ජේසු සමිඳුන්ගේ අත්තම්මා හෙවත් දේව මෑණියන්ගේ මාතා වූ ශා. ආනාතුමිය කිතුනු ජනතාව අතර බෙහෙවින් ප්‍රචලිත සන්තානම් මෑණියෝ යන ආදර නාමයෙනි. සන්තානම් මෑණියන් නමට කැප කළ දෙව්මැඳුරු රාශියක් මෙරට තිබුණ ද සන්තානම් පල්ලිය නමින් ප්රකටව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය අර්ධද්වීපයේකල්පිටිය පිහිටි සිද්ධස්ථානයයි. එහි වාර්ෂික මංගල උළෙල අගෝස්තු දෙවැනිදාට මෙවර යෙදී තිබේ.
තලවල ශා. ආනා සිද්ධස්ථානයේ ආරම්භය පිළිබඳව මුඛ පරම්පරාගතව පැවතෙන කතා දෙකක් තිබේ. 1867 නිකුත් වූ එවක පුත්තලම ආණ්ඩුවේ උප ඒජන්ත ඩබ්ලිව්. සී. මැක්රෙඞ් මහතාගේ වාර්තාවක් අනුව මෙම සිද්ධස්ථානයේ ආරම්භය 17 වැනි සියවස තරම් ඈතට දිවෙන්නකි. ඒ අනුව පෘතුගීසි ජාතිකයෙක් මෙම වෙරළ තීරයේ ගිමන් නිවා ගනු පිණිස ඇවිද යමින් සිටියදී වෙහෙසට පත්ව තලවිල වත්මන් සිද්ධස්ථානය අසල විසල් රුකක් යට සැතපී ඇත. එම රුක මුල දැල්වෙන ඉටි පහන් දෙකක් මැද ප්‍රතිමාවක් තිබෙනු ඔහු සිහිනයෙන් දුටුවේය. අවදිව බලන විට ප්‍රතිමාව එතැන තිබිණි. පුදුමයට පත් ඔහු වහා දණ ගසා යදින්නට වූ අතර සන්තානම් මෑණියන් ඔහුට දර්ශනය වී එය තම ප්‍රතිමාව බවත් එම ස්ථානයේ දෙව්මැඳුරක් තනවා ප්‍රතිමාව එහි වැඩමවන ලෙසත් දැන්වූ බව සඳහන්ය. පෘතුගීසි ජාතිකයා එපරිදි ක්‍රියා කළ අතර සන්තානම් පල්ලිය එලෙස බිහි වූ බව පළමු කතාවය. අනතුරුව ද ආනාතුමිය කිහිපවරක් ඔහුට දර්ශනය වූ බවත් ඔහු දෙව්මැඳුර විශාල කිරීමට ක්‍රියා කළ බවත් මෙම තොරතුරු එවක සිටි කතෝලික පූජකවරුන්ගෙන් ලබාගත් බවත් උප ඒජන්තවරයා තවදුරටත් සඳහන් කරයි.
දෙවැනි කතාව හා සම්බන්ධය. 18 සියවස මුල් භාගයේ යුරෝපීය ජාතිකයකුට අයත් වෙළෙඳ බඩු නැවක් තලවිල අසලදී මුහුදුබත් විය. මෙම කුඩා නැව ශා. ආනාතුමිය නමින් කැප කර තිබිණි. නැවෙහි සිටි පිරිස ශා. ආනාතුමියගේ පිහිට පතමින් එතුමියගේ ප්‍රතිමාවක් ද රැුගෙන තලවිල වෙරළට පීනූහ. අනතුරුව අද සිද්ධස්ථානය ඇති තැන විසල් රුකක බෙනයක ප්‍රතිමාවක් තැබූ ඔවුහූ ප්‍රතිමාව ඉදිරිපිට යාච්ඤා කරන්නට වූහ. තමන් බේරාදුන් ආනා මෑණියන් නමින් දෙව්මැඳුරක් ඉදිකිරීමට ද ඔවුහූ ප්‍රතිඥා දුන්හ. අනතුරුව ඔවුන් ගාල්ල බලා ගිය අතර මුහුදුබත් නැව බැලීමට පැමිණි අය ගස් බෙනයේ ප්‍රතිමාව දැක වන්දනාමාන කිරීමට පටන් ගත්හ. නැවියන් යළි පැමිණ පොරොන්දු වූ පරිදි දෙව්මැඳුර ඉදිකළහ. මෙම ස්ථානයට නැව විනාශ වූ තැන යන අරුත ඇති ‘කප්පල් අඩි’ යන දෙමළ නම අද ද භාවිත කෙරේ.
1943 දී වෙරළ මුහුදු කෑමට ලක්වීමේදී වෙරළේ පොළොව යට තිබූ නැව් කඳක් මතුවිය. එම නැව් කඳ දෙවැනි කතාවට සම්බන්ධ නැව බවට විශ්වාසයක් පවතී.
කවර කතාව සත්‍ය වුව ද මෙම සිද්ධස්ථානයට 17 වැනි සියවස තරම් පැරණි බවට සැක නැත. ආනාතුමියගේ මංගල්‍යය ජූලි 26 ට යෙදෙන නමුදු ඊට පසු එන ඉරිදා අගෝස්තු 02 වැනිදා මෙවර මංගල්‍යය යොදාගෙන ඇත. තලවිලට ඇදෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවෝ පෘතුගීසි ජාතිකයා හෝ යුරෝපීය නැවියා තිලිණ කළ ශා. ආනා ප්‍රතිමාව ඉදිරියේ වැඳ වැටෙමින් යදිනු දැකිය හැකිය.
Leave a Reply