Posted by: lrrp | January 1, 2020

කිඹිස්‌සේ රටේ රාල අල්ලා දුන් කෙනෙකුට තාරකා වරාගං සියයක තෑග්ගක්‌

අපේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී 1815 වර්ෂය මෙන්ම 1818 වර්ෂය ද ඉතාමත් වැදගත් වර්ෂයන් බව සැලකිය හැකි ය. වසර දෙදහස්‌ පන්සිය තිස්‌ අටක පමණ නිදහස්‌ ස්‌වාධීන රාජ්‍යයක්‌ වශයෙන් පැවති අපේ මව්බිම 1815 මාර්තු 02 දින බ්‍රිතාන්‍ය රජයේ යටත් විජිතයක්‌ බවට පත්විය. ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිහසුනෙන් නෙරපා දමා, අපේම උඩරට රදල නායකයන් රාජ්‍ය බලය ලබාගැනීම සඳහා වූ කුළල් කාගැනීමේ අනිටු ප්‍රතිඵලයක්‌ වශයෙනි. මගේ පෞද්ගලික මතය අනුව, මේ ක්‍රියාවලියේ ප්‍රධාන විත්තිකරු වන කිසිවකුත් නොව ඇහැලේපොළ මහාධිකාරම් ය.

බ්‍රිතාන්‍යයන් ලංකාව ඔවුන්ගේ යටත්විජිතයක්‌ බවට පත්කර ගැනීමෙන් පසු, ශක වර්ෂ 1736 ක්‌වූ නවම් මස අව සතවක්‌ තිථිය ලත් ගුරු දින හෙවත් ක්‍රිස්‌තු වර්ෂ 1815 මාර්තු 02 වැනි දින ඓතිහාසික සෙන්කඩගලපුර මඟුල් මඩුවේදී දෙපාර්ශවයම කරුණු 12 ක්‌ ඇතුළත් ගිවිසුමකට අත්සන් කළහ. ගිවිසුම නම් කළේ ‘උඩරට ගිවිසුම’ නමින් ය. මේ වකවානුවේ එංගලන්තයේ රජ කළේ, III වැනි ජෝරඡ් රජතුමා (1760.10.25 – 1820.01.29) වැනි අතර, ඔහුගේ නියෝජිතයා වශයෙන් මෙරට පාලනය කළේ, ලෙප්ටිනන්ට්‌ ජෙනරාල් සර් රොබට්‌ බ්‍රවුන්රීග් ආණ්‌ඩුකාරවරයා ය.

කපටි ආණ්‌ඩුකාරවරයකු වූ සර් රොබට්‌ බ්‍රවුන්රීග් ප්‍රධාන ඉංගී්‍රසි පලනාධිකාරීය උඩරට ගිවිසුමේ කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කරමින් හිතුවක්‌කාරී පාලනයක්‌ ගෙනයැමට පටන් ගත්හ.

* බුද්ධාගමට සහ බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාට පෙර රජ දවස මෙන් රාජ්‍යානුග්‍රහය ලබාදෙන බව එම ගිවිසුමේ 05 වැනි වගන්තිය වුවත්, ඉංග්‍රීසීන් එය ගිවිසුමේ වචනවලට පමණක්‌ සීමා කළහ.

* රජ දවස සිංහල උඩරට ප්‍රභූවරුන්ට උසස්‌ රාජ්‍ය නිලතල ලබාදීමේ සම්ප්‍රදායක්‌ පැවතිය ද ඉංග්‍රීසින් එය නොසලකා හරිමින් අන්‍ය ජාතිකයන් ද එවැනි තනතුරුවලට පත් කළහ. මෙය ගිවිසුමේ 04 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමකි. හඡ්ජි මරීක්‌කාර් නමැති මැලේ ජාතිකයකු වෙල්ලස්‌සේ, මුහන්දිරම් පදවියට පත්කිරීම එයට හොඳම නිදසුනක්‌ ය.

සිංහලයා මෝඩයා කළ, උඩරට ගිවිසුම නාමමාත්‍රික විය. මේ නිසා උඩරට රදල නායකයන් මෙම ඉංග්‍රීසි පාලනයට එරෙහිව කටයුතු කිරීමට ඒකරාශි වූහ. එහෙත් ඇහැළේපොළ මහාධිකාරම ඇතුළු තවත් පිරිසක්‌ ක්‍රියා කළේ, ඉංග්‍රීසීන්ට පක්‍ෂපාතීව ය. ඇහැලේපොළගේ ඒකායන බලාපොරොත්තුව වූයේ, ඉංග්‍රීසි රජයේ අනුග්‍රහයෙන් මෙරට රජකමට පත්වීමට ය. එහෙත් ඔහුගේ බලාපොරොත්තු ඉටු නොවුණ අතර, ඉංග්‍රීසින්ට ගැතිකම් දැක්‌වූ ඔහුට සිදුවූයේ, උපන් මාතෘ භූමියෙන් සැතපුම් දහස්‌ ගණනක්‌ ඈත මුරුසි දිවයිනේදී හුදකලාවේ මියයැමට ය.

කරුණු කාරණා එසේ වෙද්දී දේශ හිතෛෂී සිංහලයන් ඒකරාශී වී අපේ පළමු විමුක්‌ති සටන හෙවත් නිදහස්‌ අරගලය සඳහා පිඹුරුපත් සකස්‌ කළහ. මෙහි මූලිකත්වය ගත්තේ ඌව වෙල්ලස්‌සේ සිංහලයන් ය. කොහුකුඹුරේ රටේ රාල, විල්බාවේ රටේරාල, ඉහගම හිමි, ගොඩේගෙදර අධිකාරම, බූටෑවේ රටේරාල, කිවුලේගෙදර රටේරාල, කැටකැලේ මොහොට්‌ටාල, මත්තමගොඩ තමන්කඩුව දීසාව, බකිණිගහවෙල රටේරාල, මෙන්ම, ඇල්ලේපොළ මහ නිලමේ හෙවත් කහද මහන්තේ නවරත්න වික්‍රමසිංහ මුදියන්සේ අධිකාරම්තුමා, දෙමෝදර මොහොට්‌ටාල, මත්තමගොඩ තුන් කෝරළේ දීසාව, මුත්තෙට්‌ටුවේගම නිලමේ, දීගොල්ලේ රටේරාල, පොල්ගහගෙදර පිහිනරාල, මාතලේ අළුවිහාරේ නිලමේ, හන්නස්‌ගෙදර මොහොට්‌ටාල, කිඹිස්‌සේ රටේරාල, වැනි නායකයන් මෙහි මූලිකත්වය ගත්හ. ප්‍රථමයෙන් ඉංගී්‍රසීන්ට එක්‌ව සිටි, ඇහැළේපොළ කුමාරිහාමිගේ සොහොයුරා වූ, මොණරවිල කැප්පෙටිපොළ දිසාව පසුව සිංහලයන්ගේ පැත්ත ගෙන ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කළේය.

මෙම නිදහස්‌ සටන වෙනුවෙන්, සමස්‌තයක්‌ වශයෙන් ගත් කල සිංහල රදල ප්‍රභූන්a පමණක්‌ නොව, ඌව වෙල්ලස්‌සේ වැදි ජනතාව, මෙන්ම සාමාන්‍ය ජනතාව ද මූලිකත්ත්වය ගෙන කටයුතු කළ බව පැරණි ලේඛනවල සඳහන් වේ. සබරගමුවේ අලුත්නුවර නයිදෙරාල, දේවගොල්ලේ හොඳහාමි, බෝදීමළුවේ අප්පුහාමි විදානේ, කළුකරආරච්චි (ටිකිරි රාල), කින්දිමැණිකා දුරයා, සේදරා, වෙල්ලස්‌සේ කුම්බකැලේ ශිල්පා, ඉන් කිහිප දෙනෙකි.

1817.09.17 වැනි දින සිංහලය බ්‍රිතාන්‍යයන්ගෙන් මුදවාගැනීම සඳහා වූ සටන් ආරම්භ කළහ. ප්‍රථමයෙන්ම ඌව වෙල්ලස්‌ස කේJද්‍රකරගනිමින් ආරම්භ කළ, මෙම අරගලය, පසුව මහනුවර, සබරගමුව, නුවර කලාවිය, සත් කෝරළය, හාරිස්‌පත්තුව, තමන්කඩුව ආදී වශයෙන් රට පුරා ව්‍යාප්ත වූහ. ප්‍රථමයෙන්ම මෙම සටන ආරම්භ කළේ, ඌවෙන් නිසා, ‘ඌව වෙල්ලස්‌ස විමුක්‌ති සටන’ නමින් හැඳින්විය. මෙම අරගලය පසුව, රට පුරාම ව්‍යාප්ත විය. ඉංග්‍රීසීන් සහ ඔවුන්ට ගැති සිංහලයන් මෙම ‘නිදහස්‌ අරගල සටන’ හැඳින්වූයේ, ‘උඩරට මහ කැරැල්ල’ නමින් ය. පසුකාලීනව මෙම නිදහස්‌ අරගලය අළලා පොත්පත් ලිපි ලේඛන සකස්‌කළ මහා වියත්හු පවා මෙය හැඳින්වූයේ ‘1818 උඩරට මහ කැරැල්ල’ (The great rebbellian of 1818) නමින් ය. තමන්ගේ මාතෘභූමිය යටත්කර ගෙන සිටින පරයින් (පරදේශක්‌කාරයන්) ගෙන් දේශය ගලවා ගැනීමට කරන සටන, ‘කැරැල්ලක්‌’ වශයෙන් හැඳින්වීම කොතරම් සාධාරණ ද…? එය තම මාතෘභූමියේ නිදහස වෙනුවෙන් කරන නිදහස්‌ අරගලය කි.

ඌව වෙල්ලස්‌සේ රාජ්‍ය බදු එකතු කළේ, කොහුකුඹුරේ රටේරාල ය. රොබට්‌ බ්‍රවුන්රීග් ආණ්‌ඩුකාරවරයා එම රාජකාරිය ඔහුගෙන් ඉවත්කර, එම කාර්ය සඳහා පත් කළේ, හඡ්ජි මරික්‌කාර් නමැති මැලේ ජාතිකයකු ය. ඒ සිංහල නායකයන්ගේ බලවත් අකමැත්ත මාධ්‍යයේ ය. මේ වනවිට බදුල්ලේ උප ඒජන්ත වශයෙන් රාජකාරියේ නියෑලුණේ, සිල්වෙස්‌ටර් ඩග්ලස්‌ විල්සන් ය. ඔහුට රහසිගත තොරතුරකින් දැනගන්නට ලැබුණේ, දොරේසාමි නම් අයෙකු තමන්ට සිංහලයේ රජකම උරුම බව කියමින් වෙල්ලස්‌ස ප්‍රදේශයේ සැරිසරමින් සිටින බවය. ඔහු අත්අඩංගුවට ගැනීමට විල්සන් උප ඒජන්තවරයා, හඡ්ජි මරික්‌කාර්ගේ ප්‍රධානත්වයෙන් හමුදාවක්‌ පිටත් කළ අතර, සිදු වූයේ ඔවුන් බලාපොරොත්තු නොවූ දෙයක්‌ ය. බූටෑවේ රටේරාලගේ පිරිසක්‌ හඡ්ජිව අත්අඩංගුවට ගත්තේය.

ඔත්තුකරුවන් මාර්ගයෙන් මෙම පුවත දැනගත් උප ඒජන්තවරයා, 1817 ඔක්‌තෝබර් 14 වැනි දින සියයකට අධික ඉංග්‍රීසි, ජා සහ මැලේ හමුදාවක්‌ සමග බූටෑවේ රටේරාල සහ කොහුකුඹුරේ රටේරාල හමුවීමට ගියේය. 17 වැනි දින උණගොල්ලේ දී ඔවුන් හමුවී හඡ්ජිව බේරාගැනීමට සාකච්ඡා කළත්, එය අසාර්ථක විය. එයට හේතුවූයේ, වීරවික්‍රම ශ්‍රී කීර්ති හෙවත් දොරේසාමි නම් වූ නාමික රජුගේa නියෝගය මත හඡ්ජි මුහන්දිරම් ඒ වනවිටත් හිසගසා ඝාතනය කර තිබූ නිසයි.

එහි අවසාන ප්‍රතිඵලය වූයේ, සිංහල සේනාව විසින් ඉංග්‍රීසි හමුදාව මරා දැමීම යි. පත්තිනි දේවිය වෙනුවෙන් කැප කළ, වෙල්ලස්‌සේ, ඊතණවත්ත දේවාලය ආසන්නයේ, අස්‌මලියද්දේ දී, උප ඒජන්තවරයා මරා ඔහුගේ හිස කඳින් වෙන්කර, පත්තිනි දේවියට පූජාවක්‌ තැබූ බව ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. එම සිදුවීම 1818 නිදහස්‌ අරගලයේ (සටනේ) අරම්භය යි. කිඹිස්‌සේ රටේරාල ද මෙම නිදහස්‌ අරගලයේ නියමුවෙකි.

* කිඹිස්‌සේ රටේරාල

කිඹිස්‌ස ග්‍රාමය පිහිටා තිබෙන්නේ, මාතලේ දිස්‌ත්‍රික්‌කයේ, ඉනාමළුව කෝරළේ ය. මහනුවර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව හන්දියෙන් සීගිරි පාරට හැරී සැතපුම් 03 ක්‌ පමණ ගිය පසු මෙම ග්‍රාමය හමුවේ. කිඹිස්‌ස ග්‍රාමය අනුරාධපුර යුගය දක්‌වා දිවෙන අතීතයකට නෑකම් කියයි. මෙම ග්‍රාමය ආශ්‍රිතව පැරණි වැව් කිහිපයක්‌ම දැකගන්නට ඇත. කිඹිස්‌ස ඉහළ වැව සහ පහළ වැව, පළුටාව වැව, ලේනව වැව, කුඹුක්‌කදන්වල වැව, බෙල්ලන් ඔය වැව, පොතාන වැව, නාගලවැව සහ තවත් වැව් කිහිපයක්‌ම දැකගන්නට ඇත. මේවා අනුරාධපුර යුගයේ ඉදිකළ ඒවා යෑයි විශ්වාස කරන අතර, කවුරුන් ඉදිකළේ දැයි තොරතුරක්‌ නැත.

ප්‍රදේශයේ පවතින ජනප්‍රවාදවලට අනුව, සීගිරී කාශ්‍යප රජතුමාගේ රාජකීය වී බිස්‌ස තිබුණේ මෙහි බවත්, මුලදී ‘වීබිස්‌ස්‌ නමින් හැඳින්වූ මෙම ග්‍රාමය, පසුකාලීනව උච්ඡාරණයේ දී, කිඹිස්‌ස බවට පත් වූ බව කියති. කරුණු කාරණා එසේ නම්, කාශ්‍යප රජතුමා පළාතේ කෘෂිකර්මාන්තයට ද යම් මෙහෙවරක්‌ කරමින්, -‘වීබිස්‌ස්‌ වටා වාපි කර්මාන්තයන් ද කළ බවට උපකල්පනය කළ හැකි ය. බෙල්ලන්ඔය (වර්තමානයේ රංගිරීගම) සහ නාගලවැව රාජකීය ගම්මාන වශයෙන් සලකති.

1 වැනි (සීගිරී) කාශ්‍යප රජතුමා පීතෘ ඝාතක රජ කෙනෙකු වශයෙන් මහාවංශයේ, අවතක්‌සේරුකර ඇති බවත්, එතුමන් විසින් කළ ආගමික, කෘෂිකාර්මික සහ වෙනත් සමාජීය මෙහෙවර ගැන කිසිදු සටහනක්‌ තබා නොමැති නිසා, එම ග්‍රJථය පක්‍ෂග්‍රාහීව ලියන ලද්දක්‌ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එම නිසා එයින් පැහැදිලිවන්නේ රජතුමා විසින් කරන ලද ආගමික සහ කෘෂිකාර්මික මෙහෙවර ගැන සඳහන් නොමැති බවයි.

පාරම්පරීක ගම්මානයක්‌ වූ කිඹිස්‌සේ ජීවත් වූයේ එකට බැඳුණු ඥාති පිරිසක්‌ ය. අද වනවිට ඉතාමත් ජනාකීර්ණ කුඩා නගරයක්‌ බවට පත්වෙමින් පවතින කිඹිස්‌ස, 1881 වසරේ අයත් වූයේ කිඹිස්‌ස ගම් ආරච්චි වසමට ය. පළුටාව සහ බෙල්ලන්ඔය එම වසමට අයත් අනෙක්‌ ගම්මානයන් ය. එම වසරේ කිඹිස්‌ස ගමේ පමණක්‌ ජනගහනය 47 කි. ඒ පිරිමින් 26 කාන්තාවන් 21 ක්‌ වශයෙනි. ලියාපදිංචි කළ වගා කරන කුඹුරු ප්‍රමාණය අක්‌කර 10 1/44 කි. 1891 වසර වනවිට මෙම කුඩා ගම්මානයේ ජනගහනය, පිරිමින් 34, කාන්තාවන් 22 ක්‌ වශයෙන් 56 වර්ධනය වී ඇත. එකල කිඹිස්‌ස පැවතියේ ඉනාමළුව කෝරළේ ගම්ආරච්චි යටතේ ය. 1876 වනවිට කිඹිස්‌සේ පාසලක්‌ තිබූ බවත්, එහි පිරිමි ළමුන් 20 දෙනකු ඉගෙනුම ලබා ඇති අතර, හවස්‌වන්නට පෙර වේලාපහින්ම ළමුන් නිවෙස්‌වලට යන්නේ, වලසුන්ට ඇති බිය නිසා ය. මෙම ග්‍රාමයට එකල විහාරයක්‌ නොතිබූ අතර, සොරොව්වක්‌ නොමැති වැවක්‌ තිබූ බව, ආර්චිබෝල්ඩ් කැම්ප්බෙල් ලෝරීගේ A Gazetteer of the Central province of Ceylon (vol: 01) ග්‍රJථයේ සඳහන් වේ.

ඉංග්‍රීසි පාලනයට විරුද්ධව සිංහලයන් විසින් 1818 දී ආරම්භ කළ නිදහස්‌ අරගල සටනට කිඹිස්‌සේ රටේරාල ද දායක වූ අයෙකි. ඒ බව එවකට ලංකාණ්‌ඩුකාර මේජර් ජෙනරාල් සර් එඩ්වර්ඩ් බාන්ස්‌ විසින් 1820 ජුනි මස 07 වැනි දින ප්‍රසිද්ධියට පත් කළ, පහත දැක්‌වෙන දැන්වීම් පත්‍රයෙන් පැහැදිලි වේ. (උපුටා ගැනීම, තෙන්නකෝන් විමලානන්ද මහතාගේ -1818 උඩරට මහ කැරැල්ල)

* අංක 01 – දැන්වීම් පත්‍රය

නෛකශ්‍රීන් විරාජමාන වූ මේජර් ජෙනරාල් සර් එඩ්වර්ඩ් බාන්ස්‌ ලංකාද්වීපයේ ගරුතර ලොයිතනන්ත් ගොවැර්නදෝරු උතුමානන් වහන්සේ විසින් දෙවාවදාරන්ට යෙදුන දැන්වීම් පත්‍රයයි.

අත්සන් කළේ එඩ්වර්ඩ් බාන්ස්‌

අපගේ මහාරාජෝත්තමයාණන් වහන්සේගේ සමාදානේ පවත්වාගන තමන්කඩුවේ හිටිය වැසියන්ට එදිරීව නොබෝදින බොසෝ නපුරුහිත් ඇති අයවල් විසින් වංචා අහරෙන් ආවුද රැගෙන එකතුව කෝලාහලකරන්ඩ යෙදුනු අයවල්ගෙන් බොසෝදෙනෙක්‌ අසු වෙන්ඩත් යෙදුනා ඇත.

තවද මෙම කෝලාහලේට වැදගත් ප්‍රධාන මුල්කාර අයවල්ගෙන් තවම අසු නොවී සිටින ජාවෝaදෙන්න කල්පනාවෙන හැටියට සෙයිලමේ පළමුවැනි රෙජිමේන්තුවෙන් සැඟවී හිටින සගස්‌තිද නැලොන්ද සහ සිංහලේ සුළුමුලාදෑනියෙක්‌ වන කිඹිස්‌සේ එක්‌කෝ කිවිස්‌සේ රටේරාල එක්‌කෝ කෝන්ගහවෙල රටේරාල එක්‌කෝ කිවිස්‌සේගොන්ගාව රටේරාලත් යන මෙම ඉහත කී ජාවෝ දෙන්නා සහ කිඹිස්‌සේ එක්‌කෝ කිවිස්‌සේ රටේරාලවත් අල්ලා සිවිල් එක්‌කෝ මිලිතැර්මහත්මයෙකුට භාරදෙන්ඩ යෙදෙන අයවලට එක්‌කෙනාට තාරුකාවරාගං සීයේ බැගින් තෑගිලැබෙන්ඩ යෙදෙන බවත් මෙයින් දන්වනුය.

මෙලෙස දෙවා වදාලේ වර්ෂ එක්‌දහස්‌ අටසිය විස්‌සක්‌ වූ ජුනි මස හත්වැනිදින කොළඹදීය.

ගරුතර ලොයිතනන්ත් ගොවැනදෝරු උතුමාණන්වහන්සේගේ පණිවුඩ පනත සැටියට

අත්සන් කළේ ( ජෝර්ඡ් එසිග්නන්

සිංහලේ රටවල්වල සෙක්‍රතාරීස්‌වම්හ.

දෙවියන් වහන්සේ විසින් රඡ්ජුරුවන්වහන්සේව ආරක්‌ෂා කෙරෙත්වා

ඉහත සැඟවෙන්ඩ යෙදුණු සගත්තියන ජාවාගේඅන්දන්-දැනගතහොත්,

උස අඩි පහයි අඟල් අටහමාරයි වයස තිස්‌හතයි මූනේ මහලෙඩ කැලැල් ඇති

දකුණු කම්බුලේ කැපිච්චි කෑලලක්‌ ඇති තරබාරු තලඑලළු ඇත්තාය.

නැලොන් යන අයට වයස අවුරුදු විස්‌සකට ඇති ඔහු ඉංගී්‍රස්‌ බාසාව සහ දෙමළත් කතා කරනවාය.

මෙම දැන්වීමෙන් පෙනී යන්නේ, කිඹිස්‌සේ රටේරාල යන අය, කිවිස්‌සේ රටේරාල, කෝන්ගහවෙල රටේරාල, කිවිස්‌සේ ගොන්ගාව රටේරාල, කෝන්ගාවේ රටේරාල වශයෙන් නම් කිහිපයකින්ම හඳුන්වා ඇති බවයි.

එමෙන්ම ඔහු අවිආයුද සහිතව පිරිස්‌ රැස්‌ කරවා සටන්වලට සහභාගි වී ඇත්තේ, තමන්කඩුව ප්‍රදේශයේ දී බව සඳහන් වේ. මේ නිසා මොහු ඉංග්‍රීසි ආණ්‌ඩුවේ උදහසට ලක්‌වී ඇත. එවකට මෙම ප්‍රදේශයේ සටන් මෙහෙයවන ලද්දේ, මත්තමගොඩ තමන්කඩුව දිසාව ය. මේ අනුව කිඹිස්‌සේ රටේරාල, මත්තමගොඩ තමන්කඩුව දිසාව යටතේ සේවය කළ බව පැහැදිලි වේ. මත්තමගොඩ දිසාව වාසය කළේ, ඌවේ හත්කිඳ ය. සබරගමුවේ දේවගොල්ලේ හොඳහාමි, බෝදිමළුවේ අප්පුහාමි, යන දෙදෙනා ද සේවය කළේ මත්තමගොඩ දිසාව යටතේ ය.

කිවිස්‌සේ රටේරාල සමග එක්‌ව කටයුතු කළ, තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසි ආණ්‌ඩුවට අවශ්‍යව ඇත. සෙයිලමේ (ලංකාවේ) පළමුවැනි රෙජිමේන්තුවේ සගස්‌ති සහ නැලොන් යන ජා සෙබළුන් දෙදෙනා ය. ඔවුන් දෙදෙනා ඉංගී්‍රසි හමුදාවෙන් පලා ගොස්‌ සිංහලයේ විමුක්‌ති හමුදාවට එකතු වෙන්නට ඇතැයි මේ අනුව විශ්වාස කළ හැකි ය.

ඉහත සැඟව සිටින සගත්ති නමැති ජාවා අඩි 05 අඟල් 08 1/22 උසින් යුක්‌ත වන අතර, වයස අවුරුදු 37 කි. මූනේ මහලෙඩ (වසූරීය) රෝගයෙන් ඇතිවුණ කැලැල් ඇති අතර, දකුණු කම්මුලේ කැපිච්චි කැළලකි. තරබාරු ය. ශරීරය තලඑලළු වර්ණ ය. නැලොන්ගේ වයස අවුරුදු 20 කි. ඔහුට ඉංග්‍රීසි සහ දෙමළ කතා කිරීමට පුළුවන.

මේ තුන් දෙනා අල්ලා, සිවිල් රාජ්‍ය නිලධාරීයකුට හෝ මිලිටරී (යුද හමුදා) නිලධාරියකුට භාර දෙන ලෙස මෙම දැන්වීමෙන් දන්වා ඇති අතර, එක්‌ අයකු වෙනුවෙන් තාරුකා වරාගං 100ක’ මුදලක්‌ තෑගි වශයෙන් දෙන බව සඳහන් වේ.

මෙම නිවේදනය නිකුත්කර මාස 05 කට ආසන්න කාලයක්‌ ගෙවී ගියත්, සතුටුදායක ප්‍රතිඵලයක්‌ ලැබී නැත. කිඹිස්‌සේ රටේරාල අත්අඩංගුවට ගැනීමට හැකියාවක්‌ බ්‍රිතාන්‍ය පාලකයන්ට තිබී නැති බව දෙවැනි වරට නිකුත් කළ නිවේදනයෙන් පැහැදිලි වේ.

* අංක 02 – දැන්වීම් පත්‍රය

නෛකශ්‍රීන් විරාජමානවූ ජෙර් මේජර් ජනරාල් සර් එඩ්වර්ඩ් බාන්ස්‌

ලන්කාද්වීපයේ ගරුතර ලොයිතනන්ත් ගොවැර්නදෝරු

උතුමාණන්වහන්සේ විසින් දොවා වදාල

ප්‍රසිද්ධ පත්‍රයයි.

(අත්සන් කළේ) එඩ්වර්ඩ් බාන්ස්‌

රාජාපරාධ කිරීම පිණිස ආවුද සහිත මනුස්‍යයින් ප්‍රධාන වශයෙම්ම රැස්‌කරහිට ඊට මැදහත්ව පසුවුණු මැයි මාසේ තමන්කඩුව යන ස්‌ථානයේදී පෙරලි අහරවල් කරන්ඩ යෙදුනු අයවල්ගෙන් එකෙක්‌ වන කිබිස්‌සේ එක්‌කෝ කිවිස්‌සේ රටේරාල නොහොත් කිවිස්‌සෙ පදිංචි කෝන්ගහවල එක්‌කෝ කොන්ගාවේ රටේරාල තවම අසුනොවී හිටිනවාය.

එබැවින් මෙම කිඹිස්‌සේ එක්‌කෝ කිවිස්‌සේ රටේරාල නොහොත් කිවිස්‌සෙ පදිංචි කෝන්ගහවෙල එක්‌කෝ කෝන්ගාවේරටේරාල ලබන නොවැඹ්‍ර මස තිස්‌වෙනි දින නොහොත් ඉන් මෙහා සිංහලේ රටවල්වල හිටින යන් ඒජන්ට්‌ කෙනෙක්‌ නොහොත් මිලිසිආඥාවේ නිලමක්‌කාර කෙනෙක්‌ වෙතට ඇවිත් තමන්ම භාරවෙන්ඩ නොයෙදුනොත් ඒ දිනට පසු මෙම අය නඩු මාර්ගයේ රැකවලින් පිටපත් බවද මෙම අයගේ ප්‍රාණය රාජාපරාධවල් ගැන හානි කිරීමට යෝග්‍ය බව ද මෙම අයගේ සියලුම ගම්බිම් සහ බඩුබාහිරාදිය කොයිදේ නුමුත් මහාරාජෝත්තමයාණන් වහන්සේගේ ප්‍රයෝජනයට වෙනුව රාජසන්තක කරගන්ඩ යෙදෙන බවත් දැනට මෙයින් එළිදරව් කරගන්ඩද ප්‍රකාශකර ගන්ඩද යෙදෙනුය.

මෙලෙස දෙවාවදාලේ අපගේ දෙවිස්‌වාමිදරුවාණන් වහන්සේගේ වර්ෂ ප්‍රමාණයෙන් එක්‌ දහස්‌ අටසියවිස්‌සක්‌ වූ ඔක්‌තෝඹ්‍ර මස විසිඅටවෙනි දීන මතුකී ලන්කාද්වීපයෙහි කොළඹදීය.

ගරුතර ලොයිතනන්ත් ගොවැණර්දෝරු උතුමාණන්වහන්සේගේ පණිවිඩපනත හැටියට

(අත්සන් කළේ) ජෝර්- ළුසිග්නන්

සිංහලේ රටවල සෙක්‍රතාරීස්‌වම්හ.

දෙවියන් වහන්ස්‌ විසින් ර-ජුරුවන්වහන්ෂේ ආරක්‌ෂා කෙරෙත්වා.

…………භාසාවෙන් සිංහල භාසාවට පිටපත් කලේ

C.De Abrew. Tran Kand.Office.

බාන්ස්‌ ආණ්‌ඩුකාරවරයා නැවත 1820 ඔක්‌තෝබර් මස 28 වැනි දින නිවේදනයක්‌ නිකුත්කර ඇත. එහි සඳහන්වන්නේ, කිඹිස්‌සේ රටේරාල, නොවැම්බර් මාසයේ තිස්‌වැනි දින හෝ එයට පෙර ඒජන්ත (දිසාපති) වරයෙකුට හෝ හමුදා නිලධාරීයෙකුට භාරවන ලෙසය. එසේ නොවුණහොත්, නීතියෙන් රැකවරණයක්‌ නොමැති බවත්, මරාදැමීමට යෝග්‍ය බවත්, ඔහු සතු ඉඩකඩම්, ගේ දොර ඇතුළු සියලු දේපළ රාජසන්තක කරන බවය.

මෙහි ජාවක සෙබළුන් දෙදෙනා වන සගස්‌ති සහ නැලොන් ගැන සඳහනක්‌ නැතත්, කිවිස්‌සේ රටේරාල ගැන පමණක්‌ සඳහන් වේ. ඒ අනුව ඔහු ඉංග්‍රීසි ආණ්‌ඩුවට අසුවී නොමැති බව එම නිවේදනයෙන් පැහැදිලි වේ. ජාවක සෙබළුන් දෙදෙනා සමහරවිට හසුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය.

ඉංග්‍රීසින් විසින් මත්තමගොඩ තමන්කඩුව දිසාව, 1817 අප්‍රේල් මස 24 වැනි දින අත්අඩංගුවට ගෙන, කැරළි ගැසීමට සහායදීම සහ අනුබලදීම යටතේ චෝදනා ගොනුකර, මේජර් මැක්‌ඩොනල්ඩ් විසින් නඩු විභාගකර, ජාති ද්‍රෝහියෙක්‌ වශයෙන් නම්කර ජීවිතාන්තය දක්‌වා මුරුසි දිවයිනට පිටුවහල් කිරීමට නියෝග කළේය. දේවගොල්ලේ හොඳහාමි සහ බෝදීමළුවේ අප්පුහාමි විදානේ ද ජාති ද්‍රෝහීන් වශයෙන් නම්කර මරණ දණ්‌ඩනය නියම කළේය. එහෙත් කිඹිස්‌සේ රටේරාලට සිදුවූයේ කුමක්‌දැයි දැනගන්නට නැත.

වැදගත්(-

* බ්‍රිතාන්‍ය පාලනාධිකාරිය සහ ඔවුන්ට ගැතිවූ සිංහලයන් විසින් රාජද්‍රෝහි කැරලිකරුවෙක්‌ වශයෙන් නම් කරන ලද, කිඹිස්‌සේ එක්‌කෝ කිවිස්‌සේ රටේරාල නොහොත් කිවිස්‌සේ පදිංචි කෝන්ගහවෙල එක්‌කෝ කෝන්ගාවේ රටේරාල යන ජාතික වීරයා ගැන, මේ සුළු තොරතුර හෝ ඇත්තේ, තෙන්නකෝන් විමලානන්ද ශූරීන්ගේ -උඩරට මහ කැරැල්ල – (03 කාණ්‌ඩය)’ ග්‍රJථයේ ඉහත සඳහන් දැන්වීම් පත්‍රිකා 02 පමණි. මා මෙතෙක්‌ අධ්‍යයනය කළ පොත්පත් හා අනෙකුත් ලේඛනවල මෙවන් පුද්ගලයකු ගැන තොරතුරු හමු වූයේ නැත.

* කිඹිස්‌සේ රටේරාලගේ පරපුර ගැන වැඩිදුර අධ්‍යයනයක්‌ සඳහා, ඔහු ගෙන් පැවත එන පුද්ගලයන් වර්තමානයේ කිඹිස්‌සේ හෝ වෙනත් ප්‍රදේශයක සිටීනම්, ඉහත සඳහන් මගේ විද්යුත් ලිපිනයට හෝ කිඹිස්‌සේ පදිංචි, පුරාවිද්‍යා විශ්‍රාමික ආරක්‍ෂක නිලධාරී එල්. කේ. සිරිල් පෙරේරා මහතාට හෝ ඉනාමළුව ප්‍රාථමික විද්‍යාලයයේ, ආචාරීනී එච්. එම්. අමිතා විෙ-රත්න මහත්මියට තොරතුරු ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි.

ආශ්‍රිත ග්‍රන්ථ,

1. උඩරට මහ කැරැල්ල – (03 කාණ්‌ඩය) – තෙන්නකෝන් විමලානන්ද (ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ,) 1963

2. Sinhala and the Patriots – P.E.Pieris (The Colombo Apothecaries co;Ltd. Colombo) 1950

3.A Gazetteer of the Central province of Ceylon ( vol; 1) – Archibald Campbell Lawrie ( George J.A.Skeen, Government printer, Colombo) 1896

4. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ වලව් පෙළපත් කිහිපයක්‌ – එච්. එම්. ජයන්ත විෙ-රත්න (සරසවි ප්‍රකාශකයෝ – 30, ස්‌ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ) 2019

එච්. එම්. ජයන්ත විඡේරත්න
විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරි – රත්නපුර
jayaviherathsigiriya@gmail.com


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: