි.

(මෙම ලිපිය පොත් පත් ඇසුරෙන් සකස්‌ කළෙමි. නිමල් ගමගේ මහතාගේ තොරතුරු විශේෂයි.)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: