Posted by: lrrp | November 11, 2018

පෘතුගීසි සහ ලන්දේසි ඉදිකළ මීගමුවේ පැරණි කතෝලික පල්ලි

අතීතයේ සිටම මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ පැවැති වෙළෙඳ අර්ථිකය, සංචාරකයන්ගේ පැමිණීම සහ කතෝලික ආගම් බලපෑම මත ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් රටාවේ සුවිශේෂී වෙනසක් සිදුවිය.
කතෝලික ආගමේ බලපෑම මත විශාල පල්ලි සංඛ්‍යාවක් ගොඩනැගිණි. විශේෂයෙන්ම ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමයේ දී බිහිවූ ගොඩනැගිලි රාශියක් මේ වනතෙක්ම ආරක්ෂා වී තිබේ. ඒ අතර මුහුදුකරයේ පිහිටි කතෝලික පල්ලි, වාස්තු විද්‍යාත්මක නිර්මාණ ලෙස අති ශ්‍රේෂ්ඨය. එවක ප්‍රභූන්ගේ වාසය සඳහා සකස් කළ පැරණි වලව් ද මීගමුවේ තවමත් දක්නට ලැබේ.   

මීගමුවේ කතෝලික පල්ලි පිහිටුවීමේ වැඩි කාර්යභාරයක් ඉටුකළේ ලන්දේසින්ය. සිංහලයින් ලන්දේසින්ට පක්ෂපාත කරවා ගැනීම පිණිස ඔවුන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ මාර්ග ගැන බතාවියානු පාලකයෝ වර්ෂ 1640 තරම් ඈත කාලයේ සිටම කල්පනා කරමින් සිටියහ. එහෙත් වර්ෂ 1644 දී දේශීය බලවතකු බවට පත්වන තුරු තමන්ගේ අදහස් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් ඔවුන්ට නොලැබිණි.

අවසානයේ දී ලන්දේසින් විසින් ස්වකීය ආගමට සිංහලයින් හරවා ගැනීම ආරම්භ කරන ලද වෙනත් කරුණු ඇතුළුව, පෘතුගීසි පූජකයින් සහ බොහෝ සිංහලයින්ගේ රෝමානු කතෝලික අාගම සමගද තරග කිරීමට ලන්දේසීන්ට සිදුවිය. වර්ෂ 1644 නොවැම්බර් මස 10 දින ගෝවේ දී අත්සන් තබන ලද ගිවිසුමේ 6 වන වගන්තිය අනුව ඒ ගිවිසුම යටතේ ලන්දේසින් වෙත පවරන ලද ප්‍රදේශයේ පිහිටි පෘතුගීසි පූජකයින්ගේ දේවස්ථානයට ආපසු පැමිණීමේ අවසරය ඔවුන්ට ලැබිණි.

දේවස්ථාන කරා පැමිණ පූජකයින්ට අවශ්‍ය ආහාර පාන සපයන ලෙස අනුගාමිකයින්ට බල කිරීමේ අයිතිය තමන් වෙත පැවරීම ලන්දේසි පාලක මන්සුකර් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මේ නිසා පූජකයින්ට බලවත් පහරක් වැදිණි.

වැසියන් දේවස්ථාන කරා පැමිණීම වළක්වා පූජකයින්ට හැකි සෑම කරදරයක්ම ඇති කරන ලෙස ලන්දේසීන් විසින් විදානේවරුන්ට හා ගම්මුලාදෑනීන්ට රහසේ නියෝග කරනු ලැබීම නිසා ඔවුන්ට තවදුරටත් හානි සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ පූජකයින්ට ලන්දේසින්ට අයත් ප්‍රදේශවල කරගෙන ගිය කටයුතු අතහැර දැමීමට සිදුවිය. තමන්ගේ දේව මෙහෙයන් තවදුරටත් මහත් උනන්දුවෙන් කරගෙන ගිය පූජකවරු අවසානයේ දී වර්ෂ 1647 දී මන්සුකර් විසින් නෙරපා දමන ලදී.

රෝමානු කතෝලික ආගමේ බලපෑම කෙරෙහි සැලකිල්ලක් දක්වා ලන්දේසීහු තමන්ගේ යටත් වැසියන්ගෙන් බහුතර පක්ෂයෙහි ආගම වූ ‘මිථ්‍යාදෘෂ්ටික ආගම’ හෙවත් බෞද්ධාගම කෙරෙහි වඩාත් බිය වූහ. නව පාලකයින්ට ඉතාම පක්ෂපාත වූවන්ගෙන් ද ඉතාම හිතවත් වූවන්ගෙන් ද වැඩිදෙනකු පෘතුගීසි සංස්කෘතික හා ආගමික බලපෑම්වලට දැඩි ලෙස භාජනය වූ අය බව ඉක්මනින් පෙනීයාම මීට හේතුව විය.
එහෙත් ලන්දේසින් හැඳින්වූ පරිදි, දුර්වල ක්‍රිස්තියානිකාරයෝ සහ බෞද්ධයෝ තමන්ගේ පැරණි ආගම සහ සම්ප්‍රදායන් ආරක්ෂා කළ පුද්ගලයා ලෙස සැලකූ මහනුවර රජතුමා කෙරෙහි තමන් තුළ පැවැති අනුකම්පාව සහ කරුණාව බොහෝ විට හෙළි කළහ.

එහෙත් පෘතුගීසි පූජකයින් නෙරපා හැර රෝමානු කතෝලික ආගම් ඇදහීම තහනම් කළ ලන්දේසීහු ​ෙබෟද්ධාගම සම්බන්ධයෙන් එසේ කිරීමට තරම් නිර්භීත නොවූහ. තමන්ගේම යටත් වැසියන් හා රාජසිංහ රජු ඊට කෙසේ ප්‍රතිචාර දක්වත්දැයි යන්න ගැන ඔවුන් බියෙන් සිටීම ඊට හේතුවයි.

එහෙත් හැකිතාක් දුරට ක්‍රියාකොට යටතේ පිරිසෙයන් බෞද්ධාගමික කටයුතුවල ව්‍යාප්තිය වැළැක්වීමට ඔවුහු ඉදිරිපත් වූහ. උදාහරණයක් ලෙස මාතර ඉදිකිරීමට පටන් ගත් නව විහාරස්ථානයක වැඩ කටයුතු 1647දී ලන්දේසින් විසින් නතර කරන ලදී. කෙසේ නමුත් 1658 දක්වා වූ කාල සීමාව තුළ ලන්දේසින් එකල තිබූ පන්සල් හෝ බෞද්ධයින්ගේ ආගමික සිරිත් විරිත් සම්බන්ධයෙන් මැදිහත් නොවූ බව පෙනේ.

ඒ කෙසේ වෙතත් ඔවුන් රෝමානු කතෝලික ආගමට සහ බෞද්ධාගමට විරුද්ධව කළ දේ ඔවුන්ගේ ආගමික ප්‍රතිපත්තියෙහි ප්‍රතිෂේධ අංශ පමණක් විය. සිංහලයින් ‘රෙපරමාදු ආගමට’ හරවා ගැනීමට ගත් උත්සාහය ඔවුන්ගේ ආගමික ප්‍රතිපත්තියේ එක් අංශයක් විය.

සිංහලයින් රෙපරමාදු ආගමට හැරවීම සම්බන්ධ ප්‍රධාන කටයුතු කරගෙන යන ලද්දේ වෙරළබඩ පිහිටි ජනාකීර්ණ වූ ගම් වැඩි ගණනක හා රට අභ්‍යන්තරයෙහි ස්ථාන එකක දෙකක ද පිහිටුවන ලද ආගමික පාඨශාලා මගිනි. මේ පාඨමාලාවන්ට බතාවියේ සිට ‘කළු’ පැහැති ගුරුවරු කීප දෙනෙක් මුල දී එවන ලදහ.

එහෙත් මේ පාඨශාලාවන්හි ඉගැන්වීම් ඉතා ඉක්මනින්, කලින් පෘතුගීසි ආගමික පාසල්වල ඉගැන්වූ සිංහල ගුරුවරුන් විසින් කරන ලදී. ඉගැන්විය යුත්තේ කුමක්දැයි ‘ප්‍රෙඩිකන්ට්’ හෙවත් දේශකයා විසින් නියම කරන ලද අතර ඔහු ඒ සඳහා පාතුගීසි භාෂාවෙන් පිළියෙල කරන ලද ඇතැම් ‘සූත්‍ර සංග්‍රහ’ සැපයුවේය.

පාසල් ගුරුවරුන්ගේ කාර්ය ‘ක්‍රෑන්ක්බසෝකර්’ (Krankbesoekers) හෙවත් රෝගීන් බැලීමට පැමිණෙන්නවුන් විසින් පරිපාලනය කරන ලදී. ප්‍රෙඩිකන්ට් තැන දෙතුන් මසකට වරක් ගම්වල කළ සංචාරයන් හිදී ගුරුවරුන්ගේ මෙන්ම ක්‍රෑන්ක්බසෝකර්වරුන්ගේ ද වැඩ පරීක්ෂා කළේය. ඔහු එවැනි අවස්ථාවන් හිදී පරිවර්තකයකුගේ සහාය ඇතිව වැසියන්ට තරමක් දේශනා කළේය. තමාවෙත ගෙනෙන ලද ළමයින් බවුතීස්ම කිරීම සහ විවාහවීම සඳහා පැමිණියවුන් විවාහ කරවීම ද කළේය.

මේ අවස්ථාවේ දී අන්‍යාගම් වැලඳ ගැනීමට කෙළින්ම බලකිරීම උපයෝගී කර නොගත් බවක් පෙනේ. රෝමානු කතෝලිකයින් බවට හරවා ගන්නා ලද බවද පෙනේ. රෙපරමාදු ආගම වැළඳ ගන්නවුන්ට විවිධ තනතුරු ප්‍රදානය කිරීමේ පෙළඹවීම ද ඉදිරිපත් කෙරිණි. ළමයින් පාසල්වලට ගෙන්වා ගැනීම සඳහා සුළු මුදල් ප්‍රමාණ වැනි ළමයින් ආශා කරන දේ තෑගි වශයෙන් දී ඔවුහු පොළඹවා ගන්නා ලදහ.

ඒ කෙසේ වෙතත් සිංහලයින් රෙපරමාදු ආගමට හරවා ගැනීමේ ප්‍රතිපත්තිය එතරම් සාර්ථක නොවීය. ගාල්ල හා මීගමුව යන නගරවල හැරුණුවිට අන් ස්ථානයන්හි රෙපරාමාදු ආගම වැලඳ ගන්නවුන්ගේ සංඛ්‍යාව සුළු වූ අතර ඔවුන් අතරින් ද වැඩි දෙනකු එසේ හැරුණේ නමට පමණි.

ප්‍රතිඵල මෙතරම් අසාර්ථක වීමට කරුණු කීපයක් බලපෑවේය. ආගමට හැරවීමේ කටයුතු භාරව සිටි ප්‍රෙඩිකන්ට්වරුන්ගේ සහ ක්‍රෑන්ක්බසෝකර්වරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම පළමු කාරණාවයි. මුලදී ලංකාවේ සිටියේ ප්‍රෙඩිකන්ට්වරුන් එක් අයකු පමණි. එහෙත් 1650 වත්ම ඔවුන් තිදෙනකු සිටි අතර ඉන් එක් අයෙකු සිටියේ මීගමුවේය. ක්‍රෑන්ක්බසෝකර්වරුන් සිටියේ හය දෙනකු හෝ හත් දෙනෙකි. ගාල්ල, මාතර සහ වෙනත් කුඩා මුරපොළවල සිටි ලන්දේසි සෙබළුන්ගේ ආගමික කටයුතු කිරීමට සිදුවීම නිසා මේ පූජකයින්ට තමන්ගේ ආගමට සිංහලයින් හරවා ගැනීම සඳහා ගත කිරීමට හැකි වූයේ මඳ වේලාවකි.

තවද සිංහල භාෂාව නොදැනීම සහ පෘතුගීසි භාෂාව ප්‍රමාණවත් ලෙස නොදැනීම නිසා සිංහලයින් ඔවුන්ගේ ආගමට හරවා ගැනීමේ කටයුතු අධික ලෙස සීමා විය. එබැවින් පාසල් ගුරුවරුන් කෙරෙහි ඉමහත් බලාපොරොත්තු ඇතිකර ගැනීමට සිදුවිය.

එහෙත් රෝමානු කතෝලික ආගම අත්හැරීමට ඔවුන් දැක්වූ මහත් සූදානම නිසා ඔවුන්ගේ උද්යෝගය කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය නොහැකි විය. අවසන් වශයෙන් ලන්දේසි පූජකවරුන් බොහෝ දෙනෙක් තමන්ගේ වෘත්තියට නොගැළපුනාහ. නිදසුනක් වශයෙන් නුසුදුසු හැරීම නිසා ප්‍රෙඩිකන්ට්වරුන් වූ ලෙන්ටි සියල් හා හිලේරියස් ප්‍රථමයෙන් බතාවියටත් එතැනින් නෙදර්ලන්තයටත් නැව් නැගීමට සිදුවිය. ප්‍රෙඩිකන්ට්වරයකු වු අන්තෝනියෝ ස්ටැම්පරියස් අධික බීමත්කම නිසා මීගමුවේ දී මිය ගියේය.

ලන්දේසින් තම වෙළඳාමට මෙන්ම ආගමික කටයුතු සඳහා ද මුල් තැන ලබා දුන්නේ මීගමුවටය. ඕලන්ද ඇළ ලන්දේසින් විසින් සකස් කරනු ලැබුවේද මීගමුව කේන්ද්‍ර කොට ගෙනය. ශ්‍රී ලංකා භූමියේ කතෝලික ආගමික ස්ථානයක් ස්ථාපිත වූ අවස්ථාව ලෙස සැලකෙන්නේ පෘතුගීසි නායක ලොරෙන්සෝ ද අල්මේදා විසින් කෝට්ටේ රජුගේ ද අවසරය ඇතිව කොළඹ වෙ​ෙළඳසලක කුඩා පල්ලියක් ඉදිකිරීමයි. ශ්‍රී ලංකාවේ මුල්ම කතෝලික ආගම් පල්ලිය ලෙස සැලකෙන්නේ මීගමුව නගරයේ පිහිටි ශාන්ත මරියා පල්ලියයි. වසර 300කට වැඩි අතීතයක් එයට තිබේ. පෘතුගීසින් විසින් ඉදිකළ එම පල්ලිය ලන්දේසින් විසින් පසුව ප්‍රතිසංස්කරණය කරන ලදී. මේ ප්‍රධාන පල්ලියට අමතරව පල්ලි 25ක් පමණ මීගමුව හා අවට ප්‍රදේශවල දක්නට ලැබෙයි.

මීගමුව බළකොටුව ලන්දේසින් විසින් වැටලූ විට පරාජය අත ළඟම බව දැනගත් පෘතුගීසිහු පලායාමට මගක් සොයමින් කුඩා නැව්වලට නැගී මිගමුව කලපුවට ඇතුළුවී දකුණු දෙසට යාත්‍රාකර මුහුදට ඇතුළුවීම සඳහා සුදුසු තැනක් සෙවිල්ලෙන් පසුවූහ. මුතුරාජවෙලට ඇතිවන ගංවතුර මුහුදට බැස යාම සඳහා කෝට්ටේ රජ දවස ඉදිකළ ඇළ මාර්ගයක් කලපුවේ සිට මුහුදට වැටුණු තැනක් දුටු පෘතුගීසිහු එම ඇළ මාර්ග කුඩා නැව් යා හැකි වන අයුරින් සකස් කර ගත්හ. එම ඇළ මාර්ගය කොළඹට පලායෑම සඳහා යොදාගනු ලැබිණි.

පසු කලෙක පමුණුගම පදිංචිකරුවෝ දර හා ලී දඬු කපා ගැනීම සඳහා මෙම ඇළ මර්ගයෙන් එගොඩ මෙගොඩ වූහ. කැපුමෙන් එගොඩ මෙගොඩ ගිය මේ ස්ථානය පසුව ‘කැපුම් ගොඩ’ නම් විය. මෙම ස්ථානයේ පෘතුගීසි බළකොටුවක් පිහිටා තිබූ බවත් ‘මුරපොළ’ යන අර්ථය ඇති ‘සරක්කුව’ යන නමින් එය නම් කළ බවත් පමුණුගම විස්තරය නම් පොතේ සඳහන්ව ඇත. මෑතක් වන තුරු බළකොටුවක නටබුන් එම ස්ථානයේ දක්නට තිබූ බව කියැවේ.

1710දී පමණ පමුණුගම අම්බලන්වත්තේ පදිංචිව සිටි ජයමාන්න මොහොට්ටිගේ දොන් කොරනේලිස් අන්නාවිගේ පුතුන් තිදෙනෙක් මෙම ඇළෙන් උතුරින් පිහිටි බිම් පෙදෙසේ පදිංචිව සිට ඇත. ඔවුන් තම ආගමික කටයුතු සෑම විටම කළේ පමුණුගම දෙව්මැදුර සම්බන්ධ කරගෙනය.

මෝයේ ජලය පිරුණුවිට ආගමික කටයුතු සඳහා පමුණුගමට යාමට නොහැකි නිසා මුහුදු වෙරළ ආසන්නයේ යාච්ඤා කුටියක් ඉදිකර එහි කුරුසියක් හා කාර්මේල් දේව මාතාවන්ගේ පින්තූරයක් තබා යාච්ඤාරාධනා කළ බව කියැවේ.

1750 දී පමණ කොළඹ-​ෙමා්දර වාසියකු වූ පිටිපනගේ ජුවන් ප්‍රනාන්දු නමැති අයකුගේ ප්‍රධානත්වයෙන් තලවිල වන්දනා ගමනක යෙදී සිටිය දී පිරිසක් මුහුදේ ඇතිවූ හදිසි කුණාටුවක් නිසා තම ඔරුපන්න කැපුම්ගොඩ සුදුවැලි තලාවට ගොඩඇද වැසියන්ගේ උපස්ථාන ලබමින් කාලගුණය යහපත් වන තුරු මෙහි ලැගුම් ගෙන සිටි බව කියැවේ.

පසුව ඔරුපන්න සකස් කරගෙන පෙර පරිදි සැලසුමට අනුව ඔවුන් වන්දනා ගමන ගොස් යළි ගම්බිම් බලාගොස් තිබේ. එය සරු මාළු බිමක් බව තේරුම් ගත් පිටිපනගේ ජුවන් ප්‍රනාන්දු සිය පවුල් සමග පැමිණ මෙහි පදිංචි විය.

1825දී පමණ මෙහි පොල්අතු සෙවිලි කළ කුඩා දෙව්මැදුරක් ආරම්භ විය. පසුව 1846දී එය ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ට පූජා කෙරිණි. 1856 දී පල්ලියට සම්බන්ධව අධ්‍යාපන ආයතනයක් ආරම්භ කළේය. 1894දී මුරියර් පියතුමා විසින් කලපුවට සම්බන්ධ තොටුපළට උතුරින් ඇළක් කප්පවනු ලැබීය. එය පල්ලිය ඇළ නම් විය.

නව පල්ලියක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ලී දඬු, උළු, ග​ඩොල්, ගෙනඑනු ලැබුවේ මහ ඔය, පුත්තලම් ඇළ, මීගමුව කලපුව ඔස්සේ වූ ජල මාර්ගවලිනි. පමුණුගම සිට පියතුමා කැපුන්ගොඩට ආවේ අඟුලකිනි. ඒ හැමිල්ටන් ඇළ හරහාය.

මීගමුවේ ආරම්භ වූ මෙම කතෝලික පල්ලි ගණන එන්න එන්නම වැඩි විය. මීගමුවේ ශාන්ත මේරි පල්ලිය, ශාන්ත නිකලස්, හෝලික්‍රොස්, ශාන්ත අන්තෝනි, ශාන්ත පෝල්, ශාන්ත පීටර්ස්, ශාන්ත ඈන්, ශාන්ත ජූඩ්, හෝලිට්‍රිනිටි, ශාන්ත සෙබස්තියන්, ශාන්ත සිල්වෙස්ටර් ආදී පල්ලි ගණනාවක් මීගමුව හා ආසන්න ප්‍රදේශවල ඉදි විය.

මේ පල්ලි බහුතරයක ඉදිකිරීම් හා ගෘහ නිර්මාණ රටාවේ සුවිශේෂිතාවක් දක්නට ලැබීම විශේෂයකි. විශේෂයෙන්ම රෝමානු කතෝලික සංස්කෘතිය නිසාම මීගමුවට යෙදී ඇති තවත් නමක් වන්නේ ‘පුංචි රෝමයයි’
2001 ජන හා නිවාස සංගණනයට අනුව මීගමුවේ වැඩි ජනගහනයක් සිංහලය. එමෙන්ම බහුවාර්ගික, බහු ආගමික ජන කොටස් ජීවත්වන මීගමුව කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයට වැදගත් බවක් දුන් පුරවරයකි. වැඩි වශයෙන් කතෝලික හා ක්‍රිස්තියානි පිරිස් ජීවත්වන අතර ඊට හඳුන්වාදුන් රෝමානු කතෝලික සංස්කෘතිය සමග උරුමවූ පාස්කු නාට්‍ය කලාව, නාඩගම් හා නූර්ති නිර්මාණ ක්‍රමයන් හා ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබුණු මහඟු දායාදයන්ය.

මීගමුව දූව තදාසන්න ප්‍රදේශවල අද ද ඉඳහිට රඟ දැක්වෙන රජතුන් කට්ටුව වැනි නාඩගම් ආගම හා දේවස්ථාන මුල් කරගෙන බිහිවූ සම්භාව්‍ය පාස්කු නාට්‍ය මෙන්ම පසන් කන්තාරු වැනි කලා මාධ්‍යයන් ඊට උදාහරණ වේ.
ජර්මනියේ පාස්කු නාට්‍යය සම්ප්‍රදායේ ආභාසය ලබමින් මීගමුවේ දූවේ ඓතිහාසික පාස්කු නාට්‍ය ප්‍රවර්ධනය සඳහා ශිල්පීය රංග ශෛලිය වශයෙන් වැදගත් වන අංග හඳුන්වාදුන් ප්‍රදේශයකි.

මෙම නූර්ති නාඩගම් ශෛලිය පසුව සමාජ යථාර්ථය පිළිබිඹු කිරීම සඳහා නාට්‍ය කලාව යොදා ගනිමින් බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ආරම්භ කළ පසන් නාට්‍යය සංකල්පය නිසා මෙරට චිත්‍රපට කලාවට අඩිතාලම වැටුණි.
බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න විසින් ඇරැඹි නාට්‍ය කලාවත්, ඒ හරහා නිපදවුණු කඩවුණු පොරොන්දුව, කපටි ආරක්ෂකයා වැනි නාට්‍යය ද මීගමුවෙන් ඇරඹී දිවයින පුරාම ප්‍රචලිත විය.

රුක්මණී දේවිය නිසා මෙම නාට්‍ය කලාව බැබළිණි. එබැවින් මීගමුවට ආවේණික ගෘහ නිර්මාණ ගොඩනැගිලි ආදිය මෙන්ම මීගමුවට ආවේණික සාහිත්‍ය හා කලාව ද ඉතා රසවත් එකක් බව කිව යුතුව ඇත.

 

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: