Posted by: lrrp | November 25, 2017

සබරගමු නර්තන කලාවේ හෙට දවස

ශ්‍රී ලංකාවේ නර්තන කලාවේ ඓතිහාසිකත්වය හා සංස්‌කෘතික පසුබිම විමසා බැලීමේදී සබරගමු නර්තනය පිළිබඳ අනිවාර්යයෙන්ම විමර්ශනයට භාජන කළ යුතුය. ඒ මන්ද විවිධ විවිධ සමාජ පෙරළියන්ට පත්ව ඇති එම නර්තන කලාව සෑහෙන කාලයක්‌ තිස්‌සේ මුළුගැන්වී පැවැතීමයි. උත්ත කලාව වෙනුවෙන් ඇප කැපවූ ගිහි පැවිදි උගතුන් හා කලා ශිල්පීන්ගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් සබරගමු නර්තනයට පුනර්ජීවයක්‌ ලැබුවා පමණක්‌ නොව අන් කිසිදු සම්ප්‍රදායකට නොදෙවෙනිව නැඟී සිටින්නට එයට හැකිව ඇත. එබඳු සබරගමු නර්තනය පිළිබඳ විධිමත් අධ්‍යයනයක යෙදීමට පෙරාතුව ශ්‍රී ලංකාවේ නර්තනයේ ප්‍රභවය පිළිබඳ කරුණු බිඳක්‌ සොයා බැලිය යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ නර්තන කලාවේ ඉතිහාසය පිළිබඳ විමසුමට ලක්‌ කිරීමේදී ප්‍රාථමික ජන සමාජය පැවැති ප්‍රාග් ඓතිහාසික යුගය දක්‌වා කාල පරාසය තුළ අධ්‍යයනයක යෙදිය යුතුව ඇත. එය විජයාවතරණය සමඟ මෙරටට සංක්‍රමණය වූ ආර්ය ජනයා පැමිණීමට පෙරාතුව මහා රාවණ යුගය ක්‍රි. පූ. 2725- 2780) යුගය දක්‌වා දිවේ. එකල ලංකා සමාජය තුළ යක්‌ෂ, නාග, දේව යන ගෝත්‍රිකයන් ජීවත්වූ අතර ඔවුන්ගේ සමාජය තුළ සැලකිය යුතු මට්‌ටමේ උසස්‌ සංස්‌කෘතික දියුණුවක්‌ තිබූ බවට සාක්‌ෂි හමුවේ. එහිදී මුලින්ම අනන්‍යතාවයට මුසුවූ ඔවුන්ටම ආවේණික ලක්‌ෂණයන්ගෙන් යුත් ගුප්ත නර්තන විලාශයන් තිබූ බව මහාවංශය තුළින් විවරණය කෙරේ. එහි සඳහන් වන ආකාරයට ගිරි වස්‌තු පුරයෙහි නැටුම්, ගැයුම්, වැයුම් සහිත මංගල්‍යයක්‌ පැවැත්වූ බව (මහාවංශ බුද්ධදත්ත සංස්‌) 7 වන පරිච්ඡේදයේ 30 වැනි ගාථාවේ සඳහන් වේ. එමඟින් පැහැදිලි වන්නේ විජයලංකාවට ඒමට පෙරාතුව සිට මෙරට ජන සමාජයේ නර්තන කලාවේ මූලාරම්භය පැතිර තිබූ බවයි.

ප්‍රාග් ඓතිහාසික බෞද්ධ ඉතිහාසයේ පටන් නර්තනය පිළිබඳ යම් අවබෝධයක්‌ පැවැති ජාතියක්‌ වන සිංහලයන් ලාංකික ශිෂ්ටාචාරයේ වැදගත් ආරම්භයක්‌ ගනු ලබන අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්‌වා වූ කාල පරාසය තුළ විවිධත්වයෙන් යුතුව වර්ධනය වී ඉදිරියට සපැමිණි බව අමුතුවෙන් කිව යුතු නොවේ. නර්තන කලාව විවිධ ශෛලීන් ඔස්‌සේ වර්ධනය වී ප්‍රධාන කොටස්‌ (3) තුනකට බෙදී ඇත.

1. උඩරට

2. පහතරට

3. සබරගමු

යනුවෙනි.

උඩරට නර්තනය උඩුනුවර, යටිනුවර, මහනුවර ආශ්‍රිතවද, පහතරට නර්තනය ගාල්ල, මාතර, කළුතර, හම්බන්තොට ආශ්‍රිතවද සබරගමු නර්තනය රත්නපුර ආශ්‍රිතවද ප්‍රචලිත වන්නට විය.

එලෙස උඩරට, පහතරට හා සබරගමු ප්‍රදේශයන් තුළ දිගු කාලයක සිට විදේශීය ආක්‍රමණ හා සංක්‍රමණයන්ට ගොදුරුව දොaලනය වෙමින් පැවැත එන්නකි. එම සියලු නර්තනයන්හි ගායන, වාදන හා රංගන සම්ප්‍රදායන් කුමක්‌ වූවත් කමක්‌ නැත. එය සිංහලයන්ගේ අනන්‍යතාව පිළිබිඹුව සිංහල ගුණ සුවඳ වහනය වන කලාවක්‌ බැවිනි.

සබරගමු නර්තන සම්ප්‍රදාය ප්‍රධාන වශයෙන් ව්‍යාප්තව පවත්නේ පූර්වෝක්‌ත භුගෝලීය කලාපයක්‌ තුළය. මෙම අද්‍යතන සබරගමුව නමින් හඳුන්වන ප්‍රදේශය තුළින් ආදී මානවයන්ගේ (අවු. 38000) වාසභූමි කොටගත් බලංගොඩ, කල්තොට, බෙල්ලන් බැඳි පියෑස්‌ස, කුරුවිට, බටදොඹලෙන, කුකුළේගම, නෙරවන, ගල්ගෙය යන ස්‌ථාන කැණීම්වලින් සායම් වර්ග, ඉඳිකටු, ඛනිජ හා සත්ව ඇටවලින් සාදන ලද හැඩ නොවූ ආභරණ කොටස්‌, කුඩා පාෂාණයන්a, හිල් කරන ආයුධයන් හමුව එම ආදර්ශයන් රත්නපුර ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එකල සබරගමු ප්‍රදේශය පුරාණ නගර නිර්මාණය අනුව චන්ද්‍රගිරි හා ඉන්ද්‍රගිරි යන නාමයෙන්ද හඳුන්වා ඇති බව වංශ කථාවලින් හෙළිව ඇත.

එලෙස ඇරැඹි සබරගමු නර්තනය අනෙකුත් නර්තන ද්වාරයන්ට බොහෝ සෙයින් අමිශ්‍ර හා ස්‌වාධීනව වැඩෙමින් අතීතයේ සිට පැවැත එන්නකි. ශ්‍රී ලංකාවේ උඩරට, පහතරට නර්තන සම්ප්‍රදායන්ගෙන් වෙනස්‌ කොට දැකිය හැකි වන්නේ ප්‍රධාන අංග ලක්‌ෂණයන්ගෙන් කීපයක්‌ නිසාමය.

එහි ප්‍රායෝගික වශයෙන් නර්තනයේ යෙදෙන විට අත් පා හැසිරවීම, ගායනය, වාද්‍ය භාණ්‌ඩ හා නාදය, වස්‌ත්‍රාභරණ හා ප්‍රාදේශීය වශයෙන් පවත්නා ආවේණික තත්ත්වයයි. එබැවින් සබරගමු නර්තන සම්ප්‍රදාය අනෙක්‌ නර්තන ද්වාරයන්ට වඩා පෞරාණිකත්වය, නිර්මලත්වය කාලයක්‌ තිස්‌සේ පැවැත ආ ක්‍රමික විකාශනයක විදහා පෑමක්‌ වේ.

ඒ නිසාම එම නර්තනයන් කිසියම් නැටුමකට සම්මිශ්‍රණ නොවූ දේශීය ඌරුවට හැඩ ගැසුණු ලක්‌ෂණ කීපයක්‌ දක්‌නට ලැබුණි.

එලෙස පැවැති සබරගමු නර්තන කලාව දඹදෙණි රාජ්‍ය සමයේ යළි කලඑළි දකින්නට විය. එය උගත් යයි සම්මත කපු නිළමේවරුන් හා ඔවුන්ගේ පරපුරයන් යටතේ සීමාවී තිබුණ නර්තන පරපුරයන් ගුරු මුෂ්ටි සහිතව පැවැති හෙයින් ඔවුනුත් සමඟ අභාවයට ගොස්‌ ඇත. දෙල්ගොඩ, බලංගොඩ, මොරහැල, තෙප්පනාව, ඇලපාත, බටුගෙදර, අයගම යන ප්‍රදේශවල විසිරව පැතිර ඇත. එයින් කලවාන දෙල්ගොඩ විඡේතුංග අතපත්තු මුදලිතුමා ක්‍රි. ව. 1642 දී දෙවැනි රාජසිංහ රජුගෙන් සන්නසක්‌ද, ක්‍රි. ව. 1718 දී කලවාන ධර්මාලංකාර මුදලිතුමාට කීර්ති ශ්‍රී රාජසිංහ රජු සන්නසක්‌ ලබා දී ඇත.

මෙයින් පැහැදිලි වන්නේ එකල ප්‍රසංගික නර්තනය පැවැතුණේ රඡ්ජුරුවන්ගේ මූලිකත්වයෙන් බවය. රඡ්ජුරුවෝ රාජ්‍ය නායකයා වූ අතර ආගමික නායකයා වූයේ බෞද්ධ භික්‌ෂුවයි. එකල නාට්‍ය කලාවට අමාත්‍යවරයෙක්‌ පවා පත් කර තිබී ඇති බව මහාවංශයේ පැහැදිලිව සඳහන් වේ. රඡ්ජුරුවෝ කලාකරුවන්ට ගම්වර ලබාදී තිබෙන්නේ ඔවුන්ගේ ජීවිත පැවැත්ම පිළිබඳ ප්‍රශ්නවලින් මුදාලීමටය.

සබරගමු නැටුම් පුහුණු වන ආධුනිකයා මුලින්ම හරඹ 36 ක්‌ ප්‍රගුණ කළ පසු ගායනය, වාදනය, නැටුම් යන අංශයන්ට යොමු කරනු ලබයි. එම රංගන හඳුන්වනුයේ මුල්මාත්‍රය යනුවෙනි. එබැවින් මුල්මාත්‍රය තුළ නැටුමක තිබිය යුතු සියලුම අංග ඇතුළත්ව තිබේ. තිත, මුල පදය හෙවත් මාත්‍රය, තානම, කවිය, අඩිවට්‌ටම, කස්‌තිරම, අඩව් යන සප්ත අංගයන් ඊට ඇතුළත් වේ. එබැවින් මුල් මාත්‍රය ශාස්‌ත්‍රීය වශයෙන් ගත් කල පරිපූර්ණ නෘත්‍යාංගණයකි. ගමන් මාත්‍රයේ මුල්පදය “ජිං කිටිතක්‌ තත් කිරිටක්‌ ” වේ.

සබරගමු නර්තනය සඳහා ඇඳුම් නිර්මාණය විවිධාකාරය. සබරගමු නර්තන ඇඳුම් කට්‌ටලය සමන් දෙවිඳුගේ ඇඳුම් කට්‌ටලයට සමාන බව පෙනේ. එය පහත සඳහන් කාව්‍ය දෙකෙන් වඩාත් තහවුරු වේ.

බැන්ද ජටාවද සිරසට වට කර මුදුනට සිළුමිණ පළ¹ලා

කන්ද කඩුක්‌කන් නෙත්තිමාල බැඳ කර පටි පසු මාලය දාලා

බන්දි වළලුද උර බන්දිය බැඳ අත්කව ඉන පටියක්‌ දාලා

බැන්ද හැඩය පටි හා සුදු සේලය ගෙන ඇඟ දවටාලා

රෙද්ද රතිsන් ඇඳ නරුපට තබමින් ඉනවට රැළි තබනා

සද්ද සිටින ලෙස සිලිම්බු දෙකකුත් අරගෙන දෙපයට පළඳවනා

සිද්ධ පොරණ ඉසිවර බස විලසට සැරසිලි මෙලෙසිනා

ඇද්ද වෙනත් මේ හැටියට නැටුමක්‌ සබරගමු දෙවොලෙහි සොඳිනා

උඩරට, පහතරට නර්තනය කෙසේ වෙතත් සබරගමු නර්තනය කිසියම් නැටුමක්‌ සම්මිශ්‍ර නොවුණ දේශීය ඌරුවට හැඩ ගැසුණු ලක්‌ෂණ කීපයක්‌ ඇත. සබරගමු නර්තනයන් විදහාපාන වන්නම් හා සව්දම්වලට වෙනස්‌ වූ සාහිත්‍යයක්‌ සබරගමු නර්තනයේ ගැබ්ව ඇත. ඒ නිසාම සබරගමු වන්නම් තුළින් සිය ගී රාවය දෙසවන් පිනවමින් පහන් මඩු නර්තනය සිදු කරන්නේ ජනමන වශී කරමින්ය.

සබරගමු නර්තනයේ විවිධ ශාන්තිකර්ම ඇත. ඒවා අතර පත්තිනි දෙවියන් වෙනුවෙන් පවත්නා ගම්මඩු, දෙවොල් මඩු හැරුණ විට ලංකාවේ පහතරට කිසි කලෙක දක්‌නට නොලැබෙන පහන්මඩු හා ගීමඩු නටනු දැකිය හැකිය. තුන්දා, සත්දින ගීමඩු ඇති බවත් ඒවා දකින අය මහත් පුදුමයට පත්වනු ඇත. පහතරට නර්තනයේ මෙවැනි ශාන්ති කර්ම දක්‌නට නොලැබේ.

ඒ අනුව පැහැදිලි වන්නේ සබරගමු නර්තනයට විශේෂ වූ කලා රීතියක්‌ ඇති බවය. පහන්මඩුව, පුනාමඩුව, කිරිමඩුව, ගම්මඩුව, දෙවොල් මඩුව, ගීමඩුව, හෑල්ලුම් මඩුව යන තෝත්‍ර සියල්ලෙහිම වාගේ උඩරට හා පහතරට දෙකෙහිම පුද නොලබන දේවතා ගොල්ලක්‌ කැඳවනු ලබයි. වඳුරුමාල දෙවියන්, අමරාවතී අඳුන් කුමාර, සඳුන් කුමාර, උන්ජල් සාමි, ගිනිජල් සාමි, ගෝමර සාමි, පනිච්චි බංඩාර, පන්දම් බංඩාර, පන්දම් දේවි යන එකම දෙවියෙක්‌ හෝ යකෙක්‌ අනෙක්‌ නර්තන ද්වාරයේ නැත.

සබරගමු නර්තනයේ තවත් අංගයක්‌ නම් බලි යාගයයි. බලි යාගය ජන්ම පත්‍ර ඇති හා නැති අය සඳහාද නියමිත බලි රාශියක්‌ ඇත. මෙම බලි යාගවලින් සිදු කෙරෙනුයේ නවග්‍රහ නව දෙනාගෙන් සිදු වෙතැයි විශ්වාස කරන අපල උපද්‍රවවලින් මිදීම සඳහා කරන ශාන්ති කර්මයන් වේ.

සබරගමු නර්තන කලාව නමින් වෙනම නැටුම් කලාවක්‌ නොතිබූ බව බොහෝ දෙනාගේ අදහස වුවද එයට පමණක්‌ සීමාවූ විශේෂ ලක්‌ෂණ කීපයක්‌ තිබීමෙන් ඉතාමත් උසස්‌ නර්තන කලාවක්‌ තිබුණ බව විශ්වාස කළ හැකිය.

එයින් ප්‍රධාන වශයෙන් හැඟෙන්නේ ඒ ඒ නැටුම්වලට අවශ්‍ය ඇඳුම් සැකසීම පිළිබඳ උපදෙස්‌ ස්‌ත්‍රි පක්‌ෂයට පමණක්‌ සීමාවූ නැටුම් විශේෂයක්‌ තිබීම (දිග්ගෙඩි නැටුම) හා සියලුම නර්තනයන්ට දවුල පාවිච්චි කිරීමය. සබරගමු නර්තන කලාවට අනුගත වන සුවිශේෂි අංගයක්‌ වන චිත්‍ර, කැටයම්, මූර්ති හා ගොක්‌a කලාවන්ද වේ.

ඒ නිසාම හෙළ ජන ජීවිතය හා බද්ධ වූ හෙළ ශන්ති කර්ම, සමන් කලාව නර්තනයන්ට සම්බන්ධතාවක්‌ පවතින බව වංශකතා වලින් හෙළිව ඇත. එලෙස ඇරැඹි සබරගමු නර්තන කලාව මහින්දාගමනයෙන් පසුව බෞද්ධ සංකල්ප ඔස්‌සේ සම්මිශ්‍ර වෙමින් පැවැතෙන්නට විය.

එම බෞද්ධ සංකල්ප වඩාත් ඉස්‌මතු වූයේ ශ්‍රී දළදා වහන්සේ සම්බන්ධයෙනි. එයට හේතු පාදක වූයේ කෝaට්‌ටේ වැඩ සිටි ශ්‍රී දළදා වහන්සේ අනාරක්‌ෂිත බව වටහාගත් හිරිපිටියේ රාළ දැනගත් විගස අතිශයින් රහසිගතව මාතර, දෙනියාය, රක්‌වාන, රඹුක, කලවාන, හංගමුව හරහා දෙල්ගමුව රජමහා විහාරයට වැඩම වූ බව ඓතිහාසික පුරා වෘත්තයකි.

එලෙස දළදා වහන්සේ වැඩම වීමේදී මඩුවන්වෙල රටේ රාළහාමි, පන හැටගල දහනක්‌ කෝරාළ, අරුක්‌ගොඩ කපුරාළ ආදී ප්‍රභුන් ආරක්‌ෂාව ලබාදී ඇත. එලෙස ආරක්‌ෂාව ලබා දීමට ප්‍රධාන කටයුතු කර ඇත්තේ මඩුවන්වෙල රටේ රාළගේ අංගම්පොර සටන් ශිල්පීන් බව නොරහසකි.

දෙල්ගමුව විහාරයේ වැඩසිටි දළදා වහන්සේට සියලු පුද සත්කාර ලැබුවත් හරියාකාර දළදා පෙරහැරක්‌ පැවැත්වීමට අවස්‌ථාවක්‌ නොවීය. එම අඩුව සම්පූර්ණ කළේ සමන් දේවාලයෙනි. සබරගමු නැටුම් හා සම්බන්ධ මාත්‍රා 5 ක නැටුම් සබරගමු මහා සමන් දේවාලයේ වාර්ෂික පවත්වන ඇසළ උත්සවයේ අවස්‌ථා 5 කට උචිත පරිදි සකසා ඇති බව ඇසළ පෙරහැර සම්බන්ධ වාර්තාවල සඳහන් වේ.

සබරගමු ගුරු කුල වෙන වෙනම සැකසුණු ගායනා ක්‍රම, වාදන ක්‍රම, නර්තන ක්‍රම දක්‌නට ලැබේ. විශේෂයෙන් සබරගමු නැටුම්වලට ආවේණික පෙරහැර නැටුම් ක්‍රමයක්‌ නිර්මාණය විය. එය ශ්‍රී දළ¹ වහන්සේ දෙල්ගමු රජමහා විහාරයේ සිට සමන් දේවාලයට වැඩමවීම පසුබිම් කොට ගෙනය. එය කෝට්‌ටේ යුගයේදී රචනා කරන ලද කියමන් හා නැටුම් ක්‍රම පෙළ ගැස්‌මක්‌ ඇත. එම පෙළ ගැස්‌ම දොළොස්‌ (12) ආකාරයක්‌ වේ.

1. තුණුරුවන් නමස්‌කාරය

2. අවසර ගැනීම

3. කරඬුව හිස මත තැබීම

4. මංගල දවුල් බෙර වාදනය

5. ධාතු විස්‌තර සිංදු

6. ධාතු විස්‌තර කවි

7. සක්‌ පිඹීම

8. මුදු පද ගායනාව

9. බෝධි සත්ව සිංදු

10. අට දිග ගැසූ පද

11. දැකුම් අත්

12. වැ\ම් අත් සහිත ආ වැන්ඳුම් පදයෙන් පෙරහැර ගෙට ගෙවදී

සබරගමු නැට්‌ටුවා (විශේෂයෙන් මලල් වෙස්‌ නැට්‌ටුවා) කිසි විටෙකත් පුද්ගලයන් පෙරටු කරගෙන නටනු නොලබති. ඔවුන් රඟ දක්‌වන්නේ තුනුරුවන් විෂයෙහි සහ දෙවියන් ඉදිරියේ පමණි.

මෙසේ කල්යත්ම සීsතාවක රාජසිංහ රජතුමා විසිරී පැතිරී සිsටි සබරගමු නර්තන ශිල්පීන් කැඳවා සමන් දේවාල පෙරහැරට නැටුම් සම්බන්ධ කර ඇත. එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුළ ශ්‍රී දළ¹ වහන්සේ දෙල්ගමු විහාරයේ සිට රත්නපුර සමන් දේවාලයට පෙරහැරින් 11 වාරයක්‌ වැඩමවා ඇත. ඒ සඳහා නර්තන විලාශයෙන් ආරක්‌ෂිත රැකවරණය ලබාදී ඇත්තේ අංගම් පොර සටන් ශිල්පීන්ය. එම වැඩම වීමේදී ආරක්‌ෂාව පිළිබඳව විමසිල්ලෙන් සිටින ලද්දේ කොටි නැටුම් විලාශයෙන් රංගනයෙන් යෙදෙන සටන් ශිල්පීන්ය. කඩු, කිණිසි වැනි ආයුධ රැගෙන යන ලද්දේ කෙසෙල් පතුරු වැනි දේ තුළ සඟවාගෙන නර්තනයේ යෙදෙන ශිල්පීන්ය. එවැනි අනාරක්‌ෂිත බවක්‌ හැඟේ නම් එය දැනුම් දෙනු ලබන්නේ බෙර දවුල්වල නාද රටාවෙන් වීම අංගම් පොර සටන් කලාවේ උපක්‍රමශීලී භාවය වඩාත් තහවුරු වේ.

එමෙන්ම සමන් දේවාලය පෘතුගීසි ග්‍රහණයට ලක්‌වූවායින් පසු එම උවදුරෙන් මුදා ගැනීම සඳහා පෘතුගීසි බලකොටුවට සටන්කරුවන් ඇතුල් වී ඇත්තේ නර්තන විලාශයෙනි. පෘතුගීසි සෙබළුන් නැටුමට හා කරණම්වලට වශී වූ පසු ඔවුන් හා සටන් කර මුදාගත් බව පැවසේ. මේ සඳහා කුරුවිට රාළ, කුරුවිට තැඹිලියන රාළ, කහවත්තේ රත්න රාළ, කලවානේ දහනක්‌ කෝරාළ, ගම්මැද්දේ විදාන රාළ, පරගල රත්නරාළ, ප්‍රධාන අංගම් පොර සටන් ශිල්පීන් සහභාගි වී ඇත. එය සංකේත වන පරිදි පෘතුගීසි සෙබළෙකු හා සිංහල සෙබළෙකු සටන් වදින ආකාරය පිළිබිඹු වන පෘතුගීසි ලාංඡනයක්‌ සමන් දේවාල පිවිසුම් මළුවේ පියගැට පාමුල දකුණු පසින් දැකිය හැකිය. එපමණක්‌ නොව කටුවන පෘතුගීසි බලකොටුව බිඳීම සඳහා නර්තන විලාශයෙන් සබරගමු සටන්කරුවන් ඇතුළු වී ඇත්තේද මෙයාකාරවය.

දළදා වහන්සේ මහනුවරට වැඩම කළ දා පටන් අලි ඇතුන් සමඟ නර්තන ශිල්පීන් මුල් වරට ඉදිරිපත් කොට ඇත්තේ සබරගමුවෙනි. එම ශිල්පීන් අදත් බටුගෙදර, අංගම්මන, බලංගොඩ, කලවාන, දෙල්ගොඩ, ඇලපාත, අයගම වැනි ග්‍රාමයන්හි ශේෂව දැකිය හැකිය.

සබරගමුවේ ජනතාවගේ සිතුම් පැතුම් ගති සිරිත් සහ ජන ජීවිතයේ බොහෝ දැ සබරගමු නර්තනයෙහි ගැබ්ව ඇත.

එම නර්තන කලාවට නව ජීවයක්‌ ලබා දීමට දෙල්ගොඩ මහතාගෙන් පසුව කටයුතු කළේ කලාභූෂණ සම්මානලාභී නර්තන විශාරද ජී. වී. අබේරත්න මහතා යයි කීවාම වරදක්‌ නැත. ඒ මහතා වැඩි වෙහෙසක්‌ දරා සබරගමු පළාත් සභා ප්‍රතිපාදන මත සබරගමු නර්තන පාඨමාලාවක්‌ සකස්‌ කෙරුණි. සබරගමු නර්තනයට අනුබද්ධිත අංගම්පොර සටන් කලා පුහුණුව ඒ ඔස්‌සේ ලබා දුන්නේ අංගම් පොර සටන් විශාරද රාජා වික්‍රමආරච්චි මහතාගෙන් ලැබුණේ අනගි සහායකි. එහෙත් එම පාඨමාලාවෙහි පුහුණු වීම් සඳහා ස්‌ථානයක්‌ නොමැති කල්හි එවකට කෞතුකාගාර අධ්‍යක්‌ෂව සිටි සිරිනිමල් ලක්‌දුසිංහ මහතාගේ අනුමැතිය මත රත්නපුර ජාතික කෞතුකාගාර පරිශ්‍රය ඉඩ කඩා ලබා දුන්නේ ලියුම්කරු විසිනි. එයින් ඇරැඹි සබරගමු නර්තන කලාව සෞන්දර්ය විශ්වවිද්‍යාලය දක්‌වා පැතිර යාම සතුටට කරුණකි.

එපමණක්‌ නොව එම වකවානුවේදී රත්නපුර ජාතික කෞතුකාගාරයේ සබරගමු නර්තන මැදිරියක්‌ සකසා විවෘත කෙරිණි. ඒ සඳහා අවශ්‍ය සැලසුම්, පුස්‌තකාල පොත්පත්, ඇඳුම් පැළඳුම් හා භාණ්‌ඩයන් ලබා දුන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සබරගමු නර්තන අංශ ප්‍රධානී වික්‍රමසිංහ බංඩාර, ජී. වී අබේරත්න හා ඇලපාත කු. ගුණසේන මහතුන් බව සිහි ගැන්විය යුතුව ඇත. එය අදත් ප්‍රදර්ශනය කෙරේ.

මෙම පාඨමාලාවේ සාර්ථකත්වය මත එම වකවානුවේ සමන් දේවාල පෙරහැර අලංකාර වූයේද එලෙස පුහුණුවලත් නර්තන ශිල්පීන්ගේ නර්තනයන් නිසා බව කිව යුතුමය.

එහෙත් වර්තමානයේ එම නර්තන පුහුණු වීම් අතරමඟ නැවැතී ව්‍යාකුල තත්ත්වයකට පත්ව ඇත. එයට ප්‍රධාන හේතුවක්‌ වන්නේ විධිමත් සැලසුමකින් තොරව එම පුහුණු ශිල්පීන්ගේ සහාය නොගැනීම හා ප්‍රතිපාදන නොමැති නිසායි. එයද සබරගමු නර්තනයේ පැවැත්මට බාධකයක්‌ව පවතී.

සබරගමු නර්තනය නංවන්න ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ නොමැතිව ඊළඟ පරම්පරාවට දැනුමක්‌ ලබාදිය නොහැක. කුලභේද වැනි සමාජ අගතීන් නිසා පාරම්පරික නැට්‌ටුවාට සමාජ පිළිගැනීම හා ආර්ථික වටිනාකමක්‌ ලැබී නැත. පාරම්පරික නැට්‌ටුවන්ගේ දරු පරපුර මේ යථාර්ථය අත් දුටු බැවින් ඔවුන් වෙනත් වෘත්තීන් කරා යොමුවී ඇත. මෙය ඉතාම ෙ€දනීය තත්ත්වයක්‌ වන අතර මෙයට ප්‍රතිකර්මයක්‌ වන්නේ පාරම්පරික නැට්‌ටුවන්ගේ දරු පරපුර සතු කුසලතාවන් විධිමත් අධ්‍යයනයක්‌ ඔස්‌සේ වර්ධනය කිරීමට යාන්ත්‍රණයක්‌ සැකසීමෙනි.

මෙලෙස පාරම්පරිකව පැවැති සබරගමු නර්තනය ඉස්‌මතු කරමින් සමන් දේවාල ඇසළ පෙරහැර නිසි කලට, නිසි වේලාවට, නිසි අයුරින් පැවැත් වූයේ දිවංගත හිටපු බස්‌නායක නිළමේ තැන්පත් ඇන්ටන් තෙන්නකෝන් මහතා බව අදත් ජනතාව අගයකි. එමෙන්ම පෙරහැර සඳහා සහභාගි වන සේවා දායකයින් හා සියලුම නර්තන ශිල්පීන්ගේ සේවා සැපයීම් වෙනුවෙන් ප්‍රතිපාදන හා ඇගයීම් නිසි අයුරින් ලැබීම් නිසා පෙරහැර සාර්ථක වූ බව ඔවුහු අදත් පවසති.

එයින් පසුව වර්තමානය දක්‌වා ඉපැරණි සිරිත් විරිත් හා සබරගමු නර්තනයන් ගිලිහී යමින් නවාංග එකතු වෙමින් බජව්වක්‌ බව සමන් දේවාල ඇසළ පෙරහැර පත් වෙමින් පවතී. එපමණක්‌ නොව පෙරහැර දිනයන්හි සබරගමු නර්තනයේ ප්‍රභවය, විකාශනය හා සමන් දෙවොල ගොඩනැගී ඇති ආකාරය පිළිබඳ පුළුල් අධ්‍යයනයක්‌ විශ්ලේෂණාත්මකව මාධ්‍ය මඟින් හෙළි කිරීමට දැනුමැත්ත

මෙම හේතුන් නිසා සුවිශේෂි ගායනයන් සහිත සබරගමු නර්තනයන් වසරකට වරක්‌ හෝ බොහෝ අයට දක්‌නට ලැබුණේ සමන් දේවාල ඇසළ පෙරහැරෙනි. එයත් අහිමිව ඇත. මෙමඟින් හෙළි වනුයේ සබරගමු නර්තනයට සබරගමුවෙන් වත් ඉඩකඩක්‌ නොලැබෙන බවය. මෙය අදාළ බලවතුන්ගේ විශේෂ අවධානයට යොමු විය යුතු කරුණකි.

සබරගමු නර්තනය සුපෝෂණය කළ පුරෝගාමීන් අල්පයක්‌ දැනට ජීවතුන් අතර ඇත. ඒ අතර සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සබරගමු නර්තන අංශ ප්‍රධානී වික්‍රමසිංහ බංඩාර, ජී. වී. අබේරත්න, රාජා වික්‍රමආරච්චි, පරාක්‍රම නිරිඇල්ල, කු. ගුණසේන, ගලතුර පියදාස පතිරණ මහත්වරුන් ඉන් සමහරෙකි.

එහෙයින් අභාවයට යන සබරගමු නර්තන කලාව ගොඩනැංවීම සඳහා යෝජනා කිහිපයක්‌ ඉදිරිපත් කිරීමට මෙම ලිපිය මඟින් අවස්‌ථාවක්‌ ලබා ගන්නෙමි.

ඒ සඳහා කළ යුතු වන්නේ සබරගමු පළාත් සභාවේ මූලිකත්වයෙන් සියලුම නර්තන ප්‍රධානි හා විsයතුන් ඒකරාශි කර වැඩමුළුවක්‌ පවත්වා සියලු භේදයන් ඉවතලා නියමිත විෂය මාලාවක්‌ යටතේ සබරගමු නර්තන පුරුදු පුහුණු කර රාජ්‍ය නර්තන කණ්‌ඩායමක්‌ සකසා ඉදිරියට යා යුතුව ඇත.

එහෙයින් සබරගමු පළාත් සභාවේ විශේෂ අවධානය යොමු කර එහි ප්‍රතිපාදනයන් මත රත්නපුර කෞතුකාගාර පරිශ්‍රයේ ඉදිකර ඇති සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ සංස්‌කෘතික අමාත්‍යාංශය හා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් පුරුදු පුහුණු කළ හැකිව ඇත. එහි පුහුණු වීම් දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට නැරඹීමට ඉඩ සලසා රාජ්‍ය ආදායම වැඩි කරගත හැකිය.

එමෙන්ම රත්නපුර ජාතික කෞතුකාගාරයේ පිහිටුවා ඇති සබරගමු නර්තන මැදිරිය පුළුල් කර සංරක්‌ෂණ මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාලිය හැකිය. එවිට සබරගමු නර්තනය වඩාත් ඔප් නැංවෙනු ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ(-සබරගමු නාට්‍ය කලාව- ඊ. ඒ. දෙල්ගොඩ මහතා (1959)

මහාවංශය- බුද්ධදත්ත හිමි සංස්‌කරණය

ජී. වී. අබේරත්න මහතාගේ ලිපියක්‌

සබරගමු පැරැණි ලියවිලි- කිරිඇල්ලේ ඥන විමල හිමි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: