Posted by: lrrp | April 25, 2014

දැඩිමුණ්ඩ දෙවියෝ

‘හඳුන් වනයේ විසූ හෙයින් ‘හඳුන් කුමාර’ නමින්ද, මාණික්‍ය භාණ්ඩාගාරයේ ආරක්‍ෂක කටයුතු භාරව සිටි හෙයින් ‘මැණික් බණ්ඩාර’ නමින්ද, සොළී පරදේසක්කාරයන් ලක්දිව බලයට පත්ව සිටි සමයේ ඔවුන් හා යුද්ධ කොට අල්ලා ගත් ප්‍රදේශ ආරක්‍ෂා කළ හෙයින් ‘උෟවේ බණ්ඩාර’ නමින්ද, ඇම්බැක්කේ මහ දේවාලයට අධිපති වීමෙන් ‘ඇම්බැක්කේ දේවතා බණ්ඩාර’ නමින්ද, ඇතෙකු පිට නැඟී සටන් වැද කිරුළ ගම්කන්ද දෙබෑකර සතුරු බළමුළු විනාශ කළ නිසා ‘කිරුළ බණ්ඩාර’ නමින්ද, කෙහෙල් පන්නල ග්‍රාමයට නුදුරින් මහ වනයේ අලුත් නුවරක් පිහිටූ වූ හෙයින් ‘අලුත්නුවර දේවතා බණ්ඩාර’ නමින්ද, වීදාගම ගම් වැසියන් පෙළමින් සිටි දුෂ්ට රදලයන් සන්තක පෙදෙස් ඔවුන්ගේ කෘෘර හස්තයෙන් මුදා සිය පාලනය යටතට ගත් නිසා ‘වීදාගම බණ්ඩාර’ නමින්ද, පත්තිනි දේවියගේ සළං නවගමුවට වැඩම වීමෙන් ‘නවගමු බණ්ඩාර’ නමින්ද ප්‍රසිද්ධ වූ, මළුවේ කිතුලට ඇන්න අලියා සැරයක් යවා මරා දෙනුන්ගේ කිරි ලේ කර පෙන්නා තෙද වරං බල වරං පෑ මහා බල පරාක්‍රම දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවනේ…

ලක්දිවට, බුද්ධ ශාසනයට විපතක් සිදුවන සෑම අවස්ථාවකදීම විවිධ ස්වරූපයන්ගෙන් පහළ වී රට ආරක්‍ෂා කිරීමට කැපවන දැඩි බලයකින් යුතු දෙවියකු ලෙස දැඩිමුණ්ඩ දෙවියන් ජනතා ප්‍රසාදයට පත්වී ඇත. දැඩි වූ සිතත්, කැරැලි ගැසුණු හිසකෙසත් නිසා දැඩිමුණ්ඩ නාමයෙන් හඳුන්වන එතුමන් පිළිබඳ කියැවෙන ඓතිහාසික කතා පුවත් කිහිපයකි.

ඔහු ලක්දිව යක්‍ෂ හා නාග ගෝත්‍ර දෙකටම අයිතිවාසිකම් කියන උරුමක්කාරයෙකි. යක්‍ෂ හා නාග වංස දෙක එකතුව බිහි වූ දරුවන් ද්වි වංසික හෙවත් දේව වංසිකයන් වන බව ජනශ්‍රැතියේ සඳහන් නිසා දැඩිමුණ්ඩ උපතින්ම දේව වංශිකයකු බව සඳහන් කළ හැකිය. යක්‍ෂ ගෝත්‍රිකයන්ට අධිපති වෙසමුණි (කුවේර) දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පුත්‍රයා වූ පූර්ණක නම් යක්‍ෂ සේනාධිපතිට දාව, එරන්දතී නම් නාග ගෝත්‍රික කන්‍යාවියගේ කුසින් තලගිරිකන්දේදී මොහු උපත ලැබීය. සිද්ධාර්ථ තාපසයාණන් නේරංජනා නදී තීරයේ ඇසතු බෝ රුක මුලදී සියලු කෙලෙසුන් නසා වෙසක් පුර පොහෝ දිනයේ බුදු බව සාක්‍ෂාත් කර ගනිද්දී වසවර්ති මාරයා ඇතුළු දස බිම්බරක් මාර සේනාව සමඟ ඇති වූ මාර යුද්ධයේදී බලවත් දෙවිවරුන් පවා බියේ පැන ගියහ. මෙබැව් දුටු කුවේරයන් තම මුනුබුරු වූ දැඩිමුණ්ඩයන් කැඳවා උන්වහන්සේ ආරක්‍ෂා කරන ලෙස දැන්වීය. කාශ්‍යප බුදුන්ගේ අවධියේ සිට ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල භක්තියෙන් යුතුවූ දැඩිමුණ්ඩ තනිවම හෝ සටන් කර සිද්ධාර්ථ බෝසතාණන් ආරක්‍ෂා කරමියි සිතා නොබියව රන් දුන්නක් ගෙන, සුදු වතින් සැරැසී මාර සේනවා සමඟ සටන් කර මහමෙර පර්වතය මුදුනේ වූ වසවර්ති මාරයාගේ විමානයද විනාශ කර දැමූ බව ගල කැප්පූ සැහැල්ලේ සඳහන් වේ.

බුදුන් තනි කර ලා
දෙවියන් ගියයි හැර ලා
දැඩි දෙවිඳු සිට ලා
යුද කරම් සැල කළේ වැඳ ලා
සිද්ධාර්ථ තවුසාණන් බුදු වූ පසු උන් වහන්සේට වැඳ වරම් ඉල්ලූ දැඩිමුණ්ඩට, ලක්දිව බුදු සසුන වසර පන්දහස් පන්සියයක් කල් රැක ගැනීමට වරම් දුන්නෙන් විෂ්ණු, වෙසමුණි, ශක්‍ර ආදී මහා දෙවිවරුන්ගෙන්ද වරම් ගෙන, ලක්දිවට එන අරමුණින් නැව් නැංගේය. නැව එන අතරමඟදී විශාල කුණාටුවකට හසුවිය. මහත් වෙහෙසින් මහා සාගරය තරණය කොට ලක්දිව දෙවුන්දරට (දෙවිනුරට) ගොඩ බැස දෙවුන්දරින් සීනිගමටත්, සීනිගමින් අලුත්නුවරටත් වැඩ උක් හේනක් දැක එය ගල් වෙන්න වරම් දී උග්ගල් අලුත් නුවර නමින් ප්‍රසිද්ධ කරවීය. දැඩිමුණ්ඩ වරම පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වන්නේ උග්ගල් අලුත්නුවරින් දඹදෙණි නුවරට ගොස් රාජගිරි ගල්ලෙන් ප්‍රදේශයේ දෙව් විමනක් කරවා නතර වූ බවය.

නැවැත සතර කෝරලයේ කිරුගන්දෙණියේ ගල්ලෙනට පැමිණි දැඩිමුණ්ඩ දෙවි යකුන්ගේ සහායෙන් විෂ්ණු දෙවියන් වෙනුවෙන් දෙවොලක් කරවූ බව ගලකැප්ප වූ සැහැල්ලේ සඳහන් වේ. වඩිග, බන්ගාලි, ගව්සිය, මලල, කොන්ගනී, කවුඩී, කාවේරී ආදී ලක්දිව සියලු දේශවලින් ගෙන්වූ යක්‍ෂ ගෝත්‍රිකයන් හට නොයෙකුත් කැවිලි පිදේනි දී එක් රැයකින් ගල කප්පවා දෙවොල කරවූ බව ජනශ්‍රැතියේ කියැවේ.

බන්ගලි ගවුසිය මල්ල රටේ යක්
පොන්නඩි ජාවක මල්ල රටේ යක්
කොන්ගනි කාවෙරි කවුඩි රටේ යක්
සිංහල දේසෙට ගෙන්වා හැම යක්
වඩා කැවුම් සහ කිරිබත් කැට කොට
කුඩා නොකරවී එක දෙක දෙන්නට
විඩාව හැර පුද කරන්න යකු හට
කඩා දමව් ගල අද රෑ සුන් කොට
අහසත් ගුගුරන පන්දු කෙළින සේ
පොළොවත් මිහිකත කම්පා වන සේ
දෙරණත් දෙදරා සෙණ හඬ විල සේ
බිඳලත් දැමු ගල පන්දු කෙළින සේ

මෙකල රාජ්‍ය විචාළ දඹදෙණි රජුට විරුද්ධ වූ තරුණ පිරිසක් කැරැලි ගසන්න විය. රජු එය මර්දනය කිරීම දැඩිමුණ්ඩට පැවැරීය. දැඩිමුණ්ඩ ඉතා ශූර ලෙස කැරැල්ල මැඬපවත්වා කැරැලිකරුවන් රජු ඉදිරියට පැමිණවීය. රජුගේ තීරණය වූයේ ඔවුන් සියල්ලම හිස ගසා මරා දමන ලෙසයි. නමුත් දැඩිමුණ්ඩ එය වළක්වා කැරැලිකාර තරුණයන්ට අභයදානය දී ඔවුන්ව දෙවනගලට ගෙන ගොස් එතැන් සිට රහලගල දක්වාත් රාස්සව කන්දේ සිට බතලේගල දක්වාත් කැලෑ කප්පවා හෙළිපෙහෙළි කොට ඇළ මාර්ග හරවා කුඹුරු කෙත්වතු අස්වද්දවා තරුණ ජවයෙන් රට ස්වයංපෝෂිත කරවීය. එහිදී උඩමළුව, පල්ලෙමළුව, උඩ වීදිය, පල්ලෙවීදිය, දික් වීදිය, කොට වීදිය ආදී හැට යාලක් කෙත් අස්වැද්ද වූ බව කියැවේ. තරුණයන්ගෙන් වැඩ ගනිද්දී නිතරම වේවැලක් අතින් ගෙන සිටි ඔහු කෘෂි කර්මාන්තය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් රටේ ජනතාවගේත්, රජුන් ඇතුළු ප්‍රභූන්ගේත් ප්‍රසාදයට ලක්වී සෙනෙවිරත්න අධිකාරම් ධුරයද හිමිවූ බව දැඩිමුණ්ඩ කන්නලව්වේ සඳහන් වේ.

එතැන් පටන් ලක්දිව ජනයා අතර දේවත්වයට පත්ව සබරගමු පළාත් ජනයාගේ විශේෂ ගරු බුහුමනට පාත්‍ර වන අතර මාවනැල්ලේ හිඟුල ආශි්‍රත අලුත්නුවර මහ දෙවොල දැඩිමුණ්ඩ දෙවියන් පුද ලබන ප්‍රධාන ස්ථානය වේ. මෙම දෙවියන්ගේ ආශීර්වාදය ලබන අනෙකුත් ප්‍රදේශ වන්නේ හිඟුල, මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව, බත්ලේගල, කෙහෙල්පන්නල, හෙම්මාතගම, රහලගල, කඩුගන්නාව ආදී ප්‍රදේශයි. කන්ද උඩරට රාජධානියේ නිලමේවරයකුගේ ඇඳුම් ආයිත්තම්වලින් සැරැසී සිටින දැඩිමුණ්ඩ දෙවියන් වේවැලක් හෝ සැරයටියක් සුරතින් දරා සැවුළාගේ පිටින් ගමන් වඩී.

තමන්ගෙන් පිහිට පතන සියලු නර වැසියන්ට පැමිණෙන්නා වූ අනවින, කොඩිවින දෝෂාන්ධකාරයන්ද, යක්‍ෂ, භූත, පිසාච, කුම්භාණ්ඩාදීන්ගේ උපද්‍රවයන්ද, තුන් ‍ෙදාසින් හටගත් දෝෂාන්ධකාරයන්ද මඟහරවා සර්වාරක්‍ෂාව ලබාදෙන අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් අනවින සොරසතුරුකම් කරනවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවද විශ්වාස කෙරේ.

කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
ජන සන්නිවේදන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: