Posted by: lrrp | March 25, 2019

ලංකාවට ගොඩබැස්ස ලොරෙන්සෝ ද අල්මේදා ඉන්දියාවේදී මියගිය හැටි

ලංකාව වෙනස් කළ නාවිකයෝ

අද්මිරාල් ලොරන්සෝ ද අල්මේදා සහ අද්මිරාල් ජොරිස් වැනි ස්පිල්බර්ජන් යනු ලංකා ඉතිහාසය වෙනස් කළ යුරෝපීය නාවික හමුද‌ා ප්‍රධානීන් දෙදෙනෙකි. අද්මිරාල් ලොරෙන්සෝ ද අල්මේදාගේ පැමිණීම ක්‍රිස්තුවර්ෂ 1505 හෝ 1506 සිදු වූ බව කියයි. ඔහු ගොඩබැස්සේ ගාලු වරායටය. 

ඉන්දියානු සාගරයේදී කුණාටුවකට හසුව පාවි ආ ගමනක් අවසන් වූයේ පෘතුගාල ජාතික නාවික කපිතන් ලොරන්සෝ ද අල්මේද‌ා ලංකාවේ ගාලු වරායට පා තැබූ පළමු පෘතුගීසි ජාතිකයා මෙන්ම යු​රෝපීයා ලෙසද වාර්තා පොතට එක්කරමිනි.

ක්‍රිස්තු වර්ෂ 1480 දී පෘතුගාලයේ මාර්ටිම් හිදී උපන් ලොරන්සෝ ද අල්මේදා ඔහුගේ පියා අනුව යමින් එවකට යුරෝපයෙන් පිටස්තර රටවල් අල්ලාගෙන පෘතුගාල රජයට අත්පත් කර ගැනීමේ මිලිටරි (යුදමය) ව්‍යාපාරයට සම්බන්ධ විය.

යුරෝපයේ රටවල වැඩිවන ජනගහණයට සාපේක්‍ෂව ආහාර සහ ධන සම්පත් හිඟ වූයෙන් ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, බෙල්ජියම වැනි රටවල් මුහුදින් නාවික සේනා යවා ලෝකයේ රටවල් ගවේෂණය කර තම රටට ඇද‌ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටියහ. ඇත්තටම මෙය මුහුදු කොල්ලකරුවන් ලෙස හැඳින්වෙන දාමරිකයන් මුහුදට යවා නොදන්නා රටවල් කොල්ලකා ධනය සිය රටට ගෙන ඒමේ උපක්‍රමයක් විය. දේශ ගවේෂණය නමැති ලිහිල් වචනයෙන් ඔවුන් හැඳින්වූවද එහි සැබෑ අරුත වූයේ ලෝකයේ නොදන්නා රටවල් ගවේශනය කර එම රටවල තිබූ ධන සම්පත් යුරෝපයට ඇද ගැනීමය.

ලොරෙන්සෝ ද අල්මේදාගේ පියා වුණේ ප්‍රැන්සිස්කෝ ද අල්මේදාය. ඔහු ඒ වන විට ඉන්දියාවේ ගෝව ප්‍රාන්තය අල්ලාගෙන එහි පෘතුගාලයට යටත් රජයක් පිහිටුවා එහි ‘‘විසුරේ’’ ධූරයට පත්ව සිටියේය. ‘‘විසුරේ’’ යනු ප්‍රාන්ත පාලකයා යන අරුතය. පියාගේ ආක්‍රමණික හමුදා ඛණ්ඩයේ සාමාජිකයෙකු වූ ලොරන්සෝ ද අල්මේදා එවකට බලවත් නැව් පංතියක් ලෙස සැලකුණු ‘‘ප්ලීට්’’ නැව් සේනාවක් හෙවත් මව් යාත්‍රාවක් පරිවාර කොටගත් නැව් දුසිමකින් පමණ යුත් නෞකා බළ ඇණියකින් ඉන්දියානු සාගරය කැලඹීමේ යෙදුණේය. මෙහි අරමුණ වූයේ තුර්කියේ ඔටෝමාන් මුස්ලිම් පාලකයන් යුරෝපයට ගෙන ගොස් විකිණූ කුළු බඩු වෙළෙඳපොළ තම යටතට ගැනීමය.

අද ඇමරිකානුවන් මැදපෙරදිග ඛනිජතෙල් වෙළෙඳ‌ාම තම යටතට ගැනීම සඳහා රටවල්වලට පහර දෙන අන්දමින් එදා යුරෝපයේ ඉහළ වෙළෙඳ‌ාමක් තිබූ කුරුඳු ඇතුළු පෙරදිග කුළු බඩු වෙළෙඳාම තම අතට ගැනීම පෘතුගීසි නාවික සේනාංකය ඉන්දියානු සාගරයට පැමිණිමේ අරුත විය.

පෘතුගාලයේ පාලකයා වූ 1 වැනි මැනුවල් රජුගේ අණ පරිදි ප්‍රැන්සිස්කෝ ද අල්මේද‌ා ප්ලීට් බළ ඇණියක් හෙවත් නෞකා 22ක කණ්ඩායමක් රැගෙන පෘතුගාලයේ ලිස්බන් නුවරින් පිටත්වන්නේ 1505 මාර්තු 25 වැනිදාය.
කැරැක්ස් හෙවත් එවකට විශාල ප්‍රමාණයේ දැව යාත්‍රා 14ක්ද, කැරවල්ස් හෙවත් රුවල් නැව් 4ක්ද මෙම ඇණියට අයත් විය. එහි සිටි සොල්දාදුවන් ගණන 1500කි. බළ ඇණියේ අණදෙන මව් යාත්‍රාව වූයේ සාවෝ රෆායෙල්ය. ඔටෝමාන් තුර්කි අධිරාජ්‍යයට අයත් වෙළෙඳුන් යුරෝපයට ගෙන එන කුළුබඩු නිපැයෙන වෙළෙදාම ඔවුන් යටතට ගැනීමටත් නව රටවල් සොයාගැනීම සහ නාවික යාත්‍රා සඳහා සුදුසු වරාය සොයා බැලීමත් මෙම නාවික බළ ඇණියට ලැබී තිබූ අණ විය.

පළමුව අප්‍රිකානු මුහුදු තීරයට පිවිසි ප්‍රැන්සිස්කෝ ද අල්මේද‌ාගේ යාත්‍රා බළඇණිය මොසැම්බික් රාජ්‍යයේ කුඩා කඳවුරක් පිහිටුවීය. වත්මන් ටැන්සානියාව, කෙන්යාවේ මොම්බාසා ඇතුළු මුහුදුබඩ පළාත්වලට ගොඩබැස අල්මේද‌ාගේ හමුද‌ාව මිනිසුන් සිය ගණන් මරාදමමින් වෙරළබඩ නගර විනාශ කළේය. අප්‍රිකාවේ නගරවලින් සොරාගත් ධනයද පටවාගත් නැව් පෙළ ඊළඟට යාත්‍රාකළේ ඉන්දියාවටය.

1505 වසරේ සැප්තැම්බරයේ පෘතුගීසිහු ඉන්දියාවේ කේරළ මුහුදු තීරයේ කොචින්හි තම කඳවුරක් පිහිටුවා ගත්හ. පෘතුගාල රජය අල්මේද‌ා ඉන්දියාවේ විසුරේ (පාලකයා) ලෙස පත්කළේය.

ඉන්දියාවේ කැන්නේර්හිදි එවකට ඉන්දීය පාලකයා වූ සැමොරින්ගේ හමුදා සමඟ ගැටුණු ඔහුගේ යාත්‍රාවලින් ගණනාවක් මුහුදුබත් විය. නාවිකයන් රැසක්ද මරණයට පත්වූවද කොචින් (කේරළ) වෙරළේ ස්ථිර කඳවුරක් පිහිටුවා ගැනීමට ඔහුට පුළුවන් විය.

මේ වන විට පෘතුගීසිහු සටනින් හෙම්බත්ව සිටියහ.

ඉන්දියානු සටනින් හෙම්බත් වූ ලොරන්සෝද අල්මේද‌ා යාත්‍රා දෙකක් හා එහි සේනාව සමග තවදුරටත් ඉන්දියානු සාගරයේ යාත්‍රාකළේ කුරුඳු නිපදවන රටක් අවට ප්‍රදේශයේ ඇති බව අසා දැනගෙනය. ඒ ලංකාව විය.
ඉන්දියානු සාගරයේ ප්‍රචණ්ඩ සුළඟකට හසු වූ නැව් දෙක ගාල්ලට ගසා ගෙන ආවේ ලංකාවේ දේශපාලන ඉරණමද වෙනස් කරමිනි.

ගාල්ලේ පළමුව නැංගුරම් ලද ලොරන්සෝද අල්මේද‌ා ඉන් මසකට පමණ පසු කොළඹට පැමිණියේ මෙරට රජු ඉන්නේ ගාල්ලේ නොව කොළඹ කෝට්ටේ බව දැනගත් පසුය. ඉන්පසු කෝට්ටේ රජු බැහැදැක වෙළෙඳ කටයුතු සඳහා වෙරළබඩ බිම්කඩක් ඉල්ලාගත් අල්මේද‌ා එහි මැටි ගැසූ කුඩා කොටුවක් ඉදිකිරීම ඇරඹීය. ඒ කටයුතු සිදුවන අතරතුර ඔහුගේ පියා යළි ඉන්දියාවට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දුන්නේය.

ඒ වන විට තම පියා සමඟ ගැටුමක් ඇතිකර ගෙන තිබූ ඉන්දියාවේ කැලිකට් නුවර පාලකයා සමඟ යුද වැදීමට පිරිස නික්ම ගියේය. මෙම සටන හැඳින්වෙන්නේ කැන්නෝර් සටන ලෙසය.

එවකට මෙම පෙදෙස පාලනය වූයේ තුර්කියේ ඔටෝමාන් මුස්ලිම් අධිරාජ්‍යයට හිතවත් මුස්ලිම් රජකෙනකු යටතේය. කැලිකට් හි සැමොරින් ලෙස මෙම රජුගේ නම සඳහන් වූවද මුස්ලිම් ව්‍යවහාරයෙන් ‘‘සැමොරින්’’ යනු පාලකයා හෝ රජු යන අරුත දෙන වචනයකි.

ඉන්දියාවේ පාලනය රජවරුන් කිහිප දෙනෙකු අත පැවැතියෙන් පෘතුගාල ජාතියන් සටන් වදින්නේ කේරළ වෙරළ යටත් කරගැනීම සඳහාය. කේරළ වෙරළ අයත් ප්‍රදේශය පාලනය කළ ‘‘සැමොරින්’’ට තුර්කියේ ඔටෝමාන් මුස්ලිම් රජවරුන්ගෙන් පිරිස් බලය ලැබිණි. පෘතුගීසි ප්ලීට් නැව් පංතිය සැමොරින්ගේ 200ක් පමණ වූ යාත්‍රා පංතිය සමඟ බිහිසුණු සටනක යෙදී සැමොරින්ගේ යාත්‍රා විශාල ගණනක් මුහුදුබත් කර වෙරළ තීරය අල්ලා ගැනීම මෙම සටනේ ප්‍රතිඵලය විය.

පෘතුගීසින්ට එවකට මුහුදේ තිබූ විශාල රුවලින් යුත් ශක්තිමත් නැව් තිබුණද සැමොරින්ට තිබුණේ කුඩා යාත්‍රාය. මේ නිසා පෘතුගීසින්ට සැමොරින්ගේ යාත්‍රා කණ්ඩායම පහසුවෙන් පරාජය කළ හැකි විය. සැමොරින්ගේ සේනාවට හින්දු, අරාබි සහ තුර්කි සෙබළුන් අයත්ව තිබුණද ඔවුන්ට අත් වුණේ පරාජයයි. මෙම සටනේදී ලොරන්සෝ ද අල්මේද‌ාගේ නම පෘතුගීසින් අතර රණශුරයකු ලෙස පතළ විය.

1506 සිට 1508 දක්වා කාලයේ සැමොරින්ට රාජධානියද අහිමි විය. එහෙත් යුරෝපයෙන් ආධාරක සේනා නොපැමිණීම නිසා පෘතුගීසි සේනාව වැටී තිබුණේ දැවැන්ත අර්බුදයකය. අල්ලාගත් ප්‍රදේශය රැක ගැනීම සඳහා ඔවුන් ළඟ තිබූ සේනාව ප්‍රමාණවත් නොවීය. 1508දී ඔටෝමාන් තුර්කිවරු ඊජිප්තු නාවික සේනාංකයක් සැමොරින්ගේ උදව්වට පිටත් කර එවීම නිසා ලොරන්සෝ ද අල්මේදාගේ ජීවිත ඉරණමද තීන්දු විය.

කේරළ වෙරළේ කැන්නෝර් වරාය අසල සිදුවූ මෙම සටන හැඳින්වෙන්නේ බැටෑල් ඔෆ් කැන්නෝර් හෙවත් කැන්නෝර් මහ සටන යනුවෙනි.

යුරෝපය සමඟ කුළුබඩු වෙළෙඳ‌ාමේ යෙදුණ තම නාවිකයන්ට හිරිහැර කරමින් පෘතුගීසි නාවිකයන් ගෙනයන ව්‍යාපාරය නතර නොකළොත් තම වෙළෙඳ‌ාම බිඳවැටෙන බව තේරුම් ගත් ඊජිප්තු රජු අමීර් හුසේන් අල් කුර්දි නමැති නව සේනාධිපතියාගේ නායකත්වයෙන් දැවැන්ත නාවික හමුද‌ාවක් ඉන්දියාවේ පෘතුගීසි කඳවුරට පහරදීමට එවීය.

සටන දිගු කලක් පැවතුණේ පෘතුගීසින්ට ආධාරක සේනා එවීම දිනෙන් දින අඩාළ වෙමින් තිබියදීය. සටනේ අවසානය තීන්දු වූයේ පෘතුගීසි නාවික හමුදාවේ ප්‍රධානියා වූ ලොරන්සෝ ද අල්මේද‌ා සිටි නෞකාවද ඇතුළුව පෘතුගීසි නෞකා තුනක් සහ කුඩා යත්‍රා ගණනාවක් මුහුදු පත්ලට යවමිනි. මෙම සටනින් මියගිය පෘතුගීසි සෙබළුන් ගණන 140ක් බව සැලකෙයි.

ලොරන්සෝ ද අල්මේදා ද ඒ අතර විය.

ලංකාවට ආ පෘතුගීසි නාවිකයාගේ ඉරණම එසේ තීන්දු වූවද 1518 දී ඉන්දියාවේ පෘතුගීසි පාලකයා වූ ලෝපෝ සොරන් ද අල්බයේරියා වඩාත් ශක්තිමත් නාවික හමුද‌ාවකින් යුත් සේනාවක් කොළොම් තොටට එවා දශක ගණනක පෘතුගීසි පාලනයක් සඳහා ලක්දිව බටහිර වෙරළ අල්ලා ගත්තේය.

පළමුව අප්‍රිකානු මුහුදු තීරයට පිවිසි ප්‍රැන්සිස්කෝ ද අල්මේද‌ාගේ යාත්‍රා බළඇණිය මොසැම්බික් රාජ්‍යයේ කුඩා කඳවුරක් පිහිටුවීය. වත්මන් ටැන්සානියාව, කෙන්යාවේ මොම්බාසා ඇතුළු මුහුදුබඩ පළාත්වලට ගොඩබැස අල්මේද‌ාගේ හමුද‌ාව මිනිසුන් සිය ගණන් මරාදමමින් වෙරළබඩ නගර විනාශ කළේය. අප්‍රිකාවේ නගරවලින් සොරාගත් ධනයද පටවාගත් නැව් පෙළ ඊළඟට යාත්‍රාකළේ ඉන්දියාවටය. 

1505 වසරේ සැප්තැම්බරයේ පෘතුගීසිහු ඉන්දියාවේ කේරළ මුහුදු තීරයේ කොචින්හි තම කඳවුරක් පිහිටුවා ගත්හ. පෘතුගාල රජය අල්මේද‌ා ඉන්දියාවේ විසුරේ (පාලකයා) ලෙස පත්කළේය. 

ඉන්දියාවේ කැන්නේර්හිදි එවකට ඉන්දීය පාලකයා වූ සැමොරින්ගේ හමුදා සමඟ ගැටුණු ඔහුගේ යාත්‍රාවලින් ගණනාවක් මුහුදුබත් විය. නාවිකයන් රැසක්ද මරණයට පත්වූවද කොචින් (කේරළ) වෙරළේ ස්ථිර කඳවුරක් පිහිටුවා ගැනීමට ඔහුට පුළුවන් විය. 

ප්‍රේමකීර්ති රණතුංග 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: