Posted by: lrrp | October 18, 2020

සියවස් ගාණකට පෙර උඩරට රජ්ජුරුවන්ගේ නිරෝධායනේ!

නිරෝධායනය අද අප අතර වැඩියෙන්ම භාවිත වන වචනය බවට පත්ව ඇත. රටේ නායකයන් නිතරම පවසන්නේ අපි නිරෝධායන කටයුතු නිසි වේලාවට ආරම්භ කළ නිසා කොවිඩ්-19 ව්‍යාප්තිය වළක්වා ගත හැකි වූ බවයි. අප මේ හාරා අවුස්සන්නට යන්නේ උඩරට රාජධානි සමයේ සිදු වූ නිරෝධායන කටයුත්තක් ගැනය.

එය යුරෝපීය ජාතීන්ගෙන් වසූරිය වසංගතය මහනුවර ඇතුළු උඩරට රාජධානියට බෝවීම වළක්වා ගැනීමට දරණ ලද ප්‍රයත්නයක් බව පසුව හෙළිව තිබේ.

වසූරිය 17 – 18 සියවස්වල යුරෝපයේ දස දහස් ගණනක් ජනතාව බිලිගත් වසංගතයකි. එම බියකරු රෝගය ලංකාවට පැමිණියේ පෘතුගීසි, ලන්දේසි වැනි ආක්‍රමණිකයන් සමඟ බවට මතයක් එකල පැවතුණි. පෘතුගීසි කාලයේදී (16 – 17 සියවස්) මෙරට මුහුදුබඩ ප්‍රදේශවල වසූරිය පැතිර ගියේය. පෘතුගීසි බලකොටුවල නිරත මේ රෝගය වාර්තා විය. වර්ෂ 1581 දී සීතාවක රාජසිංහ උඩරට ආක්‍රමණය කළ විට, මන්නාරමේ පෘතුගීසි රුකවරණය පැතූ කරල්ලියද්දේ බණ්ඩාර රජු මියගියේ වසූරියෙනි.

පෘතුගීසි පලවා හැර වර්ෂ 1658 දී ලන්දේසිහු මෙරට මුහුදුබඩ පළාත්වල බලය අල්ලා ගත්හ. ලන්දේසි කාලයේද අප රටේ මුහුදුකරයේ වසූරිය පැතිර ගිය බව වාර්තා වේ. ඒ අතර ලන්දේසින්ට අවශ්‍ය වූයේ උඩරට රජවරු සමඟ යුද්ධ කිරීම නොව ගැටුමකට නොගොස් ඔවුන් සමඟ තානාපති සබඳතා පවත්වා ගනිමින් පාලනය කිරීමකි. ඒ මෙරට පාලනය කළ ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ කපටි වාණිජ අරමුණු නිසාය. ලන්දේසිහු 1796 දක්වා සියවස් එකහමාරකට ආසන්න කාලයක් මෙරට මුහුදුබඩ පාලනය කළ අතර වාර්ෂිකව උඩරට රජු වෙත තානාපති චාරිකා පැවැත්වීමේ සම්ප්‍රදායක් අනුගමනය කළහ.

ලන්දේසි තානාපති නිලධාරීන් වැඩි වශයෙන් මහනුවර බලා ගියේ පැරණි රජ මාවත ඔස්සේය. ඒ පාරේ කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා කොටස ලන්දේසීන්ට අයත් විය. සීතාවක සිට හතරකෝරළේ හරහා උඩරට දක්වා කොටස උඩරට පාලනය යටතේ පැවතුණි. සමහර අවස්ථාවලදී මේ සීමා වෙනස් වූ බවද පෙනේ.

උඩරටට තෑගිබෝග පඬුරු රැගෙන පැමිණෙන ලන්දේසීන් හරහා රාජධානි අගනුවරට වසූරිය පැමිණෙන්නට ඉඩකඩ පවතී යැයි මහ රජුට සැකයක් පැවතුණි. එබැවින් විදේශීය දූතයන් එක්වරම රාජධානියට වැද්ද නොගෙන යම් ස්ථානයක කාලයක් නවත්වා තබා අගනුවරට රුගෙන ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය.

ඇතුන් හා අශ්වයන් පිට මෙන්ම දෝලාවෙන් ද ගමන් කරමින් උඩරට දක්වා පැවති දුෂ්කර මඟ තරණය කරන ලන්දේසිහු විවිධ ස්ථානවල නවාතැන් ගත්හ. රටේ තැන් තැන්වල සංචාරය කරන රජුට හා රාජ්‍ය නිලධාරීන්ට නවාතැන් ගැනීමට තානායම් ඉදිකර තිබුණි. ලන්දේසි තානාපති ද ඒවායේ නවාතැන් ගත්තේය. සීතාවක, රුවන්වැල්ල, ඉද්දමල්පාන, කැබැල්ලගහරුප්ප, හෙට්ටිමුල්ල, අට්ටාපිටිය (දොඹගහරුප්ප), වල්ගොවුවාගොඩ හා ගන්නෝරුව පැරණි උඩරට මාවතේ එවැනි තානායම් පැවති ස්ථාන විය. මහ රජ්ජුරුවන්ගේ නිරෝධායනය අට්ටාපිටිය නවාතැනේදී ක්‍රියාත්මක කෙරුණි. එහෙත් දූත පිරිසට එය ඍජුව දැනුම් නොදුන් අතර රජු අගනුවර නොමැති බව ආදී විවිධ හේතු දක්වා ගමන පමා කෙරුණු බව ලන්දේසි වාර්තාවලින් පැහැදිලි වේ

අට්ටාපිටිය ඒ සඳහා ඉතාමත් ගැලපෙන ස්ථානය වූ බව අද ඒ ගැන විමසන අපටත් පෙනේ. හතරකෝරළේ ගල්බොඩ කෝරළයට අයත් ඒ ගම උඩරට කඳු බෑවුම පාමුල පිහිටා තිබේ. අද නම් මාවනැල්ලේ සිට අරණායක පාරේ මඳ දුරක් ගමන් කර පිවිසිය හැකි ස්ථානයකි. එය පැරණි රජ මාවතේ සංධිස්ථානයකි.

යොහාන් වුල්න්ගැන්ග් හෙයිඩ්ට් 1736 දී මහනුවරට දූත චාරිකාවක යෙදුණු ලන්දේසි ජාතිකයෙකි. එවකට උඩරට රජකම් කළේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. හෙයිඩ්ට් තම අත්දැකීම් අරභයා පසුව පොතක් ලිව්වේය. ඔහු මෙසේ සඳහන් කරයි. අපි ගමන් මඟේ නොකඩවා පැමිණි ගමනේදී නොවැම්බර් 30දා අට්ටාපිටියට පැමිණියෙමු. මෙතැන තානාපතිවරයාට කිසියම් කාලයක් නැවතී සිටින්නට සිදුවිය. අපේ පමාව දින 14ක් විය.

තානාපති ඩැනියෙල් ඇග්‍රීන් සමඟ පැමිණි හෙයිඩ්ට්ට මෙන්ම තවත් බොහෝ නිලධාරීන්ට ද අට්ටාපිටියේ නවතින්නට සිදු වූ බව ඔවුන්ගේ වාර්තාවලින් පෙනේ. වර්ෂ 1750ට පෙර දූත පිරිස් සාමාන්‍යයෙන් රුඳී සිටි කාලය දින 16කි. 1742 දී රිචඩ් වැන් මික්ට දින 3කින් පිටත්වීමේ වරම ලැබුණි. 1739 දී රොබට් ක්‍රේමර් සති 5ක් මෙහි නැවතී සිටියේය. රජු මෙසේ ලන්දේසීන් අතරමග රඳවාගැනීම ගැන නිශ්චිත හේතු නොදැක්වුවත් 1739 දී උඩරටට යන යොහාන් ක්‍රිස්ටෝ ක්ලිබර්ට්ට අනුව බළලා මල්ලෙන් එළියට පැන තිබුණි.

සිරිත් පරිදි උඩරට යන දූත පිරිසට අට්ටාපිටියේ දින කිහිපයක් නැවතී සිටින ලෙස දන්වන ලදී. මැනවින් වාතාශ්‍රය ඇති, සනීපදායක මෙහි රුඳීම මැනවැයි රජු කල්පනා කර තිබුණි. පසුව දැනගත් ආකාරයට ප්‍රමාද කිරීමට හේතුව මගේ පිරිවරට වසූරිය වැළඳී ඇතැයි සැක කිරීම හේතුවෙන් රෝගය බෝවිය හැකි කාලය එසේ වෙන්කොට තැබූ බවයි. යොහාන් ක්‍රිස්ටෝ නැවතී සිටියේ කැබැල්ලගහරුප්පේ බව ඔහු සඳහන් කරයි.

අට්ටාපිටිය තානායම මහ ඔයට මෙගොඩ වහරක්ගොඩ තිබුණු බව ගවේෂක මහානාම දුනුමාල සඳහන් කරයි. වහරක්ගොඩ සොහොන් භූමිය හැඳින්වෙන්නේ තානායම්ගොඩ නමිනි. උඩරට රජුගේ නවාතැන් මාලිගයක් එහි තිබූ බවට ජනප්‍රවාද පැතිර පවතී.

අට්ටාපිටියේ යුදමය වැදගත්කම නිසා පෘතුගීසින් ද උඩරට ආක්‍රමණය කිරීමේදී එහි බලකොටුවක් ඉදිකළ අතර, ඉංග්‍රීසින් ද 1816 සහ 1834 කාලයේදී එහි මුරපොළක් පිහිටුවා තිබුණි. 1817 දී කපිතාන් කිං එහි බලකොටුවක් ඉදිකළ අතර එය කිංගේ බලකොටුව නමින් හැඳින්විණි. එච්.සී.පී. බෙල්ගේ 1892 පුරාවිද්‍යා වාර්තාවේ සඳහන් වන්නේ බලකොටුවේ ප්‍රාකාර මායිම පැහැදිලිව හඳුනාගත හැකි බවත් බිත්තියේ කොටසක් හොඳින් පවතින බවත්ය.

අප ඓතිහාසික ස්ථානවලට කෙතරම් සැලකිල්ලක් දක්වන්නේ ද යන්න හෙළි කරමින් මෙම භූමිය මෑතකදී අරණායක ප්‍රාදේශීය සභාවේ කුණු දැමීමට යොදාගෙන තිබුණි.

(පර්යේෂණ තොරතුරු: ප්‍රවීණ ලේඛක මහානාම දුනුමාල)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Categories

%d bloggers like this: