Posted by: lrrp | April 1, 2018

නැගෙනහිර පළාතේ පුරාවස්තු විනාශය

ඵෙතිහාසික දීඝවාපි පුදබිම, බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, රජගලතැන්න පුරාවිද්‍යා සංකීර්ණය, කුඩුම්බිගල තපෝවනය, තරුලෙන්ගල ආරණ්‍ය සේනාසනය, මඟුල් මහා විහාරය, මුහුදු මහා විහාරය, පියංගල ආරණ්‍ය සේනාසනය, සමන්ගල ආරණ්‍ය සේනාසනය වැනි ඵෙතිහාසික පුදබිම් දෙස බැලීමේදී අතීතයේ දිගාමඩුලු දිස්ත‍්‍රික්කය තුළ බෞද්ධ ප‍්‍රබෝධයක් තිබූ බව මොනවට පැහැදිලි වෙයි.

එලෙස අපේ මුතුන් මිත්තන් රැකගෙන ආ දිගාමඩුල්ලේ ශ‍්‍රී විභූතිය අද වන විට අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදෙමින් පවතින බව දිස්ත‍්‍රික්කය තුළ කරන ලද සංචාරයේදී දැකගැනීමට හැකි විය. අද වනවිට දිගාමඩුලු දිස්ත‍්‍රික්කය තුළ පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාම තැන් ගණනාවක් අන්‍යාගමිකයන් විසින් විනාශකර හමාරය.

මහා පරිමාණ වශයෙන් මෙම විනාශය පටන් ගන්නේ 1998 වසරේ හිටපු අමාත්‍ය අෂ්රෆ් මහතාගේ උපදෙස් අනුව දීඝවාපිය ප‍්‍රදේශයේ ඉඩම් බෙදීමක් සිදුවන අවස්ථාවකය. දීඝවාපියේ පුදබිමට නැගෙනහිර දෙසට වෙන්නට ඩෝසරයක හඬක් ඇසී දීඝවාපිය පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා හා එවකට දීඝවාපි පුරාණ රජමහා විහාරාධිපතිව සිටි නන්නපුරාවේ බුද්ධරක්ඛිත හිමියන් එම ප‍්‍රදේශයට ගිය විට විහාරස්ථානයට අයිති ඉඩම් බෙදීම සඳහා සූදානම් කරනු දැක එයට විරෝධය පෑමත් සමඟම මෙම සිද්ධිය රට පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. විවිධ සංවිධාන කොළඹදී අෂ්රෆ් ඇමැතිවරයාට විරුද්ධව විරෝධතාද පැවැත්වූ අතර පසුව අෂ්රෆ් අමාත්‍යවරයා එය නිවැරැදි කිරීමට කටයුතු කළේය.

දීඝවාපිය අවට ඇති ඉඩම්, ඉඩම් නැති අයට බෙදීමට උපදෙස් දුන්නත් විහාර භූමියේ ඉඩම් බෙදීමට තමන් අවසර නොදුන් බව පැවසූ අෂ්රෆ් ඇමැතිවරයා දීඝවාපිය විහාරස්ථානයේ ඉඩම් නිරවුල් කිරීමට ඔහුගේ අමාත්‍යාංශය යටතේ මුදල්ද වෙන් කරනු ලැබීය. සීමාවක්වත් නොමැතිව තිබූ දීඝවාපියේ ඉඩම් මැන වෙන්කර මායිම් දැමූ අතර දීඝවාපිය විහාරස්ථානයට ධර්ම ශාලාවක්ද, දාන ශාලාවක්ද ලබාදෙමින් වැරැද්ද නිවැරදි කරගත්තේය.
දීඝවාපියෙන් පසුව දැවැන්තම බෞද්ධ උරුමයන් සංහාරය සිදුවූයේ අක්කරපත්තුව ප‍්‍රදේශයේය. අක්කරපත්තුව – ආලියඩිවේම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඵෙතිහාසික දාගැබක් ඩෝසර් කර විනාශ කිරීමත් සමඟම නැවත වතාවක් අම්පාර දිස්ත‍්‍රික්කයේ උණුසුම් වාතාවරණයක් ඇති විය. 2012 වසරේ සැප්තැම්බර් මස මොට්ටයාගල පාමුල තිබූ ඉපැරැණි ගරා වැටුණු චෛත්‍යයක් එම ස්ථානයේ ගොවිතැන් කටයුතු කරන පුද්ගලයකු විසින් ඩෝසර් කර දමා විනාශ කෙරිණ.

මොට්ටයාගල යනු මහානාග, යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන අතීත නරපතීන්ගේ තොරතුරු ඇතුළත් සෙල්ලිපිවලින් යුක්ත ඉපැරැණි පුදබිමකි. මොට්ටයාපල්ලු, මොට්ටයාමල නමින්ද හඳුන්වන මෙම ඉපැරැණි ස්ථානයේ ඇති ගල් පර්වතයේ පියගැට පෙළවල්, කටාරන්, ලෙන්, පොකුණු සංකීර්ණ හා ගල් පර්වතය මුදුනේ ඉපැරැණි දාගැබ් හා ගොඩනැගිලිවල සලකුණු අදද දක්නට ලැබේ.   මෙම ස්ථානයේ මෙම චෛත්‍යය විනාශ කරන ලද්දේ මොට්ටයාගල ගල පාමුල ඇති කුඹුරු යායේ හිමිකරු වන මුස්ලිම් ජාතිකයෙකි. ඔහු තම කුඹුරු පුළුල් කිරීමට මෙම චෛත්‍යයද ඩෝසර් කර තිබේ. පසුව පොලිසිය

සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්ව මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රු. 25000 බැගින් දඩ නියම කර මුදාහැරියේය. මෙම සිදුවීම වී වසර 06ක් ගතවී ඇතත් මෙම ඵෙතිහාසික ස්ථානය කැණීම් කර රැකගැනීමට මෙතෙක් වැඩපිළිවෙළක් නම් දිස්ත‍්‍රික්කය තුළ ව්‍යාප්ත වන බවක් පෙනෙන්නට නැත.

ක‍්‍රි.පූ. යුගයේ සිට සශ‍්‍රීකත්වයට හා ජනාවාසයට පත් වූ බවට මොට්ටයාපල්ලම සෙල්ලිපි හා නටබුන් කදිම සාක්ෂියකි. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වන මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් විසින් රචිත Imrscrittion of Ceylon Part – 01 හි ග‍්‍රන්ථයේ 487 වෙනි සෙල් ලිපියේ මෙම දසභානිකයන් ගැන සඳහන් වෙයි. එම සුවිශේෂී සෙල්ලිපිය මොට්ටයාපල්ලු පර්වතයේ පිහිටා ඇත.

“දශබතික රණඣ වක – ණය උපරඣ නාග උපරඣ තිසහ විහරේ අගථ අනගථ වේකු සගස නියෙ.”

දසභානික පරම්පරාවට අයත් (කතරගම ක්‍ෂත‍්‍රීයන්ගේ පරම්පරාව විය හැකිය) උපථර නාග නාග නම් රජකෙනෙක් ගමිණි තිස්ස විහාරය කරවා පැමිණ නොපැමිණ පූජා කළ බව මෙයින් කියැවේ.

මෙම දසභානිකයන් සම්බන්ධ ගිරි ලිපිය නිසා මෙම ස්ථානය ඵෙතිහාසික බව ක‍්‍රි.පූ. තුන් වන සියවස හෙවත් මහින්දාගමනය සිදුවූ වකවානුව දක්වා ඈතට දිව යයි. එය පුරාවිද්‍යා මූලාශ‍්‍රයකින් සනාථ වන අවස්ථාවන් ලෙස මෙම මොට්ටයාපල්ලු ගිරිලිපිය සුවිශේෂී විය.

 

එවන් ස්ථානයක් වන මොට්ටයාගල පුරාවිද්‍යා රක්ෂිතය අදටත් ඇත්තේ අනාරක්ෂිත තත්ත්වයකය.

මොට්ටයාගල සෑය විනාශ කර මාස කිහිපයක් ගත වනවිට තිරික්කෝවිල් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාගම ප‍්‍රදේශයේ තවත් විහාරස්ථානයක් හරි මැදින් ඩෝසර් කර විනාශ කිරීමට තරම් ම්ලේච්ඡ විය. වට අඩි 400ක් පමණ වූ මෙම දාගැබ හරි මැදින් විනාශ කර එහි තිබූ පුරාවස්තුව පැහැරගෙන ගොස් තිබුණි. එය මෙම ප‍්‍රදේශයේ සිදුවූ තවත් විනාශයකි. මෙම සිදුවීමේදීද දෙමළ ජාතිකයන් 7 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. එසේ අත්අඩංගුවට ගැනීම සිදුවූවත් චෛත්‍යයට සිදුවී තිබූ බරපතළ විනාශය මිල කළ නොහැකි තරම්ය.

ඉන් මාස කිහිපයකට පසුව සංවිධානාත්මක පිරිසක් විසින් සාගම වැවට බස්නාහිර දෙසින් මහා වනය තුළ තිබූ තවත් දාගැබක් හාරා එහි පුරාවස්තු සොයා තිබේ. මෙම විනාශය කරන ලද සැකකරුවන් කිසිකෙනෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ඉන්පසුව මෙම පුරාවිද්‍යා විනාශය යොමුවන්නේ අක්කරපත්තුව වට්ටමඩුව දෙසටය. වසර ගණනාවක් දෙමළ ජාතිකයන්ගේ හරකුන්ට කෑම දැමීම සඳහා වෙන්කරන ලද තෘණ භූමියද පසු කලෙකදී අක්කරපත්තුවෙන් පදිංචි පිරිස කුඹුරු වගා කිරීමට පටන් ගත්තේය.

මෙම ප‍්‍රදේශය අවට ඵෙතිහාසික පුරාවිද්‍ය උරුමයන් රැසක් ඇති ප‍්‍රදේශයකි. මෙම පුරාවිද්‍යා භූමිය තුළ වසර 200කට පමණ පැරැණි තමන්ගේ සොහොන් බිමක් තියෙන බව පවසමින් මුස්ලිම් ජාතිකයන් පිරිසක් මෙම ස්ථානයේ තිබෙන ඵෙතිහාසික ගල් කණු සිටුවා පල්ලියක් ලෙස යොදා ගනිමින් තම ආගමික කටයුතු කරන්නට පටන් ගත්තෝය. මෙම තොරතුරු දැනගත් විගස ප‍්‍රදේශයේ නායක හිමිවරුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී මෙම නීතිවිරෝධී ක‍්‍රියාව නවත්වන්නට කටයුතු කළේය. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැමිණ මෙම ස්ථානයේ ක්‍ෂේත‍්‍ර චාරිකාවක් කර එම ගල් කණු පෙර රජ දවස එම ප‍්‍රදේශයේ තිබූ විහාරස්ථානයක නටබුන් බවට තහවුරු කරගෙන එම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට මේ වනවිට වෙන්කරගෙන ඇත.

වට්ටමඩුව ප‍්‍රදේශයේ ඇති ඉඩම් තමන්ගේ පරම්පරා ඉඩම් යයි පෙන්වීමට මෙම ඵෙතිහාසික නටබුන් යොදා කිරීමට ගිය කුමන්ත‍්‍රණය නතර කිරීමට ප‍්‍රදේශයේ මහා සංඝරත්නයට හැකිවිණ. මෙම ස්ථානයේ විශේෂ ආගමික මෙහෙයක් පැවැත්වීමට සංහිඳියාව ගැන නිතර කතාකරන හකීම් ඇමැතිවරයා ද සහභාගිවීම තුළ නැගෙනහිර බෞද්ධ උරුමයන්වලට යන කලදසාව පිළිබඳව අපට ඇත්තේ කණගාටුවකි.

නැගෙනහිර භූමියේ ඉතා පැරැණිම පුදබිමක් වන මුහුදු මහා විහාරය අන්‍ය ආගමික ආක‍්‍රමණයට ලක් වූ ඵෙතිහාසික පුදබිමකි. මෙහි අවට පදිංචිව සිටින මුස්ලිම් ජාතික අනවසර පදිංචිකරුවන්ගෙන් විහාරස්ථානයට බොහෝ බලපෑම් එල්ල වී තිබේ. අක්කර 264ක පමණ උරුමයක් සහිත මුහුදු මහා විහාරය 1965 වසරේ ගැසට් නිවේදනය අනුව අක්කර 30කට අඩු වී විහාරය සතුව අදට ඉතිරිව ඇත්තේ අක්කර 3ක පමණ වන භූමි භාගයකි. ඉතුරු සියලු ඉඩම් ඒ අවට වැසියන් අත්පත් කරගෙන නිවාස සකස්කර අවසන්ය.

ඉතා වටිනා පුදබිමක් වන මෙම ස්ථානයේ පූර්ණ පුරාවිද්‍යාත්මක කැණීමක් කිරීමට අවශ්‍යව ඇතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එය මෙතෙක් සිදු නොකිරීම තුළ ගම්‍ය වන්නේ මුහුදු මහා විහාරය නොසලකා හැරීම බව ප‍්‍රදේශයේ ජනතාව පවසන කරුණකි. මුහුදු මහා විහාරය අවට ඇති වැලි කඳු යට මෙහි ඉතිහාසය යට වී ගොසින් තිබේ. එය නැවත මතුකර ගැනීම එක්තරා විදිහක සංග‍්‍රාමයක් බව කිව යුතුව ඇත. අද වනවිටද මුහුදු මහා විහාරය අවට ඇත්තේ මුහුදු මහා විහාරයට අනාරක්ෂිත පරිසරයකි.

අවසාන වශයෙන් මතුවූ ගැටලුව ආරම්භ වූයේ ඓතිහාසික දීඝවාපිය පුදබිමට යන මාර්ගයේ මාණික්කමඩුව පුරාණ රජමහා විහාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමත් සමඟ වේ. ඓතිහාසික දීඝවාපිය රජමහා විහාරයට තවත් පරිවාර චෛත්‍ය ගණනාවක් තිබූ බව පොතපතේ සදහන් වේ. ඉන් එක ස්ථානයක් ලෙස ඓතිහාසික මාණික්කමඩු පුදබිම සඳහන් කළ හැකිය. මෙම ගල්කන්ද මත ගරා වැටුණු චෛත්‍යක නටබුන් ඇති අතර ගල උඩට යෑමට ගල් පඩිපෙළවල්ද කපා තිබේ.

මෙම විහාරස්ථානය නැවත ආරම්භ කිරීමට සූදානම් වූවත් වරිපතන්චේන ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින් පිරිසක් මාණික්කමඩු පුදබිම අවට තමන්ට ඉඩම් තිබෙන බව පවසමින් එයට විරෝධය පෑමත් සමඟ එම ස්ථානයේ විහාරස්ථානයේ ඉදිකිරීම් තාවකාලිකව නතර වී ඇත. පවතින තත්ත්වය පිළිබඳව අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ මහතාද මෙයට මැදිහත් වූ අතර මෙම ගැටලුව නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ කාමරයේ වසරකට ආසන්න කාලයක් සිර වී ඇත.

වසර 2000කට වැඩිය හිමිකම් කියන මෙම පුදබිම යුද්ධය ආරම්භ වීමට පෙර හිමිනමක් එම ස්ථානයේ වැඩසිටි බව ගල්කන්දේ විවිධ ස්ථානවල ඇති නෂ්ඨාශේෂ වී තිබූ බුදු පිළිමවලින් පැහැදිලි වේ. මෙම ඓතිහාසික පුදබිම නැවත ආරම්භ කිරීම තුළින් වෙනත් ජාතියකගේ සිත රිදෙන නිසා මෙයට අවස්ථාවක් නොදී සිටින්නට ආණ්ඩුකාරවරයා උත්සාහ දරන බව ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ප‍්‍රකාශ කර සිටී.

අම්පාර මහාවාපී විහාරාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති, පුලුකුණාව රජමහා විහාරාධිපති, දිගාමඩුල්ල ත්‍රෛනිකායික භික්ෂු සංවිධානයේ සභාපති ශාස්ත‍්‍රපති කිරිඳිවැල සෝමරතන හිමි : “වසර ගණනාවක සිට නැගෙනහිර පළාතේ ඓතිහාසික ස්ථාන විවිධ පුද්ගලයින් විසින් විනාශ කරනවා. අපි මේ පිළිබඳව මාධ්‍යයට කිව්වා. උපවාස කළා. සත්‍යග‍්‍රහ කළා. නමුත් මෙම ස්ථාන නිසි අයුරින් ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් අද වෙනතුරු සකස් වෙලා නැහැ. ප‍්‍රදේශයේ මහා සංඝරත්නය හැටියට අපි මේ පිළිබඳව කණගාටු වෙනවා. පුරාවස්තු විතරක් නෙවෙයි මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලයන් සිද්ධවෙනවා.

අක්කරපත්තුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දමන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම්වලට බලපත‍්‍ර දෙනවා මේ වගේ දේවල් සිද්ධ වුණත් පාලකයින් නිහඬයි. අපි දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාටම සමගියෙන් ඉන්න පුළුවන් හැබැයි, ඒ සංහිඳියාව නැති කරන්නේ දේශපාලනඥයින්.

සුනාමිය ආපු වෙලාවේ ඇඳිවතින් ආපු මුස්ලිම්, දෙමළ අයට ආරක්ෂාව දුන්නේ අපි. ඔවුන්ට දින ගණනාවක් කන්න දුන්නා. ආරක්ෂාව දුන්නා. ඒ අය ඒක දන්නවා. නමුත් මේ දේශපාලනඥයින් අපි අතර තියෙන සමගිය නැති කරලා, ඔවුන්ගේ පහත් අරමුණු ඉෂ්ඨ කරගන්න අහිංසක ජනතාව බේද කරනවා. අම්පාර දිස්ත්‍රික්කයේ මඩකලපුව දිස්තික්කයේ ඇති හඳුනාගෙන තියෙන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන්න පැහැදිලි වැඩ පිළිවෙළක් තිබිය යුතුයි. එසේ නොකළහොත් මේ සියලු ස්ථාන ගල්කොරි වෙන එක නවත්වන්න අපිට බැහැ.

අපි පවතින තත්ත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නය සමඟ කතා කරලා සියලු ආගමික නායකයින් සමඟ පවතින තත්ත්වය පිළිබඳව කතාකරනවා. ඒ අයට අපේ උරුමයන් පිළිබඳව ඇති වටිනාකම පහදල දෙනවා. අපිට වෙනත් කිසිම ආගමක් එක්ක හෝ ජාතියක් එක්ක තරහක් වෛරයක් නැහැ. හැබැයි කව්රුන් හෝ අපේ බෞද්ධ උරුමය විනාශ කරලා නැගිටින්න හදනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම නීතිය කියන එක හැමදෙනාටම එකක් විය යුතුයි. මේ රටේ නීති දෙකක් තියෙන්න බැහැ.”

අම්පාර මඩකලපුව දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක හිමිදුරාව ශ්‍රී සුමංගලාරාමාධිපති ගිරිතලේ ගුණානන්ද හිමි : “නැගෙනහිර පළාතේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ හැටියට අපි කවදාවත් වෙනත් ජාතියකට වෙනත් ආගමකට හානියක් වෙන අයුරින් කටයුතු කරලා නැහැ. නමුත් අපේ බෞද්ධ උරුමයන්වලට නැගෙනහිර පළාතේදී අන්‍ය ජාතිකයින් විශාල වශයෙන් හානි සිදුකර තියෙනවා. එතකොට සිංහල ජන සමාජය තුළ විනාශයන් කරන අය පිළිබඳව ඇතිවන්නේ වෛරයක්. මේ තත්ත්වය පාලනය කරන්න අපි වගේම අනිත් ආගම්වල නායකයින් ඒ ඒ ආගම් පිළිබඳව ඒ අයගේ උරුමයන් පිළිබඳව තමන්ගේ ජනතාව දැනුම්වත් කළ යුතුයි. අපේ රටේ තියෙන පුරාවස්තු ආරක්ෂා කරන්න නිසි වැඩපිළිවෙළක් තවම නැහැ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපේ උරුමයන් ආරක්ෂා කරන්න මීට වඩා කැපවිය යුතුයි. හැම පුරාවිද්‍යා ස්ථානයකටම දිවා රාත‍්‍රි සේවකයින් යෙදවිය යුතුයි. අවුරුද්දකට වරක්වත් අලුත් කැණීම් කරලා මේ ඉතිහාසය පිළිබඳව තව තවත් දේවල් සෙවිය යුතුයි. ඒ සඳහා රජයේ වගකීමක් වෙනවා. පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට අවශ්‍ය පහසුකම් සපයන්න රජය කටයුතු කළ යුතුයි. ඇමැතිවරුන්ට කෝටි ගණන් සල්ලි ගෙවල ප‍්‍රාඩෝ ගේනවට වැඩිය නරකද අවුරුද්දකට එක පුරාවිද්‍යා ස්ථානයක් හදන එක. ඒක නිසා නැගෙනහිර පළාතෙන් විනාශ කරන්න හදන අපේ උරුමය රකින්න ආණ්ඩුව කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. එසේ නොකර සංහිඳියාව හදන්න උත්සාහ කරනවා නම් ඒක විහිළුවක් ලෙසයි මම දකින්නේ. අපි බෞද්ධ භික්ෂූන් වහන්සේලා වශයෙන් නැගෙනහිර වෛරය වපුරන්න හදන්නේ නැහැ. හැබැයි මේ වගේ දේවල් වළක්වන්න කෙලින් තීරණ ගන්න නායකයෙක් රටකට අවශ්‍ය වෙනවා වර්තමාන පාලකයන්ගෙන් අපිට ඒවා සිදුවෙන බවක් පේන්නේ නැහැ.”

මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් : “නැගෙනහිර පළාතේ ඇති ඓතිහාසික ස්ථාන ගවේශනය කරන්න අපි ආරම්භ කළා. අම්පාර සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවල ගවේශනය කරල අවසන් ත්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ තවම ගවේශනය කරනවා. අම්පාර දිස්ත‍්‍රික්කයේ රක්ෂිත කැලෑවල තිබෙන ස්ථාන ගවේශනය කරන්න තියෙනවා. දැනට හඳුනාගෙන ඇති ස්ථාන පුරාවිද්‍යා නාමපුවරු සවි කරන්න සියලුම කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ වගේම අපේ දෙපාර්තමේන්තුවට සේවක ගැටලුවක් තියෙනවා. අපි මේ පිළිබඳව තොරතුරු රැස් කරලා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරියේදී ඒ කාර්යයන් ඉටුවෙයි කියලා අපි විශ්වාශ කරනවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට පළාත් අධ්‍යක්ෂකවරුන් සහ දිස්ත‍්‍රික්කවලට සහකාර අධ්‍යක්ෂකවරුන් පත් කරන්න කියන යෝජනාව අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒකත් පිළිඅරගෙන තියෙනවා. මේ අඩුපාඩු සපුරා ගත්තට පස්සේ අපිට රට පුරා විශාල සේවාවක් ලබාදෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: