Posted by: lrrp | October 31, 2021

රජ්ජුරුවන්ගේ බළකොටුව කඩා හැදූ කතෝලික පල්ලිය

සීතාවක රාජ්‍යයේ ආරක්ෂක උපක්‍රම කෝට්ටේ රාජ්‍යයේ ආරක්ෂාවට වඩා බෙහෙවින් දියුණු වීය. එයට හේතුවක් ලෙස සීතාවක රාජ්‍යයට සොබාදහමෙන් විශේෂ රැකවරණයක් ලැබීම බලපෑවේය. එය සීතාවක රාජසිංහ රජුට වඩාත් මහෝපකාරී වූ බව ද මේ තොරතුරු විමසීමේදී පෙනේ. කොබෝතුරාගල පර්වතය (ගැටහැත්තේ), නාරංගල කන්ද, බැලු‍න්ගල (දෙහිඕවිට පාර) යනාදිය සොබාදහමේ නිර්මාණයෝය. ඒවා සීතාවක රාජ්‍යයේ ආරක්ෂාව වැඩි දියුණු කළේය. එකී කඳුවලට කොළඹ, කෝට්ටේ, හංවැල්ල, කඩුවෙල, මල්වාන ප්‍රදේශ හොඳින් පෙනිණ. ඒවායේ වාඩිලා සිටි ඔත්තුකරුවෝ හා දුනුවායෝ නිරන්තරයෙන් සීතාවකට ළඟාවන සතුරෝ පිළිබඳ විපරමින් පසුවූහ. සැබැවින්ම සීතාවක රාජසිංහ රජුගේ යුද ජයග්‍රහණවලට මේ සන්නිවේදන මාධ්‍ය ඉතා වැදගත් ලෙස සොබාදහම විසින් නිර්මාණය කර දී තිබිණ.   

පුරාණ මහනුවර හා රත්නපුර මාර්ගය ආසන්නයේ සීතාවක ඔයත්, රිටිගහ ඔයත්, ගැටහැති ඔයත් ඇතුළුව තවත් පැත්තකින් බැලු‍ම්ගල කඳුවැටියෙන් ද ආරක්ෂිතව සීතාවක මහවාසල පිහිටි බැව් කියැවේ. එදා පුරාණ මහනුවර – රත්නපුර මහා මාර්ගය පිළිබඳ අලගියවන්න මුකවෙටිතුමා ලියූ සැවුල් සන්දේශයෙන් ද අදහසක් ගත හැකිය. ඒ අනුව මඟු‍ල් වීදිය (සීතාවක ඔයේ සිට නුගේවත්ත පාර දිගේ හීන් ඇළ තෙක්), විසුවිල්විට (වටඕවිට) සහ ගලපිටමඩ ප්‍රදේශය, ගැටසැත්ත (ගැටහැත්ත), මින්වාන (මින්නාන), ගැටදෙල්ගස මඩම (අඹරවිල), බෝපත්ත (බෝපැත්ත), අස්ගම (අස්ගඟු‍ල), තලාපිටිය (තලාවිටිය), මෙනේරිපිටිය බැවුල (මෙනේරිපිටිය), මිලිලවිටිය (මිල්ලවිටිය), දෙල්තොට, කුරුවිට, කොස්ගොඩ, බමුණාවත්ත, ගනේගොඩ සහ සපරගමුව (රත්නපුර) එම ගමන් මග ලෙස ගත හැකිය.   

සීතාවක රාජ්‍යය රිටිගහ ඔයෙන් එගොඩ “පල්ලේ වාසල” පිහිටා තිබිණි. ගැටහැති ඔයෙන් මෙගොඩ රාජකීය මල්වත්ත, තූර්යවාදක මඩු, රජවරුන් ප්‍රසිද්ධියේ කරන විනෝදාංශවලට අයත් අංගෝපාංගවලින් සැකසී තිබිණ. පිට නුවර ලෙස මේ ප්‍රදේශය හැඳින්විය. පිට නුවරින් පිට වීමට (කොළඹ/ කෝට්ටේ) ප්‍රදේශයට ඔය හරහා විශාල පාලමක් තනා තිබී ඇත. එය කොයිතරම් තාක්ෂණ අනුරූපීව හා උපක්‍රමශීලීව කර තිබුණේද යත් මේ පාලම අවශ්‍ය විට ගලවා අවශ්‍ය විට සවිකළ හැකි මට්ටමේ වූ බව කියැවේ. එම නිසා සීතාවක පිට නුවරටවත් පෘතුගීසීන්ට හෝ කෝට්ටේ රාජධානියේ සතුරන්ට ඒමට නොහැකි විය. මේ සියලු‍ උපක්‍රම සීතාවක රාජසිංහ රජුගේ යුද උපක්‍රම වඩාත් උලු‍ප්පවමින් පෙන්වයි. අවශ්‍ය විට මේ පිටනුවර පාලම හරහා ගොස් පෘතුගීසීන් හා සටන්කොට නැවත පාලම හරහා සීතාවකට පැමිණීම සිරිත විය. ඉන්පසු රාජධානියේ ආරක්ෂාව සඳහා යළිත් ඔය හරහා වන පාලම ඉවත් කර දමයි. 

තවත් අතකින් සීතාවක රාජධානිය සටන්වලට බලකොටුවක් වගේම ස්වභාවික කපොල්ලක ලක්ෂණ ගිරාඉඹුළ (කලු‍අග්ගල) බලකොටුවෙන් ඉස්මතු විය. එය ද සීතාවක රාජධානියට ඇතුළු වීමේදී සතුරන්ට බෙහෙවින් අවාසිදායක කාරණයක් විය. මෙතන කළුඅග්ගල ජෝන් බොස්කෝ පාසලත්, කතෝලික දෙව් මැඳුරත් නිර්මාණයේ දී එක අතකින් බලකොටුව විශාල ප්‍රමාණයක් විනාශ විය. ඊළඟට කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය මෙතනින් වැටී ඇති නිසා පාර පුළුල් කිරීමේදී බලකොටුවේ ගල තවදුරටත් කුඩා බව වූ බව දැනගන්නට ලැබේ.   

සීතාවක රාජසිංහ රජතුමාගේ අරමුණ වූයේම කෝට්ටේ අල්ලා ගැනීම සහ පරංගි රටින් පලවා හැරීමය. එහිදී රජු කිසි විටෙකත් කුල බේද, ජාති බේද නොසලකා තම සේනාව සන්නද්ධ කළ බැව් පෙනේ. අඩු කුලේ යැයි සම්මත වුවද, ජාති වශයෙන් සිංහලයෝ නොවන අයවලු‍න් ද රජතුමා සීතාවක බලසේනාවට බඳවා ගත්හ. එවැනි සමගියක් නැති වීම, ජාති කුල ආගම් වශයෙන් භේද භින්න වීම, සීතාවක රාජ්‍යයට අවාසියක් ලෙස රාජසිංහයෝ සිතන්නට ඇත. 

 මේවාට උදාහරණ ද කිහිපයක් දක්වාලිය හැකිය. වරක් ගිරා ඉඹුළ (කලු‍අග්ගල) බලකොටුවේ හේවායන් අතර බරපතළ ගැටුමක් නිර්මාණය විය. මෙහිදී හේවායන් දෙපිරිසකට බෙදී සිටියහ. කොටසක් උසස් කුලවල අය ලෙසය. අනෙක් හේවායන් පහත් කුලවල අය ලෙසය. මේ අය එකට හිඳ ආහාර ගැනීමේදී උසස් කුලවල හේවායෝ එයට විරුද්ධ විය. උසස් කුලවල අය පහත් කුලවල අය සමඟ එකට හිඳ ආහාර නොගැනීමේ සිරිතක් එකල ලංකා සමාජයේ තිබිණ. මේ කුල භේදය ගිරාඉඹුළ බලකොටුවේ සීතාවක බලසේනාව අතරින් මතුවිය.   

අද ශාන්ත බොස්කෝ විද්‍යාලය හා පල්ලිය ඇත්තේ එදා ගිරා ඉඹුල බළකොටුව තිබූ තැනයි

බලකොටුවේ උසස් කුල හා පහත් කුල හේවායන් අතර බෙදීම ටිකෙන් ටික දුරදිග ගියේය. ඇතිවී තිබෙන ආරවුල විසඳීමට සීතාවක රාජ්‍යයට බලසම්පන්න මුදලිවරුන්ට ද නොහැකි විය. අවසානයේ ආරවුල සීතාවක රාජසිංහ රජු දක්වාම ගියේය.   

“හේවායන් බලකොටුවේ බෙදී සිටීම රාජ්‍යයට අනතුරක්. කුල භේදය සමාජයේ තිබුණට බලකොටුවේ එය ඇතිවීම පරංගින්ට වාසියි.” රාජසිංහ රජතුමා කල්පනා කළේය. එතුමා වහාම ගිරා ඉඹුළ බලකොටුවේ හේවායන් සිටින තැනට ආයේය. පැමිණ ආරවුල් ඇතිවීමට හේතු විමසා උන්හ. එවේලේ සීතාවක රාජසිංහ රජු කියා සිටියේ හේවායන් අතර කිසිම භේදයක් නොවීමට වගබලා ගත යුතු බවය. ඒ අනුව එදා සිට උසස් කුල හේවායෝ නිහඬව රජුගේ අණට කීකරු වූ බව කියැවේ. එපමණක් නොව සීතාවක රාජසිංහ රජුගේ කිසිම බලකොටුවක් තුළ මේ කුල භේදය හට නොනැගිණ. තවද අඩු කළ හේවායෝත්, ඉහළ කුල හේවායෝත් එදා පටන් එකට කෑහ බීහ.   

එසේම රජතුමා හේවායන්ට තනතුරු දීමේ දී ද මේ ජාති, කුල, ආගම් භේද නොසැලකූ බව පෙනේ. දක්ෂතාවයේ – හැකියාවේ හැටියට රජතුමා හේවායන්ට, බලසේනා ප්‍රධානීන්ට තනතුරු හා ගම්වර ලබා දුන්හ. සුදුස්සාට සුදුසු තැන දුන්නා මිස බේද නොසලකා හැරියහ. එයට හොඳම උදාහරණයක් වන්නේ අරිට්ඨ කීවෙණ්ඩු පෙරුමාල්ට දක්ෂතාවය සලකා බලා බලසේනාවේ ඉහළ තනතුරු ලබා දීමය. ඒ අනුව ඔහු සැබෑ දක්ෂයෙක් හා රණශූරයකු වූ නිසා දමිළයකු වුවත් ‘මාන්නප්පෙරුම මොහොට්ටාල’ යන නම පටබැඳ රාජ සභාවට පවා බඳවා ගත් බව ජනප්‍රවාදගත ය. 

තවත් අතකින් සීතාවක රාජසිංහ රජුගේ යුද බලඇණියේ මරක්කල හේවායෝ ද එම මරක්කල යුද නිලධාරීන් ද සිටි බව කියැවේ. සීතාවක රාජසිංහ රජුගේ සටන් ව්‍යාපාරයට පැරණි මායා රටට අයත් හේවාගම් කෝරලයේ ආරෝහ පරිණාහ දේහධාරී පුරුෂයෝ බෙහෙවින් උපකාර කළ බව කියැවේ. රාජසිංහ රජු පරංගි හා කළ ජාතික සටනේ දී රජුට උදව් දුන් වීර සෙබළුන්ගෙන් පැවත එන්නන් හේවාගම් කෝරළයෙහි අදත් බොහෝ සිටිති. විශේෂයෙන් රජු හේවායන් සඳහා පිදූ ගම්වර ද සීතාවක රාජ්‍යයේ තිබිණ. ඒ අතර හේවායින්න, හේවාගම, කඩුගොඩ, ගිරා ඉඹුළ, දැඩිගමුව, රණාල, අතුරුගිරිය අවට ප්‍රකටය.   

සීතාවක රාජධානියේ අවි ආයුධ තැනුනේත් ඒවා ගබඩා කර තිබුණේත් අවිස්සාවේල්ලට නුදුරු පනාවල ප්‍රදේශයේ බවට මතයක් පවතී. මෙහි පනාවල යන්න ‘පන්න’ හෙවත් ආයුධ ආම්පන්න වචනයෙන් බිඳී ආවක් යැයි ජනප්‍රවාදගත ය.   

තවත් ජනප්‍රවාද මතයක් වන්නේ සීතාවක රාජසිංහ රජුගේ මඟු‍ල් කඩුව පිළිබඳව වන මතයයි. මඟුල් කඩුව සෑදීමට යොදා ගන්නා වානේ කුඩු ආහාර සමඟ මිශ්‍රකර ළිහිණින්ට කෑමට දී තිබේ. ළිහිණින් මළපහ කළ පසු ඒවා සෝදා යළිත් වානේ කුඩු ලබා ගනී. මෙපරිදි හත් වරක් ළිහිණින් ආහාරයට ගත් වානේ මිශ්‍ර ආහාරවලින් පාදා ගත් වානේ කුඩුවලින් රජුගේ මඟු‍ල් කඩුව සාදා තිබේ. මේ ක්‍රමයට තැනූ ආයුද ඉතා ඉහළ පන්නරයකින් යුතුබව කියනු ලැබේ.   

අතීත සීතාවක රාජ්‍යය නොයෙක් යුද කටයුතු, ක්‍රියාකාරකම්, ගම්වර නිසා ව්‍යවහාර වූ නම් අදත් ගම්මාන ලෙස එනමින්ම පවතී. සීතාවක රාජසිංහ රජුගේ සටන් බිමක් තුළ පැවත එන බොහෝ ග්‍රාම්‍ය නම් හේවායන්, යුද ආම්පන්න, බලකොටු, දඬුවම් දීම් සම්බන්ධ ග්‍රාම්‍ය නාමවලට යම් සමානකමක් දැකිය හැකිය.   
ඉහත දක්වන ලද්දේ ඉන් කිහිපයක් පමණි. 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: