Posted by: lrrp | October 31, 2021

අභීත රණවිරුවකුට සන්නසකින් පිදූ වීරකෝන් ගම

ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි විරුදාවලි ලත් මෙම සොඳුරු ලක්බිම සුරක්ෂිතව රැකගැනීම ඈත අතීතයේ සිටම අප රට පාලනය කළ පාලකයන්ට මහත් අභියෝගයක් විය. මුල් අවදියේ මෙරටට ආසන්නතම රට වූ ඉන්දියාවේ, විටින් විට තම බලය තහවුරු කරගත් චෝල, පාණ්ඩ්‍ය, කේරළ ආදී දකුණු ඉන්දීය පාලකයෝ තම බලය ශ්‍රී ලංකා භූමිය තුළට ද ව්‍යාප්ත කළහ. මෙරට පැවති සෞභාග්‍යවත් බව හා සම්පත් බහුලතාව ඊට බොහෝ හේතු සාධක විය.   

15 වැනි සියවස අවසානභාගය වනවිට බටහිර ලෝකයේ පෙරමුණ ගත් පෘතුගීසීහු වානිජ ලෝකය ග්‍රහණයට ගනිමින් කුළුබඩු වර්ග, මුතු, මැණික්, ඇත්දළ ආදී වටිනා සම්පත් සොයමින් තම ආගම ප්‍රචාරය කිරීමේ අරමුණ ද පෙරදැරි කරගෙන පෙරදිගට සංක්‍රමණය වූහ.  යුරෝපීය වැසියන් වූ පෘතුගීසීහු මෙරටට ළඟාවීමෙන් පසු මහත් අමන්දානන්දයට පත්වූහ. ඔවුන් පතන සියළු සම්පත් හා අපේක්ෂා මේ රට තුළින් ලද හැකි බව වටහා ගෙන අප රට සිය ග්‍රහණයට නතුකර ගැනීමට කළ හැකි සෑම ප්‍රයත්නයක්ම, කූඨෝපක්‍රමයක්ම යෙදූහ.   එකල අප රට කොටස් කීපයකට වෙන්කරගෙන කීපදෙනෙකු විසින් පාලනය කළ අතර ඔවුන් අතර ද බල අරගල නිතර සිදුවිය. සමහර කොටස් පාලනය කළ දුබල පාලකයන්ගේ පටු අරමුණු නිසා පෘතුගීසීන්ගේ පවිටු උපක්‍රමයන්ට අප රට පාලකයන් ගොදුරු වූ අවස්ථා ද විය.  රටේ සෞන්දර්යය හා වටිනා කුළුබඩු ඇතුළු සම්පත් කෙරෙහි ලොබ බැඳගත් පෘතුගීසීහු කෙසේ හෝ උඩරට ආක්‍රමණය කිරීමට අදිටන් කරගත්හ. ඒ සඳහා ඔවුන් දරදඬු කමින් පිරිපුන් පෘතුගීසි කපිතාන් ජනරාල්වරයකු වූ කොන්ස්තන්තීනු ද සා යටතේ සේනාවක් සංවිධානය කළේ දිගුකාලීන සැලසුමක් ද සහිතවය.  මේ වන විට උඩරට රාජධානි​යේ පාලකයා වූයේ සෙනරත් රජුය.

සෙනරත් රජුගේ පුතකු වූ මහා අස්ථානේ කුමරු විසින් උඩරට සිංහල හමුදාවට නායකත්වය දෙන ලදී.   ඌව ප්‍රදේශය හරහා උඩරට ආක්‍රමණය කිරීමට සැලසුම් කළ කොන්ස්තන්තීනු ද සා 1630 දී වැල්ලවාය ඔස්සේ තම හමුදාව මෙහෙය වීය. මෙහිදී උපක්‍රමශීලී වූ මහා අස්ථානේ කුමරු (පසුව 2 වැනි රාජසිංහ රජු) තම විශිෂ්ඨ යුද නායකත්වය ප්‍රකට කරමින් විවිධ ප්‍රදේශවල අභීත රණකාමී සෙන්පතිවරුන් යටතේ සංවිධානය වූ හමුදා සේනාංක මඟින් වැල්ලවාය රන්දෙනිවෙල වෙල්යායට පෘතුගීසි හමුදාව කොටුකර ගත්හ. මහා අස්ථානේ කුමරුගේ උපදෙස් මත පෘතුගීසීන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට අදිටන් කරගත් සිංහල සෙන්පතිවරු තම හමුදා ඛණ්ඩ උපක්‍රමශීලීව මෙහෙයවා පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කොට කොන්ස්තන්තීනු ද සා ද මරණයට පත් කළහ. මෙම ඓතිහාසික සටන සිහිගන්වන ස්මාරක ස්ථම්භයක් පසුව 1963 දී වැල්ලවාය රන්දෙනිවෙල පිහිටුවා ඇත. (එහි ඡායා පිටපතක් මෙහි පළවේ)  මෙම රන්දෙනිවෙල සටනේ දී සටන් මෙහෙය වූ සෙන්පතිවරුන් අතර සිටි ධීර වීර රණශූර සෙන්පතියකු වූ වීරකෝන් මුදියන්සේලාගේ ඩිංගිරිහාමි, වීරකෝන්ගම, නිජබිම කරගත් අයෙකි. එතුමාගේ දක්ෂකම් පිළිබඳ තොරතුරු දැනගත් මහා අස්ථානේ කුමරු විසින් දෙන ලද නියෝගය පරිදි තම ගම් ප්‍රදේශය හා අවට ගම්ප්‍රදේශ වලින් ජාතිකාභිමානයෙන් ඔද වැඩුනු රණශූර යුද භටයන් විශාල පිරිසක් සංවිධානය කර පුහුණු කරවා තම නායකත්වය යටතේ සටන මෙහෙයවා ඇත.   

රන්දෙනිවෙල සටනේ දී උපක්‍රමශීලී අභීත සෙන්පතියකු ලෙස දස්කම් පෑ වීරකෝන් මුදියන්සේලාගේ ඩිංගිරිහාමි නම් වූ මෙම සේනාධි නායකයාට ඔහු සිදුකළ රණශූර මෙහෙවරට ගෞරවයක් වශයෙන් උඩරට රාජධානියේ මහ රජ වූ පසු 2 වැනි රාජසිංහ රජතුමා විසින් ඔහුගේ නිජ බිම වූ හපුතල ප්‍ර​දේශයේ කන්දපල්ල කෝරලේ හල්දුම්මුල්ල ආසන්නයේ කළුපහණට ඔබ්බෙන් පිහිටි වීරකෝන්ගම ගම්වරයක් ලෙස සන්නසක් මගින් තිළිණ කරන ලදී. එසේම වීරවික්‍රම යන ගෞරව නාමය ද ප්‍රදානය කිරීමෙන් පසු වීරවික්‍රම වීරකෝන් මුදියන්සේලාගේ ඩිංගිරිහාමි යනුවෙන් ප්‍රචලිත විය.   

වීරකෝන්ගම පදනම් කරගෙන 1978 මාර්ග ආයතනය විසින් පවත්වන ලද ශ්‍රී ලංකාවේ පරිභෝජන වෙනස්වීම් රටාව අධ්‍යනයට අයත් පාරම්පරික භාවය, නවීනත්වය හා වටිනාකම් විග්‍රහය මුල්කරගෙන වෛද්‍ය බී. ද මෙල් මහතා හා වෛද්‍ය මරීනා ප්‍රනාන්දු මහත්මිය විසින් කරන ලද සමීක්ෂණයේ වාර්තාව අනුව ද මෙම තොරතුරු තහවුරු වේ. ග්‍රාම නිලධාරි එච්.එම්. සෝමරත්න මහතා විසින් ලබා දුන් එම සමීක්ෂණ වාර්තා පිටපතේ ඡායාරූපයක් ද මීට සම්බන්ධව ඇත. (ඡායාරූප අංක 02)  එක් පසෙකින් උඩවේරිය වතුයාය මැදින් ගලා බස්නා නාරන්ගොල්ල ඔයටත්, අනෙක් පසින් මනස්කාන්ත මහඑළි සම භූමියේ ශීත තැනිතලා මතින් ආරම්භව ගලා එන වේලිඔයටත් මැදිව පිහිටි වීරකෝන්ගම එදා සොඳුරු සෞභාග්‍යමත් ගම්මානයක් විය. 

වීරකෝන් සෙන්පතියාගෙන් පසු තුන්වැනි පරම්පරාවට අයත් වූ එක්දහස් අටසිය හැත්තෑ ගණන්වල උපත ලැබ 1961 දී අභාවයට පත් වීරකෝන් මුදියන්සේලාගේ මොහොට්ටිහාමි නම් වූ (හිටපු දේශීය වෛද්‍ය ජෝතිරත්න වීරකෝන් මහතාගේ පියා) වැරැව්තැන්නේ මුත්තා හෙවත් බෝගහයට ගෙදර මුත්තා වශයෙන් හැඳින්වූ ප්‍රභූවරයා (පාරම්පරික කැඩුම්බිඳුම් වෛද්‍ය) විසින් 1960 දී වයස අවුරුදු 15 ක පාසල් යන සිසුවකු වූ ලියුම්කරුට පවසන ලද කරුණු අනුව වීරකෝන්ගම සිට උඩවේරියට යන මාර්ගයට පහළින් පිහිටි වැරැව්තැන්න නම් ගම් කොටසේ එදා වීරකෝන් මුදලි සෙන්පතියාගේ වලව්ව පිහිටා තිබූ බවත් පැහැදිලි විය.  ර/කරගස්තලාව මහ පිරිවෙනේ හා විහාරස්ථානයේ අධිපතිත්වය හෙබවූ ඌව සබරගමු දෙපළාතේ ප්‍රධාන සංඝනායක වූ නාවුල්ලේ ධම්මානන්ද මහ නාහිමිපාණන් වහන්සේ විසින් රචිත උෟව ඉතිහාසය ග්‍රන්ථයේ ඌව පළාතේ සුවිශේෂී ප්‍රභූවරයකු වූ වීරකෝන් මුදියන්සේලාගේ ඩිංගිරි හාමි සෙන්පතියා පිළිබඳව විශේෂ සටහනක් තබා ඇත.

ඒ අනුව මෙම ධීරවීර පාංශු දේහධාරී සෙන්පතියා දිනක් අවශ්‍යතාවක් සඳහා තම වලව්වෙන් ඈත ගම් දනව්කට යාමට පිටත්ව ඇත. දුර බැහැර එක් ගමක් මැදින් යද්දී පාර වැරදී කාන්තාවක් විසින් මී ගවයන්ගෙන් කිරි දොවන ස්ථානයට පිවිස ඇත. මෙම අමුත්තා දුටු කාන්තාව ඔහුට අපහාස මුඛයෙන් දොස්නගා ඇත. කලබලයට පත් නොවූ කවියකු ද වූ වීරකෝන් සෙන්පතියා උස් හඬින්.   ආරලා සිටින මී ගවයින්  දුටිමි  සූරලා දෙතන කිරි දෝගෙන  කෑමි  පාරමං නොදැන ආවා මතු  නේමි  වීරකෝන් මුදලි මම ඩිංගිරි  හාමි  යනුවෙන් තමා කව්දැයි පවසා ඇත.   වීරකෝන් මුදලි නම ඇසූ පමණින් මහත් භීතියට පත් කාන්තාව ඉතා යටහත්ව සමාව අයැද ඇත.  මහ අස්ථානේ කුමරු නමින් තරුණ විරෝධාර නායකයකු ලෙස එදා ප්‍රසිද්ධව සිටි රන්දෙනිවෙල මහ සටනට නායකත්වය දුන් එතුමා පසුව 2 වැනි රාජසිංහ නමින් උඩරට රාජධානියේ මහ රජු බවට පත්විය. ඉන් අනතුරුව මුහුණ දුන් ගන්නෝරුව සටනත් ජයග්‍රහණය කළේය. පසුව එතුමා නායකත්වය දුන් සියළු සටන්වලදී පෘතුගීසි සේනා අන්ත පරාජයට පත්කිරීමේ අභිමානය රජුගේ චිත්තාභ්‍යන්තරයේ රැව් පිළි රැව් දෙමින් පැවතින.   එනිසාම 2 වැනි රාජසිංහ රජතුමා රාජාභිෂේකය ලැබීමෙන් අනතුරුව තම සටන් ජයග්‍රහණයේදී දිවි පරදුවට තබා සටන් වැදුණු අභීත රණවිරු සෙන්පතියන්ට දෙවැනි වතාවටත් උඩරට රජාධානියේ තම රාජ සභාවට කැඳවා නැවත ගෞරව නාම පිරිනමා ඇත.

එම අවස්ථාවේදී වීරකෝන් මුදියන්සේලාගේ ඩිංගිරිහාමි සෙනෙවිරත්තුමාට සමස්ත වික්‍රම රාජාරාම වීරකෝන් වාසල මහ මුදියන්සේ ලෙස ගෞරවනාම පිරිනමා, දෙවැනි රාජසිංහ රජතුමා විසින් ප්‍රදානය කරන ලද ස්තූති කාව්‍ය තිළිණයද මෙහි පහත පළවේ. (මෙම කාව්‍ය සංග්‍රහයන් ලියුම්කරුට ලබාදුන්නේ වෙලේගම විසූ නැසීගිය දේශීය වෛද්‍ය ගුණදාස වීරකෝන් මහතා හා දොඩගම්ගහලියද්දේ විසූ නැසීගිය දේශීය වෛද්‍ය ගුණසේකර වීරකෝන් මහතා විසිනි)  සුර සිංහ  විකුමැති  වීර සිරිකත  විසුමැති  වාර යුධයට  නිති  වීරකෝන් මැති  අධිපති   අයුරු දස්  වීනා  කළගුණැති  අසමානා  මැති  වීරකෝනා  පරන් හට යමහා  සමානා   මුදුනත් ලපකි ගනඳුර හැර  සඳපාන  සිදුහත් කෙනෙකි දුසිරිත හැර  බලපාන  යහපත් රජෙකි මැදිඳුට කරුණා  පාන  ලැබුණොත් නමකි වීරකෝන් මැති  කළුපාන   ලක්සුං දඹදිව ත්‍රිමේ සිංහල කළුපහණ ගම පැවති  නමින්  ඔක්කොම ගම්වල කියා තිබෙන නම කන්දපල්ල කෝරලේ  පොරණින්  වස් හැර කීවෙමි වරද ඉවත් කර කඳකුමරුන් හට  බාරවෙමින්  විස්තර නාමය වීර විකුම් කොට රන්දෙනියේ කළ  යුද්දේදින්   ප්‍රාදේශීය ජන නායකයකු වශයෙන් චිර ප්‍රසිද්ධියට පත් මෙතුමා රණවිරුවකු වූවා පමණක් නොව තම නිජබිම වූ වීරකෝන් ගම දෙපසින් ගලා බස්නා දිය දහරාවල් ගමේ සංවර්ධනයට උපයෝගී කරගත්තේය. එදා ගමේ විසූ සවි බලැති තරුණයන් ඇතුළු ගැමියන්ගේ එකමුතු සහයෝගය ලබාගෙන සවිමත් අමුණු බැඳ, ඇළ වේලි සකස් කර කුඹුරු අස්සද්දවා, බෙදාදී, ගමේ ආර්ථිකය නගාසිටුවාලීමට සමත් විය.  

 ඓතිහාසික වීරකෝන්ගම පදනම් කරගෙන ව්‍යාප්ත වූ වීරකෝන් පරපුරේ විශාල ඥාති පිරිසක් මුල් කාලයේ වෙලේගම, දොඩම්ගහලියද්ද, මරන්ගහවෙල, පුස්සැල, මහනුවර, හල්දුම්මුල්ල, මොනරාගල (වෙල්ලස්ස) ර/හල්පේ ආදී ගම් ප්‍රදේශවල පදිංචිව සිටි බවත් අනතුරුව මුළු රට පුරා විවිධ ප්‍රදේශවලට පැතිර ගිය බවත් තහවුරුවේ. ලියුම්කරුගේ මෑණියන් ද වෙලේගම වීරකෝන් පරපුරේ කෙනෙක් බව නිහතමානීව සටහන් කරමි. ප්‍රදේශයේ මෑත ඉතිහාසය විමර්ෂණය කර බලන විට මෙම වීරකෝන් පරපුරේ බොහෝ පිරිසක් ගම්මුලාදෑනි, කෝරළේ, දේශීය වෛද්‍ය, වෙල්මුලාදෑනි, උප්පැන්න, විවාහ, මරණ, ලේකම්, තැපැල් ස්ථානාධිපති ආදී ග්‍රාමීය නායකත්ව තනතුරු දරමින් සමාජයට මහඟු මෙහෙවරක් ඉටුකර ඇති බවද සඳහන් කළ යුතුය.  

විශ්‍රාමික අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ  
එච්.එම්. ජයතුංග, ඌවතැන්න

  


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: