Posted by: lrrp | July 11, 2021

කොළඹ කොටුවේ තවමත් සිටින ලන්දේසි

  • කොළඹ මහා විහාරය කඩා ඕලන්දයන් පල්ලියක් ඉදිකළා.  
  • ලන්දේසි ආණ්ඩුකාරයන්ගේ සිරුරු අදටත් එහි මිහිදන්.  

‘‘ඉගුරු දී මිරිස් ගත්තා වාගේ’’ යන කියමන අපේ භාෂාවට එකතු වූයේ උඩරට සිංහල රජවරුන් පෘතුගීසින් ලංකාවෙන් පලවා හැරීමට ලන්දේසින්ගෙන් සහාය ලබා ගැනීමත් සමඟ උදා වූ තත්ත්වය නිසාය. එය එක් කරදරයක් නැතිකර ගැනීමට තවත් කරදරයක් ලංකර ගැනීමක් විය.  

මෙම ඉඟුරු දී මිරිස් ගැනීමට මඟ පෑදෙන්නේ ලන්දේසි නාවිකයකු වූ ජොරිස් වෑන් ස්පිල්බර්ගන් 1600 මහනුවරට පැමිණි විට, මහනුවර රජකල පළමුවැනි විමලධර්මසූරිය රජු ඔවුන් සාදරයෙන් පිළිගත් නමුත්, ඉඟුරු දී මිරිස් ගැනීම සඳහා නිල ආරාධනාව කරනුයේ දෙවැනි රාජසිංහ රජු විසිනි. 1655 සැප්තැම්බර් මාසයේ ජෝර්ජ්, හල්ෆිට්, නැව් දහසයක පිර වූ දෙදහස් පන්සියයක යුද සේනාව සමඟ ගාලු වරායට පැමිණීමත් සමඟය.  

මේ වන විට ලන්දේසීන් පෘතුගීසින් සතුව තිබු නැගෙනහිර සහ දකුණු වෙරළේ බළකොටුද මීගමුව සහ කළුතර බළකොටුද අත්පත්කරගෙන තිබුණි. එ නිසාම කොළඹ පෘතුගීසි බලයද ඇද වැටීමට ආසන්න තත්ත්වයකට පත්ව තිබුණි. කොළඹ කොටු වී සිටි පෘතුගීසින්ට, හල්ෆ්ට් සෙන්පතියා කාල තුවක්කු ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ 1655 ඔක්තෝම්බර් 17 දිනය.  

ඒ, දැන් හල්ෆ් ඩ්‍රෝප් හෙවත් සාන්ත බස්තියම ලෙස හඳුන්වන කඳු ගැටය මත සිටය.  

සත් මසක් මුළුල්ලේ සිදුකළ ප්‍රහාරය අවසන් වූයේ 1656 මැයි මස 12 දිනය. කොළඹ කොටුව ආරක්‍ෂා කල පෘතුගීසි භටයින්ගෙන් ඉතිරි වූ හැත්තෑ තුන් දෙනෙක් හල්ෆ්ට් සෙන්පතියා වෙත ගොස් තමන්ගේ යටත් බව ප්‍රකාශ කළහ.  

1656 මැයි මස 12 වැනි දින, කොළඹ නගරයට ඉහළින්, ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගමේ කොඩිය ලෙල දෙමින් ලංකා ඉතිහාසයේ තවත් පිටුවක් පෙරළුණි.  

පෘතුගීසීන් මෙන්ම ලන්දේසීන්ද (පසුව බ්‍රිතාන්‍යයින්ද) තමන් යටත් කරගත් රටවල ධන සම්පත් සූරා කෑම සඳහා, තම අවි බලය යෙදෙව්වා සේම, එම රටවල මිනිසුන්ගේ ‘‘මොළ සූරා කෑම’’ සඳහා තම ආගම ව්‍යාප්ත කරන්නට ද වූහ. මෙහිදී පෘතුගීසින්, ලන්දේසීන්ට පෙර තමන්ගේ ආගමික සිද්ධස්ථාන තමන්ගේ බලය ව්‍යාප්තව තිබූ ප්‍රදේශවල ඉදිකර තිබුණි.  

ලන්දේසීන් කොළඹ බලය අත්පත් කරගන්නා සමයේ කොළඹ නගරයේ පෘතුගීසින් ඉදිකළ දේවස්ථාන දහයක් පැවැති බව කියයි. එයින්, ශාන්ත පීතර දේවස්ථානය පිහිටියේ, කොළඹ කොටුවේ ගෝර්ඩන් උද්‍යානය සමීපයේය. කොළඹ කොටුවේ නූතන ජනාධිපති මන්දිරය සමීපයේය. කොළඹ රාජධානිය කරගත් එකම රජ වූ, කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුරද තැන්පත් වූයේ කොළඹ කොටුවේ පිහිටි ශාන්ත පීතර දේවස්ථාන භූමියේය. මුල් කාලයේදී ලන්දේසීන් මෙම කතෝලික දෙව් මැදුර තමන්ගේ ආගමික කටයුතු සඳහා භාවිතා කරන ලදී. 

ඕලන්ද පෙරදිග ඉන්දීය සමාගම තමන්ගේ ආගමික කටයුතු සඳහා කොළඹ නගරයේ දේවස්ථාන ඉදිකිරීම ආරම්භ කලේ 1749 දීය. ඒ කොළඹ කොටුව සමීපයෙහි වූ උස් කඳු වැටියක් මතය. එකල මෙම කඳු වැටියට නැගුන විට ජනාකීර්ණ නොවූ මුළු කොළඹ නගරයම දැකගත හැකිවිය.  

පෘතුගීසින් එය හැඳින්වුයේ Agoade Loupe යනුවෙනි. ලන්දේසීන් එය හැඳින්වූයේ වුල් ෆෙන් ඩෝල් Voluen daal යනුවෙනි. වෘකයන්ගේ මිටියාවත, වෘකයින් සැරිසරන දෙනිය යන්න එම ලන්දේසී වචනවල තේරුම විය.  

පෘතුගීසින් පැමිණි අවදියේ එම ප්‍රදේශය ලදු කැලෑවක් විය. කැලණි ගඟ අසබඩ මෝදර වැනි ප්‍රදේශවල බහුලව සිටි නරින් අහර සොයා මෙම පෙදෙසට එකල පැමිණුනි. මෙලෙස පැමිණි නරින් පෘතුගීසින් හඳුනා ගත්තේ වෘකයන් ලෙසය. වෘකයන් සැරිසරණ දෙණිය යන අරුත ඇති ‘‘ගොආ ඩිලිප්’’ යන පෘතුගීසි වචන ලන්දේසි බසට පෙරලුනේ ‘‘වුල්ෆෙන්ඩාල්’’ යනුවෙනි.  

මෙම ‘‘වුල්ෆෙන්ඩාල්’’ අද හැදින්වෙන්නේ ‘‘ආදුරුප්පු වීදිය’’ යනුවෙනි.  

1774 ලන්දේසීන් අදුරුප්පුවීදිය කඳු ගැටය මත තමන්ගේ ලන්දේසි පල්ලිය ඉදිකිරීමට ප්‍රථම එහි පෘතුගීසි පල්ලියක තිබුණ බවක් Ceylon francios valtentyn වාර්තාවල සඳහන් වෙයි. නමුත් පසුව එය උඩරට සිට ආ තානාපතීන්ගේ වාසභවනක් ලෙස පැවතුණි.  

එයට වෙනස් තොරතුරක් පිටකොටුව බෝධිය පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී මට දැන ගැනීමට හැකි විය.  

ඕලන්ද යුගය ආරම්භවීමට ටික කාලයකට පෙර කොළඹ නගරයේ විශාලම විහාරය පිහිටියේ ආදුරුප්පුවීදිය කන්ද මුදුනේය. හරියටම කිවහොත් අද වුල්ෆෙන්ඩල් පල්ලිය පිහිටි ප්‍රදේශයේය. කොළඹ මහා විහාරය යනුවෙන් එය හැඳින්විණ.  

සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවීමෙන් පසු එයින් අංකුර අටක් හටගෙන, එයින් බෝධීන් වහන්සේ අටනමක්ද හැදී වැඩුණි. එයින් පසුව අනුරාධපුර සිරිමාබෝ සමිඳුන් වෙතින් තවත් අංකුර තිස් දෙකක් හටගෙන එයින් දෙතිස්ඵල බෝධීන් වහන්සේ බිහිවිණි. එම දෙතිස් බෝධීන් වහන්සේලා ලංකාවේ නොයෙක් ප්‍රදේශවලට වැඩමකර රෝපණය කරන ලදී.  

එම දෙතිස්ඵල බෝධීන් වහන්සේලාගෙන් එකක්, ආදුරුප්පු වීදිය කන්ද මුදුනේ තිබූ මහා විහාරයේ රෝපණය කරන ලදී. පසු කාලයක ඕලන්ද ජාතිකයින් එම විහාරය විනාශකර ඒ මත ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලදී.  
පසු කාලයක කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු කරන්න සහ රික්ෂෝවලින් සිදුවූ යුගයේ ඔවුන්ගේ නැවතුම් පොල වූයේ බේරේ වැව අයිනේය. ඔවුන් ආදුරුප්පුවීදිය කන්ද මුදුනේ ඒ වන විටත් තිබු දෙතිස්ඵල බෝධියෙන් පැළයක් ගෙනැවිත් බේරේ වැව අයිනේ රෝපණය කර එයට මල් පහන් පූජා කරන්නනට විය. ඉංග්‍රීසි ආණ්ඩු සමයේ, කොළඹ නගරය විශාල කිරී​මේදී කොටුව දුම්රිය ස්ථානය සහ මැනිං මාර්කට් (ගබඩාව) සෑදීම සඳහා බේරේ වැව කොටසක්ද ගොඩකරන්නට වූහ. එවිට කරත්තකරුවෝ සහ රික්ෂෝකරුවෝ බේරේ වැව අයිනේ රෝපණය කර එයට මල් පහන් පූජා කරන්නට වුහ. ඉංග්‍රීසි ආණ්ඩු සමයේ, කොළඹ නගරය විශාල කිරීමේදී කොටුව දුම්රිය ස්ථානය සහ මැනිං මාර්කට් (ගබඩාව) සෑදීම සඳහා බේරේ වැව කොටසක්ද ගොඩකරන්නට වූහ. එවිට කරත්තකරුවෝ සහ රික්ෂෝකරුවෝ බේරේ වැව අයිනේ රෝපණය කර තිබූ බෝධිය ගෙනැවිත් පිටකොටුවේ අද පිහිටි ස්ථානයේ රෝපණය කළහ. 

එවකට පැවැති ඩොරික් ගෘහ නිර්මාණ ශිල්පය අනුව පැති හතරක එක සමාන ග්‍රීක කුරුසියක ස්වරූපයෙන්, මුල්ෆෙන්ඩාල් කඳුගැටය මත ලන්දේසීන් කොළඹ නගරයේ තමන්ගේ ප්‍රථම දේවස්ථානය ඉදිකළහ. මෙහි බිත්ති අඩි පහක් පමණ ඝණකම් ඇති අතර ඒ සඳහා භාවිතාකර ඇත්තේ කබොක් ගල් සහ හුණු බදාමය. ආරුක්කු සඳහා ගඩොල් භාවිතා කර ඇත. මුල් සමයේ එම එම ආරක්කු වලට පිටතින් පිත්තල ආවරණයක් යොදා තිබුණ බවට වාර්තා වූවත් වර්තමානයේ ඒවා දක්නට නැත.  

අඩි එකසිය හතළිහක් පමණ උස් වූ දෙව්මැඳුරේ වහලයේ මැඳ කොටස එකල අර්ධ ගෝලාකාර හැඩයකින් යුක්ත විය. උළු වෙනුවට එය සෙවිලි වූයේ මිනිරන් ගල් පතුරු වලිනි. එහි හරි මැදි රන් ආලේප කළ සුළං දිශා දර්ශකයක් සවිකර තිබුණි. 1856 දී සිදු වූ අකුණු ගැසීමක ප්‍රතිඵලයක් වශයෙන් සුළං දර්ශකය විනාශ වූ අතර, අර්ධ ගෝලාකාර හැඩැති වහලයටද හානි සිදුවිය. වර්තමානයේ දක්නට ලැබෙන තඹ ඊයම් තහඩු මුදුන් වහලය ඉදි වූයේ එයින් පසුවය.  

කොළඹ කොටුව ආසන්නයේ උස කඳු ගැටයක පිහිටි මෙම ඕලන්ද පල්ලිය, එදා ඈත සාගරයේ ගමන් කළ නෞකාවලටද හොඳින් දර්ශනය වූ එකක් බව පැවසෙයි. නැව් මඟ සලකුණක් ලෙස මෙම ගොඩනැගිල්ල භාවිතා කර ඇත.  

ලන්දේසින් මෙම මුල්ෆෙන්ඩාල් දෙව්මැදුර ඉදිකිරීම සඳහා යොදවා ගත්තේ නොයෙක් රටවලින් ඔවුන් රැගෙන ආ වහලුන්වය. කොළඹ වරායේ ඕලන්ද නැව්වල රදවාගෙන සිටි මෙම වහලුන් මෙම භූමිය සඳහා කැඳවාගෙන පැමිණ ඇත්තේ වරායේ සිට ඉදිකළ උමං මාර්ගයක් ඔස්සේය. විෂ්කම්භය අඩි පහළොවක් වූ මෙම උමං මාර්ගයේ ඉහළ කොටස ගඩොල්වලින් ඉදිකර තිබූ අතර පොළවට, පැරණි කොළඹ නගරයේ මාවත්වල අතුරා තිබූ අන්දමේ කුඩා හතරැස් කලුගල් අල්ලා තිබුණි. එක්දහස් නවසිය අසූ ගණන්වල, කොළඹ ශාන්ත ජෝශප් මාළු වෙළඳසල අලුතෙන් ඉදිකිරීමේදී මෙම උමං මාර්ගය විවෘත වූ අතර, එම මාර්ගය ඔස්සේ පැමිණි පොලිස් නිලධාරීන් මතු වූයේ මුල්ෆෙන්ඩාල් දේවස්ථානයේ අභ්‍යන්තරයෙනි.  

1749 ගොඩනැගීම ආරම්භ කළ වුල්ෆෙන්ඩාල් දෙවස්ථානය 1757 මාර්තු හයවන දින එහි කැපකිරීමේ දිව්‍ය පූජාව සිදුකරන ලදී. පර්සිවෙල් නැමැති ඉතිහාස වාර්තාකරු මෙම දේවස්ථානය විස්තර කරන්නේ කලු නගරයේ (Black Town) ඇති ආකර්ෂණීය සහ වටිනා දෙවස්ථානයක් වශයෙනි. මුල් යුගයේ ලන්දේසි ආණ්ඩුකාරවරුන් ඉරුදින මෙහෙය සඳහා මෙම දෙව් මැදුරට පැමිණි අතර, ඔවුන් සඳහා කළුවර සහ කළු මැදිරිය දැවයෙන් නිම වූ විශේෂ ආසන තිබූ අතර අද ද ඒවා දක්නට ලැබෙයි. එසේම ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගමේ නිලධාරීන් සඳහාද විශේෂ ආසන තිබූ අතර අදද ඒවා දක්නට ඇත.  

එකල ආගමික මෙහෙයන් අවස්ථාවේ ශුද්ධ වූ බයිබලය කියවීම සඳහා විශේෂ ස්ථානයක් විය. ශබ්ද විකාශන යන්ත්‍ර නොතිබූ එම අවධියේ, එහි සිට බයිබලය කියවන විට මුළු දෙව් මැදුරම ගිගුම් දෙමින් ඇසෙන්නට විය.  
පාද තුනේ කනප්පුවක් මත තැන්පත් කර ඇති බෞතීස්ම දිය බඳුන මෙම දෙව්මැදුරේ දක්නට ඇති සුවිශේෂ කෞතුක භාණ්ඩයකි. තනිකර රිදීයෙන් නිමවා ඇති මෙය අඩි දෙකක් පමණ විෂ්කම්භයකින් යුක්තය. 1664 සිට 1675 දක්වා මෙරට සිටි රිප්ක්ලොප් වෑන් ගොඑන්සි ආණ්ඩුකාරවරයාගේ බිරිද වූ එස්තර සලෝමි තම දියණිය ප්‍රසූත කරන අවස්ථාවේ මියගියාය. තම බිරිඳ සිහිවීම පිණිස ආණ්ඩුකාරවරයා මෙම බෞතීස්ම දිය බදුන පිරිනමන ලද්දේ දියණිය බෞතීස්ම කරන අවස්ථාවේදීය. මෙයද මුල් කාලයේ තිබී ඇත්තේ කොළඹ කොටුවේ පිහිටි ලන්දේසීන්‍් භාවිතා කළ ශාන්ත පීතර දෙව් මැඳුරේය.  

මුල් කාලයේ ලන්දේසීන් භාවිතා කළ කොළඹ කොටුවේ ශාන්ත පීතර දේවස්ථාන භූමියෙහි රජ ගෙදර Queen House (අද ජනාධිපති මන්දිරය) ඉදිකරන්නට නියම විය. එනිසා 1813 දී එම දෙව්මැඳුර කඩනලදී. ඒ වන විටත් එම දෙව් මැඳුර තුල දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුර මෙන්ම ලන්දේසි ආණ්ඩුකාරවරුන් පස් දෙනෙකුගේ සහ තවත් ලන්දේසි ප්‍රභූන් කීප දෙනෙකුගේම සිරුරු භූමිදාන කර තිබුණි. මෙනිසා එකල සිටි එම අයගේ ජීවත්ව සිටින ඥාතීන්ගේ අවසරය මත එම සිරුරු කොටස් සහ පැරණි සොහොන් ගල් වුන්ෆෙන්ඩාල් දේවස්ථානය වෙත ගෙන එන ලදී. රාජකීය 19 වන සේනාංකයේ නිල රැකවරණය සහිතව පන්දම් එලියෙන් එ්වාගෙන ආවේ 1913 සැප්තැම්බර් මස හතරවන දිනය. 

 In pure portuguese over a ring of cotta who was converted to the catholic faith in 1550, who died in 1907  
යන ගලක කෙටූ ලියවිල්ල අනුව 1550 පෘතුගීසින් වෙතින් කතෝලික ආගම වැලඳගත් කෝට්ටේ රජු 1607 මිය ගිය බව කියැවෙයි. ඒ අනුව 1542- 1581 කාලයේ කෝට්ටේ රජ වී සිටි දොන් ජුවන් ධර්මපාල කුමරුගේ ස්මාරකය මෙහි තිබෙන්නට ඇතැයි සිතිය හැක. නමුත් දැනට එවැනි සිහිවටනයක් එහි නැත.  

1765 සිට 1785 දක්වා ලංකාවේ ආණ්ඩුකාරයාව සිටි 1788 පෙබරවාරි හයවන දින මියගිය ඉවාන් විලියම් ෆල්ක් ආණ්ඩුකාරවයාගේ සිරුර, 1762 සිට 1765 දක්වා ආණ්ඩුකළ 1765 අප්‍රියල් මාසයේ මියගිය ලියුබට් ජාන් බැරන් වැන් ඊක්ගේ මළ සිරුරද, 1751 සිට 1752 දක්වා ආණ්ඩුකාරයාව සිටි 1752 පෙබරවාරි 25 දින මියගිය ජෙරාඩ් ජොන් ෆ්‍රීලන්ඩ්ගේ මළ සිරුරද මෙහි තැන්පත්ව ඇත. මෙයට අමතරව තවත් ප්‍රභූන් රැසකගේ මළසිරුරු මෙහි තැන්පත්ව ඇත.  

මෙහි ඇති බොහෝ සොහොන් පලකවල මියගිය පුද්ගලයාගේ උපන් දිනය, මියගිය දිනය, ඥාතීන් කීප දෙනෙකු පිළිබඳව විස්තර මෙන්ම, සමහරක මියයෑමට හේතුද දක්වා ඇත. කෙසේ හෝ වුල්ෆෙන්ඩාල් ඕලන්ද දේවස්ථානයේ අභ්‍යන්තර පොළව සම්පූර්ණයෙන්ම ආවරණය වී ඇත්තේ සොහොන් ගල්වලිනි. 

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: