Posted by: lrrp | May 12, 2019

දියණියන් දූෂණය වනු දැක ආතතියෙන් මියගිය කුසුමාසන දේවිය!

සිංහලේ අන්තිම රැජින දෝන කතිරිනා නොහොත් කුසුමාසනදේවීට එම උරුමය ආවේ තම පියාවන කරලියද්දේ බණ්ඩාර රජුගෙනි. එතුමා සීතාවක රාජසිංහ රජුට බියේ පෘතුගිසීන්ගෙන් උදව් ලබාගැනීම සඳහා රජ පවුලම කතෝලික ආගම වැළඳ ගත්තේ කුසුමාසන කුමරිය ළදරු අවස්ථාවේදීමය. අභීත රණකාමියකු වූ සීතාවක රජුගෙන් ආධාර ලැබුණු වීරසුන්දර බණ්ඩාර, කරලියද්දේ රජුට විරුද්ධව කැරලි ගැසුවේ තම පුතා කොනප්පු බණ්ඩාර හා උඩරට වැසියන් සමගය. වීරසුන්දරගෙන් ගැළවීමට බැරිව අවසානයේ කරලියද්දේ රජුට, සිය පවුල සමගම ත‍්‍රිකුණාමලයට පැන යෑමට සිදුවේ. එහිදී රජුත්, දේවියත් අකල් මරණයකට පත්වූයේ වසූරිය වසංගතය නිසාය. තුන් හැවිරිදි කුඩා කුමරියත්, රජුගේ බෑණනුවන් වන යමසිංහ බණ්ඩාරවත් මන්නාරම පෘතුගීසි බළකොටුව වෙත ගෙන යනු ලැබිණි. යන්තම් තරුණවියට එළැඹෙන තෙක් මෙහි සිටි කුමරිය පෘතුගීසි රජ කුමරියක සේ අධ්‍යාපනය ලැබුවාය. පෘතුගීසීන්ට අවශ්‍ය වූයේ දෝන කතිරිනාව පෘතුගීසි සෙනවියකුට විවාහ කර දී, කෝට්ටේ සිටින තම සිංහල රූකඩ පාලකයා වන දොන් ජුවන් ධර්මපාල සේ ඇයව කන්දේ රාජ්‍යයේ තබා ගැනීමටය.

පළමුව පෘතුගීසින් දොන් ජුවන් කොනප්පු බණ්ඩාරගේ නායකත්වයෙන් හමුදාවක් නුවරට ඇරියේ යමසිංහ බණ්ඩාර රජ කරවීමටය. එසේ රජවූ යමසිංහ මාස 6 කට වඩා ජීවත් නොවීය. කොනප්පු බණ්ඩාර ඉන් අනතුරුව රජ වූයෙන් යමසිංහගේ මරණය සිදුවූයේ කොනප්පු බණ්ඩාරගේ කුමන්ත‍්‍රණයක් නිසා බව සාමාන්‍ය පිළිගැනීමයි.

මේ අතර සීතාවක රාජසිංහ 1893 දී කොනප්පුට විරුද්ධව සටනට ආවද පැරදී ආපසු යෑමේදී පෙතන්ගොඩදී උණ කටුවක් ඇනී මිය ගියේය. මෙයටද කොනප්පු බණ්ඩාරගේ සම්බන්ධයක් ඇති බවත් පැවසේ.

ආක‍්‍රමණකාරී පෘතුගීසි හමුදාවට දෙවැනිවරට පාඩමක් කියා දුන්නේ දොන් ජුවන් කොනප්පු බණ්ඩාර දන්තුරේ සටනේදීය. ඉන් අනතුරුව සිංහාසනයට උරුම කිවූ දෝන කතිරිනා නොහොත් කුසුමාසනාදේවීව බලෙන්ම සරණ පාවා ගෙන 1 වැනි විමලධර්මසූරිය නමින් රජ විය.

මේ රාජකීය දෙපළගේ ඊළඟ ප‍්‍රධාන කටයුත්ත වූයේ අනාරක්ෂිතව තිබූ දළදා වහන්සේ නුවරට වැඩම වීමයි. ඒ අනුව රජ වාසල අසලින්ම දළදා මාලිගය ඉදි කෙරුණි. එහි ඇති අදටත් බොහෝ සෙයින් වැඳුම් ලබන මැණික් පිළිම වහන්සේ පූජා කෙරුණේ දේවිය අතිනි. එය දේවියගේ ඥාතීන් විසින් සාදවන ලද්දකි.

රජ වාසල සිටි සෙනරත් නමැති උපවැදි වූ රජුගේ ඥාති සොහොයුරාත්, ඒකනායක මුදලිත්, ඔවුනගේ සහචරයනුත්, විශේෂයෙන් දෙවනගල නායක හිමිගේ අකැමැත්ත නිසාත් දේවිය දැඩි ආතතිකයකට පත්වූවාය. තම දේවියගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගත් රජු කෑගල්ලේ වැලිමන්නන්තොට එතුමිය උදෙසා මාලිගයක් තැනවීය. එය සතර කෝරලයටම ඇති එකම මාලිගය යි.

රජුගේ අභාවයෙන් පසු අකැමැත්තෙන් වුවද එතුමියට සිදු වූවේ තමා පිළිකුල් කරනා තැනැත්තා, එනම් විමලධර්මසූරිය රජුගේ පුංචි අම්මාගේ පුතා වන උපැවිදි වී සිටි සෙනරත් සමගම විවාහ වීමටය. (ඇතැම් තැනක සෙනරත් ඇයව දූෂණය කොට කැමති කරවාගත් බවත් සඳහන් වේ.)

ඇත්තෙන්ම 1 වැනි විමලධර්මසූරිය රජුගේ මරණය අදටත් අභිරහසකි. එතුමා උණ රෝගයකින් මළ බව කීවද එතුමා ඇත්තටම මියගියේ ඉතා තදබල විසක් ශරීර ගතවීමෙනි. වේදනාව ඉවසිය නොහැකිව රජු මහා වතුර භාජනයකට බැස ඉණෙන් පහළ ජලයෙන් යටකර තබාගත් බව පැවසේ. එසේම එතුමා මියගිය පසු, උඩවත්ත රාජකීය ආදාහන මළුවේදී චිතකය දැවූ බවත්, පසුදින එතනට ගිය රාජපුරුෂයන්ට හදවත නොදැවී තිබෙණු දැකීමට ලැබුණු බවත් කියවේ. මෙය රජුගේ උත්තරීතර භාවයේ සංකේතයක් හැටියට එකල විශ්වාස කළද, මෑතකදී මට ඇතිවූ සැකයකට මා වෝහාරික වෛi සිසිර රණසිංහ මහතාගෙන් විමසූ විට එතුමා කීවේ යකඩ වැඩියෙන් අඩංගු විසක් ශරීර ගතවූ විට එසේ හෘදය නොදැවී තිබෙන්නට ඉඩ ඇති බවය.

විමලධර්මසූරිය රජු මියගියේ ලන්දේසීන් හමුවී එන අතරය. ලන්දේසීන් විසින් කුසුමාසන දේවිය සම්බන්ධයෙන් කරනා ලද නොහොබිනා විහිළුවක් නිසා ඇතිවූ විරෝධයකදී රජුගේ පිරිස අතින් ලන්දේසීන් කපිතාන්වරයෙක් මිය ගියේය. ඇත්තටම රජුගේ දේවිය සම්බන්ධයෙන් එවැනි දෙයක් කීමට කපිතාන්වරයාට හයියක් ආවේ අපගේ එකෙකුගේ ඉගැන්වීම් බසකටද? ඇත්තටම එය කුමන්ත‍්‍රණයක්ද? එහි පිටුපස සිටියේ සෙනරත්ද? ඔහු කුසුමාසන දේවිය බලහත්කාරයෙන් විවාහ කරගැනීමෙන්ම සහ රාජ්‍ය විචාරය තම අතට ගැනීමෙන් එය සනාථ නොවන්නේද? එතෙක් දවස් දේවිය විසින් රාජ්‍ය විචාරමින් සිටියාය. එහෙත් වරක් ඔහු ලන්දේසී රාජ්‍යයට දන්වා ඇරියේ විමලධර්මසූරිය රජුගේ දරුවන් කුඩා නිසා නිසි වයස් එළැඹෙන තෙක් රාජ්‍ය විචාරන බවය.

විමලධර්මසූරිය රජුට දාව තමන් වැදු වැඩිමහල් පුතු, මහා අස්ථාන කුමරුන් ගැනද කුසුමාසන දේවිය පසුවූයේ බියෙනි. එයට හේතුව සෙනරත් රජු නිතර කුඩා කුමරුගේ ක‍්‍රියාවන් විවේචනය කිරීමයි. කුමරුගේ විනෝදාංශයක් වූයේ කොණ්ඩ කුරුල්ලන් කෙටවීමයි. කෙසේ හෝ ඔටුන්න හිමි කුමරු සියල්ලම දැන සිටිය යුතු බව පවසමින්, සෙනරත් රජු කුමරුවා මහියංගණය රජවාසලට ගෙනයන ලද්දේ පිහිනුම් ආදිය ඉගැන්වීමටය.

එතුමිය සිතු සේම සෙනරත් රහසින් එතුමියගේ වැඩිමහල් පුතු මරා දැම්මේ පළමුව විෂ අඹයක් කන්නට දී දෙවනුව මහවැලි ගඟට නාන්නට ඇරීමෙනි. මේ අඹ ගෙඩිය දෙවුනේ කුඩාකල සිටම කුමරුන් බලාකියා ගත් ස්ත‍්‍රිය අතිනි. කුමරුගේ සම වයසේ සිටි සේවක කොලූවෙක්ද මේ සමග මරා දමන්නට සිදුවූයේ මේ අඹ ගෙඩියේ රහස එළි වූ හෙයිනි.

සියලූ දෝෂවලින් මිදීමට ඉතා උත්කර්ෂවත් අවමඟුල් පෙරහැරක් පවත්වා කුමරුන් ආදාහනය කරවන ලදී. මේ වනවිට කුසුමාසන දේවිය සෙනරත්ව තදින් පිළිකුල් කරමින් සිටියාය. එයට හේතුව මේ වන විටත් දේවියගේ පළමු විවාහයේ දියණියන් දෙදෙනා වන සූර්ය අදසින් හා අන්තන් අදසින්ව ද සෙනරත් අතින් අපයෝජනයට ලක්වී තිබීමයි. මේ කුමරියන් දෙදෙනා සදහටම අවිවාහකව තැබීමටයි සෙනරත්ට අවශ්‍ය වූයේ. තමන් අපයෝජනයට ලක්වන බව නොදැනීම දියණියන් දෙදෙනා සෙනරත්ට හිතවත් වූහ.

ඒනිසාම රජ බිසව කලකිරී දියණියන්ද, සෙංකඩගල මාලිගය ද අත්හැර වැලිමන්තොටට ගියේ තම වැඩිමහල් පුතුගේ අළු බඳුනද රැගෙනය. මේ වන විට එතුමිය තම බාල පුතු ගැබ් දරා සිටියාය.

ඇත්තෙන්ම මේ අපයෝජනය ගැන පසුකාලයක එනම් කුසුමාසන දේවියගේ මරණින් පසු බාල කුමරිය තම මාලිගයේදී හමුවූ පෘතුගීසි සොල්දාදුවකුට කියා ඇත. කාර්ඩිනියෝ නම් මේ සොල්දාදුවාට කුමරිය පවසා ඇත්තේ තමා රන් ආභරණ නොපළඳින්නේ, තම මෑණියන්ගේ දෙවැනි සැමියා තමාව විවාහ කර ගැනීමට විරෝධය පෑමක් ලෙසිනි. ඌව සටනේදී මියගිය කොන්ස්තන්තීනු ද සා ගේ මරණය ගැන දුක්වන බවද පවසා ඇත. කාර්ඩිනියෝ මේ කතාව ෆැබ්රිකෝ නම් සොල්දාදුවාට පවසනවා අසා සිටි තුන්වැන්නෙක් මෙය වාර්තාගත කොට ඇත. එම වාර්තාකරු කොන්ස්තන්තීනු ද සා යටතේ සේවය කළ අයෙකි. (බන්දු ඩි. සිල්වා – රාජකීය ආසියාතික සංගමයේ ජර්නලය – LVII වෙළුම පිටුව 146)

ඇත්තෙන්ම මේ වනවිට මේ මහල්ලා, තමාට ඇත්තටම ආදරය නොකරන බවත්, තමාව පාවිච්චි කරන බවත් කුමරිය තේරුම්ගෙන සිටින්නට ඇත. එසේම මේ වනවිට ඇයගේ වැඩිමහල් සොහොයුරිය වෙනත් අයකු සමග පලා ගොස් තිබිණි. සෙනරත් ඉන්දියාවෙන් වෙනත් බිසවක් ගෙන්වා ගත් බවත් සඳහන් වේ. කෙසේ හෝ මේ කුමරිය මව නොමැති තම බාල සොහොයුරා බලා ගත්තා පමණක් නොව, පසු කාලයක, එම දෙවැනි රාජසිංහ රජුගේ පුත් වන විමලධර්මසූරිය කුමරුන්ද බලාගත් බව පැවසේ. (රජුට විරුද්ධව ඇතිවූ කැරැල්ලේදී පුත් කුමරුන් රැගෙන ආරක්ෂිත ස්ථානයකට පලා ගියේ මේ අන්තන අදසින් නැන්දාය.) පසු කාලයක මේ මැදි වයස් කුමරිය වසූරිය රෝගයෙන් මියගිය බවත් ඇයගේ ආදාහනය රොබට් නොක්ස් දුටු බවත් පැවසේ.

ඉතින් සිංහලේ සිටි බලවත්ම පාපතරයා අතින් අසාධාරණයට පත් වූ සිංහලේ කඳුළු බිංදුව නමින් ප‍්‍රකට අසරණ කුසුමාසන දේවිය තම බාලම පුත් 2 වැනි රාජසිංහට උපත ලබා දී බලවත් වූ මානසික අවපීඩනය නිසා අවු. 36 ක් පමණ වයසේදී ජීවිතයෙන් සමුගත්තීය. තමා ජීවත්වීමට වඩාත් ප‍්‍රිය කළ වැලිමන්නන්තොට මාලිගා භූමියේම එතුමිය භූමදාන කරන ලදී. තමාව වැඩියෙන්ම අසාධාරණයට ලක් කළේ බෞද්ධයන් බව ඇය ඒ වනවිට හොඳින් තේරුම්ගෙන සිටියාය. ඒ නිසාම නැවත ඇය හොඳ කිතුනු බැතිමතියක් වූවාය. හිතවත් කුරුවිට රාලගෙන් එතුමිය අවසන් ඉල්ලීමක් කළාය. තමාට සමාදානයේ සැතපෙන්නට අවශ්‍ය නිසා ඇයව භූමදානය කරන ලෙසත්, එසේ කරන විට, තමා මේ ලෝකයේ වඩාත්ම ආදරය කළ වස්තූන් 3 ම තමා අසලින් තබන ලෙසත්ය. ඒවා නම් තම පුතුගේ අළු බඳුන, තම රෝස පබළු ජපමාලය හා බයිබලයයි.

ඌවේ කුමරු සහ කුරුවිට රාල එම ඉල්ලීම ඉටු කළහ. එහෙත් දෙවියනේ! එතුමියට සමාදානයේ සැතපෙන්නට හැකිවුණිද? මේ භූමිය කෑගල්ල දිස්ත‍්‍රික්කයට අයත්ය. ඒ ප‍්‍රදේශයෙන් බෞද්ධ ඇමතිවරුන්ද බිහිවූහ. ඔවුන් අතර සංස්කෘතික ඇමතිවරුන්ද සිටින්නට ඇත.

ලංකාවේ පළමු පුරා විද්‍යා කොමසාරිස් බෙල් මහතා මෙම ස්ථානය හඳුනාගෙන වෙන් කරන ලදී. මෙපමණ කල් සමාදානයේ සැතපී සිටි එතුමියට පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය කාලයේදී තවත් දරුණු අසාධාරණයක් වූවේය. එනම් එම රජයේ සිටි මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් මෙම පුරා විද්‍යා රක්ෂිතය තම ජනතාව අතර බෙදා දුන්හ. එය නීති විරෝධීය. ඔවුන් මෙම සොහොන ඉවත් කර ඇති බව පෙනේ. මෙයට විරෝධය පා අඛණ්ඩ සටනක යෙදුණු පිරිස තවමත් සිටිති.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: