Posted by: lrrp | September 5, 2021

මුල්ලේරියා සටනට වූ භාරයට කඩුවෙල බළකොටුව බිඳ හැදූ රන්කඩු පත්තිනි දෙවොල

සීතාවක රාජසිංහ රජු දන්නා තේරෙන කාලයේ පටන් ම උන්නේ පරංගින්ට විරුද්ධ පැත්තේය. පරංගින් රටින් එළවා දැමීම සීතාවක රාජසිංහගේත්, මායාදුන්නගේත් එකම අභිලාෂය විය. ඒ සඳහා සීතාවක රාජ්‍යය සම්පූර්ණයෙන් යුද්ධයට සුදුසු පරිදි නිර්මාණය කළහ. ගඟින් ආවත්, ගොඩබිමින් ආවත් පරංගි සේනා පරාජය කළ හැකි සන්නද්ධ හමුදාවක් සීතාවක රාජසිංහ රජු යටතේ විය. සීතාවක රාජධානියේ සිට බලය විහිද පැවැති සම්පූර්ණ සීමාවේම ප්‍රබල බලකොටු රාශියක් පැවැති බව පෙනේ. ගිරාඉඹුළ බලකොටුව (කලු‍අග්ගල), ගුරුබැවුල බලකොටුව (හංවැල්ල), කඩුවෙල පිහිටි බලකොටුව යනු පෘතුගීසීන් පරාජය පිණිසම නිර්මාණය කරගත් බලකොටු විය.   

සීතාවක යුගය ගැන කතා කරන විට ක්‍රිස්තු වර්ෂ 1562 දී සිදු වූ මුල්ලේරියා සටන ඉතිහාසගත වන්නකි. මේ මුල්ලේරියා සටන තුළින් විද්‍යමාන කොට පෙන්වන්නේ සීතාවක රාජසිංහගේ වීරත්වය යි. රාජසිංහගේ යුද උපක්‍රම ශිල්පය හා ජාතිමාමකත්වය යි.   

පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් පවසන පරිදි මුල්ලේරියා සටන සිදුවූයේ බලකොටුවක් ආශ්‍රිතව නොවේ. ඒ මුල්ලේරියාවට නුදුරු කඩුවෙලින් එහාට පිහිටි එළිමහන් වෙල් එළියක බැව් කියැවේ.   
සීතාවක රාජ්‍යයේ එක් කඩවතක් (රාජධානි දොරටුවක්) වූයේ කඩුවෙලයි. එය කඩුවෙල-කඩවත නමින් ප්‍රසිද්ධ විය. මෙම කඩුවෙල-කඩවත ප්‍රමුඛ බලකොටුවක් ද විය. ඒ බලකොටුව කඩුවෙල නගරාසන්නයේ උස් භූමියක නිර්මාණය කොට පැවැතිණි. සීතාවක රාජසිංහ රජු පරංගි හා යුද්ධය වෙනුවෙන් තම රාජ්‍යයේ පිහිටවූ බොහෝ බලකොටු උස්බිමක් ආශ්‍රිතව පැවැති බව පෙනේ. අනෙක් අතට එක් පසක් බොහෝ විට කැලණි ගඟට මායිම් වන පරිදි පැවැති බව පෙනේ. බලකොටුව පිහිටියේ අද කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලය පිහිටා ඇති උස් බිම්කඩෙහි ය. කඩුවෙල බලකොටුව ගත්තත්, හංවැල්ල (ගුරුබැවුල) බලකොටුව ගත්තත්, ගිරාඉඹුළ (කලු‍අග්ගල) බලකොටුව ගත්තත් මේවා පිහිටි බිම තැනිතලාවට වඩා සැලකිය යුතු උසකින් යුතුය. ඊළඟට මේ බලකොටු තුන ආශ්‍රිතවම කැලණි ගඟ හෝ ඇලක් හෝ කුමන හෝ ජල දුර්ගයකින් වට විණ. මේ ස්වභාවික භූමි ලක්ෂණය බලකොටු පිහිටුවීමේදී රාජසිංහ රජු සලකා බැලූ බව පෙනේ.   

පරංගි හමුදාව හා කෝට්ටේ රාජධානියේ හමුදාව සීතාවක රාජ්‍යය ආක්‍රමණය ට පැමිණ මුල්ලේරියා වෙල් එළියේ වාඩි ලා ගත්හ. ඒ අනුව නුදුරේම තමන්ට දැවැන්ත සටනක් ඇති විය හැකි බව සීතාවක ටිකිරි කුමරුත්, මායාදුන්නේ පිය රජුත් තීරණය කළහ.   

එහිදී යුද කණ්ඩායම මෙහෙය වීම එකක් සීතාවක කුමරු රාජසිංහ භාරගත්තේය. යුධ හමුදා බලය මෙහෙයවීමේ තවත් ප්‍රධානියකු වූයේ ඒකනායක මුදලි ය. ඔහු සීතාවක හමුදාවේ ප්‍රධානියා වූ බව ඇතැම් ලේඛනවල විස්තර වේ. මේ ඒකනායක මුදලි අභීත රණකාමියෙකු විය. එසේම යුද්ධයේදී අශ්වයන් මෙහෙයවීමේ අපූර්ව හැකියාවක් පැවැතියෙකු බව සඳහන් වේ. ඊළඟට ලාංකීය අංගම්පොර සටන්කරුවෙකු ද විය. 

 කෙසේ හෝ පරංගි සීතාවක රාජ්‍යය ආක්‍රමණයට සූදානම් බව දැනගත් ටිකිරි කුමරු (සීතාවක රාජසිංහ) කඩුවෙල පිහිටි බලකොටුවට ගියේය. එතැනදී පරංගි හා යුද්ධයට යාමට පෙර තමන් දැඩි ලෙස ඇදහූ පත්තිනි දේව මෑණියන්ට භාරයක් වූ බව කියැවේ. එනම් තමන් පරංගි හා කරන යුද්ධය ජය ගතහොත් තමන්ගේ රන් අසිපත පත්තිනි මෑණියන්ට පූජා කර කඩුවෙල බලකොටුවෙහි පත්තිනි දේවාලයක් තනවන බවට ය. ඒ අනුව අද ඔබ යන එන දකින කඩුවෙල නගරයේ ඇති රන්කඩු පත්තිනි දේවාලය සීතාවක රාජසිංහ රජු විසින් කරන ලද්දකි. එය කරවූයේ මුල්ලේරියා සටන වෙනුවෙන් තමන් වූ බාරය ඉෂ්ඨසිද්ධ කිරීමක් වශයෙන් පත්තිනි මෑණියන් වෙනුවෙනි. ඒ අනුව මෙම දෙවොල මුල්ලේරියා සටනට පසු සීතාවක රාජසිංහ විසින් කළවූවක් බව විශ්වාසයකි. සීතාවක රාජසිංහ රජතුමා පත්තිනි මෑණියන් කෙරේ බලවත් විශ්වාසයක් පැවැතියකු බව මීට පෙර ද අපි සටහන් තැබීමු. ඒ ඓතිහාසික මැදගොඩ පත්තිනි දේවාලය සාදා එයට රජුගේ කාලතුවක්කුවක් පූජා කළ බව සඳහන් කිරීම වෙනුවෙනි. මැදගොඩ සිද්ධ ගණේගොඩ දොළහ පත්තිනි දේවාලයේ ඇත්තේ ද සීතාවක රාජසිංහ රජතුමා මුල්ලේරියා සටනට රැගෙන ගිය කාලතුවක්කුවක් බව ප්‍රාදේශීය ජනප්‍රවාදයේ දැක්වේ. එසේම රාජසිංහ රජතුමා මුල්ලේරියා සටනට රැගෙන ගිය රන් අසිපත පත්තිනි මෑණියන්ට පූජා කර බාරය ඔප්පු කිරීම සඳහා ඉදිකළ දේවාලය ඓතිහාසික රන්කඩු පත්තිනි දේවාලය ලෙස දැන් ප්‍රකටය.   

මුල්ලේරියා සටන යනු පෘතුගීසීන් පෙරදිග රටක දී ලද දරුණුම පරාජය බව සඳහන් වේ. පෘතුගීසි ලේඛන වල දී එය දරුණු පරාජයක් බව ඔවුන් සටහන් කර ඇත. පෘතුගීසි හමුදාව මෙහෙයවමින් සීතාවක රාජ්‍යය ආක්‍රමණයට ආ පරංගි කපිතාන්වරයා අපෝන්සු පෙරෙයිරා ද ලසදා නම් වේ. 

 සීතාවක සේනාව පෘතුගීසීන් ඉදිරියට ඒමට පෙර ඔවුන් වාඩිලා සිටි තැනට ගියහ. ඒ අනුව පරංගින්ට සීතාවක රාජ්‍යයේ බලකොටුවක් කිට්ටුවට වත් ළඟා විය නොහැකි විය. වාර්තාවල දක්වන ආකාරයට සීතාවක ටිකිරි කුමරු සමග දසදහසක හමුදාවක් මුල්ලේරියා ප්‍රදේශයට ළඟා වූහ. මේ දෙපිරිස මුහුණට මුහුණ ලා මුණගැසුණේ මුල්ලේරියාව වෙල් සීමාවක දී ය. එතැනදී ත් බිහිසුණු සටනක් හට ගත් බව සඳහන් වේ. විශේෂයෙන් සීතාවක ටිකිරි කුමරු ගරිල්ලා සටන් වලින් ඔබ්බට ගොස් අශ්වාරෝහකයන්, අංගම් සටන්කරුවන්, අලි ඇතුන් පවා යොදාගෙන පරංගීන්ට පහරදී තිබේ.   
සීතාවක සිව් රඟ හමුදාවට යුදයට පුහුණු කළ අලි ඇතුන් විශාල ප්‍රමාණයක් දායක වූ බව සඳහන් වේ. අශ්ව බල ඇණිය ද, අංගම්පොර සටන් බලඇණිය ද එසේම විය.   

මුල්ලේරියා සටනේ දී සීතාවක විරිඳු දක්ෂයා නම් ඇතු කොඩියක් රැගෙන පෙරමුණ සටන් වැදුණු බව කියැවේ. එසේමිවෛරාවණ නම් ඇතු පළිහක් හා දම්වැලක් රැගෙන පරංගි හමුදාවට පහර දුන් බැව් කියැවේ.   

මේ අලි ඇතුන් කීපදෙනෙක් සීතාවක මායාදුන්නේ රජතුමාට පරිත්‍යාග කළේ මහනුවර සිටි ජයවීර රජු ය. සීතාවක රාජධානිය පසුකලෙක බිඳ වැටීමෙන් පසු එහි සංචාරය කළ විදේශිකයෝ රාජධානියේ අලි ඇතුන් හයදාහක් පමණ යුද්ධයට පුහුණුකර නවතා සිටි බව පවසා ඇත.   

පරංගි යනු පෙරදිග නාවික බලය ද අල්ලා ගනිමින් දියුණු කාලතුවක්කු, තුවක්කු, යුද ආම්පන්න බොහොමයක් තිබුණු පිරිසකි. මේ සියලු‍ දියුණු යුද උපක්‍රම ටිකිරි කුමාරු රාජසිංහගේ යුද බලය ඉදිරියේ දුර්වලව, දුබලව ගියේය.   

මේ රාජසිංහ රජුගේ සටන් වලට දායක වූ පිරිස් අදත් කොරතොට ග්‍රාමය ආශ්‍රිතව පැවත ඒ. පෘතුගීසි යුගයේ නැමති පැරණි ග්‍රන්ථයක මෙසේ සඳහන් වේ.   

‘කොරතොටින් පැමිණි ධීර වීර සෙබළු ද, ප්‍රවීණ ඉලංගක්කරුවෝ ද, ඉලංග සටන් පුහුණු වූ පනික්කි සටන් කරුවෝද මුල්ලේරියාව හා කඩුවෙල විවෘත බිම් තීරයේදී පෘතුගීසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහර දුන්හ. රාජසිංහ තෙමේම පෙරමුණේ සිට දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර කොරතොට හේවාගම ආරච්චිවරුන් පසුපසින් ගොස් ප්‍රහාර එල්ල කළේය. මහා ලේ ගංගාවක් ගලා ගිය අතර දරුණු සංහාරයක් ද සිදුවිය.   

තව ද සීතාවක රාජ්‍යයට අයත් ජන කවිද, මුල්ලේරියා සටන සම්බන්ධව විමසා බැලු‍ම වටී.   

රාසින් නිරිඳු වැඩලා රණ කෙලි තොටට   
ඉලංගමට හේවාකම් දුන් කලට   
පස්ස පොරොත්තුව පැනලා කොටන්නට   
කොරතොට ආරච්චිල ගියෙ පෙරමුණට   
කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුණා   
යුදට උපන් කුමරිඳු යැයි නමක් ඇතිවුණා   
මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරවුණා   
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා   

මුල්ලේරියා වෙලේ පැවැති සටනේ දී, මේ සටන් මෙහෙය වූ පෘතුගීසි කපිතාන් අපෝන්සු පෙරෙයිරා ද ලසදා ඇතුළු පෘතුගීසි සෙබලු‍න් 1600 ක් පමණ සමූල ඝාතනය වූ බව සඳහන් වේ. මේ මිය ගිය 1600 ක් පමණ පෘතුගීසි සෙබළුන්ගේ ලේ වලින් මුල්ලේරියා වෙලේ පැවැති ජලය ද රත් පැහැ ගැන්විණ. එතරම් දරුණු ආකාරයේ සමූල ඝාතනයක් බව මෙම සටන විස්තර කිරීමේ දී පෙනෙයි. මේ සමූල ඝාතනය තමන් පෙරදිගදී ලද දරුණුම පරාජය බව පෘතුගීසීන් විසින් ම සඳහන් කර තිබේ.   

මේ දරුණු මුල්ලේරියා සටනින් පසු පෘතුගීසි සෙබළු‍න් කොළඹ කොටුව බලකොටුව දක්වා පලවා හැරියහ. එසේ පලවා හැරියා පමණක් නොව ඔවුන්ට එයින් පිට වීමට, ඇතුළුවීමට නොහැකි පරිදි සීතාවක රාජසිංහ රජු විසින් සිර කිරීමක්ද කළහ. 

 මෙය කොයිතරම් සිරගත කිරීමක් ද යත් ඔවුන් මාස විසි දෙකක් කොළඹ, බොරැල්ල අවට සිරගත ව මෙන් බළකොටුවේ ම කොටු වී උන්හ. අවසානයේ පෘතුගීසි සටන්කරුවන්ට ආහාර හිඟ විය. ඔවුන් කෙතරම් ආහාර හිඟයකට මුහුණ දුන්නා දැයි කියනවා නම් තමන් සුරතලයට ඇති කළ බල්ලන්, පූසන් පවා මරා ආහාරයට ගත් බව කියැවේ.   


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: