Posted by: lrrp | January 24, 2009

සොබා දහමේ අසිරිය විඳින්න වළවේ ගඟේ රවුමක් යන්න

ළවේ ගඟේ බෝට්ටු සවාරියක යන්න අපි බෝට්ටුවට නැංගේ හිරු අවරට යන්න හෝරා දෙකක් විතර තියෙද්දි. අම්බලන්තොට වාඳුරුප්පේ කාත් කවුරුවත් නොමැති නිසංසල තොටමුණකින් අපි යාත‍්‍රාවට නැංගෙ අම්බලන්තොට සොබා සංචාරක සංගමයේ ලේකම් ආර්.පී.නන්දසිරි මහත්තයගෙ අත් වාරුවෙන්.

බටහිර අහස් කුසේ හිරු කුමරා සැඟවෙන්නට ඔන්න මෙන්න කියා තියෙද්දි වළවේ ගං කොමළියගෙ අසිරියත් ඈ වසාගත් වන වදුලේ සිරි නරඹන්නටත් හිමි වුණු ඒ අවස්ථාව ඇත්තටම ජීවිතේ චමත්කාරජනක අත්දැකීමක්.

සොබාදහමේ අසිරිය හැබැහින්ම දැකල ආශ්වාදනය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ කොයිතරම් කලාතුරකින් ද? සිසිල් මදපවනින් ගත සිත සැනැහුණු ඒ සුන්දර සන්ධ්‍යාවෙ වාඳුරුප්පෙන් යාත‍්‍රාවට නැංග අපි ගමන් කළේ ඊට සැතැපුම් තුනක් හතරක් එපිටින් පිහිටි ගොඩවාය වෙතටයි.

අතීතයේ විජය රජතුමා ලංකාවට ගොඩබැස්ස ස්ථානය ලෙසත්, අතීත ලංකාවේ ප‍්‍රධානතම වෙළෙඳ වරායක් ලෙසත් සැලකෙන හම්බන්තොටට නුදුරු ගොඩවාය වළවේ ගංගාව මුහුදට වැටෙන ස්ථානයයි. තඹවන් වැල්ලකට උරුමකම් කියන ගොඩවායේ මුහුදු තීරයේ සුන්දරත්වය තවත් වැඩිවෙන්නෙ ලා දුඹුරු වර්ණයෙන් සුසැදි අලංකාර ගල්තලාව නිසයි.

වළවේ ගං දෑලේ….

සැඳෑ අඳුර ලොව වෙලාගන්නට පෙර කඩිනමින් වළවේ ගංදෑලේ කිරල කැලේ කඩොල් පඳුරු අතරේ සිය කැදැලි කරා ඇදෙන දහස් සංඛ්‍යාත සියොත් කැල සියැසින් දැකගන්නට තරම් අප දෑස් පින්කර තිබුණා. කුරුලු කූජන අහන්නත්, සියොතුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන්නත් එවන් නිසංසල සන්ධ්‍යාවක් තරම් සුදුසු තවත් මොහොතක් නැති තරම්.

ගංදෑලේ වැඩුණු උස් ගස් වසා පැතිරුණු ලතා මඩුලු අතර ලෙළ දුන් නිල් මැණිකෙන් සුසැදි තොරණ මෙන් පිල් විදාගත් මොනරුන්! කුරුල්ලන්ගේ නිදහස් සුවයට බාධා නොවන සේ යාත‍්‍රාව හසුරුවන්නට නන්දසිරිත්, ඔහුගෙ සගයන් දෙදෙනාත් වෙහෙසුණේ හැකිතාක් කුරුල්ලන් බලන්නට වළිකන අපේ තෘෂ්ණාභරිත සිත් හඳුනාගෙන.

නිසලව ගමන් ගන්නා යාත‍්‍රාවට ඉහළින් අපේ හිස් මුදුන්හි ගෑවී නොගෑවී හදිසියේ පියඹා යන කුරුමිනි කුරුලු රෑනක් තමන් ගේ අඩවියට වන් අමුතු සතුන් කවරේදැයි බියෙන් මෙන් ආපසු හැරී පියඹා යන්නේ මං මුළාවූවන් සෙයින්. කිරළ ගාලේ කඩොල් කැලේ වසා පැතිරගත් කලපු කිරළුන් මෙන්ම සුදුවන් කොකුන් සමූහය සැඳෑ අඳුර දුරු කරන්නට එළුෑ සුදුවන් ඇතිරිල්ලක් වගෙයි.

ඒ අතර අප කෙදිනකවත් නොදුටු විරූ කළු කෑඳැත්තන්, කොරොව් කෑඳැත්තන්, අළු කොකුන්, කොරොව් කුරුල්ලන්, පෙන්ද දිග කෑඳැත්තන් කෑරලුන්, වඩුකුරුල්ලන්, ගිරවුන් පිළිහුඩුවන් මෙන්ම බ‍්‍රාහ්මණ උකුස්සන්ද රෑන් රෑන් මෙවන් වන අරණක දී හැර අන් තැනෙක එකවර දකින්නට ලැබෙනවද?

රාති‍්‍රය මෝදු වන්නට වන්නට ගං දිය ද වඩාත් නිසල වන්නා සේය. අඳුරට පෙර සුපුරුදු නවාතැන් සොයා ඇදෙන සියොතුන් වෙසෙසින් කලබල වී ඇත්තේ අඳුරේදී ඔවුන් අඳ වන නිසාද? ආගන්තුක අපගේ දසුනින් ඔවුන් බියපත් වූ නිසාද? රාති‍්‍ර සේවා මුරය අරඹනු රිසින් දිවා දවසේ ලැග සිටි තැන් හැර පියා තටු ගසා පියාහඹන කළුවන් වවුල් කැල පරයා ඔවුනොවුන් සියොළඟ හැපෙමින් රාති‍්‍රය ගත කරන්නට එකී තිප්පොළ වෙතට ඇදී එන ශ්වේතවර්ණ කොක් රෑනට මොනරුන් ද සෙබඩුන් ද එක්වෙති.

හදිසියේ ගඟ දිය මත යාත‍්‍රාව නතර වෙයි. ‘තෙල් ඉවරවෙලාදෝයි’ අනියත බියකින් මසිත සැළෙයි. ගඟ දිය මත වසා පැතිරගත් ජපන් ජබර ගාලෙන් මතුවී සැණින් දිය යට සැඟව යන හැළ කිඹුලා ගේ සමීප රූපයක් ගැනීමට වළිකන ගංගාට, කාංචනාට හෝ සජිතාට එවන් විචිකිච්චාවක් නැත. කිඹුල් අසිරියෙන් මන්මත්වී සිටින ප‍්‍රසන්නටත් සුමේදටත් අප ආපසු ගොඩබිම වෙත යායුතු බවට හැඟීමක් නැති තරම්.

මා සිතැඟි වටහා ගත්තාක් මෙන් කිඹුල් තඩියා ගංතුරේ නොසැඟවිණි නම් එළිය වැටෙනතුරු හෝ ගඟ දිය මත පාවෙමින් සිටින්නට අප පිරිස සූදානම් වූ සේය. ගමේ ගොඩේ අප දකින කබරයාට වඩා වළවේ ගංගාවාසී කබරුන් හැඩිදැඩිය. චණ්ඩය. කිඹුලන් පරදවා කබරුන් පිහිනා යන අසිරිය නරඹන්නට වළවේ ගඟේ බෝට්ටු සවාරියක් යන්නටම සිදුවෙයි.

ගඟත් මුහුදත් යා කරන ගොඩවායෙන් තම්බපන්නී හෙවත් තඹවන් වැල්ලට ගොඩබට අප ගලින් ගල නැඟී දිව ගියේ අදින් වසර 3000 කට පමණ ඉහත විසුවා යැයි සැලකෙන මානවයකු ගේ ඇටසැකිල්ලක් ගොඩගත් ස්ථානයටයි.

ගොඩවායට නොදුරින් පිහිටි ගෝඨපබ්බත විහාරස්ථානයේ ගොඩවාය වරායෙන් ලංකාවට ගොඩබසින ලද විදේශීය වෙළෙඳ යාත‍්‍රාවලින් බදු අය කිරීමට අවසර ලබා දුන් පැරැණි ලියැවිල්ලක් සුරැකිව තිබේ.

ගෝඨපබ්බත විහාරය දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන් ගෙන් කෙනකු වන ගෝඨයිම්බරයා විසින් තනවා සාසනයට පුද කරන ලද විහාරය බවයි කියැවෙන්නේ. වාඳුරුප්ප ගොඩවාය හා අවට ස්ථානයන්හි ඓතිහාසික තොරතුරු ද පැරැණි ශිලා ලිපියක් ද ගෝඨපබ්බත විහාරයේ සුරැකිව තිබේ.

අතීතයේදී මුහුද ගලා ලංකාව බිලිගත් අවස්ථාවේ රට බේරාගන්නට ඉදිරිපත් වූ වීර විහාර මහා දේවිය මූදේ පාවී විත් ගොඩබිමට පා තැබූ ස්ථානය ලෙස සැලැකෙන්නේ කිරින්දය.

අතීතයේ මෙන්ම මෑතදී අප රට බිලිගත් චණ්ඩ සුනාමිය සුන්දර කිරින්දට බොහෝ සේ පීඩා සිදු කළා. රළු මුහුද කොපමණ උසට නැඟුණත් කිරින්දේ සුන්දරත්වය වනසන්නට දළ රළ පෙළ සමත් වූ බවක් අද පෙනෙන්නේ නෑ. කිරින්දෙන් නික්මුණු අප යළිත් තිස්සමහාරාමය වෙත පැමිණියේ තිස්සමහාරාමය වන්දනා කරන්නටයි. තිස්සමහාරාමයට නුදුරින් පිහිටි යටාල වෙහෙර ශ‍්‍රී ලංකාවේ ඉදිකළ දෙවැනි මෙන්ම රුහුණේ ඉදිකරන ලද පළමු දාගැබ සේ සැලකෙනවා.

රම්බා විහාරය ද රුහුණු රටේ ශ‍්‍රී විභූතියෙහි නටබුන් රැසක් හමු වූ පෞරාණික සිද්ධස්ථානයක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තවමත් කැණීම් සිදු කරනු ලබන මෙම විහාරස්ථ භූමියෙන් නටබුන් රැසක් හමු වී තිබෙනවා. ”අකුරුගොඩ” අදින් වසර දෙදහස් පන්සීයයකටත් තුන් දහසකටත් පමණ එපිට කාලසීමාවක පැවැති ඉපැරැණි ජනාවාසයක නටඹුන් හමු වූ තැනක්.

තිස්ස කතරගම ප‍්‍රධාන මාර්ගයේ තිස්සට ආසන්න බිම් කඩෙක මෙම පැරැණි ජනාවාසයේ නටඹුන් දැකිය හැකියි. මෑතදී කරන ලද කැණීම්වලදී පොළොව මට්ටමෙන් අඩි 20 ක් පමණ යටින් පිහිටා ඇති එම ජනාවාසයේ නටඹුන් හමු වී තිබෙනවා.

සල්පිලක් සේ සැලැකිය හැකි ගොඩනැගිලි සංකීර්ණයක වැසිකිළි කැසිකිළි පද්ධතියකින් යුතු මහල් කිහිපයකින් යුතු ගොඩනැඟිල්ලක නටඹුන් ද ඒ අතර තිබී මැටි වළං පිඟන් හා ඇට මාල, වළලු වැනි ආභරණ ද හමුවී තිබෙනවා.

දකුණු ලක සිරි නරඹමින් යන ගමනේ දී තිස්සේදී අප දුටු තවත් අපූරු ස්ථානයක් උස්සන්ගොඩ. ලංකාවේ වෙනත් කිසිදු පළාතක දැකිය නොහැකි අසාමාන්‍ය භූ විෂමතා ලක්‍ෂණ දක්වන උස්සන්ගොඩ පිළිබඳ නොයෙකුත් ප‍්‍රවාද ගොඩනැඟී තිබෙනවා.

කිරින්ද වෙරළේ මනරම් දසුනක්…

ප‍්‍රදේශයේ සෙසු තැනිතලා බිම්වලින් උස්ව නැඟුණු තද රතු පැහැගත් පස්වලින් යුතු උස්සන්ගොඩ හැදිල තියෙන්නෙ උල්කාපාතයක් කඩා වැටිල කියලයි ඇතැමුන් කියන්නෙ.

රාම රාවණා යුද්දෙදි ඉන්දියාවෙන් කෑල්ලක් කඩාගෙන හනුමන්තා දුව යන කොට කඩා වැටුණු කෑල්ලක් කියලත් ඇතැමුන් කියනවා. කොහොම වුණත් උස්සන්ගොඩ රතු පසේ වැවෙන පුංචි දම්පාට මල් වැල් ගාල හැරුණු විට ඉඳහිට වත් එහි තියෙන්නෙ මුහුදට මායිම්වුණු ගල්තලාවෙ වැවිල තිබුණු පතොක් හා බිම් තඹුරු ගස් කිහිපයක් විතරයි.

උස්සන්ගොඩින් අපි ආපසු ආවෙ හිරු කුමරා සිය ශක්තිය උපරිමයෙන් විදහා පාන ගිනි මද්දහනෙ. ගත දවාහළ දාහය නිවාගන්න සිසිලසක් සොයාගෙන යනව වෙනුවට ප‍්‍රසන්නත්, කාංචනාත් අප කැටුව ගියේ මදුනාගල උණුවතුර ළිං බලන්න.

පිපාසෙට දිය දෝතක් බොන්නටවත් සිසිල් පැන් බිඳකින් මුව දෝවා ගන්නටවත් බැරි තරම් උණුසුම් ජල දහරකින් ඒ වෙලාවෙ අප පැතූ සිසිලස නොලැබුණාට බුබුළු දදා නටන උණුවතුර ළිංවලින් ගිනිකාෂ්ටක අව්වෙම වතුර බාල්දියක් නාගන්න පොරකාපු අපේම මිනිසුන් අප තුළ දැනෙව්වෙ තරමක විස්මයක්.

මදුනාගල උණුවතුර උල්පත්වලින් බුබුළු දදා නටන උණුවතුර ළිඳ මැදි කරල තනා ඇති පරිවාර ළිංවලින් ගලන ජලය ඒ තරම්ම උණුසුම් නෑ. අවට ප‍්‍රදේශය ඉතාම අලංකාර ලෙස පලතුරු එළවළු හා මල්වවල අලංකාර උද්‍යානයක් ලෙස කසක් කරල. ප‍්‍රාදේශීය සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් එහි ඉදිකොට ඇති කුරුලු උයනෙ කුරුල්ලො නම් වළවේ ගංදෑලෙ නිදැල්ලෙ සැරිසැරූ කුරුල්ලො තරම් තුටු පහටු ජීවිතයක් ලබන්න පිං කරල නෑ.

යාල ගිහින් සතුන් බලන්නට හොඳම වෙලාව හිමිදිරි උදෑසන කියල අහල තිබුණත් කෙටි කාලසටහනක් එක්ක පොරබැදූ අපට යාල කැලේට වදින්න වුණෙත් හිරු අවරට යද්දීමයි.

කළුවර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි යාල කැලේට රිංගන්න ලැබුණු අවස්ථාවත් දුලභ ගණයේ එකක්. “උදේට වඩා හවස හොඳයි” කියන්න වගෙයි මනරම් කුරුලු කූජනයෙන් අප පිනවමින් නිදැල්ලේ ඔබමොබ පියෑඹු සියොතුන් අප පිළිගත්තෙ. වළවෙ ගංදෑලෙ තරමට නොවුණත් යාලෙදිත් අපි වැඩියෙන්ම දැක්කෙ මොනරුන්.

පිල් විදා නටන මොනරුන් තඹ සතේකටවත් නොතකා බඳ ලෙළවා හැඩට අඩිය තබමින් පිටුපා යන සෙබඩුන් මොනරුන්ටත් වඩා අහංකාරයි. නිසිකලට වැසි ලැබිල තරමකට වැසි සමය තුරන් වුණා විතරක් හින්ද යාල ගහ කොළ නිලෙන් පිරිල. මල් පිපිල. කැලෑ මල්වටා බඹරුන් රොද බැදෙන කාලෙ. බඹර පැණි හොයන්නට එළිපෙහෙළියට බැස්ස වලස් පවුලක්.

වලස් අම්ම දරුවො දෙන්න ඉස්සර කරගෙන හනි හනිකට වල් වැදුණෙ විස්මයෙන් උන් දෙස බලන අපටත් වඩා ළඟ එන අඳුරට බියෙන් වගේ. වතුර පිරුණු අගලක් අයිනෙ නිසංසලේ වැතිරුණු ගැට කිඹුල්ලු. නිසල ජලතලය කළඹමින් මඩ තලන වල් ඌරු ජෝඩුවක්. හිටිගමන් සීරු මාරුවට පාර මාරුවෙන සද්දන්තයෙක් දෙන්නෙක්.

සතියකට හමාරකට ඇතිවෙන්න ගොදුරක් ගිල දමා හති අරින පිඹුරු තඩියෙක්. ඔච්චමට විළිස්සන රිලා රංචු. කන් සොළවා ආචාර පවත්වන ගෝන්නු. කමක් කාරියක් නැතිව හදිසියේ ඔබමොඩ දිවයන මුව රංචු. අතරින් පතර ගොදුරක් සොයා යන කොටි නාම්බෙක්. මේ හැම සතෙක්ම එකම දවසක පැය කීපයක් ඇතුළත එකම තැනකදි සියැසින් දැකගන්න නම් ඔබ හැබෑම වාසනාවන්තයකු වෙන්න ඕනැ කියලයි අප රැගත් සෆාරි ජීප් රථයේ රථචාරී පී.ඩී. කීර්ති කියන්නෙ.

තිස්සමහාරාම ස්වාධීන සෆාරි ජීප් රථ සංගමයේ සභාපති කීර්ති. යාල වනෝද්‍යානෙ සතුන් ගැවසෙන හැටි නිරුපද්‍රිතව හොඳින් බලාගන්න නම් ඔවුන් ගෙ සෆාරි ජීප් රථයක සේවය ලබා දෙන්නට ඔවුන් සූදානම්.

”පසුගිය කාලෙ යාල වනාන්තරයෙන් විවිධ බාධක පැන නැගුණා. මිනිස්සු යාල බලන්න එන්නත් බය වුණා. දැන් පොලිසියෙනුත් හමුදාවෙනුත් වගේම ගමේ අපිත් එකතුවෙලා යාල ආරක්‍ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. දැන් ආයෙමත් දෙස් විදෙස් සංචාරකයො යාල බලන්න එන්න පටන් අරන්.” කීර්ති කියන්නෙ සතුටින්.

දකුණු පළාතෙ සුන්දරතම වෙරළතීරය හමුවන්නෙ තංගල්ලෙන්. තංගල්ලට මූදෙ නාන්න යනව නම් හුම්මානය බලන්නත් අමතක කරන්න හොඳ නෑ. සොබා දහමේ අපූරු නිමැවුමක් ලෙස හුම්මානයේ ස්වභාවික වතුර මල හඳුන්වන්නට පුළුවන්. රැකව මුහුද වෙරළ තීරයත් තංගල්ල තරමට ම සුන්දරයි. ඒත් එහි එක් විශේෂත්වයක් තිබෙනවා.

ඒ ලංකාවේ විශාලතම ස්වභාවික කැස්බෑ අභිජනන මධ්‍යස්ථානය වෙරළාශි‍්‍රතව පිහිටා තිබීමයි. කැස්බෑවුන් වෙරළේ බිජු හංගන හැටි උන්ට නොදැනෙන්න හොරෙන්ම බලාගන්නට නම් තරු පිරිවරාගත් සඳ ඇති රාති‍්‍රයක රැකව මුහුද වෙරළේ ගල්තලාවක් මත මොහොතක් නිසලව වාඩිලා ගත යුතුයි.

කටට රසට කෑමක් කන්නෙ කරදියෙන් මැවෙන ලුණු කැටේට පින් සිද්ධ වෙන්නයි. අපේ දිව පිනවන ලුණු හැදෙන්නෙ කොහොමද කියා බලන්න නම් පාරෙ යන එන ගමන්වත් හම්බන්තොට ලුණු ලේවාය බලා කියා ගන්න ඕන. පුරාණ ලංකාවෙ වෙළෙඳ වරාය ලෙස සැලකුණු හම්බන්තොට අද දක්‍ෂිණ ලංකාවෙ ප‍්‍රධාන සංවර්ධිත නගරවලින් එකක්.

හම්බන්තොට දිස්ති‍්‍රක් වාණිජ මණ්ඩලයෙන් ප‍්‍රාදේශීය ව්‍යාපාරික ප‍්‍රජාවට විශාල මෙහෙවරක් ඉටු කරනවා. ලොකු කුඩා භේදයෙන් තොරව ඉටු කරන මේ මෙහෙවරට රජයේත් ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසකත් ආධාර අනුබලය ලැබෙනවා. හම්බන්තොට වාණිජ මණ්ඩලය මගින් ප‍්‍රාදේශීය සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කරන්නටත් විශේෂ ව්‍යාපෘති රැසක් කි‍්‍රයාවට නංවනවා.

දක්‍ෂිණ ලංකාවේ දෙස් විදෙස් සංචාරකයන්ට වසරේ සෑම කාලයකම සංචාරය කළ හැකි ඓතිහාසික සංස්කෘතික හා ස්වභාවික වටිනාකම්වලින් අනූන ස්ථාන රාශියක් තිබෙනවා. ඒවා අතරින් අපේ ජනතාව හඳුනාගෙන තිබෙන්නේ තිස්ස, කතරගම, සිතුල්පව්ව යාල, වැනි ස්ථාන කිහිපයක් පමණයි.

නුවරඑළියේ වසන්ත සැණකෙළිය වගේ වසෙර් එක්තරා කාලයකට පමණක් සීමා නොවී වසරේ ඕනෑම කාලයක නරඹන්නට, වන්දනා කරන්නට හෝ සංචාරය කරන්නට සුදුසු ස්ථාන දක්‍ෂිණ ලංකාවේ ඕනෑ තරම්.

එවන් ස්ථාන දෙස් විදෙස් සංචාරකයන්ට හඳුන්වා දෙමින් ඔවුන්ගේ විවේකයත් විනෝදයත් වඩාත් අර්ථවත්ව ගතකරන්නට අවස්ථාව උදාකර දීමේ අදහසින් පසුගිය දෙසැම්බර් මාසෙ 27, 28 සහ 29 දිනවල තිස්සමහාරාමයේදී “ගෝ වයිල්ඩ් ඉන් තිස්ස” නමින් සංචාරක සැණකෙළියක් පැවැත්වුණා.

තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව, තිස්සමහාරාම වෙළෙඳ සංගමය, රුහුණු සංචාරක කාර්යාංශය සහ හම්බන්තොට දිස්ති‍්‍රක් වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම සංචාරක සැණකෙළියට ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් සහභාගී වූ බවයි හම්බන්තොට දිස්ති‍්‍රක් වාණිජ මණ්ඩලයේ සංචාරක ව්‍යාපෘති කළමනාකාරී ප‍්‍රසන්න ගුණවර්ධන අප හා පැවසුවේ.

සුපුරුදු තිස්ස කතරගම වන්දනාව හැරුණාම දක්‍ෂිණ ලංකාවෙ බලන්න, වැඳගන්න, විඳගන්න පුළුවන් ස්ථාන කොපමණ නම් තියෙනවද කියල අපටත් හිතුණෙ ඔවුන් සංවිධානය කළ “ගෝ වයිල්ඩ් ඉන් තිස්ස” සැණකෙළියට පෙර ගමනක් ලෙසින් මාධ්‍ය සගයන්ට ඔවුන් සෙනෙහෙසින් පිදූ සෞන්දර්යාත්මක දක්‍ෂිණ සංචාරයට සහභාගි වුණාට පස්සෙ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: