Posted by: lrrp | October 19, 2020

පරංගි කාලේ ගාලු වරායේ ඉතිහාසය හෙළිවෙයි

  • වෙඩි ​බෙහෙත් ගබඩා, ගල් අඟුරු ගබඩා මතු කරගනියි   

ගාල්ල කොටුවේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතීන් විසින් කරන ලද ඉදිකිරීම් පිළිබඳවත් ඔවුන් ඒවා භාවිත කළ ආකාරය පිළිබඳවත් නිශ්චිත අධ්‍යයනයක් සිදුකර ඒ පිළිබඳ නිවැරැදි අර්ථකථනයක් දීමත් අරමුණු කරගනිමින් මේ දිනවල ගාල්ලේ සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතී. 

ලෝක බැංකුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 6,400ක සහන ණයක් යටතේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මෙම සංරක්ෂණ කටයුතු සිදුකරන අතර එයට සමගාමීව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ද දායකත්වයෙන් පුරාවිද්‍යා පර්​ෙ‌ය්ෂණ කටයුතු ද සිදුවෙයි. 

සංරක්ෂණ ව්‍යාපෘතියේ උපදේශකවරයා ලෙස වරලත් වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ මහතා කටයුතු කරන අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (කැණීම්) සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතාය. ඒ මහතාගේ මෙහෙයවීමෙන් සංරක්ෂණ ව්‍යාපෘතිය අතරතුර පුරාවිද්‍යා ගවේෂණ කටයුතු රැසක් සිදුවෙමින් පවතී. 

සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ආචාර්ය නිලාන් කුරේ මහතාගේ අධීක්ෂණයෙන් හා මෙහෙයවීමෙන් ගාලු‍ කොටුවේ ඇති භූගත කුටි සියල්ල සංරක්ෂණය කෙරෙන අතර ආරුක්කු සහිත ව්‍යුහයන් ද සංරක්ෂණය කිරීම සිදුකරයි. මේ කටයුතු අතරතුර පස් ඉවත් කිරීම් හා නැවත පිරවීම් සිදුවන බැවින් ඒ සියලු‍ ස්ථානයන් හි පුරාවිද්‍යාත්මක ගවේෂණයන් ද සිදුවෙයි. 

ආචාර්ය නිලාන් කුරේ සහ ආචාර්ය නිමල් පෙරේරා මහත්වරු පවසන්නේ මෙමගින් මෙතෙක් කිසිදා අනාවරණය නොවූ ඉතිහාසයක් ගාලු‍ කොටුවෙන් මතුවෙමින් තිබෙන බවයි. 

ආචාර්ය නිලාන් කුරේ මහතා සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මෙසේ කීවේය. 

“කොටු පවුර බැලූ බැල්මට ශක්තිමත්ව පෙනුණත් මෙය ස්ථාන රැසකින් කැඩී ගොස් තිබෙනවා. ඒ වගේම ඉරිතැළීම් තිබෙනවා. ඉංග්‍රීසි ජාතිකයන් විසින් කොටුව මැදින් ඇතුළුවීමට සෑදූ නව උමං මාර්ගය ඇතුළු ආරුක්කු කොටස් විශාල ප්‍රමාණයකින් ඇතුළට වැසි ජලය කාන්දු වෙනවා. ඒ ඉදිකිරීම් දැන් දුර්වල තත්ත්වයක තිබෙන්නේ. අපේ ව්‍යාපෘතියෙන් මේ සියල්ල සංරක්ෂණය කරනවා. මෙය සිදුකරන්නේ ආරුක්කුවලට ඉහළින් ඇති පස් තට්ටුව ඉවත් කරලා අලු‍තෙන් බදාම යෙදීමෙන්. කොටුව ඉදිකරන කාලයේ කොන්ක්‍රීට් තිබුණේ නැහැ. ඔවුන් ඒ කාලේ හැටියට ඉතා ශක්තිමත් බදාමයක් යොදාගෙන තිබෙනවා. අපි සංරක්ෂණ කටයුතු සඳහා භාවිත කරන්නෙත් එවැනි බදාමයක්. දැනටමත් ඒ විදියට ආරුක්කු හයක් සංරක්ෂණය කළා. ඉදිරියේ දී ප්‍රධාන දොරටුවේ ආරුක්කුවත් සංරක්ෂණය කිරීමට කටයුතු කරනවා.”‍ 

ගාල්ල කොටුවේ තැන තැන පිහිටි ආරුක්කු නිර්මාණ සහිත කුඩා කුටි සෙබළුන් රඳවා සිටි මුර කුටි ලෙසත් වෙඩි බෙහෙත් රැස්කළ ගබඩා ලෙසත් භාවිත කර ඇත. මෙතෙක් සිර මැදිරි යැයි සිතා සිටි ස්ථාන පවා වෙඩි බෙහෙත් ගබඩාවක් බව මේ වනවිට තහවුරු වී ඇතැයි ආචාර්ය කුරේ මහතා පවසයි. 

“ගාල්ලේ මුලින්ම යුරෝපීය ක්‍රමයේ බළකොටුවක් ඉදිකළේ පෘතුගීසි ජාතිකයන් විසින්. ඔවුන්ගේ ප්‍රධාන ‍බලකොටුව වරායට පසෙකින් ඉදිකළා. අදටත් එය කළු කොටුව නමින් දක්නට ලැබෙනවා. ඊට අමතරව ඔවුන් වත්මන් කොටුවේ ඉදිරිපස මුර අට්ටාල තුනක් ඉදිකර තිබූ බව මූලාශ්‍රවල සඳහන් වනවා. පෘතුගීසීන් සෑදූ කොටසේ සහ ලන්දේසි ජාතිකයන් සෑදූ කොටු පවුරේ මේ අධිරාජ්‍ය දෙකේම යුද කටයුතු සඳහා නිර්මාණය කළ දේ පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ අතර ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඔවුන්ගේ පාලන කාලයේ දී කරපු වෙනස්කම් ද පැහැදිලිව දැකිය හැකියි. යුද ‍බළකොටුවක් ලෙස හඳුනාගෙන තිබෙන මේ කොටුවේ ඇති ගෘහ නිර්මාණය ඉදිකිරීම් තාක්ෂණය හා ඒවා භාවිත කර ඇති ආකාරය ගැන අනාවරණය වන තොරතුරු ඉතාමත් රසවත්. ඒ වගේම ලෝකයේ අධිරාජ්‍ය පිහිටවූ ජාතීන් තුනක් මෙය භාවිත කළ ආකාරයත් ඔවුන්ගේ තාක්ෂණයත් එකිනෙකට වෙනස්. ඒ නිසා මේ සංරක්ෂණ ව්‍යාපෘතියේ එක් අදියරක් ලෙස අපි මේවා පිළිබඳ නව අර්ථකථනයක් කොටුව නැරැඹීමට එන අයට ලබාදෙන්න කටයුතු කරනවා.”‍ යැයි ද ආචාර්ය කුරේ මහතා කීවේය. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙස සිට බැලූ විට කොටු පවුර දිස්වෙන්නේ දැවැන්ත තනි කළු ගල් බැම්මක් ලෙසිනි. කොටුව මතට නැගී බැලූ විට එය එක් එක් උස මට්ටම්වලින් සෑදූ අතිදැවැන්ත නිර්මාණයකි. නමුත් පෙනෙන්නට ඇත්තේ පිටත බැම්මත් ඇතුළතින් ඇති බැම්මත් පමණි. 

කොටු බැම්මේ කැණීම් සිදුකිරීමේ දී මේ බැම්ම තනි බැම්මක් නොවන බවත් එය පිටතින්, මැදින් හා ඇතුළතින් සුවිසල් ගල් තාප්ප තුනක් බැඳ මැද කොටසට පස් පුරවා හොඳින් තලා සැකැසූ අතිශය ශක්තිමත් ව්‍යුහයක් බව අනාවරණය කරගත හැකි වූයේ යැයි ද ආචාර්ය නිමල් පෙරේරා මහතා කීවේය. 

“ගාල්ල කොටුව ඉදිකරන්න ඉස්සෙල්ලා මේ ප්‍රදේශය වගුරු සහිත තැන තැන කුඩා කඳු ගැට හා ගල් පර්වත තිබූ ප්‍රදේශයක් බව පෘතුගීසි හා ඕලන්ද ජාතිකයන්ගේ සිතියම්වලින් තහවුරු වී තිබෙනවා. ඔවුන් මේ බැම්ම ගල්වලින් ඉදිකරලා මැදට පස් පුරවද්දී ගෙනැවිත් දමා තිබෙන්නේ පැරැණි ජනාවාසයක පස්. ඒ බව මේ පස්වලින් හමුවන අවශේෂවලින් පැහැදිලි ‍වෙනවා. මිනිසුන් විසින් භාවිත කළ විවිධ දේ මේ පස් අතර තිබෙනවා. එහි තිබෙන්නේ පැරැණි මිනිසුන්ගේ දහඩිය කඳුළු.”‍ 

“ගාල්ල කොටුව ඉදිකරන්න ඉස්සෙල්ලා මේ ප්‍රදේශය වගුරු සහිත තැන තැන කුඩා කඳු ගැට හා ගල් පර්වත තිබූ ප්‍රදේශයක් බව පෘතුගීසි හා ඕලන්ද ජාතිකයන්ගේ සිතියම්වලින් තහවුරු වී තිබෙනවා. ඔවුන් මේ බැම්ම ගල්වලින් ඉදිකරලා මැදට පස් පුරවද්දී ගෙනැවිත් දමා තිබෙන්නේ පැරැණි ජනාවාසයක පස්. ඒ බව මේ පස්වලින් හමුවන අවශේෂවලින් පැහැදිලි ‍වෙනවා. මිනිසුන් විසින් භාවිත කළ විවිධ දේ මේ පස් අතර තිබෙනවා. එහි තිබෙන්නේ පැරැණි මිනිසුන්ගේ දහඩිය කඳුළු.”‍

ගාල්ල කොටුවේ ඉදිරිපස පැරැණි වරාය දෙසට ඇති කොටස හඳුන්වන්නේ හිරු අට්ටාලය නමිනි. පෘතුගීසීන් විසින් මේ ස්ථානයේ මුර අට්ටාලයක් ඉදිකර තිබූ බවත් ලන්දේසීන් පැමිණ එතැනින් කොටු පවුර බිඳ ඇතුළු වූ බවත් එම අට්ටාලය මත බිහිසුණු සටනකින් පසු පෘතුගීසීන් පරාජය පිළිගත් බවත් ඉතිහාසයේ සඳහන් වේ. ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ ඒ බව මෙවර සිදුකළ කැණීම්වලින් තහවුරු වූ බවයි. 

“මෙතැන පෘතුගීසීන් විසින් කළ ඉදිකිරීම්වල කොටස් පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ ගොඩනැගිලි කොටස් කැඩී ගිය ආකාරය පරීක්ෂා කළාම පෙනෙනවා පිටතින් එල්ල වූ කාලතුවක්කු ප්‍රහාර වැනි පහරදීමකින් විනාශ වී ඇති බව. ඒවා පසුව ලන්දේසීන් විසින් ප්‍රතිසංස්කරණය කළ බවත් අපිට නිරීක්ෂණය කරන්න හැකි වුණා. අපි හිරු අට්ටාලයේ සිට සඳු අට්ටාලය දක්වා තැන් තැන්වල කරන ලද කැණීම්වලින් පෘතුගීසි යුගයේ ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් සොයාගත හැකි වුණා. ඔවුන්ගේ යුද උපක්‍රමත් ලන්දේසි යුද උපක්‍රමත් එකිනෙකට වෙනස් වෙනවා.”‍ 

හිරු අට්ටාලය අසල ඇති ලන්දේසීන් විසින් 1697 වර්ෂයේ දී ඉදිකරන ලද උමං මාර්ග‍යක ද ඔවුන් විසින් කැණීම් සිදුකර තිබේ. ගාලු‍ කොටුවේ උමං මාර්ග සැකැසීමේ දී එම උමග කොටස් දෙකකින් හෝ තුනකින් සෑදීමේ තාක්ෂණයක් භාවිත කර ඇත. එමෙන්ම උමඟ තුළට ඉහළ සිට වාතාශ්‍රය ලැබෙන ආකාරයෙන් සැකැසූ වා කවුළු පවා අනාවරණය කරගැනීමට පුරාවිද්‍යාඥයන් සමත්ව ඇත. පසු කාලීනව වසා දමා තිබූ මෙවැනි වා කවුළු කොටුවේ සෑම භූගත ඉදිකිරීමකටම වාතය සැපැයීම සඳහා සාදා තිබූ බව මේ වනවිට සොයාගෙන ඇත. ඒ බොහොමයක් පසු කාලීනව වසා දමා තිබිණි. 

හමු වූ මැටි බඳුන් දුම් පයිප්ප ඇතුළු අවශේෂ 

කැණීම් කිරීමේ දී අදින් සියවස් ගණනාවකට පෙර භාවිතයට ගත් වීදුරු බෝතල්වල කොටස් කිහිපයක් ද චීන පිඟන් කොටස් සහ මැටි භාජන කොටස් රැසක් ද හමුවී තිබේ. මේ අතර සුවිශේෂී සොයා ගැනීමක් වන්නේ බ්‍රිතාන්‍ය ලාංජනය සහිතව චීනයේ නිෂ්පාදනය කළ බවට ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන පිඟානක කොටසක් හමුව තිබීමයි. 

යුද සෙබළුන් විසින් භාවිත කරන්නට ඇතැයි සිතිය හැකි මුදු කිහිපයක් ද හමුවී ඇති අතර ඒවා බොහොමයක් මුහුදු බෙල්ලන්ගේ කවච කපා ඔපමට්ටම් කර සාදා ගනු ලැබූ ඒවාය. ඊට අමතරව කොටුවේ කැණීම් සිදුකර ඇති ස්ථාන රැසකින් සත්ත්ව අවශේෂ ද හමුවී තිබේ. මේ සත්ත්ව අවශේෂ අතර අතීතයේ මෙරට වාසය කළ බවට සැලකෙන කුරු ගවයාගේ අස්ථි කොටස් රාශියක් හමුවී ඇති අතර ඌරන්ගේ සහ හරකුන්ගේ කොටස් ද හමුවී තිබේ. ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන්නේ මේ අස්ථි කොටස් කොටුවේ සේවය කළ හමුදා සෙබළුන් විසින් ආහාර ගැනීමෙන් පසු ඉවත දැමූ කොටස් බවයි. මේවා අධ්‍යයනය කිරීමෙන් යුරොපීය ජාතීන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් සත්ත්ව විශේෂ පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවනු ඇතැයි ද ඒ මහතා විශ්වාසය පළකරයි. 

ගාල්ල කොටුවේ පෘතුගීසීන් විසින් ඉදිකළ මුල්ම නිර්මාණය වූ කළු කොටුව නමින් අද හැඳින්වෙන ස්ථානයට ඒ නම ලැබී ඇත්තේ එහි ආයුධ නිෂ්පාදනය කළ කම්මල් පිහිටා තිබීමෙන් පිටවූ දුම නිසා යැයි මතයක් පවතී. එදා කම්මල් තිබූ ස්ථානයේ පසු කාලීනව ලන්දේසීන් විසින් ගොඩනැගිල්ලක් ඉදිකළ බවත් ඒ ගොඩනැගිල්ල ඉංග්‍රීසීන් 1840 සිට සිර කුටි ලෙස භාවිත කළ බවටත් ලේඛනවල සඳහන්ව තිබිණි. මේ ගොඩනැගිල්ල අදට ද දක්නට ඇති අතර විශාල ආලින්දයකින් ද යුතු ගොඩනැගිල්ලේ එක් කොටසක් කැඩී ගොස් තිබුණ ද වැඩි ප්‍රමාණයක් ඉතිරිව තිබේ. පසුගිය සතියේ ගොඩනැගිල්ලේ එක් සිරමැදිරියක බිම ඇති ගල් ආස්තරණයක් ඉවත් කිරීමේ දී එතැන කළු පැහැති පස් මතුව තිබිණි. 

ඒ පිළිබඳ සොයා බැලූ ආචාර්ය නිලාන් කුරේ මහතා එතැන ගල් අඟු‍රු ඇති බව දැන කැණීමක් කරන ලෙස ආචාර්ය නිමල් පෙරේරා මහතාට දැනුම් දුන්නේය. ආචාර්ය නිමල් පෙරේරා මහතා ඇතුළු පුරාවිද්‍යාඥයන් කණ්ඩායම එහි කැණීම් සිදුකිරීමේ දී එතැන ගල් අඟරු සහිත වළක් මතු කරගැනීමට හැකියාව ලැබිණි. ‍කවාකාර වළක් වූ එය ඇතැම්විට කම්හලක උදුනක් ලෙස භාවිත කරන්නට ඇතැයි සිතිය හැකිය. ආචාර්ය පෙරේරා මහතා පවසන්නේ ‍පැරැණි ලේඛනවල සඳහන් පරිදි මේ හමුවී ඇත්තේ පෘතුගීසි ආයුධ නිෂ්පාදනාගාරයක් විය හැකි බවයි. එය ඇතැම්විට ආයුධ නිෂ්පාදනය සඳහා ලන්දේසීන් විසින් ද භාවිත කරන්නට ඇත. දැනට ඇති ගොඩනැගිල්ල නම් ලන්දේසි නිර්මාණයකි. 

පෘතුගීසි කළු කොටුවේ තිබූ භූගත කුටි රැසක් මේ වනවිට සංරක්ෂණය කර අවසන් කරමින් පවතී. එම උමං තුළ ද පිටතට නිරාවරණය වූ වා කවුළු හා උමග සෑදීමේ දී කොටස් දෙකකට එකිනෙක යාබදව සිටින ආකාරයට සාදා තිබෙන අයුරු පැහැදිලිව දක්නට ලැබෙයි. 

ආචාර්ය නිමල් පෙරේරා මහතා ගාල්ල කොටුවේ කැණීම්වලින් ලැබී ඇති දේ පිළිබඳ මෙසේ ද කීවේය. 
“ගාලු‍ කොටුව යුරෝපීය ජාතීන්ගේ යුද බලය, ඔවුන්ගේ පරිපාලන කටයුතු පිළිබඳ කියාපාන ස්ථානයක්. මෙහි කරන ගවේෂණවලින් මෙතෙක් අනාවරණය වී නොතිබූ අපූරු දේ සොයාගත හැකි වෙනවා. අපිට දැනට ලැබී ඇති වළං කටු කැබැලි, පිඟන් කොටස්, යුරෝපීය ජාතිකයන් භාවිත කළ විවිධ කාලවලට අයත් දුම් පයිප්ප කොටස්, සත්ත්ව අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණවලට යොමු කිරීමෙන් ඉතා වටිනා තොරතුරු සොයාගත හැකිවේවි. ඒ වගේම කළු කොටුවේ ගල් අඟු‍රු වළේ තිබිලා පිලිස්සුණු දැව කොටස් සොයාගන්න හැකි වුණා. ඒවා කාබන් කාලනිර්ණයෙන් කවර කාලයක දී භාවිත කරන්නට ඇත්ද කියා ස්ථිරවම සොයගන්න හැකියාව ලැබෙනවා.”‍ 

ආචාර්ය නිලාන් කුරේ මහතා කියා සිටියේ මෙරට මුල්ම ප්‍රදීපාගාරය ඉදිකර තිබූ ‍ෆ්ලෑග් රොක් අට්ටාලයේ ප්‍රදීපාගාරය ඉදිකිරීමට පෙර සවිකර තිබූ කොඩි කණුවේ පාදම ද සොයාගත් බවයි. ඊට පසෙකින් තවත් කොඩි කණුවක පාදමක් ද හමුවී ඇත. එය ඇතැම්විට පෘතුගීසීන් විසින් භාවිත කළ කොඩි කණුවක් විය හැකි බව ද ඔවුන්ගේ අදහසයි. එමෙන්ම කොටුවේ පස් යට තිබී කුඩා කාලතුවක්කුවක් හමුවී ඇති අතර එය පරීක්ෂා කිරීමේ දී එහි අැතුළත හිරිගල් සහ මුහුදු බෙල්ලන්ගේ කොටස් හමුවී තිබේ. ආචාර්ය කුරේ මහතා පවසන්නේ එය මුහුදේ ගිලී ගිය නැවක තිබී ගොඩට ගෙන තිබූ කාලතුවක්කුවක් විය යුතු බවයි. 

ගාල්ල කොටුවට පැමිණෙන සංචාරකයන් බොහෝ විට කොටුවේ ඇති කෞතුකාගාර ඇතුළු ගොඩනැගිලි කිහිපයක් නරඹා සංචාරක සේවා සපයන ස්ථානවලින් තමන්ට අවශ්‍ය සේවාවන් ලබාගෙන නික්ම යති. නමුත් ඔවුන්ට මෙහි ඇති ඉතිහාසය යුදමය නිර්මාණ පිළිබඳ නිසි අවබෝධයක් ලැබෙන්නේ නැත. එමනේම පැරැණි පෘතුගීසි බළකොටුව ආදි ස්ථාන කිහිපයක් තවමත් නිසි පරිදි විවෘත කර නැත. මේ ව්‍යාපෘතියේ තවත් එක් අරමුණක් වන්නේ සංචාරකයන්ට ගාලු‍ කොටුවේ ඇති වැදගත්කම පෙන්වන විස්තර සහිත පුවරු සකසා ප්‍රදර්ශනය කිරීමයි. එවැනි පුවරු සෑම මුර අට්ටාලකම ප්‍රදර්ශනය කිරීමට ද සැලැසුම් කර ඇත. 

එමෙන්ම කොටුව පුරා පහසුවෙන් ඇවිද යා හැකි පරිදි ඇවිදීමේ මංතීරු ද මේ වනවිට සකස් කරමින් පවතී. කොටුව නරඹන සංචාරකයන්ගෙන් මුදල් අයකිරීමක් මෙතෙක් සිදුවන්නේ නැත. එසේ වුව ද ඉදිරියේ දී සංචාරකයන්ට කොටුවේ යුදමය හා ගෘහ නිර්මාණ ශීල්පීය ලක්ෂණ පිළිබඳ වඩාත් අර්ථාන්විත ලෙස පෙන්වීමට කටයුතු කර එවැනි ස්ථානවලින් මුදල් අයකිරීමට ද අපේක්ෂිතය. 

ආචාර්ය කුරේ මහතා පවසන්නේ යුරෝපීය ජාතීන් තුන භාවිත කළ යුද තාක්ෂණය එකිනෙකට වෙනස් බවයි. ඔවුන්ගේ කාලතුවක්කු ආකෘති සාදා ඒවා භාවිත කළ ආකාරයත්, ඒ ඒ ජාතීන් විසින් භාවිත කළ ආයුධ හා නිල ඇඳුම් පවා ප්‍රදර්ශනය කිරීමට පවා සැලැසුම් කර ඇති බවයි. එමගින් ‍ගාලු‍ කොටුවේ ඓතිහාසික වැදගත්කම වඩාත් ඉස්මතු කර පෙන්වීමට අපේක්ෂිතය. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරි යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. 

දැවැන්ත කොටු පවුර තවමත් නිශ්චලය. යුද ගැටුම් හා ලේ වැගිරීම් මධ්‍යයේ වසර 500කට වැඩි කාලයක් ගාලු‍ සමුදුර ආසන්නයේ තිබූ මෙම බළකොටුවේ ඉතිහාසය ගවේෂණය කොතරම් කුතුහලය දනවන සුන්දර කතාන්තරවලින් ගහන වුවත් එහි සැඟවී ඇත්තේ මිනිසුන්ගේ ලේ කඳුළුය. 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: