Posted by: lrrp | April 7, 2019

මල්වානේ රජ වූ අසවේදු බොදු පින්බිම් විනාශ කළ හැටි

පෘතුගීසී පාලක මල්වානේ රජ්ජුරුවන්ගේ මාලිගාව සොයා ගිය ගමන

ලංකාවේ පළමු පෘතුගීසී කපිතාන් ජනරාල්වරයා වූයේ පෙඩ්රෝ ද සුසාය (1594). මල්වානේ රජු හෙවත් දොන් ජෙරනිමෝද අසවේදු මෙරට දෙවැනි කපිතාන් ජනරාල්වරයාය (1594-1612). 

රෝසපානී හෙවත් රාක්ෂපාන ගල 

මල්වාන බලකොටුව පිහිටි ස්ථානය කැලණි ගඟෙන් වටවී 

1597 දී සීතාවක රාජසිංහ රජු පන්දහසක සේනාවක් ගෙන පෘතුගීසී බලකොටුවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. කෘත්‍රිම ඇළක් තනා බේරේ වැව හිස් කොට පසුව ඇතුන් ලවා බලකොටු ප්‍රාකාරය විනාශ කිරීමට ද ඔහු උත්සාහ කළේය. මාස 22ක් පුරා මෙම සටන පැවැතිය ද ගෝවෙන් අතිරේක බලඇණියක් කොටුවට එවීම නිසා එය අසාර්ථක විය.
අතිශය දුර්වල පාලකයකු වූ ධර්මපාල කුමරු පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්වී දොන් ජුවන් නමින් බෞතිස්ම ලැබූවෙන් පෘතුගීසීන්ට තම පාලනය මනා ලෙස පවත්වාගෙන යාමට එය බෙහෙවින් ඉවහල් විය. දොන් ජුවන් කෙරෙහි ජනතාව තුළ වූ අප්‍රසාදය නිසා ඔහු සිය රාජධානියේ අගනුවර කෝට්ටේ සිට කොළඹට ගෙන ආවේය. මේ නිසා කොළඹ නගරය පාලනය කළ ප්‍රථම රජු දොන් ජුවන් ධර්මපාල ලෙස සැලකිය හැකිය.

දොන් ජුවන් පෘතුගීසීන්ගේ අවශ්‍යතා ඉටුකරමින් ඔවුන් අත රූකඩයක් බවට පත්වෙද්දී කෝට්ටේ රාජධානිය ක්‍රමයෙන් ජන ශූන්‍යව වල් බිහිවී ගියේය. පෘතුගාලයේ රජතුමා වූ සෙබස්තියන් ප්‍රතිරාජයා කොළඹ නගරය හඳුන්වන ලද්දේ “මාගේ අගනුවර වූ කොළඹ” නමිනි. දොන් ජුවන් එහි නාමික පාලකයා වුව ද සැබෑ වශයෙන්ම කොළඹ පාලනය කරන ලද්දේ පෘතුගීසීන් විසිනි.

වර්ෂ 1597 දී දොන් ජුවන් ධර්මපාලගේ මරණය පෘතුගීසීන්ට සැබෑ ලෙසින්ම සංවේගදායී කරුණක් වූයේ එහෙයිනි. කෙසේ වුව ද බෙහෙවින් ගෞරව සහිතව ඔහුගේ අවමංගල්‍ය උත්සවය ක්‍රිස්තියානි ආගමානුකූලව පැවැත්වූ පෘතුගීසීහු දොන් ජුවන්ගේ මෘත දේහය කොළඹ රජගෙදර පසුපස ඇති ශාන්ත ප්‍රැන්සිස් කන්‍යාරාමයේදී භූමදානය කරන ලදී. ඉන් අනතුරුව පෘතුගාලය විසින් ලංකා රාජ්‍යයේ එකම උරුමකරුවා ලෙස පත් කරන ලද්දේ ජෙරනිමෝද අසවේදුය.

කුඩා ඉනි වැටකින් වටවී තිබූ කොළොම්පුරය අට්ටාල දොළහකින් ශක්තිමත් වූ මහා නගරයක් බවට පත්වූයේ මේ අයුරිනි. එක් එක් කොටු බැම්ම සමාන්තරව පැති හයෙහි දොරටු හයක් විය. ප්‍රධාන කොටුව පිහිටියේ උතුරු දෙසින් වරාය අසබඩය.

රාත්තල් 10 සිට රාත්තල් 38ක් දක්වා බරැති සංඛ්‍යාවෙන් 237ක් වූ කාලතුවක්කු සමූහයක් බලකොටුව සුරක්ෂිත කිරීම සඳහා සන්නද්ධ කොට තිබූ බව රුබේරුගේ වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම ප්‍රාකාරයේ මුළු දිග ප්‍රමාණය පියවර 1300ක් ඉක්ම වූ බව ද රුබේරුගේ වාර්තා සඳහන් කරයි.

සිය පාලනය ශක්තිමත් වීමත් සමගම පෘතුගීසීහු “කොළඹ” නගරයක් ලෙස ගොඩනගන්නට වූහ. සතුරු ආක්‍රමණ පිළිබඳව පැවැති බිය තුරන්ව යත්ම ඔවුහු බලකොටුවෙන් පිටත ද සිය වාසස්ථාන හා ගොඩනැගිලි පුළුල් කළහ. විශේෂයෙන්ම කතෝලික ආගම ස්වදේශිකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා මහත් වූ දේවස්ථාන සංඛ්‍යාවක් ගොඩනැගූහ.
පෘතුගීසි ඉතිහාසඥ රුබේරු සඳහන් කරන ආකාරයට බලකොටුව තුළ පමණක් කුලීන පවුල් 900ක් ජීවත් වූහ. මෙයට අමතරව සුළු නිලතල හා වෙළෙඳ කටයුතු කරගෙන ගිය තවත් 1500ක් පමණ පිරිසක් වූ බව ද ඔහු සඳහන් කරයි. එමෙන්ම ඔවුහු ස්වදේශිකයන් හා ආවාහ විවාහවල ද නිරත වූහ.

කොළඹ නගරයට ආහාරපාන ගෙන එන ලද්දේ කැලණි ගඟ හරහාය. මේ ගමනේදී පෘතුගීසීන්ගේ ඇස ගැටුණු සුන්දර ස්ථානයක් තිබිණි. ඒ මල්වානයි.

මල්වානට නුදුරින් කැලණි ගං ඉවුරේ පිහිටි රෝස පැහැති ගල් තලාව හා ඒ අවට ප්‍රදේශය මනස්කාන්ත දසුනක් නිර්මාණය කළ අතර මල්වාන බලකොටුව මෙන්ම ජෙරනිමෝදුගේ මාලිගාව තනන්නට නියම ප්‍රදේශය මෙයම බව පෘතුගීසීහු තීරණය කළහ.

අසවේදු තම බලකොටුව මල්වානේ ඉදිකර තමාට ජීවත්වීමට මාලිගාවක් ද ඒ අසල ඉදිකළේය. ඒ සමගම අසවේදු අවධානය යොමු කළ විශේෂ කාරණාව වූයේ කතෝලික ආගම තම බලප්‍රදේශය තුළ වේගයෙන් ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියයි. අසවේදු එය සිදු කළේ ජනතාව පිට බලහත්කාරකම් යොදවමිනි. අසවේදු පළමුව කළේ කතෝලික ආගමට බැඳෙන්නන්ට විශේෂ වරප්‍රසාද ලබාදීමය. එසේ වරප්‍රසාද තකා අසවේදුගේ පිලට එක්වූ බොහෝ දෙනෙක් ද එදා වූහ. 

ආගම ව්‍යාප්ත කිරීම සඳහා නව ආගමික ස්ථාන ඇති කිරීම මෙන්ම බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම ද අසවේදු සිදු කළේය. මල්වාන ප්‍රදේශයට සමීපව පිහිටි කෑරගල නම් වූ බෞද්ධ කොට්ඨාසයකි. ඊට අයත් වෙහෙර විහාර හා සිද්ධස්ථාන විනාශ කළ අසවේදු ඒවායේ ඉඩම් ද බලහත්කාරයෙන් අල්ලා ගත්තේ එම බෞද්ධ කලාපයට අයත් දෙකටන, කටුලන්ද ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික බෞද්ධ භූමිය අක්කර 47ක් පමණ වූ අතර, ඉන් අක්කර 45ක් අසවේදුගේ පිරිස් අල්ලා ගන්නා ලදී.

කුකුළන් හඬලන හැටි බැලීමට යැයි කියමින් කුඩා දරුවන් හෙල්ලවල ගසා සිටුවා මරා දැමීම අසවේදු විසින් සිදු කරන ලද ම්ලේච්ඡතම ක්‍රියාව ලෙස සැලකේ. එසේම අසවේදු මිනිසුන් උල්වල සිටුවා මරා දැමූ බවත්, අද වනවිට ඒ ප්‍රදේශයේ “උල්හිටිවල” ලෙස ග්‍රාමයක්ව පවතින අතර, මිනිසුන් කිඹුලන්ට ගොදුරට දුන් ප්‍රදේශය “කිඹුල්විලවත්ත” නමින් අදටත් ඇත. නාරංගස්ගොමුව, යබරලුව, පල්ලියවත්ත, රජමල්වත්ත වැනි ග්‍රාමයන් ද පෘතුගීසී ආභාෂය මත නම් ලද ග්‍රාම කිහිපයකි. 

තම මතයට විරුද්ධව යන්නන් හා තමාට එරෙහිව කැරලි ගසන්නන් ද්‍රෝහීන් ලෙස නම් කළ අසවේදු එම පිරිස් හෙල්ලයෙන් ඇන හෝ කඩුවලින් කපා මල්වාන බලකොටුව අසලින් කැලණි ගඟට ගලා යන පහුරු ඔයට දැමූ බවත්, එම මෘත ශරීර කිඹුලන්ට රසවත් ආහාරයක් වූ බව ද කියැවේ. මල්වාන බලකොටුවත්, තම මාලිගයත් ආරක්ෂා කිරීම හා නඩත්තු කිරීම වෙනුවෙන් සාමාන්‍ය වැසියා වහලුන් ලෙස තබාගත් බවත්, ඔවුන්ට කෲර වදහිංසා පැමිණ වූ බවත් කියැවේ. 

කුකුළන් හඬලන හැටි බැලීමට යැයි කියමින් කුඩා දරුවන් හෙල්ලවල ගසා සිටුවා මරා දැමීම අසවේදු විසින් සිදු කරන ලද ම්ලේච්ඡතම ක්‍රියාව ලෙස සැලකේ. එසේම අසවේදු මිනිසුන් උල්වල සිටුවා මරා දැමූ බවත්, අද වනවිට ඒ ප්‍රදේශයේ “උල්හිටිවල” ලෙස ග්‍රාමයක්ව පවතින අතර, මිනිසුන් කිඹුලන්ට ගොදුරට දුන් ප්‍රදේශය “කිඹුල්විලවත්ත” නමින් අදටත් ඇත. නාරංගස්ගොමුව, යබරලුව, පල්ලියවත්ත, රජමල්වත්ත වැනි ග්‍රාමයන් ද පෘතුගීසී ආභාෂය මත නම් ලද ග්‍රාම කිහිපයකි.

මල්වාන පිළිබඳව මුලින්ම ලියැවුණු කවි පන්තියේ අලගියවන්න මුකවැටි පඬිතුමා සිය “කොන්ස්තන්තීනු සටන” නමැති ග්‍රන්ථයේ ලියා තිබේ. කුරුවිට රාල නම් මුලින් පෘතුගීසීන්ට සේවය කළ ඉන්පසුව පෘතුගීසීන්ට එරෙහිව කැරලි ගැසූ යුධ සෙන්පතියකු පිළිබඳවත්, ඔහුගේ සටන් ගැනත් එහි සඳහන්ය. 1618 දී පෘතුගීසී සෙන්පති කොන්ස්තන්තීනු හා පිරිවර ගොස් කුරුවිට රාල පරාජය කොට උඩරට ගිනි තබා යළි මල්වානට පැමිණි බව එහි සඳහන්ය. කොන්ස්තන්තීනු යනු අසවේදුගෙන් පසුව මල්වානේ රජ වූ සෙන්පතියාය.

කොන්ස්තන්තීනු මල්වාන බලකොටුවේ සිට උඩරට බලය අල්ලා ගැනීමට සැලසුම් සකස් කළ බව කියැවේ.

පෘතුගීසීන් නිතර විවේක සුවයෙන් ගත කළ බව කියන “හීල්බත්ගල” 

අසවේදු මිනිසුන් මරා කිඹුලන්ට දැමූ පහුරු ඔය

එහෙත් 1630 දී බදුල්ල, රන්දෙණිවෙල පැවැති සටනෙන් පෘතුගීසීහු දරුණු පරාජයකට ලක්වූ අතර, එහිදී පෘතුගීසීහු විශාල සංඛ්‍යාවක් මරු දුටහ. අනතුරුව සිංහලයන් මල්වාන බලකොටුව ද තම ආධිපත්‍යයට ගත්හ. මල්වාන බලකොටුව නතුකර ගැනීමෙන් පසුව දෙවන රාජසිංහ රජු ද එහි මාස තුනක් පමණ කල්ගත කළේය. ඇතැම් ග්‍රන්ථයන්හි ඒ සෙනරත් රජු ලෙස ද හැඳින්වේ.

1632 දී දොන් ජෝර්ජ් අල්මේදා විසින් මල්වාන බලකොටුවට ප්‍රහාරයක් එල්ල කොට මල්වාන, බියගම හා කඩුවෙල යන බලකොටු තුනම තම පාලනයට නතු කර ගත්තේය. 1655 දී උඩරැටියන් යළි මල්වාන අල්ලා ගත් අතර එහි සාදයක් පැවැත්වීමට සූදානම් කළ නමුත් දෙවන රාජසිංහ රජු ඊට අකැමැති වූ නිසා එම සාදය බියගම රග්ගහවත්තේදී පැවැත්වූ බව කියැවේ.

මල්වාන බලකොටුවට ආසන්නව තිබූ තවත් බලකොටුවක් වූයේ හංවැල්ල ගුරුබැවුලයි. මෙය බොහෝ සටන්වලදී පෘතුගීසීන්ටත්, සිංහල හමුදාවන්ටත් බොහෝ ප්‍රයෝජන ගෙන දුන්නේය. පෘතුගීසීන් විසින් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් 120ක් අසවේදු විසින් මෙම බලකොටුව තුළ පිහිට වූ යුද අධිකරණයකින් එක් අයකු හැර අනෙක් සියලු දෙනා වෙඩි තබා මරු දැමූ බව ද කියැවේ.

කෝට්ටේ රාජ්‍යයට හිතවත්කම් දැක්වූ පෘතුගීසීහු හා සීතාවක සේනා අතර ගුරුබැවුල ප්‍රදේශයේදී 1539 දී ආරම්භ වූ සටන ඉතා දරුණු එකකි. 1595 ජනවාරි පළමුවනදා 900ක පෘතුගීසී හමුදාවක් ද 2000ක කුලී හමුදාවක් පෙරටු කරගත් අසවේදු හමුදාවෙන් කොටසක් එහි රඳවා ඉතිරි කොටස ගෙන රග්ගහවත්ත ප්‍රදේශයේ කඳවුරු බැඳවූ බවත්, අනතුරුව සියනෑ කෝරළයේ ජනතාව බියවද්දා ඔවුන් යටත් කර ගැනීමට අසවේදු උත්සාහ කළ බවත්, මේ නිසා බියගම හා රග්ගහවත්ත ප්‍රදේශවාසීන් මහත් තාඩන, පීඩනයට ලක්වූ බවත් කියැවේ.

පළමුවන රාජසිංහ රජු මුල්ලේරියා සටන මෙහෙයවන ලද්දේ රග්ගහවත්තේ සිටය. මුල්ලේරියාව හා රග්ගහවත්ත කැලණි ගඟ දෙපසින් එක හා සමානව පිහිටා තිබේ. දෙවන රාජසිංහ රජු හා ඕලන්ද ආණ්ඩුකාරයාගේ හමුවීම සිදුවූයේ ද රග්ගහවත්තේදී බව කියැවේ.

“මල්වාන ගිවිසුම” නමැති ප්‍රකට ලියවිල්ල 1597 මැයි 29 දින අත්සන් කරන ලද්දේ ද බලකොටුව තුළදීය. දොන් ජුවන් ධර්මපාල පෘතුගාල රජුට පක්ෂපාතීත්වය දැක්වීම සඳහා මෙම ලියවිල්ල අත්සන් කළේය. මේ ලියවිල්ලට පෘතුගාල රජු වෙනුවෙන් අත්සන් කරන ලද්දේත් ජෙරනිමෝද අසවේදු හෙවත් මල්වානේ රජතුමාය.

1658න් පසුව ඕලන්ද ජාතිකයන් විසින් මල්වාන බලකොටුව රෝහලක් බවට පත් කළේය. බෙල්ජියන් ජාතික වෛද්‍ය ඇග්ලියොස් ඩාමන්, ලොරෙන්ස් ෆීල්ඩ් නමැති ලන්දේසි පාලකයා සමග මෙහි පැමිණි බව කියැවේ. මල්වාන බලකොටුවේ ගොඩනැගිලි කිසිවක් අද වනවිට ද දක්නට නැති අතර, ගල් බැමි කිහිපයක් පමණක් සංරක්ෂණය කර තිබෙනු දක්නට ලැබෙයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: