Posted by: lrrp | September 16, 2021

සමන් දෙවොලේ පරංගි කැටයම සහ ගල් සන්නස

රත්නපුර මහ සමන් දේවාලයේ ඉතිහාසය දඹදෙණිය රාජධානි යුගය දක්වා ඈතට විහිදෙයි. එය දෙවැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1236-1271) රජ සමයේ ප්‍රධාන අමාත්‍ය ආර්යකාමදේව විසින් ගොඩ නැඟූ එකකි. එහෙත් ඒ මුල්ම දෙවොල අද දක්නට නැත.

‘සමන් සිරිත’ නමැති කාව්‍ය ග්‍රන්ථයේ සඳහන් වන්නේ දෙවොල ඉදි වීමට පෙර එම භූමියේ ‘සපරගමුව විහාරය’ නමින් පුදබිමක් තිබූ බවය. විහාරවාසි සීලවංස නම් හිමි නමක ශ්‍රීපාදයේදී දුටු සිහිනයකට අනුව එහි ලෙනක තිබූ, සපරගමුවට අධිගෘහීත සමන් දෙවිඳුන්ගේ ප්‍රතිමාවක් විහාරයට වැඩමවා පුද පූජා පැවැත්වූ බව ජනප්‍රවාදයේ කියවේ. අනතුරුව එය සමන් දෙවොල වී යැයි සඳහන් වේ.

එදා ආර්ය කාමදේවයන් මෙකී දෙවොලට භාරයක් වී තිබේ. සපරගමුවෙන් සැලකිය යුතු මැණික් ප්‍රමාණයක් ලැබුණ හොත්, එමඟින් සමන් දෙවිඳුන් උදෙසා තෙමහල් මැඳුරක් තනවන බව ඒ බාරයයි. ආර්යකාමදේවගේ අභිප්‍රාය හිතුවාටත් වඩා හොඳින් ඉෂ්ට සිද්ධ වූ බවත්, පොරොන්දු ප්‍රකාරව තෙමහල් දේවාලය තැනවීමෙන් නොනැවතුණු හෙතෙම දේවාලයේ මතු පැවැත්ම උදෙසා ගම්වර, ආභරණ හා තනතුරු ද පිරිනැමූ බවත් පැවසේ. වර්ෂ 1415 දී සවැනි පරාක්‍රමබාහු රජ, ආර්යකාමදේවගේ මුනුපුරු වූ නීලප්පෙරුමාල් ලවා රිදී විසිහය දාහක් වැය කොට මේ සමන් දෙවොලය ප්‍රතිසංස්කරණය කරවා ඇත. මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන් සඳහන් කරන්නේ රජු නීලප්පෙරුමාල්ට, බස්නායක හා බණ්ඩාරනායක තනතුරු ද පිරි නමා ඇති බවය.

සිමොන් පිඤ්ඤා

මෙවන් ඉතිහාසයක් හිමි රත්නපුර සමන් දේවාල භූමියේ දක්නට ලැබෙන ඉපැරණි නටබුන් අතර ඇති, බෞද්ධ සංකල්පයන්ට බෙහෙවින් ආගන්තුක වූ ශෛලමය ඵලක කැටයමක් කාගේත් කුහුල දනවන්නකි. මේ අල්ප උන්නත කැටයමේ කඩුවක් ඔසවා ගත් පෘතුගීසි සොල්දාදුවකුගේ පයට පෑගුණු සිංහල හේවායකුගේ රුවක් දක්නට ලැබේ. ඊට අදාළ පාඨ සටහන් කර ඇත්තේ තැන තැන අපැහැදිලි පෘතුගීසි භාෂාවෙනි. මේ රුවෙහි දැක්වෙන්නේ පෘතුගීසි ජාතික සිමොන් පිඤ්ඤා නමැත්තා බවත්, හෙතෙම සිංහල රජුගේ ලස්කිරිඤ්ඤ හමුදාවේ නායක තනතුර දැරූ බවත් ‘පරංගි කෝට්ටේ’ කෘතියේ 69 පිටුවෙහි පැවසෙයි. එදා ඔහු දැරූ තනතුර හඳුන්වා ඇත්තේ වික්‍රමසිංහ නමිනි.

කෝට්ටේ රජ කළ දොන් පුවන් ධර්මපාලගේ රාජ සභාවේ සිටි එකම පෘතුගීසි ජාතිකයා ඔහු බව ආචාර්ය ටිකිරි අබේසිංහ මහතා අදහසයි. ක්‍රි.ව. 1603 දී බලන කොටුව ඇල්ලීමට කළ සටනේදී සම නායකත්වය දුන් සිමොන් පිඤ්ඤා, දොන් ජෙරනිමෝ ද අසවේදු සෙනෙවියා යටතේ මෙරට පැමිණි පරංගියෙකි.

බලන කොටුවට ඇතුළු වන්න ස්ථානයක් සොයමින් සිටියදී සිමොන් පිඤ්ඤාට එක්තරා ගැමියෙක් බලන කොටුවට පිවිසිය හැකි මඟක් පෙන්වා දුන්නේය. ඒ මඟ දිගේ ගොස් ඔහු බලන කොටුවට යන විට එහි එකදු සිංහලයෙක්වත් නොසිටියේය. එය උඩරට රජුගේ උපායක් බව උපකල්පනය කළ පිඤ්ඤා ඒ හිස් බළකොටුව 1603 පෙබරවාරි 02 දා අත්පත් කර ගත්තේය.

මේ අතර සිංහල හමුදාව, තලම්පිටියේ සිටි පෘතුගීසි හමුදාවට පහර දීමට සූදානම් බව දොන් ජෙරනිමෝ ද අසවේදුට දැන ගන්න ලැබුණු නිසා ඔහු පිඤ්ඤාට නියෝග කර ඇත්තේ ඔහුගේ හමුදාවෙන් අඩක් තලම්පිටියට යවන ලෙසයි. මේ නියෝගය නිසා කලකිරුණු සිමොන් පිඤ්ඤා පෘතුගීසි හමුදාව හැර පියා සිංහල හමුදාවට එක් වූ බව කියැවේ (ශ්‍රී ලංකාවේ පෘතුගීසි ආක්‍රමණයෙන් සිදු වූ සංස්කෘතික පෙරළිය, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර, පිටු 81-82)

රත්නපුර සමන් දේවාලයේ ගල් කැටයමේ නිරූපිත වන්නේ මෙකී සිමොන් පිඤ්ඤා බව එහි ඇති පාඨයක දැක්වෙයි. රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් සහ ඉතිහාසඥ එස්.ජී. පෙරේරා පියනම විසින් එහි සඳහන් පෘතුගීසි ලේඛනය තම කෘතිවල උද්ධෘත කර දක්වා තිබේ.

එස්.ජී. පෙරේරා පියනමගේ පරිවර්තනයේ සඳහන් වන්නේ “මේ (කඩුවෙන්) මේ (රණ සූරයා) මැඬීමි. මා ඉන්දියාවේ සිට පැමිණ දැනට තෙවිසි වසකි. ඉන් සොළසක් කපිතන් කෙනකු ලෙස සේවය කළෙමි. මා පා මුල වැටී සිටින ඔබට පෙනෙනුයේ යාපන පටුනේ රජය. මම සිමන් පිඤ්ඤා ඔහු අබිබැවීමි” යනුවෙනි.

එනමුත් කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ගේ ‘සපරගමුවේ පැරණි ලියවිලිඑ’ කෘතියේ පෘතුගීසි සෙල් ලිපියේ දැක්වෙන ‘යාපා පටුනේ රජ’ යන්න දක්නට නැත. පෙරේරා පියනම සඳහන් කර ඇති ‘තෙවිසි වසකි’ යන්න වෙනුවට කිරිඇල්ලේ හිමියන්ගේ පරිවර්තනයේ ඇත්තේ ‘අවුරුදු 15ක්’ ලෙසිනි.

කෙසේ වුවද එස්.ජී. පියනම සඳහන් කරන්නේ මේ කැටයමින් දක්වා ඇත්තේ පෘතුගීසීන් සමඟ නල්ලූරුවේදී (යාපනයේ) පරරාජසේකරම් සටනක නියැළි බවත්, එහිදී ඔහු පෘතුගීසීන්ට හිතවත් රජකු වූ පෙරියපුල්ලේගේ පුතු මරා දැමීමට ඒ සටනේදී උත්සාහ කරනු දුටු සිමොන් පිඤ්ඤා ඉදිරියට පැන ඔහු බේරා ගත් බවත්ය.

රත්නැක රාල

සපරගමු සමන් දේවාලයේ දක්නට ලැබෙන ඵලකයේ ඇත්තේ එම සිදුවීම දක්වන කැටයමක් බව එස්.ජී. පෙරේරා පියනම කියයි. කිරිඇල්ලේ ඤාණවිමල හිමිගේ අදහස වන්නේ එහි කඩුවක් අමෝරා සිටින්නේ සිමොන් පිඤ්ඤා වන නමුත් බිම වැටී සිටින්නේ යාපා පටුනේ නොව ‘රත්නැක රාල’ බවයි.

පෘතුගීසීන් විසින් දෙවොල් බිම වනසා ඒ මත බළකොටුවක් සහ පල්ලියක් සාදා තිබූ බැවින් එය බිඳ දමා පෘතුගීසීන් කපා දැමූ දේවාලයේ ස්වර්ණාභරණ ගබඩාව බාර නිලය දැරූ රත්නායක මුදියන්සේ නොහොත් රත්නැක රාල, පසුව පෘතුගීසීන්ට හසු වූ ආකාරය පෘතුගීසීන් විසින් කැටයම් කර ඇති අයුරු බවට උන් වහන්සේ වැඩි දුරටත් අදහස් දක්වයි. එනමුත් සපරගමුවේ එන ජනප්‍රවාදචවලින් පැවසෙන්නේ මේ කැටයමින් නිරූපණය වන්න ඒ කිසිවකු නොව, පෘතුගීසීන් විසින් අන්තෝනියෝ බරෙන්තු නමින් හඳුන්වනු ලැබූ ‘කුරුවිට රාල’ බවයි. කුරුවිට රාල අතිදක්ෂ සිංහල රණ සූරයෙකි. වර්ෂ 1603දී පෘතුගීසීන් සමඟ ප්‍රබල සටනක් කර රුවන්වැල්ල බළකොටුව අල්ලා ගත් ඔහු පසුව සපරගමුව හා මාතර දෙදිසාවම පෘතුගීසි ග්‍රහණයෙන් මුදා ගත්තේය.

ඔහුට එරෙහිව සටන් කිරීම සඳහා පෘතුගීසීන්ට ගෝවේ සිටි කොන්ස්තන්තීනු ද සා නමැති සෙන්පතියා ගෙන්වීමට සිදු විය. වසර 17ක් තිස්සේ පෘතුගීසීන්ට එරෙහිව සටන් කළ කුරුවිට රාල ලෙල්ලෝපිටියේදී වූ සංග්‍රාමයේදී පරාජයට පත් විය.

ඒ කෙසේ වෙතත් මේ පෙරහර සමයෙන් පසු රට යළි විවෘත වීමෙන් අනතුරුව රත්නපුර මහ සමන් දේවාලයට යන බැතිමතුන්ට මෙන්ම අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ටත් මේ ශෛලමය කැටයම් පුවරුව උඩු මළුවට පිවිසෙන දැවැන්ත පියගැටපෙළ පාමුල දකුණු පස ආනමේත්‍ර ප්‍රාකාරයට කාවද්දා ඇති අයුරු දැක බලාගත හැකිය. ඒ සමඟම ගලේ කෙටු සන්නසක් ද එහිදී දැක බලා ගත හැකිය.

සොළොස් හැවිරිදි ‘ජයමහලේන’ කුමරු ‘සවැනි පැරකුම්බා’ ලෙස රජ බවට පත් වූයේ වර්ෂ 1412දීය. හෙතෙම 1419දී ගම්පොළ රාජධානය යටත් කර ගෙන ශ්‍රී දළදාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නුවරට වැඩම කරවූයේය. ඉන් පසු හේ 1420දී වහරක්ගොඩ, 1421දී කෑරගල, 1429දී දෙවිනුවර, 1434දී නායිමන, 1452දී හලාවත සෙල් ලිපි ලියවා පිහිටුවූ අතර, 1453දී රත්නපුර මහ සමන් දේවාලයට ද ගලින් කළ සන්නසක් පිරිනැමුවේය. එහි ඇසළ පෙරහර සම්බන්ධයෙන් මෙසේ සඳහන් වේ.

“ … අවුරුදු මහලලයට ඇසළ පෙළහරට කැකුළු පැසිසාල් එක් සිය පණසක් පොල් සියයක් පාන් පූජාවට පොල් දාසක් හා රාජ භඬාගාරයෙන්ද සඳුන් අමු කපුරු පිනිදිය කපුරු අගරු හා වඩන්ට විසිතුරු වූ අනගි සළු තුනක් හා අවුරුදු පතා සුදුසු වූ සළු එක එක හා රන් තළි රන් තැටි රිදී තැටි රන් කරඬු රිදී කරඬු රන් කෙඩි රිදී කෙඩි රන් හි රන් දුනු රන්දොලි රුවන් බැඳි රන් මුදු රන් මිටුයෙදු ශෙවත චාමර රන් පිළි(ලු) මුතු කුඩ යනාදිව් සියලු පූජා භාඬයන් පුද කර වදාරමින් …” “ … ඇසළ පෙළහැර දවස්හි හෝ යම් කිසිවක්හු විසින් දෙවියන්ට පුද පඬුරුලිම් කෙරෙත් නම් ඊට ප්‍රථමයෙන් තුන් බෝධියට පූජා කරමින් ඔවුන් ලවා පසුව පින්…”

වර්ෂ 1618දී සමන් දේවාලයත්, සබරගමු විහාරයත් පෘතුගීසීන් විසින් විනාශ කර දැමූ පසු දෙවන රාජසිංහ රජු (1629-1687) පෘතුගීසීන්ට ප්‍රහාර එල්ල කර 1665දී යළි ඒ බිමේ සමන් දෙවොල ඉදි කරවූ බව ඉතිහාසයේ සඳහන් වේ. අද ඇති දෙවොල දෙවන රාජසිංහ රජු විසින් ගොඩනැඟූ එකක් බව ද පැවසේ. සියවස් ගණනාවක ඉතිහාසක් හිමි රත්නපුර මහ සමන් දේවාලයට යන කා හටත් මේ ඉපැරණි ගල් සන්නසත්, කැටයමත් අදත් දැක බලා ගත හැකිය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: