Posted by: lrrp | April 3, 2018

ගන්නෝරුවේ මහ සටනට නැකත හැදූ විදාන දුරයාගේ පරපුර

ඉතිහාසයේ නම තැබූ පරම්පරාවක කතාව  

මහනුවර යුගයේ සිටි රජවරුන් හට නැකත්වරුන් සහ නැකත් උපදේශකවරුන්ද සිටි බව ප‍්‍රකටය. දෙවැනි රාජසිංහ රජුට ගන්නෝරු සටන දිනීමට සටන් පෙරමුණට යාමට ජයග‍්‍රාහී ඉදිරි පියවර තබා ඇත්තේ නැකත්කරු දුන් පුසේ නැකතින් බවත් ඒ අනුව රජු සටන දිනා දුන් රත්නතිලක විදානදුරයාට සන්නසකින් ගම්වර දුන් බවත් සඳහන් වෙයි.

කන්ද උඩරට රාජධානියේ 1635-1687 දක්වා කාලය තුළ වසර 50ක් රජ කරන ලද දෙවැනි රාජසිංහ රජු, දුටුගැමුණු පැරකුම්බා වැනි ශ්‍රේෂ්ඨ රජුන් ගණයට වැටෙන රණශූරයෙකි. එතුමාගේ කාලයේ පෘතුගීසි දියෝගෝද මැලෝ ආණ්ඩුකාර තැන විසින් සිංහල රජුට විැරද්ධව උඩරට බලා මෙහෙයවන ලද 28700ක් යුද හමුදාවක් සමඟ 1638 මාර්තු 28 දින ගන්නෝරුවේදි බිහිසුණු සංග‍්‍රාමයක් ඇතිවිය.

මෙම සටනේදී ප‍්‍රතාපවත් දෙවැනි රාජසිංහ රජුගේ සිංහල සේනාව ප‍්‍රතිකාලූන් අභිබවා ඔවුන් සුණු විසිණු කොට සටන ජයගෙන ඉතිරි වූ ප‍්‍රතිකාලූන් තිස් දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. දෙවැනි රාජසිංහ රජු ගන්නෝරුව සටන ආරම්භ කර ඇත්තේ නැකතකින් බව කියවෙයි. සටන ජයග‍්‍රහණය කළ පසු රජතුමා විසින් එම නැකත සාදා දුන් ‘‘මුතු ගල් පෙඩි ගේ රත්න තිලක විදාන දුරයාට’’ සන්නසකින් ගම්වර දෙවා වදාරන ලදී.
මෙතරම් වැදගත් තඹ සන්නස මීට වසර කිහිපයකට පෙර විනාශ වෙන්නට ඉඩ තිබූ බව කියනු ලැබේ. මුතුගල් පෙඩි ගේ පරම් පරාවෙන් පැවත ආ එම සන්නස අන්තිමේදී එම පරපුරේම කට්ටඩි කම් දන්නා කෙනෙකුට හිමිවී ඇත. නිකන් තිබෙන සන්නසින් වැඩක් ගැනීමට කල්පනා කළ ඔහු දිනක් එම සන්නස උණු කරවා බණ්ඩි වළලු සෑදීමට සුදානම් වී තිබේ. ඒ බව දුටු ඔහුගේ භාර්යාව වළලු සැදීමට වෙන දේවල් තිබියදී පරම්පරාවෙන් එන එම සන්නස උණු කරන්නට හොඳ නැති බවත් ඕක ඔහේ තිබුණාවැයි කියා හරස් කැපීම නිසා අටුව තුළට දමා තබන ලදැයි කියති. එදා ස්ත්‍රිය හරස් නොවන්නට හැඳිමිටේ දිග නොවුනට සන්නස රැකී තිබේ. එසේ යන්තම් බේරුණු සන්නස අටුව තුළ දමා තිබෙන අතර පැරණි ඉතිහාසය ආදියේ වටිනාකම දන්නා වෙද මහතෙකු විසින් මිලදී ගෙන සන්නසේ සඳහන් කරුණු පිටපත් කර මුතුගල් පෙඩි ගේ කීප දෙනෙකු අතර ලබාදුන්නත් සන්නසට වූ දෙයක් මෙතෙක් සොයාගැනීමට නොහැක.

එම සන්නසේ සඳහන් වෙන්නේ මෙසේය.

 ‘‘සිංහල දේශය, රාජසිංහ රජ ශකවර්ෂ එක්දහස් පන්සීය පනස් අටය මැදින් දින පුර තියවක රිවි දින පුසේ නැකත’’ ගන්නෝරුවේ සටනට රජ පෙරමුණට ආධාර කළ හෙයින් සටන ජය ගත්තා හා ආධාර ආරක්‍ෂා කළ අය මුතු ගල් පෙඩි ගේ රත්ත තිලක විධාන දුරයාට හිමිකර දෙන නියන් ගම පිහිටි රට ආරගොඩ දෙවා වදාරන ලදී. ඔහුගෙන් පැවත එන මේ ගම වාසගම ඇති අයට ඉර හඳ ඇති තාක් කල් අනකරවා ඒ අණ පිල්ලෑ කනත්තේ වෙල් යායේ ගලෙන් සටහන් කරන ලදී.’’

රාජසිංහ අණ ඉරහඳ පවතිනා තුරා බැබලීමට මුතුගල් පෙඩි ගේ රත්න තිලක විධාන දුරයාගේ පෙළපත සකවර්ෂ එක්වාදහස් පන්සීය පනස්අට වැනි වර්ෂයට පැමිණි මැදින් පුර තියවක ලත් රිවි දින පුසේ නැකතින් ගන්නෝරුවේ සටනට රාජසිංහ රජ තුමන් වැඩිය දින මුතුගල් පෙඩි ගේ රත්නතිලක විධාන ධුරයා කළ මුල් අාධාරයෙන් සටන ජයගත් සේක. එම සටනට මුල් ආධාර වූ රත්නතිලක මුතුගල් පෙඩි ගේ විධාන දුරයාට රාජසිංහ රජ කරුණා කර දෙවා වදාරන නින්දගම නම් පිහිටි රට උඩපොල ඔතට කෝරළයේ ආරගොඩ එකී ගම සන්නස කොට දෙවා වදාරා එම ගමට ඔහු අතු හම් කැඩු මායිම් නම්, නැගෙනහිරට වල්ගම් යන ගම යන ගමද බස්නාවට පොල්පිටියද පිළිවෙලින් මොරහැල කන්දෙන් වැල්ලැවද එයින් බටගොඩ මායිමද, උතුරට හතර කෝරළයට අයිති ගං මායිමද දකුණට ගොඩිගමුව යන ගමද මෙහි තුළ වැදීගමට දකුණු කොන පිල්ලෑ කනත්තේ ගල්පොත්තේ කිරිබත් කැටය කෙක්ක රාජ සිංහ රජතුමාගේ රාජ පලිස, බජ්ජන් ඇල්ල, විධාන දුරයාට රජගෙන් ලැබුණ හත්පොට මුතු මාලය අන්දම එම ගලේ විජේන්ද්‍ර යන ගල්වඩුවා විසින් සටහන් කර රත්න තිලක විධාන දුරයාට බාර දෙන ලදී. ඉරහඳ, ලකුණද සලකුණු කරන ලදී.

මේ ඉරහඳ පවත්නා දෙයකට ඔහුගෙන් පවතිනා අයට වලංගු වෙන ලෙසටද අන් කිසිවෙකුට වලංගු නැති ලෙසටද මෙම ගම වාසගම යම් රජකාලයකදී කොයි රජ කෙනෙකුටවත් එහි අනකදිවත් සැලකර සිටියහොත් උන් ඉල්ලන තනතුරක් දී උන් කී කරුණු ඉෂ්ට කර දෙන ලෙසටද මේ පියසෙන් කිසිම දෙයක් හින්න කර දෙන්නට බැරි ලෙසටද යම් රජ පෙරමුණකට හෝ රාජ සභාවට යාමට ගජලත් තොප්පියක්ද කෝප්ප හැට්ටයක්ද මේ වැර වේවැලක්ද හත්පොට මුතුමාලයක් පැලඳීමට අනද, ඔවුන් හට දළඳා මාලිගයේ වැඳීමට යන සෑම ගමනට ඇතින්නක් පිටින් සහ කැමැති වාහනයකින් පෙරට කොඩි කඩු කස හතර හතර සහ පංච ගීතයෙන් යෑමටද අණද අහරගොඩ ගම වාසගම වීමට එකී දුරයා පෙලපතින් අණ නැතිව විසීම බැරි බවද උන්ට වලංගු නැති අය එම පියසේ අකටයුතු කළහොත් තද අච්චු දෙන ලෙසටද රාජසිංහ රජතුමා විසින් රාජ සභාවේදී ඉහත කී විධාන දුරයාට කියවා සන්නස් කර දෙවා වදාරන ලදී.

දෙවැනි රාජසිංහ රජු නැකත්කරුට දුන් ගම්වරය සොයා යාමට මම තීරණය කළෙමි. රඹුක්කන සහ පොල්ගහවෙල අතර මෙම ගම්පියස පිහිටා ඇත. අහරගොඩ හන්දියෙන් මුතුගල වලව්ව පසු කර කිලෝමීටර දෙකක් පමණ දුරක් ගෙවා ගොස් බැලූ පසු ගම්මුන්ගෙන් ලද තොරතුරු මත මුතුගල් පෙඩි ගේ රත්නතිලක විධාන දුරයාගේ හත්වැනි පරම්පරාව වූ මුතුගල් පෙඩි ගේ සිරිසේන ශාන්තිකර්ම වේද මහතාගේ නිවස සොයාගැනීමට හැකිවිය. සිරිසේන වෙද මහතා මුණ ගැසුනෙන් ඔහුගෙන් ප‍්‍රකාශ වූ තොරතුරු සහ වෙද මහතාගේ දියණිය ප‍්‍රකාශ කළ ආකාරයට සන්නසේ ගම්වරය මුතුගල පිළිබඳව දැකීමේ නොතිත් ආසාව සපල වෙන බව තේරුම් ගැනීමෙන් සතුටට පත්වූයේ ගවේෂණයේ ප‍්‍රතිඵල ලැබෙන බව දැනුණ බැවිනි.

සිරිසේන වෙද මහතා නැකත් ශ‍්‍රාස්ත‍්‍රය අනුව නිවාස ඉදිකිරීමට බහිරව පුජා තැබීම, ශාන්තිකර්ම, දරුඵල නොමැති කාන්තාවන්ට යහපත් ශාන්ති කර්ම කරන බවත් විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් ප‍්‍රධාන තැනක් ගන්නා බවත් ඔහු සොයා මුස්ලිම් කාන්තාවන් විශාල වශයෙන් පැමිණෙන බවත් කීය. මේ වනවිට තමා වයෝවෘද්ධව සිටින හෙයින් ශාන්තිකර්ම නොකරන බවත් කියා සිටි වෙද මහතාගේ කතාවේ අඩුව සම්පුර්ණ කළේ ඔහුගේ තනියට සිටින දුවනියයි. අැය කුඩා කළ මුතුගලට පියා සමග ගොස් ඇති බවත් මුතුගල අසල කුඹුරක්ද ඔවුන්ට තිබුණ බවත් කියයි.

සිරිසේන වෙද මහතා කියා සිටියේ අනේ මහත්තයෝ අපේ අයගේ මුතුන් මිත්තන් ගේ නෝන්ජල් නිවට බවෙන් ප‍්‍රයෝජනය ගත් එදා ප‍්‍රභූන් අපට දුන් ගම්වර දේපල කොල්ල කා මුතුගල අසල තිබූ කුඹුරක් ළඟම ඇති වලව්වට මාරු කරවා ගත්තා. අපේම ජාතිය අපට වළ කපනවා. ජාතියක් වශයෙන් දණින් වැටී ජීවත් වෙන්න බැරි බව දැනගත් මුතුන් මිත්තෝ රජුට පක්‍ෂපාතීව කටයුතු කළා. එම නිසා තමයි ගන්නෝරු සටනට ජයග‍්‍රාහි නැකත හදලා දීලා පරංගි සමූල ඝාතනය කර ජයග‍්‍රහණය කළ බව කියා සිරිසේන වෙද මහතා කීවේය. කැලෑ නියරවල් දිගේ ආරගොඩ පිල්ලෑ කනත්ත කුඹුරු යායේ කිලෝමීටරයක් පමණ දුරක් ගිය පසු කුඹුරු යාය මැද උස් වූ කුඩා ගල්තලාවක් වෙයි.

අපට මග පෙන්වූ ඔහුගේ දියණිය පෙන්වා සිටියේ සලකණු තිබූ සෑම තැනකම ගල හිල්කර වෙඩි දමා ඇති ආකාරයයි. හත්පොට මුතු මාලය, ඉරහඳ, රජුගේ සැරයටිය, රජුගේ ලාංඡනය වූ කිරිබත් කැටය කිසිත් නැත. රාජකීය ලාංඡන දැකගැනීමේ අාසාවෙන් ආරගොඩ මුතුගල සොයා ගියත් එය සදහටම මකා දමා ඇත.

ගන්නෝරු සටනේ ප‍්‍රධානත්වය නැකතට හිමි කර දෙමින් ගන්නෝරු සටනේදී දෙවැනි රාජසිංහ රජු සමග පෙරමුණේ ගමන් ගත් වීර සෙන්පතියකු ගැන සඳහන් වෙන පරම්පරාවක්ද පවතී. බ්‍රිතාන්‍ය පාලන සමයේදී මහනුවර දිස්ත්‍රික් උසාවි දිසා විනිසුරු ලෙස ක්‍රියා කළ ඒ.සී. ලොරි මහතා විසින් රචිත ප‍්‍රකට Gazetter The Proveree of Celon යන කෘතියෙන් දුනුවිල පරපුරේ ආරම්භක සාමාජිකයා ලෙස දුනුවිල හින්නි කෝරලේ දිසාව දක්වයි. මොහු කන්ද උඩරට රජ කළ දෙවැනි රාජසිංහ රජ සමයේ ගන්නෝරු සටනේදී ඉදිරියෙන් ගමන් කළ වීර සෙන්පතියෙකු ලෙස දක්වා ඇත.

‘‘මහ හටන කෘතියෙහි දුනුවිල ඒකනායක අප්පුහාමි පිළිබඳවද පැහැදිලි කර ඇත. ඒ අනුව ඔහු රුපශ්‍රීයෙන් පිරිපුන් කඩවසම් පුද්ගලයෙකි. එසේම මොහු කුරිරු වූ යුදට වැද අලංකාර වත් වූ තම අසිපත ගෙන සුර වූ ගුරුලෙකු විසින් නාග සේනාවක් ගොදුරු කරගන්න සොබාවයෙන් සටන් කළ ආකාරය එම කෘතියේ කාව්‍ය මගින් හුවා දක්වා ඇත. ගන්නෝරු සටනේ එම දුනුවිල සෙන්පතිගේ පරම්පරාවේ හත්වැනි පරපුර අද සෙන්කඩගලපුර ජීවත්වෙන අතර එදා එම දුනුවිල පරම්පරාවේ විශාල වලව්ව අද මහනුවර නගර සභා ප‍්‍රධාන කාර්යාලයට පරිත්‍යාග කර ඇත්තේ වර්ෂ 1871 දී එම පරපුර විසිනි.

දුනුවිල පරපුර ගැන. අම්දරම් පුවත පුස්කොළ පොතෙහි සටහන් වෙන ආකාරයට ගන්නොරුව සටනින් සතුරන් පරාජය කළ බැවින් දෙවැනි රාජසිංහ රජු විසින් ‘‘ඒකනායක’’ යන නාමය ප‍්‍රදානය කළ බවත් රජුගේ මහආදිකාරම් දුරය දැරූ මෙතැන් පටන් දුනුවිල පරපුර, ‘‘දුනුවිල රාජ කරුණාදාර ඒකනායක ධර්මකීර්ති මුදියන්සෙ’’ යන නම් පටබැඳි පරපුර පැවත එයි.

ගන්නෝරු සටන පැවතී ඇත්තේ බණ්ඩාර තැන්න නමින් පැවතී ඇති තැනිතලා භූමි භාගයේ කිරිවන්තලාව නම් කඳුගැටයේදීය. පෘතුග්‍රීසින් නැවතී ඇත්තේ එම ස්ථානයේ නිසාවෙනි. පෘතුගීසි හමුදාව කන්ද උඩරට රාජ‌්‍යට පහර දෙන්න එනවිට රජු උපාය මාර්ගයෙන් පසු බැස ඇත. පෘතුග්‍රීසි සතුරු හමුදාව පහසුවෙන් මහනුවරට ඇතුල් වී නුවරට ගිනිලා තවදුරටත් එහි නැවතී සිටීම නුවණට හුරු නොවන බවට දැනගත් ද මේලෝ ගන්නෝරුව කිරිවල්තලාව නම් භූමියේ ලැගුම් ගෙන ඇත. එදින රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාවෙන් පෘතුග්‍රීසින් වෙඩි බෙහෙත් දියබත් විය.

පසුබැස සිටින රජු සහ රජුගේ බිසෝවරු ගන්නෝරු අසල දිවිදොස් කන්දේ ඇති ගල් කුළුවලින් වට වූ ගුහාවක ආරක්‍ෂාවට රැඳී සිටි අතර එම ස්ථානය වැදීපොළ හෙවත් වැඩිපොළ වශයෙන් හඳුන්වයි. රජු දැක ඇත්තේ කිරිවන්තලාවේ ලපයක් වැනි ස්ථානයකි. එහි පෘතුග්‍රීසින්ගේ වෙඩි බෙහෙත් වේලෙන බව තීරණය කර රජු ඔවුන් රොත්තම විනාශකර දැමීමේ ලේසිම උපාය බව වටහා ගෙන දවල් කාලයේ ගිනි රස්නයේ වේලි යන වෙඩි බෙහෙත් ස්ථානය වෙත කරුංකා ගෙඩියක් ගිනි අවුළුවා ඊතලයේ රඳවා දුනු ඊය ඇද ඇත. වෙඩි බෙහෙත් ගිනි ඇවිලී එයින් විශාල ලෙස සතුරන් අසරණ විය. එයින් ප‍්‍රයෝජනය ගත් රජු 16000කින් සමන්විතව සිංහල හමුදාව මෙහෙයවා ගන්නෝරු සටන ජයග‍්‍රහණය කර ඇත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

Categories

%d bloggers like this: