Posted by: lrrp | April 2, 2019

පෘතුගීසි පාලක මල්වානේ රජ්ජුරුවන්ගේ මාලිගාව සොයා ගිය ගමන

අසවේදුගේ මාලිගාව පිහිටා තිබූ ස්ථානය අද

ආසවේදුගේ මාලිගයට මල්වාන බලකොටුව පෙනෙන අයුරු

පෘතුගීසීන් මෙරටට පැමිණි කාලය සම්බන්ධව දැක්වෙන මූලාශ්‍රවල විවිධ මත පළ වී තිබේ. ඉන් පළමු වැන්න වන්නේ අට වැනි වීර පරාක්‍රමබාහු රාජ්‍ය සමයේදී පෘතුගීසීන් ලංකාවට පැමිණි බවයි. දෙවැන්න වන්නේ නව වැනි ධර්ම පරාක්‍රමබාහු රජ සමයේදී බවය. අටවන වීරපරාක්‍රමබාහු රාජ්‍ය සමය 1484 – 1508 බව ඉයර් නොඩ්රිව්ටච් මතයයි. පරණවිතාන මතය අනුව ධර්මපරාක්‍රම බාහු රජ සමය 1491 – 1513 සමයයි.

අට වැනි වීරපරාක්‍රමබාහු රජතුමා රාජ්‍ය කළ සමයේ රෝගාතුර වීම නිසා ඔහුගේ ජ්‍යෙෂ්‍ඨ පුත්‍රයා වූ නව වැනි ධර්ම පරාක්‍රමබාහු රාජු කෝට්ටේ රාජ්‍යය මෙහෙයවීය. මේ අතර අට වැනි වීර පරාක්‍රමබාහු රාජ්‍යයේ සිටියදීම ඔහුගේ පුත්‍රයන් කෝට්ටේ රාජ්‍යයේ කොටස් පාලනය කළ බවද සඳහන්ය. මේ නිසා පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට අට වැනි වීර පරාක්‍රමබාහු රජතුමා මහලුවියේ පසු වූ අතර නව වැනි ධර්ම පරාක්‍රමාබහු කෝට්ටේ රජ මාලිගයේ ක්‍රීයාකාරීව පාලන කටයුතු සිදු කළේය. ඒ අනුව පෘතුගීසීන් කොළඹට ගොඩබැසීම මේ රජවරුන් දෙදෙනාගේම කාලයේ සිදු වූ බව නිගමනය කිරීම වඩාත් නිවැරදිය.

පෘතුගීසීන්ගේ ගොඩබැසීම පිළිබඳව රාජාවලියේ සඳහන් වන්නේ ඉහත සඳහන් විස්තරයට පටහැණි ලෙසය. එහි සඳහන් වන්නේ පෘතුගීසීන් හත්වන විජය බාහු රජ සමයේ පැමිණි බවය. පෘතුගීසීන් ලංකාවට පැමිණි කාලය වන විට විජයබාහු ප්‍රතිරාජයෙකු වශයෙන් මැණික් කඩවර රාජ්‍ය විචාල බව ​ෙකාඩ්රින්ටන්, මහාචාර්ය සෙනරත් පණවිතාන හා ජී.එස්. පෙරේරා සඳහන් කරයි. අලකේෂ්වර යුද්ධය ද පෘතුගීසීන් ලංකාවට පැමිණි දින වකවානු ලෙස සඳහන් කරන්නේ හත් වැනි විජයබහු ලෙස සඳහන් කරන්නේ හත් වැනි විජයබාහු රජ සමයයි. ක්‍රි.ව. 1509 1521 විජයබාහු රාජ්‍ය සමයයි.

කිරිමැටියාවේ කවියා ඔහුගේ මහ හටන කාව්‍ය ග්‍රන්ථයෙහි සඳහන් කරන්නේ පෘතුගීසීන් හත්වන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය සමයේදී ලංකාවට පැමිණි බවය. එම වකවානුව ක්‍රි.ව. 1521 – 1551 වෙයි. පෘතුගීසී ජාතික ක්වේරෝස් සඳහන් කරන්නේ ලොරැන්සෝද අල්මේදා නම් පෘතුගීසී ජාතිකයා 1505 නොවැම්බර් 15 දින ගාල්ලට ගොඩ බැස්ස බවය. කොන්ස්තන්තීනු ද එම මතය ඉදිරිපත් කරයි. ගැස්පාර් සඳහන් කරන්නේ 1505 අගෝස්තු මාසයේදී පෘතුගීසීන් මෙරටට පැමිණි බවය.

ඩී.ඩබ්ලිව්. පර්ගියුසන්ගේ අදහස වන්නේ පෘතුගීසීන් පැමිණියේ 1505 සැප්තැම්බර් මාසයේදී බවයි.

පෘතුගීසීන් මෙරට පැමිණෙන විට එකිනෙකට වෙනස් වූ ආර්ථික හා දේශපාලන වැදගත්කමින් යුත් රාජ්‍ය තුනක් එහි තිබිණි. දෙමළ ජනයා වාසය කළ යාපනය රාජ්‍ය උතුරෙන් විය. ඔවුහු ජාතිය, භාෂාව, සිරිත් විරිත් හා ආගම අතින් ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන්හි විසු සිංහලයන්ගෙන් බොහෝදුරට වෙනස් වූ ජනතාවක් වූහ.

රටේ අනෙකුත් ප්‍රදේශ සසඳන විට යාපනය සාරවත් ප්‍රදේශයක් නොවීය. බොහෝ දෙනෙකුට ප්‍රිය වූ කුරුඳු වගාව යාපනයේ නොවීය. මීළඟට ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි රාජ්‍යය මහනුවර විය. පෘතුගීසීන් මෙහි පැමිණි සමයේදී මහනුවර රාජ්‍යය ලංකාවේ දේශපාලන කටයුතු අතින් වැදගත් සාධකයක් බවට පත් වෙමින් තිබිණි. අනෙක් රාජ්‍ය්‍ය වූයේ කෝට්ටේ ය.

පෘතුගීසීන්ට මුලින්ම මුණගැසුණේ කෝට්ටේ පාලකයාය. පෘතුගීසීන්ගේ යුද්ධ බලය දැක බියට පත් වූ කෝට්ටේ රජු 1518 දී පෘතුගීසීන්ට කොළඹ බළකොටුව ඉදිකිරීම සඳහා අවසර දුන්නේය. එපමණක් නොව පෘතුගාලයේ රජතුමාට කප්පම් ගෙවීමට ද පොරොන්දු වූයේය. පෘතුගීසින්ට බළකොටුවක් ඉදි කිරීමට අවසර දීමෙන් සැබැවින්ම අට වැනි වීර පරාක්‍රමබාහු රජු සීමාව ඉක්මවා ක්‍රියා කළ බව මහ ජනයාට දැනිණි. 1518 දී වයෝවෘද්ධ තත්ත්ත්වයේ සිටි රජු තවත් දීර්ඝ කාලයක් ජීවත් වන්නේ යැයි කෝපයට පත් වූ ඔහුගේ පුත් වියජබාහු විසින් රජුට වසදී මරණයට පත් කළ බව ක්වේරෝස් සඳහන් කරයි.

හය වැනි විජයබාහු ලෙස කෝට්ටේ රජ වූ විජයබාහු කුමාරයා 1520 දී පෘතුගීසීන්ට විරුද්ධව ඇති වූ මහජන උද්ඝෝෂණයට ඉඩ දෙමින් කොළඹ පෘතුගීසි බළකොටුව විනාශ කිරීමට උත්සාහ කළේය. නමුත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.

විජයබාහු රජු මරා පුතුන් තිදෙනා රාජ්‍යය ඔවුනොවුන් අතර බෙදාගත්හ. රාජ්‍යය බෙදා ගැනීමෙන් වසර කීපයකට පසුව තුන් වැනි පුත්‍රයා මිය ගියේය. ඉතිරි පුතුන් දෙදෙනා වූ බුවනෙකබාහු හා මායාදුන්නේ අතර පැවැති එදිරිවාදිකම් නිසා පෘතුගීසීන්ට සිය තත්ත්වය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසිණි.

රාජ්‍ය බෙදා වෙන් කිරීමේදී බුවනෙකබාහු හට අගනුවර වූ කෝට්ටේ නගරයත් ඇතුළු රාජ්‍යයෙන් වැඩි කොටසකුත් ලැබූ නමුත් වඩා දක්ෂයා වූ මායාදුන්නේට ලැබුණේ කෝට්ටේ රාජ්‍යයට යටත් මාණ්ඩලික රාජ්‍යයක් වූ සීතාවක පමණි. මායාදුන්නේට එරෙහිව තම තත්ත්වය රැක ගැනීමට බුවනෙකබාහු රජු පෘතුගීසීන්ගේ සහාය පැතීය.

බුවනෙකබාහු රජුගේ අනුප්‍රාප්තිකයා වූ ධර්මපාල කුමාරයා බුවනෙකබාහුටත් වඩා බෙලහීනයකු විය. ඔහුගේ ආරක්ෂකයින් හා මිත්‍රයින් වූවෝ පෘතුගීසීහුය.  ධර්මපාල රජු 1557 දී රෝමානු කතෝලික ආගම වැළඳගත්තේය. 1580 අගෝස්තු මස දී අන්තිම කැමති පත්‍රයකින් ධර්මපාල රජු තමාගෙන් පසුව රාජ්‍ය හිමිවිය යුතු පුද්ගලයා වශයෙන් පෘතුගාලයේ රජතුමාව පත්කළේය. 1597 දී ධර්මපාල රජු මියගිය පසු පෘතුගීසීහු නීත්‍යානුකූල ලෙස කෝට්​ෙට් රාජ්‍යයේ පාලකයෝ බවට පත් වූහ. කෝට්ටේ රාජ්‍යයට අයත් විශාල භූමි ප්‍රදේශයක් තම භාරයට ගත් පෘතුගීසීහු  කොළඹ හැරුණු විට ආසන්නයේම තවත් බළකොටුවක් ඉදිකිරීමට සැලසුම් කළහ. ඒ 1597 දී ඉදි කළ මල්වාන බළකොටුවයි.

කොළඹට හා කෝට්ටේට ඉතා ආසන්නව හා කැලණි ගඟ අසලින් ගලා යාමත් පෘතුගීසීහු මල්වාන තෝරා ගත​්තේය. 1597 වන විට මෙරට ස්ථාපිත කර තිබූ පෘතුගීසි බළ​ෙකාටු 12 ක් පිළිබඳ සඳහන්ය. ඒ ගාල්ල, මාතර, කළුතර, මීගමුව, හලාවත, ගුරුබැවුල, බටුගෙදර, රුවන්වැල්ල, කුරුවිට, කඩුවෙල, සීතාවක හා මල්වානයි. මල්වාන බළ​ෙකාටුව පිහිටියේ කොළඹ සිට ලීග් දෙකක දුරිනි. එය කැලණි ගඟටත් පහුරු ඇළටත් මායිම්ව පිහිටි බිම් කඩකි. ආරෝග්‍ය ශාලාවක් පල්ලියක් බඩු ගබඩාවක් වෙඩි බෙහෙත් ගබඩාවක් මල්වාන බළකොටුවේ පිහිටා තිබුණි. මල්වාන බළකොටුවේ ප්‍රධානියා වූයේ කෲර පාලකයෙකි. ඒ​ ජෙනිමෝදා අසවේදුය. 1597 – 1611 දක්වා වූ වසර 15 ක් තිස්සේ බළකොටුවේ ප්‍රධානියා වූ අසවේදුව හඳුන්වන ලද්දේ මල්වානේ රජතුමා නමිනි. අසවේදුගේ රජ මාලිගය මල්වාන බළ​ෙකාටුව අාසන්නයේ පිහිටි අතර ඊට ආරක්ෂාව ලබා දීම පිණිස බළකොටුව ආසන්නයේ කැලණි ග​​ඟේ පිහිටි ගල් තලාව මත ආරක්ෂක වැඩ පිළවෙළක් ක්‍රියාත්මක වූ බවද කියැවේ. පෘතුගීසි භාෂාවෙන් රෝසපානි නමින් හැඳින් වූ එම ගල අද භාවිතා වන්නේ රාක්ෂපාන ගල නමිනි.

පෘතුගීසි භාෂාවට අනුව රෝසපානි යනු ආරක්ෂාවයි. අසවේදුගේ මාලිගාව තිබූ ස්ථානයට නුදුරින් කැලණි ගඟ තුළ පිහිටි රාස්සපාන ගල විඳ ගඟ හරහා දම්වැල් දමා කිසිදු යාත්‍රාවකට කැලණි ගඟ දිගේ ගමන් කිරීමට නොහැකි වන සේ ආරක්ෂක වැඩපිළිවෙළක් අසවේදු විසින් ක්‍රියාත්මක කර තිබිණි. ගල විද දම් වැල් දමා තිබූ බවට සැලකෙන සිදුරු පවා අදටත් රාස්සපාන ගලෙහි ඇතැම් ස්ථානවල දී දක්නට හැකිය. එහෙත් ඊට පෙර සීතාවක රාජසිංහ රජු විසින් ද පෘතුගීසීන් ගඟ දිගේ එහා මෙහා යාම වළක්වාලීමට ද දම් වැල් යොදා තිබූ බවද කියැවේ. අසවේදු විසින් අනුගමනය කරන ලද්දේත් එම ආරක්ෂක වැඩපිළිවෙළය.

කැලණි ගංගාවටත්, පහුරු ඔයටත් සීමාවන් දක්වන මල්වාන බළකොටුව ස්වභාවික ආරක්ෂක ස්ථානයක් ලෙසද ප්‍රකටය. මායාදුන්නේ සේනා මෙහෙයවන අවධියේදී ලාබාල ටිකිරි කුමරුගේ (පළමු වන රාජසිංහ) සේනාංකය ලැඟුම්ගෙන සිටියේද මෙම ආරක්ෂක ස්ථානයේ බව කියැවෙයි. සිංහල සේනාව කැලණි ගඟ දිගේ ඇදෙන කවරෙකු වුවද මර්දනය කිරීම සඳහා රහස් සීනු ක්‍රමයක් සකස් කර තිබුණි. ගඟ හරහා කවරකු හෝ ගමන් ගන්නේ නම් සීනුව නාද වන ආකාරයට මෙම ආරක්ෂක වැඩපිළිවෙළ සංවිධානය කර තිබිණි.

මල්වාන බළකොටුව පිහිටා ඇති ස්ථානයට ඉදිරිපසින් ගඟට එතෙරින් පිහිටියේ කඩුවෙල බෝමිරියයි. පෘතුගීසින් විසින් ඉදි කරන බවට සැලකෙන ලී පාලමක් ද ගඟ හරහා තිබූ බවට සාක්ෂි තිබේ. දැවැන්ත දැව කඳන් දමා ඉදි කර තිබූ මෙම පැරණි පාලමේ නටඹුන් ගඟේ ජලය ඉතා අඩු මට්ටමට පැමිණි පසු අදටත් දැක ගත හැකි බව ප්‍රදේශවාසීහු පවසති.
සීතාවක හා ගුරුබැවුල යන පෘතුගීසි බළකොටුවලට පහසුවෙන් ළඟා වීම සඳහා මෙම පාලම පෘතුගීසින් විසින් ඉදිකර තිබේ. මෙවැනි ආරක්ෂක ක්‍රම ඔවුන් විසින් අනුගමනය කරන ලද්දේ අසවේදු හෙවත් මල්වානේ රජතුමාගේ ආරක්ෂාව මුල් කරගෙනය.

පෘතුගීසින් විසින් අධිකරණ කටයුතුවල ප්‍රධාන වෙනස්කම් දෙකක් ඇති කරන ලදි. එනම් මල්වානේ අධිකරණය ඇති කිරීම හා ජනරාල්වරයාගේ අධිකරණය ඇති කිරීමයි. අසවේදු විසින් මල්වානේ පිහිටුවන ලද අධිකරණය මුදලිවරුන් අටකට නොවැඩි හතරකට නොඅඩු සංඛ්‍යාවකින් සමන්විත විය. ඔවුන් විසින් ස්වදේශිකයන්ගේ සාමාන්‍ය ආරවුල් විසඳූ අතර වඩ වඩා වැදගත් කරුණු ජනරාල්වරයාට යොමු කරන ලදි.

කෝට්ටේ හා සීතාවක රාජධානී බිඳ වැටීමෙන් අනතුරුව කන්ද උඩරට රාජ්‍යය බලවත් විය. ඇතැම් අවස්ථාවන්හිදී එහි රාජ්‍ය පිහිටුවීමේ කාර්යයන්ට පෘතුගීසීන්ගේ සහය සෘජුවම ලැබුණු අවස්ථාද තිබේ. පසුව සෙංකඩගල විමලධර්මසූරිය රජු (ක්‍රි.ව. 1592 – 1604) කෝට්ටේ රාජධානිය අත් පත් කර ගැනීමට පෘතුගීසීන් සමග සටන් වැදුණහ. මෙම යුගයේ මල්වාන දක්වා බොහෝ ප්‍රදේශවල ජනතාව පෘතුගීසීන්ට එරෙහිව කැරලි ගැසූහ.

ජනතා විරෝධය බලවත් ලෙස එල්ල වූයේ මල්වානේ රජතුමාගේ කෘෘර පාලනයට එරෙහිවය. සියලු වැසියෝ මල්වානේ රජුට දණ නමා නමස්කාර කළ යුතු වූ අතර රජුගේ සතුට උදෙසා බොහෝ දේ කරන්නට සාමාන්‍ය වැසියාට සිදු විය. රූමත් තරුණියන් පවා මල්වානේ රජුගේ සතුට වෙනුවෙන් පූජා කිරීමට ද ඇතැමෙකුට සිදු විය. මල්වානේ රජුගේ මෙම ක්‍රියාවන්ට එරෙහි වූවන් රාජද්‍රෝහීන් ලෙස සැලකිණි. වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන් පවා කපා කොටා මරා පහුරු ඔයට විසි කළ බවද කියැවේ. අසවේදු හෙවත් මල්වානේ රජු විසින් සිංහලයින්ට එරෙහිව සිදු කරන මෙම සංහාරය කන්ද උඩරට රජු ඇතුළු රටේ සියලු මිනිසුන් අතර පැතිර ගියේය.

1603 ජනවාරි මාසයේදී මල්වානේ රජ්ජුවෝ වූ අසවේදු තම සේනාව සමග අත්තනගල්ල දොරවක මැණික් කඩවර හා අට්ටාපිටිය පසු කරමින් ගමන් කළේය. ඊට පෘතුගීසි සෙබළුන් 1101 ක් හා ලස්කිරිඤ්ඤා භටයෝද සහභාගී වූහ. පෘතුගීසීන් හා විමලධර්මසූරිය රජුගේ සේනාව අතර කන්ද උඩරට බලන ප්‍රදේශයේ දරුණු ගැටුම් ඇති වෙද්දී සිංහල ජනතාව මල්වාන බළකොටුවට ප්‍රහාරයක් එල්ල කළහ. ඒ වන විට මල්වාන බළකොටුව භාරව සිට ඇත්තේ බණ්ඩියරාල නමැත්තෙකි. ඔහු තම බළකොටුවේ ආරක්ෂාව පිණිස බළකොටුවට යතුරු ලා යතුරු කැරැල්ල කැලණි ගඟට විසි කළ බව කියැ වේ.

​ෙක​ෙස් වෙතත් මල්වාන බළ​ෙකාටුව ගිනි තබා විනාශ කළ සිංහල පිරිස් විසින් එහි සිටි පෘතුගීසීහු 38 ක් මරා දමනු ලැබිණ.

මියගිය පිරිස අතර ජෙරනිමෝ ෆර්ඩිනැන්ඩස් නමැති පෘතුගීසි පූජකවරයෙකු හා විශ්‍රාමික පාතුගීසී කපිතාන්වරු 08 ක් ද සිටි බව කියැවේ. අසවේදු යලි මල්වානට එද්දී බළකොටුවෙන් කොටසක් දැවී අළු වී ගොස් තිබිණි. පසුව ඔහු මහත් පරිශ්‍රමයක් දරා බළකොටුව යළිත් ප්‍රතිසංස්කරණය කළේය.

මෙම ප්‍රහාරයෙන් පසුව මල්වානේ රජු විසින් බළකොටුවේ හා තමාගේ ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් යොමු කළේය. බළකොටුවේ ආරක්ෂාව සඳහා යොදන ආරක්ෂක සෙබළුන් සංඛ්‍යාවද වැඩි ක​ෙළ්ය. බළ​ෙකාටුවට නුදුරින් රෝසපානි ගල්තලාව මත සිට ආරක්ෂකයින් රැසක් රජුගේ මාලිගාවට ආරක්ෂාව සැපයීය. එම ගල් තලාවට බළකොටුවත් මාලිගයත් හොඳින් දර්ශනය වූ අතර අසවේදුගේ නියෝගය මත රෝසපානි ගල්තලා මත පහනක් දල්වන ලදි. එම පහන නිවෙන්නට නොදී අඛණ්ඩව දැල්විය යුතු වූ අතර පහන නිවී තිබීම තම ආරක්ෂාවට හා තම ජීවිතයට බරපතළ අවදානමක් ඇති වන බව අසවේදු විශ්වාස කළේය. මාලිගාවේ ජනේලයෙන් නිතරම එම පහන දැල් වී ඇති දැයි රාත්‍රියට අසවේදු නිරික්ෂණය කළේය. එම පහන නිවී තිබීම ආරක්ෂකයින්ගේ ජීවිතය අහිමිවීමට හේතු වන බව සැලකුණු නිසා එකල රෝසපානි ගල මත රාත්‍රියට අඛණ්ඩව පහන දැල්වෙමින් පැවැති බවද කියැවේ.


‘රෝසපානි ගල’

ගංගාව මැද පිහිටි රෝසපානි තල්තලාව

මල්වාන බලකොටුවේ ඉපැරණි ගල්බැමිම

බලකොටුවට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින්


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: