Posted by: lrrp | October 19, 2020

සබරගමුවේ විදේශීය බළකොටු

ශ්‍රී ලංකාවේ විදෙස් අභ්‍යාසය ලත් ආරක්ෂක බළකොටු ගොඩනැන්වීම සියවස් පහක් පමණ අතීතයට දිව යන්නකි. ඒ පෘතුගීසි හා ලන්දේසි යුගවලය. ඔවුන් එම යුගයන්හි මුහුදුබඩ පළාත්වල ආධිපත්‍යය පතුරුවා ගොඩනැගූ ආරක්ෂක බළකොටු අද එම යුග සිහිපත් කරවන ස්මාරකයන් බඳුය. 

මෙම බළකොටුවල මුල් නිර්මාණ ශිල්පීන් වන්නේ පෘතුගීසින්ය. ඔවුන්ගේ ප්‍රථම නාවික පිරිස ක්‍රි.ව. 1505 නොවැම්බර් මස 15 වන දින අහම්බෙන් මෙරටට ගොඩ බැස ඇති අතර ඔවුන් බටහිර හා නැගෙනහිර වෙරළබඩ පෙදෙස්හි බලය පතුරුවා ඔවුන්ගේ ආරක්ෂාව හා පාලන කටයුතු සඳහා බළකොටු ඉදිකළහ. එයින් කොළඹ, කළුතර, මීගමුව, ගාල්ල, මාතර, මන්නාරම, යාපනය යන බළකොටු ඉන් සමහරක් වේ.   

පෘතිගීසින් හා ලන්දේසින් විසින් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති ප්‍රධාන අරමුණ වූයේ පෙරදිගින් කුළුබඩු ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය ලබාගැනීම හා රෝමානු කතෝලික ආගම ප්‍රචලිත කිරීමයි. ඒ අවධියේ I වන රාජසිංහ රජුගේ අභාවය සිදුවිය. ඒ සිදුවීමත් සමග ‘ගස්පර් පිගේරා’ යටතේ ආ පෘතුගීසි හමුදා අරන්දරින් හතර කෝරළයමත් රුවන්වැල්ල, සීතාවක හරහා දෙල්ගමුව දක්වා විත් සබරගමුව අල්ලා ගත්හ.   

රත්නපුර පෘතුගීසි බළකොටුව (සපරපුර)   

සබරගමුව ජයගත් පෘතුගීසිහු දෙල්ගමුව, පොත්ගුල්, සමන් යන විහාරස්ථාන හා සමන් දෙවොල විනාශ කළහ. එයින් පසු සමන් දේවාල භූමියේ (සපරපුර) පෘතුගීසි බළකොටුව හා පල්ලිය ඉදිකර එහි පාලන මධ්‍යස්ථානය පිහිටුවා ගත්හ. ඒ සඳහා පෘතුගීසි නායකත්වය ගෙන කටයුතු කළේ ‘ලුයින් කබ්රාල් පරී’ ය. මෙම බළකොටුව ගොඩනංවනු ලැබුයේ ක්‍රි.ව. 1618-1620 අතර කාලයේ විය හැක.   

එම පෘතුගීසි බළකොටුව පිළිබඳ German’s in Dutch Ceylon පොතේ 108 පිටුවේ මෙසේ සඳහන්ව ඇත.   

SAFFRAGAM- RATNAPURA (The Province Sabaragamuwa) THE P. Church (and Fort) and the D Fort Were at The Present Maha Saman Dewale, Probably Built by the P On The Site of an Older Dewale of The Church and Fort Still Survice

එහි සිංහල අනුවාදය  

සපරගම් – රත්නපුර සබරගමු පළාත (බළකොටුව ද සහිත) පෘතුගීසි පල්ලියක් එදා තිබුණේ මහා සමන් දේවාලයේ ය. මෙය මීට පෙර සමන් දෙවිඳුන්ම ප්‍රධාන ලද්දා වූ දේවාලයක් පිහිටා තිබුණ ස්ථානයේ පෘතුගීසින් විසින් ඉදිකරන ලද්දකි. පල්ලියේ හා බළකොටුවේ නටබුන් තාමත් නොනැසී පවතී.   

එමෙන්ම පෘතුගීසි බලකොටුවේ සැලැස්ම Portuguese map and plain of Ceylon පොතේ සඳහන්ව ඇත.   

ඒ වනවිට සපරගමුව Safragan and Nawadum Saffaragan යනුවෙන්ම ඇත. ඒ බව ‘PHILLIPUS BALOAUS IN SULA CEYLON OLD IN LANKAN’. පෙතෙහි සිතියමක සපරගමුව හඳුන්වා ඇත්තේ Safragan Province යනුවෙනි. එහි රත්නපුර යන්න සඳහන් වී නැතත් බටුගෙදර යන්න පැහැදිලිව සඳහන්ව ඇත. එහි බටුගෙදරට මදක් බටහිරින් බළකොටුව වැනි සලකුණක් ඇත. එය පෘතුගීසි බළකොටුව විය හැක.   

දැනට ඇති සමන් දේවාලය ඉදිකර ඇත්තේ II වන රාජසිංහ රජු විසින් පෘතුගීසි බළකොටුව හා දේවස්ථානය කඩා විනාශ කිරීමෙනි. එහි කැඩී බිඳී ගිය සෙල්ලිපි කොටස, ගල්කණු තැන් තැන්වල අදත් විසිර පවතී.   

රත්නපුර ලන්දේසි බළකොටුව.   

ක්‍රි.ව. 1505 දී මෙරටට පැමිණි පෘතුගීසීහු ක්‍රි.ව. 1638 තෙක් ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශ හා සබරගමුවේ රට මධ්‍යයේ ඇති යම් යම් කොටස් ද පාලනයට නතුකර ගත්හ.   

ඒ වනවිට කන්ද උඩරට රාජ්‍ය පාලකයා වූ II වන රාජසිංහ රජු ලංකාව එක්සත් කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවිය. II වන රාජසිංහයන් විසින් පෘතුගීසින් පරාජය කරනු වස් ක්‍රි.ව. 1636 සැප්තැම්බර් 09 වෙනි දින ලන්දේසින්ගෙන් ආධාර ඉල්ලා අලිකම් ආණ්ඩුකාර කැරල් රිඩිනියර් වෙත ලියැවිල්ලක් භාර දෙනු ලැබීය. ලන්දේසි මේ සංදේශය පිළිගෙන රාජසිංහයන්ට යුද ආධාර දීමට එකඟ වන්නේ පෘතුගීසින් යටතේ පවත්නා කුරුඳු ඉඩම් බලය තමන් වෙත ලබා ගැනීමේ අභිප්‍රායෙනි.   

ඒ අනුව 1638 දී මුල්‍ම මෙහි පැමිණි ලන්දේසි බළ ඇණිය විසින් වහාම ක්‍රියාත්මක වී පෘතුගීසි පාලන ප්‍රදේශ 25ක අණසක පතුරුවා ගන්නා ලදී.   

එහෙත් සිදුවූයේ අනෙකකි. පෘතුගීසින්ගෙන් ලත් ගැහැටට වඩා ගැහැටක් සිංහලයන්ට එල්ල වන්නට විය. පෘතුගීසින් මෙරටට ඇතුළු වූයේ ආක්‍රමණිකයන් ලෙස වුවද ලන්දේසින් මෙහි පැමිණ ඇත්තේ ආරාධනයක ප්‍රතිඵලයක් ලෙසිනි.   

ලන්දේසි ප්‍රධාන බළකොටුව පිහිටියේ කොළඹ කොට්ඨාසය තුළය. එයට අමතරව මීගමුව, කළුතර, අලුත්ගම, මඩකළපුව, ත්‍රිකුණාමලය යාපනය ආදී බළකොටු ස්ථාපිත කර රට අැතුළත හංවැල්ල, රුවන්වැල්ල, සබරගමුව හා බිබිලෙගම බළකොටු ඉදිකළහ. එය විදේශීන් දුටු හෙළදිව ග්‍රන්ථයේ මෙසේ සඳහන්ව ඇත.   

‘අභ්‍යන්තර බළකොටු සැසඳීමේදී (මලුවාන) මල්වාන කොළඹ සිට පැය 06 ක දුරින්ද හැංග්වේලි (හංවැල්ල) හෙවත් ගොර්වේබල් (ගුරුබෑවිලට) පැය 2 ක දුරින්ද සැපේරියන් රුවන්වැල්ලේ සිට බිබිලේ ගමට පැය 8 ක දුරින් වේ’ යන්නට ලන්දේසි සබරගමුවේ පෘතුගීසි බළකොටුව යටත්කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ පාලන මධ්‍යස්ථානය එය විය. පෘතුගීසින්ට වඩා ලන්දේසින් ගොඩබිම් ප්‍රවාහනයට වඩා ජල මාර්ග ප්‍රවාහනය කෙරෙහි සැලකිලිමත් වූහ. පෘතුගීසින් මෙන්ම ලන්දේසින් කළු ගඟ ජල මාර්ගය වෙළෙඳ ද්‍රව්‍ය රැස්කර ඒවා කළුතර දක්වා ප්‍රවාහනය සඳහා යොදා ගැනිණ. ඒ කළු ගං නිම්නයේ අඟුරුවාතොට, නම්බපාන, කිරිඇල්ල, රත්නපුර (සපරපුර) බළකොටු හා ප්‍රධාන තොටුපලයන් විය. එහි රත්නපුර තොටුපළ පිහිටියේ වරකාතොට පැරැණි මාර්ගයේ කළු ගං මෝය අසල ය. මෙහි එතෙර වීමට ලී පාලමක් (සුළුප්පුවක්) විය.   

මෙහි සිංහලයන් සහ ලන්දේසින් අතර වරින්වර ගැටුම් ඇතිවීම නිසා ස්ථිර බළකොටුවක් ගොඩනැගීමට සුදුසු බිමක් ලන්දේසීහු සෙවූහ. ඒ වන විට පෘතුගීසින්ට සමන් දෙවොල අසල බළකොටුව ප්‍රමාණවත් නොවූයෙන් රත්නපුර නගර මධ්‍යයේ බළකොටුවක් ඉදිකිරීමට කොන්තන්තීනු ද සා යටතේ සැලසුමක් සකසා තිබුණි. 

 එහෙත් පාලන බලය ලන්දේසින් නතුකර ගත් නිසා එය ඉදිකිරීමට සිදුවූයේ ඔවුන්ටය. ඔවුන් නගර මධ්‍යයේ උස් භූමිය අවට ස්ථිර ආරක්ෂක කලාපයක් ඇතිකර මුල්ම ලන්දේසි බළකොටුව ඉදිකර ඇත. එය ”Constantine De Sa’s Map and Plain” ග්‍රන්ථයේ සැලසුම සඳහන්ව ඇත.   

එහි සිංහල අනුවාදය මෙසේය. 

“සැලැස්මේ පෙන්වා දී ඇති ආකාරයට සපරගමු බළකොටුව ගොඩනගා ඇත්තේ කළුතර ලන්දේසි බළකොටුවට සමානවය. එය පිහිටා අැත්තේ දෙනවක රාජ්‍යය තුළය. මෙම බළකොටුව ආරක්ෂක කවුළු (උකුසුගුල්) 4 ක් හා අඩාන කවුළු දෙකකින් සමන්විත වේ. මෙහි හමුදා අනුකණ්ඩායමකට සිටිය හැකිය. දිස්ත්‍රික්කයේ දිශාවන්ගේ නිවස්න පිහිටියේ මෙම බළකොටුව තුළය”   

මෙම බළකොටුවේ ආරක්ෂක හා වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන තොටුපළ වූයේ වරකාතොට තොටුපළ විය. එයට අමතරව වේගඟ කළුගඟට සම්බන්ධ වන ස්ථානයේ දෙමුවාවත තොටුපළ වේ. එය රේන්ද තොටුපළ යැයි හඳුන්වා ඇත. බළකොටුවට අවශ්‍ය ආහාර සපයන ප්‍රධාන සැපයුම් කොටුව විය.   

ලන්දේසින්ගෙන් පාලනය නතු කරගත් විගස ඉංග්‍රීසිහු බළකොටුව හා ගොඩනැගිලි නවීකරණය කර ඇත්තේ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසිනි. ඒ බව ඉංග්‍රීසි වාර්තාවක මෙසේ සඳහන්ව ඇත. එහි සිංහල අනුවාදය මෙසේය.   
මෙම බළකොටුව නවීකරණයකර ක්‍රි.ව. 1817 මාර්තු 28 වන දින බ්‍රවුන්රිග් ආණ්ඩුකාරතුමා සිංහල ප්‍රදේශයේ සංචාරයක් සඳහා පිටත්විය. ඔවුන්ට දින 2 කට   

පසුව කපුවත්ත හමුවිය. අලුත් යුද මධ්‍යස්ථානය බටුගෙදර සිට සැතපුම් 2ක් දුරට කළුගඟ හොඳින් පෙනෙන උස් බිමක විවෘත කරන ලදී.   

දැනට ඉතිරි වී ඇති ප්‍රධාන දොරටු දෙකෙහි G.R. 1817 යන්න පමණක් සඳහන්ව ඇත.   

මෙම බළකොටුව ක්‍රි.ව. 1831 අගෝස්තු මස 24 වන දින ප්‍රතිසංස්කරණය සඳහා ගිවිසුමක් එච්.ආර්. ස්කොට් මහතාගේ දින පොතෙහි වාර්තාවක මෙසේ සඳහන්ව ඇත.   

රත්නපුර මහ මරක්කලගේ දොන් හේන්ද්‍රික් පෙරේරා කොන්ත්‍රක්කරුය. මොහු විසින් බළකොටුව හා ගොඩනැගිලි අලුත්වැඩියාවට ඇස්තමේන්තු 6ක් වෙනම ඉදිරිපත් කොට ඇත. ඒ මෙසේය.   

 පවුම් සිලිං පැන්ස 

 
1. එහි නිලධාරින්ගේ නිවස්න අලුත් වැඩියාව 13 08 09  ගෘහ භාණ්ඩ සඳහා වියදම   


2. ප්‍රධාන ආඥාපතිගේ නිල නිවස්න 12 07 06   අලුත්වැඩියාව   


3. ආරෝග්‍යශාලාව හා බාහිර කාර්යාල 10 16 06   අලුත්වැඩියාව   


4. සොල්දාදු බැරැක්ක නවීකරණය කිරීම 35 01 09 

5. මුළුතැන්ගෙය අලුත්වැඩියාව හා 16 02 07 අවශ්‍ය භාණ්ඩ සැපයීම

6. ඇතුළත ගේට්ටු දෙකක් හා 09 12 09   ජනෙල් පියන් සැපයීම   

ඉහත සඳහන් කොන්ත්‍රාත්කරු හා සබරගමු ඒජන්තව සිටි රොබට් ස්කොට් මහතා ගිවිසුමට අත්සන් තබා තිබිණ   


බටුගෙදර බළකොටුව   

සිංහල රාජ්‍ය පාලන සමයේ රත්නපුර බටුගෙදර වෙනම ආරක්ෂක කලාපයක් ලෙස පවත්වාගෙන යාමට සිංහල රජවරු උත්සාහ ගෙන ඇත. ඒ පිළිබඳව ක්‍රමවත් සැලැස්මක් ක්‍රියාවේ යෙදී තිබුණ බව විමර්ශනය කිරීමේ දී හෙළිවී ඇත. එහි සිංහල යුද සේනාව පුරුදු පුහුණු කිරීම්, සටනට අවශ්‍ය ආයුධ තැනීම, සංවිධාන කිරීම ආහාර ගබඩා කිරීම් බටගෙදර බළකොටුව ආශ්‍රිතව සිදුකර ඇත.   

මෙම බළකොටුව සිංහල රාජ්‍ය පාලන සමයේ පාලන කේන්ද්‍රස්ථානය විය. එය පිහිටා තිබුණේ අත්ගම්මනට නුදුරු යකිණිගල වත්ත (අන්නාසි ගල්හේන) අසල පිහිටි විශාල ගල් ලෙනක් තුළය. මෙහි ඇතුළත සිංහල සේනාව 400-500 ක් රැඳී සිටීමට එකල ඉඩකඩ තිබී ඇත. එහි තුළ පිරිසිදු ජලය රැඳි පොකුණක් ද විය. එහි තුළට ඇතුළු වීම සඳහා වම් හා දකුණ වශයෙන් පිවිසුම් දොරටු දෙකක් ද එහි තිබී ඇත.   

එකල අංගම්මනට නුදුරු අන්කණුව ඕවිට ස්ථානයේ අංගම් සටන් පුහුණු කිරීම් සිදුකර ඇත. එකල එහි පුහුණුව ලත් අය අතර කුරුවිට රාළ, තැඹිලියන රාළ ප්‍රධාන සටන්කාමීහු වූහ. සමන් දේවාල භූමියේ පෘතුගීසි බළකොටුව හා කටුවන බළකොටුවට සටන්කරුවන් නර්තන විලාසයෙන් සටනට ඇතුළත් වී ඇත්තේ මෙහි පුහුණුව ලත් අය වෙති.   

පෘතුගීසින් හා ලන්දේසින් මෙම බළකොටුව යටතට ගැනීමට පෙරාතුව සිංහල සේනාව හා සටන් වැද කීප වරක් පසු බා ඇත.   

රුවන්වැල්ල (රුවනේල්) බළකොටුව   

ශ්‍රී ලංකාව ඉංග්‍රීසි පාලන අවධියේ රුවන්වැල්ල (රුවනේල්) බළකොටුව පැරැණි කොළඹ නුවර මාර්ගයේ කැළණි ගඟත් ගුරුගොඩ ඔයත් එකට එක්වන ස්ථානයේ පිහිටා ඇත. එමෙන්ම රුවන්වැල්ල උඩරටත් පහත රටත් අතර ප්‍රධාන කඩඉමක් වේ. රුවන්වැල්ල බළකොටුව මුලින්ම සාදන ලද්දේ සිංහලයන් විසිනි. පෘතුගීසි ලන්දේසි පාලන සමයන්හි ඔවුන්ගේ ආරක්ෂක බළකොටුව ලෙස එම ස්ථානය ප්‍රයෝජනයට ගෙන ඇත.   

ඉංග්‍රීසින් මහනුවර අල්ලා ගැනීමට ගොස් ඇත්තේ ද රුවන්වැල්ල මෙම බළකොටුව හරහාය. ක්‍රි.ව. 1800 මාර්තු 12 වන දින මැක්ඩෝවල් ජනරාල්තුමා හේවායින් 1164 දෙනෙකු සමග ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමග ගිවිසුමක් අත්සන් කිරීමට ගිය නමුත් රුවන්වැල්ලේ දී මේ සියලු අයට මහනුවර දෙසට යාමට සිංහල හමුදාව විසින් ඉඩ නොදෙන ලදී.   

එසේ වුවත් ක්‍රි.ව. 1815 දී ඉංග්‍රීසින් විසින් නැවතත් සිංහල රජුට විරුද්ධව යුද්ධයක් ආරම්භ කරන ලදී. මෙවර ඉංග්‍රීසි හමුදාව ගමන්කර ඇත්තේ රුවන්වැල්ල හරහාය. ඒ කාලය වන විට රුවන් වැල්ල බළකොටුව ඉංග්‍රීසින් විසින් යටත් කරගෙන තිබුණි. දැනටත් මේ බළකොටුවේ නෂ්ඨාවශේෂ දක්නට ලැබේ.   

එදා බළකොටුව ගොඩනගන ලද්දේ ආර්.බී. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් බව එහි සටහනකින් ප්‍රකාශ වේ. කොටු දොරකඩ ඇති විශාල සියඹලා ගස ඒ කාලයේ දී තිබෙන්නට ඇත.   

ක්‍රි.ව. 1915 දී මාෂල් ලෝ නීතිය යටතේ ඉංග්‍රීසින් විසින් සිංහලයින් අල්ලා මේ සියඹලා ගසේ බැඳ වෙඩි තබා මරා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ.   

රුවන්වැල්ලේ බළකොටුවට ඇතුළුවන ස්ථානයේ ඉංග්‍රීසි නෝනා කෙනෙකු සිහිවීම සඳහා මහනුවර සම්ප්‍රදායට මඟුල් මඩුවේ සැලැස්ම අනුව ඉදිකර ඇති මඩමක් ද ඇත. මෙය ඉදිකර ඇත්තේ 1892-1896 මෙම දිස්ත්‍රික්කයේ උපඒජන්ත ධුරය දැරූ ඩේවිඩ්සන් මහතාගේ භාර්යාව වූ ඩේවිඩ්සන් මහත්මිය සිහිවීම සඳහාය.   

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට අල්ලා දීම සඳහා රුවන්වැල්ල ප්‍රධාන ස්ථානයක් ගනී. ඉංග්‍රීසින්ට රජු අල්ලා දීම සබරගමුවේ එක්නැළිගොඩ නිලමේ ඇතුළු පිරිස අල්ලා දීමට උදව් උපකාර කර ඇත්තේ මෙම බළකොටුවේ සිටය.   

බිබිලේගම බළකොටුව   

සබරගමුවේ ප්‍රාදේශීය බළකොටු අතර සුවිශේෂ තැනක් බිබිලේගම බළකොටුවට හිමි වේ. පෘතුගීසි, ලන්දේසි සමයේ කොළඹ, මල්වාන, හංවැල්ල, රුවන්වැල්ල, රත්නපුර (සපරගමුව) බිබිලේගම, කටුවන, මාතර, ගොඩවාය දක්වා රට අභ්‍යන්තරයෙන් ගමන් මාර්ගයක් විය. බිබිලේගම බළකොටුව පිහිටියේ ගොඩකවෙලට නුදුරුවය. එකල බිබිලේයෝගම් නමින් හැඳින් වූ බව විදේශින් දුටු හෙළදිව ග්‍රන්ථයේ සඳහන්ව ඇත.   
ක්‍රි.ව. 1660 සිට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරයා වූ රයික් ලොක්ෂන් කන්ද උඩරට රාජධානියට අයත් සපරගමුව සත් කෝරළය හා සතර කෝරළය ප්‍රදේශ අල්ලා ගැනීමට හමුදාව යෙදවීමට සුදානම් වුවත් බතාවියාවේ ලන්දේසි අධිකාරිවරයාගෙන් ඒ සඳහා ඉඩක් නොලැබුණි.   

මේ අතර 1664 දී කන්ද උඩරට රජතුමාට විරුද්ධව අඹන්වෙල රාළගේ ප්‍රධානත්වයෙන් කැරැල්ලක් ඇතිවීම ලන්දේසින්ගේ වාසියට හේතුවිය.   

රජතුමා එම කැරැල්ල මැඩ පැවැත්වීමට ලන්දේසින්ගෙන් උදව් උපකාර ඉල්ලූවිට කොළඹින් හා ගාල්ලෙන් ලන්දේසි හමුදා කාණ්ඩ දෙකක් උඩරටට යවන ලදී. මේ අවස්ථාවේ ලන්දේසි හමුදා කැළණි ගඟ අසබඩ රුවන්වැල්ල හා වලවේ ගඟ අසබඩ (ගොඩකවෙලට නුදුරු) බිබිලේගම බළකොටුව යටත් කර ගන්නා ලදී.   

මේ පිළිබඳ සටහන් Germans in Dutch Ceylon R.‏Pavan ග්‍රන්ථයේ මෙසේ සඳහන්ව ඇත.   

This (With Ruwanvella and Bibiligma) Were Held by R.Vangoons With the grudging Consont of Bathavia Much of the rost of the New Tervitcries were about oned (H/92) this 1675 report ep.cits in Fignres as held gy lascar in it Was eveacuated that some yead, and in 1680 Schweitzer mentions it as” New demo lisnt” (VII/52)   

එහි සිංහල අනුවාදය මෙසේය.   

මේ වන විට අලුතින් ඈඳාගන්නා ලද රුවන්වැල්ල සහ බිබිලේගම ඇතුළු ප්‍රදේශ වැඩි කොටසක් අත්හැර දමා තිබුණ නිසා R.Vangoons යටතේ මෙය තබා ගන්නේ බතපියාව අදිමදි කරමින් දෙන ලද කැමැත්ත ඇතිවය. (H/92) 1675 ඔහුගේ වාර්තාව අනුව මෙම ස්ථානය තබාගෙන ඇත්තේ ලස්කිරිඤඤ හමුදාව විසිනි. 1675 වසරේදීමය. ස්වෙයිට්සන්ස් සඳහන් කරන මෙය අලුතින් බිඳ දැමූ එකක් ලෙසය.   

“ලංකා ඉතිහාසය ද්විතීය භාග්‍ය” හාන්දුපැල්පොල පුඤ්ඤරතන හිමිගේ 88 වන පිටෙහි මෙසේ සඳහන්ව ඇත.   

ක්‍රි.ව. 675 මාර්තු 12 ෆන්ගුන්ස් ආණ්ඩුකාර තැන ස්වකීය ආණ්ඩුකාර ධුරය පවරා හෝ බතාවියේ ආණ්ඩුකාර ධුරයට පත්විය. රාජසිංහ රජතුමා මේතාක් නිශ්ශබ්දව සිටියේය. රෛයික්ලොක් ගුන්ස් (කනිෂ්ඨ) ආණ්ඩු කාලය උදාවූ වහාම නැවතත් වියවුල් උපදවන්නට පටන්ගත්තේය. ජුලි මස රාජාධිරාජසිංහ රජුගේ සේනාව බිබිලේගම කොටුවට පහර දුන්හ. කොටුව වටලා ඊට ජලය ලබා ගැනීම අවහිර කළේය.   
කොටුව ගිනි තැබීමට මෙන් අවට විශාල දරගොඩවල් රැස්කළාහුය. එයින් බියපත් කොටුව ආරක්ෂා කිරීමට නියුක්ත භටයෝ විරුද්ධත්වයක් නොමැතිව යටත් වූහ. එහිදී අල්ලාගත් කාලතුවක්කු හතරක් (4) හඟුරන්කෙත මාලිගයේ කෞතුක භාණ්ඩ ලෙස තබන ලදී.   

කිරිඇල්ල බළකොටුව   

කිරිඇල්ල බළකොටුව රත්නපුර – පානදුර මාර්ගයේ කළු ගං නිම්නයේ නැගෙනහිර වම් ඉවුරේ පිහිටා තිබූ බවට සාධකයන් ඇත. පෘතුගීසි හා ලන්දේසින් කළු ගඟ ඔස්සේ කුරුඳු, කරුංකා හා කුළුබඩු ආදිය මෙම බළකොටුව තුළ රැස්කර තබා කළුතර දක්වා ප්‍රවාහනයට ජල මාර්ගය යොදා ගැණින. ඒ කළු ගං නිම්නයේ කළුතර සිට අඟුරුවාතොට, නම්බපාන, කිරිඇල්ල, රත්නපුර (සපරගමු) බළකොටු හා ප්‍රධාන තොටුපළයන් විය.   

මෙම බළකොටුව මුලින් සකසා ඇත්තේ පෘතුගීසීන්ය. මෙහි පැති බැම්ම සඳහා විශාල ප්‍රමාණයේ ගල්කුට්ටි අලි ඇතුන් ලවා අද්දවා සකස් කර ඇත. බළකොටුවේ හැඩය සෘජු කෝනාකාර විය. මෙහි ආරක්ෂක කුටි, ගබඩා හා අණදෙන නිලධාරින්ගේ නිල නිවෙස්ද මෙහි ඉදිකර තිබුණි. එහි නටබුන් අදත් දැකිය හැකිය.   

මෙම බළකොටුව පිළිබඳ දිසාපති (R.H BASST 1829 Romatic Ceylon) වාර්තාවක  (චමත්කාරජනක ලංකාව) මෙසේ සඳහන් වේ.   

Near the road from Panadura to Ratnapura on the eastern Bank of the Kaluganga at Kirilla, areth ruine as a largo Portuguese fort, Which Situated on high ground at a sharp bend in the stream, Occupied a Position Combining strongth and with beauty, Built both to the command to Water High way and also as a Store for Aroca Cinnamon and Spices, it Contained a fine Residence for the Commandant, below Whose Windows, on the Outer Escarpment at the Walls, Sproed a broad terrace over looking the river and Mounts of Kukul Korale, Here in the cool of the evening the governor and his lady could Withdraw from the military atmosphere within the battlements to enjoy the beauties of unrivalled tropical Seenary”

  එහි සිංහල අනුවාදය

“පානදුරේ සිට රත්නපුරයට එන මාර්ගය අසල කළුගඟේ නැගෙනහිර ඉවුරුබඩ කිරිඇල්ලේ, එම ගඟේ තියුණු වංගුවක උස් භුමියක විශාල පෘතුගීසි බළකොටුවක නටබුන් හමුවේ. මෙම ස්ථානය බලය හා ශක්තියත් සුන්දරත්වයත් එක් වූ තැනකි. ජල මාර්ගය පාලනය කිරීමටත්. හමුදා අණදෙන නිලධාරියා සඳහා කදිම නිවාසයක් තනවා තිබුණි. පුවක් කුරුඳු හා කුළුබඩු ගබඩා කිරීමටත් මේ මගින් හැකි විය. නිවාසය ඉදිකර තිබුණේ පුළුල් තැන්නකය. එම නිවාසයේ කවුළුවලට පහතින් බලන විට. ප්‍රාකාර බැම්මට පිටින් සානුවේ දිග දැඩි බෑවුම මත සිට ගංගා ගව්වත් කුකුළු කෝරලයේ කඳු වැටිත් දැකිය හැකි විය. ඝර්ම කලාපික ස්වභාවික දර්ශනය ද නැරඹිය හැකි විය. ඒ මෙසේය. සඳ සිසිලේ ආණ්ඩුකාරවරයාට ස්වකීය ආර්යාවත් සමග යුද වාතාවරණය මගහරිමින් වෙඩි තැබීම සඳහා ඉදිකර ඇති මන්දිරයේ මිටි කුලුන මත සිට මෙම දර්ශනය නැරඹිය හැකිවිය” යන්නය.  


මැණික් කඩවර බළකොටුව   

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත්වන තවත් ප්‍රධාන බළකොටුවක් වන්නේ මැණික් කඩවර බළකොටුවයි. එය රුවන්වැල්ල – මහනුවර මාර්ගයේ නාමල්දෙණිය හන්දියට නුදුරින් පිහිටා ඇති අතර වරකාපොළ ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත්ව පවතී.   

මෙම බළකොටුව සුවිශේෂී වන්නේ උඩරට හා කරන යුද්ධයකදී ඉතා වැදගත්වන බැවිනි. අසවේදුගේ කාලයේ දී පහතරට කැරැලි මර්දනය කිරීමට අමතරව උඩරට රාජ්‍යය ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීමට ක්‍රම යෙදීමට මෙමගින් හැකි නිසා විය හැක. මෙයට අමතරව හමුදා අනුකණ්ඩයන් ප්‍රාදේශීය කුඩා බලකොටුවන්හි රඳවා තිබිණ. එයින් අරන්දර, දිවෙල, අමුණුගස් හින්න, අට්ටාපිටිය බළකොටු ඉන් සමහරක් වේ. 

 ක්‍රි.ව. 1603 උඩරට ආක්‍රමණයට පෙර මැණික් කඩවර අට්ටාපිටිය බළකොටු ශක්තිමත් කළහ. මෙහිදී සතර කෝරළය සන්සුන්ව තබා ගනිමින් උඩරට රජු මෙල්ල කරගැනීම පිණිසත් මැණික් කඩවර ස්ථිර බළකොටුවක් තැනවීමේ වැදගත්කම අසවේදු තේරුම් ගත්තේය. අවශ්‍ය කම්කරුවන් හා නිර්මාණ ශිල්පීන් තෝරාගෙන ක්‍රි.ව. 1598 සැප්තැම්බර් මස සෙල්වදොර් පෙරෙයිරා නමැත්තෙකුට බළකොටු සෑදීම භාරකර ඇත.   

සුදුසු ස්ථානයක් තෝරාගත් හෙතෙම උඩරටින් එල්ල විය හැකි ප්‍රහාරයන්ට මුහුණ දීමට මුලින් ලී වැටක් සහිත බළකොටුවක් තනවා මාස 04 ක් ඇතුළත ආරක්ෂක ගල් බැම්මක්ද තනවා ක්‍රි.ව. 1599 ජනවාරි වනවිට බළකොටුවේ වැඩ අවසන් කොට ඇත.   

එහි හමුදාව නතර කරන ලදී. මැණික් කඩවරට නුදුරින් ‘හොලොම්බුව’ නමැති ගමේ විශාල බළකොටුවක් තිබුණු බවත් එතනට ද පෘතුගීසින් වඩා ප්‍රසිද්ධ නම වූ මැණික් කඩවර යන නාමය භාවිතා කළ බව ‘රේවන්’ හාර්ට් කියයි. එම ගමේ පැරැණි බළකොටුව යැයි සිතිය හැකි තැනක විශාල පස් ගොඩැල්ලක් තිබෙන බව බෙල් මහතා පෙන්වා දී ඇත   

සබරගමුවේ බළකොටු පිළිබඳ මෙමගින් කරුණු බිඳක් පසක් කර ගත හැකිය.  


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: