Posted by: lrrp | May 8, 2021

පෘතුගීසීන් පැරදවූ කොඩිගහවත්ත කොටිකාවත්ත වුණේ මෙහෙමයි

ගමක නම හැදුණු හැටි…

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ඇති කොටිකාවත්ත නගරය පිළිබඳව ජනතාවට ඇත්තේ ගැටලුවකි. එයට කොටිකාවත්ත යනුවෙන් සඳහන් කරන හේතුව කුමක්ද යන්නයි. එය ඓතිහාසික කතාවකි. ඒ නම ඇතිවීමට හේතුවූ කරුණ මෙසේයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනතාවගේ මුවින් නිතර පිටවුන තොලග රැව්දුන් කවියකි.   


කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා   
යුදට උපන් කුමරිදු යයි නමක් ඇතිවුණා   
මුල්ලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා   
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා   


මේ 1562 දී කෝට්ටේ රාජධානිය වෙනුවෙන් සීතාවක ආක්‍රමණය කිරීමට පැමිණි පෘතුග්‍රීසි හමුදා සහ සීතාවක රාජසිංහ රජුගේ ප්‍රධානත්වයෙන් යුත් සීතාවක හමුදා අතර ඉතා දරුණු බිහිසුණු සටනක් සිදුවිය. පෘතුගීසි හමුදාව මෙසේ සීතාවක රාජධානිය ආක්‍රමණය කිරීමට පැමිණියේ එවකට කෝට්ටේ රාජධානියේ රජුවූ දොන් ජුවන් ධර්මපාල රජුගේ නියෝගය පරිදි යයි පවසමිනි. 

 මෙම ඓතිහාසික සංග්‍රාමයේදී සීතාවක රාජසිංහ රජුගේ අතින් පෘතුගීසි හමුදා සමූල ඝාතනය වූ අතර එම ගැටුමෙන් මුල්ලේරියාව මහා වෙල්යාය ලේ නිසා රතු පැහැයට හැරුණු බව ජනප්‍රවාදයේ ඇත.

 මෙම යුද කතාව හරිම අපූරුය. හරියටම වර්ෂය 1562 අගෝස්තු 23 දිනයි. එදින පහන් වන්නට ආසන්නයේ හමුදා කාණ්ඩ දෙකක් පෘතුගීසි කඳවුරු වෙත රහසින් ගමන් කරන්නට විය. එක් හමුදා කාණ්ඩයක් සීතාවක රාජසිංහ රජු​ගේ ප්‍රධානත්වයෙන් ගමන් කළ අතර, අනෙක් හමුදා කාණ්ඩය කොරතොට කුරුප්පු ආරච්චි නම් සටන්කාමී සෙනෙවියෙකුගේ ප්‍රධානත්වයෙන් පෘතුගීසි කඳවුරු වෙත ගමන් කළේය. මේ හමුදා කාණ්ඩ දෙකම ඉතා රහසින් ගමන් කර පෘතුගීසීන් නොසිතූ නොපැතූ වෙලාවක, ඔවුන්ගේ තුවක්කුවලට උණ්ඩ දමා ගැනීමටවත් වෙලාවක් නොදී ක්ෂණිකව කඩා වැදී පහර දෙන්නට විය.

මෙය ඉතා බිහිසුණු සටනක් විය. පෘතුගීසි සේනාව දෙපැත්තකින් ආක්‍රමණය කළ සිංහල සේනා අභීතව සටන් කළ අතර සීතාවක රාජසිංහ රජු හා ඒකනායක මුදලි ඉදිරිපසිනුත්, කුරුප්පුආරච්චි සේනාධිනායකගේ පිරිස පෘතුගීසි හමුදාවට පැනයන්නට නොදී අනෙක් පැත්තෙනුත් පහරදීම නිසා පෘතුගීසි හමුදාව ඉතාමත් අසරණ විය. මේ සටනින් පරංගි හමුදාවේ 1600 පිරිසක් මියගිය බව සඳහන් වේ.   


මේ සටනින් පෘතුගීසි හමුදාවේ සේනාධිපතිවූ බැල්තරාර් ගෙඩිස්ද මරණයට පත්වූ අතර, පෘතුගීසි හමුදාවේ ලෙයින් මුල්ලේරියා වෙල්යායේ වතුර ලේ පැහැයට හැරුණ බව ඉතිහාස කතාවල සඳහන් වේ.

 මේ යුද්ධය කොතරම් බිහිසුණු වී ද සැලසුම් සහගත වී ද යත් වටහාගන්නට හැකි ඉතිහාස ග්‍රන්ථයක සුළු කොටසක් මෙහි සඳහන් කරමි. එනම් මෙම යුද්ධය පිළිබඳව ඉතිහාසඥයෙකු වන පෝල් ඊ. පීරිස් මහතා ලියූ පෘතුගීසි යුගය නම් ග්‍රන්ථයේ කොටසකි. එහි මෙසේ සඳහන් වෙයි. ‘‘මේ අවස්ථාවේදී රාජසිංහ රජු පෞද්ගලිකවම අණදීම භාරගත්තේය. ප්‍රවීණ ඉලංක්කරුවෝද ඉලංගම් සටන් පුහුණුවූ පනික්කි සටන්කරුවෝද ඇත් අස් හමුදාවලින්ද අතුරුගිරිය කෝරලෙන් සහ කොරතොටින් පැමිණි ධීර වීර සෙබළුන්ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේදී පෘතුග්‍රීසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහරදීමට වූහ. රාජසිංහ තෙමේම පෙරමුණේ සිට දැඩි ප්‍රහාරයන් එල්ල කළ අතර කොරතොට හා හේවාගම ආරච්චිවරුන් පසුපසින් ප්‍රහාර එල්ල කළේය. එයින් මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදුවිය’’.

   
මෙම සටනින් පසු ජයෙන් උදම්වූ සීතාවක සේනාවෝ ජයපැන් බොමින් මගදිගට රණබෙර වයමින් ආපසු ගමන් කළේ ලැබුවාවූ විජයග්‍රහණය පිළිබඳව මහත්වූ සතුටකිනි.   

මෙසේ පැමිණෙන අතර පෘතුගීසි හමුදාවේ මහා බලකොටුවක්ව පැවැති තැනක සීතාවක හමුදාවෝ ජයග්‍රහණය සමරමින් සැණකෙළි පවත්වන්නට විය. මෙසේ සැණකෙළි පවත්වමින් ඔවුන් එම ස්ථානයේ තම ධජ සිටවන්නට විය. එම ධජ කාලයක් තිස්සේ එම ස්ථානයේ පැවැති අතර ජනතාව එම ස්ථානය එතැන් සිට ‘කොඩිගහවත්ත’ නමින් හඳුන්වන්නට විය. පසුව ජනවහ​රේදී එය වෙනස් වී වර්තමානය වනවිට එම ස්ථානය කොටිකාවත්ත බවට පත්වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ මුල්ලේරියාව නගරයට කිලෝමීටරයක් පමණ ආසන්නයේ කොටිකාවත්ත නමින් හැඳින්වෙන්නේ එම නගරයයි. එම නගරයට එම නම ලැබුණේ එසේයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: