Posted by: lrrp | July 13, 2013

ජී. බී. ට තිබුණේ දැනුමෙන් සන්නද්ධ වුණු බර අතක්

හුදකලා ලේඛකයෙකු වූ ජී.බී. සේනානායකයන් සමීප ව ඇසුරු කිරීමේ වාසනාව ලත් සෝමවීර සේනානායක ලේක්හවුස් ආයතනයෙන් සිය වෘත්තිය ජීවිතය ඇරඹූ සාහිත්‍යධරයෙකි. “නවයුගය” ඇතුළු පුවත්පත් රාශියක ප්‍රධාන කර්තෘ ධුරය හෙබවූ ඔහු දැනට අප අතර සිටින ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකි. “මවකගේ ගීතය” “ය‍ශෝරාවය” “මැණික් නදිය ගලා බසී” “බලදේවගේ ලෝකය” ඇතුළු නවකතා විශාල ප්‍රමාණයක් රචනා කොට ඇති ඔහු රාජ්‍ය සම්මානලත් නවකතාකරුවෙකි. ශාස්ත්‍රීය ග්‍රන්ථ රචකයෙකි. විචාරකයෙකි. සම්මාන රාශියකින් පිදුම් ලත් සිනමා හා රූපවාහිනි රචකයෙකි.

ජී. බී. නිර්මාණ විමසුම

ජී.බී. සේනානායක නම් සාහිත්‍යධරයා සිංහල සාහිත්‍ය වංශය තුළ, ඔබ ස්ථානගත කරනුයේ කොතැනද?

ජී.බී. සේනානායක කියන නාමය සිංහල සාහිත්‍ය වංශය තුළ ඉතා ඉහළින් ම ලියවෙන නමක්. ඒ ගැන කිසිදු විවාදයක් නැහැ. මගේ පෞද්ගලික කැමැත්ත අනුව මා ඉහළින් ම සලකන ලේඛකයා වනුයේ මාර්ටින් වික්‍රමසිංහයන්. ඔහුට පසුව මා සමතැනෙහිලා සලකන ලේඛකයන් දෙදෙනා වෙනුයේ ‍ජී.බී. සේනානායකයන් හා කේ. ජයතිලකයන්. මොවුන් දෙදෙනාටම මා එකලෙස කැමති වුවත් ක්ෂේත්‍ර වශයෙන් සැලකුවොත් ජී.බී. සේනානායකයන් පෙරමුණට ම පැමිණෙනව. එය සිදුවන්නෙ ජී.බී. සේනානායකගෙ කවීත්වය පදනම් කොටගෙන. ජයතිලකත් සේනානායකත් නිර්මාණ සාහිත්‍යකරණයෙහි සෑම අංශයක්ම පාහේ ස්පර්ශ කළත් කවීත්වය සම්බන්ධව දී සේනානායක ඉදිරියට පැමිණෙනව.

එහි ප්‍රබලම අවස්ථාව තමයි ජී.බී. සේනානායක අත බිහිවන නිදහස් කවිය. නිදහස් පද්‍යය. සැබවින් ම නූතන සාහිත්‍යයට අවශ්‍ය පදනම බිහි කිරීමට සේනානායක ගත් උත්සාහය ඉතාම විස්මයජනකයි. නිදහස් කවිය හරහා ඔහු ආරම්භ කරන නූතන එළඹුම කරණකොටගෙන සාහිත්‍ය වෙත අති විශාල තරුණ කොටසක් ආකර්ෂණය වුණා. එහෙත් සමුද්‍රඝෝෂ විරිතට, සිව් පදයට පමණක් බොහෝ විට සීමාවී තිබූ අපේ කවියේ ක්ෂේත්‍රය පුළුල් වුණා. කවිය දාර්ශනික සංකල්පයක් ලෙස ඉස්මතු වුණා. එමෙන්ම කාව්‍ය ආකෘතිය ද නැවුම් මුහුණුවරකින් ඉදිරිපත් වූ නිසා ඒ වටා තරුණ කොටස් බහුලව රොක් වුණා. ඔවුන් ඒ මග පෝෂණය කරමින් ඒ කවි මඟ තවදුරටත් පුළුල් කළා. ඒ ඇසුරෙහි විවිධ අත්හදා බැලීම් සිදු කෙරුව.

අද පවා නිසදැස් කවිය තුළ විවිධාකරයේ අත්හදා බැලීම් සිදු කෙරෙමින් පවතිනව. එහි ආරම්භකයා තමයි ජී.බී. සේනානායක. අත්හදා බැලීම් කියන විශේෂ ලක්ෂණය ජී.බී. සේනානායකයන්ගෙ සෑම නිර්මාණයක ම පාහේ දක්නට ලැබෙනව. කවියෙහි පමණක් නොව කවකතාව, කෙටිකතාව තුළත් ඒ ලක්ෂණය පැහැදිලිව හඳුනාගත හැකියි. ඒ නිසා ඔහුගෙ නවකතා ද කෙටිකතා ද අනෙක් බොහෝ රචකයන්ගෙ රචනා කලාවෙන් වෙනස් වෙනව. සේනානායක ගෙ මුල් යුගයෙ හැම නිර්මාණයකින් ම ඒ සුවඳ වහනය වෙනව. ඒ නිසා ඒ හැම නිර්මාණයකින් ම අපට අදත් දැනෙන්නෙ නැවුම් ආස්වාදයක්. ඒ අනුව නූතන සාහිත්‍යයේ පුරෝගාමී පුද්ගලයකු වශයෙන් ජී.බී. සේනානායක දෙවැනි වන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ට පමණක් බවයි මගේ අදහස.

කෙටිකතාකරුවකු වශයෙන් ජී.බී. සේනානායකයන් ගේ සාර්ථකත්වය කෙබඳුද?

ජී.බී. සේනානායක නිර්මාණකරණයට යොමුවුණේ කෙටිකතා හරහා. ඒ අවදියෙහි කෙටිකතාකරුවකු වශයෙන් ක‍්ෂේත්‍රයට පිවිසීමට එතරම් පහසු නැහැ. අනික් බොහෝ දෙනා ඒ කියන්නෙ මාර්ටින් වික්‍රමසිංහ, පියදාස සිරිසේන, ඩබ්.ඒ. සිල්වා වැනි අය ක්ෂේත්‍රයට පිවිසුණේ නවකතා හරහා. එකල කෙටිකතා නිර්මාණය කරපු පුද්ගලයන් හිටියෙ කිහිපදෙනයි. මාර්ටින් වික්‍රමසිංහ, හේමපාල මුනිදාස හා පුවත්පත්වලට කෙටිකතා රචනා කළ ටී.ජී.ඩබ්. ද සිල්වා වැනි කිහිපදෙනෙක් පමණයි. ඒ අතරට එක්වෙන ජී.බී. සේනානායක පුවත්පත් වලට හා සඟරා වලට ගුණතිලක බණ්ඩාර කියන නමින් කෙටිකතා රචනා කොට තිබෙනව. නමුත් මේ කතා පිළිබඳ සේනානායකයන් පවා පසු යුගයේ වැඩි අවධානයක් යොමු කළේ නැහැ.

ඒ නිසා ඒ කතා පිළිබඳ වැඩි විස්තර සොයා ගැනීම අපහසුයි. ඒ පිළිබඳ කෙටි හෝ සටහනක් තියෙන්නෙ මාර්ටින් වික්‍රමසිංහයන් ගෙ “උපන්දා සිට” කෘතියෙ පමණයි. ජී. බී. සේනානායකයන් ගුණතිලක බණ්ඩාර යන නමින් එතුමාට කෙටිකතාවක් එවා තිබුණු බවත්, ඔහුගේ කුරුමිණි අකුරු ඉතා අපහසුවෙන් කියවූ බවත් වික්‍රමසිංහයන් එහි සඳහන් කොට තියෙනව. ඒ හරහා තමයි මාර්ටින් වික්‍රමසිංහයන්, ජී. බී. සේනානායකයන් අඳුර ගන්නෙ. ඉන්පසු වික්‍රමසිංහයන් කතු කම කරපු සිළුමිණ පත්‍රයේ උප කර්තෘ කෙනෙක් වශයෙන් සේනානායකයන්ව බඳවා ගන්නව. ඒ නිසා ජී. බී. ගෙ කෙටිකතා පිළිබඳ විමසීමේදී අපට අදාළ කර ගත හැකි වන්නෙ ඔහු ජී. බී. සේනානායක නමින් ලියූ කෙටි කතා පමණයි.

ජී. බී. සේනානායකයන්ගෙ පළමු කෙටිකතා සංග්‍රහය වුණු “දුප්පතුන් නැති ලෝකය” කොයි අංශයෙන් ගත්තත් ඉතා සාර්ථක, රසවත් කෙටිකතා සංග්‍රහයක්. එහිදීද ඔහු කෙටිකතා ශිල්පය තුළ විවිධ අත්හදා බැලීම් සිදු කරනව. සැබවින්ම “දුප්පතුන් නැති ලෝකය” භාෂාව සම්බන්ධ ව ඔහුගේ ඇති පරිණත බව, ලෝක සාහිත්‍යය සම්බන්ධයෙන් ඔහුගේ ඇති සංවේදිතාවය, සම්භාව්‍ය සාහිත්‍යය මගින් ඔහු ලබන ආභාෂය, කතා කලාව පෝෂණය කිරීමෙහිලා ඔහුගේ ඇති හැකියාව, නිර්මාණකරුවකු වශයෙන් ඔහු සතු උසස් පරිකල්පන ශක්තිය යන ප්‍රබන්ධකරණයට අවශ්‍ය සෑම අංග ලක්ෂණයක් ම ඉතා විශිෂ්ට ලෙස එම කෘතිය තුළ ඒකරාශි කිරීමට ඔහුට හැකියාව ලැබී තිබෙනව.

ජාතක පොත, සද්ධර්ම රත්නාවලියෙ භාෂා රීතිය, වගේ ම ගී ද මෝපසාං, චෙකොෆ්, එඩ්ගා ඇලන්ෆෝ වැනි මුල්කාලීන විශිෂ්ට කෙටිකතාකරුවන්ගෙ ශෛලියද කදිමට එකට එක්කිරීමට ඔහුට හැකියාව ලැබෙනව. ඒ හරහා නූතන කෙටිකතාවට නවමු හැඩයක් ලබාදෙනව. ජී.බී. සේනානායකයන්ගෙ “දුප්පතුන් නැති ලෝකය” කෙටිකතාවේ හැඩය හඳුනා ගැනීමට පරිශීලනය කළ හැකි වටිනා කෘතියක්.

එම කෘතියෙන් අනතුරුව ඔහු රචනා කරනු ලබන “පළිගැනීම” කෙටිකතා සංග්‍රහය ද ඔහුගේ පරිකල්පන ශක්තිය මැනවින් පෙන්වා දෙනු ලබන කෙටි කතා සංග්‍රහයක්. “නිධානය” වැනි ඉතා කෙටි කෙටිකතාවක් හරහා ඔහු නිර්මාණය කරනු ලබන පරිසරය ඉතා පුළුල්. ඉතා සංක්ෂිප්ත කතා සමූහයක් හමුවන එම කෙටිකතා සංග්‍රහය තුළ අඩු වචන ප්‍රමාණයකින් වැඩි ධාරණාවක් බිහිකරන්නේ ‍කෙසේද? යන්න පැහැදිලිව පෙන්වා දෙනව. එහෙත් ඔහු රචනා කරනු ලබන පසුකාලීන කෙටිකතා එතරම් සාර්ථකයැයි පවසන්න බැහැ. “මිතුරිය” කෙටිකතා සංග්‍රහය පළවන කාලය වන විට ඔහු අවබෝධ කොට ගෙන සිටි දෙයක් තමයි පැරණි ශෛලිය කෙටිකතාවට වඩා නව කතාවට වඩාත් උචිත බව.

ඒ නිසා ඒ යුගය වන විට ඔහු, ඔහුටම ආවේණික කතා රටාවක් නිර්මාණය කොට ගෙන තිබුණා. ඔහු එම නිර්මාණ කෙරුවෙ සාමාන්‍ය මධ්‍යම පන්තික ගෙදරකට කොටුවෙලා. ඔහුගේ ලෝකය වුණෙ ඔහු ජීවත් වූ කාමරය පමණයි. ඒ නිසා “මිතුරිය” වැනි කෙටිකතා සංග්‍රහයක් තුළ සුළු සිදුවීමකින් ප්‍රබල කතාවක් ගොඩ නැංවිය හැකි බවට සාධක ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඔහු පරිකල්පන ශක්ති හරහා බොහෝ දේ නිර්මාණය කළත් ඒව බොහෝවිට යථාර්ථය සමඟ ගැළපුනේ නැහැ. එහෙත් ඔහුගේ සියුම් ශිල්පීය ලක්ෂණ තවමත් සැඟවී ඇති බවයි මගේ හැඟීම.

නවකතාකරුවකු වශයෙන් ජී.බී. සේනානායකයන් ගේ වටිනාකම කුමක් ද?

සිංහල නවකතාවේ පෙරළියක් ඇති කිරීමට ඔහුට හැකියාවක් ලැබුණා. සැබවින් ම සිංහල නවකතා ගමන් ම‍ඟෙහි දිශානතිය වෙනස් කරන ලද නිර්මාණකරුවකු වශයෙන් අපිට ඔහු හඳුනා ගන්න පුළුවන්. ඔහුගෙ මුල් කාලීන නවකතා ත්‍රිත්වය වන චාරුමුඛ, වරදත්ත, මේධා යන නවකතා සිංහල නවකතා කතාව තුළ හමුවන ඉතා විශිෂ්ට ම නවකතා ත්‍රිත්වයක්. ඒ නවකතා තුන හරහා ඔහු පළ කරන ලද ප්‍රතිභාව අංශ කිහිපයක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. මුල්ම කරුණ තමයි එම නවකතාවන්ට ප්‍රස්තුත වුණ විෂය. එය බුද්ධකාලීන සමාජය ද ඉක්මවා ඈතට ගමන් කරනව. මෙවැනි සමාජ පරිසරයක් වෙනත් කිසිදු නවකතාකරුවකු අත බිහිවුණේ නැහැ. ඔවුන් හැම දෙනෙකුටම වාගේ ගෝචර නොවුණු පැරණි භාරතීය සමාජ පසුබිම ජී.බී. සේනානායකයන් අත නිර්මාණය වූයේ ඉතා විදග්ධ ලෙස.

අතීත සමාජය ඔස්සේ ඒ කෘති රචනා වූවත් වර්තමාන සමාජ විග්‍රහයට හා විවරණයට ද ඒ කෘති හරහා ලැබෙන සහය ඉතා විශාලයි. දෙවන ලක්ෂණය නම් චරිත නිරූපණය. එකිනෙක චරිතයන්ගේ ගති සොබාවන්, ඔවුන්ගේ අභ්‍යන්තර සිතුවිලි සමුදායන්, මානසික තත්වයන්, මේ හැම එකක් ම කිසිදු අඩුවක් නො තබා නිරූපණය කිරීමට ඔහු දක්වා ඇති කුසලතාවය ප්‍රශංසනීයයි. චරිතයන් ගේ අභ්‍යන්තර ගති ලක්ෂණ මෙතරම් සූක්ෂමව රචනා කරන ලද වෙනත් නවකතාවක් නොමැති තරම්. තුන්වන ලක්ෂණය නම් එහිදි ඔහු යොදා ගනු ලබන භාෂාව. සම්භාව්‍ය සාහිත්‍යය හරහා ඔහු ලබා තිබෙන ආභාසය මෙහි මොනවට පැහැදිලි වෙනව. අනික් කාරණය තමයි ආකෘතිය. මෙයට දැක්විය හැකි හොඳම නිදසුන තමයි “වරදත්ත” නවකතාව.

ඔහු සිය නවකතා තුනෙහි විස්තර කරන ලද අශ්ව කරත්ත අද විවිධ වර්ගයේ වාහනවෙලා. ඔහු නිර්මාණය කරපු දැසි දසුන් අදත් ඉන්නව. මිනිස්සුන්ගෙ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තරගය මේ හැම එකක් ම බුද්ධකාලීන සමාජයට වගේ ම අදටත් වලංගුයි. ඒ නිසා ඔහුගෙ ඒ නවකතා තුන ඕනෑම යුගයකට, ඕනෑම මනුෂ්‍ය කොට්ඨාසයකට පොදු සර්වකාලීන අගයකින් යුත් කෘති තුනක්.

ඔබ එසේ ප්‍රකාශ කළත් මේ කෘති සඳහා නිසි ඇගයුමක් කිසිදින නොලැබුණු බව මගේ හැඟීමයි.

එහි සත්‍යයක් තියෙනව. මෙම කෘති නිසියාකාර ඇගයුමකට ලක්වුණේ නැහැ. ඔහුගේ කෘති නියමාකාරව අවබෝධ කරගන්නට විචාරකයන්ට වුවමනාවක් තිබුණෙ නැහැ. මෙයට මුල්වූ හේතු සාධක කිහිපයක් තිබෙනව. ඉන් පළමුවැන්න තමයි ඔහු කිසිදා කිසි විට කිසිම කෙනෙක්ගෙ පස්සෙ නොයාම. ඔහුගෙ කාර්ය වුණෙ නිර්මාණකරණය පමණයි.

ඒ සම්බන්ධව එක එක්කෙනා පස්සෙ ගිහින් විචාර ලියවා ගන්නට ඔහුට වුවමනා වුණේ නැහැ. ඔහු අදීන ලේඛකයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සැබෑ නිර්මාණකරුවෙක්. ඒ නිසා එකිනෙකා පසු පස යාමේ සම්ප්‍රදායක් ඔහුගෙ තිබුණෙ නැහැ. එය ලංකාවට ගැළපෙන ක්‍රමයක් නොවන නිසා විචාරකයන් අත මෙම කෘති සැබෑ ලෙස විචාරයට බඳුන් වුණේ නැහැ. දෙවන කරුණ තමයි සාහිත්‍ය කල්ලිවාදය පේරාදෙණිය ගුරුකුලය, හෙළ හවුල ඇතුළු තවත් විවිධ සාහිත්‍ය කල්ලිවාදයන්ගෙ අදහස් වලට මේ කෘතිවල විශිෂ්ටත්වය පෙනී ගියෙ නැහැ. ඔවුන් බොහෝවිට බැලුවෙ තමන්ගෙ කල්ලියෙ අදහස් තියෙනවද කියල විතරයි. නිර්මාණය ගැන අවධානය යොමු කළේ නැහැ. ජී.බී. සේනානායක කියන්නෙ ශාස්ත්‍රාලයකින් බිහිවූ නිර්මාණකරුවකු නොවීම ද මෙයට බලපෑ එක් හේතුවක් ‍වෙන්න ඇති. මේ තත්ත්වය ඔහු ද අවබෝධ කගෙන තිබුණා.

නිර්මාණ සාහිත්‍යයට අමතරව ජී.බී. සේනානායක විසින් රචනා කරන ලද සාහිත්‍ය විචාර ග්‍රන්ථ පිළිබඳව ඔ‍බගේ අදහස කුමක් ද?

නවකතා කලාව, සාහිත්‍ය සේසත්, බටහිර ශ්‍රේෂ්ඨ නවකතා, සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය දර්න සිතුවිලි මේ මොන කෘතිය ගත්තත් ඒ හරහා නූතන සාහිත්‍ය ක්ෂේත්‍රයට එවැනි කෘති තුළින් විශාල ආලෝකයක් ලැබුණා. නවකතා කලාව කෘතිය තුළ නවකතාව බටහිරට පමණක් නොව චුල්ල සෙට්ඨි ජාතකයට පවා සම්බන්ධ කොට තිබෙනවා. සාහිත්‍යය කෘතියක කලාත්මක පක්ෂය, එහි ශිල්පීය පක්ෂය, සාහිත්‍යය හා සමාජය අතර පවතින සම්බන්ධතාවය, විවිධ සාහිත්‍ය ප්‍රයෝග, මතවාද, රීතින්, උසස් සාහිත්‍ය කෘතියක් හඳුනාගන්නේ කෙසේ ද? යනාදිය සෑම අංශයක් ම ආවරණය වන පරිදි මේ කෘති නිර්මාණය වී තිබෙනව. එපමණක් නොවේ “විනි විඳිමි අඳුර”, “මගේ සිතුම් පැතුම්” වැනි නිර්මාණ හරහා ද ළඟා කර ගත හැකි දැනුම් සම්භාරය අප්‍රමාණයි.

සේනානායකගේ “රූබයියාට්” පරිවර්තනය පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

කාව්‍ය පරිවර්තනය තුළ ඒ පරිවර්තනය ඉතා වැදගත් ස්ථානයක් ගන්නව. එවැනි කාව්‍යයක් පරිවර්තනය කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් එය සාර්ථකව පරිවර්තනය කිරීමට ඔහු සමත් වුණා. නිදහස් කාව්‍ය සම්ප්‍රදාය තවදුරටත් පෝෂණය කරමින් ඔහු එය බුද්ධි ගෝචර රටාවකට පෙළ ගැස්වුවා. ඒ කෘතිය ම මඩවල එස්. රත්නායක පසුව පරිවර්තනය කළා. ඔහුට ද මුල් වුණේ ජී.බී. සේනානායක කෘතියයි. එහෙත් මේ පරිවර්තන දෙකෙහි පැහැදිලි වෙනස් කමක් තියෙනව. මඩවලගෙ පරිවර්තනය ශ්‍රව්‍ය ගෝචරයි. එය තාලයකට ගායනා කළ හැකියි. එහෙත් සේනානායකගෙ පරිවර්තනය බුද්ධි ගෝචරයි. එය කියවිය යුත්තෙ මනසින්. මනසින් කියවා බුද්ධිගෝචරව එය අවබෝධ කර ගත යුතුයි. මේ පරිවර්තනය එකල තරුණයන් අතර ඉතා ම ජනප්‍රිය වුණා. අද පවා මෙවැනි කෘති පරිශීලනය කරනව නම් අපගේ රසඥතාවය, සාහිත්‍ය පිළිබඳ ඇති ඇල්ම තව තවත් වැඩි දියුණු වෙනව. නමුත් බොහෝ දෙනෙක් මෙවැනි කෘති තියෙනවාදවත් දන්නෙ නැහැ.

මා අන්ධ වී කොරවී සිටින හෙයින් අඩි දෙක තුනක් වත් යන්ට මට අනුන්ගේ උපකාරය වුවමනා ය. එහෙත් නවකතාවක්, කෙටිකතාවක්, කවියක් ලියන කල මම පාඨකයාගේ අත අල්ලාගෙන ඉදිරියෙන් යමි. මෙයින් මට මහත් සතුටක් ලැබේ. මේ සතුට පාඨකයා ලබන සතුට මෙන් සිය ගුණයකි.

– ජී. බී. සේනානායක

පරිකල්පනය මත පමණක් රැඳුණු ලේඛකයෙක්

ඇරැව්වල නන්දිමිත්‍ර

කෙටිකතාව

ජී.බී.සේනානායක කියන්නෙ අප අතර පහළවෙච්ච ඉතා වටිනා ඒ වගේම ඉතා ශූර ලේඛකයෙක්. ඒ බව ඔහුගෙ සෑම නිර්මාණයක් ම පාහේ සාක්ෂි දරනවා. ඒ අතරත් ඔහුගේ කෙටිකතා සුවිශේෂයි. ඒ හැම කෙටිකතාවක් ම ඉතා සියුම් ව ගෙත්තම් කර තිබෙනවා පමණක් නොවේ ඒ හැම කතාවක් ම අපේ හදවතට ඉතා තදින් දැනෙනවා. ඇත්තට ම කෙටිකතා කලාව කලාත්මක ව ගොඩනඟන ලද ලේඛකයන් අතර ජී.බී.සේනානායක හට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්. ජී.බී.ගේ කෙටිකතා කලාව හා අනිකුත් ප්‍රබන්ධයන් සම්පූර්ණයෙන් ම වගෙ බිහිවෙලා තියෙන්නෙ පරිකල්පනය මත පමණයි.

අනිකුත් සාහිත්‍යධරයන් සමාජය ඇසුරෙන් ඔවුනට ලැබුණු අත්දැකීම් අනුසාරයෙන් තමන් ගේ පරිකල්පනයත් සමඟ කතා නිර්මාණය කළාට ජී.බී. ගෙ කතා කලාව තුළ ඔහු සමාජය ඇසුරෙන් ළඟා කරගත් අත්දැකීම් විශාල වශයෙන් ප්‍රතිනිර්මාණය වී නැහැ. එය ඉතා සුවිශේෂී ලක්ෂණයක්. ජී.බී.ගෙ නිර්මාණාත්මක පරිකල්පන ශක්තිය ඉතා ඉහළයි. පරිකල්පනය මත පමණක් රැඳී සාහිත්‍ය නිර්මාණ ඉදිරිපත් කිරීමේ ශක්තිය ඔහුට තරම් කාටවත් තිබුණේ නැහැ. ඒ වගේ ම ඒ හැම කතාවක් ම සාර්ථක වුණා.

උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔහුගේ ඉතා සාර්ථක කෙටිකතා සංග්‍රහයක් වන “දුප්පතුන් නැති ලෝකය” ගත හැකියි. එමෙන් ම “පළිගැනීම” කෙටිකතා සංග්‍රහය ඇතුළු අනෙක් සෑම කෙටිකතා සංග්‍රහයක ම කෙටිකතාවක් සතුවිය යුතු සෑම අංග ලක්ෂණයක්ම ඉතා නිර්මාණාත්මකව ගොඩනඟා තිබුණා. සැබැවින් ම ජී.බී.සේනානායකයන්ට අවශ්‍ය වුණේ තමන්ට ප්‍රකාශ කිරීමට අවශ්‍ය දේ ඉතා සරල ව ප්‍රකාශ කොට ඒ හරහා ගැඹුරු සාහිත්‍යමය සංවාදයක යෙදෙන්නයි. ඒ සඳහා විධි ක්‍රමයක් වශයෙන් ඔහු භාවිතා කළේ ඉතා කෙටි වැකි පමණයි. කිසිවිට අනවශ්‍ය දීර්ඝ වැකි ලිවීමට ඔහු යොමු වුණේ නැහැ. ඉතා කෙටි වැකි ඇසුරින් ප්‍රබල චිත්තරූප මැවීමට ඔහු යොමු වෙනවා. එම ප්‍රබල චිත්තරූප හරහා චරිතයන්ගේ අභ්‍යන්තරික මනෝභාවයක් ඉතා සාර්ථකවත්, සියුම්වත් ගොඩනඟනවා.

ඔහුගෙ කෙටිකතා තුළ හමුවන සෑම චරිතයක් ම එවැනි ලක්ෂණවලින් පරිපූර්ණයි. ළමා මනස ළමා ලෙස දැකීමටත්, වැඩිහිටි මනස වැඩිහිටි ලෙස දැකීමටත් ඔහු දක්වන ප්‍රතිභාව ඉතා විශිෂ්ටයි. ඒ බොහෝ චරිත ඔහු අත්දැකීමෙන් නිර්මාණය කරනු ලබන චරිත නොවේ. මුළුමනින් ම පරිකල්පනය හරහා බිහිකරන චරිත මාර්ටින් වික්‍රමසිංහයන්, කේ.ජයතිලක, ගුණදාස අමරසේකර වැනි විශිෂ්ට සාහිත්‍යධරයන්ට ගම ගැන ලිවීමේ දී ගම හා බැඳුණු අත්දැකීම් සමුදායක් තිබුණත් ජී.බී.සේනානායකයන්ට එවැනි අත්දැකීම් තිබුණේ නැහැ. එහෙත් ඔහු ගම ගැන කරන විස්තරයක් පවා යථාර්ථවාදියි. මේ සඳහා ඔහුට ඔහු පරිශීලනය කරන ලද පොත පත වගේම ගී ද මෝපසාං, ඇන්ටන් චෙකොෆ් වැනි කෙටිකතා කලාවෙහි පුරෝගාමීන්ගෙන් ලැබී තිබෙන ආභාසය ඉතා විශාලයි.

ඔහු වරෙක ප්‍රකාශ කොට තිබෙනවා සද්ධර්ම රත්නාවලිය හා මෝපසාංගෙ “මාලය” නැමැති කෙටිකතාව තමයි ඔහුට කෙටිකතාවක් වෙනත් කතාවකින් වෙනස් වෙන්නෙ කොහොමද? කියන ලක්ෂණය පැහැදිලිව අවබෝධ කරදුන්නෙ කියල. මෙයින් පැහැදිලිව පෙනී යනව සම්භාව්‍ය සාහිත්‍යයත් ජගත් සාහිත්‍යයත් ඔහු කොතරම් දුරට අධ්‍යයනය කොට ඇත් ද යන වග. එය ප්‍රබන්ධකරණයෙහි නියැළෙන්නකුට ඉතා අවශ්‍ය දෙයක්. එහෙත් අද එවැනි ලක්ෂණයක් දක්නට නැහැ. ජී. බී.සේනානායක සතුව සම්භාව්‍ය සාහිත්‍යයත්, විශ්ව සාහිත්‍යයත් යන ලක්ෂණ දෙක ම එක හා සමානව පිහිටා තිබුණ ද ඒ කිසිවකටත් වහල් වුණේ නැහැ. ඔහු විවිධ සාහිත්‍ය සම්ප්‍රදායන් ඇසුරෙන් උකහාගත් දැනුම භාවිතා කොට ඔපමට්ටම් කරන ලද කතා විශේෂයක් නිර්මාණය කොටගත්ත. ඒ නිසා එහි ඔහුට ම හිමි අනන්‍යතාවක් රැඳී තියෙනවා. එය පැහැදිලිව හඳුනාගත හැකි ප්‍රධාන ක්‍ෂේත්‍රය තමයි ඔහුගේ කෙටිකතා.

ජී. බී.සේනානායක ගෙ කෙටිකතා තුළ පැහැදිලිව හඳුනාගත හැකි තවත් ලක්ෂණයක් තමයි එම කතා බොහෝවිට ප්‍රමාණයෙන් ද කුඩා වීම. ඔහු සිය රචනා ශෛලිය ලෙස කෙටි වැකි නිර්මාණය කරනවා සේ ම එම කතා ද ප්‍රමාණයෙන් ඉතා කුඩා කතාන්තර. නමුත් ඒ කතා තුළ සැඟවිලා තියෙන ප්‍රවෘත්තිය ඉතා පුළුල්. උදාහරණක් වශයෙන් ඔහුගෙ කෙටිකතාවක් වන “මසුන් මරන්නන් දෙදෙනා” කෙටිකතාව ගත හැකියි. ඒ වගේම “පළිගැනීම” කෙටිකතා සංග්‍රහයේ එන “නිධානය” කෙටිකතාව ද දැක්විය හැකියි. එම කතාවස්තුව පදනම් කොටගෙන බිහිවූ චිත්‍රපටයක් වන “නිධානය” ජී.බී.සේනානායකගෙ කෙටිකතා තුළ ගැබ්වන පුළුල් සමාජ කතිකාව කදිමට නිරූපණය කරන කැඩපතක්. මෙවැනි ශිල්පීය නිපුණතා පිහිටනුයේ ඉතා අඩුවෙන්. ජී. බී.සේනානායක යනු එම ශිල්පීය නිපුණතා ස්වාධ්‍යයෙන්ම ගොඩනඟාගත්, වර්ධනය කරගත් අති විශිෂ්ට කෙටිකතාකරුවෙක්. ඔහු අපට පමණක් නොව ඉදිරි පරම්පරාවට ද ආදර්ශයක් ගත හැකි අදීන කෙටිකතාකරුවෙක්. රමණීය නිර්මාණ බිහිකරන ලද සැබෑ නිර්මාණකරුවෙක්.

ජී. බී. ගෙ නවකතාවල චරිත අදත් අපට හමුවෙනවා

කැත්ලින් ජයවර්ධන

නවකතාව

මා වඩාත් ම ප්‍රිය කරන දේශීය නවකතාකරුවා කවුද කියා යමෙක් මගෙන් ඇසුවොත් ඊට සෘජුව පිළිතුරු සැපයීම තරමක් අපහසුයි. ඒත් ආසන්න වශයෙන් නම් මම කියන්නෙ ඒ, ජී.බී.සේනානායක කියලයි. කුඩා කාලයේ නැත්නම් නවකතා කියවන්න යොමුවුණු මුල් කාලයේ දී නම් මගේ උත්තරය සමහර විට මෙය නොවෙන්නත් ඉඩ තිබුණා. ජී.බී.සේනානායකයන්ගෙ නවකතා ඓතිහාසික නවකතා හැටියටයි සමහරු හඳුන්වන්නෙ. ඒත් ඊට වැඩියෙන් ඒවා මනෝවිද්‍යාත්මක නවකතා හැටියටයි මං දකින්නෙ. නවකතාව වර්ගීකරණය කරන්න නං මං ඒ තරම් කැමැති නැහැ. ඒත් ජී.බී.සේනානායකගෙ නවකතා තුළ දකින්න ලැබෙන අපූර්වාකාරයේ මනෝ විශ්ලේෂණය හා ඒ අපූර්වත්වය ගැන ලංකාවේ විචාරකයන්ගේ අවධානය යොමු නොවීම නම් මට සැලකිය යුතු ප්‍රශ්නයක්. නවකතාකරුවකු වශයෙන් ලංකාවේ වැඩියෙන්ම අසාධාරණයට ලක් වුණ චරිතය ජී.බී.සේනානායකයි කියල මට හිතෙන්නෙ.

කාල, දේශ සීමා අතික්‍රමණය කරන ඔහුගේ නවකතා ලෝක සාහිත්‍යයට එක්විය යුතු සිංහල නවකතා නාමාවලියේ ඉදිරියෙන්ම තිබිය යුතු ඒවා හැටියටයි මා නම් දකින්නෙ. නවකතාවට නිර්වචන සපයන්න අමාරුයි. නවකතාවක නවකතා ලක්ෂණ සාක්ෂාත් කරගන්නෙ එය කියවන සහෘද පාඨකයාමයි. නව කතාවක් තුළ දියවී යන්නට පාඨකයාට හැකිවන්නෙ එය ප්‍රශස්ත නවකතා වක් නම් පමණයි. මේ දියවී යාම සිදුවන්නෙ පාඨකයාගේ මමායනයේයි. නවකතාවේ ප්‍රබල චරිතයක් ඔහුට ආරූඪ වීමක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. ජී.බී.සේනානායකයන්ගේ “මේධා” වැනි නවකතාවක් කියවන පාඨකයාට මේ තත්ත්වය ඉතා ගැඹුරින් අත්විඳිය හැකි යැයි මා විශ්වාස කරනව.

සහජයෙන් ම යහපත් වූ පුද්ගලයකුගේත්, යහපත් වීමට යත්න දරන ක්‍රෑර පුද්ගලයකුගේත් අභ්‍යන්තර ස්වභාවය, මානසික ගැටුම එහි ඉතා අපූර්වාකාරයෙන් නිරූපිතයි. මේ හපන්කම මේ ආකාරයෙන් කළ හැකි වූ නවකතාකරුවන් අතලොස්සයි අපට සිටින්නෙ. මෙතැනදී පෙරමුණේම රැඳෙන්නෙ ජී.බී.සේනානායකයන්. ඔහුගේ “මේධා” “වරදත්ත” “චාරුමුඛ” නවකතා සියල්ලෙහිම මේ ලක්ෂණය අඩු වැඩි වශයෙන් දැකිය හැකියි. මගේ අදහසේ හැටියට නම් දශක ගණනාවකට පෙර මිනිසා නිරුවත් කළ නවකතාකරුවා ඔහුයි. මේ නිරාවරණය ඔහු සිදු කළේ සළුපිළි මුදාහැරීමෙන් නොවෙයි. මිනිස් ආත්මය එළියට ගැනීමෙන්.

ජී.බී.සේනානායකයන්ගෙ නවකතා බොහොමයකට පසුබිම් වන්නෙ බුද්ධ කාලයටත් පෙර යුගයක් බවට ඉඟි සැපයෙනවා. ඒත් මේ කිසිවක ආගන්තුක ස්වභාවයක් අපට නොදැනෙන්නේ ඇයි? ඔහුගේ පරිකල්පන කුසලතාව ඒ තරමටම ඉහළයි. තවත් පැත්තකින් බැලුවොත් අවුරුදු 2500 කට ඉහත යුගයේ ජීවත්වූයෙත් තව අවුරුදු 2500කින් පසුව ජීවත් වන්නෙත් එක ම මිනිසායි. මොන මොන වෙනස්කම් තිබුණත් මිනිසාගේ අභ්‍යන්තර ස්වභාවය එකයි. ඔහුගේ දුක, වේදනාව, සතුට, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි හැඟීම්වලට කාලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මේ හැඟීම්, දැනීම් සර්වකාලීනයි. ජී.බී.සේනානායකයන්ගෙ නවකතාවල චරිත අදත් අපට හමුවෙනව. හෙටත් ඔවුන් මුණගැහේවි. ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙ හතර දිග්භාගයේදීම අපට මුණගැහෙන්නෙ මේ එකම මිනිසාමයි.

ප්‍රසිද්ධිය, කීර්තිය හඹා නොගිය ජී.බී.සේනානායකයන් වරක් තමා සමඟ සම්මුඛ සාකච්ඡාවකට පැමිණි මාධ්‍යවේදී ගුණදාස ලියනගේ මහතා ආපසු හරවා යැවූ බවත් මා අසා තියෙනවා. ලාබයට, ලේසියට, පහසුවට සම්මුඛ සාකච්ඡා නොදෙන ලේඛකයකුගේ අභිමානයයි, එහිදී ඔහු ප්‍රකට කළේ. මේ නිර්ව්‍යාජත්වයේ දෝංකාරය, ඔහුගේ නවකතා තුළින් ප්‍රතිරාව නංවන්නේ. ලංකාව කියන්නෙ හුඟක් සම්පත් අපතේ යැවූ රටක්. සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ එසේ අපතේ යැවූ සම්පතක් ලෙස මා දකින්නෙ ජී.බී.සේනානායකයි.

ජී.බී.සේනානායකයන්ගෙ ස්වයං කථනයක් ලෙස එළිදැක ඇති “මම එදා සහ අද” කෘතියේ ඔහු අවධාරණය කරන එක දෙයක් මෙහිදී මට මතක් වෙනවා. ලියෝ තොල්ස්තෝයි ගේ ”අඥඵභපපඥජබඪධද” නම් වූ නවකතාව තමාට කියවන්ට ලැබුණේ බාල වියෙහිදී බවත්, එහෙත් එදා එය තමන්ට රුචි නොවූ බවත් එහිදී ඔහු අවධාරණය කරනවා. මෙදා ඔහු ඒ සම්බන්ධයෙන් මෙවැනි සටහනක් ලියා තබනවා.

මම “දැන් ලොව මුලාවකි” යන දාර්ශනික මතය ගත්තෙක්මි. මේ මතය මා තුළ ස්ථිර වූයේ ටිකෙන් ටික ය. ඒ සමඟම මා අධ්‍යාත්මික ගුණ කෙරෙහි දක්වන සැලකිල්ල ද වැඩිවූවේය. ලියෝ තෝල්ස්තෝයි මුල සිටම අධ්‍යාත්මික ගුණ ගරු කළ එකකු සේ පෙනේ. ඔහුගේ මේ අධ්‍යාත්මික ගුණ ගරු කිරීමේ සිරිත වයසට යත්ම වැඩිවූවේය. (මම එදා සහ අද – 26 පිටුව)

නවකතාකරුවෙක් හැටියට ජී.බී.සේනානායකයන්ගේ අගය අද වඩාත් ප්‍රබල ලෙස අපට පෙනී යන්නේත් සමහර විට මේ හේතුව නිසා ම වෙන්න ඇති.

කවිබස හරහා ජී. බී. මවන වාග් චිත්‍රය ප්‍රබලයි

එරික් ඉලයප්පාරච්චි

කවිය

නිදහස් පද්‍යයේ ආරම්භකයා වශයෙන් ජී. බී.සේනානායකයන් සිදු කළ විප්ලවීය පරිවර්තනය එදාට වඩා ප්‍රතිඵල අත්කර දී ඇත්තෙ වර්තමානයෙ කියල අපට පැහැදිලි ව දකින්න පුළුවන්. නිදහස් පද්‍යයේ ආරම්භකයා වශයෙන් ජී. බී.සේනානායක, ඒ කවි මඟ පෝෂණය කරන ලද සිරි ගුණසිංහයන්ටත් වඩා විශාල කාර්යභාරයක් සිදුකළා. නිදහස් පද්‍ය හරහා ඔහු එතෙක් පැවති කාව්‍ය ආකෘතිය මෙන්ම කාව්‍ය සංකල්පනා එතෙක් ස්පර්ශ නොකරන ලද ඉසව් කරා ගෙන ගියා. ඒ හරහා එතෙක් කල් එක තැන සිරවී තිබූ කවිය ඉතා පුළුල් ක්‍ෂේත්‍රයක් දක්වා විහිද ගියා. පොදුවේ බැලුවහොත් කලාත්මක භාවය කියන එක සවිඥානිකව නූතන සාහිත්‍යයට ඇතුළු කළේ ජී.බී.සේනානායකයන්. නිදහස් කාව්‍ය සම්ප්‍රදාය එහි ඉහළ ජයග්‍රහණයක්. පැරණි සාහිත්‍යය කලාත්මක බව උදෙසා කරන ලද දෙයක් නෙමේ. කලාත්මක බව එහි අවශේෂ ලක්ෂණයක් පමණයි.

උදාහරණයක් වශයෙන් ස්වදේශ කාව්‍යය ගත හැකියි. හැම සන්දේශ කාව්‍යයක් ම රචනා වුණේ යම්කිසි මුඛ්‍ය පරමාර්ථයක් ඉෂ්ට කරගැනීම සඳහා බව අපට එම කාව්‍ය පරිශීලනය කිරීමේදී පැහැදිලිව පෙනී යන ලක්ෂණයක්. එක්කෝ පිහිටක් පතාගෙන, එසේ නොමැතිනම් වෙනත් වෙනත් හේතූ®න් මත. මේ නිසා සිදුවූයේ වැඩවසම් යුගය තුළ කාව්‍ය උපදේශනය සඳහා ය. කලාව කිසියම් පිහිටක් ලබාගැනීම සඳහා ය, යන එකිනෙක සීමා තුළ සිරවීමයි. ඉන් අනතුරුව කලාව ක්‍රම ක්‍රමයෙන් විවිධ අංශවලට පැතිරී යාමට පටන් ගත්ත. එහිදී කලාව ජනතාව සඳහා ය යන මතවාදය ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා. එහෙත් එම වැඩවසම් රාමුවෙන් කවිය මුදා කලාව කලාව සඳහා ය යන මතවාදය තුළ රැඳවීමට ජී.බී.සේනානායකයන් උනන්දු වෙනව.

පොදුවේ තම සමස්ත සාහිත්‍ය සම්ප්‍රදායම ඒ වෙනුවෙන් කේන්ද්‍රගත කරනු ලබනවා. එපමණක් නොවෙයි සාහිත්‍යය තුළ විශද වන කලාත්මක බව දෘෂ්ටිවාදයක් හැටියට ද තහවුරු කරනු ලැබුවේ ජී.බී.සේනානායකයන්. එහිදී ඔහු කලාත්මක බවින් යුක්ත වූ ආගමික සාහිත්‍යය ඛන්ඩනය කොට කවිය සඳහා නව ආකෘතියක් ගොඩනඟනව. මෙහිදී ඔහු කිසි විටෙකත් පැරණි සාහිත්‍යය හරහා ගොඩනැඟුණු වියත් බස බිඳීන්න යන්නෙ නැහැ. ඔහු බිඳින්නෙ ආකෘතිය පමණයි. නව ආකෘතියක් ඇසුරෙහි වියත් බස හරහා නවමු කාව්‍ය සංකල්පනා බිහි කිරීමට ඔහු උනන්දු වෙනවා. එය ඉතා සාර්ථක, නිර්මාණාත්මක ව්‍යායාමයක් බවට ද පත්වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් කවිය බිහිවෙනවා. එම කාව්‍ය සම්ප්‍රදාය බිහිවීමත් සමඟම ඒ හරහා නූතනවාදය ද අපගේ කාව්‍යකරණයට ඇතුළු වෙනවා. මේ අනුව නූතනවාදය කවියට හඳුන්වා දුන් ප්‍රථම පුද්ගලයා වශයෙන් මෙන් ම, නිර්මාණකරුවකු වශයෙන් ද, කවියකු වශයෙන් ද අනිත් සියලු ම නිර්මාණකරුවන් අබිබවා සිටීමේ හැකියාවක් ජී.බී.සේනානායකයන් සතු වෙනව.

නිදහස් පද්‍ය හරහා ඔහු බිහිකරන ලද නව කාව්‍ය සම්ප්‍රදායෙහි ඉතා වැදගත් ම ලක්ෂණය වූයේ කාව්‍ය සංකල්පනාවයි. නිදහස් පද්‍ය බිහිවීමට පෙර පැවති යුගයෙහි කවිය තුළ දක්නට ලැබුණු ප්‍රධාන ලක්ෂණය වූයේ එහි සංකල්පනාව ද්විතියික තත්ත්වයකට පත්වී ආකෘතිය පෙරමුණට පැමිණීමයි. එනම් තෝරාගත් නිශ්චිත ආකෘතියක් තුළට වචන ගැළපීමයි. එහෙත් ජී.බී.සේනානායකයන් ගෙ නිදහස් කාව්‍ය සම්ප්‍රදාය තුළ මූලික වූයේ කාව්‍ය සංකල්පනාව මිස ආකෘතිය නොවේ. කාව්‍ය සංකල්පනාව පොහොසත් කිරීම සඳහා අවශ්‍ය ආකෘතිය පමණයි ඔහු අත බිහිවූයේ. මෙය කවියා ලබපු විශාල ජග්‍රහණයක්. විශාල චින්තනයක්. ඔහුගේ “දෙවියන් මැරීම” වැනි කාව්‍යයක් ඉතා ගැඹුරු දාර්ශනික සත්තාවක් ඉදිරිපත් කරන කාව්‍ය සංකල්පනාවක්. එමෙන්ම නූතනවාදී ලක්ෂණ මුල් කොටගත් “පළිගැනීම” කෘතියෙහි හමුවන “නිශ්ශබ්දතාවය” වැනි කාව්‍ය සංකල්පනා ඊට පෙර බිහිවී තිබූ කාව්‍ය සංකල්පනා නොවේ.

එමෙන් ම ඔහුගේ “දැල් කවුළුව“ කාව්‍ය සංග්‍රහය පුරා ද එවැනි නව කවි සංකල්පනා රාශියක් හමුවෙනවා. එහෙත් ඔහුගෙ අවසාන යුගයෙ බිහිවූ “විඳිමි” කාව්‍ය සංග්‍රහය එතරම් ප්‍රශස්ත ලක්ෂණ විද්‍යමාන කරන්නෙ නැහැ. ජී.බී.සේනානායකයන්ගෙ සකසාගත් වියත් කාව්‍ය බස හරහා ඔහු මැවීමට උත්සාහ කරනු ලබන වාග් චිත්‍රය ද ඉතා විශිෂ්ටයි. එහිදී ඔහු ගැඹුරු හැඟීමටත් වඩා මුල් තැන දෙන්නෙ අනුභූතිය වෙත. අනුභූතිය ප්‍රකාශ කිරීමෙහිලා වාග් චිත්‍රයට මුල් තැන දෙනවා මිස ආකෘතිය තුළ හැඟීම් දියකර හරින්නේ වත් හැඟීම් තුළ ආකෘතිය දියකර හරින්නේ වත් නැහැ. ඔහු හැම කවියක් හරහා ම ප්‍රක්ශේපණය කරන්නෙ කවිය තුළ වාග් චිත්‍රයට ඇති වැදගත්කමයි.

මේ නිසා ජී.බී.සේනානායකයන්ගෙ නිදහස් පද්‍ය තවමත් අපට නැවුම් සහගත වින්දනයක් ලබාදෙනව. එම වින්දනය පසුපස තිබෙන ප්‍රධාන සාධකය වන්නෙ ජී.බී.සේනානායකයන් කලාව කලාව සඳහාය යන මතවාදය තුළ කිසිදු ආකාරයක කොන්දේසියකින් තොරව පෙනී සිටීමෙයි. ජී.බී.සේනානායකයන්ගෙ නිදහස් පද්‍ය සම්ප්‍රදාය තුළ හමුවන නවමු සංකල්පනා ද, පිරිපහදු කරන ලද බස ද, ශක්තිමත් කාව්‍ය ආකෘතිය ද, පුළුල් චින්තනය ද නූතන කාව්‍යයේ අඩිතාලමයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: