Posted by: lrrp | October 30, 2021

පරංගි යුද කඳවුරක් කඩුවෙන් මෙල්ල කළ අප්පුරාළ

ලංකාවේ පළමු ආක්‍රමණික යුරෝපීය විදේශිකයින් වන්නේ පෘතුගීසි ජාතිකයින්ය. ක්‍රිස්තු වර්ෂ එක්දහස් පන්සිය පහ වනවිට පෘතුගීසීන් ලංකාදීපයට පැමිණියෝය. එම කාලවකවානුවේදී ලංකා භූමියේ අගරජු වූයේ කෝට්ටේ ධර්මපරාක්‍රමබාහු රජතුමාය. උපරජවරු වශයෙන් දෙවුන්දර ‘‘විජයබාහු’’ සහ මහනුවර ‘‘වික්‍රමබාහුත්’’ යාපනය ‘‘පරොසසේකරම්’’ නමැති දමිළ රජුය. ඉතිහාසය විසින් මෙම පාලන කාලය වශයෙන් ක්‍රිස්තු වර්ෂ එක්දහස් පන්සිය පහේ සිට ක්‍රිස්තු වර්ෂ එක් දහස් පන්සිය දහනවය අතර කාලයයි.   

ගෝවේ ආණ්ඩුකාරවරයාවූ දොන් ප්‍රැන්සිස්කු ද අල්මේදාගේ පුත්‍ර රත්නය වූ දොන් ලෝරන්ස් අල්මේදා සෙනවියා ක්‍රිස්තු වර්ෂ එක්දහස් පන්සිය පහේ අගෝස්තු මස ගෝවෙන් පිටත් වූයේ තුන්සියකට වැඩි පිරිසක් නැව් නංවාගෙනය. ක්‍රිස්තු වර්ෂ එක්දහස් පන්සිය පහේ නොවැම්බර් මස පහළොස් වැනි දින කොලොම් තොටට ඔවුන් සේන්දු වූ බව ඉතිහාසය උපුටා දක්වයි. 

 පෘතුගීසි මෙරටට ගොඩබැසීමෙන් පසු ආකාර කීපකින්ම බලසම්පන්න වී සිංහල ජාතියට මොවුන් විසින් නොයෙක් විධියේ හිරි හැර කරදර වද බන්දන පමුණුවන්නට වූහ. මහජනයාගේ ධනය පැහැර ගත්හ. සිංහලයින් අමු අමුවේ මරා දැමූහ. ඉන්පසු ප්‍රකෝපවූ සිංහල ජනයා ඔවුන්ව පලවා හැරීම සඳහා නොයෙක් ආකාරයේ ක්‍රියාන්විතයන් දියත් කිරීමට කටයුතු කළේය. ඒවා පරංගීන්ට නොතේරෙන ආකාරයට හොර රහසේ සිදුකළ ක්‍රියාකාරකම්වීම විශේෂත්වයකි. සිංහල ජාතිය වැනසීමේ මෙහෙයුම කෙසේ හෝ දියත්කළ යුතුයැයි පරංගීහු අදිටන් කර ගත්හ.  

පෘතුගීසීන් ඉතාම කඩිනමින් මුහුදු බඩ ප්‍රදේශ සහ ඉන් අනතුරුව රට අභ්‍යන්තරයේ විශාල භූමි ප්‍රදේශ තමන්ගේ අනසකට යටත් කරගෙන බලය විහිදුවා හැරීය. මේ සියල්ලම කළේ සාමයෙන් නම් නොවේ. ඔවුන්ගේ එකම බලය වූයේ කඩුව, බයිනෙත්තු සහ ප්‍රධාන අවිය වූයේ ගිනිකඳයාය. කඩු කස්ථානවලට සිංහලයන් බිය වූහ. ගම්බද පළාත්වල කඳවුරු බැඳගත් පසු ඔවුන්ගේ හැසිරීම් රටාව වූයේ ඒකාධිපති පාලකයින් පරිද්දෙනි. අහිංසක සිංහලයින්ගේ ගම්බිම්වල තිබූ ගවගාල්, එළුකොටු, කුකුල් කොටු ඔවුන්ගේ භාරයට ගත්තේය. එපමණක් නොව ඇහැට කනට පෙනෙන ගැමි ළමිස්සියන් ගැටිස්සියන් ඔවුන්ගෙන් බේරා ගත්තේ ඉතාම දුක්බර මෙහෙයුමකින් පසුවයි. එමනිසා මෙම ගැහැනු දරුවන් බේරා ගැනීමට සිදුවූයේ තැනතැන සැඟවීමෙනි.  මෙසේ කාලය ගෙවෙද්දී යුගයේ අවශ්‍යතාව අනුව මෙම මර්දනකාරී ක්‍රියාවලින් ගලවා ගැනීමට ඉදිරිපත් වූ වීර තරුණ පිරිස් අතරින්පතර විවිධ ගම්මානවල සිටි නමුත් ඔවුන් එළිපිට පරංගීන්ට විරුද්ධව කටයුතු නොකළේ තුවක්කුවට තිබූ බය නිසාය.  

ආගන්තුක මිනිසුන් නිසා ඔවුන්ට විරුද්ධව නැගී සිටි හයිරංකාර සිංහල තරුණ පුත්‍රයෙකුගේ අප්‍රකට කතාවක් ඉතිහාසගත නොවී තිබුණි. කෙසේ නමුත් මෙවැනි සිද්ධීන් පෘතුගීසීන් විසින් රටට හෙළි නොකළේ ඔවුන්ගේ නිරුවත වසා ගැනීමට නොහැකි බව දැනගෙනය.  ඉතිහාසයට එක්නොවූ මෙම සිද්ධිය ඇතිවූ ගම්මානය වන්නේ ඓතිහාසික ඇතුගල් පුරවරයේ ආසන්නම පිහිටි පිටිසර ගමකිනි. එදිනෙදා වේල ගොඩ ගොවිතැනින් සරිකරගත් මේ ගම්වැසියන් ඉතා අහිංසකය. ගමට හිතවත් එඩිතර තරුණයෙකු මෙම ගම්මානයේ විය. මෙම තරුණ පුත්‍රයාට ගම්මුන් දැක්වූයේ සීමාවෙන් එහා ගිය ගෞරවයකි. ඔහු නමින් අප්පුරාලය.  

දිනක් තරුණ අප්පුරාලගේ බිරිඳට කළුකුමාර දෝෂයක් හට ගත්තේය. එම දෝෂය දිනෙන් දින උත්සන්න විය. ඒ කාලයේදී එවැනි දෝෂවලට පිළියම වූයේ තොවිල් නැටීමය. එමනිසා නිවසේ කෙම්මුර දිනයක් අල්ලා තොවිලයක් සූදානම් කළේය. ඇයටවැලඳී ඇත්තේ මහසොහොන් යක්ෂයාගේ දිෂ්ඨිය බව ගම් පළාතේ සියලුම දෙනාගේ විශ්වාසය විය.  

කල්වේලා ඇතිව කට්ටඬියා සමඟ කතිකා කරගත් පරිදි එදින කෙම්මුර දිනයක් වූ හෙයින් තොවිලයට සූදානම් විණි. එයට අවශ්‍ය අඩුම කුඩුමද සූදානම් කරගත්හ. වෙදරාල මල් බුලත් පුටුව අසල මතුරන්න පටන්ගෙන තිබුණ අවස්ථාවයි. එදින රාත්‍රි යාමය එලැඹෙත්ම තොවිලයේ මැද කොටසට ළඟවූ හෙයින් කාගෙ කාගෙත් නෙත් යොමුවී තිබුණේ යකදුරාගේ අඩව් ඇල්ලීමේ තාලය දෙසටයි. රාත්‍රියේ පැවති බයංකර තත්ත්වය නිසා යක්‍ෂයින්, භූතයින් කැන්දන යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කවි ගායනා ස්තොත්ත්‍ර උච්ච ස්වරයෙන් ප්‍රදේශය පිටාර ගියාසේ දැණින. එම තත්ත්වය නිසා එදින රාත්‍රිය ගුප්ත බව තව තවත් තියුණු තත්ත්වයකට පත්වූවා යැයි කීවොත් නිවැරදිය.  

තොවිල්පලට මද දුරකින් පිහිටි තවත් ස්ථානයක පරංගි සොල්දාදුවන් විසින් මත්පැන් සාදයක් පවත්වමින් සිටියෝය. ගෙරිමස් කා මිධුවිත පානය කිරීමෙන් හොඳ පදමට වෙරිවූ සොල්දාදු උන්නැහෙලා බයිලා සින්දු කියමින් කපිරිඤ්ඤා තාලයට නටමින් උන්හ. තොවිල්පලේ බෙරහඬ, දවුල් උඩැක්කි හඬ සහ තාලම් පටවල් හඬ ඉස්මතුවෙමින් තිබිණ. එම හඬ පෘතුගීසි සෙබළුන්ට ඉවසුම් නොදෙන්නක් විය. ඒ නිසා තොවිල්පල කරා ඇදී ආහ. ඔවුන්ගේ වෙරිමත නිසා කරන කියන දෑ පිළිබඳව හරි වැටහීමක්ද නොතිබිණි. ඔවුන් එම ස්ථානයට පැමිණෙන විට තොවිලයේ උච්චතම අවස්ථාව පසු කරමින් තිබිණි. තොවිලයේ හඬවන බෙර, ගෙජ්ජි, දවුල් තාලයට මදුවිතෙන් සිහි විකල්වී සිටි ඔවුන් නටන්නට වූහ. ගිනි පන්දම්, ගිනි අඟුරු කැබලි, පිදේනි තට්ටු තැන තැන විසිරී ගොසිනි. ආතුරයාද ආගිය අතක් නැත.

තොවිලය නරඹමින් සිටි ගම්බද උදවියද සීසිකඩ පලා ගොසිනි. විසිරී තිබූ ගිනි අගුරු පයට පැගි දැවුණු සමහරුන් කෑ ගසන්නට විය. දැන් දැන් තොවිල් භූමිය යක්කු නැටූ පිටියක ස්වරූපය උසුලයි. අප්පුරාලටද දැන් යකා ඉස්මුදුනට ඇවිත් බව බැලූ බැල්මට පෙනෙයි. එහෙත් කිසිම ජගතෙකුට කළ හැකි දෙයක් නොවීය. පෘතුගීසි සෙබළුන්ගේ බයිනෙත්තු සවිකල ගිනි අවි දකිනවිට ඔවුහු බියෙන් තැතිගෙන සිටිති. දැන් පාන්දර යාමය එළැඹෙමින් තිබිණි. සොල්දාදු උන්නැහලාගේ නැටීමද ක්‍රමයෙන් ක්‍රමයෙන් බාලවිය. ඔවුන් දැඩි වෙහෙසට පත්ව වෙරිමත සිඳී ගොස් ඇති හෙයිනි. තවදුරටත් ඔවුන්ට අඩව් ඇල්ලීමට අපහසු බව පෙනේ. එමනිසා ඔවුන් තම තමන්ගේ බැරක්ක කරා යන්නට පිටත් වූහ. නමුත් උන් හිස් අතින් ආපසු ගියේ නැත. තොවිලට ගෙන ආ කළු කුකුල් නාම්බාද රැගෙන යාමට අමතක නොකළේය.  

පසුදා පහන්වනතුරු අප්පුරාල තරුණයාට ඉවසිල්ලක් නැත. එදින උදෑසනම කිසිම කතාබහක් නොමැතිව වැස්සට අවශ්‍ය මුතුකුඩය මෙන් පාවිච්චි කරන තල් අත්තද රැගෙන අප්පුරාල දොට්ට බැස්සේය. ඔහු ඉඳුරාම පිටත්වූයේ පරංගි සෙබළුන්ගේ කඳවුර වෙතයි. සොල්දාදුවන් කීපදෙනෙකු ගිනිඅවි අතැතිව කළුවරේ ප්‍රධාන පිවිසුම අසල මුර සේවාවන්හි යෙදී සිටියහ. අප්පුරාල ආ කාරණය හස්ත මුද්‍රවෙන් සොල්දාදුවන්ට දැන්වීය. එසේ වූයේ සෙබළුන්ගේ භාෂාව අප්පුරාලට කිසිම අවබෝධයක් නොමැති නිසයි. සෙබළුන් ද හස්ත මුද්‍රවෙන් අප්පුරාලට නොයෙක් දේ කියමින් උසුලු විසුලු කළහ. මොහු ඇවිත් ඉන්නේ ඊයේ රාත්‍රියේ සෙබළුන් විසින් රැගෙන ආ කුකුල් නාම්බා ලබාගැනීමට බව මොවුන් තේරුම් ගත්හ.

මේ ආකාරයට තේරුම් ගත් සොල්දාදුවෝ අප්පුරාල අවඥාවට ලක්කර කොක් හඬලා සිනහ පහළ කළේය. පසුව එක් සෙබළෙක් කඳුවුර තුළට දුවගොස් කිසියම් පාර්සලයක් අතැතිව පැමිණ අප්පුරාල අතටම දුන්නේය. ඔහු තමන් අතට ආ සැක සහිත පාර්සලය ලිහා බැලීය. ඔහුගේ ක්‍ෂණික කෝපය ඔරොත්තු නොදෙන තරමේ එකක් විය. අප්පුරාල විසින් තමන්ට පාර්සලය ලබාදුන් සෙබළාගේ මුහුණට දමා ගැසුවේය. එහි අඩංගු වී තිබුණේ කලින් දිනයේ රාත්‍රි තොවිල්පලෙන් රැගෙන ආ කුකුලාගේ පිහාටු ටිකය. කුකුල් තටු තැන තැන විසර ගියේය. උන් තව තවත් සිනහ පහළ කිරීම නතර කළහ.  

පහර කෑමෙන් කෝපයට පත් සෙබළුන් ඇතුලු අනෙකුත් සෙසු නිල දරන අය අප්පුරාලට ගිනි අවි එල්ල කළේ විහිලුවට නම් නොවේ. නමුත් අප්පුරාල ඊට ප්‍රථම ක්‍රියාත්මක විය. වැස්සට ඉහලන්න ගෙන ආ තල් පතේ සඟවා තිබූ දෙපිටම කැපෙන කඩුව එළියට ගත්තේ විදුලි වේගයෙනි. ඒ මොහොතේම ප්‍රධාන දොරටුවේ සෙබළුන් පෙති කපා හෙළීය. එයින් නොනැවතුනු අප්පුරාල සෙබළුන්ගේ හිස කඳින් වෙන් කළේය. විනාඩි කීපයකින් කඳවුර තුළට ද කඩා වැදුණේය. මේ සියල්ලටම ඒ තරම් කාල ​වේලාවක් ගතවූයේ නැත. මෙම සිද්ධිය දැනගත් කඳවුරේ විවේක ගනිමින් බැරක්කවලට සීමා වී සිටි සියලුම සෙබළ මහත්වරු කඳවුර අතහැර දමා හිස් ලූ ලූ අත දිව ගියෝය. එම දිනයෙන් පසු පෘතුගීසි සෙබළුන් ඒ ගම්මානය පැත්ත පළාතකට පැමිණියේ නැත. ඒ තරමටම සිංහල කඩු, කස්ථානවලට බය ලංකාව අතහැර යනතුරුම ඔවුන් ළඟ තිබූ බව පරම්පරා කතාවල දැක්වේ.  

මෙම කතාව ලංකාවේ නිල වශයෙන් ඉතිහාසගත නොවුවත් සිංහල ජන ආශ්‍රිත කතා කීමේදී ඉතා රසවත් ලෙස පැරුන්නන් විසින් බාල පරපුරට කියා දෙන බව වර්තමානයේදී ද අසන්නට ලැබේ.  


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: