Posted by: lrrp | March 25, 2019

මහවැසි මැද අවාරේ සිරිපා වන්දනාව

සමනල රක්ෂිතය යනු පූජනීය ස්ථානයක් බඳුය. උතුම් බුදු සිරි පතුල පිහිටි සමනොළගිර වන්දනාමාන කිරීමට උචිත උඳුවප් පොහොය සිට වෙසක් පොහොය දක්වා කාලය වාරය (Season) ලෙස හඳුන්වන අතර එය දළ වශයෙන් මාස පහකි. ඉතිරි මාස 7 අවාරය (Off-Season) ලෙස හඳුන්වන අතර ඈත අතීතයේ පටන් පැමිණි සම්ප්‍රදාය වනුයේ එයයි. එය හුදෙක් ආගමක් සම්බන්ධ වූ නියමයක් නොවන්නේ ඒ තුළ පරිසරයේ නියමයන් අන්තර්ගත වී ඇති හෙයිනි. සිරිපා අවාරය වසරේ මාස 7 ක් පවතින්නේ සොබාදම් නියමයට අනුව සමනල රක්ෂිතයේ වටිනාකම වැඩි හෙයිනි.   

ක්‍රියාදාම සංචාරකයෙක් ලෙස අවාරේ සිරිපා තරණය කිරීම සැබවින්ම දුෂ්කර හා අවදානම් ගමනකි. මෙහි පවතින දුෂ්කරතා වනුයේ අධික වර්ෂාව සහ මීදුම, වන සතුන් සුලභව ගැවසීම, ගස් කඩා වැටීම්, ක්ෂණික ජල පහරේ වැඩිවීම් සහ කිසිදා මිනිස් වාසයක් හෝ පුද්ගලයෙකු හමුනොවන බැවින් කරදර උපද්‍රව සිදුවීමේදී වන හානිය වැඩිවීමයි.
සිරිපා තරණයට ඇති ප්‍රසිද්ධ මාර්ග තුන වනුයේ හැටන්-නල්ලතන්නිය මාර්ගය, කුරුවිට-එරත්න මාවත සහ ශ්‍රී පලාබද්දල රජ මාවතයි. පැහැදිලිව පඩි මගින් හැටන් සහ රජ මාවත සමන්විත වන අතර කුරුවිට මාර්ගය ස්වභාවික වන පියස තුළ අඩි මාර්ගයක් ලෙස සෑදී ඇති බැවින් සෙසු මාර්ග යුගලයට වඩා දුෂ්කර බවින් සේම සුන්දරත්වයෙන්ද අනූනය. සිරිපා සමය තුළ බහුතරයක් සැදැහැවතුන් යාම්ඊම් සිදුකරනුයේ මෙම මාර්ග තුන හරහා පමණක් වන අතර තරුණ පිරිස් සෙසු අප්‍රධාන මාර්ග පහෙන් මාර්ග තුනක් භාවිත කරනු ලබයි.

මෙම ගමනේදී අපට බොහෝ වෙහෙසකර වන්නේ කූඩැල්ලන් පියවරක් පියවරක් පාසා සිටීමයි. එම නිසා ඊට සුදුසු පිළියම් ලෙස ඩෙටෝල් සහ පොල්තෙල් පල් කරගත් මිශ්‍රණය, තලා ගත් දුම්කොළ මිශ්‍රණය, ඇලම් භාවිතය සහ කූඩැලි මේස් භාවිතයෙන් අපි තරමක් සන්නද්ධව සිටියෙමු. නමුත් කූඩැල්ලා යනු අපටත් නොදැනීම අපගේ පපුව මුහුණ හරහා හිසට පවා යන සතෙකු බව අපි පෙර අත්දැකීම් මගින් දැනගෙන සිටියෙමු.

පන්දෙනිය ඔය පසුකරනවාත් සමග ලේ සුවඳට මත් වූ කූඩැල්ලන් සතර අතින් අප කරා පැමිණෙන්නට වූ අතර අඩි මාර්ගය යන්තමින් අපහැදිලි වුවත් එය නිශ්චය කර ගැනීමට අපහසු නොවුණි. සෙමින් සෙමින් අප ඉදිරියට ගමන් කරන්නට වූ අතර තවමත් උදෑසන දහයටවත් නොමැති වුවද වනපෙත ගොම්මන් අඳුරක ගිලී තිබුණි. මහ ඝෝෂාවකින් හා වියරු බවකින් ගලාගෙන යන පන්දෙනිය ඔයේ ශබ්දය අතර අතු පතර මත වැටී පනින දිය බිඳු මගින් ක්‍රම ක්‍රමයෙන් අපි තෙත් වන්නට වුණෙමු.

මීට වසර පහකට පමණ පෙර අප යන විට තිබූ අපැහැදිලි මාර්ගය මේ වන විට හොඳ අඩි පාරක් බවට පත්ව ඇති අතර අවාරයේ බොහෝ පිරිසක් මෙම මාර්ගය භාවිත නොකරන බැවින් ශීඝ්‍ර ශාක වර්ධනයක් සිදු වන පරිසරය විසින් අප යන මඟ අහුරා තිබුණි. වැහි වලාව ද මදක් දරුණු වන්නට වූ බව දැනුණේ අඩි මාර්ගය දිය පහරක් ලෙස අපට දක්නට ලැබුණු නිසාවෙනි. තව ද කුඩා දිය පහරක් තරණය කරන්නට අපට වතුරට බැසීමට සිදු වූ අතර ජලයේ වේගය ඉතාමත් අධික විය.

නැවතත් අපි ඉදිරියටම ගමන් කළේ කෙසේ හෝ වැස්ස තවත් ප්‍රචණ්ඩ වීමට මත්තෙන් එරත්න මාර්ගයට පිවිස අද දින රැය පහන් කිරීමට සුදුසු ස්ථානයකට ගොඩවැදිය යුතු නිසාවෙනි. මාර්ගය පුරාවට ජලය ගලාගෙන ඒමෙන් පස බුරුල්ව එරෙන සුලු විය. කූඩැල්ලන් කලිසම් දිගේ ඉහළට නැගීමේ අඩුවක් නම් දක්නට නොලැබුණි. අපගේ සගයෙකුගේ පපුවට සහ බෙල්ලට යාමට තරම් උන් වේගවත් වී තිබුණි. ගල් කුට්ටි මත හිඳ වැස්සේම මඳ විවේකයක් ගෙන මතුපිටින් පෙනෙන කූඩැල්ලන් ගලවා දමා නැවත ගමන ආරම්භ කළේ මඳක් කඳු නැගීමකට අවතීර්ණ වෙමිනි.

මාර්ගය බෙහෙවින් ලිස්සන සුලු වූ අතර තද වන ගහණයක් දෙපසම දක්නට ලැබුණි. ක්‍රමවත්ව දැකගත හැකි අඩි මාර්ගය වූ අතර අප විශාල ගල් බිත්තියක් අතරින් වැටී තිබුණ මාර්ගය ද පසුකොට ඉදිරියටම ඇදුණි. වර්ෂාව හේතුවෙන් පරිසරය අඳුරේ ගිලී තිබුණු අතර මීදුම් සළු තුරු හිස් අතරින් වරින්වර එබෙමින් අප යන මග විමසා බලන්න විය. එක් ස්ථානයකදී එතරම් පරණ නොවූ අලි වසුරු දැකගත හැකි වූ අතර වල් ඌරන්ගේ අඩි සලකුණු ඊට මඳක් නුදුරින් දිය කඩිත්තක් අසල දැකගැනීමට හැකි වුණි.

තවත් කිලෝමීටර් කිහිපයක් යන විට අපි දිය දහරාවන් කිහිපයක් පසුකරමින් ඉදිරියට ඇදුණෙමු. කෙසේ හෝ පැය 3 කට අධික කාලයක් මහවැසි මැද අප පැමිණි මග අවසානයට ළඟාවීමේ අස්වැසිල්ලක් සහිත ස්ථානයකට පැමිණීමට නියමිත බව අපට දැනුණේ ගඟක ශබ්දයකිනි. එය නිසැකයෙන්ම සීත ගඟුල නොහොත් කළු ගඟ විය යුතු බව අපට සිතුණි. කෙසේ හෝ අපගේ මාර්ගය බාධක වෙමින් දැවැන්ත ගසක් කඩාවැටී තිබුණි. ඉන් රිංගා අනෙක් පසට ගොස් මීටර කිහිපයක් ගිය පසු අප සේන්දු වූයේ කළු ගඟ අසලටය.

උඩමාලිබොඩ මාර්ගයේ හමුවන ප්‍රධානම මං සලකුණ මෙය වන අතර මෙතැන් සිට එරත්න මාර්ගයට බොහෝ දුරක් නොමැති වග අපි දැනගෙන සිටියෙමු. අහස් කුසට විවෘත පරිසරයට පැමිණි අප දුටුවේ අඳුරු වුණු නමුත් මඳක් අඩු වූ වර්ෂාවක් සහිත අහසකි. නමුත් මීදුම් තත්ත්වය නිසා අපට අවට කඳු දැක ගැනීමට නොලැබුණි. කෙසේ නමුත් අප ගෙනා ආහාර ගැනීමට සහ දිගු විවේකයක් ගැනීමටත් කූඩැල්ලන් ඉවත් කිරීමටත් අවශ්‍ය වූ හෙයින් අසළ වූ ගල්තලාවක් මතට වී අපි සිටියෙමු. සීතල ජල පහර ගල් වැටිවල හැපී පෙන පිඩු නගමින් ජල බිංදු විසුරවමින් ගලාගෙන යන අතර චිරි චිරි ශබ්දයේ මිහිරියාව විනා වෙනත් කිසිදු ශබ්දයක් අපට නොඇසුණි.

මඳකට වර්ෂාව අඩු වූ නිසාවෙන් නැවතත් අප ඉදිරියට යාමට පටන් ගත්තේ තෙත බරිත වූ ඇඳුම් නැවතත් ඇඳගෙනය. වැසි ආවරණ යුගලයකින් සහ ඇතුළත පොලිතින් කවරවලින් ආරක්ෂා කර ඇති වූ හෙයින් අපගේ ගමන්මලුවලට ජලයෙන් අනතුරක් නොවුණි. මෙතැන් සිට ගමන එතරම් දුෂ්කර මඟක් නොවන අතර ක්‍රමවත් අඩි මාර්ගය එරත්න මාවත හමුවන මංසන්ධිය දක්වා පැහැදිලිව දැකගත හැකිය.

මහ වැස්සේ මඩ සහිත මාර්ගයේ කූඩැල්ලන්ගේ බාධක මැද අප පැමිණි ගමන බොහෝ දුෂ්කර වූයේ මේ සිරිපා අවාරය වූ බැවිනි. නමුත් ජලයෙන් පෝෂිත වූ සුන්දරත්වය අපට සිරිපා වාරය තුළ මෙපමණ දැකිය නොහැකිය. වන අලි වසුරු සහ හෝරා කිහිපයකට හෝ පෙර අලි ගමන්ගත් ඉසව් අතරින් අප ඇවිද කළුගඟ තරණය කළේ ජලයේ වේගය හා පරිමාව ගැන ද සැලකිලිමත් වෙමිනි. එරත්න මාර්ගය හමුවන මංසන්ධියෙන් දකුණට ගිය විට එරත්නටත් වමට ගිය විට හැරමිටිපාණටත් ළඟා විය හැකිය.

මෙම ස්ථානයට ළඟම එරත්න ම​ඟේ මං සලකුණ වනුයේ ඉඳිකටුපාණ සහ මැදහින්න අම්බලම්ය. එරත්න මාර්ගයට පිවිසුණු අපට පෙර පරිදිම මාර්ගය දිගේ ගලා එන ජලය දැකගත හැකි වූ නමුත් මෙම මාර්ගය තරමක් පළල හා පහසු මාර්ගයක් වූ බැවින් ඉදිරියටම ගමන් කිරීම අපහසු නොවීය. එමනිසාම මඳ ගතියෙන් වූ වර්ෂාව මැද ඉඳිකටුපාණ අම්බලම වෙත ළඟා වූ අපි නැවතත් මද විවේකයක් ගත්තෙමු. මෙම ප්‍රදේශයේ සුන්දර තැනිතලාවක් ඇති අතර ගුවනට විවෘත විශාල ප්‍රදේශයක් මෙහි විය. නූල් ගෙත්තම සිරිපා ගමන තුළ සාම්ප්‍රදායික චාරිත්‍රයක් බැවින් සෑම මාර්ගයක් තුළම මෙවැනි ඉඳිකටුපාණ හෝ ගෙත්තම්පාණ යන ස්ථාන දක්නට ලැබේ. එය කෝඩුකාරයන් හා සැදැහැවතුන් යම් පමණින් පිළිපදිනා චාරිත්‍රයකි.

මඳ විවේකයක් ගත් අප හවස්යාමය නිමා වන්නට ප්‍රථම හැරමිටිපාණ නැත​හොත් එරත්න පාර රජ මාවතට සේන්දු වන ස්ථානයට යා යුතුව තිබුණි. එම නිසාම හණිකට ගමන පිටත් වූ අපි මඳක් සැනසිල්ලේ ඉදිරියටම ගමන් කළ ද හැරමිටිපාණට පෙර හමුවන දුෂ්කර ගල් පර්වත හරහා යායුතු මාර්ගය තරණය කරන්නට පටන් ගත්තෙමු. කෙසේ හෝ සවස 5 වන විට හැරමිටිපාණ අම්බලමට පැමිණි අප මෙහි රැය නොනැවතී රජ මාවතේ උඩමළුවට ප්‍රථම හමුවන අම්බලම වන ‘‘ආඬියාමළතැන්නට’’ යාමට තීරණය කළේ උදෑසනින්ම උඩ මළුවට ගොස් හිරු උදාව දැකගැනීමේ පුංචි අපේක්ෂාවක් හිත දරාගෙනය.

හැරමිටිපාණේ සිට උඩමළුව තෙක්ම කොන්ක්‍රීට් පඩි අතුරා ඇති බැවින් ගමන් කිරීම අපහසු නොවේ. එමනිසාම කකුල් වේදනාව එතරම් නොසිතාම ඉදිරියට ඇදුණෙමු. සවස් යාමය පසුවන කණිසමේ අපි ආඬියාමළතැන්න අම්බලමට ළඟා වූ අතර රාත්‍රිය එහි ගත කිරීමට සැරසුණෙමු.

එම ශාලාවට පිටතින් අපි තෙමුණු ඇඳුම් සහ බෑග පසෙකින් තබා කූඩැල්ලන් සියල්ලම ගලවා දමා රාත්‍රියට සුදුසු ලෙස සිටීමට සැරසුණෙමු. මන්ද මීට පෙර දෙවතාවකට ආඬියාමළතැන්නේ අවාරේ රැය ගෙවීමේදී පාන්දර වනවිට ශාලාව තුළට තද මීදුම ගලන බව සිහි වූ බැවින් වැඩිපුර ඇඳුම් ඇඳීම අත් කකුල් වසාගෙන සිටීම යෝග්‍ය බව නොරහසකි.

අවාරේදී විදුලිය නොමැති හෙයින් මුළු සමනල රක්ෂිතයම එකම තනි අඳුරක තිබුණි. කල්තියාම විදුලි පන්දම් ගෙන ආ නිසාවෙන් අප සිටින ප්‍රදේශයේ ශාලාව තුළ ඒවා එල්ලා අවට නිරීක්ෂණය කොට ශාලාවට ඇතුළු වන ස්ථානය මෙහි පසෙක තිබූ ලෑලිවලින් වසා දැමුවේ රාත්‍රියට වල් ඌරන් මෙම ඉසව්වට පැමිණෙන හෙයිනි.

ඉන්පසු අප ගෙන ආ නූඩ්ල්ස් පැකට් සහ අනෙකුත් පාන් වැනි ක්ෂණික ආහාර අප සතු වූ අතේ ගෙන යා හැකි ගෑස් ළිප ආධාරයෙන් පිළියෙල කරගත්තෙමු. නැවතත් මඳ වර්ෂාවක් පටන් ගත් හෙයින් හණිකට ආහාර ගෙන ගමන නැවත ආරම්භ කළ අපි හෙට දිනයේ සැලසුම කතිකා කරගත් පසු අපි නින්දට වැටුණෙමු. මොර සූරන මහ වැස්සක හා මිනිස් වාසයෙන් කිලෝමීටර් ගණනාවක් දුර මහ වනයක උතුම් සිරිපතුල පිහිටි ඉසව්ව පාමුල අප නැවතුණේ හෙට පාන්දරින් උඩමළුවට යා යුතු වූ හෙයිනි.

හෙට දිනයේ වර්ෂාව නැතිවුවහොත් අපට අවට පරිසරයේ සුන්දරත්වය හා අපූර්වත්වය දැකගත හැකි විශ්වාසයෙන් අපි නින්දට වැටුණෙමු.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: